This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 4 March 2025

යුගයේ අභියෝගය කීර් ස්ටාමර් කරට ගනී ද?



ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කිට එරෙහිව ඇමැරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් එල්ලකළ දැඩි වාග් ප්‍රලාපයන් සමග ඇතිවූ දේශපාලන තිගැස්ම මට මතක් කළේ 2019 දී Tom Holland (ටොම් හොලන්ඩ්) පළකළ 'Dominion: The Making of the Western Mind' නම් කෘතියේ ඉදිරිපත් කරන තර්කයකි.

ටොම් හොලන්ඩ්ට අනුව පුරාණ ලෝකය සහ නූතන ලෝකය අතර ඇති ශ්‍රේෂ්ඨතම වෙනස නම් පැරණි ලෝකය හෙවත් ක්‍රිස්තු පූර්ව යුගය සමාජ ගෞරවය, බලය සහ වාචාලත්වය (honor, power, adominance and rhetoric) මත නිර්මාණය වූවක් වන අතර එය ශක්තිය සහ ජයග්‍රහණ ගැන ගුණ ගරුක විය යුතු යුගයකි. එහෙත් නව ලෝකය හෙවත් ක්‍රිස්තු දර්ශනයේ බලපෑම මත දිගහැරෙන ක්‍රිස්තු වර්ෂ යුගයේදී මනුෂ්‍යයත්වයේ උතුම්කම, ආදරය, සමාවදීම සහ දුබලයන්ට, පීඩිතයන්ට කාරුණික වීම (humility, love, forgiveness, caring for the weak and oppressed ) වැනි කරුණු අවධානයට ලක් කරයි. පැරණි ලෝකය හා නූතන ලෝකය ලෙස ටොම් හොලන්ඩ් (Tom Holland) 2019 දී බෙදා දක්වන මෙම වෙනසේ පදනම ලෙස ඔහු දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හා බයිබලයේ නව ගිවිසුමයි (New Testament)

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය සිකුරාදා ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනාධිපති ට්‍රම්ප්ව මුණ ගැසීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ද ජනාධිපති ට්‍රම්ප්ව මුණගැසුන අතර එහිදී ඔවුන් දෙපොළම යුක්‍රේනයේ යුද්ධය සදහා ස්ථීරසාර විසදුමක අවශ්‍යතාවය මතුකර තිබුණි. එම අවස්ථා දෙකේදීම යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන ජනාධිපති ට්‍රම්ප් කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ට්‍රම්ප් ජනාධිපතිට අත තබා එම කතාවට බාධා කලේය. බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ඉදිරියේදී ද ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන කියත්ම අගමැති කීර් ස්ටාමර් රාජ්‍යය තාන්ත්‍රික ඉරියව්වකින් ජනාධිපති ට්‍රම්ප්ගේ එකී කතාවට බාධා කලේය.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි හමුවේද ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කිරීම කෙලවර වූයේ දැඩි වාග් සංග්‍රාමයකිනි. එය දෙපාර්ශවයටම පිලිගත් රාජ්‍යය තාන්ත්‍රික හැසිරීම ඉක්මවා ගිය ලැජ්ජා සහගත අවමානයක් බව පැහැදිලිය. එවැනි වාග් ප්‍රහාරයන් හා හැසිරීම් වලින් කිසිවෙකු ජය ලබන්නේ නැති වුවද දෙපාර්ශවයටම තම තමන්ගේ ස්ථාවරයන් ගැන දැඩි අධිෂ්ඨානයකින් තහවුරු කිරීමට අවස්ථාවක් සැලසෙන බව නම් කිව යුතුමය. ජනාධිපති ට්‍රම්ප්ගේ පදය අනුව රැසියාව හා ඇමැරිකාව අතර ඇතිවන එකගතාවයකින් යුද්ධය අවසන් කිරීමට තමන් හෝ යුක්‍රේනය එකගවන්නේ නැති බව ජනාධිපති සෙලෙන්ස්කිගේ ස්ථාවරය පොලීකාරයෙක් ලෙස හැසිරෙන ඇමැරිකානු ජනාධිපති ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් කියවා ගන්නට ඇත.

ධවල මන්දිරයෙන් එළියට බැසගත් යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි කෙලින්ම ලංඩනය බලා ඒමත්, එහිදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් පමණක් නොව චාල්ස් රජ පවා ඔහුව ඉතා ඉහලින් පිලිගැනීමත් තුල ජනාධිපති සෙලෙන්ස්කි හෝ යුක්රේනය හුදකලා නොවන බව යුක්‍රේන ජනතාවට පමණක් නොව ඇමැරිකා එක්සත් ජනපදයට ද, රුසියාවට ද, ලබා දුන් පණිවිඩය විය. එපමණක් නොව යුරෝපයේ රාජ්‍යය නායකයින් කැදවා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගාව ආසන්නයේ ඇති ලැන්කැෂර් හවුස් හි දී ආරක්ෂක සමුළුවක් කැදවීමට ද බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සමත්විය. යුක්‍රේනයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය පමණක් නොව යුරෝපයේම සහය ලැබෙන බව ඉන් ප්‍රකාශයට පත්විය.

බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් බලයට පත්වීමෙන් පසු ඔහු මේ ගෙවන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ හොදම සතිය යැයි කිවහොත් ඔහුගේ දරුණුතම විරුද්ධවාදීන් වන කෝබීන්වාදීන් හා නයිජල් ෆෙරාජ් පවා පිළිගත හැක. කීර් ස්ටාමර් ඩව්නිං වීදියට ඇතුළු වූ දා සිට එතරම් තීරණාත්මක දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ නැති බව ඔහුගේ විවේචකයින් විසින් උපහාසයට ලක් කර තිබුණි. එහෙත් පසුගිය සතිය වන විට කීර් ස්ටාමර් රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිය දේශපාලන අස්ථානය තවුරුකරගත් නායකයෙක් බවට පත්විය. මෙම "නව ස්ටාර්මර්" යනු දේශපාලන යුග මෙහෙවරක් කිරීමට හා එහිලා අවශ්‍යය නායකත්වය දීමට විශ්වාසයක් හා හැකියාවක් ඇති නායකයෙක් බව ප්‍රකට කළේය. මෙය පසුගිය සතිය මුලදී වොෂින්ටනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිම තුලින්ම ප්‍රකට කළේය. ජනාධිපති ට්‍රම්ප් සමග සාකච්ඡාවේදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සාකච්ඡාවට ප්‍රවේශ වූයේම ඔහු පුරුදු පුහුණුව සිටි සම්මුති විරහිත විශිෂ්ඨ මානව හිමිකම් නීතිඥවරයාගේ චරිතයෙන්ය. අගමැති කීර් ස්ටාමර් කලකට පෙර බ්‍රිතාන්‍යය රජයේ තීන්දු පවා ආපසු හැරවූ අති ප්‍රබල මානවහිමිකම් නීතිඥවරයෙක් විය.

අගමැතිවරයා වශයෙන් පසුගිය දින කිහිපයේදී කීර් ස්ටාමර් ප්‍රකට කළේ ඔහු කලින් පනපෙවූ "නපුරට එරෙහි ශිෂ්ටත්වයේ" මූලධර්මයන් ය. එනම් බ්‍රිතාන්‍යය හා යුරෝපය තවදුරටත් පෙනී සිටින්නේ මහා බල තරඟය වෙනුවෙන්වත්, සිය බලපෑමට සෙසු ක්ෂේත්‍රයන් අත්කර ගත යුතු යටත් විජිත සූරාකෑමේ ප්‍රාථමික තත්වය වෙත ආපසු යෑම වෙනුවටවත් නොව ආක්‍රමණිකයාට එරෙහිව සිය අසල්වැසියාගේ ආරක්ෂාව හා පීඩිතයාගේ යහපැවැත්ම වෙනුවෙන් වූ සදාචාරාත්මක රාජ්‍යය තාන්ත්‍රික ස්ථාවරයක් වෙනුවෙන් ය. එ සදහා යුරෝපයේ සෙසු නායකයින් ද එකග කරගැනීමට බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර්ට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ පැවැති බ්‍රිතාන්‍යය ආරක්ෂක සමුළුවේ ඒකාබද්ධ නිවේදනයෙන් පිලිඹිබු වේ. අගමැති කීර් ස්ටාමර්ට යුක්‍රේනය හා ඇමැරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සමග සහයෝගයක් ගොඩනැගීමේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට දැන් අවස්ථාවක් උදාවි ඇත. එකී ප්‍රවනතා ඔස්සේ යුක්‍රේන යුද්ධයට පිලිගත හැකි ස්ථීරසාරව විසදුම් සෙවීමට සිය යූරෝපියානු හවුල් කරුවන් සමග කටයුතු කිරීමේ දැඩි අභියෝගය ද එල්ලවි ඇත. එය කිසිසෙත්ම පහසු කටයුත්තක් නම් නොවනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/03/25

No comments:

Post a Comment