This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label Contemporary 4.. Show all posts
Showing posts with label Contemporary 4.. Show all posts

Tuesday, 26 May 2015

ඉච්චාභංගත්වයට පත් ලාංකිකයාගේ ඉරණම වීඩියෝපටි 05කින්.


ශ්‍රී ලාංකිකයන් තම රටේ උද්ගතවී ඇති  සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ කෙතෙක් දුරට මානසික වශයෙන් ව්‍යාකුලතාවයන්ට පත්ව තිබේදැයි යන්නට ඕනෑ තරම් සාක්ෂි ඔවුන්ගේ පුවත්පත්, රුපවාහිනී, නාට්‍ය, චිත්‍රපටි සහ face book පිටු දෙස බැලීමේන් සොයාගත හැක. එහෙත් පසුගිය සතිය තරම් එහි පැති කඩවල් රාශියක් එකවර ලෝකයට ප්‍රකාශ වූ වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය. ඒ අතරින් වඩාත් අවධානයට ලක්කල යුතු වීඩියෝ පටි 05 ක් පහත ආකාරයට ගොනුකළ හැක. 

1. වාසු ගේ කුණුහර්ප වර්ෂාව. 

වියපත්, අත්දැකීම් බහුල, ප්‍රගතිශීලී දේශපාලනඥයකු ලෙස නමක් දිනා සිටි වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුව තුල මෙතෙක් පවත්වාගෙන ගිය සිය සංයමය හදිසියේම බිදදමා ගනිමින් අගමැතිවරයාට කුණුහර්පයෙන් බැනවදින ලදී. එය ඔහු හිතාමතා කල දෙයක් නොව ඔහුගේ මානසික පීඩනය කටින් පිටවීමකි. වාසුදේව නානායක්කාර මහතාට දැනෙන මෙම පීඩනය කුමක්ද ? එය ඔහු වර්තමානයේ නියෝජනය කරන 'මහින්ද රාජපක්ෂවාදී දේශපාලන කදවුරට' අනුව නම් 'සුදුවෑන් වෙනුවට සුදුපෑන්' ආදේශවීමක් නිසා සිදුවුවකි. යහපාලනය යටතේ රනිල් වික්‍රමසිංහගේ සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව නීතියේ අධිකාරීත්වය මත සිය දේශපාලන ප්‍රතිමල්ලවයන් ලුහුබැදයාම තුල පැරණි රෙජීමයේ සිටි දූෂිත දේශපාලනඥයන් අනිවාර්යෙන්ම දැඩි පීඩනයකට ලක්ව ඇත. එහෙත් වාසු එලෙස දූෂිත දේශපාලනඥයන් ලෙස හැදින්විය නොහැකි වුවද එම ගොඩින් ආපසු හැරීඒමක් ඔහුට නැත. ඒ කාලාන්තරයක් තිස්සේ ඔහු පෙනීසිටි අධිරාජ්‍යවිරෝධී සහ  UNP විරෝධී සටන්පාඨ දැන් තරම් පහසුවෙන් ඔසවාගෙන සිටීමට වෙන තැනක් ඔහුට නොමැතිවීම නිසාය. යහපාලනය ය‍ටතේ අඩුම තරමින් ‘නිදහස සහ සාධාරණත්වය’ මුල්කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ගමනක් සදහා නව රජය උපායමාර්ගීකව හෝ මුලපිරීමක් සිදුකලේ නම් අඩුම තරමින් රටේ සෙසු ප්‍රගතිශීලී කොටස්වලටද, වාසුදේවට ද යම් බලාපොරෝත්තුවක් ජනිත කරගැනීමට තිබුණි. එහෙත් දැන් සිදුවෙමින්  තිබෙන්නේ පරණ ආකාරයටම හිතමිතුරන් රජ කරන, තෝරාගත් පිරිසකට පමණක් රාජ්‍ය සම්පත් බෙදාදී, සෙසු සියල්ලන් වෙනුවෙන් රාජ්‍ය මර්ධනය දියත් කරන, අකාර්යක්ෂම තවත් රෙජීමයක් රට තුල නැවත බිහිවෙමින් තිබීමය. තමන් සිටි රෙජීමයට කුණුහරුපයෙන් නොබැන්න වාසුදේව, දැන් කුණුහරුපයෙන් බනින්නේ මේ ගැන දැනී නම් එයින් කියවෙන්නේ ගමේ අරක්කු ටිකක් බීගත් කෙනෙකුට වඩා යමක් දැන් ඔහුට කල නොහැකි බවයි. 


2. වයසක අම්මලාටත් පාට් දාන පොලීසිය 




උතුරේ දීත්, රටේ සෙසු  ප්‍රදේශවලත්, නිදැල්ලේ ජීවත්වන  දැඩි මානසික ව්‍යාධියකින් පෙලෙන තිරිසනුන් විසින් විනාශකර දැමු  සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ කුරිරු ඝාතනය සම්බන්දයෙන් ප්‍රධාන චුදිතයෙක් නිදහස් කිරීම නිසා කුපිතවූ උතුරේ ජනයා උසාවියටත්, පොලිසියටත්, බන්ධනාගාර නිලධාරීන්ටත් විරුද්ධව ප්‍රචණ්ඩ විරෝධයක නිරතවූ බව වාර්තාවිය. එය සාමකාමීව ඇරබි උද්ගෝෂණයකට පොලිසීය 'පාට් දැමීම' නිසා ප්‍රචණ්ඩ උද්ගෝෂණයක් බවට පරිවර්තනය වුයේද ? නැතහොත්, උද්ගෝෂණය  ප්‍රචණ්ඩ වූ නිසා පොලිසීය 'පාට්' දැමීමට සිදුවූයේ දැයි නොදනිමු. පොලිසීය මර්ධනකාරී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසකි. එයටත් වඩා එය බලයේ සිටින්නන්ගේ අතකොලුවකි. එහෙත් ලංකාවේදී පොලිසීයට ජාතික සහ වාර්ගීක මුහුණුවරක්ද තිබෙන බව ඉහත වීඩියෝවෙන් පෙනේ. එහි එන සංවාදයට අනුව උතුරේ උසස් පොලිස් නිලධාරීයා වයසක දෙමළ අම්මා කෙනෙකුට කියනුයේ "උබලාගේ මිනිස්සු උබලා හදාගනිල්ලා, අපිට ඇගිලි දික්කරන්න එන්න එපා, මෙතනින් එහාට ගිහින් වෙච්ච දේ දන්නවානේ?" වැනි ප්‍රජාපීඩක පිළිතුරකි. එය පසුගිය ජන සංහාරක යුද්ධය දෙමළ ජනයාට නැවත සිහිකැදවන, එම ඉරණමම නැවත නැවතත් දෙමළ ජනයාට අත්කරදෙන බවට තර්ජනය කිරීමකි. දකුණේ ශ්‍රී ලංකා රජයන් කෙතෙක් වෙනස්වුවද, යහපාලනයක් දිනවීමට තොග පිටින් චන්දය දී එයට දායක වුවද, ව්‍යවස්ථා සංශෝධනය මගින් තවමත් ක්‍රියාත්මක නොවන ස්වාධීන කොමිෂන් සභා කෙතෙක් පත්කලද,  දෙමළ ජනයාට  මුහුණදීමට ඇති වාර්ගීක හිංසනය තවමත් නිමා වී නොමැති බව මේ වීඩියෝව නැරබු විට පෙනේ. එය තවදුරටත් වෙනත් ජාතියකගේ ආධිපත්‍යට යටවී සිටීමට වඩා තමන්ගේම වූ රටක ජීවත්වීම සදහා වූ ඔවුන්ගේ යටපත්කල දේශපාලන අබිලාෂයන් නැවත නැවතත් ශක්තියත් කරයි. එමගින් මානසික මෙන්ම ශරීරික පීඩනයක් දෙමළ ජනයා තුල දිගින් දිගටම ලියලීමට හේතුවේ.

 

3. විජේදාස රාජපක්ෂගේ 'සිංහල රට කෝ' ප්‍රකාශය සහ එහි ප්‍රතිචාර


ඉහත සදහන් කල උතුරේ සිදුවීම් සම්බන්දයෙන් සිංහල වාර්ගීක පදනමක සිට ප්‍රශ්න කරන සිංහල මාධ්‍ය සේවකයේක්ගේ ප්‍රශ්නයකට පිලිතුරක් ලෙස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටිනුයේ රටේ ව්‍යවස්ථාපිත පිළිගැනීම්වලට අනුව 'සිංහල' රට කියා දෙයක් නොමැති බවත්, සෑම ජනවර්ගයකටම සමාන අයිතීවාසිකම් ව්‍යවස්ථානුකූලව තහවුරුකර ඇති බවත්ය. එහෙත් විජේදාස රාජපක්ෂ මහතාගේ පිළිතුර සම්බන්ධයෙන් දැන් නොයෙකුත් මාධ්‍ය තුලින් විරෝධයක් මතුව ඇති අතර සිංහල බහුතරයක් වෙසෙන රට සිංහල රට නොවෙන්නේ කෙසේදැයි ඔවුන් අසයි. ව්‍යවස්ථානුකූලත්වය කෙසේවෙතත් ශ්‍රී ලංකාව සිංහල රට ලෙස පිළිගත යුතුයැයි ප්‍රකාශකරන්නන් දැන හෝ නොදැන පහසුවෙන්ම අමතක කරන කරුණු කිහිපයක් වේ. එනම් බ්‍රිතාන්‍යයේ බුහුතර ජනවර්ගය ඉංග්‍රීසින් හෙවත් එංගලන්ත ජාතිකයන් වුවද,  එංගලන්තය කියා රාජ්‍යක් නොමැති බවත් ඇත්තේ මහා බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් රාජධානිය නම් රාජ්‍යක් පමණක් බවත්ය. එමෙන්ම ඉංග්‍රීසින් උඩරට අල්ලාගෙන මුළු රටම ඒකීය රාජ්‍යක් ලෙස පාලනය කිරීමට පෙර ඔවුන් ලන්දේසින්ගෙන් ගිවිසුමක් මගින් පහතරට  පවරා ගත්බවත්, ලන්දේසින් එය පෘතුගීසින්ගෙන් අල්ලාගත්තක් වන බවත්, පෘතුගීසින් මෙහි පැමිණෙන විට  පරරාජසේකරම්, සංකිලි වැනි පාලකයින් පාලනය කල යාපනය රාජධානිය යනුවෙන් වෙනමම පාලනයක් උතුරේද, කෝට්ටේ යනුවෙන් දකුණේ වෙනම පාලනයක් තිබු බවත්, පසුව කෝට්ටේ නැවත තුනට (රයිගම, සීතාවක සහ කෝට්ටේ) කැඩුන බවත් අමතක කරති. ඒ අනුව ශ්‍රී ලංකාව මුල පටන්ම ඒකීය රාජ්‍යක්ය, එහි වෙනත් ජාතීන් හෝ පාලකයන් පාලනය කල ප්‍රදේශ නොපැවතිනි යැයි ගොඩනගා ගත් අසත්‍ය උපකල්පනයන් ඔස්සේ එය සිංහල ආධිපත්‍ය යටතේ පැවතිය යුතු යැයි මායාවේ සිටිමින් අනවශ්‍ය අරගලයක නිරන්තරයෙන් නියැලීමට සිදුව ඇති  නිසා ලේ කකියවන දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීමට රටේ ජනයාගෙන් කොටසකට සිදුව තිබේ. 


4. කෑන්ස් සම්මානයෙන් පිදුම් ලද 'ධීපන්' චිත්‍රපටිය කියන කථාව




මෙවර කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම්දෝ" රන් සම්මානය දිනාගත් 'ධීපන්'  නම් ප්‍රංශ චිත්‍රපටිය ලාංකිකයන්ගේ මානසික පීඩනය දෙස නැවත වරක් වෙනත් ආකාරයකින් එබී බැලීමක් කරයි.  යුරෝපයේ නීති විරෝධී සංක්‍රමණයන් පිළිබදව සාකච්ඡාව නැවතත් අළුත් කල මෙම  චිත්‍රපටියේ  රගපාන්නේ සැබෑ ලෙසම ප්‍රංශයට නීතිවිරෝධීව  සංක්‍රමණය වූ  එල්.ටි.ටි.ඊ යේ ළමා සොල්දාදුවෙකුව සිටි අන්තෝනිදාස් ජේසුදාසන්ය. හොරෙන් ප්‍රංශයට ඇතුල්වන 'ධීපන්' තවත් එවැනිම හොරෙන් පැමිණි සංක්‍රමණිකයන් දෙදෙනෙක් සමග එක්ව ව්‍යාජ පවුලක් ගොඩනගාගෙන   කෙසේ හෝ ප්‍රංශයේ නැවතීමට උත්සාහ කරන්නේ සිය මවු රටට වඩා හොදට විදෙස් රටක ජීවත්විය හැකි නිසාය. එහෙත් 'ධීපන්' චිත්‍රපටයේ කථාව අන්තෝනිදාස් ගේ කථාවටම පමණක් සීමා නොවන්නකි.  සැබෑ ලෙසම ජීවිත අවදානම ඇති නිසා සිය මවුබිම හැර දා පැමිණි ශ්‍රී ලාංකිකයන් මෙන් නොව එයට වඩා කිහිපගුණයකින් වැඩි පිරිසක්  ශ්‍රී ලංකාව අතහැර ගොස් කෙසේ හෝ විදෙස් රටක පුරවැසිකම අත් කරගැනීමට දැඩි වෑයමක නිරතවේ. ඇතැමුන්  ශ්‍රී ලංකාව තමන්ට කිසිසේත්ම වාසයට සුදුසු නැති රටක් යැයි කියමන් ව්‍යාජ වාර්තා සකසමින් අදාල රටේ බලධාරීන්ට තමන් උපන්, හැදීවැඩුනු, මව්රට සිය පෞද්ගලික වාසිය සදහා නිර්ලැජ්ජිතවත්, ද්වේශසහගතවත් පාවා දෙයි. එසේ කරන අතරම තමන්ට නවාතැන් දෙන සුදු මිනිසුන්ගේ රටේ මිනිස්සුන්ට වඩා තමන්ගේ රටට ඉතා උසස් සංස්කෘතියක්, සභ්‍යත්වය ඇතැයි පුරසාරම්, පුරාජේරු දෝඩති, සුද්දන් මෝඩ අශිෂ්ටයන් යැයි කියමින් ඔවුන්ව හෙළාදකිති. එසේ කරන අතරම මව්බිමේ තමා සමග එකම ජීවන අරගලයක නිරතවූ සිය මිතුරන්ට තමන් දැන් සිටින විදෙස් රටේ ගත කරන්නේ සුපිරි ජීවිතයක් යැයි මවාපාති. ඒ රටේ සංවර්ධනය, යටිතල පහසුකම් කම් සහ අපහසුවකින් තොරව ජීවත්වීමට ඇති හැකියාව ගැන අලංකාර චිත්‍ර මවති. ඒ සංක්‍රමණය වූ රටේ කෙසේ හෝ පුරවැසි බව ලබන තාක්කල් ශ්‍රී ලාංකිකයන් පසුවන මානසික පීඩනයේ ස්වභාවයය. 

5. මුස්ලිම් ආගම අතහැර ක්‍රිස්තියානි ආගම වැලද ගත් රිෆ්කාගේ කථාව



කෙසේ හෝ තමන් පයතැබූ රටේ  පැලපදියන් වූ පසු තම නව නවාතැනේ හැඩ-රුව හදුනාගන්නවා වෙනුවට තමන් අත්හැර ආ සිය මවු රටේ තමන් හැදී වැඩුනු සංස්කෘතියේ යහගුණ-සුවද නැවතත් හබා ගොස් රැගෙනවිත් සිය දරුවන් මත පැටවීමේ උත්සහයක මේ ශ්‍රී ලාංකිකයන් දැඩි උත්සාහයක නිරතවේඇමැරිකාවේ CBN නාලිකාව විකාශනය කල ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් පවුලක දැරියක් වූ රිෆ්කා ක්‍රිස්තියානි ආගම වැලද ගැනීමේ කථාව එයට එක් උදාහරණයකි. එයද ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ  මානසික පීඩනයේ තවත් පැතිකඩක් ගෙනහැර පායි. සිය රටේ සිට වෙනත් දේශයකට ගොස් පුරවැසිකම් ලැබුවද, අදාල රටේ තත්වයනට බොහෝ දෙනෙකුට හැඩගැසීමට නොහැකිව තිබේ. මව්බිමේදී තමා වටේ එතී තිබූ සංස්කෘතික වධබන්දනයන්ගෙන් ඔවුන්ට නිදහසක් නැත. එවැනි ශ්‍රී ලාංකීක දෙමාපියන් නිසා වඩාත් පීඩනයකට  පත්වනුයේ ඉහත වීඩියෝවට පාදක වන රිෆ්කා වැනි දරුදැරියන්ය. එයින් නිදහස පතන රිෆ්කා වැනි ශ්‍රී ලාංකීක දරුවන්ට මෙම ආගන්තුක රටවල් තුල  බොහෝදුරට මරු වැල් පෑගේ, බොරු වලවල් වල වැටේ.  එහෙත් වාසනාවකට  රිෆ්කාට  හමුවුයේ එවැනි මාරුවැලක් නොව තමාගේ දෙමාපියන් අදහන ආගමට වඩා නිදහස් වෙනත් ආගමකි. එහෙත් දැඩි මුස්ලිම් බැතිමතුන් වන සිය දෙමාපියන්ට පවුලේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම සිය දරුවාගේ නිදහසට වඩා වැදගත් වීම නිසා රිෆ්කාට  මුහුණ දීමට සිදුවනුයේ සිය ජීවිතයත් මරණයත් අතර යුද්ධයකටය. එය  රිෆ්කාට පමණක් පොදු නොවූ ඉරණමකි. 

ඉහත වීඩියෝ 05 පැහැදිලිවම තම රටේ උද්ගතවී ඇති  සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුධ හමුවේ ශ්‍රී ලාංකීකයන්ට මුහුණ පෑමට සිදුව ඇති මානසික ව්‍යාකුලතාවයන්ගෙන් එක් දශමයක් පමණක් පෙන්නුම් කරයි. එහෙත් එහි ක්ෂේත්‍රය ඊට වඩා පුළුල්ය, විශාලය. අවාසනාවකට මේ අයිස් කන්ද ගැන  නොව  එහි ඉතා කුඩා තුඩක් ගැනවත් ලංකාවේ විධිමත් හෝ පොදු අවදානයක් නොවේ. මෙයට විසදුමක් ලෙස බොහෝ ශ්‍රි ලාංකිකයන් කුමකින් හෝ 'මත්වීම' තෝරාගෙන  සිය අර්බුදය යටපත් කරගැනීමට ඉහල නැබුරුවක් දක්වයි. ඔවුන්ගේ 'මත්වීම' මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වලට පමණක් සීමා නොවන බව පෙනේ. එය ආගමින්, ජාතියෙන්, දේශපාලනයෙන් හෝ සෝබනයෙන් මත්වීම දක්වා දික්වේ. ස්වරූපය කුමක්වුවද එය ගෙනෙනුයේ තාවකාලික සහනයක් පමණක් වන අතර විනෝදයක් ලෙස පෙනෙන විදවීමක් පමණක් ඉතිරිකර යයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/05/2015.