This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 21 October 2019

පාස්කු ප්‍රහාරයට මාස 6යි, තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු දඩයම කරේතියන් යද්දී

''තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු, 
දඩයම කරේ තියන් යන විදිහෙන්" 

ඉහත පැරණි කියමන නැවත භාවිතයට පැමිණ ඇත්තේ සිය අපේක්ෂකයා දිනවීම සදහා දේශපාලන වේදිකා තුල පාස්කු ප්‍රහාරය නින්දිත ලෙස යොදා ගන්නා ආකාරයත් සමගිනි.  

අදට (21/10/2019) පාස්කු ප්‍රහාරයට මාස 6කි. ඉන් විපතට පත්වූවෝ දිනපතා කදුළු සලමින්ද, එදිනෙදා ජීවිතයට කෙසේ හෝ මුහුණදෙමින්ද, තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින්ද සෝසුසුම් මැද දිවිගෙවමින්ද සිටී. රජයෙන් ලැබුන රු.75,000 සහ කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියෙන්ලද ආධාර උපකාරද, වෙනත් සංවිධාන, ආයතන සහ පුද්ගලයින්ගේලද ආධාර උපකාර සහ සහයෝගයන් හැරුණු කොට ඔවුන්ට වෙනත් හව්හරණක් නැත. 

පාස්කු ඉරැදින පල්ලි ගිය ඔවුන්ට මේ අපරාධය සිදුකල, සිදුකිරීමට සැලසුම් කල, ඊට ආධාර අනුබල දුන්, ප්‍රහාරය ගැන සියළු තොරතුරු දැන දැනත් එය නොවලක්වා, මුලික වශයෙන් කිතුනු ජනයා බිල්ලට යෑමට දී බලා සිටි නිලධාරීන් කවුද? ඔවුන් එසේ කලේ ඇයිද? යන්න ගැන මේ දක්වා විදිමත් පරීක්ෂණයක් සිදුකර නැත. මේ පිලිබදව සොයා බැලීමට පිහිටවූ කොමිෂන් සභා, පාර්ලිමේන්තු කාරක සභා ආදියෙන්ද ඉහත ප්‍රශ්නවලට තවමත් නිසි පිළිතුරු ලැබී නැත.  

තත්වය මෙසේ තිබියදී දේශපාලන වාසී ලබා ගැනීමේ අටියෙන්, සිය අපේක්ෂකයා ජයග්‍රහණ කරවීමේ අභිලාෂයෙන්, පාස්කු ප්‍රහාරය සහ ඉන් විපතට පත්වූවන්ගේ දුක්සෝසුසුම් ජනාධිපතිවරණ වේදිකාවේ වෙන්දේසියේ විකුණමින් සිටී. ඇත්තවශයෙන්ම, පාස්කු  ප්‍රහාරය මෙසේ ගෙඩිපිටින් විකුණමින් සිටින්නේ වෙන කිසිවෙකු නොව පොහොට්ටුවේ (පොදුජන එක්සත් පෙරමුණේ) අපේක්ෂකයාවන ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට සිදුකරන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසිනි. ඔවුන් එසේ සිදුකරනුයේ පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් ජනයා ගැන සානුකම්පිත හැගීමකින්වත්, සිදුවූ අපරාදය සම්බදයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති නොසලකා හැරීමේ ස්වරූපය සහ ආරක්ෂාව නොසැලසීම ගැන හෙළිදරව් කිරීමේ අදිටනින්වත් නොව හුදෙක් තුච්ඡ ලෙස දේශපාලන වාසි ලබාගෙන සිය අපේක්ෂකයාගේ ජය තහවුරු කරගැනීමේ කුහක අපේක්ෂාවෙන් පමණක් බව පැහැදිලිය. 

''තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු, දඩයම කරේ තියන් යන විදිහෙන්" යන්න කරලියට පැමිණ ඇත්තේ පොහොට්ටුවේ ජනාධිපතිධුර අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවීම සදහා සිදුකරන ප්‍රචාරක ව්‍යාපාරය විසින් පාස්කු ප්‍රහාරය විකුණමින් ලබාගැනීමට දරන දේශපාලන වාසිය වඩා වඩා ඉස්මතුවීම තුලය. 

රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ සිටීද? නැද්ද? යන ගැන අපි තවමත් නොදනිමු. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසිලබා ගන්නා ප්‍රධාන පාර්ශවය බවට ඔවුන් දැන් පැහැදිලිවම පත්ව ඇත. විශේෂයෙන්ම, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ, කොටි නැගීටී,  මුස්ලිම් ව්‍යාප්තවාදය ඇතුළු ජනයා තුල අනියත බියක්, හීතියක්, ආතතියක්, කම්පනයක්, වික්ශෝපයක් සහ භ්‍රාන්තියක් ඇතිකිරීමේ දේශපාලන ව්‍යායාමයක නිරතවූ ඔවුන්ට පාස්කු ප්‍රහාරය යනු 'ඉබ්බා දියේ දැමීමක්' විය. ඉන් ඔවුන් ජපකරමින් සිටි ජාතික ආරක්ෂාව අනතුරේ යැයි යන්න දැන් ඇස් පනාපිටම ඔප්පුකර පෙන්විය හැකි අවස්ථාවක් උදාවිය. 

එහෙත්, ජාතික ආරක්ෂාව පැහැදිලිවම අනතුරේ වැටුනේ රාජපක්ෂලා සිරිසේන සමග එක්ව හොර ආණ්ඩු සෑදීමට ඉකුත් ඔක්තෝබර් 26 සිදුකල කුමන්ත්‍රණයෙන් පසුව බව ඔවුන් ජනතාවගෙන් සගවමින් සිටී. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය අසාර්ථකවීමෙන් පසුව 'කපන්න බැරි අත සිබිමින්' ජනාධිපති සිරිසේන නැවත රනිල් වික්‍රමසිංහව අගමැතිධුරයේ පිහිටුවුවද ශ්‍රී ලංකා ආණ්ඩුව 'යා දෙක නොරත රථ' විය. ආරක්ෂාව වැනි විෂයන්ගෙන්ද, ආරක්ෂක මණඩලයෙන්ද අගමැති රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොලිස්පති පුජිත ජයසුන්දරවද එළියෙන් තබන ලදී. රටේ  ජාතික ආරක්ෂාව පැහැදිලිවම අනතුරේ වැටුනේ රාජපක්ෂලා සිරිසේන සමග එක්ව හොර ආණ්ඩු සෑදීමට ඉකුත් ඔක්තෝබර් 26 සිදුකල කුමන්ත්‍රණයෙන් පසුව බව පැහැදිලිය. සහරාන්ලාට කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මකවීමට ඉන් තව තවත් ඉඩ ප්‍රස්ථා සැලසුනි. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ පූර්ව ජවනිකාව වූ 'ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය'ට සමබන්දයැයි කියමින් සහරාන්ලා ගැන පරීක්ෂණ පත්වමින් සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු  අත්අඩංගුවට පත්වී සිරගතවීම එසේ ඉඩ ප්‍රස්ථා සැලසීමට හේතුවිය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ පූර්ව ජවනිකාව වූ 'ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය' බොරුවක් යැයි කියමින්  ඉහත කී නියෝජ්‍ය පොලිස්පතිවරයාව පසුව නිදහස් කෙරුණි. ඒ වනවිටත් සහරාන්ලාගේ මෙලේච්ච ආගමික ත්‍රස්තවාදයට අහිංසක කිතුනු ජනයා බිලිදී හමාරය. රටේ ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කියමින් මහජනයා තුල අනියත බියක්, හීතියක්, ආතතියක්, කම්පනයක් සහ භ්‍රාන්තියක් ඇතිකිරීමේ පොහොට්ටුවේ දේශපාලන ව්‍යායාම ඒසමග යථාභූතවිය. 

2015 පරාජයෙන් පසුව නැවත දේශපාලන බලය අත්කරගැනීමට රාජපක්ෂලා නොලකල දෙයක් නැත. සහරාන්ලා ලවා බෝම්බ පිපිරවීමවුවද ඔවුන්ට නොකළ හැක්කක් නොවේයැයි  පෙනීගියහොත් එයද පුදුමයට හේතුවක් නොවනු ඇත.  

අප කවුරුත් දන්නා ලෙස සහරාන්ලා මෙන්ම 'තවුහික් ජමාත්' සංවිධානයත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී ආරක්ෂා අමාත්‍යාංශයෙන් වැටුප් ලැබුවන්ය. ඔවුන්ගේ සමාජිකත්වය, සංවිධාන ව්‍යහුය, සම්බන්දතා ජාලය ගැන තොරතුරු පැහැදිලිවම රාජපක්ෂලා සතුව  තිබිය හැක. අප දන්නා ලෙස සහරාන් 'තවුහික් ජමාත්' සංවිධානයෙන් පසුව වෙන්වී 'ජාතික තවුහික් ජමාත්'  නමින් නව සංවිධානයක් ගොඩ නගාගෙන තිබේ. එකී සංවිධානය බොහෝදුරට අනුගමනය කර ඇත්තේ ISIS ඉස්ලාමිය ත්‍රස්තවාදී සංවිධාන භාවිතා කරන සංවිධාන ව්‍යහුය ය. ඔවුනට උපදෙස් දෙන්නේ කවුද? කොහෙන්ද? කුමන අරමුණකින්ද? යන්න ඔවුහු නොදනී. ලැබෙන අණ පමණක් ක්‍රියාත්මක කරයි. එවැනි සංවිධාන  ව්‍යහුයක් යොදාගනිමින් අවශ්‍ය අයෙකුට සිය දේශපාලන අභිලාෂයන් පවා මුදුන්පත්කර ගත හැක.  ISIS ඉස්ලාමිය ත්‍රස්තවාදී සංවිධානය CIA සහ මොසාර්ඩ් වැනි ඔත්තු සේවාවන් විසින් ක්‍රියාත්මක කරන්නේයැයි කියවෙන තර්ක-විතර්ක මතුවෙන්නේ එම පදනම තුලය. කෙසේවුවද, ඉස්ලාමීය ත්‍රස්වාදී ප්‍රහාර සමග  CIA සහ මොසාර්ඩ් වැනි ඔත්තුසේවා සංවිධානය, ඇමරිකාව සහ ඊශ්‍රරායලය වැනි රටවල් හෝ ආයුධ ජාවාරම්කරුවන්ට ඇති සම්බන්දය ගැන විවිධ තොරතුරු පැවතියද ඒ සම්බදයෙන් තවමත් විධිමත් පරීක්ෂණ සිදුකර නොමැත. 

එහෙත්, ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස  ISIS ඉස්ලාමිය ත්‍රස්තවාදය මෙන්ම 'කූබියෝද' සිටින බව අපි මුලසිටම කිව්වෙමු. 'කූබියෝ' යනුවෙන් අදහස්කලේ කූට දේශපාලන 'ගේම්කරුවන්' යන්නය. එය 'කූබියෝ' ටෙලිනාට්‍ය ඔස්සේ පෙරට පැමිණි යෙදුමකි. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස ISIS මෙන්ම කූට දේශපාලන ගේම්කරුවන් හෙවත් 'කූබියෝද' ඉන්නේයැයි පෙනී ගියේ එකී බෝම්බ පුපුරාගිය කාලය, ස්ථාන, ප්‍රදේශ සහ දේශපාලන සිතියම ගැන සලකා බැලීම තුලය.  

පැහැදිලිවම පාස්කු ඉරිදා ප්‍රහාරය දියත්වෙන්නේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයත් සමග වඩාත් මෝදුවූ  ශ්‍රී ලංකා  දේශපාලනයේ ආරාජික සමයකය. මහනුවර සිංහල-මුස්ලිම් කෝලාහල ඇතිවී අවුරුද්දකට පසුවය. ජාත්‍යන්තරව නම් නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරය එල්ලවීමෙන් පසුවය. එමෙන්ම ප්‍රහාරය දියත්වන්නේ විදේශීය සංචාරකයින් සිටි තරුපන්තියේ හෝටල් සහ කිතුනු ආගමික දේවස්ථානවලටය. බැලු බැල්මට එය ISIS වර්ගයේ ප්‍රහාරයක් බව  පෙනීයයි. මන්දයත් ඉස්ලාමිය ආගමික ත්‍රස්තවාදී ISIS ප්‍රහාරකයන්ගේ ප්‍රකට ඉලක්ක ඒවාය.  හෙළිදරව්වී ඇති තොරතුරු අනුව සහරාන්ලා මුලින්ම බලාපොරොත්තුවී ඇත්තේ මහනුවර සිංහල-මුස්ලිම් කෝලාහලයවී වසරක් ගෙවීම සැමරීමට බෞද්ධාගමික ස්ථානවලට ප්‍රහාරයක් දියත්කිරීමය. එහෙත් එය ඔවුන්ගේ සම්බන්දතා ජාලය විසින් පාස්කු ඉරිදා දිනය-කිතුනු ආගමික ස්ථාන සහ විදේශිකයන් ලැගුම් ගන්නා හෝටල් බවට ප්‍රතිඉලක්ක ගතකර ඇත. එසේ සිදුකලේ කවුද? කවදාද? යන්න තවම හෙලිදරුව්වු වගක් නොකියවේ. තවද එසේ ප්‍රහාර එල්ල කරන්නේ මීගමුවේ කටුවාපිටිය දේවස්ථාන, කොච්චිකඩේ දේවස්ථානය සහ මඩකලපුවේ සාන්ත මරියා දේවස්ථානය ආදිය සහ අනෙකුත් හෝටල් මේවා යැයි නිශ්චිතව තීරණය කලේ කවුදැයි යන්නද තවමත් හෙළිවූ බවක් නොපෙනේ. එහෙත් මීගමුවේ කටුවපිටිය දේවස්ථාන අසල නිවසක් ඔවුන් කුලියට ගෙන ඇත්තේ ප්‍රහාරයට මාස 04 කර පෙර ජනවාරියේය. එමෙන්ම මඩකලපුවේ සාන්ත මරියා දේවස්ථානය අතහැර පසුව මඩකලපුව සියොන් කිතුනු පල්ලියට ප්‍රහාරකයින් තෝරා ගත්තේ මඩකලපුවේ සා. මරියා දේවස්ථානයේ දේව මෙහෙය අවසන්වී තිබු නිසා බව කියවේ. එහෙත් දැනගැනීමට ලැබී ඇති තොරතුරැවලට අනුව දේවමෙහෙය අවසන්වී තිබුනද තරමක ජනතාවක් දේවස්ථාන භූමියේ ඒ වනවිටද රැදී සිට ඇත. එහෙත් එම ඉල්ලකය අතහැර ප්‍රහාරකයා ඒ ලගම ඇති සියොන් පල්ලියට ගියේ ඇයි? ඔහුව එහි යාමට කිසිවෙකු විසින් දුරකථන ඇමතුමක් ඔස්සේ හෝ ඔහුව යොමුකලේද? මඩකලපුව සා.මරියා දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ඒම දේවස්ථානය තුල නත්තල්දා රාත්‍රී දේව මෙහෙයේදී මරාදැමූ දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් පිළිබද මතකය (ඒගැන මෙතනින් කියවන්න) නැවත අලුත්විය හැකියැයි කාරණය ගැන ප්‍රහාරකගේ දිශානතිය වෙනස්කල කල තැනැත්තා හෝ තැනැත්තන්ගේ සිත්හි පැවතියද යන්නද අපි නොදනිමු. 

තවද මෙම ප්‍රහාර එල්ලවෙන්නේ මීගමුව/කටාන, උතුරු කොළබ  සහ මඩකලපුව නගරය වැනි කිතුනුවන් වැඩියෙන් සිටින ප්‍රදේශවලය. ප්‍රහාරය නිසා කිතුනු ජන්දවලට විශාල බලපෑමක් කලහැකි බව පැහැදිලිය.  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න සමයක, ශ්‍රී ලංකා දේශපාලන සිතියම දිගහැරෙන සමයක, කිතුනු චන්ද සම්බන්දයෙන් ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ පක්ෂද අවධානය යොමුකරන බව පැහැදිලිය. විශේෂයෙන්ම පසුගිය 2015 ජනාධිපතිවරණයේදී  මීගමුව ආසනය වැඩි චන්ද 30 000කට ආසන්න ප්‍රමාණයකින් සහ ඊට යාබද කටාන ආසනය හංසයාගෙන් තරගකළ සිරිසේන මහතා දිනාගෙන තිබුණිත් ගැන ජනාධිපතිවාරණයකදී දේශපාලන සිතියම ගැන අවධානය යොමුකරන්නන් සලකා බලනු ඇත. කටුවපිටිය දේවස්ථානය පිහිටා ඇත්තේ මීගමුව සහ කටාන ආසන අතරය. එවැනි තත්වයක් තුල එක්සත් ජාතික පක්ෂයට සාමාන්‍යයෙන් බරයැයි ප්‍රචලිත කතෝලික චන්දවලට පාස්කු ප්‍රහාරය ඔස්සේ සිදුකල හැකි බලපෑම සුළු පටු නොවේ.  පාස්කු ප්‍රහාරය පිටුපස ISIS ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මෙන්ම 'කූබියෝද' සිටින්නේ යැයි පෙනී යන්නේ එවැනි පදනමකය. 

මේ දිනවල පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයාවන ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පොහොට්ටුවේ වේදිකාව තුල පාස්කු ප්‍රහාරය සිය චන්ද ගොඩ වැඩිකරගැනීම සදහා තුච්ඡ ලෙස යොදාගන්නා ආකාරය අනුව ''තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු, දඩයම කරේ තියන් යන විදිහෙන්" යන්න කියවෙන්නේද එවැනි පසුබිමකය. 

එහෙත් දේශපාලන වශයෙන් වාසියක් ලැබිය හැකිනම් මීකුණක් හෝ කරේතියන් යෑමට රාජපක්ෂ කදවුරට හිරිකිතයක් නැති බව ඔවුන්ගේ දේශපාලන චරියාවෙන් ඕනෑ තරම් පෙන්වා දී ඇත. ඔවුන්ටඒසදහා එය කිසිදු හිරිකිතයක් හෝ සදාචරයක් නොමැතිබව ඔවුන්ගේ අතීත දේශපාලන ක්‍රියාකාරීත්වයද සාක්ෂිදරයි. එහෙත් ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීම සදහා පාස්කු ප්‍රහාරය තුච්ඡ ලෙස යොදාගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
21/10/2019
පාස්කු ප්‍රහාරයට මාස 06ක් පිරෙනදා. 

    

2 comments:

  1. රනිල් කියන්න ඔ්න දේ උඹ කියන්නේ මොකද?

    ReplyDelete
  2. It is unbelievable your UNP support is making you to accuse SLPP for Ester-Sunday attack.

    All investigations show who/what went wrong (non are so blind than those who refuse to see) Is it wrong to point out mistakes of the govt, I thought that's oppositions duty. Hon Cardinal already said what Catholic people have to say about Ester-Sunday attack,

    Blind UNP followers like you in 2006 voted 3 wheel driver Uvais Mohamed Imitiyas as Colombo Mayor and MR Sirisena as President 2015, hope all people Nigambo will not think like you.

    You better have some solid evidence to support your accusation, else you are in big trouble my friend.

    ReplyDelete