ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහලයන අපරාධ රැල්ල දැන් පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්ව ඇති අතර එය දැන් ප්‍රවෘත්තිවලින් එහාට ගමන්කර විවිධ රූපවාහිනී සාකච්චා වැඩසටහන් වල පවා ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබේ.
එය එක් අතකින් අපරාධවලට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ සිට අපරාධවලට පැමිණ වියහැකි උපරිම දඩුවම ලෙස මරණ දඩුවම පැමිණවීම දක්වා ද, අනෙක් අතින් සිය දුපතටම සීමා වී ප්‍රවෘත්ති නැතිව ඇති රටේ ප්‍රවෘත්ති මැවීම දක්වාද ගමන්කර ඇත.
ඉකුත්දා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දෙරණ වාදපිටිය වැඩසටහනේදී ළමයින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් වැඩිහිටියන්ට (පමණක්) පසුගිය සමයේ සිදුවූ ළමා මරණ ගැන අදහස් දැක්වීම මෙහි එක් කූටප්‍රාප්තියකි. එය ඉතා අනවශ්‍ය ලෙස ප්‍රේක්ෂකයන්ට කරුණු උලුප්පා දැක්වීමක් වූ අතර එවැනි ආකාරයේ අදහස් දැක්වීම් අපරාධ ගැන මහජනයාට කරුණු ඉදිරිපත් කිරීමේදී අත්‍යවශ්‍ය ද යන්න එය නරබන කෙනෙකුට සිතේ(එය අවශ්‍ය කෙනෙකුට මෙතනින් දැකිය හැක).
රන්ජන් රාමනායක මහතාගේ අදහස් දැක්වීම් පමණක් නොවේ, පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ඕනෑම අපරාධක් සම්බන්ධයෙන් රටේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලද ක්‍රියාකල ආකාරය සහාසික බව මගේ අදහසයි. එය එක් අතකින් විපතටපත් පාර්ශ්වයට තවතවත් සිත්වේදනාවන් ගෙන දෙන අතර තවත් පිරිසකට කුතුහලයක්ද, යම් මානසික තෙරපුමක් ද, විවිධ මානසික ව්‍යාදීන්ගෙන් පෙලෙන්නන්ට ආනන්දයක් ද ගෙන දෙන බව පෙනේ.
ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා මගින් අපරාධ සම්බන්ධයෙන් සිදුකරන සියළු ප්‍රවෘත්ති සහ සාකච්චා යම් ආකාරයකට ප්‍රමිතිගත කලයුතුය. විශේෂයෙන්ම සන්නද්ධ කැරැලි දෙකකට සහ තිස් අවුරුදු යුද්ධයකින් අනන්ත අප්‍රමාණ මිනීමැරීම්, වධහිංසා පැනවීම් සහ විවිධාකාර සහාසිකත්වයන්ගෙන් බැටකෑ රටක මාධ්‍ය මෙන්ම, එයට සහභාගීවන පුද්ගලයන්ද මිනිස් ජීවිත සහ අපරාධ ගැන ප්‍රවෘත්ති සහ සාකච්චා සම්බන්ධයෙන් අදහස් පළකිරීමකදී මෙයට වඩා සිතිය යුතුය. ආචාර්යධර්ම පද්ධතියක සිට අදහස් පලකලයුතුය.
අද අපට ඇත්තේ එදා මනම්පේරී ඝාතනය වූ විට හෝ සමන් කුමාර දරුවා ඝාතනය වූ විට ලත වූ ආකාරයට ඉසුරු ප්‍රියා සහ බාල චන්ද්‍රන් ඝාතනය වූ විට ලත නොවූ සමාජයකි. 71 දී, 87-89 දී පාරවල් දෙපස මරා දැමු තරුණ තරුණියන් වෙනුවෙන් දුක්වූ සමාජය මෙන් නොව උතුරේ එවැනි දේ දැක සතුටුවූ සමාජයකි. එවැනි සමාජයක මිනිස් ජීවිත සහ අපරාධ ගැන කරන ඕනෑ ප්‍රවෘත්තියකදී හෝ සාකච්චාවකදී අපට අවශ්‍ය වන්නේ සමාජය නැවත ප්‍රකෘතිමත් කරන මාධ්‍යයන්ය.
වහල් සේවය සදහා අප්‍රිකානු ජනයා නිර්ධය ලෙස යොදාගත් ආකාරය සහ ඒ සමයේ අප්‍රිකානු ජනයා මුහුණදුන් හිංසනයන් ගැන මෙන්ම හිට්ලර්ගේ නාසී පාලන සමයේ යුදෙව් ජනයා මුහුණදුන් හිංසනයන් ගැන ද යලි යලිත් අමු-අමුවේ සාකච්චාවට ලක්කීරීම එම සමාජයන් තුල සහාසිකත්වය ප්‍රතිසමාජගත කිරීමක් යැයි බටහිර පිළිගත් මතයක් පවතී. ඒහින් එවැනි කරණා සම්බන්දයෙන් සිදුකරන අදහස් දැක්වීම් දැඩි අවදානයකින් කරනමෙන් එම රටවල මාධ්‍ය ආයතනවලට නිලවශයෙන් නීත්‍යනුකූලව දැනුම් දී තිබේ.
එසේ නොවන සෑම අවස්ථාවකදීම සිදුවනුවේ අපරාධ පිළිබඳ ප්‍රවෘත්ති සහ සාකච්චා සහාසිකත්වටය කොයියම්ම ආකාරයකින් හෝ සහයදීමක් යැයි පිළිගැනේ.
අපරාධ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සහ සාකච්චාවලදී එම ස්ථාවරය අපේ රටවලටද ගැලපෙන ලෙස පිළිපැදීමට දැන් කාලය එලබ ඇත.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
30/09/15.
පින්තූරය - Pieter Bruegel the Elder ගේ The Fall of the Rebel Angels (1562) චිත්‍රයය.
රන්ජන් පසුගිය ආණ්ඩුවෙ මර්වින්ගෙ භූමිකාව රඟදක්වන්නයි යන්නෙ.ඔහු සිතන්නෙ සියල්ල රිදී තිරයෙ ජවනිකා කියල. අපරාධකරු එනව ,ළමා දූෂනය කරනව. ජනතාව කෑගහනව. එතකොට ස්ලෝමෝෂන් එකෙන් රන්ජන් ඩිං ඩිං ගාගෙන එනව .දුශ්ටය පරද්දනව.
ReplyDeleteරන්ජන්ගෙ කතා වම පරස්පරය තමා අල්ලන්නෙ නැත්තෙ. මට මතකයි සවුදියෙදි මරණ දඩුවමට ලක් වූ අය ගැන ඔහු කී කතා. රිසානා නෙමෙයි අපරාධවලට යොමුවූ අය වෙනුවෙනුත් රන්ජන් කතා කළා. එතනත් ඔහු දැම්මෙ සෙලෝලොයිඩ් ගොන් පාට් එකක් බව දැණුයි තේරෙන්නෙ
මම හිතන්නැහැ රන්ජන් මර්වින් ගානටම වැටෙයි කියලා. හැබැයි ලංකාවේ හුගක් දේශපාලනය කරන අයමෙන් හැගීමෙන් මිසක් බුද්ධියෙන් දේශපාලනය කරන මිනිහෙක් නම් නෙමෙයි. මිනිහා ටිකක් හොරකම් නොකරන බවක්නම් පෙන්නන්න උත්සහාකරනවා. ඒත් ඔබ කියනවා වගේ එයත් තව රගපෑමක් ද දන්නේ නැහැ. ඉස්සරහට බලාගත්හැකිනේ !
ReplyDelete