This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 29 December 2022

බංග්ලාදේශයේ මෙට්‍රො දුම්රිය ගැන අපේ වැලපීම



මම දැක්කා ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව නවත්තලා දාද්දී කටක් ඇරැපු නැති, හඩක් නගපු නැති, මාධ්‍යවේදීන් සෙට් එකක් වගේම ගෝඨාභය රාජපක්ෂව කරේ තියන් ගිය සෙට් එකක්ම බංග්ලාදේශය තමන්ගේ පලමු මෙට්‍රො දුම්රිය දියත් කිරීම ගැන හැපි-හැපී, වැලපෙමින් පොස්ට් දාලා තියෙනවා.

බංග්ලාදේශයේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය වගේම ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතියත් ජපාන් ආධාර. ලංකාවේ ඒ ව්‍යාපෘතිය නැවතුනත් බංග්ලාදේශයේ ඒ ව්‍යාපෘතිය ගියා. ලංකාවේ මුළු ජනගහනය වගේම ජනගහනයක්, ඒ කියන්නේ මිලියන 20කට වඩා වැඩ් ජනගහනයක් ඉන්න ජනාධික ධකා නගරයට නම් මෙට්‍රො දුම්රියක් කියන්නේ ගමනාගමන පහසුවක් සපයන්නක් විය හැකියි. ඇත්තටම, ජනාධික ඒ නගරේ ගමනාගමනය කොච්චර අපහසුද කියලා මම 1998 එහි ගිය වෙලාවෙත් හොදින් දැක්කා. පයින් යන්නවත් බැරි නගරයක් ඒක. ඊට පස්සේ නගරය පුරාම විවිධ මාර්ග, වට රවුම් පාරවල්, කුළුණු උඩ දුවන උඩින් යන පාරවල් රාශියක් ඉදිවී තිබුනත් අධික ජනගහනය නිසාම ධකා නගරේ ගමනාගමන තවමත් අන්තිම අපහසුයි කියලා එහි සිටින සහ එහි සිට පැමිණ ඇති අපේ මිත්‍රයෝ නිතර කියන දෙයක්. අද විවෘත කල මෙට්‍රො දුම්රිය එම ගමනාගමනය අපහසුවට සලසන්නේ ඉතා කුඩා පිලිසරනක් වෙන්න පුලුවන්. ඒත් ඒ සදහා ගිය වියදම ඉතා අධිකයි.

ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගැන නැගුණු ප්‍රශ්නයත් ඒකයි. වියදම අදිකයි.

කොළඹ මෙට්‍රො ව්‍යාපෘතියට යන වියදම ඇ. ඩොලර් මිලියන 2200 ක් වගේ විශාල වියදමක් බව සදහන්වූවා. මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක් ලු. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, බෝක්කු 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2200ක් වියදම් කරනවා කියන්නේ අපරාධයක්. කොළඹ මෙට්‍රො ව්‍යාපෘතිය නතර කරද්දී කියපු තව කතාවක් තමයි මුළු ලංකාව වටේම කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකරන්න වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 4350ක්, ඉතින් එකෙන් භාගයක් විතර වියදම් කරලා මාලඹේ ඉදන් කොටුවට මෙට්‍රො දුම්රියක් හදන එක මොන විකාරයක්ද කියන එක. බංග්ලාදේශයේ අද විවෘත කල මෙට්‍රො දුම්රියත් කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 150කට වඩා වියදම් වී තියෙනවා කියනවා. ඒහෙම ගත්තහම ඒ ව්‍යාපෘතියත් අති විශාල වියදමක්. ඒකත් ජපන් අඩු පොලී වුනත් දැවැන්ත ණයක්. ඒ මුදලින් ඒ රටේ දුම්රිය සේවය මුළුමනින්ම විදුලියෙන් දුවවන්න තිබ්බයි කියන අයත් ඒ රටේ ඉන්නවා. ඒත් ප්‍රශ්නය බලශක්ති. බංග්ලාදේශයත් බලශක්ති අර්බුදයක ඉන්නේ. එහෙව් එකේ ධකා මෙට්‍රො දුම්රියත් කොරේ පිටට මරේ වගේ වෙයිද දන්නේ නෑ.

ඉතින් ඔය බංග්ලාදේශය ඉස්සර හිටියේ, තිබුනේ මෙහෙමයි, ලංකාවට වෙච්චි දේ බලන්නකෝ, ඒ අයට දැන් මෙට්‍රො දුම්රියත් තියෙනවා කියමින් හැපිභැපි වැලපෙන මධ්‍යවේදී ඔස්තාර්ලා, එක එකාගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාන්න කඩේ යන සමාජ මාධ්‍යකාරයෝත් ඔය කලින් කියපු වියදම ගැනවත්, බලශක්ති ප්‍රශ්නය ගැනවත්, බංග්ලාදේශයේ ශේක් හසීනාගේ රජය බංග්ලාදේශය අරන් යන 'ණය මාවතේ දේශපාලනය' ගැනවත් කතාකරන්නේ නෑ. වලක වැටීම මොලයට ලාභයක් කිව්වට අපේ ඉන්නවුන්ට එහෙම නිනව්වක් නෑ. රෑ වැටුන වලේම දවලුත් වැටෙනවා. දැන දැන වැටෙනවා.

අද විවෘත කල ධකා මෙට්‍රො දුම්රිය ධාවනය කලේ කාන්තාවක්‍ ය, එහි එක පෙට්ටියක් සම්පුර්ණයෙන්ම වෙන්කර ඇත්තේ කාන්තාවන්ටය වගේ කතාත් දැක්කා. ඇත්තටම ඒවා ගැන අවධානය යොමුවිය යුතු කාරණා. ඒ විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදයක් වර්ධනය වෙමින් ඇති බංග්ලාදේශයේ කාන්තාවන් බලමුළු ගැන්වීම අත්‍යාවශ්‍යය සාධකයක් වී ඇති නිසා.

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/12/2022

No comments:

Post a Comment