The magnificent statue of Christ in Duwa, Negombo. දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මේ වසරේද තැම්පත්කර ඇත්තේ දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේය (Our lady of good voyage Church). එය ලබන වසරේ (2024) අළු බදාදාට පෙර ඉරිදා එනම් 11/02/24 දින නැවතත් මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා.පීතර දේවස්ථානය වෙත රැගෙන යයි. වසර 02ක් දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේද, වසරක් මීගමුව සා.පීතර දේවස්ථානයේද මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව තැම්පත්කර තිබීම එහි සාමාන්‍ය සම්ප්‍රදායයි. දූවේ සිට මීගමුව නගර මාධ්‍යයටත්, මීගමුව නගර මාධ්‍යයේ සිට දූවටත් මෙම ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙන එම සහ රැගෙනයාම මීගමුවේ පාස්කු සම්ප්‍රදායේ සුවිශේෂී අංගයකි. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට මත්තෙන් මෙම සුරුවම දූවට රැගෙන එම සහ රැගෙනයාම සිදුකර ඇත්තේ හැමිල්ටන් ඇළ සහ කලපුව ඔස්සේය. රතුමල් ඉසිමින් පෙරහැරක ස්වරූපයට සිදුකල මෙම ක්‍රිස්තු ප්‍රතිමාව වැඩවීම එක්තරා ආකාරයකට මීගමුවටම උරුවූ කිසියම් ආගමීක භක්ති අභ්‍යාසයක් විනි.
පාස්කු හෙවත් චතාරික කාලය මීගමුවේ හදුන්වන්නේ 'කොරොස්ම කාලය' යනුවෙනි. එය මීගමුවේ කලක් භාවිතාවූ පෘතුගීසි භාෂාවෙන් උරුමවුවකි. පෘතුගීසි භාෂාවෙන් අද ද පාස්කු කාලය හදුන්වන්නේ 'ක්රෝස්ම' (quaresma) කාලය නමිනි. අළු බදාදා (Ash Wednesday) යින් පසු ඇරබෙන දින 40ක කාලයක්වු මෙම පාස්කු කාලයේදී සෑම සිකුරාදාවකම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මහජනයාට විවෘතව පවතී.
අපි කුඩා කාලයේදී සෑම සිකුරාදාම එම සුරුවම නැරඹීමට යෑම පුරුද්දක් කරගෙන තිබුණි. විශේෂයෙන්ම මීගමුව නගර මාධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයේ සුරුවම පැවති කාලයේදී පාසල් දරුවන් වශයෙන් අප එම දේවස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට නිරන්තරයෙන් සභභාගීවුවෙමු. එහි ලබාදෙන සුදු නූල් පවා අත් වල පැලදුවෙමි. සා. පීතර දේවස්ථානය පිටුපස පාරේ මෙන්ම පල්ලිය ඉදිරිපිට පිහිටි පිටියේ දකුණු පසින් පිහිටි බොරලු පාරේ අච්චාරු, කජු පුහුල්, කජු කොරදියල්, ඉටිපන්දම්, මීගමු අලුවා, වෙරලු, දන්, ජම්බෝල බික් ආදිය විකුණන කාන්තාවන්ගෙන් රැපියලට, දෙකට, තුනට, පහට කඩචෝරු කෑ හැටි තවමත් මතකය. අද කීයටවත් එවැනි මිලකට ජම්බෝල බික් ස්වල්පයක් හෝ නොලැබෙනු ඇත. සරුවත්, අයිස්ක්‍රිම්, බොම්බයි මුටයි, නයිස්, පුහුල් දෝසි, බූන්දි ආදිය විකුණන අයට වඩා අච්චාරු, කජු පුහුල්, කොරදියල්, මීගමු අලුවා ආදිය විකුණන අය කෙරෙහි ලමා-ලපටීන් පමණක් නොව වැඩිහිටියන්ද වැඩි වශයෙන් ඇදුනේ ඇයි ද යන්න මට අද ද සිතා ගැනීමට අපහසු කරුණකි.
ඒහෙත් ඒ සියල්ලෝම දානය බෙදනවිට දානය බෙදන්නන් වටකරගනී. විවිධ තරාතිරමේ විවිධ පුද්ගලයන් කූඩවල අසුරාගෙන එන කිරිබත්, බනිස් ආදිය මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව අභියසට ගෙනගොස් යාච්ඤාකර පල්ලියෙන් පිටතට පැමිණ අසල සිටින ජනයාට බෙදා දේ. එම දාන අතර කුඩා ප්ලාස්ටික් බෑගවල අසුරා දෙන මිරිස් මාලු සමග කිරිබත් එකල වඩා ජනප්‍රිය විය. එය ඉතාමත් ප්‍රනීත ආහාරයකි. චතාරික සමයේදී සෑම සිකුරාදවකම සා. පීතර විදුහලේ සිසුන්ව පල්ලියේ පවත්වන යැදුම් මෙහෙයන් සදහා රැගෙන එය නමුදු එම සිසුන්ගෙන් සමහරක් පාසල නිමවු පසුවද පල්ලිය කරා දුවයන්නේ මෙකී දාන භුක්තිවීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම මෙම ක්‍රිස්තු ප්‍රතිමාව මීගමුව දූව පල්ලියේ තැම්පත්කර ඇති විට වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල්‍යයට පෙර සිකුරාදා දූවේ කට්ටු දැල් ධීවරයින් ලබාදෙන බත් සහ ඉස්සෝ දානයද බොහෝ දෙනෙකුගේ උනන්දුව වැඩි කරන්නක් විය. එකී දානය අතිමහත් පිරිසකට දිව්‍ය භෝජනයක්ම විය. දූවේ ප්‍රතිමාව විවෘතව ඇති දිනවල මග දෙපස සරුවත් දන්සැල් වලින්ද අඩුවක් නොවුනි. තදින් අව්ව පෑයු පාස්කු කාලවල අන්නාසි, කස කසා නොඅඩුව තිබූ එකී දන්සැන්වල පාට පාට සිසිල් පැන් ලබාදුන් රස සහ සිසිල අමෘතයක්ම විය.
මේ සියල්ල සිදුවන්නේ පල්ලියේ තැම්පත්කර ඇති ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාවට අති මහත් භක්තියත්, අවධානයත්, නොකඩවාම සිදුකරන යැදුමෙනුත් නොඅඩු ආගමීක ශ්‍රද්ධාව ඉහලින් ඔසවා තැබූ පසුබිමකය. ආගමීක වතාවත්වල, ශුද්ධවූ පැයවල, පුජාවන්වල, පාද නමස්කාරවල, දුක් ප්‍රාප්ති ගීතිකාවන්වල, පසන් සහ ලතෝනී ගායනවල අඩුවක් එහි නොවුනි. ඒ සියල්ල අතිමහත් ගරුත්වයක්, හික්මීමක් සහ භක්තියක් අවට පරිසර තුල ජ්වලිතකර තිබුනි.
වසර 300යකට වඩා පැරණි දූවේ පාස්කු දර්ශනය සදහා යොදාගැනීමට 1838 දී ඉන්දියාවේ කොචින් හී සිටි ප්‍රකට මුර්ති ශිල්පියෙකුවූ ජෝකීනු මෙස්ත්‍රාල් (Joachim Mistral of Cochin/Kochi) විසින් නිර්මාණය කර මීගමු දූවට මුහුදෙන් ගෙනෙන ලද මෙම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව එතැන් පටන් මීගමුව ජනයාගේ නොබද ගෞවරවයට පාත්‍රවිය. එම කාලයේදී මීගමුව දූව දේවස්ථානය පාලනය කලේ පෘතුගාලයට අයත්වු ගෝවේ (Goa) කොචින් (Cochin/Kochi) පදවිය විසිනි.
එහෙයින් මීගමුව දූවේ ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාව එක්තරා ආකාරයකින් මීගමුවත්, ඉන්දියාවේ බටහිර වෙරලේ පිහිටි ගෝවේ (Goa) සහ කොචින් (Cochin/Kochi) නගරත්, 1961 දක්වා එහි පැවැති පෘතුගීසි පාලනයත් දක්වා දිවයන සම්බන්ධයක අඛණ්ඩ පුරුකකි. අනෙක් අතට එය දැන් චතාරික සමයේ ලාංකීක කිතුනුවන්ගේ සුවිශේෂ අවධානයකට ලක්වන ප්‍රබල ආගමීක සංකේතයකි. ලංකීක කිතුනු ජනයාගේ අතිමහත් ගෞරවාදරයට, භික්තියට පාත්‍රවු ඓතිහාසික ක්‍රිස්තු ප්‍රතිමාවකි. මීගමුවේ අපට නම් එය දැවන්ත සංස්කෘතික උරුමයකි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
24/02/23
No comments:
Post a Comment