This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 28 March 2017

LTTE යට IRA මෙන් වෙන්නයි කී මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)

මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යනු උතුරු අයර්ලන්තයේ නිදහස වෙනුවෙන් සටන්කල සටන්කාමියෙකි. පසුකාලීනව උතුරු අයර්ලන්ත ගැටලුවට සාමකාමී විසදුමක් ගෙන ඒමට ක්‍රියාකළ සාම ක්‍රියාධරයෙකි. සන්නද්ධ ක්‍රියාකාරීත්වය සහ දේශපාලන ක්‍රියාකාරීත්වයන් යන දෙකම හොදින් අත්හදා බැලූවෙක් වූ ඔහු, සන්නද්ධ අරගලයේ සීමාව සහ අරගලයේ අරමුණ අතර තුලනාත්මක අන්තයක් ගොඩනගාගැනීමට වෙහෙසවූවෙකි. එම භාවිතය පිලිබදව ලංකාවේ LTTE සංවිධානය ඇතුළු වෙනත් සන්නද්ධ අරගල සමග බෙදාගැනීමට කටයුතු කෙරුවෙකි. ඒ අනුව මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යනු දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලාගෙන් පසුව මෑතකාලීනව සිය ගමන ජයග්‍රාහී ලෙස අවසන් කල   සටන්කාමීන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඔහු පසුගිය මාර්තු 21 දින වසර 66ක් ආයුවලදා මියගියේය. ඔහුගේ අවමගුල් උත්සවයේදී සිය ගමන් සගයෙකුවු IRA (The Irish Republican Army) සංවිධානයේ දේශපාලන අංශය වන Sinn Féin හී නායකයාවන Gerry Adams දැක්වුයේ Martin McGuinness යනු 'ත්‍රස්‌තවාදියෙකු නොව වීරයෙකු බවය' ("Martin mcguinness is a hero not terrorist"). 

Gerry Adams දැක්වු ලෙස Martin McGuinness  යුද්දය කරා ගියේ නැත. යුද්දධය ඔහු කරා ආවේය. ඔහුගේ නගරය වන උතුරු අයර්ලන්තයේ Derry කරා ආවේය. ඔහු ජීවත්වූ වීදියවූ Bogside කරා ආවේය (''Martin McGuinness never went to war. The war came to him. It came to his street, to his city''). ඒ 1972 ජනවාරි 30 වෙනි ඉරිදාය. කතෝලිකයන් බහුතරයක් වෙසෙන Derry ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය ලත් ප්‍රතෙස්තන්ත පාලනයකට යටත්වීම නිසා සිදුවන අසාධාරණයන්ට එරෙහිව එහි වැසියන් එම ඉරිදා සාමකාමී උද්ගෝෂණයක නිරතවිය. එහෙත් බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාත අතුරු හමුදා එම සාමකාමී උද්ගෝෂණයට වෙඩි තැබූ අතර එහිදී පුද්ගලයන් 14 දෙනෙකු මියගියහ. 'Bloody Sunday' ලෙස මෙම සිද්ධිය එවකට විසි දේහැවරැදී (22) වියේ පසුවූ මාර්ටින් මැක්ගිනස්ට (Martin McGuinness) තදින් බලපෑවේය. එම ඉරිදා වෙඩිවැදුන වැසියෙක් ආරක්ෂක ස්ථානයකට රැගෙන යාමට එඩ්වර් ඩ්ලේයි පියතුමා (Father Edward Daly) ලේ තැවරුනූ සුදු ලේන්සුවක් වනමින් පාරට පැන්න ආකාරය තමාට කිසිදිනක අමතක කල නොහැකි බව ඔහු කිහිපවරක්ම දක්වා තිබුණි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ උතුරු  අයර්ලන්තයේ ප්‍රතෙස්තන්ත ජනයාට ප්‍රමුඛතාවයක් හිමිවීම තුල  කතෝලික ජනයාට සාධාරණයක් සිදුනොවීමද ඔහුට අයර්ලන්ත ජනරජ  හමුදාවට (IRA -The Irish Republican Army) බැදීමට හේතුවූ බව ඔහුගේ චරිතාපදානයේ දක්වා තිබේ. 
IRA (The Irish Republican Army) සංවිධානය උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස් කරගැනීම සදහා 1917 දී පිහිටුවා ගනු ලැබුවකි. අයර්ලන්තය බ්‍රිතාන්‍යයේ ප්‍රථම මෙන්ම අවසාන යටත්විජිතය විය යුතුයැයි සිය අරමුණ කරගත් IRA සංවිධානය ඒ සදහා සන්නද්ධ අරගලය හෙවත් දේශපාලන ප්‍රචණ්ඩත්වය දේශපාලන උපායමාර්ගයක් ලෙස භාවිතයට ගත්හ.


මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) IRA සංවිධානයට සම්බන්දවී ටික කලක් ඇතුලතම එම සංවිධානය තුල ප්‍රභලයෙක්වූ බව කියවේ. විශේෂයෙන්ම සිය නගරය වන Derry ප්‍රදේශයේ ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිවක් සිදු නොවුන බව පැවසේ. Derry යනු IRA ක්‍රියාකාරකම් වැඩියෙන්ම පැවති ප්‍රදේශයකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවන්ට නිතර ප්‍රහාර එල්ලවූ මෙම ප්‍රදේශයේ IRA සංවිධානය සහ බ්‍රිතාන්‍යයට  පක්ෂපාත අර්ධ-මිලිටරි සංවිධාන (Loyalist) වල ක්‍රියාකාරීත්වයන්ද ඉතා ඉහලින්ම පැවතිනි. මිනීමරුම්, වෙඩිතැබීම්, පැහැරගෙන යෑම්, අතුරුදහන් කිරීම්, වද හිංසා පැමිණවීම්, ප්‍රචණ්ඩ උද්ගෝෂණ ආදිය නිතර පැවති ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ කටයුතු මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ අනුදැනුමකින් තොරව සිදුවෙන්නේ නැතැයි කීම තුල කියවෙන්නේ ඔහුට IRA සංවිධානය තුල හිමිව තිබු ස්ථානයය. එපමණක් නොව Derry ප්‍රදේශයෙන් පිට  අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ සිදුවූ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සදහා ද මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ නම කියවිනි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති මාග්‍රට් තැචර් සහ ඇයගේ කැබිනට් මණ්ඩලය ඉලක්ක කරගනිමින් 1984 එල්ලවූ බ්‍රයිටන් බෝම්බය (Brighton hotel bombing), 1982 Hyde Park බෝම්බය, 1992 මන්චේස්ර් බෝම්බය, 1991 අගමැති නිවස ඉදිරිපිට කාර් බෝම්බය, 1979 Warrenpoint ගරිල්ලා ප්‍රහාරය, 1976 Kingsmill සමුලඝහතනය, 1989 Deal නාවික හමුදා කදවුරට එල්ලකල ප්‍රහාරය ආදීය සම්බන්දයෙන් ඔහුගේ නම කියවිණි. 

එහෙත් ඒ කිසිවක් සම්බන්දයෙන් ඔහුට අධිකරණයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් නොවුයේ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සක්ෂි සොයාගැනීමට නොහැකිවූ නිසාය. ඔහුට විරුද්ධව චෝදනා  එල්ලවු එකම අවස්ථාව වුයේ 1972 දී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 1000ක් සහ පතුරන් 5000ක් තිබු වාහනයක් අසලදී ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාව පමණි. එහිදී ඔහු උතුරු අයර්ලන්ත විශේෂ අපරාධ අධිකරණයට (Republic of Ireland's Special Criminal Court) තමාට එරෙහිව නඩු ඇසීමට පරමාධිපත්‍ය බලයක් හිමිවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින්, එම අධිකරණ බලය ප්‍රතික්ෂේප කරමින් සිදුකල සාරවත් දේශණය පිදෙල් කස්ත්‍රෝගේ මොන්කාඩා නඩුවිභාගයේදී ඔහු කල නඩු විභාගයට දෙවෙනි නොවේ. එහිදී ඔහුව මාස 06ක සිර දඩුවමකට පමණක් යටත්කරන ලදී. 


හිරෙන් නිදහස් වී පැමිණි පසු ඔහු IRA සංවිධානයේ දේශපාලන අංශය වන Sinn Féin හී නායක Gerry Adams සමග උතුරු අයර්ලන්ත අර්බුධයට විසදුම් සෙවීම සදහා කටයුතු කරන ප්‍රසිද්ධ ක්‍රියාධරයෙකු බවට පත්විය. එහෙත් දිගින් දිගටම IRA සංවිධානය සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටින ප්‍රධාන චරිතය මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යැයි මාධ්‍ය මෙන්ම ඔහුගේ විරුද්ධවාදීන්ගෙන්ද ඔහුට චෝදනා එල්ලවිය. 1993 අයර්ලන්ත Central TV ආයතනය විකාශනය කල 'The Cook Report' වැඩසටහන තුලින් සාක්ෂි සහිතව ඒ බව පෙන්වාදෙන ලද අතර ඔහු නිල නොලත් ආකාරයට බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමග ගනුදෙනු කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක කටයුතුවලට නිල නොලත් ආකාරයට බලපෑම් එල්ලකරන බවත් දැක්වීය. 

එහෙත් මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) දැක්වුයේ ඔහු 1974 සිට IRA සංවිධානයෙන් ඉවත්වූ බවත් ඒ වෙනුවට Sinn Féin දේශපාලන පක්ෂයේ කටයුතුවල පමණක් නිරතවෙන බවත්, සිය උපරිමයෙන්ම සියළු පාර්ශ්වයන් සාකච්ඡා මේසයට ගෙනඒමට තමන් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත්ය. ඔහු අයර්ලන්ත රජය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ උතුරු අයර්ලන්ත කැරලිකරුවන් සමග ඒ සම්බන්දයෙන් නිතර සකච්ඡාවල නිරතවූ තැනැත්තෙක් විය. ඇත්තවශයෙන්ම IRA සංවිධානය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය රජයේ ස්වදේශීය කටයුතු ඇමතිවරයාව 1972 දී මූණගැසී අර්බුධය සදහා  පොදු එකගතාවයකට පැමිණීමට අවශ්‍යය බව ප්‍රථමයෙන් අවධානයට ලක්කල මුල්ම IRA නායකයා වුයේ ඔහුය. තවද එ සදහා ප්‍රයෝජනවත් යහපත් වටපිටාවක් ගොඩනගාගැනීමට IRA ක්‍රියාකාරකම්වලින් විපතට පත්වූවන්ගේ පවුල් සමග යම් සංවාදයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බව තේරුම්ගත් ඔහු එහිලා යම් වෙහෙසක් දැරීය. එහෙත් එය එතරම් සාර්ථකවූ බවක් නොපෙනේ. 1984 IRA බ්‍රයිටන් බෝම්බ ප්‍රහාරය (Brighton hotel bombing) නිසා සිය බිරිද සදාකාලිකව අබ්බගාතයෙක් කල මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) සහ IRA ක්‍රියාකාරීන්ට තමාගෙන් කිසිදිනක සමාවක් නොලැබෙන බව හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ රජයේ සිටි ඇමතිවරයෙක්වූ Norman Tebbitt දක්වා තිබුණි ("Martin McGuinness was a coward and a murderer").

කෙසේවුවද, 1998 අප්‍රියල් 10 වෙනිදින අත්සන්කළ මහ සිකුරාදා ගිවිසුම  අනුව (Good Friday Agreement) උතුරු අයර්ලන්ත අර්බුදයට විසදුමක් ගෙන ඒමට සමත්විය. එහිලා මාර්ටින් මැක්ගිනස්, ජෙරී ඇඩම්ස්, ටෝනි බ්ලෙයාර්  පමණක් නොව එම අර්බුධයේ අනෙක් පාර්ශ්වයන් නියෝජනය කල බ්‍රිතාන්‍යය  පාලනයට පක්ෂපත කොටස් (Loyalist) පවා සමාන අයිතීන් සහ මානව හිමිකම් අගයන බලය බෙදාගැනීමකට එකගවන ලදී. ඉන් අනතුරුව පිහිටවූ උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුවේ උප මහ ඇමති ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද මාර්ටින් මැක්ගිනස්ට හිමිවන ලදී. 


2006 දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ ඔහු ශ්‍රී ලංකාවේ ස්ථීර සාමයක් වෙනුවෙන් රජය සහ  LTTE  සංවිධානය අතර පලදායී සාකච්ඡාවක් අවශ්‍ය බව දෙපාර්ශවයටම අවධාරණය කරන ලදී. 2006 ජුලි 03 දින කිලිනොච්චියට ගොස් තමිල් සෙල්වම්, නඩේසන් ආදී  LTTE නායකයින් හමුවී දේශපාලන ක්‍රියාකාරීත්වයකින් තොර සන්නද්ධ අරගලයකින් දේශපාලන අභිලාෂයන් දිනිය නොහැකි බව සිය  අත්දැකීම (IRA) බව LTTEයට දැන්වීය. තවද ස්ථීරසාර විසදුමක් වෙනුවෙන්වූ පලදායී සාකච්ඡා ප්‍රවේශයකදී සියළු පාර්ශ්ව සමාන බවත් ("In a peace process all sides should be treated equally and with respect"), ඒ අනුව යුරෝපා සංගමය  LTTE සංවිධානය  ත්‍රස්‌තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කිරීම විශාල වරදක් බවත් දැක්වීය (huge mistake for the EU leaders to demonise the LTTE and the political leaders of the Tamil people). එහෙත් ඔහු වඩා අවධාරණය කල මුලික කරුණවුයේ සාකච්ඡාමය ප්‍රවේශයක් ඔස්සේ පොදු දේශපාලන එකගතාවයකට පැමිණීමෙන් තොරව සන්නධ අරගලයක් ජයග්‍රහණය කල නොහැකි බව IRA අත්දැකීම වන බවය;

"During my meeting, I urged the LTTE leadership to re-engage in the stalled negotiations and pointed out the need to build a credible peace process as an alternative to the escalating conflict. I was able to share with the Tamil leadership the experiences of the Irish Peace Process and emphasised the need for courageous political leadership in the search for an honourable accommodation from which all sides will benefit. I asked both the government and the Tamil Tigers to take decisive initiatives to build the peace process. I am convinced that there is the will on both sides to find a resolution but that increasing conflict is making the peace efforts more and more difficult. My core message was that both sides need to act decisively to prevent the downward spiral into all-out conflict. The reality is that, just as in Ireland, there can be no military victory and that the only alternative to endless conflict is dialogue, negotiations and accommodation.'' (මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) 03/07/06 ) 

එහෙත් LTTE  සංවිධානය මාර්ටින් මැක්ගිනස්ගේ (Martin McGuinness) මැදිහත්වීමේ පුළුල් අර්ථය ක්‍රියාවේ යොදවනු වෙනුවට ඔවුන් සිදුකලේ ඔහු දැක්වූ අදහස්වලින් එකක්වූ 'EU තහනම සාකච්ඡා ප්‍රවේශයක් සදහා සියළු පාර්ශවලට ඇති සමානත්වය උල්ලංඝනය කර ඇතැයි' යන්න මත වැඩිබරක් තබමින් යුරෝපා සංගමය LTTE  තහනම් කිරීමට එරෙහිව ඔවුන් දියත්කල ප්‍රචාරයන්වලට යොදාගැනීම පමණි. 

IRA සංවිධානයද LTTE සංවිධානය මෙන්ම සිය ප්‍රජාව මුල් කරගත් දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ත්‍රස්‌තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉතා ඉහලින් භාවිතා කල සංවිධාන දෙකකි. දහස් සංබ්‍යාත ජීවිත බිලිගත්, මිනීමරුම්, වෙඩිතැබීම්, පැහැරගෙන යෑම්, බෝම්බ පිපිරවීම්, අතුරුදහන් කිරීම්, වද හිංසා පැමිණවීම්, ප්‍රචණ්ඩතත්වයන් මුදාහැරීම් සිදුකල බිහිසුණු සංවිධාන දෙකකි. එහෙත් IRA සංවිධානය සන්නද්ධ අරගලයෙන් පමණක් සිය දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගත නොහැකි බව ඒත්තුගෙන එහිලා සන්නද්ධ ක්‍රියාකාරීත්වය තරම්ම දරුණු දේශපාලන ක්‍රියාකාරීත්වයක්ද අවශ්‍ය බව තේරුම්ගෙන එහිලා සිය දේශපාලන පක්ෂයවන Sinn Féin පක්ෂය ඔස්සේ ඉතා තීක්ෂණ දේශපානයක නිරතවිය. එම නිසාම මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ මරණය ගැන BBCයට අදහස් දැක්වූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බෙලෙයාර් දැක්වුයේ ''මාර්ටින් මැක්ගිනස් දරුණු හතුරෙකු වුයේ යම් සේද, ඒ ලෙසම ඔහු දරුණු සාම දූතයෙකුද විය'' යනුවෙනි (what made Martin McGuinness a “formidable foe” also made him a “formidable peacemaker”). 

එහෙත් IRAටත් වඩා දරුණු මරා දූතයන්වූ LTTEය ඊටත් වඩා ප්‍රබල සාම දූතයන් බිහිකිරීමට අසමත්ව මරු වැලද ගත්හ.

28/03/17
මාකස් ප්‍රියන්ත පෙරේරා.

Wednesday, 22 March 2017

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරය වැළක්විය හැකිව තිබුණිද ?

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක් දියත්වී තිබේ. ඉන් ප්‍රහාරකයා, පොලිස් නිලධාරීයෙකු, සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබුවන් සංඛ්‍යාව 40 දෙනෙක් වන අතර ඉන් 12 දෙනෙකුගේ තත්වය භයානක බව දැක්වේ. 


ප්‍රහාරය සදහා පැමිණ ඇත්තේ ඉහත ඡයාරූපයේ සිටින තරුණයාය. ඔහු බොහෝදුරට කළු ජාතිකයෙක් විය යුතුය. ප්‍රහාරය සදහා සහභාගීවී ඇත්තේ ඔහු පමණක්ය යන්න පොලිසියේ විශ්වාසයයි. එනම් එය තනි පුද්ගලයෙකුගේ ප්‍රහාරයකි. ඒ සදහා ඔහු භාවිතා කර ඇත්තේ පිහි දෙකක් සහ වාහනයකි. ඔහු කාගේ කවුරුන්ද යන්න තවමත් හෙළිකර නැත.

මාධ්‍යවලින් දක්වන ආකාරයට නම් වෙස්මිනිස්ටර් පාලම (Westminster Bridge) දෙසින් පාර්ලිමේන්තුව දෙසට කළු පැහැති කාරයක් පදවාගෙන පැමිණි ප්‍රහාරකයා පාලමේ සහ පාර අයිනේවූ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයන් රාශියක් යටකරමින් ගමන්කර සිය කාරය පාර්ලිමේන්තුවේ යකඩ වැටේ හප්පා එය බිදගෙන යෑමට උත්සහකර තිබේ. එය අසාර්ථකවූ තැන ප්‍රහාරකයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුල්වන ගේට්ටුව දෙසට පිහියක් රැගෙන දුවගොස් එම දොරටුවේ සිටි පොලිස් නිලධාරියෙකුට පිහිපහරවල් කිහිපයක් එල්ල කර පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වී තිබේ. එහිදී පොලිසිය ඔහුට නවතිනූ ලෙස අණකර ඇති මුත් අණ නොතකා ඉදිරියට යෑම නිසා වෙඩි තබා ඇත. 

ප්‍රහාරකයා මෙන්ම පිහි පාරවලට ලක්වූ පොලිස් නිලධාරීයාද රෝහල් ගතකිරීමෙන්  අනතුරුව මිය ගියහ. පාර්ලිමේන්තුව අසල වැටී සිටි තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමට විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයෙක් වන, Bournemouth East ආසනය නියෝජනය කරන, Tobias Ellwood මන්ත්‍රීවරයා උත්සහකරනු සහ මුඛ ස්වසනය දෙනා අයුරු පුවත්පත්වල අවධානයට ලක්විය. හිටපු හමුදා නිලධාරීයෙක් වන Tobias Ellwood මන්ත්‍රීවරයාගේ සහෝදරයා මීට ටික කලකට (2002) පෙර ඉන්දුනීසියාවේ බාලි (Bali) ත්‍රස්ත ප්‍රහාරයෙන් මරණයට පත්විනි. ප්‍රහාරකයා පැදවූ වාහනයට යටකිරීම නිසා දෙදෙනෙක් එතැනම මරණයට පත්විය. අනෙක් තැනැත්තා රෝහලේදී මියගොස් තිබේ. තුවාල ලැබූ අයෙක් දිවි බේරා ගැනීම සදහා වෙස්මින්ස්ටර් පාලමෙන් තේමිස් ගගටද පැන ඇති අතර පසුව ඇයව බේරාගත් බව දැක්වේ. එහෙත් රෝහලට ඇතුල්කල පුද්ගලයන් රාශියකගේ ජීවිත තවමත් ඇත්තේ ඉතා අනතුරු සහගත තත්වයකය. ප්‍රහාරකයා යටකරගෙන ගිය මගදෙපස ගමන්කල අය අතර ප්‍රංශයේ සිට ලන්ඩනයේ අධ්‍යන චාරිකාවක් සදහා පැමිණි ප්‍රංශ පාසැල් ළමුන් කිහිපදෙනෙකුද  සහ ලන්ඩනයේ සංචාරය සදහා වෙනත් රටවලින් පැමිණි විවිධ ජාතිකයන්ද වන බව සැලය.
බොහෝ සංස්කෘතින්වලට සිය අනන්‍යතාවය රැකගනිමින් සමාන අයිතිවාසිකම් ඇතිව නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා ඇති ලන්ඩන් නගරයේ නගරාධිපතිවරයා පවා මුස්ලිම් බැතිමතෙකි. එහෙත් පසුගිය වසර කිහිපය තුල පමණක් ලන්ඩන් නගරය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් ගණනාවකට අර ඇදි බවත් එහෙත් ඒවා කෙසේ හෝ වලක්වාගැනීමට හැකිවූ බවත් රජයේ වාර්තා දක්වයි. නගරයේ ආරක්ෂාවද ඉතා ඉහල තත්වයක පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඇතුල්වීමට ඇත්තේ ගුවන් තොටුපලට සමාන ආරක්ෂාවක් බව එහි කමිටු රැස්වීම් සදහා කිහිපවරක්ම ගොස් ඇති මා ප්‍රත්‍යක්ෂව දැක ඇත. 

එහෙත්  ප්‍රහාරකයා මෙතරම් ආසන්න තත්වයකට පැමිනියේ කෙසේද යන්න තවමත් ප්‍රහේලිකාවකි. බැලූ බැල්මට ප්‍රහාරය ප්‍රංශයේ නීස් (Nice) ප්‍රහාරය සහ ජර්මනියේ බර්ලින් ප්‍රහාරයට සමාන බව පෙනී යයි. ඒ අනුව පොලීසිය විශ්වාස කරනුයේ මෙම ප්‍රහාරයද ස්ලාම් අන්තවාදයට සම්බන්ද බවය. මේ සියල්ල සම්බන්දයෙන් බොහෝ තොරතුරු පසුව හෙළිවනු ඇත. 

කෙසේවුවද, මෙම ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය සහ යුරෝපයේ සෙසු රටවල් කල සේම බ්‍රිතාන්‍යයද සිද්ධිය පිළිබද පුර්ණ අවධානය යොමුකරන අතරම එදිනෙදා ජීවිතයේ සෙසු කටයුතු කිසිදු වෙනසකින් තොරව දිගටම සිදුකරනු නියතය. ආරක්ෂාවද තව තවත් ඉහල දමනු ඇත. එහෙත් ප්‍රහාරකයන්ද කුමන හෝ ප්‍රහාරයක් දියත් කිරීමට වෙර දරණු ඇත. ඒ සදහා ඉතා සරල ලී දන්ඩක් හෝ සිය ආයුධය ලෙස යොදාගනු ඇත. එමෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් ලෙස පැමිණ ප්‍රහාර දියත් කරනු වෙනුවට එකිනෙකාට සම්බන්ද නැති තනි තනි පුද්ගලයන් සේ පැමිණ හෝ ප්‍රහාර එල්ල කිරීමට වෙර දරනු ඇත. එම නිසාම ප්‍රහාරකයන් කවුද, පැමිණෙන්නේ කොහේ සිටද, ප්‍රහාරය කොයි ආකාර වේදෝයි යන්න ගැන කලින් දැනගැනීමට නොහැකිවනු ඇත. මේ සියල්ල තුල කියවෙනුවේ කොතරම් ආරක්ෂාවක් පැවතියත්, අනතුර ඉවත් කල නොහැකි බවය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා. 

22/03/17.

Wednesday, 15 March 2017

මහත්වරුනි, වෙඩිබෙහෙත් ගබඩාව හැදුවාට ස්තූතියි. එහෙත් කොටුව කඩාවැටීමට ආසන්නයි


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශාල පිරිවැයක් දරා මීගමුව ලන්දේසි කොටුවේ  ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව සංරක්‍ෂණ කර තිබේ. එය පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් වැඩි ප්‍රසිද්ධියකින් තොරව පසුගියදා  ජනතා අයිතියට පත්කරන ලදී. 


පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස ගැසට් කොට තිබු ලන්දේසි යුගයට අයත් මෙම ස්ථානය මීගමුවේ පිහිටි ඉතාමත් සීමිත පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුතු ස්ථානවලින් එකකි.  මීගමුව කොටුවේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙඩි බෙහෙත් තැන්පත් කර තිබී ඇත්තේ මෙහිය. එය ස්වාභාවික ව්‍යසනයට හසුව, දිරාපත්ව, බිත්ති පුපුරා ගස්වැවී කඩා වැටීමට ඉතා ආසන්නව පැවතුනි.  

මීගමුව කොටුවට බටහිර දිශාවෙන් පිහිටි උස් භූමියක පිහිටා තිබු ආරුක්කුමය හැඩයක් ගත් මෙම ගොඩනැගිල්ලේ  දිග මීටර් 5.70ක් විය. පළල මීටර් 4.60 ක් ද, උස මීටර් 2.95 ක් ද විය. ගොඩනැගිල්ලේ ඉදිරිපස හා පිටුපස බිත්තියේ සෙන්ටිමීටර් 08 ක් උස සෙන්ටිමීටර් 26 ක් ගැඹුරු කවුළු දෙක බැගින් කවුළු 04 ක් දක්නට තිබුණි. පිටත උපරි ව්‍යුහය ගල්, සිමෙන්ති හා ගඩොල්වලින් නිමවා තුබූ  අතර ඉදිරි සහ පිටුපස බිත්ති සෙන්ටිමීටර් 75ක ඝන කමකින් යුකත්විය. එම බිත්ති දෙක සඳහා ආධාරක කුළුණුද නිර්මාණය කර තිබී ඇත. මුල් හැඩයට කිසිදු හානියක් නොවන ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම සම්බන්දයෙන් අපගේ ප්‍රසාදය ඔවුනට හිමිවිය යුතුය. වසර 300යකට එපිට කලක ඉදිකර තිබුන මෙම වෙඩි බෙහෙත් ගබඩාවට  ලන්දේසීන් තඹ අකුණු සන්නායකයක්ද සවිකර තිබී ඇත.
මීගමුවේ කොටුවක් ප්‍රථමයෙන් ඉදිකළේ පෘතුගීසීන්ය. ඒ 1528 දී පමණය. කුඩා කොටුවක්වූ එය 1644 ජනවාරියේදී  Francois Caron ගේ නායකත්වයෙන් යුතු ලන්දේසී හමුදාව විසින් නතුකරගන්නා ලදී. ඉන් අනතුරුව මීගමුවේ පෘතුගීසි කොටුව තව තවත් විශාල කර කොටුව තුල හමුදා කණ්ඩ තුනකට පහසුවෙන් නවාතැන් ගත හැකි ලෙසත්, විශාල වශයෙන් වෙළද  ද්‍රව්‍යය, වයින්, ආහාර, සිරකරුවන්, වෙඩි බෙහෙත් සහ අවි ආයුද ආදිය රදවා තබා ගත හැකි ලෙසත්  ශක්තිමත්ව ඉදිකර ඇත. 

Richard Leslie Brohier (R. L. Brohier/ R. L. බ්‍රෝහීයර්) (1978) ගේ 'Sri Lanka and the Netherlands' නම් කෘතියේ පිටු අංක 50-55 දක්වා  ඇති ආකාරයට නම් ලන්දේසීන්  මීගමුව කොටුව අඩි 22 ක් උස කොටු පවුරක් සහිත  අවිධිමත් පංචාස්කාර හැඩයකි යුතුව ඉදිකර ඇත. කොටුවේ පිටත පවුරේ ස්ථාන 5ක් තරුවක කොනවල් මෙන් ඉදිරියට නෙරායන ලෙස නිමවා තිබේ. එම පස් කොනවල් කේන්ද්‍රකරකොට කාලතුවක්කු සවිකර තිබු මුරකුටි පිහිටුවා තිබී ඇත. බ්‍රෝහීයර් (1978) දක්වන ලෙස ගොඩබිම පැත්තට මුහුණලා පිහිටි මුරකුටි දෙක ඩෙල්ෆ් සහ රොටඩැම් ලෙසද, මුහුදට සහ කලපුවට මුහුණලා තිබු කොනවල් පිළිවලින් ඈම්ස්ට්‍රැඩැම්, හූර්න් සහ මිඩ්ල්බර්ග් යන නෙදර්ලන්ත නගර සිහිවීමටද නම්කර තිබේ. මෙම වෙඩි බෙහෙත් ගබඩාව තිබී ඇත්තේ ඈම්ස්ට්‍රැඩැම් සහ හූර්න් මුරකුටි අතර කොටු බැම්මෙන් ඇතුලට වීමටය. කොටුව පුරාම අර්ධකවාකාර ආරුක්කුවලින් කොටුපවුර ශක්තිමත්කර ඇත. කොටුව වටා දිය අගලක් තිබී ඇති අතර ගොඩබිම සහ කොටුව සම්බන්ද වී ඇත්තේ උස් පහත්වන, හැකිලිය හැකි පාලමක් (drawbridge) ඔස්සේය. කොටු බැම්මේ පිටත සහ ඇතුළත කාලතුවක්කු සහ තුවක්කු රදවා තිබී ඇත.   යුරෝපයේ මධ්‍යතන යුගයේ පැවති පැරණි කොටුවල ආකෘතිය සහිතව ඉදිකල මෙම මීගමුව ලන්දේසි කොටුව ගැන වැඩි විස්තර මා ලියූ  මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන ඔස්සේ කිය විය හැක. 

1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගැනීමෙන් අනතුරව මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය කලේය. ඒ සදහා කොටුවේ ඇතැම් කොටස් කඩා දමා තිබේ. සම්ප්‍රදායකව ලන්දේසී කොටුවලට ඇතුල්වන සීනු කනුව (klokkentoren/bell tower) යටින් ඇතුල්වන ප්‍රධාන දොරටුව ගල් බිත්ති බැද අවහිර කර නව ඇතුල්වීමේ දොරටුවක් ඉදිකර ඇත. අද කොටුවේ ඇත්තේ මෙම ඇතුල්වීමේ දොරටුවය. එයද කුමන මොහොතක හෝ කඩා වැටීමට ඉතා ආසන්නය. ලන්දේසින් ඉදිකළ සීනු කනුව සහ සීනුව (klokkentoren) 1899දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years)) පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද ඉදිකළ නව ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) පිහිටවීම සදහා  ඉවත් කර ඇත. පසුව ලන්දේසි සීනුව සහිතව නව ජුබිලි ඔරලෝසු කණුවක් (jubilee clock towers) 1899 දී මීගමුව කොටුවේ ඉදිකර තිබේ. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඉදිකළ ජුබිලි ඔරලෝසු කණු අද ද මීගමු කොටුවේ  දැකිය හැක. එහෙත් එහි තිබු ලන්දේසි සීනුව සොරුගෙන ගොසිනි. ඔරලෝසු කනුවේද පදනම ඛාදනයවී ඇති නිසා කුමන මොහොතක හෝ මුලින් ඉදිරී වැටීමට නියමිතය. ඒ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව ඇත. 

බ්‍රිතාන්‍යයන් මීගමුව කොටුව බන්ධනාගාරක් බවට පත්කිරීමේදී  පැරණි ලන්දේසි වෙඩි බෙහෙත් ගබඩාව බන්ධනාගාර පරිශ්‍රයට පිටතින් ඇති කොටසක් ලෙස භාවිතයට නොගෙන අත්හැර දමා තිබුණි. එහෙත් සියවස් ගණනාවක් පැරණි මීගමුවේ කොටුව සහ එහි උරුමයන් එසේ අත්නොහැර ආරක්ෂාකර දෙන මෙන් මීගමුවේ ජනයා කාලාන්තරයක් පුරා ඉල්ලමින් සිටියහ. 

එම හඩ මෙම බ්ලොග් අඩවිය ඔස්සේ ද අත්නොහැර, දිගින් දිගටම නැගුහ. ඉන් නොනැවතී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවටද, මධ්‍යම සංස්කෘතික අරමුදලටද, නාගරික සංවර්ධන අදිකාරියටද, වෙනත් රාජ්‍ය ආයතනවලටද, දේශපාලන බල අධිකාරීන්ටද දිගින් දිගටම ලියුහ. දුරකථන ඇමතුම්ද දුන්හ. එහෙත් අද වන තුරුම මීගමුව කොටුව හෝ එහි පිවිසුම් දොරටුව හෝ ජුබිලි ඔර්ලෝසු කනුව සංරක්ෂණය කිරීමට  ශ්‍රී ලංකා රජයේ බලධාරීන් කිසිවක් සිදුකර නැත. එහෙත් ගිය වසරේ කඩා වැටුන මීගමුව කඩවල පිහිටි ලන්දේසි මිනුම් කුළුණට අත්වූ ඉරණම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම මීගමුව පැරණි ලන්දේසි වෙඩිබෙහෙත් ගබඩාවට සිදුවීමට ඉඩනොදී  සංරක්ෂණය කිරීම පිලිබදව නැවත් වරක් අපි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අපේ ස්තූතිය පුදකරමු.

එහෙත් සිදුවී ඇත්තේ අත්තක් ආරක්ෂා කරදීම පමණි. ගස කඩා වැටීමට ඉතා ආසන්න බව කිසිසෙත් අමතක නොකර නැවත පසක්කර සිටින්නෙමු. ගස සහමුලින්ම කඩා වැටුනහොත් අත්තක් සංරක්ෂණය කර දීමෙන් ඇති පලය කුමක්ද? එනම් විනාශ මුඛයට ලක්ව, කඩා වැටීමට ඉතා ආසන්නව ඇති මීගමුව කොටුව ආරක්ෂාකර  නොදී, මීගමුව කොටුව, කොටු පවුර, එහි පිවිසීමේ දොරටුව, ඔරලෝසු කණුව ආදිය සංරක්ෂණය කර නොදී කොටුවේ පිටත වෙඩි බෙහෙත් ගබඩාව පමණක් සංරක්ෂණය කිරීම ප්‍රමාණවත් නොවේ. කොටුව සහ එහි ඔරලෝසු කනුව සහමුලින්ම බිමට සමතලා වුවහොත් මෙම වෙඩිබෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමෙන් කිසි ප්‍රයෝජනයක් අත්නොවනු ඇත. මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට  ඉහල ප්‍රමුඛතාවයක් දිය යුත්තේ ඒහිනි. 
එය ඉතා විශාල සහ ඉතාමත් වියදම් අධික කටයුත්තක් බව පැහැදිලිය. මීගමුව කොටුව පරිශ්‍රයෙන් බන්ධනාගාරය  ඉවත්කිරීමට නොහැකිවීමද මෙම ගැටළුව තවත් තීවුර කරන බවද පැහැදිලිය. එහෙත් සියල්ලම සිදුවනතුරු මීගමුව කොටුවේ ඉතිරිවී ඇති කොටස් හෝ තවදුරත් ඉතිරිවේ දැයි කිව නොහැක. එහෙයින් මීගමුව බන්ධනාගාරය මීගමුව කොටුවෙන් ඉවත්කිරීම පසුවට තබා මීගමුව බන්ධනාගාර භූමියට පිටතින් පිහිටි මීගමුව කොටුවේ පිවිසුම් දොරටුව සහ ඔරලෝසු කණුව වත් ඉතාමත් ඉක්මනින්ම සංරක්ෂණය  කල යුතුව ඇත. ඒ සදහා ආරම්භක පියවරක් ලෙස මීගමුව උසාවියට පැමිණෙන නීතීඥයින් විසින් සිය වාහන නැවතීමට මෙම භූමිය භාවිතා කිරීම වහාම නවතා දැමිය යුතුව ඇත. 

එමෙන්ම මෙම කොටුව අසල ඇති පැරණි මහ අධිකරණ ගොඩනැගිල්ල සහ  කම්කරු උසාවිය පැවති ගොඩනැගිල්ල මීගමුවට ඉතාමත් අවශ්‍යව ඇති කෞතුකාගාරයක් බිහිකිරීමට ලබා දෙන්නේ නම් ඉතා අගනේය. එවිට මීගමුව පැරණි පෘතුගීසි-ලන්දේසි කොටුවද, දැන් සංරක්ෂණය කර ඇති ලන්දේසි යුගයට අයත් පැරණි වෙඩි බෙහෙත් ගබඩාවද, මීගමුවේ ඉතිහාසය ඇතුලත් කෞතුකාගාරයක් ද නරබා පාසැල් දරුදැරියන්ට යම් අධ්‍යාපනික වටිනාකමක් උකහා ගතහැක. සිය ළමාවිය මෙම පෙදෙස අසල ගතකල වැඩිහිටියන්ටද සිය මතකයන් නැවත අළුත් කරගත හැක. එය මීගමුවේ සංචාරක කර්මාන්තයටද පිටුවහලකි. 

ඒ සියල්ලට වඩා, නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සෑම සියළු රජයක්ම මීගමුව නොසලකා හැර දමන ලදැයි මීගමුවේ ජනයා නගන මැසිවිල්ලට හොද පිළිතුරක් සපයාදිමටද ඒ ඔස්සේ ශ්‍රී ලංකා රජයට හැකිය.  

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/03/2017.


පසුව ලියමි: 
රජයේ නිල පුවත් වෙබ්අඩවියට අනුව ඒ සදහා මුල්වී ඇත්තේ අපගේ සරසවි මිතුරෙක් වන අධ්‍යපන ඇමති Akila Viraj Kariyawasam මහතායි. එය රජයේ නිල පුවත් වෙබ් අඩවිය දක්වා ඇත්තේ මෙසේයි: "අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත, පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ"... Thank you Akila Viraj Kariyawasam. අධ්‍යාපනික වටිනාකමක් ඇති දෙයක වැදගත් කමක් දන්න අධ්‍යාපන ඇමති කෙනක් ලංකාවට සිටීම ගැන රටටත් මීගමු ජනයාටත් සතුටු විය හැකියි. අදාළ පුවත සදහා:http://sinhala.news.lk/news/entertainment/item/22120-2017-03-14-06-59-00 
16/03/17.

Thursday, 9 March 2017

සෝමවංශ අමරසිංහගේ සිට ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා රටපටවන මීගමුවේ වරාය

මීගමුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නිතී විරෝධීව නවසීලන්තය බලා ගමන් කිරීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගත්බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තාවල පලවී තිබුණි. ඊට දින කිහිපයකට පෙර තමිල්නාඩුවේ වෙරළක් අසල නවතා තිබු ශ්‍රී ලංකාවට අයත් මුහුදු යාත්‍රාවක් සොයාගත් බවත්, එහි ලියාපදිංචි අංකය අනුව එය මීගමුවේ යාත්‍රාවක් යැයි හදුනාගත් බවත් වාර්තාවිනි. මෙලෙස නිතිවිරෝධීව, අනවසරයෙන්, වීසා නොමැතිව, සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරන මෙන්ම, නිතී විරෝධීව භාණ්ඩ ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් වශයෙන්ද මීගමුව කාලාන්තරයක් තිස්සේ  සැලකෙන බව පසුගිය දශක කිහිපයේ පළවූ මාධ්‍ය වාර්තා දෙස බැලීමෙන්වුවද පෙනීයනු ඇත. එහෙයින් මෙය කිසිසේත්ම අළුත් ප්‍රවෘත්තියක් නොවන්නේය. එහෙත් එවැනි ප්‍රවෘත්ති පලවන සෑමවිටම මීගමුවේ සිට මේ සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන දැනගැනීමට උනන්දුවක් ඇතිවන බව නොරහසකි. පැහැදිලිවම ඒ සියල්ල සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව සිදුවන වැඩපිලිවලක් ලෙසය. ඒහින් මීගමුවේ වැසියන්ටද ඒ සිදුවන ක්‍රියාවලිය පිලිබදව සීයට සීයක අවබෝධයක් නොමැත. එහෙත් නීතී විරෝධීව සිදුකරන භාණ්ඩ ප්‍රවාහනය පිළිබද තොරතුරුවලට වඩා, නීතී විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්දයෙන් නම් මීගමු වැසියන්ට යම් තොරතුරු ප්‍රමාණයක් රැස්කරගැනීමට අපහසු නැත. ඒ ප්‍රවෘත්ති වාර්තාවල නිතර මේ සම්බන්දයෙන් පුවත් පලවන නිසාම නොවේ. ඔවුන් දන්නා-කියන අය අතරින් එකෙක්-දෙන්නෙක් හෝ ඉහත ආකාරයට විදේශ ගතවී ඇති නිසාය. එසේ මීගමුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට සංක්‍රමණයවී ඉතාලියේ පුරවැසිබව ලබාගත් මිතුරන්ද, මිතුරන්ගේ මිතුරන්ද, අප අතරවේ. මේ ලිපිය සකස්වීමට එම මුලාශ්‍රයන්ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුනි. 

1995  පාස්කු සමයේ සවස් කලක ගමන් මල්ලක් රැගෙන තවත් මිතුරෙකු සමග පාපැදියකින් ගමන් කරමින් සිටි මිතුරෙක් අප අසල නැවතී අපට කියා සිටියේ ඔහු දැන් ඉතාලිය බලායෑමට යන බවය. එවිට, මා සමග සිටි, ඈත පළාතකින් මීගමුවට පැමිණ සිටි, තවත් අපේ මිතුරෙක් ඔහුගෙන් ඇසුවේ "මෙහෙම? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" ආදී ප්‍රශ්නය. එසේ ඉතාලි ගිය මිතුරා 2000 වසරේ දී ඉතාලියේ 'Soggiorno' (නිල වශයෙන් නීත්‍යානුකූලව රැදී සිටීමට අවශ්‍ය) බලපත්‍රයක් ලැබ නැවත ලංකාවට නිවාඩුවක් සදහා පැමිණ සිටියදී මට මුණගැසුනි. දුෂ්කර මුහුදු ගමනකින් පසුව ඔවුන් ඉතාලියට ලගාවූ අයුරැ කෙටියෙන්ද, ඉතාලියේ ඔහු ගෙවූ කාලය ගැන වැඩියෙන්ද කියන ලදී. එහෙත් ඒ ව්‍යාපාරය ගැන ඔහු දැනසිටියේ අල්පයකි. ඔහු ලක්ෂ 2ක් ගෙවූ තැනත්තා ගැන පමනක් ඔහු දැනසිටියේය. තවද එදා විවිධ ප්‍රශ්න ඇසු දුර පලාතකින් මීගමුවට පැමිණ සිටි අනෙක් මිතුරාද මෙම මිතුරාගේ සම්බන්දතාවය ඔස්සේම ඉහත ආකාරයට ඉතාලියට සංක්‍රමණයවී ඇත. එසේ එහි ගියපසු ඔහුට මෙන්ම මටද ඔහු  නැවත මුණ ගැසුනේ නැත.

එහෙත් එදා ඔහු ඇසු "මෙහෙම? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" යන ප්‍රශ්න දෙවරක්ම කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාවට සිටි ගුවන් සෙබළුන් මගෙන්ද ඇසුවිට මට ඔහු සිහිපත්විය. එසේවුයේ එකල තායිලන්තය, හොංකොං හෝ වෙනත් රටක සම්මන්ත්‍රණයක් සදහා යන සෑම අවස්ථාවකම මා පිටත්වුයේ මීගමුව කොප්පර හන්දියේ සිට ඇවරිවත්ත බසයක නැගී ගුවන්තොටුපල අසලින් බැස, එතැන් සිට ගුවන් තොටුපලට පයින් යෑම නිසාය. එලෙස ගිය අවස්ථා දෙකකදීම කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාවට සිටි ගුවන් සෙබළුන් ඇසූ වේ "කොහෙද යන්නේ? මෙහෙම ? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" ආදී ප්‍රශ්නය. ඒ සෑම අවස්ථාවකම ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට්පත ඉදිරිපත් කරමින් මම කියා සිටියේ ''මම ඉන්නේ එහා පැත්තේ මීගමුවේ'' බවය. එය එක් අතකින් මුහුදින් හෝ ගුවනින් විදේශ රටකට යෑමට මීගමුවේ වැසියන්ට ඇති පහසුවත්, අනෙක් අතින් පිටරටකට යෑම මීගමුවේ ජනයාට එතරම් අරුමයක් නොවන බවත් කියාපාන්නේ යැයි මට සිතේ.  

කෙසේවුවද, ධීවර කර්මාන්ත සම්බන්දයෙන් චිර ප්‍රසිද්ධ මීගමුව තුල සියවස් ගනනාවක සිට  මුහුද, කලපුව සහ හැමිල්ටන් ඇළ ආශ්‍රිතව වරාය ක්‍රියාකාරීත්වයක් දැකිය හැක. අතීතයේදී අලි-ඇතුන්, කුරුදු, කරෝල ආදී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමද, ඉන්දියාවේ සහ අරාබියේ සිට විවිධ භාණ්ඩ ගෙන ඒමද, දකුණු ඉන්දියාව, කොළඹ, කළුතර සහ මන්නාරම ආදී ප්‍රදේශවලට ජනයා ප්‍රවාහනය කිරීමද  ඒ ඔස්සේ සිදුකර තිබේ. යටත්විජිත යුගයේදී මීගමුව කේන්ද්‍රකර ගනිමින් සිදුවන ඉහත වරාය කටයුතු මෙහෙයවීමට රේගු අධිකාරියක්ද පිහිටුවා තිබුණි. අද ද ඉතුරුවී ඇති මීගමුවේ රේගුපාර (customs house road) එයට එක් උදාහරණයකි. එහෙත් 1948 නිකුත්කරන ගැසට් නිවේදනයක් මගින් මීගමුව නිල වරායක තත්වයෙන් පහතහෙලා එය ධීවර වරායක් ලෙස පමණක් ගැසට්කර තිබේ. නිල පිළිගැනීම කෙසේවුවද දිගින් දිගටම මීගමුව මුහුද, කලපුව සහ හැමිල්ටන් ඇළ ආශ්‍රිතව නීතීවිරෝධීව, භාණ්ඩ ආනයන-අපනයන ක්‍රියාවලියක් හෙවත් 'හොර බඩු ජාවාරමක්' සිදුවන බවත්, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි ඈත එපිට රටවලට පවා මගීන් ප්‍රවාහනය  සිදු කරන බවත් ඉහත මාධ්‍ය වාර්තා තුලින් පමණක්වුවද හෙළිවේ. 

එහෙත් ඉන් නොකියවෙන දෙයක් වනුයේ එසේ සත්සමුදුර තරණය කිරීමට ඔවුන්ට ඇති නිර්භීතකම සහ පරිචය ය. ධීවරයන් ලෙස මුහුදට පිවිසි ඔවුන් තම වෙරළ අද්දර සිට ඉන්දියානු සාගරයේ ඈත  එපිට කෙළවරවල්ද, ඒ වටා ඇති නොයෙකුත් රටවල් ගැනද, ඒ රටවලට පිවිසිය හැකි මාර්ග ගැනද, සිය යාත්‍රා පදවාගෙන එහි යාහැක්කේ කෙසේද යන්න ගැනද ඇත්තේ විශ්ව විද්‍යාලයකින්වත් ලැබිය නොහැකි දැනුමකි. අවබෝධයකි. පුහුණුවකි.

මීගමුවේ සිට ඉතාලියට මුහුදු මගින් යෑමට නම් ආසන්න වශයෙන් නාවික සැතපුම් 4900 ක් යාත්‍රා කල යුතුය. ඒ සදහා දින 28 ක් රතු මුහුද, සුවස් ඇළ සහ මාධ්‍යධරණීය මුහුද ඔස්සේ එක් දිගට යාත්‍රා කල යුතුය. ඔස්ට්‍රේලියාවට යෑමට නම්  ආසන්නවශයෙන් නාවික සැතපුම් 5500 ක් පසුකල යුතුය. ඒ සදහා ලංකාවේ දකුණු මුහුදවටා යාත්‍රා කර ඉන්දුනීසියානු වෙරළ දෙසින් ඔස්ට්‍රේලියාවේ බෑස් (Bass) තුඩුව පසුකර දින 30ක්වත් යාත්‍රා කලයුතුය. ඊටත් එහා පිහිටි නවසීලන්තයට යාත්‍රා කිරීමට නම් ඉන්දුනීසියාව පසුකර ටිමෝරය, පැපුවයි නිව් ගිනියාව ඔස්සේ දින 40ක් පමණ නාවික සැතපුම් 7200ක් යාත්‍රා කිරීමට සිදුවේ. මේ සියළු දුර යාත්‍රා කරනුයේ මීගමුවෙන් පිටත්වන අඩි 55 ක් පමණ දිග බහු දින ධීවර යාත්‍රාවක් හෙවත් ට්‍රෝලර් යාත්‍රාවකිනි. එහි සාමාන්‍යයෙන් දින 30 කට ප්‍රමාණවත් ආහාර සහ ඉන්ධන රැගෙන යැයි. මෙතරම් දුරක් මුහුදු මගින් කුඩා ධීවර යාත්‍රාවකින් ගමන් කිරීම පුදුම උපදවන සුළුය. 

කිසිසේත්ම පහසු නැති ජීවිතයත් මරණයත් ගැන අවදානම දෝතින් දරාගෙන යන ඒ වැනි ගමන් ඇතැම් විට අවසාන වන්නේ ගමනාත්යෙන්ම නොව මරණාසන්න අනතුරුවලිනි. ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ග්‍රීසිය ඉලක්ක කොටගත්  නීති වීරෝධි ලෙස පුද්ගලයන් පිටරට යවන මිනිස් ජාවාරමක් කාලාන්තරයක් තිස්සේ මීගමුවේ සිට කරගෙන යන බව මුළු රටම මුලින්ම දැනගත්තේද රතු මුහුදේදීත්, මාධ්‍යධරණීය මුහුදේදීත්, සුවස් ඇලේදීත්, ජාවා-සුමාත්‍රා සහ බටහිර ටීමෝරයේත් සිදුවූ අනතුරු පිළිබද පුවත් වාර්තාවීමත්, සංක්‍රමිනිකයන් ඉතාලියේදී හෝ ඔස්ට්‍රේලියාවේදී අත් අඩංගුවට පත්වීමත් නිසාය.   

Bernardo Brown  විසින් 08/02/2012 දී Groundviews වෙබ්අඩවියට ලියූ 'Undocumented Sri Lankan Migration to Italy: Its Rise and Fall' ලිපියට අනුව මෙම මිනිස් ප්‍රවාහය ජයටම කෙරුණේ යැයි සැලකෙන 2000 වර්ෂය වනවිට සතිපතා ඉතාලියට මීගමුවේ සිට අනවසර සංක්‍රමනිකයන් රැගත් බෝට්ටු පැමිණෙමින් තිබුණි (At the height of the smuggling business in 2000, boats were arriving weekly to Italy from Negombo...). එම ලිපියට අනුව මුහුදු මගින් ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් යැවීම ආරම්භ වන්නේ 1990 මුල්කාලයේ සිටය. එසේ ඉතාලිය බලාගිය පුද්ගලයන්ගේ අති බහුතරයක් මීගමුව, වෙන්නප්පුව, හලාවත ආදී ප්‍රදේශවලින් පිටත්වූ කතෝලික  ධීවර තරුණයන්ය (this transnational migratory flow to Italy had initially been almost monopolized by Catholic youth from the western seaboard. Virtually all of these young men who sought to relocate to Italian cities as an alternative to working with their families in the fishing industry came from smaller towns like Negombo, Wennappuwa and Chilaw, all located to the north of Colombo). තවද J. R. ජයවර්ධන රජයේ ධීවර ඇමතිවරයාවූ පෙස්ටස් පෙරේරා (Festus Perera) මහතා සහ වැල්ලවීදියේ ශා. සෙබස්තියන් දේවස්ථානයේ සිටි ජෝශප් (ජෝ) ප්‍රනාන්දු පියතුමාත් යටතේ මීගමුව සිට හලාවත දක්වා ජීවත්වෙන ධීවර ප්‍රජාවට යාන්ත්‍රික ධීවර යාත්‍රා හදුන්වාදීමත්, නීල් ෆර්නැන්ඩු මහතා මීගමුවේ 'නීල් මැරීන්' ආයතනයෙන් ශක්තිමත් සහ විශ්වසනීය යාත්‍රා නිෂ්පාදන ඇරබීමත්, ඒ ඔස්සේ ගැබුරු මුහුදේ මසුන් මැරීමට වඩා ඉතාලිය ආදී රටවලට සංක්‍රමනයවීම සහ සංක්‍රමිනිකයන් රැගෙන යෑම වඩා ලාභදායක යැයි ඔවුන් ගණනය කිරීමත් නිසා මෙම අනවසර  සංක්‍රමිනික ප්‍රවාහය ඇතිවූ බවත් Bernardo Brown දක්වයි. 
කතෝලිකයන් වඩා ප්‍රියකරන යුරෝපයේ නගරයවන රෝමය පිහිටි ඉතාලියට පුංචි රෝමය වූ මීගමුවේ සිට සංක්‍රමනය වීම තුල 'වඩා හොද ජීවිතයක් ලැබිය හැකි යැයි යන' බලාපොරොත්තුවද මෙසේ  ඉතා විශාල අවධානමක් නොතකමින් ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා ඉතාලිය බලා මීගමුවේ පිරිස් ඇදුන බව මුල්කාලයේදී  ඉතාලි ගිය පිරිස් කියන අසා තිබේ

කෙසේවුවද, 1990 දශකයට පෙර පවා, එනම් විශාල යාත්‍රා නොතිබි 1985/6 තරම් ඈත කාලයක පවා මීගමුවේ සිට පුද්ගලයන් නීතී විරෝධීව වෙනත් ආකාරයකින් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවලක් කෙරීගෙන ගිය බවට ද තොරතුරු තිබේ. ඒ සම්බන්දයෙන් එක් උදාහරණයක් වනුයේ 1987 ජුලි මාසයේදී කැනඩාවේ Nova Scotia ප්‍රදේශයට නීති වීරෝධිව මුහුදු මගින් පැමිණි ශ්‍රී ලංකික දෙමළ සරණාගතයන්ගේ ප්‍රකාශය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සිය ගමන ආරම්භ කර ඇත්තේ මීගමුවේ සිට තමිල්නාඩුවට මුහුදු මගින් පැමිණීමෙනි. එසේ ඔවුන්ව මීගමුවේ සිට තමිල්නාඩුවට පිටත්කර ඇත්තේ නැවියන් සේ රැකියා කිරීමට හැකි ව්‍යාජ CT සහතිකද සහිතවය. තමිල්නාඩුවට මුහුදු මගින් ගොස් නැවක සේවකයන් සේ බැදී පසුව ඔවුන් සිය ගමනාත්තයට ගොස් තිබේ.  

එය එසේවුවද, විධිමත් ලෙස CT සහතික සදහා තරුණයන් යොමුකර සාස්තරයක් කියන්නා සේ ඔවුන්ගේ අනාගතය කියවූ මීගමුව පිටිපන මේරිල් මහතා වැනි මීගමුවේ ජනයා අතර ගෞරවයට පාත්‍රවූ මහත්වරුන්ද සිටී. ඔවුහු   නිලවශයෙන් පිළිගත් CT සහතික ඔස්සේ විදේශ රටවල නැව් සේවා සදහා මහ සයුර ගෙවත්ත මෙන් කරගත් මීගමු තරුණයන් යොමුකර ඔවුන්ගේ පරම්පරා ගනනාවක්ම සුඛිත-මුඛි කලහ. මෙන්ම CT සහතික හොරට නිකුත්කර විදේශ රටවල නැව් සේවාවලට මීගමුවේ තරුණයන් යොමුකල පිරිස්ද වේ. කෙසේවුවද, අවසාන වශයෙන් කුමන අයුරයකට හෝ CT සහතික ලබාගෙන ඒ ඔස්සේ නැව් නැග, නැව යුරෝපයේ හෝ ඇමරිකාවේ වාරයකට ඇතුල්වූවිට ඉන් බැසගොස් අදාල රටට ඇතුල්වූ පිරිස්ද ඒ අතර අතිවිශාල ප්‍රමාණයක් වේ. 

මීගමුවේ සිට ඈත එපිට රටවලට මිනිසුන් යාත්‍රා කිරීම 80/90 දශකවල මුල් බැසගත්තද මීගමුවේ ජනයා කාලාන්තරයක් තිස්සේ දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි තුඩුවට හෝ  ෂෙට්ටිකුලම් වෙරළට හෝ කෝරමන්ඩල් හෝ කොචින් යන ප්‍රදේශයන්ට නිතර  යෑම් ඒම් සිදුකර තිබුණි. අදටත් ඇතැම් මීගමු වැසියන්ගේ නෑයින් සිටින්නේ දකුණු ඉන්දියාවේය. මීගමුවේ සිටින බරත, පරවර, කොච්චි, සින්දි, මුක්කර, සහ සෙට්ටි ආදී ජන කොටස්වල මුල් පාරම්පරාවල් කෙලින්ම ඉන්දියාවේ සිට මීගමුවට විශාල රුවල් ඔරු මගින් යාත්‍රා කල බව කියවේ. දූවේ සුප්‍රකට පාස්කු නාට්‍ය සදහා භාවිතා කරන අශ්චර්යාමත් ක්‍රිස්තු ප්‍රතිමාව පවා දූවේ සිද්‍රාත්‍රි දේවමාතා පල්ලියට රැගෙන ආවේ කොචින් හී සිට මුහුදු මගිනි. එම කටයුත්ත සදහා  මීගමුව දූවේ වැසියන් කිහිපදෙනෙකු මුහුද මගින් කිහිපවරක්ම ඉන්දියාවට යාත්‍රා කර තිබේ. යුද්ධය ඇරබීමට පෙර ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදු රස්සාවේ (ධීවර කටයුතු) ගිය පිරිස් නැවත මීගමුවට පැමිණියේ මුහුදු මගින් පැමිණී අවස්ථා ගැන මම අසා තිබේ.

මේ සියළු කරුණු ඔස්සේ පෙනීයනුවේ ලංකාවේ හලාවත, මාන්පුරීය, තලවිල, කල්පිටිය, බත්තලංගුණ්ඩුව, පුත්තලම, සීලාවතුර, මන්නාරම, පුනරින්, වැල්වැටිතුරය, මුලතිව්, කෝකිලායි, පාසිකුඩා වැනි වෙරළවල් පමණක් නොව දකුණු ඉන්දියාවේද, ලක්තිව් දුපත්වලද, සීෂෙල්, මාලදිවයින, කෙන්යා, යේමන් යන රටවල වෙරළවලද, අන්දමන් නිකෝබාර්, රොන්ගන්, පටියා, බණ්ඩාආචේ, පැන්ඩාග් යන වෙරළවල්ද පිළිබදව මීගමුවේ ධීවරයන්ට   ඉතා ඉහල අවබෝධයක් තිබූන බවය. පසු කලක දියත්වූ රට රටවලට සංක්‍රමිණිකයන් රැගෙන යාමේ වැඩපිළිවෙල සදහා මේ අවබෝධය උපකාරීවූබව පෙනේ. 

මා දැනට රැස්කරගෙන ඇති තොරතුරුවලට අනුව නම් මීගමුවේ සිට ඈත එපිට ඉතාලිය දක්වා මුහුදු මගින් ජනයා ප්‍රවාහනය කිරීම ආරම්භකර ඇත්තේ මීගමුව පිටිපන විසු තිනිප්පුරිආරච්චිගේ ෂෙල්ටන් ප්‍රනාන්දු හෙවත්  'ෂෝල්ටන්' විසින් 1990දී පමණය. මීගමුවේ පිටිපන යනු ෂෝල්ටන්ගේ ආච්චීගේ ගමය. මීගමු දූවේ වෙරෝනිකා නම් ස්ත්‍රීයක් සමග විවාහවී සිටි ඔහු සිය ජීවිතයේ මුල්කාලය වැඩිපුරම ගතකර ඇත්තේ කල්පිටිය, පුත්තලම සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර වාඩිවලය. වෘත්තියෙන් ධීවර කාර්මිකයන්වූ ඔහු දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට නිතර යෑම් ඒම් කල  ප්ලොට්, ටෙලෝ සහ E.P.R.L.F සංවිධානවලට සම්බන්ද තරුණයන් ඇසුර කල පුද්ගලයෙකු විය. ඔහුගේ ජීවිතයේ බරපතලම සංදිස්ථානයවුයේ සිය නැගනියක් බලෙන් විවාහකරගැනීමට සැරසුණු මීගමු දූවේ තරුණයෙක් සමග ඇතිවූ ආරවුලකදී එම තරුණයා සහ එම තරුණයාගේ සහෝදරයා පිහිපාරකින් මියයෑමය. ඒ සම්බන්දයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ෂෝල්ටන් 1984 අගදී හිරෙන් නිදහස්වී මීගමු පිටිපනට පැමිණ නැවත පදිංචිවී ඇත. 

එසේ පැමිණි ඔහු ඉන් අනතුරුව ඉන්දියාවේ සිට මීගමුවට හොර බඩු ගෙන්වීමේ ජාවාරමක නිරතවී ඇති බව ඔහු සම්බන්ද තොරතුරු ගවේෂණයේදී මට තොරතුරු ලබාදුන් අය දක්වන ලදී. ඔහු හොරබඩු පමණක් නොව කොළඹ සම්බන්දයක් මත ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍යද ප්‍රවාහනය කල බවත්, දෙමළ සටන්කාමී සංවිධානවූ ප්ලොට්, ටෙලෝ සහ E.P.R.L.F සංවිධානවලට අවශ්‍ය ද්‍රව්‍යද මීගමුවේ සිට මුහුදු මගින් කල්පිටියට, සිලාවතුරට සහ මන්නාරමට ප්‍රවාහනය කල බවත් දැක්වුහ. 

එපමණක් නොව විජය කුමාරතුංග ඉන්දියාවට ගොස්  දෙමළ සටන්කාමී සංවිධාන හමුවීමට පෙර ඔහු විජය කුමාරතුංග සහ  ප්ලොට්, ටෙලෝ, E.P.R.L.F යන සංවිධානවල නියෝජිතයන් මීගමුවේදී මුණගැස්සවූ බවත් ඒසදහා සරත් ආනන්ද හෙවත් 'පොඩි සිල්වා'  හෙවත් 'ප්‍රා සිල්වා' සම්බන්දීකරණ කටයුතු සිදුකල බවත් තවත් තොරතුරකින් කියවිණි. කෙසේවුවත් ඒ සම්බන්දයෙන් කිසිවක් නිශ්චිතව කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මට ලැබී නැත. 

එහෙත් 'ෂෝල්ටන්' යනු විජය කුමාරතුංගට හදවතින්ම ආදරය කල, ඔහුගේ පින්තුර පවා ගෙදර එල්ලාගෙන සිටි, විජයගේ දේශපාලනයෙන් උන්මාදවූ තැනත්තෙකි. එක් අතකින් ඔහුගේ පෙනුමෙන් පවා 'ෂෝල්ටන්' සහ විජය කුමාරතුංග අතර තිබී ඇත්තේ දැඩි සමානකමකි. වෙනසකට ඇත්තේ 'ෂෝල්ටන්' තරමක් කළුය, ඉන්දීය දෙමළ නළුවන් මෙන් සුදු ෂර්ට් එකක් ඇද එහි සාක්කුවේ රුපියල් 1000 කොල මිටියක් පේන්න දමාගෙන සිටිමය. ඔහුගෙන් පසුකලක මීගමුවේ සිට වෙනත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්දවූ තාර්සියුස්, පේරෝස් සහ ප්ලේද්‍රන් ආදීන්ද ඔහු මෙන් ඇදීමට, ඔහුව අනුකරණය කිරීමට පෙලබුන බව පෙනේ.  

'ෂෝල්ටන්' විජය කුමාරතුංගට කෙතරම් ආදරය කලද, ඔහුගේ දේශපාලනයෙන් උන්මාදවූ තැනත්තෙක් වුවද, විජය කුමාරතුංග ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවූ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවූ ප්‍රධාන නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා ඉන්දියාවට ගෙනගියේ ඔවුන් යැයි මීගමුවේ ප්‍රබල මතයක්වේ. කොළඹ යම් සම්බන්දකම්ක් විසින් ඔහුගෙන් කල ඉල්ලීමකට අනුව මීගමුවට ඒවා තිබු, ඔවුන් නමක් නොදන්නා, පුද්ගලයෙකුව මීගමුවේ සිට 'ෂෝල්ටන්'ගේ සොහොයුරාවූ  සැම්සන් සමග ඉන්දියාවට පිටත්කල බවත් ඉන්දියාවට ගොඩ බැසීමෙන් අනතුරුව තමා පැලද සිටි ජැකට් ඒක සැම්සන්ට දී තමා සෝමවංශ අමරසිංහ බව සැම්සන්ට හදුන්වාදුන් බවත් කියවේ. පසුව  සැම්සන් එය තැබැරුමේ සිට වෙනත් සෑම තැනකම කී බව මට තොරතුරු ලබාදුන් මීගමු පිටිපන ගම්වැසියෙක් දැක්වීය. එම විස්තරයට අනුව සෝමවංශ අමරසිංහ නැවත ලංකාවට පැමිණිවිට ෂෝල්ටන්ට සහ සැම්සන්ට කොළඹට ආරාධනා කර ස්තූති කල බවද කියවිණි. තවද මේම කටකථාව නිසාම 'ෂෝල්ටන්'ව රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මාස ගනනාවක් 04වන තට්ටුවේ රදවා තබාගෙන සිට ඇති බවද එම තොරතුරුවලින්ම කියවිණි. 

කෙසේවුවද, 89 කැරැල්ල ගැන වඩාත් විශ්ලේෂනාත්මක විග්‍රහයක් කරන ධර්මන් වික්‍රමරත්නට අනුව නම් සෝමවංශ අමරසිංහ රටින් පිටකලේ ඉස්වරන් බ්‍රදර්ස් හී සේවය කල කොළඹ කොටහේනේ පදිංචිව සිටි 'සෙල්වා' නම් තැනත්තෙකි ගේ මැදිහත්වීමෙන් රුපියල් 50,000ක් ගෙවා කල්පිටිය ප්‍රදේශයෙනි. 

පෙනීයන කරුණුවලට අනුව නම් ෂෝල්ටන් මිනිසුන් ඉතාලි යවන කටයුත්ත අරම්භ කරනුයේ මෙම සිදුවීම්වලින් අනතුරුවය. 1990 දශකය උදාවනවිට මීගමුවේ නීල් මැරීන් ආයතනය දින 30ක් යාත්‍රා කළහැකි බාහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය ඇරබීමත් මෙයට හේතුවන්නට විය. කෙසේවුවත් 1995 වනවිට මීගමුවේ සිට සතිපතා  ඉතාලියට බෝට්ටු පැමිණීම ක්‍රමයෙන් වර්ධනය විය. ෂෝල්ටන් ට අමතරව තවත් කිහිපදෙනෙකුම මෙම කටයුත්තට ඒවන විට අතගසා තිබුණි. ඉන් සමහරක් බෝට්ටු අනතුරට පවා පත්වී ඇති නමුත් මුහුදු මගින් ඉතාලියට යෑමට තිබු උනන්දුව අඩුවී නැත. එම නිසාම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්දයෙන් අත් අඩංගුවටගෙන නඩු භාණ්ඩයක් ලෙස මීගමුව උසාවිය අසල කලපුවේ නවතා තිබු බෝට්ටුවක් පවා හොරෙන් ගෙනගොස් ඉතාලියට යෑමට යොදාගෙන තිබුණි.  

දිගින් දිගටම ඉතාලියට ලංකාවේ සිට බෝට්ටු පැමිණීම සිදුවීම නිසා ඉතාලි රජය මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කල අතර එය මීගමුවේ සිට ඉතාලියට යෑම එක්තරා ආකාරයකට අඩපන කළේය. ඒ සමග ෂෝල්ටන්වද නිතර අත් අඩංගුවට පත්විය. තත්වය නරක අතට හැරෙන බව වටහාගත් ෂෝල්ටන්ගේ ප්‍රධාන නැවියා ලෙස කටයුතුකල සිය සොහොයුරැ සැම්සන්ද තවත් කිහිපදෙනෙකු සමග මුහුදු මගින් ඉතාලියට ගොස් සිය යාත්‍රාවද ගිල්වා දමා ඉතාලියේ නැවතුනි. ඉතාලියේදී පවා සරම ඇදීම අත්නොහල සැම්සන් අධික ලෙස මත්පැන් පානයට යොමුවී ඉතාලියේ නාපෝලි නුවරදී තරප්පු පෙලකින් වැටී මිය ගියේය. ෂෝල්ටන්ව 2005 දී සිරගෙදරදීම ඝාතනය කර තිබේ.

ඉතාලි යෑම මෙසේ අඩුවීමත් සමග ඔස්ට්‍රේලියාවට යෑමේ නව ප්‍රවනතාවයක් මතුවිය. වරක් එසේ ඔස්ට්‍රේලියාවට ගිය පිරිසක්  අත් අඩංගුවට පත්වී ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මීගමුවට පැමිණි ඔස්ට්‍රේලියානූ පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් අදාල පිරිස බැස්සවූ යාත්‍රාව මීගමුව වරායට නැවත පැමිණෙන අයුරු මීගමුව මුන්නකරයේ මහ පාලම අසල සිට නිරීක්ෂණය කල බව කියවේ. එසේ නිරීක්ෂණය කල ඔවුන් අදාල යාත්‍රාව පැදවූ 'තොඩුවාවේ ලාල්' ගේ නිර්භීතකම සහ නෞක ගමනාගමනයේ ඇති දක්ෂතාව අගයකර අත් අඩංගුවට ගෙන තිබේ. ලාල් සිය යාත්‍රාවන් ඔස්ට්‍රේලියාවේ සිට නැවත මීගමුවට පැමිණෙනවිට ඔස්ට්‍රේලියානු බලධාරීන් ගුවන් මගින් ඔහු රැගෙන ආ පිරිසෙන් සමහරක් නැවත ලංකාවට රැගෙනවිත් තිබේ.

කෙසේවුවද ඉන් අනතුරුවද දිගින් දිගටම ඔස්ට්‍රේලියාවට මෙන්ම ඉතාලියට, දැන් නවසීලන්තයටද නීතී විරෝධීව මිනිසුන් ප්‍රවාහනය කිරීම නොකඩවාම සිදුවන බව මුලින් සදහන් කල පුවත්වාර්තා සක්ෂි දරයි. ඉන් පෙනීයන්නේ මේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන් තවමත් හෙළිකර ගත නොහැකි මනාව සංවිධානයවූ වැඩපිළිවෙලක් බවය. එහෙයින් එහි නියම තොරතුරු තවමත් නිසිපරිදි හෙළිවී නොමැත. මගේ මේ ලිපියටද පදනම්වූ කරුණු බොහොදුරට සපයාගෙන ඇත්තේ දෙවෙනි, තෙවෙනි හෝ ඊටත් පහලට ගලාවිත් ඇති මුලාශ්‍රයන් සහ තොරතුරුවලින්ය. ඒහින් මෙහි සපයා ඇති තොරතුරු තවදුරත් අධ්‍යනයකල යුතු පරික්ෂාවට ලක්කළ යුතු තොරතුරුය. එහෙත් එහිලා අවශ්‍යකරන කුහුල, සෙවීමේ උවමනාව මෙම ලිපිය ඔස්සේ උත්පාදනය කල හැකි නම් මම බොහෝසේ සතුටුවෙමි. මන්දයත්, එමගින් මේ ආකාරයට මුහුදු මගින් ඉතාලියට, ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් රටකට ගොස් සිය ජීවිත ගොඩනගාගත් දහස් සංඛ්‍යාත ජනයාට වඩා එසේ අනතුරුදායක මුහුදු ගමන්වල ගොස් ජීවිත අහිමිවූ දහස් සංඛ්‍යාත ජනයාට මහත් සාධාරණයක් ඉන් ඉටුවන නිසාය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/03/17.

Sunday, 26 February 2017

ශාන්ත සෙබස්තියන්තුමාගේ සොහොන සොයා ගියෙමි

ශාන්ත සෙබස්තියන්තුමා යනු ලොව පුරාම වෙසෙන කිතුනුවන් අතර විශාල භක්ති-ආදරයකට ලක්වූ ක්‍රිස්තියානි ආග
මීක විශ්වාසය වෙනුවෙන් දිවිපිදූ (martyrdom) ප්‍රාණ පරිත්‍යාගවරයෙකි (martyr). ක්‍රි. ව. 256 දී නිරිත දිග ප්‍රංශයේ වෙරළ අද්දර පිහිටි කුඩා නගරයක් වන නර්බෝනා (Narbonne) නගරයේ උපතලද මෙතුමා ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා (Emperor Diocletian) විසින් රෝමයේදී මරාදමනු ලදි. එහෙත් එතුමාගේ නාමය සහ විශ්වාසය අදටද එතුමා ජීවත්වූ ප්‍රදේශයෙන් සැතපුම් දහස්ගනනක් ඈත එපිට ප්‍රදේශයන්වල ජනයා අතර පවා  ලැගුම්ගත්තකි. 

පුංචි රෝමයවූ අපගේ මීගමුව නගරයේ පමණක්  ශා. සෙබස්තියන් මුනිදුන් වෙනුවෙන් ඉදිකළ විශාල දේවස්ථාන තුනක් මීගමුව කටුවපිටිය සහ වැල්ලවීදිය ප්‍රදේශයේද, වැලිහේන අඩික්කණ්ඩියේද ඉදිකර තිබේ. ඊට අමතරව තවත් කුඩා දේවස්ථාන දෙකක් මීගමුව ඇළපාර පෙරියමුල්ලේ සහ මීගමුව පළගතුරේ කුඩා ලෙල්ලම ඉදිරිපිට ඉදිවී ඇත. ඉන් තුනක් ගැනම මම මීට පෙර මෙහි සටහන්කර තිබේ. ඒවා

1.මීගමුව කටුවපිටිය ගම, එහි ශා. සෙබස්තියන් පල්ලිය සහ කතෝලික පල්ලියේ දේශීය ලක්ෂණ (මෙතැනින් පිවිසෙන්න)

2.මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!(මෙතැනින් පිවිසෙන්න)

3.ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්(මෙතැනින් පිවිසෙන්න)

ආදී ඉහත යොමු ඔස්සේ කියවිය හැක. මෙම පල්ලිවල මංගල්‍යය සමයේ  නිතර වාදනය වූ 'නර්බෝනා නගරයේ වීරයනී' නම් ගීතිකා ඛණ්ඩය පවා තවමත් මා සවනේ රැදී තිබේ. 

එම නිසාම වරක් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට දකුණු ප්‍රංශයේ තුළුස් (Toulouse) නුවර දක්වාවූ දුම්රියෙන් ගමන් කරමින් සිටින විට එම මාර්යේ පිහිටි නර්බෝනා (Narbonne) නගරයට ගොඩවී එය කුමනා කරාදැයි විමසා බැලීමට මම අමතක නොකලෙමි. සෙබස්තියන් මුනිදුන් ගැන කථා පුවත අප ග්‍රාමයේ පිහිටි ඉහත පල්ලි  ඔස්සේ කුඩාකල සිටම අප හදවත් තුල තැම්පත්වී, මුල් බැසගෙන තිබුනේ ඒ ආකාරයටය. 

කෙසේවුවද, සිය ළමා කාලයෙන් වැඩි කොටසක් ඉතාලියේ මිලානෝ නගරයේ  ගෙවූ සෙබස්තියන් මුනිදුන් රෝම අධිරාජ්‍යය වෙනුවෙන් සටන්කල සෙන්පතියෙක් විය. එහෙත් ඔහු රහසිගතව ක්‍රිස්තියානි ආගම වැළදගත් තැනැත්තෙක් බව රෝම හමුදා නිලදාරීන්ට සොයාගෙන තිබේ. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල, රෝම අධිරාජ්‍ය තුල ක්‍රිස්තියානි ආගම ඇදහු තැනැත්තන්ව දසවද දී මරාදමන ලදී. 

එහෙත් තරුණ රෝම සෙන්පතියෙක්වූ සෙබස්තියන් හට අවස්ථාවක් දුන් රෝම නිලධාරීන් ඔහු සිය ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, සෙසු ක්‍රිස්තියානීන්වද අල්ලාදෙන්නේ නම් ඔහුව නිදහස් කොට නැවත සිය තනතුරේම පිහිටවිය හැකි බව දන්වා ඇත. එහෙත් ඔහු සිය විශ්වාසය සහ ආගම වෙනුවෙන් දිවිපිදීම තෝරාගෙන තිබේ. ඒ අනුව ගසක බැද හේවායින් විසින් දුනුවිද මරාදැමීමට ක්‍රියා කලද ඔහු මිය නොයන ලදී. පසුව මාරාන්තික තුවාල ලබා සිටියදී ක්‍රිස්තියානීන් විසින් ඔහුව මුදාගෙන නැවත සුවපත්කර තිබේ. 

අනතුරුව ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා  (Emperor Diocletian) ගමන්කරන මාර්ගයේ රැදී සිට ඔහු පැමිණිවිට ඔහු සමීපයටම ගොස් තමා මියගියේ නැති බවත්, ක්‍රිස්තියානි ආගම එසේ ක්‍රිස්තියානීන් මරා දමා යටපත් කල නොහැකි බවත්, එහෙයින් ක්‍රිස්තියානනීන්ට එරෙහි මර්ධනය නතර කරන  ලෙසත් දියෝකිලේටියන් අධිරාජ්‍යයාගෙන් (Emperor Diocletian) ඉල්ලා ඇත. එහිදී නැවත අත් අඩංගුවට ගත් මෙතුමාව අධිරාජ්‍යාගේ අණ පරිදි මැරෙන තුරු කටු සැමිටියෙන් (scourge) පහරදී මරණයට පත්කර පැරණි රෝම අපද්‍රව්‍ය ප්‍රවාහක කානුවට (Cloaca Maxima) ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තල්ලුකර දමා තිබේ. 

එහෙත් එදින රාත්‍රීයේදී ඔහුගේ සිරුර වැටී ඇති තැන තවත් ක්‍රිස්තියානි බැතිමතෙකුට සිහිනයෙන් දැකගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව ක්‍රිස්තියානීන් ඔහුගේ සිරුර සොයාගෙන පැරණි රෝම නගර පවුරෙන් (The Aurelian Wall) එපිට පිහිටි ක්‍රිස්තියානීන් භාවිත කල පැරණි රෝම උමං සොහොනක (catacomb) තැම්පත් කර තිබේ. 

අද Catacombe San Sebastiano පල්ලිය ඉදිකර ඇත්තේ එම උමන් සොහොන මතය. ක්‍රිස්තියානි වාර්තාවලට අනුව මෙම ශා. සෙබස්තියන්  උමන් සොහොන තුල පේදුරුතුමාගේ සහ පාවුළුතුමාගේ සිරුරුද කලක් තැම්පත් කර තිබේ. ඒ ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ ක්‍රි.ව. 1-322 අතර කාලයේදීය. එකල කිලෝමීටර් 12ක් දුරට විහිදී තිබු  මෙම උමන් සොහොන මෙන්ම තවත් එවැනිම සොහොන් 55 රෝම නගර පවුරෙන් එපිට පිහිටා තිබී සොයාගෙන ඇත. ඉන් බොහෝමයක් එකල විසු ක්‍රිස්තියානී ජනයා විසින් භාවිතා කර තිබේ. එහෙත් අද මහජනයාට නැරබීමට විවෘතව ඇත්තේ 05ක් පමණි. 

කෙසේවුවද, රෝමයේ ශා.පීතර බැසිලිකාව ඉදිකළවිට  පේදුරුතුමාගේ සිරුර එම බැසිලිකාවේද, පාවුළු තුමාගේ සිරුර රෝමයේ ශා. පාවුළු බැසිලිකාව ඉදිකලවිට එහිද තැන්ම්පත්කර තිබේ.  එහෙත් ශා. සෙබස්තියන්තුමාගේ සිරුර පිහිටි උමන් සොහොන මතම එතුමා නමින් ක්‍රි.ව. 4වෙනි සියවසේදී මෙම දේවස්ථානය ඉදිකර එතුමාගේ සිරුර එහි තැම්පත්කර තිබේ. එමෙන්ම එතුමාව මරා දැමුවේ යැයි සැලකෙන Palatine කන්ද මතද San Sebastiano al Palatino නමින් 10වෙනි සියවසේ ඉදිකළ දේවස්ථානයක් ශා. සෙබස්තියන්තුමා නමින් පිහිටුවා ඇත. එහෙත් San Sebastiano fuori le mura (Basilica of Saint Sebastian outside the walls) හෙවත් San Sebastiano ad Catacumbas (Saint Sebastian Catacumbas) නම් මෙම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය රෝමයේ පිහිටි කතෝලිකයන්ගේ  ප්‍රධාන වන්දනීය ස්ථාන 07න් (Seven Pilgrimage Churches of Rome) එකකි. සෙසු දේවස්ථානය වනුයේ ශා. පීතර බැසිලිකා, ශා. පාවුළු බැසිලිකා, ශා. ජෝන් ලේටරන්, ශා. මේරි මැජෝරේ, ශා. ලෝරන්ස් සහ ශුද්ධවූ කුරුසේ බැසිලිකා දේවස්ථානය.

ශා. සෙබස්තියන්තුමා ඇතුළු සියළු ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරුන් මට සිහිකරනුයේ ක්‍රිස්තියානි  සුභාරන්චිය නොනැසී, සියවස් ගණනාවක් පවත්වාගෙන යෑමට කෙතරම් නම් පිරිසක් ජීවිත පුජාවෙන් කටයුතු කර තිබේද යන්නය. ඔවුන්ගේ ප්‍රාණ පරිත්‍යාගයන්, ජීවිත පුජාවන් නොවන්නට කිතුදහම  අද ලබා ඇති අද්වීතීය ස්ථානය කිසිසේත්ම හිමි කර නොගැනීමට පවා ඉඩ තිබුණි. අද ඇතැම් මුලධර්මවාදීන් කතෝලික සභාව ශාන්තුවරයන් ස්මරණය කරනුයේ ඇයිදැයි අසන අවස්ථා තිබේ. එහෙත් ශාන්තුවරයන්ගේ ඉහත ප්‍රාණ පරිත්‍යාගයන් නොවන්නට එසේ ඔවුනට වාද කිරීමට පවා ක්‍රිස්තියානි දහමක් ඇතැම් විට ඉතිරිවීමට ඉඩ නොතිබිණි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
26/02/17.


 


Sunday, 19 February 2017

ශා. පාවුළුතුමාගේ හිස ගසාදැමු ස්ථානයට ගියෙමි.

ඉතාලියේ රෝම නගර මාධ්‍යයේ සිට කිලෝමීටර් 12ක් පමණ ඇතින් ඇති පැරණි රෝම නගර පවුරෙන් එපිටින් පිහිටි ශා. පාවුළුතුමා මරා දැමුවේ යැයි සැලකෙන ස්ථානයට යෑමට ලැබුණි. මගේ කුතුහලය වුයේ කුඩා කාලයේ අප අසා ඇති ලෙස  ශා. පාවුළුතුමාගේ හිස ගසා දමා මරණවිට ඔහුගේ හිස වැටුන ස්ථාන 03ක දිය උල්පත් මතුවුයේද යන්න දැක ගැනීමය. මා අසා ඇති කථාව ලෙසම පාවුළුතුමා හිස ගසා මරාදැමු ස්ථානයේ එලෙස ඔහුගේ හිස වැටුන තැන් තුනක මතුවූ දිය උල්පත්  තුනක් San Paolo alle Tre Fontane නම් එම ස්ථානයේ දැකිය හැක.

පාවුළුතුමා, ඔහුගේ ඉගැන්වීම, ඔහුගේ ජීවන චරිතය, සහ ඔහුගේ මරණය ගැන මා බොහෝ දේ කියවා ඇත. විශේෂයෙන්ම යුදෙව් ජනයා අතරින් පැන නැගුන ක්‍රිස්තියානි ආගම ලෝක ව්‍යාප්ත ආගමක් බවට පත්කිරීමට ඔහු විශාල මෙහෙයක් කල තැනැත්තෙකි.  
බයිබලේ නව ගිවිසුමට අයත් පොත් 27න් 13ක් පමණ සකස්වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් ඇතුලත් ලිපි ලේඛන ඇසුරිනි. සැතපුම් 10,000ක් පමණ අතිවිශාල ප්‍රදේශයක පයින් ඇවිදීමින් කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම් ගොඩ නැගු ඔහු ඊට වඩා විශාල ප්‍රදේශයක් පුරා මුහුදු මගින් යාත්‍රාකර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කර තිබේ. 

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය හුදෙක් ජුදෙව් ජනයාට පමණක් නොව ලොව පුරා වෙසෙන සියළු ජාතින්ට විමුක්තිය අත්කරදෙන්නක් යැයි මුලින්ම ප්‍රකාශකල තැනත්තන්ගෙන් කෙනෙකුවූ පාවුළු තුමා. ක්‍රිස්තියානින්වීමට යුදෙව්වන් මෙන් චර්මච්දනයෙන් තොරව බවුතිස්මය යටතේ සිදුකල හැකිබව පෙන්වාදෙන ලැබුවෙකි. ග්‍රීක යුදෙව්වෙකු මෙන්ම රෝමානු පුරවැසියෙකුවූ ඔහු ග්‍රීක දර්ශනය මෙන්ම ජුදෙව් නීතීය පිලිබදව හැදාරූවෙකු බව පෙනේ. විශේෂයෙන්ම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරවන රෝමය, බයිසන්තියම සහ ඇතැන්ස් නගරවෙත ක්‍රිස්තියානි දේවධර්මය ගෙනයෑමටත්, එම නගරවල ක්‍රිස්තියානි ආගම මුල්බැස ගැන්වීමේත් අවශ්‍යතාවය වෙනුවෙන් නිතර පෙනීසිටි අයකි. 

දීර්ඝ ධර්ම ප්‍රචාරක චාරිකාවලින් පසුව නැවත ජෙරුසලමට ඇතුල්වී ප්‍රධාන ජුදෙව් දේවස්ථානයේ ජේසු ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්  පිළිබදව දේශනයක් කිරීමට උත්සහ කලවිට ජුදෙව්වන් විසින් මාර දැමීමට උත්සහ කල නමුත් රෝම සෝල්දාදුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව රෝම පුරවැසියෙකු ලෙස රෝම අධිකරණයේ පිහිට පැතීම නිසා රෝමයට පිටත්කර තිබේ. 

එලෙස රෝම අත්අඩංගුවේ සිටියදී ඔහුට යම් නිදහසක් ලැබී ඇති අතර ඒම නිදහස උපයෝගී කරගෙන රෝමය තුලද ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කර තිබේ. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල පාවුළුගේ කටයුතු සම්බන්දයෙන් කිපුණ රෝම නිලධාරීන් නීරෝ අධිරාජ්‍යාගේ ක්‍රිස්තියානි මර්ධනය අනුව යමින් ඔහු අල්ලා හිසගසා මරාදමා ඇත. එහෙත් ක්‍රි. ව. 1 සිට ක්‍රි. ව. 322 දක්වා කාලය තුල ක්‍රිස්තුධර්මය තහනම් කරමින්, ක්‍රිස්තියානින් සමුල ඝහතනය ක්‍රිස්තියානි ආගම මර්ධනය කර යටපත් කර දැමීමට උත්සහ කලද එය ලෝක ව්‍යාප්ත ආගමක් බවට පත්කිරීමටත්, එය නොනැසී පවත්වාගේන යාමටත් සමත්වූයේ පාවුළු වැනි පුද්ගලයින්ගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. 

ජේසුගේ ගෝලයෙකු නොවූ නමුත් පසුව ක්‍රිස්තියානි ආගම වැළදගත් පාවුළුගේ මැදිහත්වීම තුල ක්‍රිස්තියානි ආගම තවත් කුඩා යුදෙව් සංගයක් නොවී ඉන් ඉවත්ව පුළුල් ආගමක් බවට පත්වුවද, පවුළුගේ ඉගැන්වීම් සම්පුර්ණයෙන්ම යුදෙව් ආගමික ඉගැන්වීම්වලින් සහ යුදෙව් සිරිත්විරිත්, සහ ඇතැම් යුදෙව් නීතීවලින් සහමුලින්ම මිදුනක් නොවන බව මගේ කියවීමය. ඒ පිලිබදව පසුව සටහන් කරමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/02/17


Thursday, 9 February 2017

සමලිංගිකත්වය සහ මනුෂ්‍යත්වය

සමලිංගිකත්වය පිළිබද විශාල සාකච්ඡාවක් සිංහල සමාජයේ දැන් දැකිය හැක. එය එක්තරා ආකාරයකට සමලිංගිකත්වය පිළිබදව ඇති නිතීමය තහංචි සහ සීමා පිලිබදව කතිකාවකින් ආරම්භවී පසුව එය  සිංහල සමාජයේ විවිධ පැතිකඩවල් පිළිබද විවේචනාත්මක කතිකාවක් බවට පත්ව ඇත. 

විශේෂයෙන්ම,  යටත්විජිත පාලකයන් විසින් හදුන්වාදුන් සමලිංගිකත්වය නීතී විරෝධීය යන නිතීමය රාමුව වෙනස් කිරීම තුල සමලිංගිකත්වය නීතිගත වන්නේද? නීතිමය වශයෙන් එය කවරාකාරවුවද එය සමාජයේ දිගින් දිගටම පැවති, තවමත් සක්‍රීයව පවතින, ලිංගික චර්යාවක් බැවින් එය තවදුරටත් නීතීය මගින් අවහිර කිරීම තුල  සිදුවන්නේ මානව හිමිකම් කඩ කිරීමක් නොවේද?  යනාදී ලෙස නීතීය සහ නීතීය වෙනස් කිරීම පදනම් කරගත් විවාදයක් මෙම කතිකාවේ එක් පැත්තකින් පැනනැගී ඇත. 

තවත් පැත්තකින් විවාදයට ලක්කර ඇත්තේ සමලිංගිකත්වය කෙතරම් ස්වාභාවිකද? සදාචාර සම්පන්නද? යන්නය. මෙහිදී සමලිංගිකත්වය ස්වාභාවිකද, නැත්ද, යන්න තීරණය කිරීමට අදාල වනුයේ ස්ත්‍රී+පුරුෂ විෂමලිංගික සම්බන්දතා  ප්‍රජනන ක්‍රියාවලියට දායක වන්නක්වීම නිසා සහ සමලිංගිකත්වය එසේ නොවන්නක් වීම තුලය.  එනයින්ම දරුවන් නොමැති, ප්‍රජනන ක්‍රියාවලියට දායක නොවන, විෂම ලිංගිකයන්ද ආන්තීයකරණයකට ලක්කර ඇති බව වටහාගත යුතුය. 

එමෙන්ම සදාචාර සම්පන්න භාවය තීරණය කිරීමෙහිලා බොහෝදුරට අදාලවී ඇත්තේ ආගමික ඉගැන්වීමය. ඒ අතුරින් විශේෂයෙන්ම ආබ්‍රහමික ආගම් (Abrahamic religion) වන ජුදා, ක්‍රිස්තියානි සහ ස්ලාම් ආගම්ය. සමලිංගිකත්වය පිලිබදව   ආබ්‍රහමික ආගම්වල (Abrahamic religion)  ස්ථාවරය වන 'පාපයක්' යන්නට වඩා වෙනස් ස්ථාවරයක් හින්දු සහ බෞද්ධ ආගම් තුල දරණ බව  පෙනේ. විශේෂයෙන්ම ඉන්දීය හින්දු සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන්(transgender) Hijra සහ Aravani ආදී ලෙසද, තායිලන්ත බෞද්ධ සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන් (transgender) සහ සමලිංගිකත්වයන් Kathoey හෝ katoey ආදී ලෙස සුවිශේෂී තත්වයකලා යම් ගරුත්වයක් ඇතිව සැලකීමද එයට උදාහරණය.   

ආබ්‍රහමික ආගම් සමලිංගිකත්වය පිලිබදව සිය මතය සකස්කර ගැනීමෙහිලා බොහෝදුරට යොදාගන්නේ සොඩොම් සහ ගොමෝරා (Sodom and Gomorrah) නගර විනාශයන් පිළිබද  කථාවස්තූන්ය. දෙවියන් විසින් එම නගර විනාශ කිරීමට හේතුව ලෙස දක්වන 'පාපයන්' අතර සමලිංගිකත්වයද පැවති බව දැක්වේ. කෙසේවුවද ආබ්‍රහමික ආගම් (Abrahamic religion) අතරින් වඩාත් ප්‍රචලිත ක්‍රිස්තියානි ආගම තුල ඉගැන්වෙන  'පැරණි ගිවිසුමේ' (Old Testament) දෙවියන් 'වරදට දැඩි දඩුවම් දෙන දෙවිකෙනෙකු ලෙස දැක්වුවද, එතුමාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් පදනම් කරගත් 'නව ගිවිසුම' (New Testament) තුල දෙවියන්වහන්සේව දක්වනුයේ සමාවදෙන, අසීමිත ප්‍රේමයකින් යුත් තැනැන්වහන්සේ කෙනෙකු ලෙසය. සමලිංගික ප්‍රජාව විනිශ්චය කිරීමට මම කවරෙක්ද? (Who am I to judge gay people?) යන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශය පදනම්වන්නේ එම අදහස තුලය.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉහත ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු ලියූ ගිය වසරේ ප්‍රකාශයට පත්කල The Name of God is Mercy (2016)
කෘතියේ දක්වනුයේ 'ඇතැම්විට අපි අනෙකා විනිශ්චය කිරීමට, හෙලා දැකීමට වැඩි පෙලබවීමක් ඇති බවත් එය ජේසුතුමන්ගේ ඉගැන්වීමට ඉදුරාම වෙනස් බවත්ය'. (sometimes we, too, like to reproach others, to condemn others... that I may at least honour who you are, God of infinite bounty, invoking, accepting, and celebrating your sweet mercy...) 

පාප්තුමාගේ මෙම කෘතිය සම්බන්දයෙන් අදහස් දක්වා තිබු lesbian, gay, bisexual සහ transgender ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලෝක ව්‍යාප්ත සමාජ ජාලයන් කිහිපයක්ම දක්වා තිබුනේ එය  'නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව ඇති නිමක් නැති විවාදය යම් තුලනාත්මක අන්තයක් දක්වා යොමුකිරීමට' මගපෑදිය හැකි කෘතියක් ලෙසය. 

නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව විවාදය ගැන අවධානය යොමුකිරීමේදී පෙනී යන එක් කරුණක් වනුයේ lesbian, gay, bisexual සහ transgender ප්‍රජාව අතර ඇති ඇතැම් ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති නමුත් එම චර්යාවේම නිරතවන සමලිංගිකයින්ව විෂම ලිංගිකයන් විසින් හෙළාදකින බවය. මෙහිදී  හෙළාදැකීමට ලක්ව ඇත්තේ අදාල ලිංගික චර්යාව නොව තවත් මනුෂ්‍යයෙක්වම වීම තුල  යම් මනුෂ්‍ය සමාජයක ඇති අගතිගාමීත්වය  කියා පාන්නකි. 

සමලිංගික ප්‍රජාව අතර ඇති ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති සමාජයක් විසින් සමලිංගික ප්‍රජාව සුළුතර ජනකොටසක් හෝ පීඩිත ජන කොටසක් හෝ ශාරීරික වශයෙන් අව-වර්ධිත ජන කොටසක් ලෙස සැලකීමද, එසේ සලකා සමලිංගික ප්‍රජාව විශේෂ/සුළුජන/පීඩිත/උපසංස්කෘතික ජන කොටසක් ලෙස නම් කර ඒ වෙනුවෙන් සුවිශේෂී නීති සම්පාදනය කිරීමද, මේ අනුව නිවැරදි නොවේ. 

සිදුවිය යුත්තේ ඔව්හුද මනුෂ්‍යන් බව ඒත්තුගැනීමය. සෑම මිනිසෙකුටම එක සමාන අයිතීන් ඇති බව පිළිගැනීමය. 

වෙනත් වචනයෙන් කියතොත් අද යහපත් මනුෂ්‍ය සමාජයක් ලෙස පිලිගැනෙනුයේ මහත්මා ගාන්ධිගේ අදහස් (Yes I am, I am also a Muslim, a Christian, a Buddhist, and a Jew) ගලපමින්, කුමාර් සංගක්කාර කල "මම දෙමළ,සිංහල,මුස්ලිම් සහ බර්ගර්. මම බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි" යන්නේම තවදුරටත් ඉදිරියට ගිය සමාජයකි. එනම් "මම විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, මිශ්‍ර ලිංගික, ස්වයන් වින්දකයන්, gay, lesbian, bisexual සහ transgender'' යැයි කීම පිළිබද විචිකිච්ඡාවක් නොමැති සමාජයක් මිස එසේ කීවිට අනෙකාගේ කකුල් දෙක මැද්ද ගැන විමසිලිමත් වන විලම්භීත සමාජයක් නොවේ. 
*ඉහත දැක්වෙනුවේ බ්‍රිතාන්‍යයේ 6 වසරෙන් ඉහල පාසැලක (secondary school) බිත්තියක තිබු බිත්ති සගරාවකි. එය සමලිංගික ප්‍රජාවද එදිනෙදා ජීවිතයේදී මුණගැසෙන සාමාන්‍ය මනුෂ්‍යයන්ම බව ඉගැන්වීමට යොදාගත්තකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(09/02/17).