මීගමුවේ චතාරික චාරිත්‍ර අතරින් අඩුවෙන්ම අවධානය යොමුවී ඇති අංගයක් වනුවේ පාස්කු ඉරිදා මිගමුව වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පවත්වන දේවදූත පෙරහැර ය.
එයද අඩුම වශයෙන් වසර 100ක්වත් පැරණි චාරිත්‍රයකි. අපේ දෙමව්පියන් කුඩා කාලයේ පමණක් නොව, අදටත් ජීවත්වෙන, පැරණන්ගේ තොරතුරු අනුව විමසා බැලීමේදී මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන දේවදූත පෙරහැර අඩුම වශයෙන් වසර 100ක්වත් පැරණි යැයි නීර්ණය කළ හැක.
පාස්කු ඉරිදාට උත්ථානවූ ජේසු සමිදුන්ගේ ප්‍රතිමාව රැගෙන මීසම/ගම හෝ පල්ලිය වටා යෑමේ පාස්කු සම්ප්‍රදායක් මීගමුවේ පල්ලි රාශියකම පැවත තිබේ. අදට ද පවතී. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූ කටුවපිටිය පල්ලියේ වින්දියන්ගේ රුධිරය තැවරුණු උත්ථානවූ ජේසු සමිදුන්ගේ ප්‍රතිමාව කටුවපිටිය ගම වටා රැගෙන යෑම පසුගිය පාස්කු ඉරිදාත් සිදුකරණ ලදි. මෙවැනි ආකාරයේ පාස්කු සම්ප්‍රදායන් මීගමුවේ පල්ලි රාශියකම දැකිය හැකි මුත් මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන දේවදූත පෙරහැර වැල්ලවීදිය පල්ලියට හා වැල්ලවීදිය සහ කුඩාපාඩුව ග්‍රාමයන්ට පමණක් සීමා වූ සුවිශේෂී පාස්කු සම්ප්‍රදායකි.
මා හොයා බැලූ ආකාරයට මිගමුව වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරිදාට පවත්වන මෙම දේවදූත පෙරහැරට වැල්ලවීදිය සහ කුඩාපාඩුවේ ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 8ට අඩු ඕනෑම ළමයෙකුට සහභාගී විය හැක. මුලදී පිරිමි ළමුන්ට පමණක් සීමාවී ඇති මෙම චාරිත්‍රය දැන් ගැහැණු ළමයින් ද සහභාගි කරගන්නා බව දැන ගැනීමට ලැබුණි. මෙසේ සහභාගිවන අය දේවදූතයන් ලෙස හැඩගන්වනු ලබන්නේ සිය නිවෙස් තුලමය. ප්‍රසාද ස්නාපයේදී අන්දවන ලබන ආකාරයේ මෙන් දිගු සුදු ඇදුමකින් සරසන මෙම ළමුන්ට දිගු කොන්ඩයක් සහ දේවදූතයන්ගේ මෙන් පියාපත් යුගලක් ද සවි කරණු ලබයි. ළමුන් මෙන්ම ඔවුන් රැගෙන යන සොරෝල/පැලැන්කි (palanquin) ද ඉතා අලංකාරව සැරසීම මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන මෙම දේවදූත පෙරහැරේ තවත් අලංකාර අංගය ය.
මෙසේ අලංකාර ලෙස සැරසූ දේවදූතයන් රැගත් සොරෝල සිය නිවෙස්වල සිට වැල්ලවීදිය පල්ලියට පැමිණීමෙන් අනතුරුව කුසපත් ඇදීමෙන් තෝරාගත් දේවදූතයන් සේ සැරසී ඇති කිහිප දෙනෙකු හට ක්‍රිස්තුස් වහන්සේ සිය දුක්ප්‍රාප්තියේදී දරා සිටි කටු ඔටුන්න, කුරුසියේ ඇණ ගැසූ ඇණ ආදිය පෙරහැරේ රැගෙන යෑමට ලබා දෙයි..අනතුරුව මෙම දේවදූත පෙරහැර දේවස්ථානය වටාත්, වැල්ලවීදිය ග්‍රාමයේත් සංචාරය කරණු ලබයි.
මෙම දේවදූත පෙරහැරේ ආරම්භය කෙතරම් ඈතට දිවයනවාද යන්න පැහැදිලි නැති නමුත් එය මීගමුවේ දේවස්ථාන ප්‍රංශය, ඉතාලි, පෘතුගාල - ස්පාඤ්ඤය අයත්වන අයිබීරියන් (Iberian) කලාපයේ පියතුමන්ලා පාලනය කල 18 වන සියවසේ අග හෝ 19 වන සියවස්වලින් පසු කාලේ ඇති වූවක් බව මෙම චාරිත්‍රය වටා ගොනුවී ඇති ඇදුම්-පැලදුම්, අංග-උපාංග ඇසුරින් නිරික්ෂණය කල හැක. මීට සමාන සුරුවම් රැගෙන යන චතාරික පෙරහැර සම්ප්‍රදායක් දකුණු ප්‍රංශයේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ පමණක් නොව මෙක්සිකෝව, ගුවතමාලා වැනි ලතින් ඇමැරිකානු කලාපයේද දැකිය හැකිය. ලතින් ඇමැරිකානු කලාපයේ සිට ලංකාවේ, මීගමුව, වැල්ලවීදිය දක්වා විහිදී ඇති මෙම චතාරික පෙරහැර සම්ප්‍රදාය ඇතැම්විට ස්පාඤ්ඤයේ Semana Santa (ශුද්ධ වූ සතියේ) සැමරුම් ඔස්සේ ආභාෂය ලැබූවක් විය හැකි බව මගේ අදහසයි.
ඒ කෙසේවුවද, චාතාරික සමය යනු මීගමුවේ සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයක් විහිදා දක්වන කාල පරාසයක් බව නම් නැවත නැවතත් පැහැදිලිවම කිව හැක්කකි.
මීගමුව දූව දේවස්ථානයේ සිට මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයට ආශ්චර්යමත් ක්‍රිස්තුස් ප්‍රතිමාව රැගෙන ඒම හෝ රැගෙන යෑමේ සිට ගුරු අගහරුවාදා සහ අළු බදාදා දක්වාද, විවිධ ගම්වල හවස් කාලයේ කෙරෙන පසන්, ලතෝනි ගායනා ද, දේවස්ථාන හෝ වීදි පුරා කුරුස දරාගෙන කෙරෙන දීර්ඝ පාද නමස්කාරයන් ද, ජාතික අනන්‍යතාවයක් ගොඩනැගූ මීගමුවේ පාස්කු නාට්‍යය රඟ දැක්වීම්ද, මහ බ්‍රහස්පතින්දා සහ මහ සිකුරාදා ආගමික කටයුතු ද, ආලේලූයියා සෙනසුරාදා යක්කු යෑම් ද, මිගමුවේ වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ දේව දූත පෙරහැර වැනි පාස්කු ඉරිදා පෙරහැරවල් ද, එම කාලය තුළ මීගමුවේ ජනයාගේ ආහාර සංස්කෘතිය ද, කොරොස්ම හෙවත් චතාරික කාලේ මීගමුවට සුවිශේෂී අනන්‍යතාවයක් එක් කරන සංස්කෘතිකාංග ය.
පාස්කු සමයේදී යුරෝපයේ මෙන්ම ලොව පුරාම ජනයා ලෝක ප්‍රකට Oberammergau පාස්කු නාට්‍යය නැරඹීමට ජර්මනියේ ඔබෙරමර්ගවු (Oberammergau) නගරයට පැමිණෙනවා මෙන්, ස්පාඤ්ඤයේ ශුද්ධ වූ සතියේ හෙවත් Semana Santa සැමරුම් නැරබීමට දකුණු ස්පාඤ්ඤයේ සිවිල් (Seville), මලාගා (Málaga) නගර වෙත ඇදී එනවාක් මෙන්, පාස්කු හෙවත් කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ සංස්කෘතික චර්යාව අත්විදිමට රටපුරාත්, ඉන් පිටතත් සිටින සියළු ජනයාට අවස්ථාව හිමිවේවායි යන්න මගේ ප්‍රාර්ථනය යි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
04/04/24
No comments:
Post a Comment