ලංකාවේ ලතා වල්පොල සහ ඉන්දියාවේ ලතා මංගේශකාර් අතර ඇති ප්‍රධාන වෙනස ලෙස මම දකින්නේ ඉන්දියාවේ ලතා මංගේශකාර් තම සංස්කෘතික අනන්‍යතාවය රැකගෙන, එය ප්‍රවර්ධනය කරමින්, ඉදිරි පරම්පරාවල් සඳහාත් මගහැරිය යානොහැකි කලාකාරිනියක් බවට පත්වීමත්, එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ලෙස ලංකාවේ ලතා වල්පොල තම සංස්කෘතික අනන්‍යතාවය ක්‍රමයෙන් අහිමි කරගත් කලාකාරිනියක් වීමයි.
එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ගණනාවක් තිබුණත්, ප්‍රධාන හේතුව වශයෙන් මම දකින්නේ ඔවුන්ට අදාල සංස්කෘතික අනන්‍යතාවය ලබාදුන් හෝ එය ගොඩනගා දුන් ප්‍රධාන පදනම්වල තීරණාත්මක බලපෑමේ නැගීම හා වැටීමයි.
ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු කාලයේදී, තම ජාතික අනන්‍යතාවය සෙවීම හා ගොඩනැගීම දිගින් දිගටම සිදු කල අතර ඒ ක්‍රියාවලියේදී “ඉන්දියානු ජාතික හඬක්” ලෙස සුවිශේෂී, මියුරු ගී හඬක් වශයෙන් ලතා මංගේශකාර්ට ස්ථාපිත වීමට හැකිවෙනවා. ඒ අනුව ලතා මංගේශකාර් ඉංදියානු ජාතික සංස්කෘතික අනන්‍යතාවය මුල්කරගත් ඉංදියානු ජාතිකවාදී ව්‍යාපෘතියේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වුණා.
නමුත් ලංකාව නිදහසින් පසු කාලයේදී විවිධ අනන්‍යතා සොයමින්, ඒවා අතර හිරවුණු රටක් බවට පත්වුණා. රටක් විදිහට නිදහසෙන් පසු ලංකාව ගොඩනගා ගත් ජාතික සංස්කෘතික අනන්‍යතාවය තුල ලංකවේ ලතා වල්පොලට ඉංදියාවේ ලතා මංගේශකාර් වැනි තැනකට පත්වීමට හැකිවුනේ නෑ..
එයට හේතුව කලින් කියූ ලෙසම ලතා වල්පොල වැනි කලාකරුවන්ට අදාල සංස්කෘතික අනන්‍යතාවය ලබාදුන් හා එය ගොඩනගා දුන් ප්‍රධාන පදනම්වල තීරණාත්මක බලපෑම හීනවී යෑමයි. ලතා වල්පොල වැනි කලාකරුවන්ට ගායන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාවය ගොඩනගාගෙන ඉදිරියට යාමට මුල්කාලයේදී බලපාපු ප්‍රධාන පදනම, ආයතනික ඒජන්සිය වූයේ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියයි. නමුත් නිදහසින් පසු කාලයේදී, ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ද විවිධ අභ්‍යන්තර බිඳවැටීම්වලට ලක්වී විවිධ කාලවල විවිධ ප්‍රවනතා සමග කේවල් කිරීමටත් එක තැන පල්වීමටත් ලක්වෙනවා. ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට ලෝක කතෝලික සභාව සමඟ යාවත්කාලීන වීමටත්, දේශීය සංස්කෘතික සන්දර්භයට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමටත් අපහසු වුණා.
ලතා මංගේශකාර් වැනි කලාකරුවන්ට තම සංස්කෘතික අනන්‍යතාවය තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමට අවශ්‍ය සහය, මඟපෙන්වීම සහ ආරක්ෂාව සිය ජාතික සංස්කෘතික පදනම් ඔස්සේ තහවුරු වෙද්දී ලංකාවේ ලතා වල්පොල වැනි කලාකරුවන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් දියවී යනවා. ඔවුන්ට අවශ්‍ය සහය හා නිසි මහපෙන්වීම ලබාදීමට ඔවුන් නියෝජනය කල සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන ඒජන්සියවූ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියට හැකිවෙන්නේ නෑ. ඒ නිසා අවසානයේදී ඇයත් නිදහසේ පසු ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් අවතැන් වූ කලාකරුවන්ගේ ගොඩට ඇතුළත් වෙනවා.
මෙම අවතැන්වීම ලතා වල්පොල වැනි අදාල කලාකරුවන්ගේ ජීවිත, නිර්මාණ හා කලා ක්ෂේත්‍රයන් තුළට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. එය වර්තමාන ශ්‍රී ලංකා කතෝලික අනන්‍යතාවය තුළ ද දැකගත හැකි සංසිද්ධියක් ලෙසයි මට හිතෙන්නේ.
මගේ විශ්වාසය අනුව, සංස්කෘතික අනන්‍යතාවය කියන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ පමණක් නොවෙයි ඕනෑම ආයතනයක ද පැවැත්මේ මූලික සාරයයි. එය බිඳ වැටීම යනු, ජීවත්ව සිටිය ද මිය ගිය අයෙකු සේ ජීවත් වීමක් වැනි දෙයකි...
"ලුණෙහි ලුණු රසය නැති වුවහොත් එයට කුමකින්නම් ලුණු රසය කවන්න ද?"
ඉතින් — සුභ ගමන්
මාකස් ප්‍රියන්ත පෙරේරා
29/12/25

No comments:
Post a Comment