This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 18 July 2019

තිරිගු පිටි ගණන් ගියා නේද? ඇට ටිකක් එවන්නද?


පාන් හදන තිරිගු පිටි ලංකාවේ ජනයා අතර මුල්බැසගන්නේ වැඩි ඈතකදී නොවේ, දෙවන ලෝක යුද්ධ සමයේය. ඒ ශ්‍රී ලංකාවේ සහල් අවශ්‍යතාවය සපුරාගැනීම සදහා සහල් ගෙනාවගත් බුරුමය දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ආක්‍රමනයට නතුවීම නිසා රටේ ඇතිවු සහල් හිගය පියවා ගැනීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඕස්ට්‍රේලියාවෙන් තිරිගු පිටි ගෙන්වා පුද්ගලයෙකුට ග්‍රෑම් 225 බැගින් බෙදාදීමත් සමග තිරිගු පිටි මහජනයා අතර වඩා ප්‍රචලිතවිය. 

එම කාලයේම ශ්‍රී ලංකාවේ සහල් හිගය පියවීම සදහා ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය දිරිමත් කිරීමටත් බ්‍රිතාන්‍යයන් කටයුතු කළේය. එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ කෘෂිකර්ම ඇමතිවරයාවූ D.S. සේනානායකගේ ව්‍යාපෘති සම්බන්දයෙන් බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රවේශයවුයේ එමගින් යුද්ධ සමයේ ඇතිවී තිබු සහල් හිගයට යම් පිළිසරණක් වේය යන්නය. ''සිරිපාද කන්ද තරම් මුදල් වියදම් උනා'' යැයි ප්‍රතිවාදීන් D.S. ගේ මින්නේරිය, කන්තලේ, කලලු වැව, කහගහ කොලනිය වැනි ගොවිජනපද ව්‍යාපාර සම්බන්දයෙන් චෝදනා නගද්දී එම ව්‍යාපෘති  සාර්ථකත්වයකට ගෙන ඒමට හැකිවුයේ යුද්ද සමයේ යටත් විජිත පාලකයා ලබාදුන්න එකී සහයෝගයත් සමගය.

කෙසේවුවද, යුද්දෙන් පස්සෙත් ලංකාවට තිරිගු පිටි දිගින් දිගටම ගෙන්වන්නට සිදුවිය. මන්දයත්, පාන් සදහා රටේ විශාල ඉල්ලුමක් පැන නැගී තිබුණ බැවිනි. එම නිසාම නිදහසින් පසුව පත්වූ සෑම රජයක්ම  ඕස්ට්‍රේලියාවෙන් පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයෙන් පවා පාන්පිටි ගෙන්වීමට කටයුතු කළේය. ඇමරිකාවේ PL480 ගිවිසුමෙනුත් පාන්පිටි ලංකාවට ගෙන්වා ගන්නා ලදී. තිරිගුපිටි හෙවත් පාන්පිටි ඒ කාලේ හදුන්වාදුන්නේ 'ඇමරිකන් පිටි' නමිනි. පාන්, බනිස්, රොටි කෑම ලක්වැසියන් අතර ප්‍රචලිතවීමත් සමග පාන්පිටි පිටරටින් ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වියදමක් දැරීමට සිදුව ඇත.    

මේ තත්වය තුල පාන්පිටි ගෙන්වීම වෙනුවට ශ්‍රී ලංකාවට තිරිගු ඇට ගෙනවිත් පාන්පිටි නිෂ්පාදනය කිරීම අරභම්බ කරනුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනියව සිටි ''සිය රට දේ සිරිසැප දේ'' යැයි යන ආදර්ශ පාඨය පෙරටුකරගත් 'සමගි පෙරමුණ ආණ්ඩුව' පැවති 1976 දීය. ත්‍රිකුණාමල වරායේ කොනක සිංගප්පූරු සමාගමක් තිරිගු ඇට පිටි කරන කර්මාන්තශාලාවක් ආරම්භ කරනුයේ ඒ සමයේය. එම සිංගප්පූරු සමාගම ලාභය පමණක් නෙව තිරිගු ඇට පිටි කිරීමෙන් ඉතිරිවන හොදම හරියවු 30%ක් පමණවන නිවුඩ්ඩ සහිත කොටස සිංගප්පුරුවට රැගෙන යන ලදී. සිංගප්පූරුව විසින් එම යුගයේ සිදුකල සාර්ථක ආයෝජනවලින් එකක් ලෙස ත්‍රිකුණාමලයේ පිහිටවූ ඔවුන්ගේ ඉහත කර්මාන්ත ශාලාව නම් කර තිබුණි.  

ත්‍රිකුණාමලයේ දැන්ඇති තට්ටු 07ක් උස ප්‍රීමා තිරිගුපිටි කම්හල බිහිවෙන්නේ 1977 පසුවය. එකම කර්මාන්ත ශාලාව සදහා විවිධ රටවලින් තිරිගු ඇට ගෙන්වනු ලැබේ. වර්තමානයේ  ලෝකයේ ප්‍රධාන වශයෙන් තිරිගු නිපදවන රටවල් වනුයේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය සහ යුරෝපා සංගමයට අයත් වෙනත් රටවල්ය. මේ දිනවල තිරිගු මොට්‍රික් ටොන් එකක මිල  ඇමරිකන් ඩොලර් 223 සිට 142 දක්වා විවිධ වර්ගවල අනුව මිල ගණන් නියමවන තිරිගු මිල දර්ශකය එතරම් වේගයෙන් උච්චාවචනය වෙනබවක් නොපෙන්වයි. එසේ වනුවේ තිරිගු නිපදවන රටවල් සියල්ලම පාහේ සිය දේශීය අවශ්‍යතාවය සදහා ප්‍රමුඛතාවයදීම නිසාය. එහෙත් තිරිගු නිපදවන සෑම රටක්ම පාහේ අපනයනය සදහාද ප්‍රමාණවත් තරම් තිරිගු නිපදවනු ලැබේ. බ්‍රිතාන්‍යයේ වුවද වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන පහක පමණ ප්‍රමාණයක් තිරිගු නිපදවන අතර ඉන් 84%ක්ම දේශීය පරිභෝජනය සදහා යොදාගැනේ. 

එසේ ගත්කල පේනී යනුවේ පාන්, බනිස්, පේස්ට්‍රි, කේක්, රොටි ආදී කෑම ජාති බහුලව භාවිතාකරන රටවල් ඔවුන් වවා ඔවුන් පරිබෝජනය කරන අතර, ශ්‍රී ලංකාව වැනි රටවල ජනයා ඔවුන් වවන දේ ණය වී ආනයනකර පරිබෝජනය කරයි. එය එම රටවලට ආර්ථිකමය වශයෙන් මෙන්ම පරිබෝජන රටාව අනුවද ගැටළුවකි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/07/2019

2 comments:

  1. ලංකාවේ තිරිඟු වවන්න බැරිද?

    ReplyDelete
  2. මම කැමතියි පුලුවන්නමි ඇට100gඑවන්න

    ReplyDelete