This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 9 October 2020

ෆෝබෝස් සීගිරිය සොයාගැනීම සහ සුජිත් අක්කරවත්ත රන්තුක සොයාගැනීම

පහුගිය සැප්තැම්බර් 17 වෙනිදා දිනමිණ පුවතේ විශේෂාංගයට 'ෆෝබ්ස්ට උපුල්කන්ද පෙන්වූ රන්තුක' නමින් යුතු ලිපියක් ලියන සුජිත අක්කරවත්ත මහතා ප්‍රබන්දාත්මකව දක්වා තිබුනේ ෆෝබ්ස් සිගිරිය හොයාගත්තේ වැදි තරුණයෙක්වූ රන්තුකගේ ආධාරයෙන් බවයි. 

කැලේ ජීවත්වූ රන්තුකට අධිරාජ්‍ය සේවයේ නියතුවූ ෆෝබ්ස්ව මුණගැසෙන්නේද කැලයේදීමය. දෙදෙනා අතර ඇතිවෙන ඇයිහොදයිය අවසන් වෙන්නේ මෙතෙක් වැද්දන් විසින් සියවස් ගනනාවක් රැකි උපුල් කන්ද හෙවත් සීගිරිය ගැන රහස ෆෝබ්ස්ට හෙලිකිරීමෙන් යැයි ඔහුගේ රචනයේ දැක්වේ....

'' මිහින්තලා වැවෙන් ගොඩවී, රන්තුක හබරණ මහ වනාන්තරයට වැ‍ටුණේ හාර මාසයකට පසුවය. රන්තුකට ‍රැහේ අමතක වූවේය. ෆෝබ්ස්ට අධිරාජ්‍ය සේවය අමතකය. පත් ඉරුවෙන් පත්ඉරුව මේ මනස් කාන්ත රටේ මහ විල් වන රාජයන් අතර සැඟවුණ විස්මාන්විත අතීත ස්මාරක ෆෝබ්ස් නෙත ගැටේ. ඔහු, එකින් එක ගැන ලියමින්, චිත්‍රයට නඟමින් පා නගයි. නවතී. ගිමන් හරී. අල කොළ, පලාපල, දඩයම් එකට ගෙන, රන්තුක වන පලවල රස අග්‍රහාරයෙන් ෆෝබ්ස් නළවයි. වංශ කථා ‍රැහේ කතා කුලේ කතා කන්දේ කථා අතරින් දවසක ඔහුට 

''උපුල්කන්ද'' යැයි කියැවුණේය.

උපුල්කන්ද !

ෆෝබ්ස් හූරා අමුතුවට තොල් පෙරළා ඇස් විස්මානයෙන් ලොකු කරමින් ඇසුවේය. රන්තුක අසරණ වුයේය. අහස එකොළොස් මසක්ම පුරහඳ පෙන්වූ බව රන්තුකට මතකය. මේජර් ෆෝබ්ස් සහ රන්තුකගේ බැඳීමට වසරකුත් ගෙවෙන්නට ආසන්නය. ‍රැහේ රහස කට තොලින් පැන ගත්තායි බියක් රන්තුකට වහා ඇති විය. බියපත් නෙත් ෆෝබ්ස්ගේ බැඳීම් සහගත බැඳීමට දිස් විය. ෆෝබ්ස් විත් රන්තුකගෙන් උපුල් කන්ද (උපුල් වෙහෙර) ගැන විමතිව විමසීය. රන්තුකට නිහඬව සිටින්නට බැරි තරම්ය''...

උපුල් කන්ද ගැන රැහේ රහස ගැන වඩ වඩා සිහින සිත්තම් ගොතන සුජිත් අක්කරවත්තගේ ඉහත ලියවිල්ලේ එන රන්තුක තවදුරටත් සිගිරිය ගැන දක්වන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිණී ගැන කීවෙන කතා සිහි ගැන්වෙන ලෙසය.... 

'උපුල් කන්ද ගැන දිග කථාවක් කියන්නට රන්තුකට සිදු විය. රන්තුක දිග කතාවම කීවේය. මැදියම් යාමේ මේජර් ෆෝබ්ස්ට හිනා ගියේය. හොඳටම හිනා ගියේය. සුරංගනා කතාවක් තරම් සුරංගනාය. දෙව් ලියන් ගොඩබැසපු ගිරි කූටයක් රත්තරන් පහන් දල්වා චිත්‍ර ඇඳලා කවි ලියලා. ඒකට යන්න තියෙන්නේ සිංහයෙකුගේ කට ඇතුළෙන්. ඒක හදපු රජ්ජුරුවන්ගේ දුව උපුලි, උපුල කන්දෙ භූ ගර්භයේ තාම ජීවත් වෙනවා. ෆෝබ්ස්ට මේ කතාව අදහා ගනු බැරි තරම් සුරංගනාය. මනෝ මායාමය...'' 

රන්තුක කථාව විශ්වාස නොකරන නිසා රන්තුක මේජර් ෆෝබ්ස්ට සීගිරිය අසලටම ගෙන ගිය බවත් එහිදී කොටියෙක් කඩා පැන රන්තුක මියගිය බවත් සුජිත් අක්කරවත්තගේ කතාවේ දක්වයි.... 

''ගිරි කූඨයට යන පාර උඹ දන්නවාදැයි මේජර් ෆෝබ්ස් රන්තුකගෙන් ඇසුවේය. රන්තුක ෆෝබ්ස් දෙස බලා ඔව් යැයි කීවේය.
රන්තුකගේ සෘජු රිද්මයට මේජර් ෆෝබ්ස් වහා නැගිට්ටේය. රන්තුක සමඟ ඒ ඓතිහාසික රහස සොයා පිය නැඟීය.

දොළොස් දිනක වෙහෙසකර ගමනකින් රූස්ස වන රේඛාවකින් වසා ගත් කඳු පව්වක් පාමුලට ෆෝබ්ස් විත් තිබිණි. රන්තුක පා පොෙළාවේ නැමි නැමි සතර අතට නළල බිම තබා වඳින දෙස මේජර් ෆෝබ්ස් බලා සිටියේය. එක විටම වනයෙන් කඩා පැන ගත් දිවි පොව්වකු, රන්තුකගේ බෙල්ලට පැන බෙල්ල කඩා පැන දිව්වේය. ෆෝබ්ස් දුක් සාගරේ ගිළෙමින්, එතැනටම වී, රන්තුකගේ මිනිය බදා වැලපුණේය...''

රන්තුකගේ මරණයෙන් බොහෝ සංවේගට පත් ෆෝබ්ස් අවසාන වශයෙන් රන්තුකගේ මරණයට පෙර ඔහු නළල් තලය තබා වැඳ වැ‍ටුණු තැනට දිව ගිය බවත්, රන්තුක තම නළල තැබූ තැන තුවක්කු බඳ ගසා හෑරා පසුව දඬු උලක් සාදා හාරා පස ඉවත් කල බවත්, ෆොර්බස් පුදුමයෙන් පුදුමයට පත්කරමින් සිංහපාදයේ මහපොට ඇගිල්ල හමුවූ බවත්, සියවස් හතරක් ලාංකිකයින්ට පවා අමතකවී ගිය සීගිරිය ලෝකයට විවිර කරමින් ෆොර්බොස් සිගීරිය සොයාගත්තේ එලෙස බවත් සුජිත අක්කරවත්තගේ කතාවේ දැක්වයි...

''රන්තුක තම නළල තැබූ තැන තුවක්කු බඳ ගසා හෑරුවේය. දඬු උලක් සාදා හාරා පස ඉවත් කළේය. ඔහු පුදුමයෙන් පුදුමයට පත් විය. පුදුමයෙන් විමතියට පත් විය. විමතියෙන් විස්මයට පත් විය. විස්මයෙන් කුතූහලයට පත් විය. ඔහු දු‍ටුවේ ශෛල මහපට ඇඟිල්ලක්. එනම් සීගිරි සිංහ පාදයේ මහපටැඟිල්ලය. ඒ සීගිරිය සොයා ගත් මොහොතය. සියවස් හතරක් ලංකා පොළොවේ මිනිසුන් පවා නොදැන සිටි සීගිරියට ගිය පළමු නූතන මිනිසාය. සීගිරිය ලොවට යළි විවර වූයේ එදාය.''

*******************************************************
සීගිරිය බටහිර ජාතීන්ට සොයා දුන්නේ මේජර් ෆොර්බස් බව ඇත්තය... එහෙත් එහිලා කිසිදු වැදී තරුණයෙක් දායකවූ බවක් ඔහුගේ වාර්තාවල සටහන් නොවේ. එමෙන්ම ෆොර්බස්ගේ සිගිරි සොයාගැනීම සිදුවුයේ ඔහු පොළොන්නරුවේ සිට ආපසු පැමිණෙමින් සිටියදීය. පොළොන්නරුවේ විවිධ පුස්කොල පොත්, සෙල්ලිපි පිටපත් කරමින් සිටි මේජර් ෆොර්බස්ට සීගිරිය ගැන තොරතුරු දැනගැනීමට ලැබී ඇති අතර ඔහු පොළොන්නරුවේ සිටම එය සොයමින් පැමිණියේය. එහිලා දායකවූ රන්තුක නම් වැදී තරුනයෙක් ගැන කිසිදු සටහනක් නැත.

සාහිත්‍යකරුවෙකුට විවිධ කථා ප්‍රබන්ද නිර්මාණය කල හැකි බව අපි දනිමු. සුජිත් අක්කරවත්තද මේජර් ෆොර්බර්ස්ගේ Eleven Years in Ceylon නම් කෘතිය කියවා වෙනත් කතාවක් ගොතා ඇත. එහෙත් මේජර් ෆොර්බර්ස් සිගිරිය සොයාගනිමින් එය ලෝකයට විවිරකර දීමට දැරු උත්සහය, ඒ වෙනුවන් යටත් විජිත පාලකයන්ගේ අවධානය සහ ආධාරය දිනාගැනීමට දැරු අරගලය, අවසාන වශයෙන් H.C.P බෙල් වැනි විද්වතෙක්ව සිගිරිය ගැන පුළුල් අධ්‍යනයක් කිරීමට යොමුකරවීමට තරම් ඔහුගේ මැදිහත්වීම ගැන කිසිදු අවධානයක් යොමු නොකරවමින් කොහේදෝ සිටි රන්තුක නම් වැදි කොලුවෙක් පටලවමින් සිදුකරන්නේ ඇත්ත වෙනුවට මිත්‍යාව සමාජ ගතකිරීමය. අවසානයේ අපේ ජනයාගේ මතකයේ රැදෙනුයේ රන්තුක වැනි ප්‍රබන්ද කථා මිස සිගිරිය වැනි අපේ පුරාණ ජනයාගේ ව්ශිෂ්ට නිර්මාණ නැවත මතුකරගැනීමට විවිධ පුද්ගලයින් දැරු අවංක උත්සහයන් නොවේ. අදද සිගිරිය කෞතුකාගාරයේවත් ලංකීය ඉතිහාස පොත්වලත්, පාසල් පාඩම් පොත්වලවත් ෆෝබස් සිගිරිය සොයාගත් ආකාරයවත්, H.C.P. බෙල් එය ලෝක උරුමයක් ලෙස ලෝකවාසී ජනයාට පුරාවිද්‍යාත්මක අර්ථයෙන් හදුන්වාදුන් ආකාරයවත් ගැන සදහන් කරන්නේ නැත. එයද එක්තරා ආකාරයක ගුණමකුකමකි. කාගේ හෝ ශ්‍රමය සුරාකෑමකි. 

මේජර් ෆොර්බර්ස්ගේ සිගිරිය සොයාගැනීමට ආදාල ඔහුගේ Eleven Years in Ceylon කෘතියේ අදාල පිටු කිහිපයක් පහතින් දැක්වේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා 
08/10/2020 












No comments:

Post a Comment