This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 10 August 2021

ඔව් මච‍ං ශේප්

ලංකාවේ අද තත්වය අහපුවහම විශාල කනගාටුවක් දැනෙනවා. අහන අහන හැම කෙනාටම නැතිනම් ඒ අය දන්න කියන කාටහරි කොරෝනා. ඉස්පිරිතාල පිරිලලු. මෝචරි පිරිලලු. ආදහනාගාර පැය 24රෙම මිනී පුච්චනවලු. අළුතින් රෝගීන් 2000ක් වාර්තා වෙනවා කියද්දි අනෙක් පැත්තෙන් දිනක මරණ සංඛ්‍යාව 90-100ක් අතර අගයක් ගන්නවා. මේ සංඛ්‍යාලේඛන කෙතරම් නිවැරැදිද යන්න කෙසේවෙතත් ඉන් පෙනීයන දෙයක් තමයි ශ්‍රී ලංකාව ඉන්නේ ඉතාමත් දරුණු කෝවිඩ් රැල්ලක කියන එක. සමහරු කියන්නේ එය ඉංදියාවටත් වඩා දරුණු තත්වයක් කියලයි.

ඇත්තටම මම නම් හිතෙන්නේ ලංකාව මුල ඉදලම මේ කෝවිඩ් අනතුරට මුහුණ දුන්න ආකාරය වැරදියි කියලයි. මුල ඉදලම ලංකාව කලේ ඇන්දීමයි, රැවටීමයි, නොමගයැවීමයි, මර්දනයයි. මුලින්ම ආසාදිතයින් කිහිපදෙනෙක් හොයාගත්තාම එයාලව නිරෝධනයට අරන් යනවා T.V. එකේ පෙන්වනවා. ඊලඟට ඇසුරුකල ලිස්ට් එකක් එනවා. ඊටපස්සේ පවුල් පිටින් නිරෝධනයට උස්සන් යනවා. හරියට අර හමුදා මෙහෙයුම් වගේයි ඒවාකලේ. මේකෙන් වුනේ රෝගය පැතිරීම පාලනයවුන එක නෙමේ, රෝගීන් හැංගුන එකයි, රෝගය යටගිය එකයි විතරයි.

ඊලගට මුලින්ම සම්පුර්ණ ලොක්ඩවුන් එකට ගියා, පලාත් ලොක්ඩවුන් එකකට ගියා, ස‍ංචරන සිමාවන්ට ගියා. ඒත් රටපුරාම කෝවිඩ් පැතිරීම ඉහල අගයක් ගනිද්දී රටම ඇරන් ඉන්නවා. ආර්ථිකයට තවදුරටත් දරාගන්න බැරි නිසාලූ එහෙම ඇරන් ඉන්නේ. පැතිරීම ඉතාම අවම මට්ටමක තියෙද්දී සම්පුර්ණ ලොක්ඩවුන් එකකට යන්නයි, පැතිරීම ඉතාමත් ඉහල අගයක තියෙද්දී කොහෙත්ම ලොක්ඩවුන් එකකට නොයෑමෙයි ඇති තාර්කිකත්වය මොකක්ද? ආර්ථික කලමනාකරන සැලැස්ම මොකක්ද? ඔය මොන සැලැස්මකවත්, කලමනාකරන දැක්මක්වත් තිබිලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ.

බලන්න අර මුලින්ම නිරෝධන මාධ්‍යස්ථාන හදන්න හැදුව හැටි. ඒකට තෝරගත්තේ හැදල ලාදුරු රෝහල. ඉතාමත් ජනාකීර්ණ තැනක නිරෝධන මාධ්‍යස්ථාන හදන්න හදන්නේ මොන වයිරස විශේෂවේදීයාද? කවුරු කොහොම කිව්වත් ගම්වැසියෝ, පල්ලියේ පියතුමා, පන්සලේ හාමුදුරුවෝ එකතුවෙලා ඊට විරෝධය දක්වපු එක හරි. මොකද ඒක එතනට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සෙ තමයි අර කන්දකාඩු වගේ තැන් ආවේ. අපේ පලාත්වල කන්දකාඩු කියන නම් මීට කලින් අහලා තිබුනේ කුප්‍රකට මත්ද්‍රව්‍ය නිරෝධන මාධ්‍යස්ථානයක් විදිහටයි. කොයි මනුෂ්‍යයද එකට යන්න කැමතිවෙන්නේ, නැතිනම් මුලතිව් හරි කොහේ හරි හමුදා කදවුරකට අරන් යන්න කැමතිවෙන්නේ. මම් මේ කියන්නේ අපි කොරෝනා ආසාදිතයින් නිරෝධනයකලෙත් දැඩි හස්තකින්. මිලිටරි මුහුනුවරකින්. මර්දනකාරී ප්‍රතිපත්තියකින්. ඒකෙන් ආසාතයන්ට සහනයක්වත්, වසංගතයට මුහුණ දෙන්න සනසුන් වතාවරණයක්වත් ගොඩනැගෙනවා වෙනුවට ඇතිවුනේ තැතිගැන්මයි, භීතීයයි විතරයි.

ඒ එක්කම අර මාධ්‍යය යොදාගෙන කරපු මලවිකාර. මම මේ කියන්නේ මුට්ටිදාපු එක හරි තෙල් බෙදපු එක හරි මාධ්‍යය උස්සන් ගිය හැටි නෙමේ. එහෙම මිනිස්සු අන්දන්න බුදු උත්සහයක්දීලා රෙදි නැතිවෙන්න ඇන ගත්තා කියලා හොදටම දන්නවා නේ. මම මේ කියන්නේ ඒ දවස්වල ලොකේන්ම හොදින් කලේ අපි තමයි කියලා අන්දන්න හදපු ඇන්දිල්ල ගැනයි. ලංකාවේ එයාර්පොර්ට් එකේ උණ පරික්ෂාකරන එකයි, ලංකාවෙන් ආපු සුද්දෙක් කිව්ව ලංකාවේ කෝවිඩ් මර්දනය වැඩපිලිවෙල අගය කිරීම් ගැනයි. කෝවිඩ් හොදටම මර්ධනය කරපු ලිස්ට් එකේ ලංකාව ඉන්න තැනයි පෙන්වමින් අපි ආඩම්බරවුනා මතකද?

ඒ දවස්වල එංගලන්තය, ඇමරිකාව, ඉතාලිය වගේ රටවල් කෝවිඩ් ව්‍යාප්තියෙන් ඉතාමත් ඉහලින්ම බැටකකා හිටියේ. දවසකට වාර්තාවෙන රෝගීන් ප්‍රමාණය 20 000, 30 000, 60 000 වෙනකම් ඉහල ගියා. මරණසංඛ්‍යාව 400-500 ඉදන් 900-1000 දක්වාත් එක් දිනක් 1800 ගනන් දක්වාත් ඉහල ගියා. ඒ දවස්වල ලංකාවේ මාධ්‍යය ඒවා පෙන්වමින් ලෝකේ දියුණු රටවලටත් කොරෝනා මර්දනය කරන්න බැරිව තියෙද්දී මේ පුංචි රටේ කොරෝනා මර්දනය කලේ රටේ දේශපාලන නායකත්වයේ දක්ෂතාවයෙන් කියලා උදේ හවස පරම්බෑවා. ජනාධිපතිවරයත් "මම තමයි හොදටම කලේ කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ" කියලා කිව්වා. අගමැතිවරයා ඇවිත් "ලෝකේ දරුනුම ත්‍රස්තවාදීන් පරාජය කල අපිට කෝවිඩ් මර්දනය මහ කජ්ජක්ද" කියලා ඇහැව්වා. ඒවා හොදයි ජනතාවගේ විශ්වාස, අභිමානය ඉහල නන්වන්න. ජනතාවත් ඒවා තදින්ම විශ්වාස කරමින් බොහොම උද්දාමයෙන් උන්නේ.

ඒ කාලේ ලංකාවේ ඉන්න සමහර අපේ යාලුවෝ අපිට උදේ හවස ඉතාලියේ එ‍ංගලන්තයේ කොරෝනා මර්දනයේ ආසාර්ථකත්වය ගැන නිතර එක එක ඒවා එවනවා. කෝල්කරලා "ඔහේ ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලවලට ගන්නේ නැතිව මැරෙන්න ඇරලා තියෙනවාලූ නේද?" කියලා අහනවා. "අද මෙච්චර මැරුනා නේද?" කියලා අහනවා. "ඔව් මච‍ං අපි නිව්ස් බලනවා" කියල අපි ඔවුන්ට කියනවා. ඊට පස්සේ කියනවා උබලත් පරිස්සමින් ඉදපල්ලා" කියනවා. අපි කියනවා "ශේප් මච‍ං අවුලක් නෑ" කියලා. ලංකාවේ ඒහෙම කතාකරපු මිත්‍රයන්ගෙන් මේ දවසවල නම් කිසිම ආරංචියක් නෑ. මම හිතන්නේ එයාලා පරිස්සමින් ඇති.

කොහොමත්, කොහේ හිටියත් කවුරුත් පරිස්සමින් ඉන්න ඕනේ. වැක්සින් එක ගැහැව්වා කියලත් එහෙම ලොකු සහතිකයක් නෑ. මේ ලොකෙන්ම මේ වයිරසය තුරන්වෙනකම් කාටත් එහෙම ගැලවීමක්වත්, පූර්ණ රැකවරණයක්වත් නෑ. ඒ රටවල්, මේ රටවල් කියලා නෑ, ඒක තමයි ඇත්ත. වෙනසකට තියෙන්නේ ඒ ඒ රටවල ආන්ඩු ඒ ඒ තත්වයනට මුහුන දෙන ආකාරයයි. ඇන්දීමයි, රැවටීමයි, නොමගයැවීමයි, මර්දනයයි නැතිව ඇත්ත ඇති සැටියෙන් ඇත්තට මුහුණ දිලා වැඩකරනවා නම් එච්චරයි. මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න පුලුවන් එච්චරයි. වෙන දෙයක් නෑ. ඇත්ත ඇති සැටියෙන් ඇත්තට මුහුණ දිලා වැඩකරමු. කරන්න පුලුවන් එච්චරයි.

ඉතින් පරිස්සමින් ඉන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/08/21

No comments:

Post a Comment