This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 16 October 2024

අනුරගේ විදානය හා අයියන්දේගේ ඉරණම

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින සිය අපේක්ෂක කණ්ඩායම අමතා සිදුකල කතාව සම්බන්ධයෙන් බොහෝ යහපත් ප්‍රතිචාර පලවී තිබුණා. එය විශිෂ්ඨ කතාවක් බවත් ඔහු අති දක්ෂ සංනිවේදකයෙක් බවටත් විවාදයක් නෑ. මේ මොහොතේ ලාංකික සමාජය තුල සිටින විශිෂ්ඨතම දේශපාලන සංවේදකයා අනුර කුමාර දිසානායක මහතා වන බැවින් ඔහු ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන් කිසියම් හෝ ඇබ්බැහිවීමකින් හෝ ආසක්තවීමකින් තොරව නිසි විචාරයකින් යුතුව එම අදහස් විමසුමකට ලක්කරන්නේ ද යන්න සැක සහිතයි.

ජනාධිපතිවරයා සිය අපේක්ෂක කණ්ඩායම අමතා ඉරිපත් කළ කතාව තුල පැහැදිලිව කරුණු 3ක් අඩංගු වූ බව පෙනී යන්නක්. එක් කරුණක් නම් (1) ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන ඔහුගේ කියවීමයි. (2) දෙවැන්න නම් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති ඔවුන්ගේ කණ්ඩායමට පැවැරී ඇති වගකීම පිලිබදව පැහැදිලි කිරීමයි. තුන්වැන්න නම් (3) එම නියෝජිතයන් වගකිවයුතු පාර්ශ්වය පිලිබදව අපේක්ෂක කණ්ඩායම දැනුවත් කිරීමයි.

ප්‍රථමයෙන්ම (1) සලකා බැලුවහොත් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුර කුමාර දිසානායක මහතා ව්ග්‍රහ කළේ "(A) නව ආර්ථික ගමනක උවමනාව වෙනුවෙනුත්, (B) නව දේශපාලනය සංස්කෘතියක උවමනාව වෙනුවෙනුත්, (C) ජනතාව හා දේශපාලකයා අතර නව සම්බන්ධයක උවමනාව වෙනුවෙනුත්" ප්‍රකාශ කළ ජන්දයක් ලෙසයි. ජනාධිපතිවරණයේදී ඔවුන් ලැබූ චන්ද ප්‍රමාණය හා ප්‍රතිශතය පිලිබදව යම් අවධාරණය කිරීමකට ලක් කිරීමකින් තොරව වුනත් ඔවුන්ට ලැබූ චන්දය පැහැදිලිවම මතවාදීමය හා දේශපාලනය සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් ප්‍රකාශ කළ චන්දයක් ලෙස අර්ථ නිරූපනය කරගැනීම ඕනෑම දේශපාලන ව්‍යාපාරයක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක්.

ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබූන චන්ද ප්‍රමාණය ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන් 42% ක සුළුතර චන්දයක් වුවත් එය "අලුත් දේශපාලන ගමනකට රට ප්‍රවිශ්ට කරනවාද ? නැතිනම් පරණ දේශපාලන ගමනම යනවාද? සම්බන්ධයෙන් ජනතාව ගත් දැඩි දේශපාලන තීරණයක්" ලෙස අතිශයෝක්තියට නැන්වීම (exaggerate) යතාර්ථයට තරමක් දුරස්. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔවුන්ගේ මහමැතිවරණ අපේක්ෂකයින් ඉදිරියේ එම චන්ද ප්‍රතිඵලය රටේ සමස්ථ සමාජයේම ඒකායන ප්‍රකාශණයක් ලෙස සමාජ ගත කරන්නේ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතියේ පදනම 'ප්‍රමාණයට වඩා ගුණය' පදනම් කරගත්, නිශ්චිත දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගත්තක්, බව මතුකරලීමටයි.

එම දේශපාලන අභිලාෂයන් මුදුන් පත්කිරීමට ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍ය බවත්, එම ශක්තිමත් දේශපාලන බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඔළු ගෙඩි වලින් සැදුම් ලත් ප්‍රමාණාත්මක බලයක් නොවන, ගුණාත්මක අගයකින් යුතු, පිරිසක් විම සිය අපේක්ෂක කණ්ඩායමට පැවැරී ඇති වගකීම ලෙස ඔහුගේ කතාවේ දෙවන (2) කරුණ ලෙස දිසානායක මහතා මතුකරණු ලැබුවා.

අනුර කුමාර දිසානායක මහතා සිදුකල කතාවේ බොහෝදෙනකු වසග කළ කොටස දිග හැරෙන්නේ කතාවේ එම කොටස සමගින්.

විශේෂයෙන්ම 'පැවැති පාර්ලිමේන්තු නින්දා සහගත, ජනතා අපේක්ෂා අමු අමුවේ වළලා දමන ලද, ධනය, බලය කේන්ද්‍ර කරගත් හොරුන්ගේ ගුබ්බෑයමක් බව ජනතාව අතර මුල් බැසගෙන ඇති මතයට තිත තබා, උසස් වටිනාකම්, උසස් ගුණ ධර්ම පෙරටු කරගත්, ආදර්ශමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔබට බවත්, එවැනි ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ගුණාත්මක බලය ඇත්තේ ඔබ සතුව බවත්, ඔවුන්ගේ අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්' අනුර කුමාර දිසානායක මහතාට බොහෝ පැසසුම් ලැබී තිබුන බව පෙනීයන්නක්.

මීට පෙර සිටි ජනාධිපතිවරුන්ද අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ අපේක්ෂක කණ්ඩායම අමතා එවැනි ගුණධර්ම, යහපත්කම් ඇති මංත්‍රීවරුන් වීමේ වැදගත්කම පහදා දුන් අවස්ථා තිබුණි. එහෙත් ඒවා 'බිහිරි අලීන්ට විණා වාදයන්' විතරක් නොව 'ජනතාව ඇන්දවන' කයිකතන්දර පමණක් බවත්, ඔවුන් බලයට පත්වූ පසුව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන සියල්ලන්ම හොව තක්සේරුවක් තිබුන බව ඒකාන්තයයි.

එහෙත් මෙවර පාර්ලිමේන්තුවේ 'ගුණාත්මක බලය තිරණය කරන්නේ ඔබ යැයි' ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළ විට ජනතාව පැතූ, 'පැතුම් මල් පිපුණාක්' මෙන් හැහීමක් ඇති කරණු ලැබූවා. සීයට 3ක් වූ සීමිත, කුඩා, පිරිසක් වූ ඔවුන්ව රටේ ප්‍රධාන බලවේගයක් ලෙස ඔසවා තැබී ම "ආශ්චර්යයක්" බවත්, ජනතාව ඔවුන් කෙරෙහි තබා තිබෙන "විශ්වාසය බිදකින් හෝ බිද වැට්ටවීමට අපිට අයිතියක් නැති බවත්" අනුර කුමාර දිසානායක මහතා මතු කළේ අපේක්ෂකයින්ගේ පමණක් නොව, එම කතව අසන ජනතාව ද එක මිට ට ගොනු කරගනිමින්.

ඒමෙන්ම "එම ජනතා අපේක්ෂා බිද දමන්නේ නම් ඔවුන් මිනිසුන් නොවන බවත්" ප්‍රකාශ කළේ 'මිනිසුන් අතර මිනිසුන් ගැනත්' / 'මිනිසුන් අතර සිටින නරුමයන්'/ ද්‍රෝහියන් / පිලිබදවත් වූ වාමාංශික දේශපාලනය සාහිත්‍යයේ හා භාවිතයේ ද පරිචයක් ඇතිව විය යුතුයි.

එහෙත්, බලය හා සාමාන්‍ය මිනිස් ස්වභාවය පිලිබදව අත්දැකීම් ඇති ඒ මහතා "අපි දන්නවා අපි කවුද කියන්න, ඒත් මිනිස්සු අප කෙරෙහි විශ්වාසය තබනවා.. එය බිද දැමීමට අපිට අයිතියක් නෑ" යනුවෙන් දක්වනුයේ හර්දයාංගම ආකාරයකටයි.

'වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට ඉවසිවන්තව කටයුතු කරන, ග්‍රාමීය ගැටුම් සහිත ව්‍යාපාරයක් වෙනුවට, සමාජයේ මිනිසුන් අපේක්ෂා කරන සාධනීය උසස් ගුණාංග රැස්කරගත්, උසස් ගුණාංගවලින් යුතු අලුත් දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමට ජනතාව ලබාදෙන ප්‍රමාණාත්ම බලයේ ගුණාත්මක කොටස කැටුව එන පිරිස' බවට පත්වීමට සිය මැතිවරණ අපේක්ෂකයින්ට දිසානායක මහතා එයින් ආරාධනා කර තිබුණා.

එය වාමාංශික ව්‍යාපාරයේ අධ්‍යාපන සම්ප්‍රදායේ වූ (ජනතාව දේශපාලන වශයෙන්) 'පෝෂණය කිරීමට ඔබ පෝෂණය වන්න' යන්නට වඩා වෙනස්, ඉදිරිගාමී විවෘත ආරාධනයක්. එනම් 'සාධනීය දේවල් අරන් එන්න, අපිට ඔබෙන් පෝෂණය විය හැකියි' වැනි අදහසක්.

එහෙත් එම කතාවේ බරපතලම කොටස කියවෙන්නේත් එසේ ඇරයුම් කරමින්මයි.

මුළු කතාවම එක් කේන්ද්‍රයක් වෙත නාභි ගතකරමින් අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂකයින්ට පසක් කරදීමට උත්සහ කරන්නේ මැතිවරණයට ඉදිරිපත්කර ඇති "අපේක්ෂකයන් යනු ආණ්ඩුකරණය සදහා සුදානම් වූ පිරිසක් පමණ" ය යන්නයි.

ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ ක්‍රියාදාමය තුලම පමණක් නොවන බව ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුව' ට අත්වු ඉරණම ඇසුරෙන් පෙන්වා දෙමින් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නේ "ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ පිරිස් මතම නෙමෙයි, ඒ පිටුපස ඇති දේශපාලන ව්‍යාපාරයක් තුලයි" යන්නයි. ඒය ඔහුගේ කතාවේ තුන්වන (3) කොටසේ සාරය ලෙස සැලකිය හැකියි.

පසුගිය මැතිවරණයේදී ඔවුන් සීයට 3 ට වැටුන අවස්ථාවේ පවා සම තරගකරුවන් ලෙස ඔවුන්ව නැවත ඔසවා තැබුවේ, නමක් ගමක් නොදන්නා, දැන් මේ මොහොතේ පවා වැස්සේ තෙමෙමින්, බයිසිකල් පදමින්, ජනතාව සංවිධානය කරමින්, කෑමක්, බීමක්, රෑ ක් දවාලක් නැතිව, දිවිහිමියෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන, කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොවන, ඊට වඩා පැතිරුණු, පොදු සමාජ අරමුණක් වෙනුවෙන් වගකීම් පවරා ගත් පිරිසකගේ අප්‍රතිහත කැපවීම මත ගොඩනැගූ ව්‍යාපාරයක් තුලින් බව ඔහු සිත් කාවදින ලෙසත්, ඉතා තීව්‍රවත් අවධානයට ලක් කරයි.

එම කරුණු අවධානයට ලක් කරමින් ඔහු කියා සිටින්නේ: "ඔබ එම ව්‍යාපාරයට වගකිවයුතු, එහි ප්‍රකාශකයන් විය යුතු, පිරිසක් විය යුතුයි" යන්නයි.

ඒ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව අපි දනිමු. මාලිමාවේ පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව නොරහසකි.

එහෙත් මාලිමාවේ මැතිවරණ අපේක්ෂයන් හමුවේ අනුර කුමාර දිසානායක මහතා කළ කථාවේ ප්‍රධාන විදානය වන්නේ - "ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යන්නයි.

එය, රැස්ව සිටි අපේක්ෂක කණ්ඩායම වගකිව යුත්තේ කාටද යන්න ඉතා ප්‍රබලව දැක්වීමකි.

එම කතාවේ එක් අවස්ථාවකදී මහජන නියෝජිතයන් වගකිව යුත්තේ ජනතාවට ද? නැතිනම් ව්‍යාපාරයට ද? පක්ෂයට ද? යන්න හා සමපාතවීමක් හා නොවීමක් අතර වෙනස පැහැදිලි කිරීමකට ආසන්න වෙන අවස්ථාවක් එළබුනත් අනුර කුමාර දිසානායක මහතා සිය කතාව එතරම් ගැඹුරට ගෙන නොයාමට තරම් පරිස්සම් විය.

"ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යැයි සිය අපේක්ෂකයින් අමතා අනුර කුමාර දිසානායක මහතා ලබා දෙන විදානය තුල මාලිමාව තුල සිටින ජනතා විමුක්ති පෙරමුණේ නොවන පිරිස් වෙත මොනයම් ආකාරයේ අදහසක්, බරක් පතිත කළේද? නැද්ද? යන්න අපිට දැම්ම පැහැදිලි නැති නමුත් එය කාලයකට පසුව හෝ දැනගැනීමට හැකිවේවි.

ඒ කෙසේවෙතත්, අනුර කුමාර දිසානායක මහතා මෙවර (2024) මහමැතිවරණය සදහා මාලිමාවේන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක/ අපේක්ෂාවන් අමතා 13/10/24 කළ කතාව මට කිසියම් ආකාරයකින් චිලී (Chile) හි Salvador Allende (සැල්වදෝර් අයියන්දේ) විසින් 05/09/1970 සිදුකළ 'ජයග්‍රාහී කතාව' (Victory Speech) සිහිපත් කළේය.

1970 චිලී රටේ බලයට පැමිණි සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස හදුන්වයි. චිලියේ එම මැතිවරණයත් පසුගිය දා ලංකාවේ පැවැති ආකාරයේම තුන් කොණ් මැතිවරණයක් විය. 1970 චිලියේ පැවැති එම මැතිවරණයේ දී Popular Unity වාමාංශික එකතුවෙන් තරග කළ සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) 36.61% චන්දයක් ද, ස්වාධීනව තරග කළ හිටපු ජනාධිපති Jorge Alessandri, 35.27% ක් ද, Christian Democratic පක්ෂයෙන් තරග කළ Radomiro Tomic 28.11% ක චන්දයක් ලැබූහ. එහෙත් කිසිවෙකුට 50% ක පැහැදිලි බහුතරයක් නොලැබූ නිසා චිලී පාර්ලිමේන්තුවේ මංත්‍රී මණ්ඩල දෙකම එකතුවී වැඩිම චන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනා අතරින් වාමාංශික සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) එරට ජනාධිපතිවරයා ලෙස 1970 දී තෝරා පත් කරගත්තේය.

එම තෝරා පත්කරගැනීමෙන් අනතුරුව ඔහු පැවැත්වූ 'ජයග්‍රාහී කතාවේදී' (Victory Speech) සැල්වදෝර් අයියන්දේ ප්‍රකාශ කළේ: 'චිලීය අපේක්‍ෂා කරන දේ යථාර්ථයක් බවට පත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යයක් ඔවුන් මත පැවරී ඇති බවත්, ජාතියේ ප්‍රගතිය, සමාජ සාධාරණත්වය තුළ, සෑම පිරිමියෙකුගේම, සෑම කාන්තාවකගේම, තරුණයෙකුගේම අයිතිවාසිකම්, බලාපොරොත්තු මුදුන්පත් කරන අසමසම රටක් බවට පත් කිරීමට සිය ව්‍යාපාරය හා බලමුළු ගන්වන ලෙසයි'.

එහෙත් 1970 මැතිවරණයෙන් බලයට පැමිණි ලෝකයේ ප්‍රථම මාක්ස්වාදී පාලකයා වූ සැල්වදෝර් අයියන්දේට බලයේ සිටිය හැකිවූයේ වසර තුනක් පමණි. ඔහු ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ රට අරබුදයෙන් අර්බුදයට පත් කළේය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා පරාජයට පත්ව ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙක් බවට චෝදනාවලට ලක්විනි. විදේශ සබදතා අවුල් ජාලයක් විනි. පාර්ලිමේන්තුවේ බලයට පිටින් සිය පක්ෂය ලවා රට ආණ්ඩුකරණ පාලකයෙක් බවට ඔහුට චෝදනා එල්ලවුනි. එරට හමුදාවට, පොලීසියට හා මිලිටරි පාලකයන්ට එරෙහිව සිදුකළ විමර්ශණ නිසි සාර්ථකත්වයක් පෙන්නුම් නොකෙරුවද එයින් හමුදා කුමන්ත්‍රණවලට පාර කැපුනි. අවසානයේ අන්ත දක්ශිණාංශික, සිය දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත මහා විනාශයකට ගෙන ගිය, මිනීමරු Augusto Pinochet (පිනෝචේ) නම් මිලිටරි පාලකයා හමුදා කුමන්ත්‍රණයකින් චිලීයේ බලය අල්ලා ගත්තේය. පිනෝචේ වැනි ගහලයෙකුට යටත්වීම වෙනුවට සැල්වදෝර් අයියන්දේ සිය දිවි නැති කර ගැනුනි.

1970 චිලීයේ ජනයා දැල්වූ බලාපොරොත්තු 1973 වන විට නිමී ගියේ ඇමැරිකානු රූකඩයක්වූ පිනෝචේ (Pinochet) යටතේ අන්ත දක්ශිණාංශික මේලේච්ච හමුදා පාලනයක් බිහි කරමිනි. පිනෝචේ ගේ හමුදා පාලනය 1973 සිට 1990 දක්වා පැවතුනි. එය මිනිස්සු සිය දහස් ගාණක් බිලිගත් අධම යුගයක් විනි. බලයෙන් පහවූ පසු, පිනෝචේ ට විරුද්ධව පැවැති අපරාධ චෝදනා විභාග කිරීමට පෙරම ඔහු මිය ගියේය. වසර ගාණනාවක 'තට්ටු මාරු' බල හුවමාරුවලින් අනතුරුව 2022 මාර්තුවේ පැවැති චිලී ජනාධිපතිවරණයෙන් 38 හැවිරිදි Gabriel Boric බලයට පැමිණියේය. එහෙත්, අදත් පිනෝචේ (Pinochet) යටතේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවී නොමැත .

ලංකාවේ පසුගිය මැතිවරණයෙන් බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය ලෝකයේ බොහෝ මාධ්‍යය හදුන්වා තිබුනේ ද මාක්ස්වාදීයෙකුගේ ජයග්‍රහණයක් ලෙසය. ඒ ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස සලකන 1970 බලයට පැමිණි චිලියේ සැල්වදෝර් අයියන්දේ ගෙන් පසුවය..

අනුර කුමාර් දිසානායක මහතාගේ රජය සැල්වදෝර් අයියනගේ පාරේ යාවිද? නැති නම් චීලියේ වාම බලාපොරොත්තු ඉහල නන්වමින් දැන් බලයට පැමිණ ඇති Gabriel Boric ගේ පාරේ යාවි දැයි තවමත් කිව නොහැක. එවැනි සසදා බැලීම් කිසිසේත්ම අදාල නොවන්නට ද පුළුවන. එත් අවශ්‍ය වන්නේ වාම බලය පරාජය කර දක්ශිණාංශය බලයට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමය. එය චිලීයේ පිනෝචේ (Pinochet) ලාගෙන් පමණක් නොව ලංකාවේ J. R. ලාගෙන්, R. ප්‍රේමදාසගෙන් වුවද උගත හැකිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/10/24

1 comment:

  1. ඔය කවුරුත්ම නොයන පාරක යන්නෙ. ඒතැනින් අතරමග නතරවන්නේදැයි කිව නොහැක

    ReplyDelete