This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 8 October 2025

ඩොනල්ඩ් ට්‍රම්ප්, සදික් ඛාන්ව පතුරු ගහන්නේ මම්ඩානිට මුහුණදෙන්න බැරි නිසාද?


මේ දවස්වල ඇමැරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'තමන්ගේ කුඹුරේ ඉන්න මුවා පන්නගන්න බැරුව අනික් උන්ගේ කුඹුරුවල ඉන්න මුවෝ පස්සේ පන්නනවා වගේ වැඩක් කරගෙන යනවා... ඒ තමයි ලංඩන් නගරාධිපති සදික් ඛාන් (Sadiq Khan) ගැන අරහෙ මෙහෙ හැම තැනම දෙස්දොවොල් දි දි යනවා.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන වෙලවෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා "ලන්ඩන් නගරයේ ඉතාම භයානක නගරාධිපතිවරයෙක් ඉන්නවා, ඔහු හරිම භයානක කෙනෙක්, ඔහු ලන්ඩන් නගරයට ශරියා නීතියත් ගෙන්න යනවා" වගේ පට්ටපල් කෙබර ඇදලා දැම්මා..

ට්‍රම්ප් ලංඩන් ආව වෙලාවෙත් අවස්ථා කිහිපයකදීම ලංඩන් නගරාධිපති සදික් ඛාන්ව (Sadiq Khan) විවේචනය කළා... ලංඩන් නගරයේ නගරාධිපතිකමට සදික් ඛාන් (Sadiq Khan) උචිත නොවන බව ඔහු කිව්වා.. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ලංඩන් නගරාධිපති සදික් ඛාන් ගේ පස්සේ පන්නන්නේ ඇයි?

ඒ වෙන මොකවත් නිසා නෙමේ, නිව්යෝර්ක් නුවර නගරාධිපතිවරණය ලබන නොවැම්බර් 04 වෙනිදා යෙදෙනවා. නිව්යෝර්ක් නුවර එම නගරාධිපතිවරණයට Democrat පක්ෂයෙන් උගන්ඩාවේ උපන් සොහරන් මම්ඩානි (Zohran Mamdani) තරග කරනවා. ඔහු ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වී තිබෙනවා පමණක් නෙමෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැවැන්ත අභියෝගයක් එල්ල කරමිනුත් ඉන්නවා. මෑතකදී (23/09/25) කමලා හැරිස් (Kamala Harris) පවා මම්ඩානිට (Zohran Mamdani) සහය දීමට ඉදිරිපත් වුනා. මේ වෙද්දී ට්‍රම්ප් විරෝධී ජනයා මම්ඩානි වටේ එකතුවෙමින් ඉන්නවා.

ඉතින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මම්ඩානි (Zohran Mamdani) ගේ නමක්වත් සදහන් කරන්නේ නෑ.. මොකද එකත් මම්ඩානිට වාසියක් වෙයි කියලා. ඒ වෙනුවට ට්‍රම්ප් ලංඩන් නගරාධිපති සාදික් ඛාන් (Sadiq Khan) ව පතුරු ගහනවා...

ට්‍රම්ප් එහෙන් සදික් ඛාන් ගැන විවිධ බේගල් ඇද බාද්දී නිව්යෝර්ක් නුවර නගරාධිපති අපේක්ෂක සොහරන් මම්ඩානි (Zohran Mamdani) ලංඩන් නුවර නගරාධිපති සාදික් ඛාන් (Sadiq Khan) ගේ හොද කියනවා: ලංඩන් නගරයේ අවුරුදු 16 යෙන් පහල හා අවුරුදු 60න් ඉහල සියළු දෙනාටම ප්‍රවාහනය නොමිලේ.. දුප්පතුන්ට නොමිලේ ආහාර ලබාදෙන ආහාර බැංකු (food banks) 300-350 විතර ලංඩන් නගරයේ තියෙනවා, බස් සියල්ලම වගේ පරිසර හිතකාමී යි (0% of carbon emulations), බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට ලංඩන් නගරයෙන් පමණක් 23%කට ආසන්න ආර්ථික දායකත්වයක් (£618 billion GDP) ලබා දෙනවා, ලංඩන් නගරයේ පමණක් භාෂා 300ක් කථා කරන, ජනවර්ග 287 ක් වෙසෙන බහුවාර්ගික ජනතාවක් සාමයෙන් ඉන්න තැනක්, ලංඩන් කියන්නේ සතියකට දහස් ගාණක් ශාස්ත්‍රීය, සංස්කෘතික හා ආගමීක උත්සව පවත්වන තැනක්ය..

ආදී විස්තර කියමින් ලංඩන් නගරය උදාහරණයට ගනිමින්, ජනාධිපති ට්‍රම්ප් යටතේ ඇමැරිකානු සමාජයට වෙලා තියෙන හානිය ගැන කියමින්, නිව්යෝර්ක් නුවර නගරාධිපති අපේක්ෂක සොහරන් මම්ඩානි (Zohran Mamdani) සිය මැතිවරණය මෙහෙයවනවා. ට්‍රම්ප්ට ඕක කාලා ඉන්න බෑ..

ඇත්තටම මේ මොහොතේ ඇමැරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ නිව්යෝර්ක් නුවර නගරාධිපති අපේක්ෂක සොහරන් මම්ඩානි (Zohran Mamdani). ට්‍රම්ප් ඔහු ගැන කථාකරන්නවත් කැමැති නෑ.. ඒ වෙනුවට "මුව හමට තලනවා" වගේ ලංඩන් නගරයේ නගරාධිපති සාදික් ඛාන් (Sadiq Khan) ව විවේචනය කරනවා.

මේක බ්‍රිතාන්‍යය මාධ්‍ය දකින්නේ සම්පුර්ණ විහිළු විකාරයක් (comicality) විදිහට.. කොහොම තිබුන ඇමැරිකාවක් ද අද මේ තත්ත්වය පත්වෙලා තියෙන්නේ කියලා බ්‍රිතාන්‍යය මාධ්‍යය විහිළු කරනවා...

ඕනෑ රටක හරක් ටිකක් බොරුවෙන් අන්දලා බලයට එන්නත් පුළුවන්... ආණ්ඩුකරන් යන්නත් පුළුවන්... හැබැයි රටේ තත්වය නග්ගලා ගන්න බෑ...

ලංකාවටත් වෙලා තියෙන්නේ ඕකම තමයි..

These days, it seems as though President Donald Trump of the United States is behaving like a farmer who cannot chase the deer out of his own field, but instead goes running after the deer in someone else’s.

That is exactly what he is doing with the Mayor of London, Sadiq Khan - attacking him everywhere he goes.

Even yesterday, while addressing the United Nations General Assembly, Trump claimed: “There is a very terrible mayor in London, a truly dreadful man, he’s even trying to bring Sharia law to the city,” - a completely baseless and inflammatory remark. On several occasions during his visits to London too, Trump has criticised Sadiq Khan, declaring him unfit to serve as Mayor of London.

But why, in truth, is Donald Trump going after Sadiq Khan so relentlessly?

It is not really about Khan at all. The real reason is the upcoming New York mayoral election, due on 4 November. Contesting from the Democratic Party is Zohran Mamdani, a Ugandan-born politician who has rapidly become both popular and a formidable challenge to Trump. Even Kamala Harris yesterday (23/09/25) publicly extended her support to Mamdani. Anti-Trump fronts are rallying strongly around him.

Trump, however, carefully avoids mentioning Mamdani’s name - knowing full well that even naming him would give his opponent greater recognition and advantage. Instead, he diverts attention by constantly targeting London’s mayor, Sadiq Khan.

As Trump hurls insults at Khan, Zohran Mamdani, the Democratic candidate for New York, points to Khan’s record in London as an example: free public transport for all under-16s and over-60s, between 300 and 350 food banks supporting the poor, a fleet of buses that are almost entirely carbon-free, London contributing nearly 23% of the UK’s economy (around £618 billion in GDP), a truly multicultural city with 287 ethnic communities speaking over 300 languages, and a place where thousands of cultural, academic, and religious events are held every week.

Mamdani contrasts this vision of London with the harm inflicted on American society under Trump’s presidency - and this is something Trump cannot stomach.

At this moment, the greatest challenge facing Donald Trump is undoubtedly Zohran Mamdani. Trump refuses even to speak his name, choosing instead to “lash out at the wrong target” by vilifying Sadiq Khan.

The British press views this as nothing short of comical - a farce, really. They mockingly ask: how on earth has America, once so powerful, come to such a state?

Of course, in any country, a group of fools may indeed be deceived by lies, enough to bring someone to power or to topple a government. But what they cannot do is uplift the state of a nation.

Sri Lanka, too, has learned that lesson the hard way.

Marcus Priyantha Perera
මාකස් ප්‍රියන්ත පෙරේරා
24/09/25

Wednesday, 1 October 2025

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනීම නෙතන්යාහුගේ පරාජයක්

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, පෘතුගාලය ඇතුළු ලෝකයේ රටවල් 160කට ආසන්න පිරිසක් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට සැලකිය යුතු දේශපාලන පසුබෑමක් සනිටුහන් කරනු ඇත. දශක ගණනාවක් තිස්සේ, ඊශ්‍රායල දක්ෂිණාංශික දේශපාලනයේ කේන්ද්‍රීය චරිතයක් වන නෙතන්යාහු පලස්තීනය සමග ආරක්ෂාව, ජනාවාස සහ සහජීවනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ  බලයට පැමිණි සෑම අවස්ථාවේම ඒමත පදනම්ව දැඩි ස්ථාවරයක් සහිත ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ තැනැත්තෙකි. 


ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම නෙතන්යාහු නැවත නැවතත් ප්‍රකාශ කර සිටියේ පලස්තීනයේ ස්වෛරී රාජ්‍යයක් හෝ ද්වි-රාජ්‍ය විසඳුමක් නොමැති බවයි (no two-state solution). පලස්තීන රාජ්‍යත්වය ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහ භෞමික හිමිකම්වලට තර්ජනයක් ලෙස සලකන ඊශ්‍රායල දේශපාලනයේ දක්ෂිණාංශික කණ්ඩායම් සෑම විටම ඔහුගේ ස්ථාවරය ශක්තිමත් කළේය. බටහිර ඉවුරේ  ඊශ්‍රායල ජනාවාස පුළුල් කර, E1 නමින් හදුන්වන ජෙරුසෙලමේ සිට මළ මුහුද දක්වා යුදෙව් ජනාවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ජෙරුසලමේ පාලනය සම්පුර්ණයෙන්ම අත්කරගනිමින්, ඊශ්‍රායලයේ “නොබෙදුණු අගනුවර” ලෙස ජෙරුසලම ඒකාබද්ධ කිරීම සහ අනුකම්පා විරහිත ජන ඝාතන යුද්දයක් මගින් පලස්තීන භූමි ප්‍රදේශ මත මිලිටරි පාලනය පවත්වා ගැනීම සඳහා වූ බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන ව්‍යාපෘතිය පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම තුල අර්බුදයට යනු ඇත. 


පලස්තීන ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එවැනි සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමත්, සම්පුර්ණයෙන්ම මිලිටරි ආධිපත්‍යය මත යැපීම සිය දේශපාලන භාවිතය කර ගත් නෙතන්යාහුට දැන් රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයේ සැබෑ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. නෙතන්යාහුගේ

අන්තවාදී ප්‍රතිපත්ති, කලාපයේ යුක්තිය, මානව හිමිකම් සහ සාමය සඳහා වන ගෝලීය ඉල්ලීම් අතර දැඩි පරතරයක් තිබුණි. ඔහුගේ නිමක් නැති යුද්ධ ප්‍රතිපත්තිය එකී පරතරය වඩ වඩාත් තීව්‍ර කරන ලදි. එහින් නෙතන්යාහුගේ දේශපාලනය පරාජය කළ යුතුම තැනකට මෑතකලයේදී බටහිර ලෝකය සේන්දුවිය. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම එහි ප්‍රතිපලයකි. එබැවින් පලස්තීනය පිළිගැනීම පලස්තීනුවන්ගේ සංකේතාත්මක ජයග්‍රහණයක් පමණක් නොව, නෙතන්යාහුගේ දේශපාලන උපාය මාර්ගයේ දෘෂ්ටිවාදාත්මක පදනමට සෘජු පරාජයක් ද අත්කර දී ඇත.


The recognition of Palestine as a separate state by nearly 160 countries worldwide — including France, the United Kingdom, Canada, Australia and Portugal — would mark a significant political setback for Benjamin Netanyahu’s government. For decades, Netanyahu has been a central figure in Israel’s right-wing politics, rejecting negotiations on security, settlements and coexistence with Palestine. On every occasion he has come to power, he has shaped national policy on the basis of this hard-line position.


Throughout his political career, Netanyahu has repeatedly declared that there will be no sovereign state of Palestine and no two-state solution. The right-wing factions of Israeli politics, which view Palestinian statehood as a threat to Israel’s security and territorial claims, have consistently reinforced his stance. His political agenda has included expanding Israeli settlements in the West Bank, advancing the E1 project to build Jewish settlements from Jerusalem to the Dead Sea, consolidating Jerusalem as Israel’s “undivided capital,” and maintaining military control over Palestinian territories through what many be described as a relentless war of collective punishment. The international recognition of Palestine as a separate state would throw this political project into crisis.


By rejecting Palestinian sovereignty, refusing meaningful negotiations, and relying entirely on military dominance, Netanyahu has defined his political strategy. Now, however, he faces a genuine diplomatic challenge. His extremist policies, which stand in sharp contrast to global calls for justice, human rights and peace in the region, have only deepened that divide. As a result, his endless war policy has been increasingly discredited in the West, and the international recognition of Palestine is a direct outcome of this shift.


Thus, recognising Palestine is not only a symbolic victory for the Palestinians, but also a direct defeat to the ideological foundation of Netanyahu’s political strategy.


Marcus Priyantha Perera 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

23/09/25

Sunday, 7 September 2025

කතෝලික සභාව සාන්තුවරයට එසවූ කාර්ලෝ අකුටිස්ගේ දේහය බැලීමට ගියෙමි.

කතෝලික සභාව අද, 07/09/25, දින, 2006 දී ලෙව්කීමියා (leukemia) රෝගයෙන් මියගිය, 15 හැවිරිදි තරුණයෙකු වු කාර්ලෝ අකුටිස් (Carlo Acutis) හා 1925 දී පෝලීයෝ රෝගයෙන් මියගිය, එවකට, වයස අවුරුදු 24 ක් වු, කතෝලික සමාජ ක්‍රියාකාරිකයෙකු වු, ඉතාලි ජාතික, පියර් ජෝර්ජියෝ ෆ්‍රාසාටි (Pier Giorgio Frassati) යන තරුණයින් දෙදෙනා සාන්තුවරයට ඔසවනු ලබයි.

මේ අතරින් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) ගේ නාමය අප අතර නිතර රැදී පැවැතියේ ඔහු ඉතා මෑතකදී මිය ගිය තරුණයෙකු නිසාම පමණක් නොව ඔහුගේ දෙමාපියන් ලංඩනයේ පැවැත්වූ දේශන මාලාව නිසාය.

ඉතාලි ජාතික දෙමාපියන්ට දාව 1991 මැයි 3 දින ලන්ඩනයේ උපන් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) හැදී වැඩුනේ ඉතාලියේ මිලානෝ නගරයේය.

පරිගණක තාක්ෂණයට, සමාජ මාධ්‍යය භාවිතයට කුඩා කල පටන්ම අති විශේෂ දක්ෂතාවක් දක්වා ඇති කාර්ලෝ අකුටිස් එම දක්ෂතාවය යොදාගෙන ඇත්තේ සිය සම වයසේ මිතුරු මිතුරියන් අතරේ යහපත්කම හා විශ්වාසය වර්ධනය කරන ආකාරය උගන්වන ආදර්ශයක් ලෙසය. තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගනිමින් සිය ජීවිතය තුල මුල් බැසගෙන තිබූ ක්‍රිස්තියානි ඉගැන්වීම් හා වටිනාකම් බෙදාගැනීම ඔහු තුල පුදුම සහගත කැපවීමක් තිබී ඇත.

ඔහු ඉතාම කුඩා වියේ පටන්ම සිය දෙමාපියන්ටත් වඩා කතෝලිකයෙක් විය. බහ තෝරණ වියේ සිටම ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කිරීමටත් , දිව්‍ය සත්ප්‍රසාදය තුල ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන් වැඩ සිටින බව තහවුරු කිරීමටත් අතිමහත් උත්සහයකින් කටයුතු කර තිබුණි. ඔහු ඒ සදහා තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගන්නට විය. එම නිසාම ඔහුට “දෙවියන්ගේ සමාජ මාධ්‍ය බලපෑම්කරු” ("God's Influencer") නමින් නාමයක් ද පටබැදුනි. ඒ තරමටම ඔහු සමාජ මාධ්‍ය තුල දෙවියන් වහන්සේ පිලිබදව, ක්‍රිස්තුස් වහන්සේ පිලිබදව, දිව්‍ය සත්ප්‍රසාදය පිලිබදව, කතෝලික ඉගැන්වීම් හා කතෝලික සභාව පිලිබදව සිය විශ්වාසයන් හා ඉගැන්වීම් බෙදාහරින්නට විය.

වයස අවුරුදු 12 වනවිට ක්‍රමයෙන් අසනිපවීමට ගත් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) 15 වෙනි වියේදී ලෙව්කීමියා (leukemia) රෝගයෙන් මිය යන විටත් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේ පිලිබදවත්, දිව්‍ය සත්ප්‍රසාදය පිලිබදවත් ඉගැන්වීම අත් හැර තිබුනේ නැත.

2006 දී ඔහු මියගිය පසු ද ඔහු ඩිජිටල් මාධ්‍යය තුල බෙදා හැර තිබූ, ඔහු ප්‍රචාරය කළ කිතුණු විශ්වාසන් අදහාගත් පුද්ගලයන් අතරින් ලෙඩ රෝග සුව වීම් හා ප්‍රාතිහාර්ය වාර්තාවන්නට වීම නිසා, කාර්ලෝ අකුටිස් (Carlo Acutis) ගේ දේහය නැවත ගොඩගැනීමට තීරණය කළේය. සියල්ලන් මවිත කරමින් ඔහුගේ දේහය නොදිරා තිබුණි.

මේ සිදුවීම මෙම සියවසේ කිතුණුවන් අතර මහත් අවධානයට ලක්වූ සිද්ධියක් විය. තුනී සිලිකන් ආවරණයකින් ආරක්ෂා කර ඇති ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සදහා ඉතාලියේ, අසීසි නුවර, සාන්ත මරියා මැජියෝර් දේවස්ථානයේ තැම්පත් කරනු ලැබීය. අපි ගෙවී ගිය මේ අගෝස්තුවේ (2025) අසීසියට ගිය විට එම දේහය බැලීමට ගියෙමු.

ඔහු විශ්මයජනක තැනැත්තෙකු බව ඔහුගේ එම දේහය දුටු පමණින්ම සිතා ගත හැක්කකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
07/09/25

Saturday, 19 July 2025

මීගමුව කොටුව අවට කලාපය සුද්ද කළ පමණින් එහි ඓතිහාසික උරුමය රැකේද?


මීගමුව බලකොටුව හා කොටුව පල්ලිය (St. Stephen's Anglican Church, Negombo) අවට කලාපය එළිපෙහෙළි කර ඇති බව වාර්තා වේ. කැලෑව වැවී, වල් බිහිවී තිබූ මෙම කොටස සුද්ද පවිත්‍ර කර නැවත මහජයාට දැක බලාගත හැකි ස්ථානයක් බවට පත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුය.

 මීගමුවේ පෘතුගීසි - ලංදේසි බලකොටුව නැරබීමට මීගමුවට පැමිණෙන සංචාරකයින්ට පමණක් නොව, මීගමුවේ බලකොටුවක් ඇත්තේ කොහේදැයි විමසන ශ්‍රී ලාංකිකයන්ට ද මීගමුව කොටුවේ ඉතිරිවී ඇති කොටස් මෙසේ හෝ දැකබලා ගැනීමට මෙලෙස හෝ  අවස්ථාවක් හිමිවේ නම් එය ද වටින්නේය. මීගමුවේ පෘතුගීසි - ලන්දේසි කොටුව යනු මීගමුවේ ඓතිහාසික සංස්කෘතික උරුමයකි. 

එහෙත් මීගමුව කොටුව අවට කලාපය මෙසේ සුද්ද කළ පමණින් එකී ඓතිහාසික සංස්කෘතික  උරුමය රැකෙන්නේ හෝ එහි වටිනාකම නැවැත  මතු පරපුර වෙත රැගෙන යන්නේ හෝ නැත. 

එය කළ හැක්කේ මීගමුව කොටුව මීගමු ජනයාගේ ජන ජීවිතයේ කොටස් බවට පත්වුවහොත් පමණි. එහිලා දිගින් දිගටම මෙම  ස්ථානය පිරිසිදුවට, පිලිවෙලට හා ආකර්ෂණීයව පවත්වාගෙන යෑමේ ක්‍රමයක් අත්‍යවශ්‍යය.

 එපමණක් නොව මීගමුව කොටුවේ වටිනාකම මීගමු ජනයා අතර තහවුරුවීමට නම්  මීගමුව පෘතුගීසි - ලන්දේසි කොටුව අවට කලාපය මීගමු ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රයක්  බවට පත්විය යුතුය. 

එහිලා මීගමුව කොටුව අවට කලාපය මීගමු ජනයාට විවේකියව ගත කළ හැකි ප්‍රදේශයක් බවට  පත්විය යුතුය. 1950 - 80 කාලවල ම්ගමුව කොටුව අවට කලාපය කොළඹ ගෝල්ෆේස් පිටිය මෙන් වූ බව එම යුගයේ තරුණ්‍යය ගත කළ මීගමුවේ හැදී වැඩුන ඔබේ දෙමාපියන්ගේ විමසා බලන්න. එකී සුන්දරත්වය මීගමුවට නැවැත ගෙනා යුතුය. 

එහිලා මීගමුව කොටුව, කොටුව පිටිය හා ඒ අසල ඇති වෙරළ තීරුව ඉතා හොද තෝතැන්නකි. දැන් එලිපෙහෙළි කර ඇති මීගමුව කොටුව ඉදිරි පිට බිම් තීරුව එලිමහන් සංස්කෘතික ප්‍රසංගයට කදිම පසුබිමක් ඇති ස්ථානයක් බවට පත්කරගැනීමට, නත්තල් සමයේදී අලංකාර නත්තල් ගසක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට, වෙසක් සමයේදී අලංකාර වෙසක් කූඩුවක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය!!

 ඒ සමග කාලාන්තරයකට පසුව හෙලිපෙහෙලි කර ගත් මෙම බිම මීගමුව සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් බවට පත්වීම නතර කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට ද මීගමුවේ ජනයා සැහැදී පැහැදී සිටිය යුතුය.

 දැනටමත් මෙම භූමිය මීගමුව  මහනගර සභාවට හෝ නාගරික මංත්‍රීවරයෙකුට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට හෝ මුදල් උපයාගත හැකි රථ ගාලක් හෝ වෙනත් කටයුත්තක් සදහා කුලියට දීමට හෝ දත නියවන්නන් ද පෙරට පැමිණ ඇති බව ද  කියවේ.  

එවැනි නහීන උත්සාහයන් පරාජය කරමු!! 

මීගමුව කොටුව අවට කළාපය මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රස්ථානය බවට  පත් කරගැනීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරමු!! 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/07/25

Wednesday, 9 July 2025

කාදිනල්ගේ ජුබිලි සැමරුමේදී ජනාධිපති කළ කතාවේ හරය කුමක්ද?


කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ පූජක දිවියේ 50 වන ජුබිලි සැමරුමට පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෙස අවධානය යොමුකරමු.

අනුර කුමාර දිසානායක මහතා දැක්වුයේ:

 "කාදිනල් උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා. වින්දි­ත­යන්ට ඉටු විය යුතු සාධා­ර­ණය පිළි­බඳ උන් වහන්සේ නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. උන් වහන්සේ අප වෙත එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් කති­කා­වත් කර­නවා. ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා. එය අභි­යෝ­ගා­ත්මක වෙන්න පුළු­වන්. රජය රජ­යෙන් පරි­බා­හි­ර­වත්, රජය රජය පිළි­බඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. උන් වහන්සේ මේ පිළි­බ­ඳව දරන ප්‍රය­ත්නය පිළි­බඳ අප අග­ය­නවා.'' ය යනුවෙනි

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඉතා හොදින් අධ්‍යයනය කරන්නෙකුට පෙනී යන කරුණු කිහිපයක් පිලිබදව ඔබේ අවදානය පහතින් යොමු කිරීමට කැමැත්තෙමි. 

(1) එකක් නම්, ජනාධිපතිවරයා කාදිනල්තුමාගේ වේදනාව සෘජුව පිළිගෙන, ඔහුගේ මනෝභාවයන්ට ගරු කරමින්, කාදිනල්තුමා සහ ලාංකික කිතුනු ප්‍රජාවගේ චිරන්තන වේදනාව ආමාන්ත්‍රණය කිරීමට හා ආවරණය කිරීමට ඉදිරිපත් වන බවට සහතික වීමය. 

(2) දෙවැන්න නම්,  වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය දිනාගැනීම පිළිබඳව කාදිනල්තුමා අඛණ්ඩ කැපවීමක හා උද්යෝගයකින් පසුවන්නේ යැයි ජනාධිපතිවරයා සෘජුව පිළිගන්නා බවක් හා එය ආගමික නායකයකුගේ සමාජ වගකීම පිළිබඳව පරමාදර්ශයක් ලෙස කාදිනල්තුමාගේ   ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජයේ (රාජ්‍යයේ) සැලකිල්ල හා අවධානය යොමුවී ඇති බවක් පෙන්වයි.

(3) තෙවැන්න නම්, රාජ්‍යය රාජ්‍යය පිලිබදව  විමර්ශනයක් සිදුකරන බව ජනාධිපතිවරයා සිදුකරන විවෘත ප්‍රකාශයයි. "රජය රජය පිළි­බඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා."  යැයි දක්වා තිබීම තුල මෙන්ම, එම ප්‍රකාශය තුල "අද රජය විසින් රජය පිළිබඳව විමර්ශනයක් සිදු කරයි" යන වාක්‍යය ඉතා විශාල වැදගත්කමක් ඇති ප්‍රකාශයක් ලෙස සැලකිය හැක.  එම ප්‍රකාශය තුල  
 රජ්‍ය්‍යයේ ක්‍රියාකාරිත්වය, රාජ්‍යය ආයතන, ආරක්ෂක ආයතන සහ රාජ්‍ය ක්‍රමය පිළිබඳ විවෘතව කතා කිරීමේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නැබුරුව තවදුරටත් දේශපාලනික සහ සමාජ සාහිත්‍ය අතර සබඳතාවයක් ඇති ප්‍රවනතාවයක් ලෙස යාවත්කාලීන කරයි. 

(4) හතරවැන්න නම්, එවැනි ප්‍රවනතාවයක් තුල දිසාගතවීමේ අභියෝගයන් පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කිරීමය.
“එය අභියෝගාත්මක විය හැකිය” යැයි යනුවෙන්  ජනාධිපතිවරයා දැක්වීම තුල මෙම විමර්ශන හා සාධාරණත්වය ලබාදීමේ කටයුතු රාජ්‍යය, රාජ්‍ය යාන්ත්‍රණය, සහ සමාජ බලපෑම් අභිබවා කරගෙන යාමට කැමැත්ත පළ කළ ද එය
පහසු නොවන බවක් දක්වයි.

ඉහත කාරණා හතර සැලැකිල්ලට ගතහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දියන්ට යුක්තිය ඉටුකරලීම හා සාධාරණත්වය උදාකිරීම ලාංකික දේශපාලනය තුළ පාලක බලවේගයන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ප්‍රබල අභියෝගයක්ය යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පිලිගනී. ලාංකික කිතුනු ජනයාගේ වේදනාව සහ සාධාරණය උදාකර ගනු පිණිස ඔවුන් ගෙන යන අඛණ්ඩ අරගලය කාදිනල්තුමා නියෝජනය කරන කතෝලික සභාව තුලින් නිරන්තරයෙන් නිරූපනය වන බවක්  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සනිටුහන් කරයි. 

මෙම ස්ථාවරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයට වඩා හාත්පසින්ම වෙනස් ස්ථාවරයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතෝලික සභාව පමණක් නොව කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල්වරයාව වත් ලාංකික කිතුණු ජනයාගේ 'එකම නියෝජිතයා' ලෙස තියා 'ප්‍රධාන නියෝජිතයා' ලෙසවත් පිලිගත්තේ නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලාංකික කතෝලික සභාවේ නායකයා ලෙස සලකා කටයුතු කළේ කාදිනල්තුමා සමග නොව නිලබලයෙන් ශ්‍රී ලංකාවේ කතෝලික  රදගුරු මණ්ඩලයේ ප්‍රධානියා වන කුරුණෑගල රදගුරු ගරු හැරල්ඩ් ඇන්තනී රදගුරුවරයා සමගය. එමෙන්ම ලංකාව තුල කතෝලික සභාව පමණක් නොව අනෙකුත් කිතුනු සභා ද ඇති බවක් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යය ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා වරක් දෙවරක් නොව කිහිප වරක්ම ප්‍රකාශ කර තිබුණි. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එකී ස්ථාවරය දෙමළ ජනයාගේ ගැටළුව සම්බන්ධයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ස්ථාවරයට බෙහෙව්න් සමාන ස්ථාවරයකි. 

එහෙත් ජනාධිපති වික්‍රමසිංහ මෙන් නොව වින්දිතයන්ට යුක්තිය ඉටු කරලීම ලාංකික දේශපාලනය තුල පාලක බලවේගයන්ට මගහැරයෑ නොහැකි දේශපාලන අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවැරදිව වටහාගනී. 

ඇත්තවශයෙන්, මේ ආකරයෙන්ම හා මීටත් වඩා සෘජුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවනට යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ස්ථාවරය  වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට වසර 03ක් ගත්වූ 2022 අප්‍රියෙල් 21 නිකුත්කළ නිවේදනය අනුව ද පෙනී යැයි. 

එම නිවේදනයේ දැක්වුයේ: 

"2019 වර්ෂයේ උතුම් පාස්කු සැමරුම් දිනයේදී රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අද දිනයට වසර තුනකි...

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය...

මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය...

එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ.

මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි.

සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බව ද අද දිනයේ ප්‍රකාශ කරන බව.. " 

21/04/2022 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දක්වනුයේ ඊටත් වඩා ඉදිරියට ගොස් ආණ්ඩුකාරක ව්‍යුහයේ විවෘත වගකීම පවරාගෙන "අද රජය විසින් රජය පිළිබඳ විමර්ශනයක් සිදුකරයි" යන්නය. 

ඒ තුල ජනාධිපතිවරයා සුවිශේෂී දේශපාලනික පණිවිඩයක් සඟවා ඇත. එනම්, ශ්‍රි ලංකාවේ රාජ්‍යය තුළ වගකිවයුතු පාර්ශව සිටින බවත්, ඔවුන්ව හදුනාගෙන ඇති බවත්, එකී ආයතන හා පාර්ශව සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටින බවක් හගවයි. මෙම කාරණය  දේශපාලන වශයෙන් නිරීක්ෂණය කළහොත්, ජනාධිපතිවරයා තමන්ගේ බලය, ආරක්ෂක ආයතන, හා පසුගිය ආණ්ඩු වල ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයකට අවසර දෙන බව සහතික කරන පණිවුඩයක් ලෙස සැලකිය හැක.

එහෙත්, එය අවදානම් සහගත, අභියෝගාත්මක  ක්‍රියාවලියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දනී. 

ජයවර්ධන, ප්‍රේමදාස, රාජපක්ෂ හා වික්‍රමසිංහ යන රෙජීමයන් මෙන් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා 'අපරාධකාරී රාජ්‍යය' වෙනුවෙන්  සෘජුව එලිපිට පෙනී සිටින්නෙකු නොව, එකී අපරාධකාරී රාජ්‍යය ව්‍යවුහය ප්‍රශ්ණ කරන්නෙකු බව පෙනී යන කරුණකි. 

එමෙන්ම රාජ්‍යයේ ප්‍රශ්න සහගත සිදුවීම්වලට නිවැරදි වගකීම හා වගවීම පිළිබඳව පෙනීහිටින්නෙකුගේ කාර්‍යභාරයක් නිරූපනය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුලින් නිරූපනය වේ. 

එහෙත් ඔහු ද වින්දිතයින්ට  යුක්තිය හා සාධාරණය ඉටුකරදීම, සහ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් වූ රාජ්‍යය යාන්ත්‍රණයේ මැදිවීම, නම් වු දේශපාලනිය ද්වන්දවයක හිරවීමට ආසන්න බවක් හෝ  හිරවී ඇති බවක්  "එහෙත් එය අභියෝගාත්මක විය හැකියි"  යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයේ ඇති  උක්ත වාක්‍යය තුළින් නිරූපන වේ. 

ඇත්තවශයෙන් එය ඔහුගේ  ප්‍රායෝගික දේශපාලනයේ පසුබැසීමක් ද, උපායමාර්ගික ප්‍රවේශයක් ද, යන්න ගැන කීමට තවමත් කල්  වැඩිය. එනම්, සාධාරණය ඉටු කිරීමට කැමති නමුත්, ඒ සඳහා ඇති දේශපාලන, ආරක්ෂක, ආගමික සහ සමාජ බලපෑම් පිළිබඳව ඔහු අවධානයෙන් සිටින බව ඔහුගේ ඉතා ප්‍රවේශම් සහගත වචන තෝරාගැනීම තුලින් නිරූපනය වන බව පැහැදිලිය.

එය අවදානම් වළක්වා ගන්නා වූ ආරක්ෂක මනෝභාවයක සිට මහජන අභිලාෂයන් හා රාජ්‍යය බලය ක්‍රියාත්මක කිරීම අතර මද්‍යස්ථ පිළිවෙතක්  වෙත ඔහු ගමන් කරමින් සිටීමක්ද?  විශාල අවදානමක් ගනිමින් සුළු ජනතාවකට සහ ආගමික නායකයන්ට යුක්තිය හා සාධාරණය සහතික කරනවා ද? නැතහොත්  රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය තුළ ඇති ඇත්ත ගැටළු තේරුම් ගෙන,  අවදානම කළමනාකරණය කරගන්නා දිසාවකට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යොමුවී සිටී ද? ආදී උභතෝකෝටිකයට අපව ගෙන යන්නකි.

ඒ කෙසේවුවද, මේ උදාවෙමින් ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව විමර්ශනවලින් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ ස්ථාවරය මෙන් තවත් එවැනිම මොහොතක් නොවේවා!!

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/07/25

Wednesday, 4 June 2025

ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකා මීගමුවේ ග්‍රේටා ජෙනට් ද සිල්වා අවසන් ගමන් යයි.

මීගමුව, කට්ටුව, පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකාවද වූ ද, චිර ප්‍රසිද්ධ "මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ" නම් ගීතය හා "දුල් සල්වනේ ලකල් ව" ආදී බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කළ ගීත මුලින්ම ගැයූ ගායිකාව වූ ද, ශ්‍රි ලංකාවේ මෙතෙක් ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨතම ගායිකාව වු ද, වයස අවුරුදු 12 ක් වනවිටම, ලංකා ෆිල්ම් කොම්පැණි ග්‍රැමෆෝන් තැටියක සිය කටහඩ තැටිගත කිරීමට භාග්‍යය ලද්දා වූ ද, කොලොම්බියා ලේබලය යටතේ ගී තැටිගත කළ ලබාලම කාන්තාව වූ ද, ගී තැටියක විරුදු පටිගත කල මුල්ම ලාංකික කාන්තාව වූ ද, ජීවත්ව සිටි සමයේ දී සිංහල ග්‍රැමෆෝන් ගීත ක්ෂේත්‍රයේ ජීවමාන සාක්ෂිය ලෙස සැලකූවා වූ ද, 1926 වසරේ මැයි මස 06 වැනි දා මීගමුවෙි උපන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකාරීනියක් වූ ගරු ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය, වසර 99 ක් ආයු වළඳා, පසුගිය 02 දින (02/06/2025), සිය දිවිසැරිය නිමා කර ඇත.

ඇයගේ දේහය මීගමුව, කට්ටුව, හලාවත පාරේ, අංක 115 දරණ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (ජුනි මස 05 වෙනි බ්‍රහස්පතින්දා) සවස 4.30ට මීගමුව කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

කුඩා කාලයේ පටන්ම කලාලෝලී මීගමුව පුරවරයේ හැදී වැඩුන ඇය, පාසැල් සමයේම ගීත ගායනයට දස්කම් පා, ගායනා තරඟ රාශියකට සහභාගී වී, විවිධ වූ ජයග්‍රහණ රාශියක් අත්කර ගන්නට සමත් වී ඇත. ඇයගේ එම දස්කම් ගැන පැහැදුනු ලංකා ෆිල්ම් කොම්පැණි හි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ යු.ඩී ප්‍රේරා මහතාගේ දිරිගැන්වීම තුල කොළොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස වයස අවුරුදු 12 දී, එනම් 1938 දී, ගිවිසුම්ගත වූ ඈ "පානා මේ කුරුලන්ගේ" සහ "මෙරුන් වගේ සතර අතින්" යන විරිදු දෙක මුලින්ම තැටිගත කර ඇත. එකී විරිදු ශ්‍රී ලාංකික ගායිකාවක විසින් මුලින්ම ගී තැටියක තැටිගත කළ විරිදුව ද විය.

ඉන් අනතුරුව ඈ කොළොම්බියා ලේබලය යටතේ ගීත 29 ක් පමණ තැටිගත කර ඇත. එම ගීත අතර සරළ ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා, විරිදු හා බැති ගී ආදී විවිධ ශෛලීන්වල ගීත අඩංගුය. එමෙන්ම ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක හා රුක්මණී දේවී ආදී ගායක ගායිකාවන් සමඟ ද ග්‍රේටා ජෙනට් මහත්මිය ගීත ගායනා කර ඇත.

විවාහයෙන් පසු දරු පිලිසිදගැනීමුත් සමග වරුගනන් ගතවෙන ගී තැටි සඳහා ගීත ගැයීම ඇය නතර කර තිබේ. ඒ 1945 දී පමණය. එහෙත් කොළඹ ගුවන් සේවයට, ලංකා ගුවන්විදුලි වැඩසටහන් සඳහා ඇය 1950 පමණ වනතෙක්ම සම්බන්ධව සිට ඇත. ඇය ගීත ගායනයෙන් ඉවත් වුව ද ඇගේ ගායනා මෑතක් වන තුරුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “පැරැණි රසාංග’ තීරය ඔස්සේ ප්‍රචාරය විය. එසේ ප්‍රචාරය වූ ගීත අතර “මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ශ්‍රාවකයන් අතර මුල් බැසගත් ගීතය.

දශක හතරක් පමණ මාධ්‍යය අවධානයෙන් ගිලිහී ගොස් තිබුණ ද, ඇගේ ගිත, තමන්ගේ ගීත මෙන් අන් අය ගයා, ඇයගේ මුල් අයිතිය පිලිබද අයිතිය අමතක කර තිබුණ ද, ඇගේ යසස යටත් කළ නොහැකි විය.

ජීවිතයේ අවසාන භාගය ලගාවෙත්ම ඇය පිලිබද මතකය නැවත දැල්වී දසත පැතිරෙන්නට විය. එහිලා ඇගේ දරු මිනි මුනුබුරන්ගේ දායකත්වය ද අගය කළ යුතුය. ඔවුහු සිය මිත්තණියගේ කීර්තියෙන් වැජඹ්මට, ඇයගේ අනන්‍යතාවයෙන් තමන්ගේ අනන්‍යතාවය ගොඩනැගීමට නොගියේය. ඒ වෙනුවට, සිය මිත්තණියට සිය ජීවිතයේ අවසාන කාලය යසසේ ගෙවන්නට, ඇගේ යසස දසත පතුරුවාලමින් ඇයට හිමි ගෞරවය අත්කර දීමට, ඇගේ ජීවිතයේ අවසාන භාගය යසසින් ගෙවන්නට, අවශ්‍ය සියළු කටයුතු සකසා ලූහ. එහිලා අපි ඇගේ දරු මිනි මුනුබුරන්ට ස්තුතිවන්ත විය යුතුය.

ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මියට මොක් සුව අත්වේවා!!🙏❤️🙏

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/06/25 

ඇයගේ ගීත කිහිපයක් පහතින් ඇසිය හැක👇 





Monday, 2 June 2025

R.ප්‍රේමදාස මහතාගේ පියාට මිගමුව පෙරියමුල්ලේ දුම්කොළ කඩයක් තිබුණා ද?

ඉහත කාරණය පිළිබඳව මගේ අවධානය යොමුවන්නේ, ශ්‍රී ලංකාවේ පුළුල් ජනමාධ්‍ය සාහිත්‍යයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවී සිටි ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් පදනම් කරගෙන ලියවුණු පොත් තුනකින් සමන්විත මතක සටහන් ගොන්නක කුඩා ඡේද කිහිපයක විස්තරයක් ඇසුරින්ය.

ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රකට මීගමුවේ, ධීවර හා මත්ස්‍ය නිෂ්පාදන සඳහා තොග වෙළඳපොලක් පවතින බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත්, කලකට පෙර මීගමුව අවට ප්‍රදේශවල වෙනත් නිෂ්පාදන සඳහා ද තොග වෙළඳපොලවල් දැකිය හැකිවිය. උදාහරණයක් ලෙස, මීගමුවට බොහෝ දුරක් නොවූ මරදගහමුල ප්‍රදේශයේ සහල් තොග වෙළඳපොලක් පැවතුණි . ඒ සේම, මීගමුව පෙරියමුල්ලේ පිහිටි පිගන් කර්මාන්තශාලාව පදනම් කරගෙන, තොග වශයෙන් පිගන් භාණ්ඩ සැපයීමක් ද සිදු වී තිබුණි.

එහෙත්, මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොලක් පැවති බව අද වන විට බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොල පිහිටුවා තිබුණේ මීගමුව-හලාවත පාරේ, පෙරියමුල්ල හන්දිය සහ ඩිපෝ හන්දිය අතර කොටසකය. කඩ පේළි කිහිපයකින් හා එම පිටුපස ගබඩා කිහිපයකින් සමන්විත වූ මෙම වියලි දුම්කොළ තොග වෙළඳපොල, රටේ බොහෝ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණි වෙළඳුන්ට විවිධ වර්ගයේ දුම්කොළ සැපයූ ප්‍රධාන වෙළඳපොළක් වූ අතර, දේශීය දුම්කොළ වෙළදාමේ සැලකිය යුතු ස්ථානයක් හිමිකරගෙන තිබුණි.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයේදී මීගමුවේ දුම්කොළ වගාවන් පැවැත ඇති බවට මෙන්ම ඈත එපිට තමණ්ඩුව වැනි ප්‍රදේශවලින් පවා විකිණීම සඳහා මීගමුවට දුම්කොළ සැපයූ බව 1883 දෙසැම්බර් මාසේ 'The Tropical Agriculturist' සගරාවේ කතුවරයාගේ විමසුමට සිය දුම්කොළ නිෂ්පාදන සමග එවා තිබූ ලිපියක සදහන්ව ඇත: DEAR SIR, I send you (accompanying my letter) a small packet of tobacco, prepared from plants grown in the Tamankaduwa district on the banks of the Mahaweliganga. It is, I believe, of good quality, and is said to have been sold in Negombo (where native tobacco of the best kind is grown and cured) at the rate of R48 per thousand, the standard price there being, I think, R50.

ක්‍රි.ව. 1850 වන විටම, මීගමුවේ දුම්කොළ වගාවන් මෙන්ම දුම්කොළ තොග වෙළඳපොලක්ද ගොඩනැගී තිබුණ බව 1857 දී ප්‍රකාශයට පත් කළ The Journal of Agriculture කෘතියේ දැක්වෙන කරුණු මඟින් පෙනී යයි.

මීගමුවේ දුම්කොළ වගාව, ලන්දේසි යුගය තෙක් දිව යන බවටත්, ඒත්තුකාල, දුන්ගාල්පිටිය, දළුපොත සහ දළුවකොටුව වැනි ප්‍රදේශවල දුම්කොළ වගා කර තිබුණ බවට ප්‍රදේශවාසීන් අතර මතයක් පවතී.

උදාහරණයක් ලෙස, මීගමුවේ පරවර ජනයා සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ නුවන් ගන්කන්දගේ 'අපි නොදන්න ලාංකිකයෝ' (2006) කෘතියේ සඳහන් වූ, මීගමුව ඒත්තුකාල ශාන්ත සිල්වෙස්තර පල්ලියේ වාසය කළ අන්නවී රාළ වූ වාස් මහතාගේ ප්‍රකාශයක් උපුටා දැක්විය හැක:

'අපේ අය ඉස්සර දුම්කොළ, මිරිස්, ලූණු වගේ බෝග වගා කෙරුවා. ඒ වගේම ව්‍යාපාරික කටයුතු වලත් නියැලුණා...' (පිටුව 58)

1850 වාර්තාවල සඳහන් වූ මීගමුවේ දුම්කොළ තොග වෙළඳපොල, ඉන් වසර සීයකට පසුව — එනම් 1950 දී ද — දැකිය හැකිවීම පමණක් නොව, එවක මීගමුව පෙරියමුල්ලේ පිහිටි එකී දුම්කොළ තොග වෙළඳපොලේ කඩයක්, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පියා වන ඒ. රිචඩ් සිල්වා මුදලාලි මහතාගේ පියාට අයත් වී තිබූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ 'දසක සතක මතක' (1998) කෘතියේ සඳහන් විස්තරයකින් හෙලිවේ.

එම විස්තරය මෙසේය :

"මේ අතර තුරේ ලැබුණු අනෙකුත් ලියුම් වලින් මගේ සිත ගියේ ඉතා ලස්සන අකුරෙන් වියත් සහ ආචාර ශීලී අන්දමට ලියා තුබුණු ලියුමකට ය. එය ආර්. ප්‍රේමදාස නමැත්තකු ගෙනි. "මිහිර" සගරාව අගයමින් ලියූ එම ලියුමෙන් තවත් කරුණක් ද අසා තිබිණි. ඒ, ඔහුත් සඟරාවක් පළ කරන්නට යන හෙයින් ඊට උපදෙස් දිය හැකි ද යන්න යි.

මම පිළිතුරු ලියනුවා වෙනුවට කොළඹ ගිය විටෙක කෙහෙල්වත්තේ, සාන්ත බස්තියමේ "සැනසුම" සොයා ගියෙමි. මුඩුක්කු පෙදෙසක වුවද ඇතුළට වන්නට පිහිටි ඒ ගෙය විශාල එකක් විය. ඉහළ මධ්‍යම පන්තියේ ගෙයක් සේ පෙනිණි.

මා යන විට ඒ තැනැත්තා එහි සිටියේ නැත. "ඉක්මනින්ය ඒවි. ටිකක් ඉන්නැ " යි ගෙදර ළඳක කී හෙයින් මම සුදුසු අසුනක් බලා වාඩි ගතිමි. ටික වේලාවක් ගත වන විට කාකි කොට කලිසමකින් සහ සුදු ටී කමිසයකින් සැරැසුණු ගැටවරයෙක් බයිසිකලයක් පැදගෙන ඇවිත් ගෙට ගොඩ වුණේ ය. බතල ගෙඩියක් වගේ පිරිපුන් නිරෝගී දේහයකින් යුත් ඔහු ගෙට ගොඩ වන ගමන් හොඳ සිනාවක් පා, මේ මහත්මයා කොහෙන්දැ " යි ඇසී ය. මේ නම් ආර්. ප්‍රේමදාස විය යුතු යැයි සිතූ මම, 'මී ගොමු වෙනැ" යි පිළිතුරු දුනිමි. " ඕ, කාරියකරවන මහත්මයා නේ ද?" යි කියමින් ඉමහත් ප්‍රීතියෙන් හා ඉමහත් ආදරයෙන් මා පිළි ගත්තේ ය.

ඒ මුහුණ මා කවදා හෝ කොහේදී හෝ දැක ඇති සැටියක් මට හැගිණි. ඔහුටත් එසේම හැගෙන්නට ඇත. අප ඒ ගැන කතා කළේ කලක් ගත වූවාට පසුව ය.

පුංචි කලේ අප දෙදෙනා මුණ ගැසී තිබුණි. මීගොමුවේ පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළද පළේ කඩ පේළියෙකය. මගේ පියා සිරියාලේ, අඹන්පොළ, වැටකේපොත, සහ ඒ අවට තවත් පෙදෙස්වල දුම්කොළ වතු වවමින් වියැළි දුම්කොළ තෝරා වර්ග කොට ඒවා පෙරියමුල්ලේ තොග වෙළෙඳ පළට ගෙනවුත් විකුණන තොග වෙළෙන්දෙකි. ඔහු එහි හැඳින්වුණේ "මනුවෙල් මුදලාලි යනුවෙනි. අල්ලපු කඩේ අයිති "සිල්වා මුදලාලි" මපියා ගේ හිත මිතුරෙකි. ඒ රිචඩ් සිල්වා මුදලාලි තමා ප්‍රේමදාස ගේ පියා.

කුරණ අපේ නිවසේ සිට, පෙරියමුල්ලේ දුම්කොළ කඩ පේළියට එතරම් දුරක් නොවීය. පාසල් සමයේ සනි දිනවල එහි යෑම මගේ සිරිතක් විය. එහි දී සිල්වා මුදලාලි සිහින් ස්වරයෙන් නිතොර කියන සිංදුවේ මුල් පේළිය මට තවමත් මතකය. "ලක් මවගේ හොඳ ම පුතා - ගුණසිංහ අපෙ මැතිඳා" ඒ. ඊ. ගුණසිංහ මහතා සිල්වා මුදලාලිගේ ඥාතියකු බව ද මා අසා තිබිණි.

එ සමයෙහි සමහර දිනයන්හි රිචඩ් සිල්වා මුදලාලි ගේ දුම් කොළ කඩේ දී ඔහු ගේ පුතා මට මුණ ගැසී ඇත. කතා බස් කැර ඇත. එහෙත් දිගු කලක් තිස්සේ හැදී වැඩුණු සිරුරු නිසා අප එකිනෙකාට හඳුනා ගත නො හැකි වන්නට ඇති..."

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ස්වයං ලිඛ්ත චරිතාපදානයේ 48-49 පිටුවල කුඩා ඡේද කිහිපයක සදහන් ඉහත විස්තරය මීගමුව ඉතිහාසයේ මෙතෙක් සාකච්ඡා නොවූ එක් පැතිකඩක් පිලිබදව අපේ අවධානය යොමු කරණු නියතය.

ඇත්තවශයෙන්ම, 1980 දශකය වන විටත්, මීගමුවේ ඒත්තුකාල, දළුවකොටුව, දුන්ගාල්පිටිය වැනි ප්‍රදේශවල දුම්කොළ ගස් එක දෙකක් දැකිය හැකිවීම පමණක් නොව, මීගමුව පෙරියමුල්ලේ එවකටත් සක්‍රියව ක්‍රියාත්මක වූ දුම්කොළ තොග වෙළඳපොළක් ද දැකිය හැකිවිය.

එහෙත් 1990 දශකය අගභාගය වන විට මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොළ ඉතිහාසයට එක්වෙමින් අවසන් ගමන් ගියේය. එහිලා ප්‍රධාන හේතුව වූයේ එම කඩපේළි හිමිව තිබූ මීගමුව දළුපොත සා. අන්තෝනි පල්ලිය එම කඩපේළි විකුණා දැමීමය. අද එහි දැකිය හැක්කේ රෑ කඩය, මුස්ලිම් අපනශාලා හා කෑම කඩය. එකළ දුම්කොළ තොග වෙළදාමේ නිරතවු පවුල් කිහිපයක් අදටත් කුඩා පරිමානයෙන් එම වෙලදාමේ නිරතව සිටී. මීගමුව දළුවකොටුව වැලිහේනේ අදටත් කුඩා පරිමානයේ දුම්කොළ තොග වෙළදපොළක් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ. එහෙත් මිගමුවේ පෙරියමුල්ලේ පැවැති දුම්කොළ තොග වෙළඳපොළ සුන්දර දසුනක් ලෙස පමණක් අප මතකයේ ඉතිරිව ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
02/06/25