මම එම ප්‍රකාශය උපුටා දක්වන්නේ, මේ වනවිට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ සම්බන්ධ කරමින් හෝ ක්‍රිස්තුස් වහන්සේ සමඟ එකට සිටින ලෙස දැක්වන ජයාරූප මෙන්ම, ඔහු සහ පාප් වහන්සේ (Pope Leo XIV) අතර ඇතිවී ඇති පරස්පරතාවයන් තේරුම් ගැනීම සඳහා වූ ප්‍රවේශයක් ලෙසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප් වහන්සේ අතර ඇතිවී ඇති එම විසම්මුතිය තවදුරටත් තීව්‍ර කළේ ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් (J.D. Vance) විසිනි. ඔහු සඳහන් කළේ, ‘ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කිරීමේදී දේවධර්මය උපුටා දැක්වීමට පාප් වහන්සේ වඩාත් පරිස්සම් විය යුතුය’ ((Pope Leo XIV should “be careful” when he talks about theology, rebuking the pontiff over his criticisms of U.S. foreign policy) යන්නයි.
ඔහු (J.D. Vance) තවදුරටත් සඳහන් කළේ, ‘නාසීන්ගෙන් ප්‍රංශය මුදාගත් ඇමරිකානුවන්ගේ පැත්තේ දෙවියන් වහන්සේ සිටියේ නැද්ද? යුදෙව් සමූලඝාතන කඳවුරුවලින් අහිංසක ජනතාව නිදහස් කරගත් විට, ඔවුන්ගේ ජීවිත ගලවාගත් අවස්ථාවලදී දෙවියන් වහන්සේ ඇමරිකානුවන්ගේ පැත්තේ සිටියේ නැද්ද? මම විශ්වාස කරන්නේ පිළිතුර “ඔව්” (("Was God on the side of the Americans who liberated France from the Nazis? Was God on the side of the Americans who liberated Holocaust camps and liberated those, those innocent people, you know, those who had survived the Holocaust? I certainly think the answer is yes,") යන්න බවයි.
දෙවියන් අප සමඟය’, ‘දෙවියන් කෙරෙහි විශ්වාස කරමු’ (‘In God We Trust’) යන වාක්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආධිපත්‍යය කරා ගමන් කළ ඇමරිකානු දේශපාලනයේ කේන්ද්‍රීය පාඨය (motto) බවට පත්විය.
1957 සිට මෙම වාක්‍යය ඇමරිකානු මුදල් පත්‍රවල පවා මුද්‍රණය කිරීම මගින්, එය ඇමරිකාවේ ජාතික පදනමක් ලෙස සනාථ කිරීමට උත්සාහ කරන ලදී.
මෙම නිල පාඨය යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) අගයන් මත පදනම්ව ගොඩනැගුණු අතර, එය ඇමරිකානු ප්‍රචාරක ව්‍යාපෘති මගින් ප්‍රවර්ධනය කරන ‘better, richer, and fuller life’ (The American Dream) නම් ලෞකික ආර්ථික-සංස්කෘතික උපරිව්‍යුහයට (superstructure) යටින් පවතින දෘෂ්ටිවාදී පදනමක් හෙවත් අධෝව්‍යුහයක් (substructure) ලෙසද ක්‍රියා කළේය.
මෙම ක්‍රියාවලිය, ඇමරිකානු ක්‍රිස්තියානි සමාජ-දේශපාලන සන්දර්භය තුළ සංවර්ධනය වූ එකක් ලෙසද හඳුනාගත හැක.
මෙම දෘෂ්ටිවාදී පදනම තුළ, ලෝක ආධිපත්‍යය සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම්වලට දිව්‍යමය නීතිමයභාවයක් ඇති බව පමණක් නොමෙයි, යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) අගයන් මත පදනම්ව ගොඩනැගුණු ලෝක රටාවක් හා එයට අදාළ ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික ව්‍යුහයන් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉස්මතු කරනු ලැබුව
එම අනුව, අදේවවාදී වාමවාදී-කොමියුනිස්ට් ව්‍යාප්තියෙන්, ක්‍රිස්තියානි විරෝධී ඉස්ලාමීය ව්‍යාප්තවාදයෙන් වගේම, අනෙකුත් දේවවාදී හෝ අදේවවාදී (ඊනියා) මිත්‍යාදෘෂ්ටීක ප්‍රවණතාවලින් ලෝකය ආරක්ෂා කිරීමත්, එවැනි බලවේගවලට එරෙහිව සටන් කරන මිතුරන් සහ මිතුරු රාජ්‍යයන් ආරක්ෂා කිරීමත් ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස වර්ධනය වුනා.
ඩොනල්ඩ් ට්‍රම්ප් වර්තමානයේ නායකත්වය දෙන දේශපාල කදවුර පෙනී සිටින Make America Great Again’ (MAGA) ව්‍යාපාරයේ තේමාව වුයේ ද ඉහත ක්‍රියාවලිය සම්බන්ධයෙන් නායකත්වය දීමෙහිලා ඇමැරිකාව මෑතකාලීනව දුර්වල වූ බවයි
එහිලා ඇමැරිකාව නැවැතත් නගා සිට විය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සදහා තෝරාගත්”, “අභිෂේක කළ” නායකයෙකු (Trump as "anointed"/chosen by God) බවත් ඔහුගේ අනුගාමිකයින් ඔහුව ප්‍රවර්ධනය කරමින් නිතර දැක්වූවක්.
ජනාධිපතිවරණ සමයේදී ඝාතන උත්සාහයකින් බේරුණු පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ද ඔහුගේ ජීවිතය බේරුනේ “විශේෂ හේතුවක් නිසාය" (God spared my life for a reason) යන්නයි.
පසුගිය කාලය පුරාම ඇමරිකානු ජනාධිපතිවරයා ගත් බොහෝ ක්‍රියාමාර්ග ඔහු සාධාරණීකරණය කළේ, ඒවා සියල්ලම ඇමරිකාවට පැවරී ඇති දිව්‍යමය වගකීම ඉටු කිරීමේ අරමුණින් ගත් පියවරයන් ලෙසයි
සරණාගතයින් පිටුවහල් කිරීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග ඔහු විසින් දැක්වූයේ, සරණාගතයින් ඇමරිකාව කෙලෙසන බලවේගයන් බවයි. එසේම, තීරුබදු (tariff) ප්‍රතිපත්තිය පනවමින් ඔහු එය ඇමරිකාව සුරාකෑමෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ප්‍රකාශ කළා
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඉවත් කිරීම ඔහු විසින් වාමවාදී ප්‍රවණතා මුලින් උපුටා දැමීමක් ලෙසත්, ඩෙන්මාර්කයට අයත් භූමි පිළිබඳ හිමිකම් ප්‍රකාශ කිරීම ඇමරිකාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙසත් දැක්වූවා.
ඉරානය සම්බන්ධයෙන් ගත් යුද්ධමය ක්‍රියාමාර්ග ඔහු විස්තර කළේ ලෝකයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ප්‍රවර්ධන කිරීමේ රාජ්‍යයන් දුර්වල කිරීමක් ලෙසත්, ඔවුන් අතට න්‍යෂ්ටික අවි ලැබීම වැලැක්වීමට ගත් පියවරක් ලෙසයි.
ඔහු මේ දක්වා ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම සාධාරණීකරණය කළේ, සිය යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම තුළ පවත්නා ‘In God We Trust’ යන මූලධර්මය සහ ‘Make America Great Again’ (MAGA) ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කරමින් දෙවියන් වහන්සේ ඇමැරිකාව සම්බන්ධයෙන් පවරා ඇති දිව්‍යමය වගකීම ඉටුකිරීමක් ලෙසයි
ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් විසින් ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් පිටුපස තාර්කික පදනමක් සහ බුද්ධිමය අර්ථ විවරණයක් පවතින බව පෙනී යන්නක්. එමෙන්ම ඒවා සාධාරණීකරණය කිරීම සඳහා ඔහු පදනම් වී ඇති යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම ද ඔහු භාවිතා කරනු ලබනවා.
කෙසේ වෙතත්, මේ වනවිට එම දෘෂ්ටිවාදී පදනමට එල්ල වන බරපතළම අභියෝගය ඉල්ලවෙමින් පවතින්නේ ඉරානයෙන් හෝ චීනයෙන් හෝ වෙනත් බාහිර බලවේගයකින් නොව, 14 වැනි ලියෝ පාප් වහන්සේගෙන් බව පැහැදිලිව පෙනී යන්නක්. ලියෝ පාප් වහන්සේ අභියෝග කරන්නේ ට්‍රම්ප්ගේ ක්‍රිස්තියානි දෘෂ්ටිවාදී පදනමට වන අතර, ඔහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් විකෘති කරන බව පාප් වහන්සේ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම, ට්‍රම්ප් ට පමණක් නොව, සමස්ත MAGA ව්‍යාපෘතියම අභියෝගයට ලක් කිරීමක් ලෙස ද දැකිය හැකියි.
ඒ හේතුව නිසාම, කතෝලිකයෙකු වන ජේ.ඩී. වාන්ස් (J.D. Vance) පවා එළියට පැමිණ, ‘දේව ධර්මය උපුටා දක්වමින් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේදී පාප් වහන්සේ වඩාත් පරිස්සම් විය යුතුයි’ (Pope Leo XIV should “be careful” when he talks about theology, rebuking the pontiff over his criticisms of U.S. foreign policy) යනුවෙන් ප්‍රකාශ කිරීමට පවා සිදු වී තිබෙනවා
මෙවැනි පසුබිමක් තුළ, ' අපි දෙවියන් කෙරෙහි විශ්වාස කරමු, ට්‍රම්ප් සමග නැගිටිමු' (In God We Trust, With Trump We Stand) යැයි යනුවෙන් ප්‍රකාශ කරමින් සිටි ට්‍රම්ප්වාදී ක්‍රිස්තියානීන්ට, පාප් වහන්සේ විසින් ට්‍රම්ප් විවේචනය කිරීම දැවැන්ත අභියෝගයක් මෙන්ම අනතුරු ඇඟවීමක් ලෙස ද පෙනී යාම ආරම්භ වී තිබේ.
එමෙන්ම, ඉතිහාසයේ පළමු වතාවට, ඉවැන්ජලිකවාදය පසුකරමින් ඇමරිකාවේ විශාලතම තනි ආගම ලෙස කතෝලික සභාව පත්වී ඇති බව ද සටහන් වේ. විශේෂයෙන්ම, ඇමරිකානු ජාතික 14 වැනි ලියෝ පාප් වහන්සේගේ නායකත්වය යටතේ, ඇමරිකාවේ කතෝලික පල්ලිය තුළ දැවැන්ත පිබිදීමක් දක්නට ලැබේ.
එය, 1950 දශකයේ සිට ඇමරිකාවේ ස්ථාපිත වූ යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම අභිබවා, කතෝලික චින්තනය (Catholicism) වෙත ගමන් කරනු ඇත් ද යන්න, ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ලියෝ පාප් වහන්සේ අතර උද්ගතව ඇති මෙම මතවාදී පරස්පරතාවයන් තුළින් මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස මතුව තිබේනවා.
මෙම ලිපිය අවසාන කරමින් කිව හැක්කේ, විලියම් හේගල් පෙන්වා දුන් පරිදි, මනුෂ්‍ය ආත්මයට ‘බුද්ධිය’ සහ ‘විශ්වාසය’ වැනි විරුද්ධ අංග දෙකක් දිගුකාලීනව එකට පවත්වා ගත නොහැකි බවයි. එවැනි තත්ත්වයකදී ඒ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අනෙක පරයා මතුවන බව හේගල් දක්වා තිබෙනවා.
එම පරස්පරතාවය ගැඹුරු හිස්කමක් සහ අසංවේදීභාවයකට මඟ පාදන අතර, එය අවසානයේ බලාපොරොත්තු කඩවීමක් (නිරාශාවක්) කරා යාමට ද හේතු වන බවත් දැක්වෙනවා. මෙම අසංගතය එලෙස නිරාශාවකට පත්වීමෙන් වළක්වා, එය සාර්ථකව සමීකරණය කිරීම දර්ශනවාදයේ වගකීමක් බව ද හේගල් පෙන්වා දෙනවා
ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයෙකු එවැනි දර්ශනවාදී විමර්ශනයකට කොපමණ අභිමුඛ වන්නේද යන්න පැහැදිලි නොවූවත්, ඔහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමාන කරමින් හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක්ව සිටින බව දක්වන ජයාරූප මෙන්ම, ඔහු සහ පාප් වහන්සේ (Pope Leo XIV) අතර ඇතිවී ඇති පරස්පරතාවයන් ද තේරුම් ගැනීම සඳහා මුලින් දැක්වූ හෙගල්ගේ ප්‍රකාශය වැදගත් ප්‍රවේශයක් ඉදිරිපත් කරන බව මාගේ අදහසයි
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/04/26

No comments:
Post a Comment