This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label British Politics. Show all posts
Showing posts with label British Politics. Show all posts

Tuesday, 12 May 2015

වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට.


මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන ඇතුළුව  වාර්තාගත ආසියානු, අප්‍රිකානු, කැරිබියන් සහ වෙනත් සුලු ජනවර්ග වලට අයත් මන්ත්‍රීවරු පිරිසක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්ව ඇත. සංඛ්‍යාත්මකව 42ක් වන මෙම පිරිස 650ක් වන බ්‍රිතාන්‍ය පර්ලිමෙන්තු මන්ත්‍රීවරුගෙන් ආසන්න වශයෙන් 6.6%ක් නියෝජනය කරයි. මෙලෙස පත්වූ බ්‍රිතාන්‍යයේ සුලු ජනවර්ග වලට අයත් මන්ත්‍රීවරුගෙන්  වැඩිම පිරිසක් දකුණු ආසියාතිකයන් වීමත්, ඒයිනුත් බොහෝ දෙනෙකු කාන්තාවන් වීමත් විශේෂය.

මේ අතරින් ඉන්දියානු සම්භවයක් ඇති මන්ත්‍රීවරු 10 කි. එයිනුත් ලේබර් පක්ෂයේ කීත් වාස් ප්‍රධාන වේ. 1987 සිට අද දක්වා නොකඩවා නැගෙනහිර ලෙස්ටර් ආසනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු ටෝනි බ්ලෙයාර් ගේ රජයේ යුරෝපා කටයුතු බාර ඇමතිවරයා ලෙස 1999 සිට 2001 දක්වා කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ පසුගිය යුද්ධය සමයේදී ශ්‍රී ලංකාවට අහිතකර, කොටි සංවිධානයට හිතකර ප්‍රතිපත්තියක් අනුගමනය කළේයැයි නිතර චෝදනා ලැබූ මොහු බ්‍රිතාන්‍ය සමාජය තුල සුළු ජන කොටස්වල ගැටළු සම්බන්ධයෙන් නිතර හඩ නගන්නෙකු ලෙස සැලකේ.

එමෙන්ම කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් පළමුවෙන්ම තෝරාපත්වූ ඉන්දියානු මන්ත්‍රීවරියවන ප්‍රීති පටෙල් ට ද  විශේෂ අවදානයක් යොමුවේ. එසෙක්ස් පළාතේ විතම් ආසනයට 2010 මැතිවරණයෙන් තරගකර පාර්ලිමේන්තුවට පැමිණි ඇය, ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ ඉන්දියානු කටයුතු පිළිබද ප්‍රධාන නියෝජිතයෙක් ලෙසද, මුදල් අමාත්‍යාංශයේ කණිෂ්ඨ ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළේය. නව රජයේ රැකියා අමාත්‍යංශය බාර ඇමතිනිය ලෙස 11/05/2015 දින පත්කරන ලදී. 

එමෙන්ම එංගලන්තයේ වැඩිම ඉන්දියානුවන් පිරිසක් වාසය කරන ආසනය ලෙස සැලකෙන ඊලින් සවුත්හෝල්  ආසනය 2007 සිට නියෝජනය කරන විරේන්ද්‍ර ෂර්මා ද, දකුණු වැල්සෝල් ආසනයෙන් කීත් වාස්ගේ සොහොයුරිය වන වැලරි කැරෝල් වාස් ද, ෆෙල්තෙම් සහ හෙස්ටන් ආසනය නියෝජනය කරමින් සීමා මල්හොට්රා ද ලේබර් පක්ෂයෙන් නැවතත් තේරීපත්ව ඇත. මීට අමතරව මන්චෙස්ට්ර් පළාතේ විගන් ආසනයෙන් ලීසා නැන්ඩි ද ලේබර් පක්ෂයෙන් නැවතත් තේරීපත්ව ඇත. එමෙන්ම හිටපු කණිෂ්ඨ ඇමතිවරුන් වූ බටහිර රෙඩින් ආසනයට තරග කල අලෝක් ශර්මා ද, වයබ දිග කේම්බ්‍රිජ් ආසනය ට තරග කල ශෛලේෂ් වේරා ද කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් නැවත තේරීපත්ව ඇත. මෙයට අමතරව එම පක්ෂ්යෙන්ම ප්‍රථම වරට ෆෙරහම් ආසනයෙන් තරග කල සහුලි ෆෙර්ඩිනැන්ඩ්ස් ද, සුප්‍රකට පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන ඉන්දියානු ඉන්ෆොර්සොය්ස් (Infosys) ආයතනයේ නිර්මාතෘ නරේන්ද්‍ර මුර්තිගේ දියණිය විවාහවී  සිටින  රිෂි සහනුක් ද කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් යෝර්ක් ප්‍රදේශයේ රිච්මොන්ඩ් ආසනයට තරග කර ප්‍රථමවරට පාර්ලිමේන්තුවට පත්ව තිබේ. 


පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරු 10 ක් ද  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වී ඇත. ඒ අතරින් ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් තරගකල හිටපු පකිස්ථානු රූපවාහිනි නිවේදිකාවක් වූ තස්මීනා ශේයුක්ට වැඩි අවදානයක් යොමුවූයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් තේරීපත්වූ ප්‍රථම ආසියාතිකයා වීම නිසාය.  පාකිස්ථාන කාශ්මීරයේ උපත ලැබුවෙක් මෙන්ම, පකිස්ථාන කාශ්මීරයේ ප්‍රශ්න ගැන නිතර ඉන්දියාවට චෝදනා කරන කලිඩ් මොහොමඩ් ද, ශබිනා මොහොමඩ් ද නැවත වරක් බර්මින්හැම් පළාතෙන් ලේබර් පක්ෂයෙන් තේරීපත්ව ඇත. 

ඊට අමතරව ප්‍රබල මනාවහිමිකම් ක්‍රියාකාරිනියන් වූ නාශා ෂා ලුටන් ප්‍රදේශයේ බ්රෙට්ෆෙර්ට් ආසනයටද, යෂ්මින් කුරේෂි ගිණිකොන බෝල්ටන් ආසනයටද  ලේබර් පක්ෂයෙන් තේරීපත්වී ඇත. එම පක්ෂයෙන්ම ටුටින් ආසනයට සදීක් ඛාන් ද, නැගෙනහිර බ්රෙට්ෆෙර්ට් ආසනයට ඉම්රාන් උසේන් ද තේරීපත් වී ඇත. පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් අතරින් වඩාත්ම ප්‍රමුඛතාවය හිමිව ඇත්තේ සජිඩ් ජාවිඩ් ටය වෝර්ශේශේයර් පළාතේ බ්‍රොම්ස්ගොර්ව් ආසනය නියෝජනයකරමින් කොන්සර්වෙටිවේ පක්ෂයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු පසුගිය රජයේ ක්‍රීඩා, සංස්කෘතික සහ මාධ්‍ය කැබිනෙට් නොවන ඇමතිවරයා ලෙස (බ්‍රිතාන්‍ය එම අමාත්‍යංශය කැබිනෙට් අමාත්‍යංශයක් නොවේ) කටයුතු කල ඔහු අනාගත බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියානු අගමැතිවරයා වීය හැකියැයි මෙරට මාධ්‍ය දක්වයි. නව රජයේ වානිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ධන කැබිනෙට් ඇමැතිවරයා ලෙස දැන් ඔහු පත්කර තිබේ. 


බංගලාදේශ සම්භවයක් ඇති මන්ත්‍රීවරියන් 03ක් ද තේරීපත්ව ඇත. ඒ අතරින් ටියුලිප් රිස්වානා සිදික් ප්‍රධාන වේ . ඒ ඇය බංගලාදේශ නිර්මාතෘ ෂේක් මුජූබර් රහමන්ගේ මිනිබිරිය නිසාය. ඇය බංගලාදේශ අගමැති ෂේක් හසිනාගේ බාල නැගණිය වන ෂේක් රෙහනාගේ දියණියයි. හම්ස්ටෙඩ් සහ කිල්බන් ආසනයට වැඩි චන්ද 1000 කට ආසන්න චන්දයකින් ලේබෙර් පක්ෂයෙන් තේරී පත් වූ ඇය මුලෝපාය පිළිබද කළමනාකරුවෙක් වන ක්‍රිස්ටියන් විලියම් පර්සි හා විවාහ වී සිටී.  ලන්ඩනයේ කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබද කථිකාචාර්යක් මෙන්ම ගාර්ඩියන් පුවත්පතේ තීරු ලිපි ලියන්නියක් වූ බංගලාදේශ සම්භවයක් ඇති රූපා හක් ද  මාධ්‍යම ඊලිනය සහ ඇක්ටන් ආසනයට ලේබර් පක්ෂයෙන් තරගකර ජයගත්තේ වැඩි චන්ද 284 කිනි.  සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී ඇය වඩා ප්‍රසිද්ධව සිටියේ ඩොක්ටර් හක් නම් DJ වරයෙකු ලෙසය.  ලන්ඩනයේ බංගලාදේශ ජනයා බහුලව වෙසෙන නැගෙනහිර ලන්ඩන් ආසනය නියෝජනය කරමින් රුශ්නාරා අලි නැවතත් වැඩි චන්ද 24 000 කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත. 



ශ්‍රී ලංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට අමතරව උමා කුමරන් පත්වීමේ වැඩි බලාපොරෝත්තුවක් තිබුනද ඇය චන්ද 6000 කින් පරාජයට පත්වන ලදී. සැලකිය යුතු ඉන්දියානු චන්ද ප්‍රමණයක් ඇති නැගෙනහිර හැරෝ ආසනයේ  ඉන්දියානුවන් අඩුවෙන් ඇය වෙනුවෙන් චන්දය භාවිතා කල බව ඇයගේ  චන්ද ව්‍යාපාරය මෙහෙවුන්ගේ අදහසයි. එසේවූවද ඇයට පැවරී තිබුන හිටපු කොනසේර්වේටිව් පක්ෂ  මන්ත්‍රීවරයා පරාජය කිරීමේකාරිය ලෙහෙසි පහසු කාර්යක් නොවුනේ අවසන් දිනයේදී බ්‍රිතාන්‍ය චන්ද දායකයා කොනසර්වේටිව් පක්ෂ දිනවීමට ක්‍රියාකල බැවිනි.

මෙයට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමවරට චීන සම්භවයක් ඇති ඇලන් මක් ද ලිවෙර්පූල් ප්‍රදේශයේ හවෙන්ට් ආසනය නියෝජනය කරමින් කොනසර්වේටිව් පක්ෂයෙන් තේරීපත්ව ඇත. මෙවර තේරීපත්වූ අප්‍රිකානු සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් අතරින් වඩාත් අවධානය යොමුවී ඇත්තේ නයිජීරියානු පියෙකුට සහ ඉංග්‍රීසි මවකට දාව ඉපදුනු චුකා උමනුනාය. ඒ එඩ් මිලබැන්ඩ්ගෙන් හිස් වූ ලේබර් පක්ෂ නායකත්වය සදහා ඔහු තරග කිරීමට ඉදිරිපත්වී ඇති නිසාය. 

මේ ආකාරයෙන් සංඛ්‍යාත්මකව වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තු මැතිවරණයෙන් ජය ලබා තිබුණුද බ්‍රිතාන්‍ය වෙසෙන 10% ක් වන ආසියානු- අප්‍රිකානු ජන සංයුතිය දෙස බැලීමේදී තවත් මන්ත්‍රීවරු 23 ක් වත් පත්විය යුතුව තිබුණි. පසුගිය 2010 මහා මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වුයේ ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු 27 ක් හෙවත් 4.2% ප්‍රමාණයකි. එහෙත් මෙවර ජාති, වර්ග, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගිකත්වය, ආගම හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සියළු පක්ෂ ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතිකයන් මහා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, බ්‍රිතාන්‍ය ජනයා ඔවුන්ව බ්‍රිතාන්‍ය ඕනෑම ප්‍රදේශයකින් චන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනීමත් තුල අද බ්‍රිතාන්‍ය නව යුගයකට ගමන්කරමින් තිබෙන බව පැහැදිලිව විද්‍යමාන වේ. 

එය වඩාත් වැදගත් වනුයේ බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හෝ ඔස්ට්‍රේලියාව මෙන් ජනපදවාසීන්ගේ රටක් නැතිනම් (settler colonies /settler states) එකක් නොවීමත් එය භූගෝලීය රාජ්‍යක් හෙවත් territorial state එකක් වීමත් තුලය. ජනපදවාසීන්ගේ රටක සුළු ජාතිකයන් සහ මහජාතිය ලෙස පිරිසක් හදුනාගන්නේ ජනසංඛ්‍යාවන් පිළිබද ප්‍රමාණාත්මක පදනමක සිටය. එහෙත් බ්‍රිතාන්‍ය වැනි භූගෝලීය රාජ්‍යක් තුල එහි සුළු ජාතිකයන් සහ මහජාතිය යන්න තීරණය කරනුයේ එහි දේශසීමාවේ සිමා මායිම් තීර්ණය කරන ප්‍රධාන සංස්කෘතික-ජන-අනන්‍යතාවය මතය. ඒ අර්ථයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය තුල ආසියානු අප්‍රිකානු සහ වෙනත් සුළු ජනයාට හිමිවන ස්ථානයන් සහ නියෝජනය වෙනස්. මුල්කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවට ආසියානු අප්‍රිකානු සහ වෙනත් සුළු ජනයා තරගකලේ බ්‍රිතාන්‍ය අධිපත්‍යට අභියෝග කිරීමේ ක්‍රියාවක් ලෙසය. එහෙත් අද ඔවුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවට තරග කරනුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන් එහි සමානයන් ලෙසය. සම්ප්‍රදායික, ප්‍රධාන සංස්කෘතික-ජන-අනන්‍යතාවය නියෝජනය කරන්නන් මෙම නව සමානයන් කෙතෙක් දුරට ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද යන්න මෙම මැතිවරණයේ ප්‍රථිපල මත ප්‍රකාශ වෙන්නේ යැයි මට සිතේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/05/2015.

Wednesday, 6 May 2015

හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්




හෙට (07/05/2015) පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණය සදහා ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනයට කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරගවදින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට සංක්‍රමණිකයන්ට එරෙහි බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයක් වන බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන් (United Kingdom Independence Party – UKIP) එම ආසනයටම තරගවදින ප්‍රතිවිරුද්ධ රොබට් බ්ල්යේ (Robert Blay) ගෙන් දැඩි වර්ගවාදී විවේචනයක් එල්ල වී තිබේ.


තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) බ්‍රිතාන්‍යයේ වසර 400 ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි බවත් රනිල් ජයවර්ධන ගේ පරපුරට ඇත්තේ වසර 40 ක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බවත් දක්වයි. රොබට් බ්ල්යේ (Robert Blay) ට අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිවරණයෙන්ම පරාජය කලයුතු බවත් එවැන්නෙකුගේ හිසට උණ්ඩයක් යැවීමට තමා පසුබට නොවන බවත් මාධ්‍යවේදියෙකුට පවසන ආකාරය දක්වන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 





තවද රනිල් ජයවර්ධන ගේ ප්‍රථම දරු උපත පවා මෙම මැතිවරණය ඉලක්ක කර ප්‍රචාරක වාසියක් වශයෙන් සැලසුම්කර සිදුකල බවට චෝදනා කරන රොබට් බ්ල්යේ (Robert Blay), මැතිවරණයට මාස කිහිපයකට පෙර 1970 දශකයේදී ගණකාධිකරණය ඉගැනීමට එංගලන්තයට පැමිණි රනිල් ජයවර්ධනගේ පියා තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) මුණගැසුන බවත්, ඔහු ලංකාවේ දේශපාලන තත්වය නරක අතට හැරෙමින් තිබෙන නිසා 70 අග භාගයේදී බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට තීරණය කලබව ඔහුට කීයැයි එම වීඩියෝවේ දක්වයි. තවද ජයවර්ධනලා දෙමළ යැයි ඔහුට කවුද කී බවත් ඉන්දියාවේ සිට සංක්‍රමණයවූ දෙමළ ජාතිකයන්ට ලංකාවේදී පස්සට ගසා එලවූ නිසා ඔහු එංගලන්තයට පැමිණියෙක් යැයි කරුණු හරිහැටි නොදැන හුදු වර්ගවාදය පතුරවමින් චන්දය ඉල්ලන රොබට් බ්ල්යේ (Robert Blay) කියා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වේ.


සිය පියා ලංකාවේ උපන්නෙක් වුවද, සිංහල වාසගමක් දැරුව ද, සිංහල භාෂාව වත් භාවිතා කල නොහැකි, පෙනුමෙන් වත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට වඩා වෙනස් නොවෙන, රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ LSE (London School of Economics and Political Science) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ද ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකුකරුවෙක් වන ඔහු, තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී ඩේසි නම් සති කිහිපයක් වයස ඇති දියණියගේ පියෙකි. පාසැල් සමයේ සිටම කොන්සර්වෙටිව් (Conservative) ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි, 2008 සිට බ්‍රිසින්ස්ටෝක් සහ ඩේන් (Basingstoke and Deane borough) නගර සහාවේ උප නගරාධිපතිවරයාව ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කල තැනැත්තෙකි.

එවැනි බ්‍රිතාන්‍ය සමාජයට හොදින් අනුගතවූ තැනැත්තෙකුට වර්ගවාදී විවේචන එල්ලවීම බ්‍රිතාන්‍ය සමාජයෙන් බහුතරයකගේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර රොබට් බ්ල්යේ (Robert Blay) ව වහා අත් අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක්ද මතුව තිබේ. දැනටමත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party – UKIP) රොබට් බ්ල්යේ (Robert Blay)ගේ අපේක්ෂත්වය අත්හිටවා ඔහු ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වුවද මෙවැනි වර්ගවාදී විවේචන වලින් රනිල් ජයවර්ධනගේ ජයග්‍රහණය වලක්වාලීම කල නොහැක්කකි. ඒ සම්ප්‍රදායක කොන්සර්වෙටිව් (Conservative) ආසනයක් වන ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනය පසුගිය මහා මැතිවරණයේදී මෙන්ම මෙවරත් වැඩි චන්දයෙන් කොන්සර්වෙටිව් පක්ෂයත්, ඔහුත් ජයගනු නියත නිසාය.

රනිල් ජයවර්ධනට අමතරව චමාලි ප්‍රනාන්දු නම් තවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂිකාවක් කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් කේම්බ්‍රිජ් (Cambridge) ආසනයට තරග කරන අතර සම්ප්‍රදායක ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) ආසනයක් වන එය ජය ගැනීමට ඇයට අපහසු බව පෙනේ. ඇය බ්‍රිතාන්‍ය උපත ලද වෘත්තීයෙන් නීතිවේදිනියකි. ඇගේ පියා 1970 දශකයේදී දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූවෙකි. මුලදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවක් වූ චමාලි ප්‍රනාන්දු එහි සභාපතිත්වයට තරග කල සිය සොහොයුරාගේ පරාජයත් සමග එම පක්ෂයෙන් ඉවත්ව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයට බැදුනි. මානසික ආබාධිතයන් අනෙක් අයගෙන් වෙන්කර හදුනා ගැනීම සදහා අත්පටියක් පැලදිය යුතුයැයි දැක්වීම තුල ඇය බ්‍රිතාන්‍ය සමාජය තුල දැඩි විවේචනයට ලක්විය. එය ද ඇයට අවාසිදායක වතාවරණයක් ගොඩනගන ලදී.

කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරග කරන මෙම දෙදෙනාට අමතරව නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය සදහා ලේබර් / කම්කරු (Labour) පක්ෂයෙන් උමා කුමාරන් (Uma Kumaran) නම් ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති අපේක්ෂිකාවක්ද තරග කරයි. නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය වර්තමානයේ කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය යටතේ පැවැතිය ද උමා කුමාරන්ගේ දක්ෂ සංවිධාන ශක්තියත්, ආකර්ෂණයත් නිසා මෙවර එම ආසනය ලේබර් (Labour) පක්ෂයට හිමිවෙන බව පෙනේ. බ්‍රිතාන්‍ය උපන්, වෘත්තීයෙන් මාධ්‍යවේදිනියක් වන ඇයගේ මුතුන්මිත්තන් ශ්‍රී ලංකා සිවිල් සේවයේ සේවය කල කීර්තිමත් නිලධාරීන්ය. යුද්ධය නිසා එංගලන්තයට සංක්‍රමණය වූ සිය දෙමාපියන් සමග කුඩා කල සිටම දේශපාලන කටයුතුවල නිරතවූ ඇය ලේබර් පක්ෂයේ ඉතාමත් කැපීපෙනෙන, නැගී එන නායිකාවකි.

මෙවර බ්‍රිතාන්‍ය මහා මැතිවරණ සදහා ඉහත ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඇතුළුව 70 කට ආසන්න ආසියානු සහ අප්‍රිකානු සම්භවයක් ඇති අපේක්ෂක-අපේක්ෂිකාවක් පිරිසක් තරගවැදීම බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ ආසියානු, අප්‍රිකානු ජනයාගේ දෙවන පරම්පරාව බ්‍රිතාන්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන විව්‍යහය තුලට කෙතරම් බද්ද වී තිබේද, ඔවුනට කෙතරම් පිළිගැනීමක් හිමිව තිබේද යන්න මොනවට පිළිබිඹු කරයි.

ආසන 650 වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙවර මහා මැතිවරණය මගින්ද තවත් සභාග රජයක් බිහිවීමට වැඩි ඉඩක් පවතින අතර දැනට සිදුකර ඇති මැතිවරණ සමීක්ෂණ ප්‍රතිපල අනුව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය 35% හෙවත් ආසන 228 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන අතර, ලේබර් / කම්කරු (Labour) පක්ෂය 32% හෙවත් ආසන 208 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන, ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) පක්ෂය 9% ක් හෙවත් ආසන 59 ක් ද, ඉතිරි ආසන 155න් බහුතරයක් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party-UKIP) සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂය අතර බෙදී යනු ඇතැයි විශ්වාස කෙරේ. වේල්ස් සහ උතුරු අයර්ලන්ත පක්ෂවලටත් යම් නියෝජනයක් හිමිවීමට නියමිතය. මීට අමතරව හරිත පක්ෂයට එක් ආසනයක් සහ ස්වාධීන අපේක්ෂකයින් 03ක් ජයගැනීමේ යම් ඉඩක් පවතින බවක් ද පෙනේ. 

සමබිම වෙබ්අඩවියට (http://www.samabima.com/?p=12223) ලියන ලද්දකි. 

ඡයාරූප - රනිල් ජයවර්ධනගේ සහ උමා කුමාරන්ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ්අඩවි වලිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
( 06/05/2015)