This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label My Home town Negombo 8.. Show all posts
Showing posts with label My Home town Negombo 8.. Show all posts

Wednesday, 10 June 2015

ඩබල් ඩෙකර් රථ මීගමුවේ නැවත දුවවමු ද ?

2015 වසරේ ජුනී මාසේදී  'Old Ceylon Facebook' පිටුව සහ වෙනත් වෙබ්අඩවි කිහිපයක 1980/90 දශකවල අගභාගය දක්වා මීගමුවේ පාරවල් වල ධාවනය වූ පැරණි ඩබල් ඩෙකර් (London Route Master) බස් රථයක ඡයාරූපයක් පලකර තිබුණි.  මේ එම ඡයාරූප යයි. කාලයක් තිස්සේ මා එකතු කළ මීගමුවේ පැරණි ඡයාරූප මගේ Facebook පිටුවේ විටින් විට පලකරන බැවින් ඉහත ඡයාරූපය දුටු කිහිපදෙනෙක් මාවද එම ඡයාරූප වලට tag කර තිබුනි. එහෙත් මා දැනට රැස්කර ඇති මීගමුවේ පැරණි ඡයාරූප එකතුවේ Old Ceylon Facebook පිටුව පලකල ඉහත ඡයාරූපය ඇතුළුව තවත් මීගමුවේ පාරවල් වල ධාවනය වූ බස් රථ 09 ක පැරණි ඡයාරූප තිබේ. එම බොහොමයක් ඡයාරූප 1970 දශකයේ අග භාගයේ සිට 1990 දශකයේ මැද දක්වා කාලය තුල ගනු ලැබූ ඡයාරූපය. ඒවා අතර ඩබල් ඩෙකර් බස් රථ මෙන්ම සාමාන්‍ය බස් රථවලද ඡයාරූප වේ. 

පහතින් පලවෙන මීගමුව-පෝරුතොට පාර- කොච්චිකඩේ (907 බස් මාර්ගයේ) ධාවනය වූ බස් රථයේ ඡයාරූපය ඉන් එකකි. මේ ඡයාරූපය 1987 දී මීගමුව වැල්ල වීදියේ විජයරත්නම් පාසැල සහ හින්දු කෝවිල අසලදී විදේශීය සංචාරකයෙකු ගේ කැමරාවට හසුව තිබිණි. මෙම මාර්ගයේම ධාවනය වූ තවත් සාමාන්‍ය බස් රථයක් මීගමුව වැල්ලවීදිය කනත්ත අසල දී ඡයාරූපයට නගා තිබී සොයා ගත හැකි විය.  

එම ඡයාරූප දෙක සමග පහත පලකරන  ඩබල් ඩෙකර් බස් රථ දෙක මීගමුව කොටුව පිට්ටනිය අසල දී ඡයාරූපයට නගා තිබුණි. මින් එක් ඡයාරූපයක් ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවති සමයේදී මගේ Facebook පිටුවේ 'My Home town Negombo, post no.21' යන තේමාව යටතේ 10 November 2013 දින පලකලේය. 

එය ලිව්වේ, පාරවල් 'ෂැම්පෝ' දමා හෝදමින් අනවශ්‍ය ලෙස රටේ ජනයාගේ මුදල් නාස්තිකරමින් පොදුරාජ්‍ය මණ්ඩල උළෙලෙකට මුදල් වියදම් කරමින් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව කොළබ  පැවැත්වීමට  සුදානම් වෙමින් සිටින අතරතුරේ මීගමුව බස් ඩිපෝවේ එවකට අලුත්වැඩියාවකින් තොරව ගාල්කර ඇති බ්‍රිතාන්‍යයෙන් ලැබුන  ඩබල් ඩෙකර් බස් රථ කිහිපයෙන් එකක් හෝ අළුත්වැඩියාකර පාරට දැම්මේ නම් අඩුම තරමින් පොදුරාජ්‍ය මණ්ඩල උළෙලේ ඉතා කුඩා ප්‍රයෝජනයක්වත් රටේ සාමාන්‍ය ජනයාට ලැබිය හැකිවිය හැකියැයි සටහන් කිරීමටය. අනෙක් අතට, බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර යටත් විජිත යුගයේ සිට පැවැත එන සම්බන්ධතා සිහිපත් කරන පොදුරාජ්‍ය මණ්ඩල උළෙලේදී මේවැනි ඩබල් ඩෙකර් (London Routemaster) බස් රථ නැවතත් පාරේ දිවිය හැකිවිනි නම් කෙතරම් අගනේද? ඒ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුනොවන ලදී. 

එහෙත් අපි මීගමුව සිට කොලඹ, කටුනායක, රද්දොළුගම, 247 වැලිහේන පාර, කටාන මඩම්පැල්ල මාර්ගය, දිසාගෙවත්ත (242/1 මාර්ගය), කිබුලාපිටිය, වෙන්නප්පුව ආදී මාර්ග ගණනාවක දිවූ  ඩබල් ඩෙකර් බස් රථ අමතක නොකරමු. ඒ අපි කාලයක් එහි ගිය, එහි ආශ්වාදය විදි පිරිසක් නිසාය. මෙම ඩබල් ඩෙකර් බස් රථ කාලයක් පාසැල් පෙම්වතුන්ගේ යාවජීව ගමනාගමන පහසුකම් සැපයු රථය.  උපුල් ශාන්ත සන්නස්ගල සර් වත්සාන සිහිනය වැනි  තවත් එවැනිම වෙනත් නවකතාවක් ලියන්නට තවත් කෙනෙකුට සොදුරු මතකයන් රාශියක් ඔය යකඩවල ගොඩවල පැලපදියම්වී තිබුනි. ඇතැම්  ඩබල් ඩෙකර්  බස්වල (විශේෂයෙන්ම මීගමුවේ 247 වැලිහේන පාර කටාන මාර්ගයේ) යට තට්ටුව ගෑනු ලමයින්ටද. උඩ තට්ටුව පිරිමි ලමයින්ටද වෙන්කර තිබුණි. එහෙත් ඩබල් ඩෙකර් බස්වල වඩාත් පාපුවරුවේ සහ කැරකි ඇති පඩි පේලියේ යෑමට පිරිමි ළමුන් වඩා ප්‍රිය කළේය. ඒවා එම යුගයේ පාසල් ගිය  මිගමුවේ පාසැල් සිසුන්ට  ඔවුනට  පමණක්  උරුමවූ  අපුර්ව ඩබල් ඩෙකර් අත්දැකීම්ය. මම දන්න කෙනෙක් සිය විවාහය සදහා ඩබල් ඩෙකර් බස් රථයක් කුලියට ගැනිමටද උත්සහ කළේය. ඒ තරමටම මීගමුවේ ඩබල් ඩෙකර් බස් රථ ඔහුගේ සහ ඔහුගේ පෙම්වතියගේ ජීවිතවලට සම්බන්දව තිබුණි.  එහෙත් දැන්  ඩබල් ඩෙකර් බස් රථ කොට උඩය. එදා මේ බස් රථවල ගමන්කල, පාසැල් ගිය අපේ වයසේ බොහෝ දෙනෙක් අද පිටරටවල ජීවත්වේ. ඔවුන්ගෙන් ඇතැමෙක් මීගමුව නමින් විවිධ සමිති-සංවිධාන තනාගෙන විවිධ කටයුතුවලට උරදේ. එහෙත් අප සියල්ලන් එකතුවී හෝ නැවතත් මෙම ඩබල් ඩෙකර් බස් රථ වලින් එකක් හෝ අළුත්වැඩියා කර මීගමුවේ පාරවල්වල දිවීමට සැලැස්වූවහොත්, එදා මෙම ඩබල් ඩෙකර් බස් රථවල ගොස් අප ලැබූ ආශ්වාදයත්, මීගමුවේ ක්‍රමයෙන් දිය කරමින් හරින අනන්‍යතාවයත් අද පරපුරටද නැවත ලබාදිය හැකිවෙනු ඇත.
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/06/2015