Wednesday, 27 January 2016

යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම


ක්‍රි. ව. 1302 'ශුද්ධ රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ අටවන බොනිෆස් (Boniface VIII) පාප්වරයා වරක් ප්‍රකාශකලේ 'පාප්වහන්සේ වන තමන්ට දෙවියන්ගේ නියෝජිතයා වශයෙන් සියල්ලන්ව විනිශ්චයකල හැකි බවත්, එහෙත් කිසිවෙකුට තමාව විනිශ්චයකල නොහැකි බවත්ය (The pope can rightly judge all humans but could be judged by none). ඔහු ඒ සදහා බයිබලේ එන පාවුළුතුමා කොරෙන්තිවරුන්ට ලියන ලද පලමුවන සංදේශයේ පාඨයක්  වන 'ශුද්ධවූ තැනැත්තන්ට සියල්ල විනිශ්චය කලහැක, එහෙත් කිසිවෙකුට ඔහුව විනිශ්චය කල නොහැක' යන අර්ථය දෙන 'The spiritual person judges all things, but is himself to be judged by no one' (1 corinthians 2:15) යන පාඨය භාවිතා කරන ලදී.  බයිබල් පාඨයේ එන ශුද්ධවූ තැනැත්තන් ලෙස හැදින්වූයේ දෙවියන්වය. එහෙත් VIII වන බොනිෆස් පාප්  සිය ධුරයේ බලය සදහා එය තමන්ට කැමති ලෙස අර්ථකථනය කරගන්නා ලදී. 

කෙසේවුවද, ඒ ක්‍රිස්තියානි ආගම බොහෝ රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ "රාජ්‍ය ආගම' ලෙස පැවති යුරෝපයේ අදුරුතම යුගයවූ  මධ්‍යතන යුගයේය (Medieval period). එම කාලයේදී  රජවරුන් පත්කිරීම, ඉවත්කිරීම, ඔවුන්ගේ කසාද තීරණය කිරීම, රාජ්‍යයේ සීමා- මායිම් තීරණය කිරීම, රාජ්‍යය තුල ජීවත්විය හැක්කේ කාටද, ඉවත්කල යුත්තේ කාවද ආදී සියල්ල තීරණය කලේ පාප්තුමා සහ ඔහු නායකත්වය දුන් පල්ලිය විසිනි. 

එහෙත්, පාප්ගේ සහ පල්ලියේ මෙම අසීමිත බලය සහ ආගමික ඉගැන්වීම් තම අභිමතය පරිදි භාවිතා කිරීම සම්බන්දයෙන් යුරෝපයේ ක්‍රිස්තියානි පුජකයන් පිරිසක්ම ප්‍රශ්න කිරීමට පටන්ගත්හ. විශේෂයෙන්ම ජේසුතුමා දෙවියන්ගේදේ දෙවියන්ටත්, සීසර්ගේදේ සීසර්ටත් දෙන ලෙස උගන්වා තිබියදී පාප්ගේ සහ පල්ලිය මේ දෙක එකක් ලෙස සලකා කටයුතු කිරීම සම්බන්දයෙන් ඔවුන් දැඩිව විවේචනය කළහ. යුරෝපයේ ආගමික පුනරුදය ලෙස හැදින්වුවේ එයයි. 

එය කෙතරම් පැතිර ගියේදයත් ඇතැම් ගවේෂකයන් බයිබලයේ මුල් පිටපත් හෝ පැරණිම පිටපත් සොයා ඊජිප්තුවේ, පලස්තීනයේ, ජෝර්දානයේ සහ මැදපෙරදිග වෙනත් රටවල පැරණි ක්‍රිස්තියානි ආශ්‍රරම පීරුහ. තවත් පිරිස් වෙනත් ක්‍රිස්තියානි පල්ලි තනාගනිමින් පාප්ගේ නායකත්වයෙන් වෙන්වන යනලදී. එය යුරෝපයේ බොහෝ රජවරුන්ට පාප්ගේ අධිකාරීත්වයෙන් මිදී නිදහස් රාජ්‍යයන් ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් උදාකරන ලදී. මුල් කාලයේ කුරුස යුද්ධ සහ තුර්කි අධිරාජ්‍යයේ ආක්‍රමණ ගැන භීතියක් ඇති කරමින් නැවත නැවතත් පල්ලියේ බලය රැකගැනීමට පාප්වරයාගේ පිරිස් උත්සුකවුවද ආගමික පුනරුදය සහ චින්තන විප්ලවය (Protestant revolution and Renaissance) රැගෙනා විචාර බුද්ධිය ඒ සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන ලදී. 

මෙලෙස යුරෝපයේ බිහිවන ලද නව රාජ්‍යයන් පිලිබදව ප්‍රකට ඉතිහාස විශ්ලේෂකයෙකුවන Joseph Reese Strayer ගේ 'On the medieval origins of the modern state'(1973) කෘතියේ දැක්වූයේ  'The state give orders to all, take orders from none' යනුවෙනි.

එය යුරෝපයේ පැවති පාප්ගේ බලය හැදින්වීමට 'can judge all and could be judged by none' යන කියමනේ පැහැදිලි විලෝමයය. 

කෙසේවුවද, යුරෝපය  එතරම් පහසුවෙන් ආගමික ආධිපත්‍යයෙන්, පල්ලියෙන් හෝ පාප්ගේ හස්තයෙන් ගැලවී නොයනලදී. ඒ සදහා තවත් සියවස් ගනනාවක්ම ගතවිය. අදද ජනරජයක් (Republic) නොවී ඇති බ්‍රිතාන්‍ය වැනි රටවල්  තවමත් පල්ලියේ බලපෑමෙන් සම්පුර්ණයෙන්ම නිදහස් වී නැත. එහෙත් අඛණ්ඩව ගලාගිය ආගමික පුනරුදය සහ චින්තන විප්ලවය (Protestant revolution and Renaissance) යුරෝපයේ ජනයා විචාර බුද්ධියක් සහිත පිරිසක් බවට පත්කළහ. එය ඔවුන්ව ආගමික බලහත්කාරයෙන් මෙන්ම පාප්ගේ ආධිපත්‍යයෙන්ද සම්පුර්ණයෙන් නිදහස් පුරවැසියන් බවට පත්කර ඇත. 

අපේ රටේ පුරවැසියන්ටද අද අවශ්‍යව ඇත්තේ උසාවිවලට ගොස් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන කියාදෙන, රාජ්‍ය ආයතනවලට ගොස් එහි කටයුතු පිලිබදව නියෝගදෙන, රාජ්‍ය විචාලය කලයුතු ආකාරය ගැන රාජ්‍ය නායකයන්ට උපදෙස් දෙන, රාජ්‍ය කටයුතු පිලිබදව මැදිහත්වෙන, නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන ආගමික නායකයන්ගේන්, පුජක සහ අනුකාරකයන්ගෙන් පුර්ණ නිදහසකි. එහිලා අපිද ආගමික පුනරුදයකට සහ චින්තන විප්ලවයකට නතුවිය යුතුය.

ශ්‍රී ලංකාව තුල පුරවැසියන් ලෙස නිදහස්ව ජීවත්වීමට නම් රාජ්‍ය, දේශපාලනය පමණක් නොව පුද්ගලයාද ආගමෙන් නිදහස් විය යුතුව ඇත. රාජ්‍ය කිසිදු ආගමක ආරක්ෂකයා, අනුග්‍රහයකයා හෝ ප්‍රවර්ධකයා නොවිය යුතුය. ආගම පුද්ගලයාගේ පෞද්ගලික සහ සාමුහික කටයුත්තක් ලෙස සලකා කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතුය. එය කිසිලෙසකින්වත් අවහිර කලයුතු නොවේ. මන්දයත් එය පුද්ගලයාගේ නිදහස අවහිර කිරීමක් වන බැවිනි. ආගමේ ප්‍රවර්ධනය එහි දායකයන්ටම පැවරිය යුතුය.  එහෙත් පෞරාණික සහ ඉතිහාසය වශයෙන් වැදගත් සියළු ගොඩනැගිලි සහ ඒවාට අයත් සියල්ල ප්‍රතිසංස්කරණකර නඩත්තු කිරීමට රාජ්‍ය ඉදිරිපත්විය යුතුය. මන්දයත්, එය ශිෂ්ටාචාරයේ කොටස්වන බැවිනි. තවද, රාජ්‍ය උත්සවවලට හෝ වෙනත් රාජ්‍ය කටයුතුවලින් ආගම මෙන්ම පුජකයන්ද ඉවත්කර තැබිය යුතුය. ඔවූන්ව පුද්ගලයාගේ මානසික සුවය, හැදියාව සහ සත්භාවය පිළිබද කටයුතුවලට පමණක් සීමාකල යුතුය. 

ලෝකයේ සෙසු බොහෝ දියුණු ජාතීන් මෙන් ශ්‍රී ලාංකීකයන්ටද නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය නම් අද සිටම කලයුතු ප්‍රධානම දේවලින් එයත් එකකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
27/01/2016.

1. Raphael ගේ (පුජකයන් නොමැති) බුධිමතුන් පමණක් ඇති ආයතනය හෙවත්  "School of Athens" චිත්‍රය

2. ලෝකයේ අනාගාමික රාජ්‍ය (secular states), ආගමික රාජ්‍ය හෙවත් ආගම රාජ්‍ය ආගම වී ඇති රාජ්‍ය (states with state religions) සහ රාජ්‍ය සහ ආගම මිශ්‍රව ඇති හෝ තොරතුරු නැති රටවල් දක්වන සිතියමක් - ලංකාව අයත් වන්නේ මෙම රාජ්‍ය සහ ආගම මිශ්‍රව ඇති රටවල් ගොඩටය.

Friday, 22 January 2016

මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබීමෙන්  අනතුරුව රට තුල ප්‍රථමයෙන් බිහිකල කර්මාන්තශාලා වලින් එකක් වනුයේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටවූ ලංකාවේ ප්‍රථම පිගන් කම්හලවන මීගමුව රජයේ පිගන් කර්මාන්තශාලාවය. එය 1947 අගමැතිවරයා ලෙස පත්වන  D.S. සේනානායක මහතාගේ රජයේ ප්‍රථම කර්මාන්ත ඇමතිවරයාවූ  G.G. පොන්නම්බලම් මහතා විසින් 1950දී පමණ ආරම්භකරනු ලැබුවකි. 

නිදහස ලැබීමෙන් අනතුරුව, අනෙකුත් සෑම කර්මාන්ත අවශ්‍යතාවයකටම වඩා, පිගන් කම්හලක් පිහිටවීමට, පිගන් නිෂ්පාදනවලට මුල් තැනදීමට, ඒ සදහා ජාතික ධනය යටකිරීමට, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම රජයට අවශ්‍යවන්නේ ඇයිදැයි යන්න වෙනම විමසා බැලිය යුත්තකි. 

එහෙත්, ශ්‍රී ලාංකාවේ කෘෂි නිෂ්පාදනයන්ට නැවත පනපොවා, කෘෂිකර්මාන්තය දියුණුකර, කෘෂි ආර්ථිකයක් ඇතිකර, රටේ ජනයා සමෘද්ධිමත් කිරීමට ගොවිජනපද බිහිකරමින් උතුරු-මැද පළාත ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල  ඇවිදි   D.S. සේනානායක මහතාට එකල ආහාරපාන භුක්තිවිදිමෙහිලා ශ්‍රී ලාංකිකයන්  බහුලව භාවිතාකල මැටි කෝප්ප, නෑබිලි, නෙලුම් කොළ, කොළපත්, බෙලෙක් පිගන්කෝප්ප, පොල් කටු ආදිය වෙනුවට සෙරමික් පිගන් කෝප්ප හදුන්වාදීමටවූ  සංස්කෘතිකමය අවශ්‍යතාව එහිලා හේතුවන්නට ඇතැයි අපට තර්කකල හැක. 

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේදී ශ්‍රී ලාංකාවට Wedgwood, Royal Doulton, Royal Albert, Port Meirion සහ Spode වැනි සුප්‍රකට බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ නිෂ්පාදකයින් විසින් නිපදවූ  සේරමික්, පොසිලෙන් සහ බෝන් චයිනා (bone china) පිගන් නිෂ්පාදනයන් හදුන්වා දී තිබුණි. ශ්‍රී ලාංකාවේ එවකට නැගී එමින් තිබූ නව සමාජ පන්තීන් අතර එම නිෂ්පාදකයන්, නිෂ්පාදන සහ ඔවුන්ගේ නවතම මෝස්තර රටා පිළිබදව පවා හොද අවබෝදයක් තිබූ බව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය මහාචාර්ය ජැස්මින් ගුනරත්නගේ (Yasmine Gooneratne) පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ලියා ඇති විවිධ රචනයන්ගෙන් පෙනේ. 

බ්‍රිතාන්‍යයන්ගේ ආහාරපාන භුක්තිවිදින කලාව සහ ඔවුන්ගේ පිගන් කර්මාන්තය අතර දැඩි සම්බන්දයක් තිබේ. තේ පානය ලොවට හදුන්වාදුන් චීනුන් තේ බොන ආකාරයටද, තේ පානය වඩාත් ජනප්‍රියවූ ඉන්දියාව, තුර්කිය, මැද පෙරදිගයන ප්‍රදේශවල ජනයා තේ බොන ආකාරයටද වඩා වෙනස් ලෙස තේ පානය කිරීමේ කලාවක් බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුනි. එහිලා භාවිතා කිරීමට අවශ්‍ය තේ පෝච්චි (teapot), කිරි ජෝගු (creamer) සහ සීනි භාජනද (sugar bowl/sugar pot) ඔවුහු නිර්මාණය කළහ. ඒ විවිධ හැඩ සහ මෝස්තරවලින් පිරි තේ කෝප්ප, පීරිසි, තසිම්, තේ කොළ බහාලන බදුන් (tea caddy) ආදියට අමතරවය. මේ සියල්ල තේ කට්ටලයක් හෙවත් Tea set එකක් ලෙස හැදින්වේ. එමෙන්ම ආහාර පිලිගැන්වීමේ සහ අනුභවය සදහාද එවැනිම පිගන් කට්ටලයන්ද (Dinner set) ඔවුන් නිර්මාණය කළහ. එයට සෙන්ටිමීටර් 27/23/21 ප්‍රමාණයන්ගෙන් යුත් පිගන්, සුප් පිගාන්, සෙන්ටිමීටර් 35/34/30 ප්‍රමාණයන්ගෙන්යුත් කවාකාර හෝ ඕවලාකාර පිගන් (oval and round platters), එළවළු සහ වෙනත් කෑම පිලිගැන්වීම සදහා දීසි (open and covered veg), උදැසන කෑම සහ අතුරැපස සදහා භාජන (cereal bowl),  සුප් බහාලන භාජන (soup tureen), ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජන  ආදිය ඇතුලත්වේ. මීට අමතරව ළමුන් සදහා ද කුඩා කෑම භාජන (children set) ආදියද වේ.
මෙම පිගන් සංස්කෘතිය එම සියළු අංගයන් සහිතවම ලංකාව වැනි යටත්විජිතයන්ටද පැමිණ තිබුණි. ලංකාවේ පිගන් නිෂ්පාදන ඇරබීම සදහා ගොඩනැගූ, ලංකාවේ සියළු පිගන් කර්මාන්ත ශාලාවන්ගේ මව්‍ කර්මාන්තශාලාව වූ, මීගමුව පෙරියමුල්ලේ පිහිටවූ රජයේ පිගන් කර්මාන්තශාලාව තුලද ඉහත සදහනකල පිගන් සංස්කෘතියට අයත් සියළුම අංග උපාන්ගයන් එකක් නෑර ආරම්භයේ සිටම නිපදවූහ. 

එක් අතකින් ලාංකිකයන්ට නවතම සංස්කෘතික අංගක් වූ  පිගන් සංස්කෘතිය හදුන්වාදීම සදහා පිහිටවූ  ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල, කවදත් නවතම සංස්කෘතික ප්‍රවණතාවයන් සදහා මුලපුරන 'පුංචි රෝමය' නම් වූ මීගමුවේ පිහිටවීම මීගමුවේ ජනයාට සිදුකල මහත් උපහාරයකි. එහෙත් එය යාපනයට ගෙනයාමට හෝ ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල යාපනයේ පිහිටවීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම කර්මාන්ත ඇමතිවරයා වූ  G.G. පොන්නම්බලම් මහතා දැඩි උත්සහයක් ගත්බව මාගේ මේ සොයාබැලීමවලදී මට දැනගැනීමට ලැබුණි.  

ලාංකාවේ ප්‍රථම පිගන් කම්හලවන මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටවූ ලංකා පිගන් කම්හල ඉදිවනුයේ කලින් පැවති වැව්ශේයර් (Wavusher) නම් පොල් නිෂ්පාදන ආයතනය පිහිටි භූමියකය. එය අක්කර 16කට වඩා විශාල භූමි භාගයකි. පිගන් කර්මාන්තශාලාව සදහා තෝරාගත් භුමියේ කලින් පැවති වැව්ශේයර් (Wavusher) පොල් නිෂ්පාදන ආයතනය යටත් විජිත යුගයේදී සුදුජාතිකයන් පවත්වාගෙන ගොස් තිබු විශාල පොල් නිෂ්පාදන ආයතනයකි. පසුව දේශීය අයෝජකයෙකුට පැවරීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් පිරිහීමට පත්ව ඇත. ශ්‍රී ලංකා රජය අදාල භූමිය මිලටගෙන පිගන් කර්මාන්තශාලාවක් ඉදිකරනුයේ ඉන් අනතුරුවය. කෙසේවුවද, වැව්ශේයර් (Wavusher) පොල් නිෂ්පාදන ආයතනයේ ඉතිරිව සිටි සේවක සේවිකාවන් කිහිපදෙනාටද රජය අභිනවයෙන් පිහිටවූ  පිගන් කර්මාන්තාශාලාවේ රැකියා අවස්ථා සලසා දී ඇත. 

මුල්කාලයේදී මීගමුව පෙරියමුල්ලේ ඉදිකළ ලංකා පිගන් කර්මාන්ත ශාලාව සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, පෙල්ස්පා, ඩොලමයිට් සහ වෙනත් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය කාර්මික දැනුමද ලබාගෙන ඇත්තේ  බ්‍රිතාන්‍යයෙනි. එහෙත් නිෂ්පාදන ඇරබී ටික කලක් යනවිට ශ්‍රී ලංකාව සිය පිගන් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් බොහොමයක් දේශීයව නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ මැටි ශුද්ධාගාරයක්ද, දෙදියාවල, කයිකාවල සහ මීතියාගොඩ ආදී ප්‍රදේශවලින් පෙල්ස්පා (ceramic phosphors), ඩොලමයිට්(dolomite) සහ බෝල මැටි (ball clay) ආදියද නිෂ්පාදනය කර මීගමුව පිගන් කම්හලට ප්‍රවාහනයකර එහිදී  පිගන් නිපදවීමේ කාර්ය සිදුකර ඇත. 

මිනිස්ශ්‍රමය යොදාගනිමින් මෙන්ම යන්ත්‍ර සුත්‍ර ඇසුරින් තනාගන්නා පිගන් භාන්ඩ නිපදවීමට ගන්නා මැට්ට පසුව මෝල්ඩ් සහ අච්චූ ඇසුරින් නිෂ්පාදන ආකෘති සකසා විදුලි පෝරණුවේ පිලිස්සීමට ලක්කර තිබේ. එය බිස්කට්ස් (biscuits/ biscuit/bisque/bisc china/biscuits ceramic) ලෙස හැදින්වේ.  වර්ණගැන්වීම් සිදුකර පසුව නැවත එය පුළුස්සා ගැනේ. මෝස්‌තර දැමීම සිදුකරනුයේ ඉන් අනතුරුවය. මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් කම්හලේ නිපදවූ සියළු නිෂ්පාදන එලිදකිනුයේ ඉහත සෑම අවස්ථාවක්ම පසුකල පසුවය.

මෙම කර්මාන්තශාලාවේ පිගන් පිළිස්සීමට ගත් විදුලි පෝරණු මුලින්ම බ්‍රිතාන්‍යයෙන් ගේනවා තිබූනද පසුව ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් වඩා විශාල සහ බලශක්තිය සැකසුරුව්ම භාවිතා කළහැකි, වරකට පිගන් 700ක් පමණ පිළිස්සිය හැකි, බ්‍රිතාන්‍යය පෝරණුවලට වඩා හොද පෝරණු ගොඩනගා තිබේ. තවද ඔපදැමීම සහ වර්ණගැන්වීම සදහාද බ්‍රිතාන්‍ය වර්ණවලට නොදෙවෙනි වර්ණ සොයාගෙන භාවිතාවට ගෙන තිබේ. එමෙන්ම වරක් පුළුස්සාගත් පිගන් නිර්මාණයට ගන්නා 'සෙරමික්-බිස්කට්ස්' නිපදවීමේ තාක්ෂනය අතින් මීගමුව පෙරියමුල්ලේ පිගන් කම්හල ඉතා දියුණු මට්ටමක පැවත ඇත.  මෙලෙස ඔවුන් ප්‍රගුණකල ශිල්පීය දැනුම සහ ප්‍රාගුණ්‍යය පසුව පිළියන්දල බෝකුන්දර, මාතලේ රත්තොට, මීපේ සහ දංකොටුව ආදී ප්‍රදේශවල ඇරබී ශ්‍රී ලංකාවේ සෙසු පිගන් කර්මාන්ත ශාලාවලට ලබාදී ඇත. ඒ අනුව ලංකාවේ සෙසු සියළුම පිගන් කර්මාන්ත ශාලාවන්ගේ මව්‍ කර්මාන්ත ශාලාව ලෙස මීගමු පෙරියමුල්ලේ  පිහිටි පිගන් කර්මාන්තශාලාව උරදී ඇත්තේ රටක කර්මාන්තයක් ස්ථාපිත කිරීම නම්වූ මහගු කාර්යටය.

එහි නිෂ්පාදනයන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉස්තරම්, රටකට නව සංස්කෘතියක් හදුන්වාදුන් නිෂ්පාදනයන් විය. එක් අතකින් එය බ්‍රිතාන්‍ය මාදිලියේ සියළු  තේ පෝච්චි (teapot), කිරි ජෝගු (creamer), සීනි භාජන (sugar bowl/sugar pot), තේ කෝප්ප, පීරිසි, තසිම්, තේ කොළ බහාලන බදුන් (tea caddy) ආදිය ඇතුලත් තේ කට්ටල (Tea set) මෙන්ම ආහාර පිලිගනිවීමේ සහ අනුභවය සදහාද අවශ්‍ය සියළු පිගන් මාදිලිවලින් සමන්විත  පිගන් කට්ටලයන්ද (Dinner set) නිර්මාණය කර ඇත. එයට සෙන්ටිමීටර් 27/23/21 ප්‍රමාණයන්ගෙන් යුත් පිගන්ද, සුප් පිගාන්ද, කවාකාර හෝ ඕවලාකාර පිගන්ද (oval and round platters), එළවළු සහ වෙනත් කෑම පිලිගැන්වීම සදහා වූ දීසි (open and covered veg) හෙවත් කරී ප්ලේට්ස් (curry plates/dish), බ්‍රිතාන්‍ය උදැසන කෑම සහ අතුරැපස සදහා භාවිතාවන cereal bowl ආදිය අත සෝදන භාජන හෙවත් finger bowl ලෙසද,  සුප් බහාලන භාජන (soup tureen), ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජන  ආදියද, ළමුන් සදහා ද කුඩා කෑම භාජන (children set) ආදියද නිර්මාණයකර රටට නව සංස්කෘතික මෙවලම් සමුහයක් හදුන්වාදී ඇත. එමෙන්ම බ්‍රිතාන්‍යයන්ට පවා නව පිගන් නිර්මාණ ගැන උගතහැකි විශාල වතුර ජෝගු මෙන්ම දේශීය කලා ශිල්පයන්ගෙන් හැඩවූ බියර් ජෝගුද (ceramic beer mug) නිපදවා තිබුණි. ඒ සෑම නිර්මාණයක්ම දේශීය රටා, විවිධ හැඩතල, මල්, පලතුරු,  මෙන්ම අපට පමණක් අවේනික විසිතුරු මසුන් සහ නොයෙක් ආකාර මෝස්තරවලින් හැඩවී තිබුණි. 

තවද මීගමු පෙරියමුල්ලේ පිහිටි මෙම පිගන් කර්මාන්තශාලාව සිය නිෂ්පාදන සදහා මෝස්තර තෝරාගැනීමේදී එකල ජාත්‍යන්තර වශයෙන් සමකාලීනව වඩාත් ජනප්‍රියව භාවිතාවූ මෝස්තර කුමක්දැයි යන්න ගැන පවා හොද අවබෝධයක් ඇතිව කටයුතු කර ඇතිබව පෙනේ. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ  සුප්‍රකට පිගන් නිෂ්පාදකයින් වන Royal Doulton සමාගමේ 'Old Country Roses' මෝස්තරය ජනප්‍රියව පැවති 1960 දී පෙරියමුල්ල පිගන් කම්හල රතු පැහැති 'ලංකා රෝස් (Ceylon Rose)' මෝස්තරයද, 1970 ජනප්‍රියවූ Royal Albert සමාගමේ නිල්පාට මලක මෝස්තරය ගත් '1950 festival' නිර්මානයට නොදෙවෙනි දේශීය නිල් මලක මෝස්තරය
ද, Wedgwood සමාගමේ Sarah's garden මෝස්තරය ජනප්‍රියව පැවති 1980 දී දේශීය මල්, පලතුරු සහ ලංකාවට පමණක් අවේනික විසිතුරු මසුන් ඇතුලත් මෝස්තරයක්ද හදුන්වාදීමට මීගමුව පෙරියමුල්ලේ ලංකා පිගන් කර්මාන්තශාලාව සමත්ව තිබේ. 


එමෙන්ම දොඩම් ගෙඩියක හැඩයගත් මාමලෙඩ් ජෑම් භාජනය (marmalade jam pot), සුප්‍රකට ළමා කථා රචිකාවක් වන Beatrix Potter ගේ කථාවල එන සත්ව චරිත ඇතුලත් ළමා කෑම භාජන  (children ceramic set) නිපදවීම තුල මීගමුව පෙරියමුල්ලේ ලංකා පිගන් කර්මාන්තශාලාව  ශ්‍රී ලංකාව  කෙතරම් ජාත්‍යන්තර වශයෙන් බටහිර ජාතින්ගේ සංස්කෘතික නිර්මාන සමග එකට සිටගත හැකි ජාතියක්දැයි පෙන්වා දුන්හ. තවද එකල හදුන්වාදී තිබු තේ කෝප්පය, පීරිසිය සහ කේක් හෝ බිස්කට් සදහා වූ ඕවලාකාර හැඩය ඇති පිගානක් ඇතුලත් කෑලි තුනේ තේ පිරිසි කට්ටලය (3 piece tea cup & source set) අද ඒ ආකාරයටම ජර්මනියේ සුප්‍රකට Villeroy & Boch සමාගම නිපදවන අයුරු  දුටුවිට බුද්ධිමය දේපල පනතේ එන වගන්ති සිහියට නැගේ. 


එමෙන්ම, මීගමුව පෙරියමුල්ල පිගන් කම්හල පිගන් සංස්කෘතියට අදාලව ජාත්‍යන්තර වශයෙන් ඇගයුමට පාත්‍රවූ නව නිපයුම්ද හැදුන්වා දී තිබුණි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ වඩාත් ජනප්‍රිය කෑලි දෙකේ ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජනය වෙනුවට කෑලි තුනේ පිගන් නිර්මාණයක් හදුන්වාදී තිබේ. එය ලුණු, ගම්මිරිස් සදහා වූ භාජන දෙකට අමතරව සෝස් හෝ කුළුබඩු හෝ oil සදහා භාවිතා කලහැකි අතිරේක එක් භාජනයක් ද එක්කර තිබේ. එය ශ්‍රී ලාංකිකයන්ට tomato ketchup ටිකක්ද, චීන, තායි, ජපන් ජාතිකයන්ට Chile paste/ Chile oil හෝ soy source ටිකක් ද, ඉතාලි ජාතිකයාට olive oil හෝ dry herbs ටිකක්ද, සුද්දන්ට අවශ්‍යනම් malt vinegar ටිකක් ද දමාගැනීමට සමත්  ලුණු ගම්මිරිස් මෙන්ම කෑම මේසයේ තිබිය යුතු තවත් අත්‍යවශ්‍ය  අංගවලටද ඉඩක් ලබාදුනි. 

ධීවර කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයටත් වඩාත් ප්‍රසිද්ධව  සිටි මීගමුව, පෙරියමුල්ලේ පිහිටි පිගන් කර්මාන්තශාලාව නිසා  දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද   කාර්මික නිෂ්පාදනවලටද ප්‍රසිද්ධව සිතියම් වල මෙන්ම, පාසැල් පෙලපොත්වල පවා නම සටහන් කිරීමට සමත්වන ලදී. 1950 දී පිගන් සංස්ථාවක් බවට පත්ව, පසුව පිගන් සංයුක්ත මණ්ඩලය බවට පත්වෙන ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තය එහි උච්චතම අවස්ථාවවූ 1970-83 අවධියවනවිට, සේවකයින් 2000කට ආසන්න පිරිසකට රැකියා සපයා දී තිබේ. එයිනුත් සීයට පනහක (50%)කට වැඩි පිරිසක්, එනම් 1000 කට ආසන්න පිරිසක්, සේවා නියුක්තව සිට ඇත්තේ මීගමුවේ  පෙරියමුල්ල පිගන් කම්හලේය. ඔවුන්ගේන් බොහෝ දෙනෙකු මීගමුවේ ස්ථිර පදිංචිකරවන් විය.  ඒහින්, පෙරියමුල්ල පිගන් කම්හල   මීගමුවේ  ධීවර හෝ සංචාරක කර්මාන්තයේ නිරත නොවූ  ප්‍රදේශවාසී ජනයාටරැකියා අවස්ථා උදාකරදුන්  මහත් ආයතනයක් විය. 

ඒ සියල්ලටම වඩා, එම කර්මාන්ත ශාලාවේ සේවයකල සියලු සේවක සේවිකාවන්ට වර්ෂයකට එක්වරක් හෝ දෙවරක් (නත්තලට / අළුත් අවුරුද්දට) ලබාදෙන අඩුමිලට පිගන් භාන්ඩ ගතහැකි අවස්ථාව මීගමුවේ බොහෝ නිවෙස්වලට නවතම තේ කට්ටල, කෑම කට්ටල (Tea set / Dinner set) ඇතුළු පිගන් සංස්කෘතියේ සියළු අංග-උපාන්ග-ආයිත්තම් අඩු මිලට ගතහැකි වාසනාවක් උදාකරදෙන ලදී.  එහින් මීගමුවේ  පෙරියමුල්ල පිගන් කම්හල මීගමුවේ ජනයාට නවතම සංස්කෘතික අංග බෙදාහරින, මීගමුවේ ජනයා  සංස්කෘතික වශයෙන් තව තවත් හැඩගන්වන අපුරු තෝතැන්නක් වනලදී. පෙරියමුල්ල පිගන් කම්හලේ තැනූ පිගන් නිෂ්පාදනයක් නොමැති නිවසක් මීගමුවේ නොමැති තරම් විය. 

තවද උදෑසන 07ට වැඩ ඇරබීමට, දහවල් 12ට කෑම පැයට, හවස 04ට වැඩ නිමවීමට නාද කරන කම්හලේ විද්‍යුත් නලාව  (Horn) අහල ගම් හතක ජනයාට වේලාව මතක්කල අපුර්ව ඔරලෝසුවක් බදුවිය. දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙරියමුල්ල පිගන් කම්හලේ විද්‍යුත් නලාව  (Horn) මීගමුවේ පරම්පරා දෙක තුනකගේ එදිනෙදා ජීවිත කටයුතු සහ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද හැඩ ගැස්සවීමට දායකවුවකි. 

 ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තය සිය ස්වර්ණමය යුගයේදී කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවති උළුමෝල් පවා පවරාගෙන සිය ශිල්පීන් ලවා ලාභ ලබන තත්වයට පත්කර තිබේ. කුරුණෑගල වෑකේ, මුලතිව්, මහියංගනය සහ අනුරාධපුර ප්‍රදේශයේ එසේ පවරාගත් උළුමෝල් පිහිටා තිබේ. තවද විදුලි බල මණ්ඩලයේ විදුලි රැහැන් රදවා තැබීමට ගන්නා උපකරණ, වැසිකිළි පෝච්චි මෙන්ම පිගන් ගඩොල් (floor tile/wall tile) පවා නිෂ්පාදනය කර තිබේ. ඒ  ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තයේ මව් කම්හල වූ   මීගමුව  පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන්  කර්මාන්තශාලාව හොදින් ක්‍රියාත්මකවන තාක්කල් පමණක් විය.   

මීගමුව පෙරියමුල්ල ලංකා පිගන්  කර්මාන්ත ශාලාවේ බිදවැටීම ඇරබෙනුවේ ලංකා පිගන්  කර්මාන්තයේ ස්වර්ණමය යුගයේදීමය. කම්හල හොදින් ක්‍රියාත්මකවෙමින් තිබූ 1970 දශකයේදී මීගමුවේ සහ ඒ අවට ප්‍රදේශයන්හී බොහෝ දේශපාලකයන් තොග ගනනින් මීගමුව  පිගන්  කම්හලට සේවක පත්වීම් ලබාදී ඇත. සිටියයුතු සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයක් සමහර අංශවලට දේශපාලකයන් විසින් පත්කර ඒවා ඇත. එයට අමතරව පැය අටේ වැඩමුරයට අතිරේකව තවත් වැඩමුරයක් ක්‍රියාත්මක කරමින් අත්තිකාල දීමනාද ගෙවා තිබේ. ඒ දේශපාලකයන් සමග රාත්‍රිය පුරාම බීමත්ව කාලය ගතකරන දේශපාලන පත්වීම ලැබූ සේවකයන් දිවාකාලයේ කම්හල තුල හොදහැටි නිදාගන්නා අතරය. 

දේශපාලන පත්වීම් මත පත්වූ කළමනාකාරීත්වයද ඒ කිසිවක් ගැන විනය ක්‍රියාමාර්ග නොගත් අතර ඒ වෙනුවට එම සියළු දෙනාම එකට එක්ව සොරකම් සහ දුෂණවල නිරතවී ඇත. මීගමුව පෙරියමුල්ල ලංකා පිගන්  කර්මාන්ත ශාලාවේ සොරකම් සහ දුෂණ නිෂ්පාදනය සොරාගැනීමේ සිට අමුද්‍රව්‍ය සහ යාන්ත්‍රසූත්‍ර ඇනවුම් කරන මුවාවෙන් සොරකම් කිරීම දක්වා පැතිර තිබේ. තවද අතිරේක වැඩමුරය කම්හලේ ලාභය පමණක් නොව නිෂ්පාදනයේ ප්‍රමිතියද, අමුද්‍රව්‍යවල නාස්තියටද හේතුවී ඇත. මන්දයත්, පිගන් නිෂ්පාදනයන් යනු නිසිලෙස වේලීම සහ සිසිල්වීම මත පදනම්වන, යම් ආකාරයකට කාලය ගතවන නිෂ්පාදනයක් බැවිනි.


මේ සියල්ල පෙරියමුල්ල ලංකා පිගන්  කම්හලට දරාසිටිය හැකිවුයේ සිය නිෂ්පාදන සදහා හොද ඉල්ලුමක් පවතිනතාක්කල් පමණි. 1977 විවෘත ආර්ථිකය හැදින්වා දීමත් සමග ඉතා ලබා පිගන් සහ ප්ලාස්ටික් බඩු රටට පැමිණි අතර 1980 දශකය අගභාගය වනවිට එහි ඉල්ලුම භයානක ලෙස පහත වැටී ඇත. ඒ සමග සොරකම් සහ දුෂණ ඉතා ඉහල ගොස් නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය අස්ථානගතවීම  ස්වභාවික තත්වයක් බවට පත්ව තිබේ. ඒ අතර පැරණි යාන්ත්‍රසූත්‍ර බිදවැටීම්, අමතර කොටස් අතුරුදන්වීම්, යාන්ත්‍රසූත්‍ර සහ අමතර කොටස් ඇනවුම් කරන මුවාවෙන් සොරකම් කිරීමද නිතර සිදුව තිබේ. 1990 
දශකයේ මුල් භාගය වනවිට පෙරියමුල්ල ලංකා පිගන් කම්හල වසා දමන ලද අතර 1996 දී පිගන් කර්මාන්තශාලාව පැවති ගොඩනැගිලි සහ භූමිය බුල්ඩෝසර් කර සුපිරි නිවාස සංකීරණයක් තැනීමට විකුණා දමනලදී. ලංකාවට පිගන් කර්මාන්තය හදුන්වාදුන් මීගමුව පෙරියමුල්ලේ  පිගන් කර්මාන්ත ශාලාවේ කථාව අවසන්වුයේ එලෙසිනි.

එක් අතකින්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාවක් පිහිටවීමෙන් ලංකාවේ ප්‍රථම අගමැති D.S. සේනානායක මහතාගේ  රජය බලාපොරොත්තුවුයේ  ආහාරපාන භුක්තිවිදිමෙහිලා එකලශ්‍රී ලාංකිකයන් බහුලව භාවිතාකල මැටි කෝප්ප, නෑබිලි, නෙලුම් කොළ, කොළපත්, බෙලෙක් පිගන්කෝප්ප, පොල් කටු ආදිය වෙනුවට පිගන් සංස්කෘතියක් හදුන්වාදීමට නම් අද එය ඉෂ්ට සිද්ධවී ඇත.

අනෙක් අතින්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාවක් පිහිටවීමෙන් බලාපොරොත්තුවුයේ ශ්‍රී ලාංකාව තුල එක් සමාජ පංතියකට පමණක් මිලදීගත හැකි මිල අධික පෝසිලෙන් වැනි පිගන් නිෂ්පාදන කිරීමට අවශ්‍ය මුල් අඩිතාලම දමාගැනීම නම් අද එයද ඉෂ්ටවී ඇත. 
මන්දයත්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාව තුලින් ප්‍රගුණකල ශිල්පීය දැනුම සහ ප්‍රාගුණ්‍යය ඇසුරින් දංකොටුව පෝසිලෙන් සහ මාතලේ රත්තොට නෝරිටාකේ පිගන් නිෂ්පාදන ආයතන අදටද හොදින් ක්‍රියාත්මක වන බැවිනි. 

එහෙත් මීගමුවේ ජනයාට අහිමිවුයේ, මුළු රටටම උගතහැකි මහගු අත්දැකීම් සහ අවස්ථාවන් රාශියක් රටට ලබාදුන් ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල  නොවේ. බ්‍රිතාන්‍යයේ Stoke-on-Trent නගරයේ  1759 ජෝශේ වෙජ්වූඩ් සහ පුත්‍රයන් (Josiah Wedgwood and Sons) හදුන්වාදුන්, ජාතියකගේ සංස්කෘතික ඉදිරිපැම්මට දායකවූ, Wedgwood පිගන් නිෂ්පාදන ආයතනය මෙන් මහා සංස්කෘතික දායාදයක්ය. එහෙත් ඒ පිළිබද මතකය තබා එහි සිදුකල නිර්මාණයන්වත් සුරැකිව තැබීමට මීගමුවේ කෞතුකාගාරයක්වත් නැත. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
22/01/2016

Wednesday, 13 January 2016

ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනය සහ ශ්‍රී ලංකාවේ ජාතිකත්වය පිළිබද කතිකාව

උදය ගමන්පිල මහතා 'ඊලාම්', 'සිලෝන්', 'සීලාන්', 'සේයිලෑන්ඩ්', 'සෙරෙන්ඩිබ්' ආදී මෙකී නොකී නොයෙකුත් ලංකාවට කියන නම්  'සිංහලේ' යන්නෙන් පැනනැගී ඇති බවත් එය ලංකාවේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය වන  'සිංහල ජනයා ගේ රට' යන්න පදනම් කරගෙන ඇතිවූවක් බවත් දෙරණ රූපවාහිනියේ 360 (11/01/16) වැඩසටහනේ විස්තර කරන අයුරු දුටුවෙමි. එහි යම් අර්ථයක් තිබේ. 'ඊලාම්' යන්න කෙතරම් සතුරු ආකල්පයක් දනවන භයංකර වචනයක් ලෙස දැක්වුවද එයත් ලංකාවට පුරාණයේදී කියූ නමකි. කලින් 'ඊලාම්' නම ඇති සියළු සංවිධාන, දේශපාලන පක්ෂ ආදි සියල්ල තහනම්  කළ යුතුයැයි කියූ අය අතර සිටි ඔහු, නැවත සොයාගත් 'ඊලම' සමග ඇතිවූ  අළුත් ලෙන්ගතුකමත් සමග, ප්‍රභාකරන් ඉල්ලා සිටියේ 'තමිල් ඊලාම්' හෙවත් ද්‍රවිඩ බහුතරයක් වෙසෙන ඊලම යැයි නැවත සිය ස්ථාවරය සකස් කරගැනීමටද ප්‍රවේසම් විය. (එහිදී සිංහල ජනයා ගේ රට හෙවත් 'සිංහලේ' හි ද්‍රවිඩ බහුතරයක් වෙසෙන ප්‍රදේශ හෙවත් 'තමිල් ඊලාම්' කොටසකුත් තිබෙන බව ගම්‍යවන බවක් ඔහුට නොතේරේ.) එමෙන්ම, එම විග්‍රහයට අනුව, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මගින් සම්මත කල ශ්‍රී ලංකා යන්නට වඩා  සුද්දා යොදාගත් 'සිලෝන්' යන්න රටේ බහුතර ජනයා වන සිංහලයන් වඩා නියෝජනය කරන බවක් පෙනේ. මන්දයත්, 'සිලෝන්' යන්න  'සිංහලේ' යන්නෙන් පැනනැගී ඇති බැවිනි.
එහෙත්  උදය ගමන්පිල මහතා පවසන්නේ අසත්‍යක්  බව මින් අදහස් නොවේ. නිවැරදිවම නම්, ඔහු පවසන්නේ සත්‍යය/අසත්‍යතාවයකට වඩා 'මතයකි'. එනම් 'සිංහලේ' යන්නෙන් ලංකාවේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය වන  'සිංහල ජනයා ගේ රට' යන්න අදහස්වන බව දැක්වීම එක් මතයකි. වඩා නිවැරදිව කිවහොත් එය එක් දේශපාලන මතයකි. ඒ මන්දයත්, 'සිංහලේ' යන්නට තවත් අර්ථකථන රාශියක් තිබෙන බැවිනි. 

එක් අදහසක් නම් සිංහලේ යනු සිංහල ජනතාව හැදින්වීමට හෝ ලංකාවම හැදින්වීමට හෝ යොදාගත් පදයක් යන්නට වඩා එය ලංකාවේ යම් ප්‍රදේශයක් පමණක් හැදින්වීමට භාවිතාවු පදයක් යන්නය. එයට හොදම උදාහරණය මාටින් වික්‍රමසිංහගේ 'ගම්පෙරලිය' නවකතාවේ 'ජිනදාස' වෙලදාම් කිරීමට යන්නේ 'සිංහලේ' ටය. එය 'බිබිල' ප්‍රදේශය බව පසුව කියවේ.  

එමෙන්ම, සිංහලේ යන්න තුල මහා වංශය දක්වන ඉන්දියාවේ  ලාට රටේ සිට පැමිණි  'සිංහ' ජනයා සහ මෙරට සිටියේ යැයි කියන 'හෙළයන්' (සිංහ+හෙළ=සිංහළ) මිශ්‍රරව සෑදුනු ජනවර්ගයක් නියෝජනය කරන බවට තවත් මතයක් වේ. මහා වංශයේ එන පණ්ඩුකාභය කථා වස්තුව මේ මතය කියපාන්නක් බව හෙළ හවුලේ ආදිතමයන් මෙන්ම ජැක්සන් ඇන්තනීගේ සාකච්ඡාවලින් ද මතුවේ.   මෙහිදී සිංහලේ යන්න සිංහයාගෙන් පැවත එන්නකට පමණක් සීමාකළහොත් 'රාවණා', 'දඩුමොනර', 'විභීෂණ', 'මහා යක්කිනි', 'අසුරයන් මැඩලූ හෙළයන්', ආදී සියළු කථාවලට යන-එන මං නැතිවේ. 
සිංහලේ යන්න ජාතියක් යන්නට වඩා භාෂාවක් (සිංහල භාෂාව) කථාකරන ජන කොට්ටාශයක්ය  යන අදහස කැටි කරගත්තක් බවට ද තවත් මතයක් වේ. මේ අනුව එය ලේ සම්බන්දයකට වඩා වාග් විද්‍යාත්මක සම්බන්දයකි.

මේ අනුව සිංහල/සිංහලේ යන්නට ඉහතින් දැක්වූ ගමන්පිල මහතාගේ අර්ථදැක්වීමට/මතයට අමතරව තවත් වෙනත් අර්ථදැක්වීම් සහ මතයන් රාශියක් තිබෙන බව පෙනේ. එහෙත් ඒවාද බොහොමයක් ගැටළු සහගත සහ අපැහැදිලි බවකින් යුක්තය. (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ MPhil නිබන්ධනයේ මෙම සිංහල/සිංහලේ යන්නෙහි ඇති ගැටළු සහගත බව අධ්‍යානය කර ඇති බව මහාචාර්ය නීරා වික්‍රමසිංහගේ 'Sri Lanka in the Modern Age. A history of contested identities (2006)' කෘතියේ (පාද සටහනක (footnote) දැක්වේ - එම MPhil නිබන්ධනය මම කියවා නොමැති නිසා ඒ ගැන කිසිවක් කීමට නොදනී

එහෙත්, 'සිංහලේ' මෙන්ම 'සිංහල' යන ජනවාර්ගික අනන්‍යතාවය වංශ කථා සාහිත්‍යයේ සිට  ශ්‍රී ලාංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ  යුරෝපයේ ජනප්‍රියව පැවති  භාෂා, වාග්විද්‍යා සහ වාර්ගික (ආර්ය) අධ්‍යනයන් ඇසුරින් පෝෂණය ලබා අනගාරික ධර්මපාල යුගය දක්වා ගොඩනැගුණ ආකාරය  සම්බන්දයේන් R.A.L.H. ගුණවර්ධන මහතාගේ (1990) 'The People of the Lion - The Sinhala Identity and Ideology in History and Historiography' රචනය මෙම 'සිංහලේ' පිළිබද උනන්දු සියල්ලන්ට එහි සියළු පැතිකඩයන් පිළිබද ඉතා පුළුල් අවබෝදයක් ලබා දීමට සමත් අධ්‍යනයක් බව නම් ඉදුරාම දැක්විය හැක. 

කෙසේවුවද, ඉහත ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනයෙන් සාක්ෂාත් කිරීමට උත්සහ කරනුයේ 'ශ්‍රී ලංකාව වූ කලී සිංහලයාගේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය මත පදනම්වූ ඉතිහාසයක් සහ සභ්‍යත්වය ඇති සිංහලයන් බහුතරයක් වෙසෙන සිංහල  රට හෙවත් සිංහලේ බව නම් පැහැදිලිය. එහි තවදුරටත් ඔබ්ට ගියහොත් 'සිංහලේ' යනු සිංහල ජාතිකත්වයේ  වර්තමාන ප්‍රකාශනය බව ඔහුගේ එම ප්‍රකාශනයේ වේ. එහි ඇති  වරද කුමක්දැයි ඕනෑම කෙනෙකුට පැහැදලිවම සාධාරණ ප්‍රශ්නයක් නැගිය හැක. 

ඇත්ත වශයෙන්ම, ඕනෑම කෙනෙකුට සිය රට පිළිබද ඇති බැදීම, දේශප්‍රේමය, ලබ්ධිය සහ භක්තිය ඕනෑම ආකාරයකට ප්‍රකාශකිරීමට ඕනෑම භාෂාවක ඇති තරම් පද, යෙදුම්, අරුත් සහ නිරුත් තිබේ. 'සිංහලේ' යන්න තුල ප්‍රකාශ වනුවේ එබදු සිය රට වන ශ්‍රී ලංකාව පිළිබදව උපන්නාවූ බැදීම, දේශප්‍රේමය,  ලබ්ධිය සහ භක්තිය නම් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට ප්‍රශ්නයක් පැවතිය නොහැක.  

එහෙත් 'සිංහලේ' යනු බලය (Power -කිසියම් අභිලාශයක් වෙනුවෙන් යොදවන බලපෑම), අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression) පිලිබදව වූ ව්‍යාපෘතියක් හෙවත් බහුතර සිංහල ජනයාගේ බලය මත ස්ථාපිත කරන පාලන අධිකාරීත්වයක්  විසින්  ඔවුන්ගේ ආගමික, වාර්ගික, සංස්කෘතික සහ ඉතිහාස ආධිපත්‍ය පතුරුවමින් සෙසු සියල්ලන් (හිංසාව හෝ කැමැත්ත මත) යටපත් කිරීම සදහාවූ  ව්‍යාපෘතියක් නම්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. 
ඒවැනි ව්‍යාපෘති පැහැදිලිවම වර්ගවාදී ව්‍යාපෘති වන අතර එවැන්නක් වඩාත් සමීපවනුයේ හිට්ලර්ගේ නාසී වැඩපිලිවලටය. දැනටමත් නාසීන් යුදෙව් ජනයාගේ වාසස්ථාන, ව්‍යාපාරික ස්ථානවල යුදෙව්වන් යනුවෙන් ඇදිසේම ශ්‍රී ලංකාවේද මුස්ලිම් ජනයාගේ නිවෙසක් ඉදිරිපිට එවැන්නක් සිදුකර තිබෙන බව වාර්තාවිය. 

මෙවැනි කිසිදු ව්‍යාපෘතියක්  ජාතිකත්වය (Nationalism) පිළිබද ව්‍යාපෘතියන් ලෙස තබා අඩුම වශයෙන් වර්ගීක-ජාතිකත්වයන් ලෙසවත් (Ethno-Nationalistic) පිළිගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවේ. මන්දයත්  ජාතිකත්වය පිළිබද කතිකාවේ දී ජාතිකත්වය හැදින්වීමට වඩා පිළිගැනෙනුයේ 'රාජ්‍ය තුල ජීවත්වන පුරවැසියන්ගේ ශිෂ්ට/ප්‍රජා අනන්‍යතාවය සහ සමාන අයිතීන්ගේ හිමිකාරීත්වය' තහවුරු කරන සිවික් (Civic) වටිනාකම් මිස වර්ගීක අනන්‍යතාවයන් පදනම ලෙස සැලකීම සිදුනොවන නිසාය. 

ඒ අනුව ඉංග්‍රීසි යනුවෙන් ජනවර්ගයක් සිටියද, භාෂාවක් පැවතියද, එංගලන්තය යනුවෙන් රටක් තිබුනද, එංගලන්තය යනුවෙන් රාජ්‍යයක්වත්, ඉංග්‍රීසි යනුවෙන් ජාතිකත්වයක්වත් නිල වශයෙන්  නොපවතී. බ්‍රිතාන්‍යයේ නුතන ජාතික රාජ්‍ය බිහිවීමත් සමග ඒ සියල්ල පසෙකලා,  ඒ වෙනුවට  බ්‍රිතාන්‍යය (Britain) හෙවත් එක්සත් රාජධානිය (United Kingdom/UK) නමින් රාජ්‍යක් සහ බ්‍රිතාන්‍යන් (British) නමින් ජාතිකත්වයක් ඔවුන් ගොඩනගා ගෙනඇත.

අවසාන වශයෙන් කිව හැක්කේ, විදග්ධ සමාජයක පිළිගත් සම්ප්‍රදායය වනුයේ යම්කිසි  විෂයකට අදාල න්‍යායයන්, සංකල්පයන්, මතවාදයන්, දර්ශනික ඉගැන්වීම්, අර්ථකථනයන් සාකච්ඡා කිරීමේදී  එම විෂයේ අදාල දැනුම් පද්ධති තුල පිහිටා, එම විෂයට අදාල පාරිභාෂිත ශබ්දකෝෂයන්  තුල අදහස් දැක්වීමය. 

එහෙත් ලංකාවේ වෙනත් කිසිම විෂය ක්ෂේත්‍රයක වඩා දේශපාලන විෂයට අදාලව කරුණු-කරණා   සාකච්ඡා කිරීමේදී එවැනි පිළිගත් සම්ප්‍රදායක් මත පිහිටා කිසිසේත්ම කටයුතු කරන බවක් නොපෙනේ. ඒ වෙනුවට සිදුවෙනුවේ එක් එක් පුද්ගලයින් තමන්ට අවශ්‍ය ලෙස, අදාල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස, දේශපාලන විෂය ක්ෂේත්‍රයට අදාල කරුණු-කරණා   සදහා විවිධ අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීමය. මෙම විකෘතිය සදහා වඩාත් දායකවන්නේ දේශපාලකයින්, මාධ්‍යකරුවන්, විවිධ මාධ්‍ය සාකච්ඡා සදහා සහභාගී වෙන බොහෝ පුද්ගලයින්ය. තවද මෙම විකෘතිකරණයන් සදහා විද්‍යුත්මාධ්‍ය මෙන්ම සමාජමාධ්‍ය ජාලාද භයානක ඉඩක් විවිර කර දී ඇති බව පෙනේ. දේශපාලන විෂය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ඕනෑම විෂයක් සම්බන්දයෙන්ද අදාල දැනුම් පද්ධති තුල පිහිටා නොසිට සිදුකරන එවැනි අදහස් දැක්වීම් මගින් ශ්‍රී ලාංකිකයින්ට අදාල විෂය ක්ෂේත්‍රයේ කරුණු-කරණා සම්බන්ධයෙන් නිවැරදි අවබෝදයක් ලබාගැනීමට නොහැකිව ඇති සේම, ඔවුන්ට   විදග්ධ සමාජයක පුරවැසියන් ලෙස ජීවත්වීමට  ඇති අවකාශයද සාපරාධී ලෙස අහුරා ඇත.  ශ්‍රී ලංකාවේ මේ දිනවල සාකච්චා කරන ජාතිකත්වය, රාජ්‍ය, ඒකීය, පෙඩරල්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, මිශ්‍ර මැතිවරණ ක්‍රම ආදියෙහි පලවන අදහස් ලෙස බැලීමේදී ඉහත තර්කය හොදින්  තේරුම්ගත හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(1/14/16)
සිංහ චිත්‍ර, මූර්ති සහ ඡයා රූප පිළිබද අදහස්.

1. මුල්ම චිත්‍රය George Stubbs (1724-1806) ගේ Lions and Tigers Fighting over a Stag (මුව දෙන වෙනුවෙන් සිංහයාගේ සහ කොටියාගේ ගැටුම - ලේ පිපාසිත බව, අත්කර ගැනීමේ උවමනාව මෙන්ම සිංහයාට නොදෙවෙනි කොටියා යන්න සිහිකරවයි).

2. Una and the Lion (1866) සිංහයා සහ කුමාරිකාව සම්බන්ධ කථා රාශියක් වේ. රුසියාවේ, ඉරානයේ, ඊශ්රායලයේ, බ්‍රිතාන්‍ය, ජර්මනියේ සහ ස්කොට්ලන්තයේ ඇති කථා බොහොමයක කුමාරිකාවගේ ස්පර්ශයෙන්, ඇගිලිතුඩුවලින් දාමරික, කෘර සිංහයා මුදුමොලොක් වනබව දක්වයි.

3. Britannia - බොහෝ ජාතීන්ගේ ජාතික අනන්‍යතාවය සමග සිංහයාද වේ. හොදම උදාහරණය බ්‍රිතාන්‍යයේ  Britannia ප්‍රතිමාවන්ය - රෝම අධිරාජ්‍යට විරුද්ධ බුන්ඩිකාගේ සටන එහි මුලාශ්‍රයයි.

4.යුද්ධය, උදාරත්වය, නිර්භීත්වය, ප්‍රෞත්වය සිංහගෙන් නිරූපණය වනබව පිළිගනී - හිට්ලර්ගේ නාසී හමුදාවේ ප්‍රධානියාවූ ගොරින්  සිංහයා සමග ඇති ඡයා රූපයක්.

5. William Strutt ගේ Peace (1896) සාමය සහජීවනය - නව දේශයක් පිළිබද බලාපොරොත්තුව.

Friday, 8 January 2016

ජනවාරි 8 - රට මෙතැනින් කොතැනටද ?


මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් අද වනවිට කොළඹ-නුවර අධිවේගී  මාර්ගය හෝ කොළඹ-යාපනය අධිවේගී මාර්ගය ඉදිවීමට හෝ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝවීමට හෝ  තිබුණි. ඇතැම්විට නෙලුම් කුළුණ හෝ port-city ව්‍යාපෘතියේ  පලමු අදියර හෝ වෙනත් කුමන හෝ මහා පරිමාණ ව්‍යාපෘතියක්  අතිඋත්කර්ෂවත් ලෙස අද වීවෘත කරනු ඇත. සංවර්ධනය යනු එය නම්, රටේ සතයක් නැතිවුවත්, 'චී+ණය' යෙන් ගිනිපොලියට ගෙන හෝ ඔහු ඒ කටයුතු කරනු ඇත. මන්දයත්, එම ව්‍යාපෘති අවසන්වූ සැනින් රට සංවර්ධන වී, රටේ ආදායම් වැඩිවී, ණය මෙන්ම පොළියද ගෙවීම එතරම් අපහසු නොවන බව ඔහු මෙන්ම ඉර-හද-තාරකාවල පිහිටීම අනුව රටේ අනාගතය ගැන කියන ජෝතීර්වේදීන් ද කියන බැවිනි. එසේවූයේ නම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටින බැවින් උතුරේ කොටියෙක් තියා දකුණේ 'සිංහ+ලේ' කුගේවත් පෝස්ටරයක් දැකිමට නොහැකිවනු ඇත. 'රාජ්‍ය සංවර්ධන උපායමාර්ග පිළිබද විශේෂඥයෙක්' ලෙස ජාතික මාධ්‍ය උදේ සවස තෙපලූ බැසිල් රාජපක්ෂ, සෑම ආණ්ඩුපක්ෂ අපේක්ෂකයෙකුටම, ඔවුන් රැස්කල කොමිස් මුදල්වලින් හෝ, අඩුම තරමින් රුපියල් මිලියනයක්වත් ගෙදරටම ගෙනත් දී සෑම මැතිවරණයක්ම පහසුවෙන් ජයගන්නා හැටි ඔප්පුකර පෙන්වනු ඇත. මහින්ද රාජපක්ෂගෙන් පසු නාමල් රාජපක්ෂද, යෝෂිත, ශෂි, රෝහිත ඇතුළු මෙකි නොකී රාජපක්ෂලා රාශියක්වුයෙන් ක්‍රීඩාවේ සිට දේශපාලනය දක්වා වූ සියළු ක්ෂේත්‍ර කිසිදු හාවක්-හුවක් නැතිව දැති රෝදයේ දැති කැරකෙන සේ ඔහේ ක්‍රියාත්මකවීමට තිබුණි. 

එහෙත් ඉකුත් වසරේ (2015) ජනවාරි 08 වෙනිදාවෙනවිට එසේ දැති රෝදයේ දැති කැරකෙනසේ, දෙන දෙයක් කා වෙනදෙයක් දිහා, ඔහේ බලාසිටීමට කැමතිවුයේ රටේ චන්දදායකයන්ගෙන් 47.58%  පමණි.  බහුතරයක් වූ  51.28%  හෙවත් 6,217,162  වූ  ශ්‍රී ලාංකික චන්දදායකයන් එසේ මහින්ද රාජපක්ෂ පාලනය නම් වූ දැති රෝදයේ දැත්තක් නොවී පුරවැසියන්සේ ක්‍රියාකිරීමට සිතා සිය චන්දය භාවිතා කළ හෙයින්  මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රජයක් නිර්මාණය විය. එය දුෂණයට, භීෂණයට, පවුල් පාලනයට, ඥති-මිත්‍ර සංග්‍රහයට, අවනීතියට එරෙහිව වඩා යහපත් පරමාදර්ශ වෙනුවෙන් වූ ශ්‍රී ලාංකීකයන්ගේ පෙළගැස්මක් මිස හුදු මහින්ද විරෝධයක් ලෙස ලඝුකරගන්නේ නම් එය වසර 2500යක අඛන්ඩ ඉතිහාසයක් හා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අගය ගැන නිතර සාකච්ඡා කරන ජාතියකට කරන අවමානයකි. 

ඇත්තවශයෙන්ම, බොහොමයක් ශ්‍රී ලාංකීකයන්  වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්, ආකල්මය වශයෙන් වඩා දියුණු, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් ඇති, ජනතාවක්යැයි යන්න මෙරට ගැන අධ්‍යනයකල විදේශකයන් කිහිපදෙනෙකුම ලියා ඇත. ඒ අතරින්  ශ්‍රී ලංකාව පුර්ණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිතකිරීමට සුදුසු මට්ටමක පවතින්නේ යැයි සෝල්බරි කොමිසම සිදුකල  නිර්දේශ වඩාත් වැදගත්ය. එම  කොමිසමේ නිර්දේශවලට අනුව පමණක් නොව එම නිර්දේශ සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවත්වාඇති විවාදයේදීද පිළිගැනීමට ලක්වී ඇත්තේ  ශ්‍රී ලංකාව සර්වජන චන්දබලයෙන් තේරීපත්වන  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍ය තරම් පරිනතභාවයකින් (politically mature enough) යුතු ජාතියක් බවයි (Henry Pelling, (1984), The Labour Governments 1945–51, Macmillan: London, p. 153–154). එමෙන්ම Cliffrod  Geertz (1963) සිය 'Old society and the New State: The quest for Modernity in Asia and Africa' කෘතියේ දක්වනුයේ ද ශ්‍රී ලංකාව පශ්චාත්-යටත්විජිත යුගයේදී ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් වඩාත් සාර්ථකවිය හැකි රාජ්‍යයක් බවයි (one of the new democratic state that could succeed in the post-colonial period). 

ඉකුත් ජනවාරි 08 වෙනිදා මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සදහා වූ මහජන පෙළගැස්ම සාක්ෂි දරන්නේද ඉහත සෝල්බරි කොමිසමේ සහ Cliffrod  Geertz වැනි විද්‍යාර්ථයින් ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් වූ තක්සේරුව නැවත නැවතත් නිවැරදි බවය. මුලික වශයෙන්ම, මහින්ද රාජපක්ෂ පාලනය මුලික වශයෙන් අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression) පදනම කරගත් පාලන ක්‍රමයක් බව පැහැදිලිය. පොදුවේ අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression)  අදහස් එකක් ලෙස සලකා ලංකාවේ බොහෝ දෙනෙක් ලියනබව පෙනේ. සංකල්පීය වශයෙන් එකිනෙකට සම්බන්දවුවත් දේශපාලන න්‍යාය/දර්ශනය(political theory/Political philosophy) තුල අධිකාරීත්වය(Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය(oppression) යන්නට වෙනවෙනම අර්ථ දැක්වීම් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනයටම අදාලකර මෙම කරුණු සාකච්ඡා කළහොත් විධායක ජනාධිපතිධූරයෙන්ම ඔහුට හිමිවූ ව්‍යස්ථාපිත දේශපාලන අධිකාරීත්වය(Authority)   අමතරව, මැක්ස් වෙබර්ගේ (Max Weber) ගේ අර්ථය තුල, ඔහු පුද්ගල පෞරුෂය (Charismatic/ Charismatic authority) මත ගොඩනැගුණු අධිකාරීත්වයක්ද පැතිරවූ සර්වබලධාරී 'මහා රජාණන්' (almighty ruler) කෙනෙකුවිය. එම අධිකාරීත්වය (Authority) පවත්වාගෙනයාමට ඔහු පැතිරවූ ආධිපත්‍ය (Hegemony) රැදී තිබුනේ සිංහල සංස්කෘතික, ඉතිහාස සහ සිංහල බෞද්ධ පදනම් තුල ගොඩනැන්වූ මතවාදයන් තුලය. ඒ අනුව 'දියසේන කුමාරයා', 'දුටු ගැමුණු', 'ශ්‍රී වික්‍රමද්වීප ජෝති', 'ශ්‍රී රෝහණ ජනරංජන', 'රට ජාතිය මුදාගත් පාලකයා', 'ලංකාව අවසාන වශයෙන් එක්සත් කල නායකයා', 'චිරස්ථිතියේ ආරක්ෂකයා', ආදී සියල්ල මහින්ද රාජපක්ෂ පාලනයේ ආධිපත්‍ය (Hegemony) පිළිබද ප්‍රකාශනයන්ය, සේවාදායකයන්ය. එම ආධිපත්‍යයේ (Hegemony) පදනම කෙතරම් ශක්තිමත්දයත් ගැමියන්, බයියන්, පමණක් නොව කලාකරුවන්  පවා 'ගහලා හෝ බලය ගැනීමට' තරම්  යෝජනා කරන, මරාගෙන මැරෙන සටන්කරුවන් බෝකරන, මොළ-හෝදකයන්ය. මහින්ද රාජපක්ෂ පාලනයේ  ආධිපත්‍යයට සහ  අධිකාරීත්වයට විරුද්ධවන්නන්ට එරෙහිව දියත්වන  මර්ධනය (oppression)  කුමක්දැයි යන්න තේරුම් කරගැනීමට එතරම් අපහසු නොවේ. එහෙත් එය සෑමවිටම ප්‍රචන්ඩත්වය, සුදුවෑන් සහ කෘරත්වය මතම දියත්වූවක් නොවේ. මාධ්‍ය යොදාගනිමින් සාපරාධී අපහාසයන්, මඩ සහ සාවද්‍ය ප්‍රචාරයන් මගින් විරුධවාදීන් නිහඩ කිරීමේ සිට වරදාන සහ වරප්‍රසාද මගින් විරුද්ධවාදීන් අවශෝෂණය කරගැනීමද එම  මර්ධනයේම (oppression) වෙනත් මුහුණුවරය. 

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දියත්වුයේ කුමනාකාරයේ පාලනයක්දැයි තේරුම් ගැනීමට, චිරාත්කාලයක් තිස්සේ  වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්, වඩා දියුණු ශිෂ්ටාචාරයක උරුමකරුවන්වූ ශ්‍රී ලාංකීකයන්ට අපහසු කරුණක් නොවිනි. අධිකාරීත්වය (Authority)ට, ආධිපත්‍ය (Hegemony)ට සහ මර්ධනය (oppression)ට එරෙහි දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය බව අවබෝධකරගැනීමට, එය වටා ගොනුවීමට ශ්‍රී ලාංකීකයන් (1947 දී සෝල්බරි කොමිසම තක්සේරුකල ලෙසම)   දේශපාලන පරිනතභාවයකින් (politically mature) යුක්ත බව නැවතවතාවක් ඔප්පුකර පෙන්වු හෙයින් මහින්ද රාජපක්ෂ පාලනය පරාජයවිය.  එය එක්තරා ආකාරයකින් කාල් පොපර් (Karl Popper) ගේ 'ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සහ  දුෂ්ට පාලකයා (Tyranny)  අතර ඇතිවන ඝට්ටනය කෙසේවිය හැකිද යන්න සනිටුහන් කරයි. (Dissenters in democracies should also become free to opt out from under democratically run territorialism, with its inherently compulsory collectivism or even tyranny, even territorialist totalitarianism as its foundation..... I personally call the type of government which can be removed without violence "democracy," and the other, "tyranny.".....– Karl Popper ('Freedom: A New Analysis' (1954) by Maurice William Cranston, pp. 112)

මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ ක්‍රියාදාමය සම්බන්දයෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ විග්‍රහය වූ "අඩු තීව්‍රතාවයක් ඇති විප්ලවයක්" යැයි යන්න ගොඩනැගුනේ ඉහත කාල් පොපර් (Karl Popper)ගේ අර්ථදැක්වීම මතවිය යුතුය. විශේෂ්යෙන්ම කාල් පොපර්(Karl Popper)ගේ 'Essentialism and the Organic State' යන සාකච්ඡාවන්ගේ මතුව එන අදහස් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බොහෝ අළුත් රචනාවල දැකිය හැක්කකි, 

කෙසේවුවද, මා මීට කලින් 'සමබිම'ට ලියා ඇති පරිදි ශ්‍රී ලංකාව තුල යුක්තිය සහ සාදාරණත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය  නොවී, ඒ වෙනුවට අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය(Hegemony) සහ මර්ධනය(oppression) (අඩු-වැඩිව හෝ නොඅඩුව පවතින) 'බහුතරයේ' පාලනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථගැන්වීම තුල යහපත් සහ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස වර්ධනයවීමට ශ්‍රී ලංකාවට මුලසිටම නොහැකිවිය.  
චම්පික රණවක මහතාට අනුව නම් නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම පාලකයාවූ D.S. සේනානායකගේ රජය පවා Corporate Nationalism සහ Corporate Capitalism මත පදනම්වූ බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) තුල ගොඩනැන්වූ පාලනයක්ය. එහෙත් එය බහුතර ජනවර්ගයාගේ වර්ගීක අනන්‍යතාවය මුල්කගත් අධිකාරීත්වය (Authority) මත ගොඩනැගුවක් නොවේ. එවැන්නක් ගොඩනැගීමට මුලපුරන්නේ S.W.R.D බණ්ඩාරනායකගේ '1956  විප්ලවය' ය. D.S. සේනානායකගේ පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාවේ රාජ්‍ය පිළිබද දැක්ම Corporate Nationalism සහ Corporate Capitalism නම්, S.W.R.D බණ්ඩාරනායකගේ රාජ්‍ය පිළිබද දැක්ම බහුතර ජනවර්ගයාගේ වර්ගීක අනන්‍යතාවයවූ සිංහල-බෞද්ධ අධිකාරීත්වය (Authority)  මත පිහිටවූ Ethno-Nationalistic (වාර්ගීක-ජාතිකත්ව මුල්කරගත්) රාජ්‍යකි. එහෙත් ජයදේව උයන්ගොඩගේ (2010) ගේ  විග්‍රහයට අනුවනම් එවැනි බහුතර ජනවර්ගයාගේ වාර්ගීක අනන්‍යතාවය මත පදනම්වු සිංහල-බෞද්ධ අධිකාරීත්වය (Authority) සහිත රාජ්‍යක් (Sinhala Buddhist Ethnic-Majoritarian Rule) ගොඩනැගෙනුයේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය බිහිවීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කල 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බිහිවීමත්  සමගය (The United Front Regime of 1970 and the Post-Colonial State of Sri Lanka,” in Tissa Jayatilaka, (Ed.), 2010, 'Sirimavo: Honouring the World’s First Prime Minister', Colombo, pp.31-45). එනයින්, සිරිමා බණ්ඩාරනායකගේ  රජයට බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) දිනා ගැනීමට හොද නැබුරුවක් තිබුණි.  එහෙත් 1971 කැරැල්ල ඇතිකළ සමාජ කම්පනය, සංවෘර්ත ආර්ථික ප්‍රතිපත්තිය තුල ජනයා පීඩාවට පත්වීම සහ J.R ජයවර්ධනගේ විපක්ෂ ක්‍රියාකාරිත්වය තුලද බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) දිනාගත් සිරිමා බණ්ඩාරනායකගේ රජයට 
බහුතරයේ අධිකාරීත්වය (Authority) දිනාගැනීමට නොහැකිවිය. 

ඉන් අනතුරුව 1977 බලයට පැමිණි J.R ජයවර්ධනගේ රජය එතෙක් (චම්පික රණවකගේ අර්ථ දැක්වීමට අනුව) එක්සත් ජාතික පක්ෂය (UNP) අනුගමනය කලායැයි දක්වන සම්ප්‍රදායක Corporate Nationalism සහ Corporate Capitalism අත්හැර දමා වීවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙතට ගමන් කරන ලදී.  J.R ජයවර්ධනට හයෙන් පහක (5/6) බලයක තුලින් මෙන්ම 1977 විධායක ජනාධිපතිධුරය සහිත නව ව්‍යවස්ථාව මගින්ද රට තුල දේශපාලන අධිකාරීත්වය (Authority) ක් පසුවෙන්ම ගොඩනගා ගැනීමට හැකිවිය. එහෙත්,  ඔහුට හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ ප්‍රේමදාස, විජේතුංග හෝ චන්ද්‍රිකා ආදී කිසිවෙකුට ලාංකීය ජනසමාජය තුල අධිකාරීත්වය (Authority)ක්  මිස ආධිපත්‍ය (Hegemony)ක් ගොඩනගා ගැනීමට නම් නොහැකිවිය. හිලා ඔව්හු නොකළ දෙයක් නොමැත. J.R ජයවර්ධන සිංහල බෞද්ධ පදනම් සිහිකරමින් පොත්ද ලීයුහ. කැළණි විහාරයේ භාරකාරයෙක් වශයෙන් කටයුතු කරමින් තමන් ශාසනයේ ආරක්ෂකයා බව සපථ කලේය. දුටුගැමුණු රජගේ භස්මාවශේෂ රැගත් රථයක්  පිරිත් කියමින් රටපුරාම විදි සංචාරයට පිටත් කලෙය. මහාවංශය සහ චුලවංශය ලිවීම නැවත ඇරබීය. ජනාධිපති ප්‍රේමදාසද කිසිදු පන්සලක් අත්නැහැරීය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගද යනතමින් හෝ ඔය සියල්ලම කළහ. එහෙත් ඒ කිසිවෙකුට ව්‍යවස්ථාපිතව සහ සිය පුද්ගල පෞරුෂයන් මත ගොඩනගාගත් අධිකාරීත්වයක් (Authority) මිස ආධිපත්‍යක් (Hegemony) නම් ගොඩනගා ගැනීමට නොහැකිවිය. තවද ඔවුනට ව්‍යවස්ථාපිතව හිමිවූ අධිකාරීත්වය (Authority) පවත්වා ගෙනයාමට පවා මර්ධනය (oppression) නොයොදවාම බැරි තත්වයක් වාමාංශිකයන්ගෙන් මෙන්ම, බෙදී වෙන්වීයාම වෙනුවෙන් සටන්කල දෙමළ සටන්කාමීන්ගෙන්ද එල්ලවිය. උද්ගතවූ තත්වය තුල යන්තම් හෝ  සිය දේශපාලන අධිකාරීත්වය (Authority) රැකගැනීමට හෝ  ආධිපත්‍ය (Hegemony) සදහා ඉව ඇල්ලීමට හෝ එම පාලනතන්ත්‍රයන් කලේ වාමාංශිකයන්ට හෝ දෙමළ සටන්කාමීන්ට හෝ එරෙහිව මර්ධනය (oppression) දියත්කිරීමය. 

කලින් සදහන් කල ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ  අධිකාරීත්වය (Authority)ත්, ආධිපත්‍ය (Hegemony)ත්, සහ මර්ධනයත් (oppression)  එකවර, එකවිට භුක්තිවිදි මෙන්ම විදහාලූ එකම පාලකයාවුයේ මහින්ද රාජපක්ෂ මහතාය. ව්‍යස්ථාපිතවත්, සිය පුද්ගල පෞරුෂය (Charismatic/ Charismatic authority) තුලත් ඔහු හිමිකරගත් අධිකාරීත්වය (Authority)  යුද්ධ ජයග්‍රහණයත් සමග මහා ආධිපත්‍ය (Hegemony)යක් සහිත සර්වබලධාරී 'මහා රජාණන්' (almighty ruler) කෙනෙකු බවට සිංහල සමාජය තුල ඔහුව ඔසවා තබන ලදී.  එහෙත් ඔහුටද පරාජය හිමිවිය. ලක් ඉතිහාසයේ ප්‍රථමවරට ජනාධිපතිවරණයකින් පරාජයට පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඔහුව ඉතිහාසය තුල ඉහල සිට පහලටම ඇද දමන ලදී.  

එය, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දියත්වුයේ කුමනාකාර පාලනයක් දැයි තේරුම්ගත්චිරාත්කාලයක් තිස්සේ ගොඩනැගුන වඩා යහපත් පරමාදර්ශයන් පෙරටුකරගත්, ආකල්පමය වශයෙන් වඩා දියුණු,  ශ්‍රී ලාංකීකයන් පිරිසක් රටට උරුම කරදුන් ජයග්‍රහණයක්ය. රටේ චන්දදායකයන්ගෙන් වැඩි පිරිසක් වූ එම පිරිස  මහින්ද රාජපක්ෂ පාලනය පදනම්වූ අධිකාරීත්වය(Authority)ට, ආධිපත්‍ය(Hegemony)ට සහ මර්ධනය(oppression)ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිසරණ ගිය පිරිසක්ය. සිය ප්‍රධාන දේශපාලන අස්ථානය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස තෝරාගත් පිරිසක්ය. උතුරේ දෙමළ ජනයාගේ මෙන්ම දකුණේ සිංහල ජනයාගේ ප්‍රශ්නවලටද අවසාන විසදුම යුද්ධ සහ  (සමූල) ඝාතනය නොවන බව, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළදගැනීමේ හේතුවෙන්ම අවබෝධකරගත් පිරිසක්ය. යුද්ධය අවසන් විසදුම ලෙස සිතා රාජපක්ෂ පාලනය කටයුතු කිරීම තුල, මෙතෙක් තමන් ජාතියක් සහ ජනතාවක් ලෙස ගොඩනැන්වූ වඩා යහපත් පරමාදර්ශයන්ට, වඩා දියුණු  ආකල්පයනට, සුවිශේෂී ශිෂ්ටාචාරයට, විශාල කැලලක් සිදුවුබව දන්නා එම ජනයාව දිනාගැනීමට රාජපක්ෂ පාලනය කෙතරම්  තීව්‍ර ලෙස යුද්ධ ජයග්‍රහණය සහ සංවර්ධන ප්‍රවෘත්ති ඉස්මතු කලද කිසිසේත්ම නොහැකිවිය. 

ජනවාරී 8 සමරනුයේ, පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකා ඉතිහාසයේ,  අධිකාරීත්වය (Authority)ත්, ආධිපත්‍ය (Hegemony)ත් මෙන්ම මර්ධනය (oppression)ත්  යන තුනම එකවර හිමිකරගත් පාලකයා වූ මහින්ද රාජපක්ෂ පාලනයට පරාජය ගෙනදුන් ශ්‍රී ලාංකීය සමාජයේ වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්,  ප්‍රජාතන්ත්‍රවාදය සිය මුලික දේශපාලන සිද්ධාන්තය ලෙස අවබෝධය කරගත් ශ්‍රී ලාංකීකයන්ගේ ජයග්‍රහණය. අනෙක් අතට, ජනවාරී 8 සනිටුහන් කරනුයේ රටේ චන්ද දායකයන්ගෙන් වැඩිදෙනෙකුගේ දේශපාලන අභිලාෂයන් චිරාත්කාලයක පටන් සකස්වී ඇත්තේ අධිකාරීත්වයට, ආධිපත්‍යට සහ මර්ධනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාද පිළිබද වූ නැබුරුවකින් යුතුව බවය. 

එහෙත්, නැවත වතාවක්, යුක්තිය සහ සාදාරනත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය නොවී  බහුතර ජනවර්ගයාගේ  අධිකාරීත්වයත්, ආධිපත්‍යත්, මර්ධනයත්  ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ශ්‍රී ලංකාව තුල  නැවත හිස ඉසවුවහොත් හෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන්  එම මාර්ගය තෝරාගතහොත් ඔහුට අත්වන ඉරණම මහින්ද රාජපක්ෂ පාලනයට අත්වූ ඉරණමට වඩා විකාර රූපී වනු ඇත. යම් සීමාවක් තුල, ව්‍යවස්ථාව මගින් පවරා ඇති අධිකාරීත්වය(Authority) හැර, ඉන් එහා ගිය ධිකාරීත්වය(Authority)ක්වත්, ආධිපත්‍ය (Hegemony)ක්වත් හිමිකර ගැනීමට නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිවරයාට නොහැකි බව ඉදුරාම කිව හැක. මර්ධනයෙන් (oppression) නම් ඒ කිසිම සිහිනයක් ඔහුට  සැබැකරගත  නොහැක. 

මෙයට වෙනස් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව මානයකින් 'ලෙච්චවී රජදරුවන්ගේ පාලනය' ගැන කථා කරන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන්ද ඇසිය යුත්තේ එම පාලන ක්‍රමය  ක්‍රියාත්මකකිරීමට අවශ්‍ය කරන්නේ ජෝර්ජ් සරෝස්ලා මුල්කරගත්, සිංගප්පූරු මාදිලියේ අත්තනෝමතික ධනවාදී පාලනයක් ද ? නැතහොත් අඩුම වශයෙන් ස්වීඩන් පන්නයේ සුබසාදන ධනවාදයක් ද ? යන්නය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
01/08/2016.