This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 5 January 2025

චෙක් රටේ ප්‍රාග් නුවර අවුරුදු 600ක් පැරණි ඔර්ලෝසුව නැරඹීමට ගියෙමි



Prague astronomical clock - මධ්‍යයම යුරෝපයේ පිහිටි චෙක් රටේ, ප්‍රාග් අගනුවර ඇති මෙම ඉපැරැණි ඔර්ලෝසුව ගැන මම මුලින්ම දැනගත්තේ 1980 ගණන්වල මුද්දරයකිනි. මුද්දර එකතු කිරීම එකල මගේ විනෝදාංශයක් විය. රට රට වල විවිධ අරුත් හා තේමා රැගත් මුද්දර එකල අපිට ලෝකය දැකීමට විවිර කළ කුඩා දොරටු බදු විය. දැන් මා සතුව එතරම් මුද්දර ප්‍රමාණයක් නොමැත. බොහොමයක් මුද්දර නැති වී ඇත. දැන් මා සතුව ඇත්තේ එම මුද්දර ගැනත්, ඒවා එකතු කරපු ආකාරය ගැනත් ඇති මතකය පමණි. මුලින් දැක්වු පරිදිම චෙක් රටේ, ප්‍රාග් නුවර පිහිටි මෙම පැරණි ඔර්ලෝසුව ගැන මම මුලින්ම දැනගත් මුද්දරය චෙක් රටත්, ස්ලෝවැක් රටත් එකට එක්ව තිබුන පැරැණි චෙකොස්ලොවේකියානු රාජ්‍යය විසින් නිකුත් කරනු ලැබූවකි.

මා ඒ මුද්දරය හොයාගත්තේ අපේ තාත්තාගේ ලිපි ගොනුවකිනි. ඔහු කලක් චෙකොස්ලොවේකියාවේ ඉගෙනුම ලැබූවෙකි. චෙකොස්ලොවේකියාවේ තවත් මුද්දර ද එකල මා සතුව තිබුණි. ඒවා ද මා සොයාගත්තේ අපේ තත්තාගේ ලිපි ලියකියවිලි වලිනි. මෙම ඔර්ලෝසුව ගැන තිබුන මුද්දරය මගේ මතකයේ රැදීමට තවත් හේතුවක් වූයේ අපේ නිවසේ පැවැති 'වයින්' කරන ලොකු බිත්ති ඔර්ලෝසුවය. එම බිත්ති ඔර්ලෝසුව වරින් වර ගලවා ස්‍විස් කරන අයුරු මම බලා සිට ඇත. එම නිසාම දැති රෝදවලින් කැරකෙන ලොකු ඔර්ලෝසුවක් ගැන දැක්වෙන චෙකොස්ලොවේකියාවේ එම මුද්දරය මේ මතකයේ රැදීමට ඉඩ වැඩිය.

පසු කලෙක ප්‍රාග් පැරණි ඔර්ලෝසුව ගැන විවිධ පින්තූර සහිත ලිපි කියවීමට ලැබුණි. එහෙත් එම ලිපිවල දක්වා තිබු ප්‍රාග් ඔර්ලෝසුව මම කලින් දැක තිබු චෙකොස්ලොවේකියානු මුද්දරයේ තිබු ඔර්ලෝසුවට වඩා තරමක් වෙනස් විය. එයට හේතුව ආගම සහ දේශපාලනය අතර තිබූ ගැටුම විය හැක. චෙකොස්ලොවේකියාව ඒම මුද්දරය නිකුත් කරද්දී එය කොමියුනිස්ට් පාලනයක් පැවැති රටකි. එහි කොමියුනිස්ට් ක්‍රමය 1969 සිදුවූ වෙනස්කම් වලින් පසුව තරමක් වෙනස්වී තිබුණ ද, රාජ්‍යයේ මර්දනකාරී, අධිපතිවාදී බලපෑම, කිසිසේත්ම පහව ගොස් නොතිබුණි. ප්‍රාග් ඔර්ලෝසුව ගැන මුද්දරය නිකුත්වෙද්දී පැවැති තත්වය ද එසේය. එම ඔර්ලෝසුවේ ඇති ආගමික සංකේත ඉවත් කර අදාල මුද්දරය නිකුත් කිරීමට එවකට පැවැති චෙකොස්ලොවේකියාවේ කොමියුනිස්ට් රජය ක්‍රියා කර තිබුණි.

ප්‍රාග් නුවර පැරණි ඔර්ලෝසුව කොටස් තුනකින් සමන්විතය.

මැද ඇති ඔර්ලෝසුව තප්පරයෙන් තප්පරය, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය දක්වයි.

එම කාල වේලාව අනුව, මැද ඔර්ලෝසුවට පහලින් පිහිටි ඔර්ලෝසුවක් වැනි රවුමේ මාසය සහ දිනය ද නිරූපනය වෙයි. ඒ අනුව සඳ සහ පෘතුවියේ පිහිටිම දක්වයි. ඍතු වෙනස්වීම සහ පූර්ණ චන්ද්‍රයා (පෝය දාට පායන සඳ) දැකිය හැකි දින ගැන ද ඒ ඔස්සේ ගණනය කර දැනගත හැකි බව එම ඔර්ලෝසුව ගැන හැදෑරූවන්ගේ මතයයි. එම කොටසේ ද ක්‍රිස්තියානි ආගමේ සාන්තුවරු, ක්‍රිස්තියානි ආගමික සංකේත නිරූපනය වේ.

මැද පිහිටි එම ඔර්ලෝසුවට ඉහලින් එනම් එම ඔර්ලෝසුවේ ඉහලින්ම කවුළු දෙකක් පවතී. සෑම පැයකට වරක්ම ඔර්ලෝසුවේ වෙලාව නාදවන විට එම කවුළු දෙක ඇරී රවුමට හැරි හැරී යන ප්‍රතිමා රාශියක් නිරූපනය වේ. ඔවුන් ක්‍රිස්තියානි ආගමේ සාන්තුවරු සහ අපෝස්තුළුවරු නිරූපනය කරති. එම කවුළු දෙක මැද පිහිටි කුකුළා ද සෑම පැයකම වරින් වර හඩලයි.

පැරණි කොමියුනිස්ට් චෙකොස්ලොවේකියාව නිකුත් කල මුද්දරයේ එකී ආගමික සංකේත ඇතුලත් කොටස් ඇතුල් කර තිබුනේ නැති බව පස්සේ කාලේක දැක්ක පින්තුරවලින් මෙන්ම සැබවින්ම දැක ගැනීමෙන් ද පසක් කර ගත්තේමි.

මෙම ඔර්ලෝසුව ඉදිකර ඇත්තේ 1410 දී. Mikuláš නම් ඔර්ලෝසු නිර්මාපකයෙක් විසිනි. ඔහු ප්‍රාග් නුවර චාල්ස් විශ්වවිද්‍යාලයේ (Charles University of Prague/University of Prague) ඉගැන්වීම් කටයුතු වල ද නිරවූවෙකි. එම කාලයේදී , එනම් ක්‍රි. ව. 1400 ගණන්වලින් පසු කාලය තුල, පෘතුවියේ වෙලාව දැක්විය හැකි ඔර්ලෝසුවක් නිර්මාණය කිරීමට යුරෝපයේ ඔර්ලෝසු නිර්මාණකරුවන් විශාල තරගයක නිරතවී සිටියහ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් (Copenhagen) නගර ශාලාව තුල ද එම අරමුණ මුල්කරගෙන නිපදවූ පැරණි ඔර්ලෝසුවක් දැකිය හැක, මම ඒ ගැන පසුව ලියමි.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් (Copenhagen) නගරයේ මෙන්ම චෙක් රටේ ප්‍රාග් නුවර පිහිටි මෙම පැරණි ඔර්ලෝසුව ද පිහිටා ඇත්තේ පරණි නගර ශාලාවේය. එහෙත් ප්‍රාග් නුවර නම් එය මහජනයාට පැය 24ම වෙලාව බලාගත හැකි සේ පැරණි නගර ශාලාවේ බිත්තියක, එලියට පෙනෙන සේ, නිර්මාණය කර ඇත.

අවුරුදු 600යකට වැඩි කාලයක් අව්, වැසි, හිම, කුණාටු, කැරලි, කෝලහාල, යුද්ධ වලට මැදිවෙමින්, බිදවැටෙමින්, නැවත ගොඩනගමින්, නැවතිමින්, නැවත අලුත් වැඩියා කරමින්, කෑලි හැලෙමින්, නැවත ප්‍රතිසංස්කරණය කරමින්, අදත් මේ ඔර්ලෝසුව විරාජමානව වැජඹිම මොන තරම් නම් ආශ්වාදයක් ද? එයත් හරියට හරි ප්‍රාග් නගරය වැනිමය!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

(මුල් සටහන ලියන ලද්දේ)

06/01/24

(මම සදහන් කල මුද්දරය අන්තර්ජලයෙන් හොයාගත්තා එය ද පහලින් ඇති)










No comments:

Post a Comment