This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 24 August 2021

ම‍‍ංගල සමරවීර මෙන්ම සුසිල් සිරිවර්ධනද එකම විභවයක ද්විත්ව (වි) පරිවර්තනයන්ද?

පසුගිය පැය 24 තුල (24/08/2021) සිය දිවිගමන් නිමාකල ම‍‍ංගල සමරවීර මෙන්ම සුසිල් සිරිවර්ධනද එක්තරා ආකාරයකට එකම විභවයක ද්විත්ව (වි) පරිවර්තනයන් ලෙස සැලකිය හැකි බව මගේ අදහසයි. මේ දෙපලගේම 'එකම විභවය' ලෙස මා මෙහිදී සදහන් කරනුයේ 1956 S.W.R.D බණ්ඩාරනායකගේ යුග පෙරලියය.   

1956 S.W.R.D බණ්ඩාරනායකගේ යුග පෙරලිය සම්බන්ධයෙන් සටහන් තබන බොහෝ දෙනෙක් ඔහුගේ පාලනය තුලදී සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරීමේ පනත සම්මත කිරීම, පෞද්ගලික සමාගම් ජනසතු කිරීම, සග-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේග ආදිය බලගන්වා බලයට පැමිණිම ආදීය ගැන නිතර ඉස්මතු කරති. එහෙත් 1956 S.W.R.D බණ්ඩාරනායකගේ  යුගපෙරලිය ගැන බණ්ඩාරනායකගේම  අදහස කුමක්වීදැයි සොයා නොබලති. S.W.R.D බණ්ඩාරනායකගේ දේශපාලන දැක්ම ගැන සාකච්ඡා කරන James  Manor, (1989), 'The Expedient Utopian: Bandaranaike and Ceylon', දක්වනුයේ S.W.R.D බණ්ඩාරනායකගේ දේශපාලන දැක්ම මුලුගැන්වී තිබුනේ නිදහස පිලිබද බණ්ඩාරනායකගේ  දැක්ම අනුව බවයි. නිදහස පිලිබදව නිදහස ලබන අවධියේ රටේ තිබු  කතිකාව තවදුරටත් ප්‍රවර්ධනය කල S.W.R.D බණ්ඩාරනායක, නිදහස සම්බන්දයෙන් ඉදිරිපත් කරතිබූ අදහසවුයේ ''සමාජ සහ ආර්ථික නිදහස අත්කරගැනීමකින් තොරව දේශපාලන නිදහස අත්කරගැනීමෙන් පමණක් නිදහස සාක්ෂාත් නොවන'' බවයි (Freedom is something that came alive only when the people had won not only political freedom, but the social and economic freedom too). දේශපාලන නිදහස බලාත්මක කිරීම සදහාවූ ආර්ථික සහ සමාජ නිදහස සාක්ෂාත් කරගැනීම පිළිබද S.W.R.D බණ්ඩාරනායකගේ ඉහත දැක්ම සුසිල් සිරිවර්ධනගේ මෙන්ම මංගල  සමරවීරගේ ජිවිත සහ දේශපාලන දර්ශනය තුලද ගැබ්ව තිබු බව මගේ නීරීක්ෂණනයයි. 

සුසිල් සිරිවර්ධන නම් S.W.R.D බණ්ඩාරනායකගේ ඥාති පුත්‍රයෙකි. බණ්ඩාරනායක මෙන්ම ඔස්ෆෝර් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය ලැබූ ඔහු ගුරුවරයෙකු ලෙස අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලයේ ඉගැන්වීය. පසුව සිවිල් සේවයට එක්වූ ඔහු ඩඩ්ලි සේනානායක රජය සමයේ 'තරුණ ගොවි සමාජ' පිහිටවීමට රටපුරාම ගමන් කළේය. අනුරාධපුරයේදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් සමග ගොඩනගාගත්  සම්බන්තාවයක් මත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්දවන ඔහු 1971 මහා නඩුවේ විත්තිකරුවෙක්ව වසර 4කට වඩා සිරදඩුවම් වින්දේය. පසුව නැවත සිවිල් සේවයටත් අනතුරුව අගමැති ප්‍රේමදාස  මහතාගේ නිවාස අමාත්‍යංශයේ ලේඛම් ධුරයටත් පත්විය. ඔහු වඩා ජනප්‍රියවන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාවීමෙන්  අනතුරුව හදුන්වාදුන් ජනසවිය ව්‍යාපාරය නිසාය. 'නැති-බැරි අය ඇති  හැකි අය කිරීම' තේමාව කරගත් ජනසවිය ව්‍යාපාරයේ නිර්මාතෘවරයාවුයේ ඔහු යැයි හැදින්වේ. ඩඩ්ලි සේනානායකගේ 'තරුණ ගොවි සමාජ ව්‍යාපාරය' ඔස්සේද, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජනසවිය ව්‍යාපාරය ඔස්සේද ගැමි, ගොවි, දිලිදු, තරුණ කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට සුසිල් සිරිවර්ධන මහතා කිසියම් ආකාරයක ප්‍රායෝගික දැක්මක් ඇතිව ක්‍රියාත්මකවූ මිනිසෙක් බව පැහැලිය. ඔහුගේ එකී ක්‍රියාකාරිත්වයන්ගේ මතවාදීමය පිවිසුම S.W.R.D බණ්ඩාරනායක යුගපෙරලියේ එක ප්‍රස්ථාවනාවක් වූ 'දේශපාලන නිදහස බලාත්මක කිරීම සදහාවූ ආර්ථික නිදහස සාක්ෂාත් කරගැනීම' යන්න සුසිල් සිරිවර්ධන මහතාගේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් තුල කිසියම් ආකාරයකට දැකිය හැකියැයි යන්න මාගේ නිරීක්ෂනයයි. එම අදහස පිලිබදව කිසිවෙකුට සුසිල් සිරිවර්ධන මහතාගේ රචනා, සාකච්චා සහ දේශපාලන ක්‍රියාකාරිත්වයන් පිලිබදව ගැබුරි විමර්ෂණයකින් තහවුරු කිරීමට  හෝ නොකිරීමට හැකිය. 

1956 අප්‍රියල් 21 මංගල සමරවීර උපත ලබනවිට  මංගලගේ පියා, මහානාම  සමරවීර, S.W.R.D බණ්ඩාරනායක රජයේ  ඇමතිවරයෙකි. ඔහු මරණ දඩුවම අහෝසිකර ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම හදුන්වාදීමේ පනත ඉදිරිපත්කල  ඇමතිවරයා ලෙස ඉතිහාසගතවිය. සිය පුත් මංගල සමරවීරට දස වසර පිරෙද්දීම (1966දී) මහානාම සමරවීර දිවියෙන්  සමුගත්තේය. ඉන් අනතුරුව ඔහුගේ ජිවිතය තුල පිය භූමිකාවද ඉටුකර ඇත්තේ සිය මව විසිනි. මංගල 'මහානාම සමරවීරගේ පුත්‍රරත්නය' වෙනවා වඩා 'ඛේමාගේ කොළුවා' ලෙස තමන්ම හදුන්වන්නේ එවැනි පසුබිමකය. මහානාම සමරවීර මිය ගියද, S.W.R.D බණ්ඩාරනායක මියගියද, ඛේමලා සහ සිරිමාවෝ බණ්ඩාරනායකලා අතර පැවති ඇසුර, සමබ්න්දය, අහෝසිවී යන්නේ නැත. එහි කුටප්‍රාප්තිය ලෙස 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග බලයට එන රජයේ ප්‍රබලයෙක් ලෙස මංගල සමරවීර ලංකා දේශපාලනය තුල සිය නාමය සලකුනුකර ගැනීම සැලකිය හැක. මංගලගේ දේශපාලනය තුල දිගින් දිගටම ප්‍රවර්ධනයවූ තේමාව වුයේ  'නිදහස' යන්නය. ලාංකික සමාජය දේශපාලනීක, ආගමීක, සංස්කෘතික සහ ලිංගික අධිපත්‍යන්ගෙන් නිදහසකර ගැනීමට මංගල සිය දේශපාලන ප්‍රාගුණය  යෙදවූ බව පිළිගත හැක. පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ඉඩ ප්‍රස්ථාව ප්‍රවර්ධනය කිරීමේ සිට ඇතම් පුවත්පත් සගරා පවත්වාගෙනයෑමට ඔහු සිය 'දේශපාලන මූලධනය' යෙදවිය. එමෙන්ම රට තුල  මුල්බැසගෙන ඇති සංස්කෘතික පරිමිතයන් විවේචනය කිරීමේ සිට, දේශපාලන සහ ආගමික ආධිපත්‍යන්ට අභියෝග කිරිමටද මංගල කටයුතු කළේය. එහෙත් මංගලගේ දේශපාලන ජීවිතය තුල සවිඥානිකව හෝ අවිඥානිකව ක්‍රියාවට නැන්වුයේ  'දේශපාලන නිදහස බලාත්මක කිරීම සදහාවූ ආර්ථික සහ සමාජ නිදහස සාක්ෂාත් කරගැනීම' පිළිබද S.W.R.D බණ්ඩාරනායකගේ දේශපාලන දැක්මද යන්න  පිලිබදව  කිසිවෙක්  මේ දක්වා විමර්ශනය කර නොමැත. ඒ ඇතැම් විට බණ්ඩාරනායකලාගේ දේශපාලන අධිනිෂ්චයවීම් ඉක්මවා ගොස් ඔහුටම විශේෂ වූ සුවිශේෂි අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට මංගල සමත්වූ බව පෙනියන නිසාවිය හැක. එහෙත් මංගලගේ මෙන්ම සුසුල් සිරිවර්ධනගේද දේශපාලන විභවයන් එකම මූලයක ද්විත්ව (වි) පරිවර්තනයන් බව මගේ අදහසයි. 

එහෙත් අද අප ජීවත්වන්නේ එම විභවයන් පමණක් නොව එකී විභවයන්ගේ මූලයන් පවා අවුල්වියවුල්වී හෝ අන්ධමන්දවී හෝ අකර්මන්‍යවී හෝ අහෝසිවී ගොස් ඇති 'ඉන්ද්‍රජාලිත රාජපක්ෂ යුගයකය'. එවන් යුගයක මංගල සලකුණ මෙන්ම සුසුල් සිරිවර්ධනලාද මිලින්වී යෑම නියතයකි. අපට කල හැක්කේ ඔවුන් පිළිබද මතකය යාවත්කාලීන කර ගැනීමය. ඔවුන්ගේ විභවයන්ගේ මූල සොයායෑමය. එහි හරයන් ධනාත්මක කිරීමය. ඔවුන්ට ලබාදිය හැකි උපරීම ගෞවරවය  ලබාදිය  හැක්කේ එවිටය. ඔවුන්ගේ ආත්මයන්ට සාමය, සතුට, නිදහස අත්වේවා.      

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

24/08/2021

No comments:

Post a Comment