This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 29 April 2026

එන්න, අනිත්‍ය බටහිරයෙක් සේ විඳගන්න.

බටහිරට අනිත්‍යය අදාල නෑ. බටහිරයන් අනිත්‍යය මෙනෙහි කරන්නෙත් නෑ. ආගම් දර්ශන ලෙස ගොඩනැගිලා අනිත්‍ය ගැන මහා විශාල කියවීමක් ඉදිරිපත් කරන්නෙත් නෑ. ඒ අයට, ඒ අය ජීවත්වන පරිසරය විසින්ම අනිත්‍ය මෙනෙහි කරවනවා. ඇතිවීම නැතිවීම කියා දෙනවා. පැවැත්මේ පදනම ගැන දිනපතා සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. හරියට මේ චෙරි මල් වගේ.

මේ චෙරි මල් පිපෙන්නේ ශීත කාලය අවසානයේ වසන්තයේ පළමු හිරු රැස් පොළොව මත පතිත වෙද්දීමයි. බොහෝ ගස්වල කොළ පැහැති පත්‍ර මතුවෙන්නටත් පෙරයි මේ චෙරි මල් විකසිත වෙන්නේ. හමේ පැහැයට හුරු සුදු රෝස වර්ණයෙන් පිපෙන අලංකාර රෝස චෙරි මල්වල සිනිදු, ලැපැති රෝස පෙති සිහිල් සුළං රැල්ලකින් පවා පොකුරෙන් නිදහස්ව ඉගිලී ගිලිහී යනවා. සැඩ සුළගේ හෝ මද පවනේ ඔහේ ඇදී යන එම රෝස චෙරි පෙතිවලින් සමහරක් පාරට වැටී, කුණු දැල් මත වුවත් රමණීය දසුනක්ව ඇස් නිලංකාර කරනවා. ඒත් ටික කලකින් පරවී, හැකිලී, පැකිලී, පයට පෑගී, අඳුරුවී, කෙදිරිල්ලක්වත් නැතිව, කොහේ ගියාදැයි හොයාගන්නටවත් නැති තරමට ඒ මෘදු පෙති පවා අතුරුදහන් වෙලා යනවා.

පෙති එසේ විසිර ගියත් චෙරි ගසේ රතුම රතු පාටට ගෙඩි හට ගන්නවා. කොහේවත් නොහිටි කුරුළු රෑන් පිටින් පැමිණ එහි ඵල භුක්ති විඳිනවා. රසාලිප්ත කළ චෙරිකාරක අමෘතය මෙන් භෝජන සංග්‍රහ රස ගල්වනවා. මදය ඉවත් වූ ඇට කොහේ හෝ වැටෙනවා; වැටී ඔහේ පැලවෙනවා. ඊළඟට උදාවෙන ග්‍රීෂ්මයේදී මලුත්, ගෙඩිත් නැති චෙරි ගස් ගිනිකාස්ථක අව්වට සිසිල දෙන තවත් එක් සෙවන සලසන වෘක්ෂයක් පමණක් බවට පත්වෙනවා. ශ්‍රීෂ්මය ගෙවී එළඹෙන සරත් සමයේදී චෙරි ගසේ කොළ මල් වෙනවා. නේක වර්ණ පැහැයෙන් පාට වූ පත්‍ර සරතේ මනරම බෙදාහදා ගන්නවා. එහෙත් වැඩි කාලයක් එසේවත් පවතින්න බැරි වෙනවා. ශීත කාලයේ මුල්ම සිත සුළඟෙන්ම කොළ වැටී යනවා. කඳ පමණක් මළ කඳක්ව ඉතුරු වෙනවා. එහෙත් ශීත සමය අවසන්ව පොළොව සිඹගන්නා පළමු උණුසුම් හිරු රැසින්ම ඒ මළ කඳන් පණ ගැල්වෙනවා. ගහකොළ අතු විහිදා දලු-කොළ-මල් පුබුදනවා. යළිත් වසන්තය උදාවෙනවා.

ඉතින් බටහිරයන්ට ඇතිවීම, නැතිවීම, නැවත ඇතිවීම, අනිත්‍යය ගැන අලුතෙන් පසක් කර දෙන්න දෙයක් නැහැ. ඒ අයගේ ස්වභාව සත්තාවම, අවට පරිසරයම, එය ඔවුන්ට නැවත නැවතත් පසක් කර දෙනවා. අලුතින් උගන්වන දෙයක් නෑ. ඒ අයට ඇතිවීම, නැතිවීම, අනිත්‍යය, නැවත ඇතිවීම අවට පරිසරය විසින් සිය ජීවිත කාලය පුරාම නිරන්තරයෙන් පසක් කරලා දෙනවා.

ඇත්තටම අනිත්‍යය, ඇතිවීම නැතිවීම පිළිබඳව කියාදෙන්න ඕනෑ වුණේ ආසියාවට. විශේෂයෙන්ම සදාහරිත වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ, හැමදාම එක පාට- ඒ කොළ පාට - පරිසරයක ජීවත්වූ, හැමදාම ගහකොළ පලතුරු අඩුවක් නැතිව හට ගන්නා, ඉන් සෑහී පිනවී සැනසිලිදායක ජීවන රටාවක ජීවත් වූ අපි වගේ රටවල මිනිසුන්ට තමයි අනිත්‍යය පිළිබඳව පසක් කර දෙන්න වුණේ. ඒ නිසාම තමයි ආගම් දර්ශන ලෙස ගොඩනැගිලා අනිත්‍ය ගැන මහා විශාල කියවීමක් මේ කලාපවල ඉදිරිපත් වෙන්නේ.

බටහිරට අනිත්‍ය එහෙම අමුතුවෙන්ම පසක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ අය ඒය දිගින් දිගටම, තමන්ගේ ජීවිත කාලය පුරාම, කාලාන්තරයක් තිස්සේ අත් දැක, පසක් කරගත් සත්‍යයක්. සියල්ල අනිත්‍යය, සියල්ල වෙනස් වෙනවා ය, ඇතිවීම, නැතිවීම, නැවත නැවත එකම චක්‍රයක් තුළ ගමන් කරනවා ය යන්න ඒ අයට අලුත් ධර්මයක්වත් අලුත් දාර්ශනික පදනමක්වත් නෙමේ.

ඒ අයට අවශ්‍ය වුණේ කොහොමද හරියටම මෙහෙම වෙන්නේ යන්න හොයාගන්න, ඒ ගැන දැනගන්න ක්‍රමයක්, ඉගැන්වීමක්, දාර්ශනික පරිකල්පනයක්. ඒ අයට අවශ්‍ය වුණේ ඒ අය දිනපතා තේරුම් ගන්නා සදාතනික සත්‍යය, සියල්ල හරි කලට, කිසියම් වූ එකීය ක්‍රමයක් හා විදිහක් තුළ සිදුවීම, අවබෝධ කරගන්න ඉගැන්වීමක්. ලෝකය පාලනය කරන සර්වබලධාරි එකම දෙවිකෙනෙක් පිළිබඳ, සියල්ල එම දෙවියන්ගේ මැවීමක් ය, උන්වහන්සේගෙන් තොර ආරම්භයකවත් අවසානයක්වත් නැති බව, සියල්ල සර්වබලධාරි දෙවියන්වහන්සේගේ නිර්මිතයක් ය යන්න ඔවුන් තුළ තහවුරු වෙන්නේ ඔවුන් පසක් කරගත් ඇතිවීම, නැතිවීම, නැවත ඇතිවීම - අනිත්‍ය - පිටිපස ඇති මහා ජීව ගුණය හොයා යෑමේ පෙළඹීම තුළයි.

ගහකොළ හා අවට පරිසරය තුළින්ම අනිත්‍ය ජීවිත කාලය පුරාම අත්දකින ඔවුන්ට, ලෝකය පාලනය කරන, සියල්ල මවා වදාළ, සියල්ල කලට වෙලාවට ලබා දෙන, සියල්ලම ඉටු කරන සර්වබලධාරි දෙවි කෙනෙක් පිළිබඳ අදහස, අනිත්‍යයට වඩා ඒ අයට ගැඹුරුයි, බරපතලයි.

සර්වබලධාරි එකම දෙවි කෙනෙක් පිළිබඳ අදහස බටහිර තුළ වඩාත් තහවුරු වෙන්නේ වයිකින්වරුන්ගෙන්වත්, ග්‍රීක-රෝම දේව කතා වලින්වත් නෙමෙයි, යුදෙව් ජනතාව ඔස්සේයි. යුදෙව් ජනයාගේ චින්තයේ පදනම සර්වබලධාරි දෙවිකෙනෙක් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය යැයි බටහිරට මුලින්ම කියා දුන්නේත් ග්‍රීකයින්ම (Philo of Alexandria) යි. ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දීත් යුදෙව් ජනයා බටහිර විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වුණත්, යුදෙව් ජනයාවත්, යුදෙව් චින්තනවත් කවදාවත් බටහිරට ආකර්ෂණීය වුණේ නෑ. ඒ අයට යුදෙව් ජීවන රටාව තුළ තිබූ එක්රැස් කිරීම පිළිබඳ ආශාව, ඒවා ආයෝජනය කර නැවත නැවත තම ගොඩ තරකර ගැනීමේ යුදෙව් ආශාව - සියල්ල ඇති නැතිවෙන අනිත්‍යය තුළ ජීවත්වූ බටහිරයන්ට - යුදෙව් දේව පදනම ආකර්ෂණීය වුණේ නෑ.

එහෙත් බටහිරට ක්‍රිස්තියානි ධර්මය පැමිණීමත් සමඟ, සර්වබලධාරි දෙවි කෙනෙක් පිළිබඳ, මැවුම්කරුවෙක් පිළිබඳ, පව් කමාව දෙන, ගැලවීම පිළිබඳ, ප්‍රේමය පිළිබඳ උගන්වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අදහස වේගයෙන් මුල් බැස ගත්තා පමණක් නොවේ; සියල්ල නිසි කලට හරියටම සිදුවන්නේ කෙසේ ද යන්න දැනගැනීමට බටහිරයන් තුල තිබූ කුතුහලයට නිශ්චිත පිළිතුරක් ලැබුණා.

ඉන් එහාට අනිත්‍යය පිළිබඳ අදහස බටහිරයන් අතර මතු කළේ සාහිත්‍යකරුවන්. විශේෂයෙන් විලියම් වර්ඩ්ස්වර්ත්ලා (William Wordsworth), ජෝන් කීට්ස්ලා (John Keats) වැනි කවීන්. ජෝන් කීට්ස්ගේ නයිටිංගේල් (Ode to a Nightingale) වැනි කවි, වර්ඩ්ස්වර්ත්ගෙන් පසුව ගොඩනැගෙන බටහිර සාහිත්‍යය ඔස්සේ නැවත අනිත්‍යය (Impermanence) පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුවෙන්න පටන් ගත්තා. ඊළඟට ඒවට දාර්ශනික පදනම් හැදෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම නීට්ශේ (Friedrich Nietzsche) ගේ ඉගැන්වීම් (everlasting coming-to-be) ඔස්සේ බටහිර ගොඩනැගෙන දාර්ශනික විමසම් නැවතත් බ්ලූම්ස්බරි කණ්ඩායම (Bloomsbury Group) වැනි සාහිත්‍ය සංසද තුලින්ම ප්‍රතිනිර්මාණය වෙන්න ගත්තා. බ්ලූම්ස්බරි කණ්ඩායම මතක් වුණාම අපට ලංකාවේ “බැද්දේගම” (The Village in the Jungle) ලියූ Leonard Woolf ව, එයාගේ බිරිඳ Virginia Woolf ආදීන් ව මතක් වෙනවා. එ අයත් බ්ලූම්ස්බරි කණ්ඩායමේ හිටපු අය. විශේෂයෙන්ම Leonard Woolf ආදීන්ට ලංකාවේ බුදු දහම ඇසුරින්ම අනිත්‍ය පිළිබඳ හදාරන්න අවස්ථාවක් උදාවූ අය.

එහෙත් වර්ඩ්ස්වර්ත්ලාගේ, ජෝන් කීට්ස්ලාගේ, නීට්ශේලාගේ පමණක් නොමෙයි Leonard Woolfලාගේ, බ්ලූම්ස්බරි කණ්ඩායමේ පවා අනිත්‍යය ගැන තේරුම් ගැනීම් බලන්න, ඒවා අපේ බුද්ධාගමෙන් කියන ආශාව නැතිකර ගැනීමේ අනිත්‍ය පිළිබඳ පසක් කරගැනීම්ම නොමෙයි. අනිත්‍යය වෙනස්ම විදිහකට හොයාගෙන යෑමක්, වෙනත් කියවීමක්.

මට හිතෙන්නේ ඒ අය අනිත්‍ය දකින්නේත් එක්තරාකාරයක තවත් සුන්දරත්වයක් කියවීමේ මාර්ගයක් විදිහටයි; නැතිනම් සතුට, සැනසීම හොයාගෙන යන ක්‍රමයක් ලෙසයි. නැතිනම් බටහිරයන් සිය වටාපිටාව තුළ අත්විඳින ඇතිවීම, නැතිවීම, නැවත ඇතිවීම - අනිත්‍යය - එම මොහොතේ ජීවිතය විඳීමේ ප්‍රයෝජනවත් පදනමක් ලෙස අවබෝධ කරගැනීමයි.

මේ චෙරි මල් උනත් අපට පසක් කරන්නේ එයයි. එනම් ඇතිවීම නැතිවීම කෙසේ වෙතත්, අනිත්‍ය යථාව වුවත්, මේ මොහොතේ සුන්දරත්වය විඳගන්න - ජීවිතය යනු එවැන්නක් යැයි අවබෝධ කරගැනීමක්.

එන්න, බටහිරයෙක් සේ අනිත්‍ය විඳගන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/04/26

No comments:

Post a Comment