This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 22 March 2018

මීගමුව මහ නගර සභාව අන්ජබජල් ද?

නිමල් ලන්සාගේ තක්සේරුවට අනුව නම් හෙට මීගමුව මහ නගර සභාවේ බලය පිහිටවනුයේ ඔහුගේ සහෝදරයාවන පොහොට්ටුවෙන් තරගකල දයාන් ලන්සාය. පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහනගර සභාව ජයගත් එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දුට අනුව හෙට මීගමුව මහ නගර සභාවේ බලය පිහිටවනුවේ ඔහුය. එහෙත් ඇත්ත තත්වය නම් මීගමුවේ මහනගරසභාවේ බලය පිහිටුවන්නේ කවුද, නැද්ද යන්න තීරණය කරනුයේ රොයිස් විජිත ප්‍රනාන්දුවත්, නිමල් ලන්සාවත් නොව වෙනත් දේශපාලන බලවේගයන් විසින් බව දැන් පැහැදිලිය. 

තත්වය මෙසේ වී ඇත්තේ මීගමුව මහනගර සභාවේ කොට්ටාශ 29 යෙන් 19 ක්ම එක්සත් ජාතික පක්ෂය ජයගත්තද නව මැතිවරණ ක්‍රමය අනුව ආසන බෙදී ගිය ආකාරය සහ අවසාන ප්‍රතිපලය පහත සදහන් ආකාරයක් ගත් නිසාය. 

එ. ජා. පක්ෂය ඡන්ද  32,045   40.34% ආසන 19 
පොහොට්ටුව ඡන්ද    26,129   32.9%   ආසන  16 
ශ්‍රී. නි. පක්ෂය       9,661          12.16%    ආසන 6 
JVP   4,971      6.26%       ආසන 3 
ACMC (මොනරා)  2,224   2.8% ආසන 1 
කෙහෙල් ඇවරිය  2,053   2.58% ආසන 1 
ස්වාධීන (මාළුවා) 884 1.11% ආසන 1 
ස්වාධීන (සරුංගලේ)  795 1% ආසන 1 
මුළු සාමාජිකයන් 48 
වලංගු ඡන්ද 79,428 
ප්‍රතික්ෂේප වූ ඡන්ද 1,465 
මුළු ප්‍රකාශිත ඡන්ද 80,893 
ලියාපදිංචි ඡන්ද 110,383

ප්‍රතිපල නිකුත්වීමෙන් අනතුරුව නිමල් ලන්සා ප්‍රකාශ කල පරිදි ඔහු මීගමුව නගර සභාවේ බලය පිහිටවන බව දැක්වීය. මන්දයත්, ඔහු අනුග්‍රහය දැක්වූ, ඔහු වියදම් කර ඉදිරිපත්කර තිබු  ස්වාධීන කණ්ඩායම් දෙක වන මාළුවා සහ සරුංගලේ සහයෝගය පමණක් නොව කෙහෙල් ඇවරියේ මන්ත්‍රීවරයාගේ සහයෝගයද ඔහුට ඇති නිසාය. ඒ අනුව පරාජයවූ මීගමුවේ ලන්සා පාලනය යටිකූට්ටු ලෙස මන්ත්‍රී ධුර 19ක සහයෝගයක් ගොනුකරගෙන  ඇත. එය මීගමුවේ මැතිවරණ කොට්ටාශ වලින් 3න් 2ක් ජයග්‍රහණය කල එක්සත් ජාතික පක්ෂයේ ආසන19 හා සමවීමේ තත්වයකි. 

ඒ අනුව මීගමුව මහ නගර සභාවේ බලය පිහිටවීමට ඊලග විකල්පයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත යොමුවිය. වර්තමාන මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයාවන  ලලිත් ටෙන්සින් මහතාගේ නායකත්වය යටතේ ඔවුන් ආසන 06ක් දිනාගන්නා ලදී. ඒ ඔවුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්16 දෙනාගෙන් 3ක් හැර සෙසු සියල්ලෝම පොහොට්ටුවෙන් තරගකරන වාතාවරණයක් තුලය.  කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් තරගකර ජයගත් මන්ත්‍රීවරුන් අතරින් බහුතරයක් සිටිනුයේ නිමල් ලන්සාට පක්ෂපාතවය. ඒ අතරින් සකාවුල්ලා, පරීස් පමණක් නොව දෙමළ මන්ත්‍රීවරියක්ද වේ. 

මේ තත්වය තුල මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව මුණගැසී ඇය ලවාද, ඇගේ  හිතවතෙක් යැයි සැලකෙන මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයාවන  ලලිත් ටෙන්සින් මහතාගේ සහයෝගය ස්ථීර කරගැනීමට කටයුතු කළේය. ඉන් නොනැවතිනු රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඊයේ (21/03/18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව පැවති අතරතුර ක්‍රිස්තියානි කටයුතු සහ සංචාරක කටයුතු ඇමති ජෝන් අමරතුංග සමග පැමිණ මීගමුව මහ නගර සභාවේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතිව කුඩා ජාතික ආණ්ඩුවක් පිහිටවීමට ස්ථීර සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී සිරිසේන මහතාව ජයග්‍රහණය කිරීමට මීගමුවෙන් වැඩි ඡන්ද 30, 000 වඩා ලබාදීම නිසා රොයිස්ට උදව්වක් කලයුතු බව ජනාධිපතිවරයාගේ අදහසවිය.  "ඇරත් මේගොල්ලෝ දිනලා තියෙද්දී, එහෙම කරන්න පුලුවන්ද?" , "දුමින්ද මේ ගැන බලන්න" යනුවෙන් ශ්‍රී. නි. පක්ෂයේ ලේකම්වරයා වන දුමින්ද දිසානායක මහතාට අදාල කටයුත්ත පවරන ලදී.  "සර් මේගොල්ලෝ සල්ලි දීලා ගන්න යන්නේ" යැයි රොයිස් විජිත ප්‍රනාන්දු මහතා දැක්වුවිට, ශ්‍රී. නි. පක්ෂයේ ලේකම්වරයා දුමින්ද දිසානායක මහතාගේ අදහසවුයේ පැහැදිලිවම පක්ෂයේ ලේකම්වරයාගේ අණට පිටින් ක්‍රියාකරන සියලු මන්ත්‍රීවරුන් නෙරපා හැරීමට නව මැතිවරණ පනත අනුව තමන්ට හැකිබවය. 

මේ කාරණය නිමල් ලන්සා මිගමුව මහ නගර සභාවට  ශ්‍රී. නි. පක්ෂයේන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉල්ලාසිටි විට ඔවුන්ද ඔහුට දක්වා තිබේ. එහෙත් නිමල් ලන්සා කියා ඇත්තේ ඒ සියල්ල තමා බලාගන්නා බවත් ඒ ගැන 100ට 100ක වගකීම ඔහු ගන්නා බවත්ය. මේ අනුව ජනාධිපතිගේ හෝ පක්ෂ ලේකම්වරයාගේ අදහස් නොතකමින් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් නිමල් ලන්සා අනෙක් පැත්තෙන් එම මන්ත්‍රීවරු අතර ගොඩ නන්වමින් ඇත. 

මේ තත්වය තුල ඊලග වැදගත් අවධානය යොමුව ඇත්තේ රිෂ්ඩ් බදුර්දීන්ගේ ACMC (මොනරා) පක්ෂයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයාවන ඉයිෂාන්ගේ සහයෝගය ලබාගැනීම සම්බන්දයෙන්ය. මීගමුවට ප්‍රථමවරට තරගකල රිෂ්ඩ් බදුර්දීන්ගේ ACMC (මොනරා) පක්ෂයවටා බොහෝසේ ගොනුවී සිටියේ මීට පෙර මුස්‌ලිම් කොංග‍්‍රසයට (ගස සලකුණ) සහය දැක්වූ පිරිස්ය. ඉයිෂාන් මීට පෙර මුස්‌ලිම් කොංග‍්‍රසයෙන් තරගකර මන්ත්‍රීවරයෙකු පත්වී සිටි අතර ඔහු බොහෝදුරට දයාන් ලන්සාගේ සමීපතයෙක් ලෙස කටයුතුකර තිබේ. කෙසේවුවද රිෂ්ඩ් බදුර්දීන්ගේ ACMC (මොනරා) පක්ෂය යහපාලන රජයේ හවුල් පක්ෂයක් ලෙස කටයුතුකරන බැවින් ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට  මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අවස්ථා කිහිපයකදීම උත්සහකර තිබේ. පසුගිය 20දා (20/03/2018) ඔහු පෙරියමුල්ලේ අල් අමීරා හෝටලයේදී මීගමුවේ  ACMC (මොනරා) පක්ෂයේ  ප්‍රධානින්ව මුණගැසී මේ පිලිබදව සාකච්ඡා කලේය. ඒ රිෂ්ඩ් බදුර්දීන් ඇමතිවරයා මන්නාරම බලා යන අතර මීගමුවේ නැවතී සිය පක්ෂ ක්‍රියාකාරීන් හමුවී සාකච්ජා කර පැය කිහිපයකට පසුවය.  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුවේ ACMC (මොනරා) පක්ෂ ක්‍රියාකාරීන් හමුවුවිට ACMC (මොනරා) පක්ෂය ඔහුගෙන් විමසා ඇත්තේ "ඔබට පැහැදිලිවම බහුතරයක් ඔප්පුකල හැකිද ?" යනුවෙනි.  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා දක්වා ඇත්තේ තමන්ට මන්ත්‍රීවරුන් 22දෙදෙනෙකුට වඩා වැඩි සහයෝගයක් ඇතිබවය. එවිට මීගමුවේ  ACMC (මොනරා) පක්ෂ  ප්‍රධානින් ඔහුට දක්වා ඇත්තේ. ඔබට බහුතරය ඇත්නම් අපි ඔබට සහයෝගය දෙන්නම්, නැතිනම් ලන්සලාට සහයෝගය දෙන්නම් ලෙසය. එහිදී ඔවුන් දක්වා ඇත්තේ තමන්ගේ මන්ත්‍රීවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස වාඩිකරවීමට තමන්ට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරුත්තුව නොවන බවයි.  කෙසේවුද, මීගමුවේ  ACMC (මොනරා) පක්ෂ  ප්‍රධානින් මෙසේ කටයුතු කරමින් සිටින විට මීගමුවේ ප්‍රබල මුස්ලිම් තරුණ ව්‍යාසායකයෙක් රිෂ්ඩ් බදුර්දීන් ඇමතිවරයා මුණගැසීමට ගොස් මේ මොහොතේ නිමල් ලන්සගේ සහෝදරයා මීගමුවේ නගරාධිපති කිරීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාව නගරාධිපති කිරීමට සහයෝගයදීම සදාචාරාත්මක සහ නිවැරදිම දෙයලෙස පෙන්වා දී ඇත. එය රිෂ්ඩ් බදුර්දීන් ඇමතිවරයාද පිළිගත්බව පෙනේ. එහෙත් එහි මන්ත්‍රී  ඉයිෂාන් එය පිළිගනීවිද?

මේ සියලු ගණනය කිරීම සිදුවනුවේ මීගමුවේ JVP මන්ත්‍රීවරුන් තිදෙනා ලන්සලාට හෝ රොයිස්ට සහයෝගය දැක්වීමෙන් වැළකී සිටීයැයි යන උපකල්පනය මත සිටය. එහෙත්  දෙපාර්ශ්වයේම සහයෝගය ලබාගත හැකි නගරාධිපතිවරයෙක් යෝජ්නාකිරීමට ඔවුන්ගෙන් ඉඩක් පවතී. එම නම් අතර පොහොට්ටුවේ ජයවීර, ෂෙල්ටන් බෝතලේ ගම මෙන්ම එ. ජා. පක්ෂයේ මොහොමඩ් නිස්මිහාර්ගේ නම වුවද තිබීමට ඉඩ ඇත. 

කෙසේවුවද, නිමල් ලන්සාට කෙසේ හෝ මීගමුව නගර සභාවේ බලය ඇල්ලීමට අවශ්‍යවී තිබේ. ඒ සදහා මුදල් කෝටි ගනනින් වියදම් කර  මන්ත්‍රීවරයෙක්ගේ පක්ෂය මාරු කිරීමට හෝ මන්ත්‍රීවරයෙක් සභාගැබට පැමිණීම වැලක්වීමට හෝ වෙනත් කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ඔහු පසුබට නොවනු ඇත. 

ඒ සියල්ල බැරි උවහොත් මීගමුව බීච් පාක් එක සිය පියාට දිගටම කරගෙන යෑමට ඉඩදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාව නගරාධිපති කිරීමට සහයෝගය දීමට හෝ ඔහු ඉදිරිපත්වෙනු ඇත. මීගමුව නගරසභාවේ බලය ඔවුනට අවශ්‍ය වන්නේ  මීගමු නගරය දියුණු කිරීමට වඩා තම තමන්ගේ නිල සහ නිල නොවන සියළු ව්‍යාපාර තවදුරටත් කරගෙන යෑමට බව දැන් ඉතා පැහැදිලිය. මම මිට පෙරද මේ සම්බන්දව ලියා ඇත එය මීගමුවේ ලාන්සලාගේ පොහොට්ටුව පැරදවිය යුත්තේ ඇයි ? යන ලිපිය ඔස්සේ කියවිය හැක. 

නිමල් ලන්සාගේ මෙම අරමුණු දැන් මීගමුවේ මහජනයාට ඉතා හොදින් තේරුම් ගොස් හමාරය. ඔහුගේ රෙදිගැලවී හමාරය. මීගමුව ජනයාගේ අභිමතයට පිටින්ගොස් යටි කූට්ටු මාර්ග ඔස්සේ නැවත මීගමුව නගරසභාවේ බලය ඇල්ලීමට උත්සහකලහොත් එය ඔහු සිය දේශපාලන ජීවිතයේ සිදුකරන ලොකුම අනුවණකම වනු ඇත. එහින් පරාජය බාරගෙන මහත්මයෙක් ලෙස ඊලග අවස්ථාව වනතුරු පෙලගැසී සිටීම වඩාත් උචිත ක්‍රියාමාර්ගය වනු ඇත. මේ කාලයේදී සිදුවිය යුත්තේ නිමල් ලන්සා නම්වූ ජවසම්පන්න දේශපාලකගේ යහපත වඩා මතුකරගැනීමට ක්‍රියාකිරීම මිස. නිවැරදි නොවන ක්‍රියාමාර්ග ඔස්සේ තව තවත් අගාදයට වැටීම නොවේ. මේ තත්වය මීගමුවේ කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙක්ම ඔහුට පැහැදිලිකර දී තිබේ. නිමල් ලන්සා මෙන්ම දයාන් ලන්සාද ඔවුනට ඉතා හොදින් ඇහුම්කන් දෙයි, එහෙත් "ආත්මය කැමතිය, ශරීරය දුර්වලය'' - එය සැපම ඉල්ලයි. 


දුසමාන ආරංචි මාර්ගවලට රොයිස් විජිත ප්‍රනාන්දු මහතා  ජනාධිපතිවරයා (21/03/18) හමුවීමට ක්‍රිස්තියානි කටයුතු සහ සංචාරක කටයුතු ඇමති ජෝන් අමරතුංග සමග ගිය අවස්ථාවේ කිසියම් මුද්‍රා තැබු ලිපියක් ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයාට දුන් බවත්. එහි මුද්‍රාව බොහෝදුරට කාදිනල්වරයාගේ මුද්‍රාවට සමාන යැයි කියනු ලැබේ. මීගමුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම මැල්කම් රන්ජිත් කදිනල්වරයා මුණගැසී ඔහුගෙන් ආශිර්වාදයද ලබාගන්නා ලදී.   

කෙසේවුවද, මීගමුවේ මෙවැනි තත්වයක් උදාවෙන බව මැතිවරණ ප්‍රතිපල නිකුත්වීමටත් පෙර මම Facebook පිටුවේ පහත දැක්වෙන ලෙස සටහන් කරන ලදී:


මෙම මැතිවරණයේදී අපි බලාපොරොත්තුවූ ප්‍රතිපලය හෙට දිනය වනවිට නිකුත් වෙනු ඇත. එනම් මීගමුවේ ලාන්සලාගේ පොහොට්ටුව පරාජය වෙනු ඇත. මීගමුවේ UNPය ජයගත්තද, රටපුරාම ප්‍රතිපලය UNPයට සුභ නොවන බව අපි දැනන් සිටියෙමු. ඒ අනුව මීගමුවේ තියා රට තුළවත් UNPයට සිතු සිතු සෙල්ලම් කල නොහැකි වෙනු ඇත.
Marcus Priyantha Perera
10 February · ·

පැහැදිලිවම මෙම මැතිවරණයේදී අපිට අවශ්‍යවූයේ මීගමුවේ ලාන්සා පාලනය පරාජය කිරීමට. එහිලා අපට හේතු තිබුණි. එම හේතු සමහරවිට අදට වඩා හෙට වඩා වැදගත්වීමට ඉඩ තිබේ. එහින් එම හේතු සටන්පාඨ ලෙස සමාජ ගතකිරීමට අප නොපසුබට වන්නෙමු.




මාකස් ප්‍රියන්ත පෙරේරා
22/03/2018

පසුව ලියමි. 

දැන් ලැබුන තොරතුරුවලට අනුව මීගමුව මහනගර සභාවේ බලය අල්ලාගැනීමට නිමල් ලන්සා මෙහෙයවන පොහොට්ටුවට සමත්ව තිබේ. ඒඅනුව ඔහු මන්ත්‍රීවරුන් 25දෙනෙකුගේ සහයෝගය ඇතිව දයාන් ලාංසාව නගරාධිපති ලෙස පත්කර ඇත. පෙරියමුල්ලේ පරීස්ට උපනගරාධිපතිකම හිමිව තිබේ. ලාන්සලාට පක්ෂව ජන්දය දුන් අය අතර පොහොට්ටුවේ 19 දෙනාද, මාළුවාගේ සහ සරුංගලය ලකුණ යටතේ තරගකළ ස්වාධීන කණ්ඩායම් වල මන්ත්‍රීවරු 2 නාද, කෙහෙල් ඇවරියේ සහ මොනරාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලලිත් ටෙන්සිල් මහතා හැර ඉතිරි මන්ත්‍රීවරු 5දෙනාද ජන්දය දී ඇත. එක් එක්සත් ජාතික මන්ත්‍රීවරයෙක් අද නගරාධිපතිවරයා තේරීමේ චන්දයට පැමිණ නැත. එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට සිය මන්ත්‍රීවරුන් අතරින් 18 දෙනෙකුගේ චන්දයත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලලිත් ටෙන්සිල් මහතාගේ ඡන්දයත් පමණක් ලැබී තිබේ. ඒඅනුව 19ට 25ක් ලෙස නිමල් ලන්සා මෙහෙයවන පොහොට්ටුව මීගමුව මහනගර සභාවේ බලය අල්ලාගෙන සිය සොහොදරයා වන දයාන් ලන්සා නගරාධිපති ලෙස පත්කර ඇත. 

No comments:

Post a Comment