This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 23 October 2020

හින්දු කෝවිලක්වූ මීගමුවේ වලව්වක් ගැන මේ දවස්වල කථා වෙනවා දැක්කද?

 

මේ තමයි ඔය කියන ඊනියා වලව්ව. මීගමුවේ ඔය වලව් කියන ඒවා තිබ්බේ නෑ. ඔය වලව් කියලා කියන ලොකු ගෙවල් දොරවල් වතුපිටි ආදිය තියෙන්න පවුල් කිහිපයක් මීගමුව අවට බිහිවන්නේ ලංකාවේ බ්‍රිතාන්‍යය යටත් විජිත යුගයේදී. ඒ යටත් විජිත පාලකයින්ට විවිධ සේවා සපයනමින්, රා/අරක්කු විකිනීමේ (රා රේන්ද) බලපත් හිමිකරගෙන යහමින් මුදල් උපයමින්, පොල් වතු, කුරුදු වතු ආදිය මිලදී ගනිමින් ධනවත්වූ පිරිස් බ්‍රිතාන්‍යයන් බිහිකළ ක්‍රිස්තියානි ඉංග්‍රීසි පාසැල්වලින් සිය දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඔවුන් රාජ්‍ය සේවයට පිවිසීමෙන් අනතුරුව සිය මුල්ගම්බිම්වලින් එපිට මීගමුව ආදී ප්‍රදේශවල දේපල මිලදී ගනිමින් විශාල ගෙවල් දොරවල් හදමින් මීගමුව අවට පදිංචිවීමෙන් අනතුරුව තමයි දැන් ඔය කියන වලව් කියන කිහිපයක් මීගමුවේ බිහිවෙන්නේ. 

මේ ජයාරූපයේ දැක්වෙන මීගමුවේ (ඊනියා) මිරැන්ඩෝ වලව්වත්, අබේසිංහ-රාජපක්ෂ වලව් කියන ඒවත්, ඩේවිඩ්-විජයපාල මෙන්ඩිස් ආදිනුත් බිහිවෙන්නේ එහෙමයි. ඔවුන් සියල්ලෝම දකුණේ ගාල්ල, බලපිටිය ආදී ප්‍රදේශවලින් පැමිණි පිරිස්. ඔවුන් තමයි මීගමුවේ පන්සල් හදන්නේ. මීගමුවේ පොල්වතු කුරුදුවතු මිලදී ගෙන පසුව විශාල ගෙවල් දොරවල් හදන් ඊනියා වලව්කාරයෝ කියලා පෙනී සිටියේ ඔවුන්. මීගමුවේ මුල් බැසගෙන තිබු කරාව-දුරාව කුල අතරට සලාගම කුලයත් පෙරටුකරගෙන මීගමුවේ කුල ධුරාවලිය තුල තරගකාරී තවකෙක් ලෙස තමයි ඔවුන් ඉස්මතුවෙන්නේ. දකුණෙන් පැමිණි ඔවුන් අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශවයේ ප්‍රධාන බෞද්ධ දායකයින්. ඔවුන් බෞද්ධ වගේම යන්ත්‍ර මන්ත්‍රණ ගුරුකම් කට්ටඩි ආදී හින්දු ආගමික විශ්වාසයනුත් කරපින්නාගත් පිරිසක්. 

ඔය කියන මීගමුවේ (ඊනියා) මිරැන්ඩෝ වලව්ව හිමිවෙලා තිබුන මුහන්දිරම් මගිනා මර්සිලිස් හෙන්රි මිරැන්ඩෝගේ සීයා මාකස් මිරැන්ඩෝ. ගාල්ල, මාගාල්ලේ ඇපොතිකරියක් කරපු මනුෂයෙක්. එයාගේ පුතා තමයි ඇන්ඩෲ පෝල් මිරැන්ඩෝ. මීගමුව කටාන ප්‍රදේශවල කලින් ලන්දේසීන් වගාකළ පොල් සහා කුරුදු ඉඩම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විකුණද්දී 1840 ගණන්වල තමයි ඔවුන් ඉඩම් අරන් මීගමුවට පදිංචියට එන්නේ. එයා විතරක් නෙමේ අර කලින් කියපු දකුණින් ආපු කට්ටිය බොහොමයක් මීගමුවේ පදිංචියට එන්නේ එහෙමයි. සමහරු නම් දකුණෙන් ඇවිත් තියෙන්නේ කුරුදු වතුවල වැඩකරන්න. කුරුදු පොතු ගලවන්න. ඇන්ඩෲ පෝල් මිරැන්ඩෝ (පසුව මුදලිදු) බදින්නේ වලිසිංහ ජුවානිස් ද සිල්වාගේ දියණියක් වන ඇනා ද සිල්වා. ඒගොල්ලොත් දකුණෙන් ආපු අය. ඇනා ද සිල්වා බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ නෑ වෙන කෙනෙක්. 

1870 උපන් ඔවුන්ගේ පුතෙක් තමයි මුහන්දිරම් මගිනා මර්සිලිස් හෙන්රි මිරැන්ඩෝ කියනේ. මුලින්ම නිවුස්ටඩ් විදුහලටත් (ඒ කාලේ කිව්වේ වෙස්ලියානු මිෂනාරි පාසැල කියලයි) පසුව කොලබ රාජකීය විදුහලටත් ගිහින් මීගමුව දිස්ත්‍රික් උසාවියේ ලිපිකරුවෙකු ලෙස පත්වීම ලබා පසුව එම උසාවියේම භාෂා පරිවර්තකයෙකුත් වෙනවා විතරක් නෙමේ මීගමුව නගරය කේන්ද්‍ර කරගත් උතුරු අලුත්කුරු කෝරළයේ මුහන්දිරම් පදවියටත් පත්වෙනවා. ඔහුට පිය පාර්ශවයෙන් ගාල්ල, මාගාල්ල ප්‍රදේශයෙන් පොල්වතු රාශියකුත්, ඔවුන් මිලදී ගත්ත මීගමුවේ පොල් ඉඩමුත් එක්ක ධනය, බලය, උගත්කම සහ නිලතලත් හිමි තැනැත්තෙක් බවට පත්වෙනවා. ඔහු විවාහ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු හා මිනිරන් වෙලෙන්දෙකු වූ මුහන්දිරම් සීමන් ද සිල්වාගේ වැඩිමහල් දියණිය වූ නැන්සි මාරියා එක්කයි. ඒ විවාහයත් සමග මුහන්දිරම් හෙන්රි මිරැන්ඩෝ 1902 වෙද්දී ලංකාවේ නැගී එන නව ප්‍රභූවරයෙක් ලෙස ඉස්මතුවෙනවා. ඔහු ගැන Arnold Wright සම්පාදනය කරපු Twentieth Century Impressions of Ceylon: Its History, People, Commerce පොතේ 696 පිටුවෙත් සදහන් වෙනවා.

එහෙත් 1930 වෙද්දී කුමන හෝ හේතුවක් මත ව්‍යාපාර ආසාර්ථකවීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීම නිසා ඔවුන් ක්‍රමයෙන් පරිහානියට පත්වෙන්න පටන්ගෙන තියෙනවා. සමහර තොරතුරුවලට අනුව පෙනී යන දෙයක් තමයි මුහන්දිරම් හෙන්රි මිරැන්ඩෝ කෙතරම් වියදම් කලත් ලංකාවේ නැගී එන නව දේශපාලන ප්‍රභූ පරම්පරාවට ඇතුල්වීමට නොහැකිවීම ඔවුන්ගේ බිදවැටීමට එක් හේතුවක් වියහැකි බව. 

ඉතින් කෙතරම් ප්‍රකට බෞද්ධ දානපතියෙක්වුනත් ඕවට උත්තර හොයන්න මුහන්දිරම් හෙන්රි මිරැන්ඩෝ යන්න පුරුදුවෙලා තියෙන්නේ හදහන්, වෙලාවල් පිටි පස්සෙයි, යාන්ත්‍රණ මන්ත්‍රණ ගුරුකම් පිටුපස්සෙයි, හින්දු කට්ටඩියෝ පස්සෙයි. අන්තිමට මලයාලම් කට්ඩියෙක් කිව්වලු ගෙදර ලිදේ හින්දු දේව ප්‍රතිමාවක් තියෙනවා එක අරන් ගෙදර දේවාලයක් කෙරුවේ නැතිනම් ඔය මිරෑන්ඩෝ පරම්පරාව නැත්තටම නැතිවෙලා යනවා කියලා. ඉතින් මීගමුවේ ඔය කියන මීගමුව - දිවුලපිටිය ප්‍රධාන මාර්ගය අසල මහහුණුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති (ඊනියා) මිරැන්ඩෝ වලව්ව 1950දී දේවාලයක් වුනේ එහෙමයි කියලා තමයි ගමේ මිනිස්සු කියන්නේ... දැන් එය හදුන්වන්නේ මීගමුවේ නාටු දේවාලය කියලයි.

තව විස්තර මම පසුව සදහන් කරන්නම්.. දැනට මට නම් කියන්න තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ නැගී ආව ලංකාවේ නව සිංහල ප්‍රභූ පරම්පරාවල එක ඛේදවාචකයක් තමයි මේ හින්දු කෝවිලෙන් පෙන්නවා කියන එකයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

23/10/2020

4 comments:

  1. https://lankacitizens.com/social/හින්දු-කෝවිලක්වූ-මීගමුවේ/

    ReplyDelete
  2. මේ ගැන තව විස්තර හොයාගන්න පුලුවන් කොහොමද, ඒ හරියෙ මේගැන දන්න අය ඉන්න ඇත්ද,. මට ආසයි ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. ඕනේ නම් මම කිහිපදෙනෙක් සම්බන්ධද කරලා දෙන්නම්.

      Delete