This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 18 December 2024

ඉංදියාව කළේ ඌරගේ මාළු ඌරගේ පිටේ තියා කැපූ එක ද?


මෙතෙක් කල් අධිපතිවාදී ඉංදියානු බලපෑමට එරෙහිව ලංකාවේ හිටපු ප්‍රධාන දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ අය තමයි "ඉංදියානු ව්‍යාප්තවාදය" නම් දේශපාලන සටන් පාඨයක් නිර්මාණය කරලා ලංකාව කෙරෙහි ඇති ඉංදියානු බලපෑම ගැන රට තුල දේශපාලන සවිඥානකත්වයක් ගොඩනැගීමට කටයුතු කළේ...

දේශපාලන ව්‍යාපාරයන් විදිහට ලංකා සමසමාජ පක්ෂය ඇතුළු ලංකාවේ වමේ පක්ෂ රටේ නිදහස/ස්වාධීනත්වය/ස්වෛරීත්වය වගේ දේවල් පිලිබදව නිදහස ලැබෙන කාලේ ඉදන් මතු කළත්, ජනතා විමුක්ති පෙරමුණ තරම් ඔය මාතෘකා පිලිබදව පෙනී හිටපු වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් රටේ තවත් නොතියෙන්න ඇති.

D.S. සේනානායක නම් නිදහස ගත්ත කාලේදීම බ්‍රිතාන්‍යය එක්ක ආරක්ෂක ගිවිසුමක් හදාගෙන, කටුනායක RAF එකයි, ත්‍රිකුණාමලයේ RN එකයි පවත්වාගෙන යන්න ඉඩදීලා ලංකාව කෙරෙහි ඇති ඉංදියානු බලපෑමට මුහුණ දෙන්න කටයුතු කළා. ජෝන් කොතලාවල අගමැති කාලේ දී (1954) ඉංදියාවේ ජවහර්ලාල් නේරු වගේ දැවැන්තයෙකුට එරෙහිව කෙලින්ම විරෝධය දක්වන්නත් කටයුතු කළා ("not to take small neighbors for granted"). බණ්ඩාරනායකලා ඉංදියාව එක්ක සමීප මිත්‍රත්වයක් ඇතිව කටයුතු කරලා ලංකාව කෙරෙහි ඇති ඉංදියානු බලපෑම රටට බලපෑමක් නොවන තැනකට පරිවර්තනය කරගත්තා..

ඒත් ඊට පස්සේ කාලේදී, රටේ ආර්ථික හා දේශපාලනය උපාය මාර්ග මුල්කරගෙන J.R. ජයවර්ධන ඉංදියාව නොතකා කටයුතු කරන්න යෑම නිසා ඉංදියාව ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමට කටයුතු කළාම J.R. ජයවර්ධනට අනියමින් හෝ එයට මුහුණ දෙන්න හැකිවුනේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේග ඒ මොහොතේ දැක්වූ දැවැන්ත ඉංදියානු විරෝධය පදනම් කරගෙනයි. ඕනේ නම් J.N. Dixit ගේ Assignment Colombo (කොළඹ භූමිකාව) පොත කියවලා බලන්න ඉංදියානු හමුදා ලංකාවට ගෙන්නුවේ ඉංදියාව වත්, රජිව් ගාන්ධිවත් නෙමෙයි: J.R. ජයවර්ධන...

ජනතා විමුක්ති පෙරමුණ දකුණේ ඇතිකර තිබූ තත්වයට මුහුණ දෙන්න උතුරෙන් ලංකා හමුදා දකුණට ගෙන්වන්න අවශ්‍ය නිසා උතුරේ සාම සාධනය කරන්න J.R. ජයවර්ධන තමයි ඉංදියාවේන් හමුදාව ඉල්ලුවේ.. ඊට පස්සේ L.T. T. E ය හා ඉංදියානු රජය අතර ගැටළු ඇතිවෙන්නත්, ඒ ගැටළු පස්සේ L.T. T. E ය හා ඉංදියානු හමුදා අතර ගැටුමක් බවට පත්කරන්නත් J.R. ගේ කටයුතු හේතුවුනා කියලා J.N. Dixit කියනවා..

ඒ සියල්ලටම හේතු වුනේ ජනතා විමුක්ති පෙරමුණ දැක්වු ඉංදියානු විරෝධය හා ඒ මත පදනම්ව J.R. ගේ උපායමාර්ගික මැදිහත්වීම. ජනාධිපති ප්‍රේමදාසටත් ඉංදියානු හමුදා රටින් එලවන්න හේතු වුනෙත් ජනතා විමුක්ති පෙරමුණේ ඉංදියානු විරෝධී මැදිහත්වීම. නැවැතත් ජනතා විමුක්ති පෙරමුණේ ඉංදියානු විරෝධය දේශපාලන උපායමාර්ගයක් ලෙස යොදාගත්තේ රනිල් වික්‍රමසිංහ. ඔහු ඉංදියාවේ නරේන්ද්‍ර මෝදීගේ රජයේ මැදිහත්වීමෙන් ඉදිරිපත් වු 'ETCA' (එට්කා) වැඩපිලිවෙළ ඔස්සේ ඒ මොහොතේ රටේ බංකොලොත්භාවයට යම් යම් උදව් උපකාර ගන්න ගමන් 'ETCA' (එට්කා) ගිවිසුමේ කාරණා ඒ වේගයෙන්ම දියත්වීමේ වේගය අඩපන කිරීමට හෝ ක්‍රියාත්මකවීම පමා කිරීමට යොදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය.

ඊයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හා ඉංදියානු අගමැති මෝදී හමුවේ ද්වීපාර්ශික නිවේදන අනුව දැන් පෙනී යන්නේ මෙතෙක් ඇණ හිට තිබූ 'ETCA' (එට්කා) කාරණා වේගයෙන් දියත්වීමට කටයුතු යෙදීමයි.. මෙතෙක් පමා කරමින් තිබූ ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ ජාලයන් ඉංදියාවට සම්බන්ධ කිරීම, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීම වැනි 'ETCA' (එට්කා) ගිවිසුමේ කාරණා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සහයෝගයක් ගොඩනැගෙන බව දැක්වූවා. ඒ විතරක් නෙමේ ත්‍රිකුණාමලයේ සාම්පූර් සූර්ය බල ශක්ති ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කරන බව මෝදී අනුර ඉදිරියේදීම දක්වනවා...අනුර කර කියාගත හැකි කිසිවක් නොමැතිව මෝදි දිහා බලන් ඉන්නවා...

ඉංදියාව කර ඇත්තේ මෙතෙක් රටේ ස්වෛරීත්වය පිලිබදව දැඩි අදිටනකින් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දරණ මාලිමාවේ ආණ්ඩුව ලවාම ඉංදියානු අභිලාෂයන් ලංකාව තුල මුදුන්පත් කරගැනීමට යෑම නොවේද? ඌරගේ මාළු ඌරගේ පිටේම තියා කපනවා කියන්නේ මේවට නෙමේ ද?

මෙයට මුහුණ දීමට අතිවිශාල ජනවරමක් සහිත මාලිමා රජය කෙසේ කටයුතු කරාවිද? මෙම පෙලගැසීමට එරෙහිව රටේ වෙනත් බලවේග කෙසේ කටයුතු කරාවි ද? බලා සිටිමු!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/12/24

Friday, 13 December 2024

'දේශපාලන අභිලාෂයන්' වෙනුවෙන් ක්‍රියාත්මක වෙන 'බුද්ධි අංශ මෙහෙයුම්' මේ ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මකයි


පසුගිය දා Sunanda Deshapriya මහතා 'Sri Lanka Brief' වෙබ් අඩවියට, 11.12.2024, ලියා ඇති ලිපිය බලන්න....(එය මෙම යොමුවෙන් කියවිය හැක)එම ලිපියේ ඇත්තේ මේ ආණ්ඩුව යටතේත් 'දේශපාලන අභිලාෂයන්' වෙනුවෙන් ක්‍රියාත්මක වෙන 'බුද්ධි අංශ මෙහෙයුම්' තවදුරටත් ක්‍රියාත්මකයි කියන එකයි.

දේශප්‍රිය මහතාගේ ලිපියේ දක්වා ඇත්තේ: "පසුගිය දෙසැම්බර් 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයාව පුද්ගලයා අල්ලා තලංගම පොලිසියට බාර දුන්නත්...ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම දේශපාලඥයෙකු විසින් තලංගම පොලිසියට කතා කර එම පුද්ගලයාව නිදහස් කරන ලෙස දැන් වූ බවයි." එම ලිපියේම තව දුරටත් දැක්වන්නේ එසේ පොලීසියට කතාකර අදාල යුද්ධ හමුදා නිලධාරීයා නිදහස් කර ඇත්තේ "නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකර විය හැකි..." බවයි.

මෙයින් පෙනී යන්නේ මොකක්ද? මේ ආණ්ඩුව යටතේත් 'දේශපාලන අභිලාෂයන්' වෙනුවෙන් ක්‍රියාත්මක වෙන 'බුද්ධි අංශ මෙහෙයුම්' තවදුරටත් ක්‍රියාත්මකයි කියන එක නෙමේද?

ඒ විතරක් නෙමේ එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ඒ සදහා අවශ්‍යය රාජ්‍යය ආරක්ෂාවත් ආණ්ඩුවේන්ම, ආණ්ඩුවේ දේශපාලඥයින් විසින්ම සලසා දෙනවා කියන එක නෙමේද?

ඒ වගේම බත්තරමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් අදාල යුද්ධ හමුදා නිලධාරීයාව අත් අඩංගුවට ගත්විට ඔහුව නිදහස් කිරීමට ඉදිරිපත් වෙලා ඇත්තේ මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යැයි සැක කිරීමෙන්ම පෙනී යන්නේ මේ ආණ්ඩුව සමගත් මිලිටරි හස්තයින් සම්බන්ධ වී ඇති බව නොවේද?

මාලිමාව හැදෙන කාලේම මාලදිවයිනේ පැවැති මාලිමාවේ රැස්වීමකට රෝහණ විජේවීර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති, එවකට මාලදිවයිනේ ශ්‍රී ලංකා තනාධිපතිවරයාව සිටි, මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධවීමත්, ඊට පසුව මාලිමාවට සම්බන්ධ විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමුහිකයක් ගොඩනැගීමත්, මාලිමා රජය යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස උතුරේ යුද්ධයේ අවසාන අදියරේදී ඉවක් බවක් නැතිව බැරල් බෝම්බ දැමුවායි චෝදනා එල්ලවු එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා පත්කිරීමත්, මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිකම ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායකට හිමිවෙද්දි නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට හිමිවන්නෙත්, මාලිමා රජය දක්වාත් ශ්‍රි ලංකාවේ ඇති ප්‍රබල මිලිටරි රාජ්‍යය හස්තය දිගුවීම නිසා නොවේදැයි පැහැදිලිවම අවධානයට ලක්වන්නක්. මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකම හිමිවීම සම්බන්ධයෙන් ලංඩනයේ Tamil Gurdian පුවත්පත දක්වාලූයේ ඔහු අපරාධකරුවෙකු මෙන්ම ලමා ලිංගික ජාවාරම් හා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හයිටියේ සිටි ශ්‍රී ලංකා සාම සාධක බලකායේ ද ප්‍රධානියාව සිටි බවයි (අදාල ලිපිය මෙතනින් කියවිය හැක).

ශ්‍රී ලංකාවේ මිලිටරි බලවේගත්, රට තුල මුල් බැසගෙන ඇති අධිපති සිංහල - බෞද්ධ ස්වෝත්මවාදීන්ගේත් එකතුවක් ලෙස නිර්මාණය වී ඇතැයි සැලකෙන ශ්‍රී ලංකාවේ රාජ්‍යය තුල ක්‍රියාත්මකවන පාර රාජ්‍යය (deep state) හෙවත් අදෘශ්‍යමාන මිලිටරි හස්තය පිලිබදව මුලින්ම මතුකලේ නව සමසමාජ පක්ෂයේ නායකයා වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතායි. ඒ හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්. වික්‍රමබාහු එහිදී ඇසුවේ: "කදීර්ට එකම තැන, එකම වෙලාවට නාන්න දුන්නේ කවුද?" යන්නයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රාජ්‍යය තුල ක්‍රියාත්මකවන බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත පාර රාජ්‍යය (deep state) බලවේග ගැන වඩාත් හෙලිදරව් වුනේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන වාර්තාවෙන් පසුවයි.. ඉන් අනතුරුව සුනන්ද දේශප්‍රිය මහතා ලියූ 'පාස්කු ඉරිදා ප්‍රහාරය හා පාර රාජ්‍යය හෙවනැලි' කෘතියේ ද මෙම බලවේග පිලිබදව සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

ඇත්ත වශයෙන් පාස්කු ප්‍රහාරයේ සත්‍යය හා යුක්තිය හෙලිකර ගැනීම යනු වත්මන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සැකැස්ම ගැන පැහැදිලි හෙළිදරව්වක් සිදුකර ගැනීමක් යැයි දක්වන්නේම ඒ අර්ථයෙන්මයි..

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/12/24

Wednesday, 11 December 2024

නොත්‍ර දාමයේ ඝංඨා නද නැවැත ඇසේ

 

"නොත්‍ර දාමයේ ඝංඨාර නාදය අපගේ ඉතිහාසය සමඟ අප වෙත පැමිණ තිබේ.. අපි මෙම බිඳෙන සුළු බව, නිහතමානය සහ අභිප්‍රාය පිළිබඳ මෙම පාඩම නිධන් කරගත යුතුය.. මෙම දෙව්මැදුරේ ග්‍රේෂ්ඨත්වය සියළු දෙනාගේ කැපවීමෙන් වෙන් කරගත නොහැකිය. එක් එක් පුද්ගලයා කොතරම් වැදගත් ද යන්න කිසිදා අමතක නොකරන ලෙස එය අපට මතක් කර දෙයි..Notre-Dame යේ ඝංඨාර නාදය අපට දැන් නැවත ඇසේ - The bells of Notre-Dame have accompanied our history. We must treasure this lesson of fragility, humility, and will...The greatness of this cathedral is inseparable from the work of all, reminding us to never forget how much each person matters..the bells of Notre Dame are ringing again.."

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron එසේ පැවසුයේ 2019 ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර ගිනිගෙන දැවුනු ප්‍රංශයේ පැරිස් ආසන දෙව්මැදුර වන Notre-Dame දේවස්ථානය නැවත පිලිසකර කර ප්‍රතිස්ථාපනය කළ මොහොතේ ය.

මහත් ඓතිහාසික වටිනාකමක් මෙන්ම කලා නිර්මාණ, සංස්කෘතික දායාද රාශියකින්ම යුක්ත වූ පැරීසියේ නොත්‍ර දාමේ දේවස්ථානය දැවී අළුවෙමින් යන මොහොතේ දැනුන හැගීම 'නොත්‍ර දාමය අප හද තුල ඇවිල වූ ගින්න' නමින් මම කලකට පෙර සටහන් කර ඇත්තෙමි.

ගින්නෙන් පසු, ලොව පුරාම වෙසෙන දානපතියන්, ප්‍රභූන්, භක්තිවන්තයින් හා විවිධ ශිල්පීය නිපුණයන් නොත්‍ර දාමය නැවැත ගොඩනන්වන්නට විවිධ අයුරින් දායක වෙන ලදි. එය එක්තරා ආකාරය ඉතිහාසය නැවැත ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් බදුවිය. මම ද දිනකට හෝ පැරීසියට ගිය සෑම විටම නැවැත බිහිවෙන නොත්‍ර දාමය නැරබීමට අමතක නොකළෙමි. මේ වසරේ පැරීසියේ පැවැති ඔලිම්පික් උලෙළට සමගාමීව එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවේ යැයි සිතා සිටිය ද එය තවත් මාස කිහිපයක්ම පමාවිය.

ගිනි ගෙන වසර 5කට පසු, එනම් පසුගිය දෙසැම්බර් 07 වෙනිදා එය නැවැත ප්‍රතිසංස්කරණය කර ජනයාට විවෘත කරණ ලද්දේ ප්‍රංශයේ හා ලොව පුරාම විවිධ රටවලින් පැමිණි කතෝලික රදගුරුවරුන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති දිව්‍යය පුජාවකිනි.

තවද එම උත්කර්ෂවත් අවස්ථාවේ වැදගත්කම සටහන්කරීමට ප්‍රංශ ජනාධිපති ඇතුළු ප්‍රංශ රාජ්‍යය තාන්ත්‍රිකයන් ද, ඇමැරිකා එ. ජනපදයේ ඊලග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ද, යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි ද, ජර්මන් ජනාධිපති ඇතුළු යුරෝපා සංගමයට අයත් රාජ්‍යය නායකයි ද පැමිණ සිටියහ.

එම ඓතිහාසික අවස්ථාවේ සංස්කෘතික අගය උත්කර්ෂයට නගමින් කැනේඩියානු ජාතික Garou විසින් නොත්‍ර දාමයේ කුදාගේ (Quasimodo) විලාපය නම් ගායනයද, Julie Fuchs ගේ Laudate Dominum ද, ගිටාරය වාදනය කරමින් Vianney ගැයූ Leonard Cohen's ගේ Hallelujah (ආලේලූයියා) ප්‍රංශය භාෂාවෙන් ගැයුම ද විශිෂ්ඨය. ප්‍රංශයේ Gustavo Dudamel විසින් එම සංස්කෘතික ප්‍රසංගය මෙහෙය වන ලදි.

දැන් Youtube ඔස්සේ නැරඹීය හැකි එම වැඩසටහන නරඹන සෑම විටම මගේ මතකයට නැගෙන්නේ ප්‍රතිස්ථාපනයෙන් පසු නොත්‍ර දාමේ දේවස්ථානය නැවත විවෘත කරමින් ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සිදුකල ප්‍රකාශය ය - the bells of Notre Dame are ringing again!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/12/24

Monday, 2 December 2024

ජෝන් ඒ. ප්‍රනාන්දු නම් වූ මීගමුවේ ප්‍රකට අධ්‍යාපනඥයා

මීගමුවේ ප්‍රකට අධ්‍යාපනඥයකු වූ ගරු ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. 1932, දෙසැම්බර් 12 දින උපන් ඒ මහතා මියයන විට වයස අවුරුදු 92 ක් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ඇතුළු පාසැල් 05 ක ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර තිබූ ඒ මහතා මීගමුව සා. පීතර විදුහලට අප ඇතුල්වන විටත් එහි විදුහල්පතිවරයා විය. 1980 දශකයේ දී මීගමුව සා. පීතර විදුහල අත්කරගත් අතිමහත් ජනප්‍රියත්වය හා කීර්තිය පිටුපස සිටි නියමුවා වුයේ ඒ මහතාය.

ගුරුවරයෙකු හා විදුහල්පතිවරයෙකුව සිටියදීම මීගමුවේ ගම් නියන්ගම් පුරා ඒ මහතා දිනා සිටි පිලිගැනීම හා ගෞරවාදරය නිසාම එවකට මීගමුව නියෝජනය කළ එ. ජා. පක්ෂයේ ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ දේශපාලන අදිකාරියේ ද්වේශයට පාත්‍ර විය. ජේ.ආර් ජයවර්ධන රජයේ හිටපු කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයෙකු වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා දූෂිතයෙකු නොවූන නමුදු දේශපාලන වශයෙන් අදූරදර්ශිකයෙකු විය. ඔහු වටා සිටි අගක් මුලක් නොදන්නා කේවට්ටයින්ගේ බහට ඇහුම්කන් දෙමින් තමාගෙන් පසු මීගමුවේ දේශපාලකයෙකු ලෙස ඔසවා තැබිය හැකිව තිබූ මීගමු සා. පීතරයේ ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමා සමග ඔහු එදිරිවාදිකම් ඇතිකර ගත්හ.

ක්‍රමයෙන් මහත් ජනප්‍රියත්වයට පත්වෙමින් සිටි ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමාව එම තනතුරින් හෝ මීගමුවේ සා.පීතරයෙන් ඉවත් කිරීමට ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයා අදිටන් කරගෙන සිටියහ. එහෙත් ඔහුට එය කරගැනීමට නොහැකිවූයේ කතෝලික සභාව ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිවරයා සමග වූ බැවිනි.

විශේෂයෙන්ම එවකට කොළඹ අගරදගුරුවරයා වූ ගරු නිකලස් මාකස් අගරදගුරුවරයා ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිවරයා සමග සා. ඇලෝසියස් දෙව්සත් හළේ එකට ඉගෙනගත් සමකාලීනයන්වීම නිසාත්, මීගමුවේ අධ්‍යාපනය නන්වාලීමට ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා කතෝලික පල්ලිය සමග බොහෝ කටයුතුවල නිරතවීම නිසාත්, ප්‍රදේශයේ ජනයාගේ විශාල සහයක් හිමිව තිබූ නිසාත්, ඇමැති ඩෙන්සිල් ප්‍රනාන්දු ගේ දේශපාලනය අදිකාරිය තඹ සතයකටවත් මායිම් නොකරමින් කටයුතු කිරීමට ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමාට හැකි විය.

ගලන ගඟක් නැවැතිය නොහැක්කාක් සේ දක්ෂයෙකු ලෙස පිලිගැනීමට ලක්ව සිටි ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමා ගේ දේශපාලන සම්ප්‍රාප්තිය ඩෙන්සිල්ලාට නැවතිය නොහැකි විය. මීගමුවේ නියෝජ්‍යය නගරාධිපතිවරයා ලෙස පත්වූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාව ද නියෝජනය කළේය. ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ජෝන් ඒ. ප්‍රනාන්දු මහතාව රෝමයේ කොන්සාල්වරයෙකු ලෙස ද පත්කර යවන ලදි.

එතුමා ගේ සහෝදරියක් (ව්නී ටීචර්) හා සහෝදරයෙක් (මාරිස්ටෙලා විදුහලේ මරියනස් මාස්ටර්) ද ගුරුවරුන් ලෙස මීගමුවේ නමක් දිනාගෙන සිටියේය. මීගමුව පෙරියමුල්ල ඇලපාරේ පදිංචිව සිටි ඒ මහතා පසුව එම දේපළ විකුණා දමා කටාන දිසාගෙවත්තේ පදිංචියට ගියේය. එසේ පදිංචියට ගිය ද ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා නිතර සිය උපන් ගම් පලාතට පැමිණිමට අමතක නොකළේය. එසේ පැමිණිවිට අපගේ නිවසට ද නිතර පැමිණෙන ඒ මහතා අපේ දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සමග ද කාලාන්තරයක් පුරා පැවැති හිතවත්කම් සිහි කළේය. අපේ පියා (ෆීලික්ස් පෙරේරා) ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා විදුහල්පතිවරයෙකුව සිටියදී පාසැලේ කටයුතු සම්බන්ධයෙන් ද, එතුමා හා ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයා අතර ආරවුල් පැවති වකවානුවේදී මැදිහත්කරුවෙකු ලෙස ද කටයුතු කර තිබුණි. එම හැදුනුම්කම් නිසාම එතුමාගේ පුතෙක් කාලයක් කරගෙන ගිය මීගමුවේ ලියෝ සමාජ ශාලාවේ snooker, pool, සහ billiards ක්‍රිඩාවේ නිරතවිමට අපිට දිවා කාලයේදී දොරටු විවෘත විය. දැන් මීගමුවේ ගැටවරයන්ට එසේ snooker, pool, සහ billiards ක්‍රිඩාවේ නිරතවීමට අවස්ථාවක් හා ස්ථානයක් නැත්තටම නැති තරම්ය. 

ජෝන්. ඒ ප්‍රනාන්දු මහතා කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ද විශාල උනන්දුවක් තිබූ උගතෙක් විය. මීගමුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මීගමුව සා. පීතර දේවස්ථානයේ තිබෙන කාලයේ දී මෙන්ම, එම සුරුවම මීගමුව නගර මධ්‍යයේ සිට දූවේ සින්දාත්‍රි දේවස්ථානයට රැගෙන ඒම හා රැගෙන යාමේදී ද, සා. පීතර පාස්කු  දර්ශනය සම්බන්ධයෙන් ද මහත් කැපවීමෙන් දායකවිය. අධ්‍යාපන විෂය අලළා ග්‍රන්ථ කිහිපයක්ම කර ඇති ඒ මහතා  මීගමුව සා. පීතර විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට උත්ථාන වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කළේය (මෙම නිර්මාණය මීගමුවේ සුප්‍රකට කලා ශිල්පියෙකු වූ N.S. ගොඩමාන්න කලාකරුවා විසින් සිදුකළේ යැයි පැවැති මතය අනුව මම එතුමාගේ නම සදහන් කළ ද එම නිර්මාණය කළේ ගොඩමාන්න කලාකරුවා නොවේ යැයි එම පවුලේ අය දන්වා සිටින ලදි. ඒ අනුව එම නිර්මාණයේ නිර්මාණ ශිල්පියා කවුරුන් දැයි නිශ්චිත කර ගත යුතුව ඇත).  

බෞද්ධ කලා සම්ප්‍රදායේ පවතින ගෞතම බුදුන් වහන්සේගේ අංග ලක්ෂණ ඇසුරෙන් නිර්මාණය කළ  අඩි 8 ක් පමණ උස වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ එම ප්‍රතිමාව බොහෝ විචාරකයින්ගේ උදහසට ලක්වූවක් විය. එහෙත් ක්‍රිස්තියානි කලාව ප්‍රකට කරණ විවිධ සමාජයන් හී සම්මිශ්‍ර ලක්ෂණ පිළිබඳව වූ  විශ්වීය කතිකාවන් ඇසුරින් කරුණු ඉදිරිපත් කරමින් එම ක්‍රිස්තු ප්‍රතිමාවේ නිර්මාණාත්මක අගය ජනයාට අවබෝධකර ලීමට ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල එම ප්‍රතිමාව ගැන රූපවාහිනී වැඩසටහනකට එතුමා අදහස් දක්වා ලූ ආකාරය මට අදත් මතකය. එතුමාගේ විස්තර කිරීම් හුදෙක් එම නිර්මාණය හා අප විදුහල ද ලාංකිකයන් අතරට ගෙන ගියේය.

මීගමුව සා.පීතර විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට තිබූ එම ප්‍රතිමාව විදුහලේ පිහිණුම් තටාකය ඉදිකිරීමට විදුහල් පුස්තකාලය දෙසට රැගෙන යන ලදි. මහත් සංස්කෘතික වටිනාකමක් ඇති එම ප්‍රතිමාව පාසැල් භූමියේ කොනකට සීමා නොකර, මීගමුව සා. පීතර විදුහලේ තාප්පයක් කඩා හෝ ඉඩක් වෙන්කරගෙන, රටේ ජනයාට ද දැක බලා ගත හැකි සේ නැවැත ස්ථානගත කළ හැකි නම් එය මීගමුව සා. පීතරය විදුහලට ද, අදාල කලාකරුවා ඇතුළු මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවයට ද, ජෝන්. ඒ ප්‍රනාන්දු නම් මීගමුවේ කීර්තිමත් අධ්‍යාපනඥට ද සිදුකරන මහා උපහාරයකි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා  
30/11/24 

* පසුව ලියමි - මීගමුව සා. පිතර විදුහලේ ප්‍රතිමාව නිර්මාණය මීගමුවේ සුප්‍රකට කලා ශිල්පියෙකු වූ N.S. ගොඩමාන්න කලාකරුවා විසින් සිදුකළේ යැයි පැවැති මතය අනුව මම එතුමාගේ නම සදහන් කළ ද එම නිර්මාණය කළේ ගොඩමාන්න කලාකරුවා නොවේ යැයි එම පවුලේ අය දන්වා සිටින ලදි. ඒ අනුව එම නිර්මාණයේ නිර්මාණ ශිල්පියා කවුරුන් දැයි නිශ්චිත කර ගත යුතුව ඇත.

Monday, 25 November 2024

"නිධානය"- නිර්මාණාත්මක යාථාර්ථයක්ද?

ඔය නිධන් ගොඩගන්න යන කථා ඇහැද්දී මට මතක්වෙන්නේ කාලේකට කලින් ලෙස්ටර් ජේමිස් පිරිස් සිළුමිණ පුවත්පතට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවක්.

ලෙස්ටර් ජේමිස් පීරිස් 'නිධානය' චිත්‍රපටය කරන්න කලින් ඒ චිත්‍රපටය පදනම් වූ 'නිධානය' කෙටිකතාව ලියූ ජී. බී සේනානායකව හමුවෙන්න ජී. බී. සේනානායකගේ කදානේ නිවසයට ගිහින් එහිදී ඇතිවූ කතා බහක් ගැන විස්තරයක් ඒ සම්මුඛ සාකච්ඡාවේ පළවෙලා තිබුනා.

කෙටිකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් කිරීම ලේසි නැති නිසා, එම කෙටිකතාවට පදනම් වූ කිසියම් සිද්ධියක්, වස්තු බීජයක්, වෙනත් කතාවක් තියෙනවා ද කියලා තොරතුරු හොයා බැලීම තමයි ලෙස්ටර් ජේමිස් පීරිස් හා ජී. බී සේනානායක අතර ඇතිවූ එම හමුවේ මුඛ්‍යය අරමුණ වී ඇත්තේ.

එම හමුවීමෙන් පසුව ලෙස්ටර් ජේමිස් පීරිස් තේරුම් ගත්තු දෙයක් තමයි ලූ ජී. බී. සේනානායක 'නිධානය' කෙටිකතාව ලියලා තියෙන්නේ අභ්‍යන්තර වශයෙන් කඩාවැටුන මනුෂ්‍යයෙක්ගේ චිත්ත ස්වභාවය මනෝ මූලිකව විනිවිද දැකීමට බව.

ඒ ප්‍රස්තුතයම තමන්ගේ 'නිධානය' චිත්‍රපටය තුලින් ද නිරූපනය කිරීමට තමන් උත්සාහ ගත් බවක් ද සිළුමිණ පත්තරේ පලවු ලෙස්ටර් ජේමිස් පීරිස් ලබා දුන් එම සම්මුඛ සාකච්ඡාවේ දක්වා තිබුනා.

'නිධානය' චිත්‍රපටය විචාරය කරපු බොහෝ ලාංකික සිනමා විචාරකයෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිළුමිණ පුවත්පත්ට ලබාදුන් එම සම්මුඛ සාකච්ඡාව 'නිධානය' චිත්‍රපටය විචාරය කිරීමේ පදනම ලෙස භාවිතා කළ බවක් ද පෙනී යනවා. "එය කළේ මා නොව මා තුළ සැඟ වී සිට එවේලෙහි මට ආවේශ වූ යක්ෂයකු විසිනැයි සිතමි” යැයි කියන දෙබස් කාණ්ඩය එම චිත්‍රපටය විචාරය කරද්දී නිතර මතුවෙන්නේ ඒ නිසා වෙන්න පුලුවන්.

මගේ අවධානය ඒ ගැන නෙමේ..

මගේ ප්‍රශ්ණය, ජීවිතය ජී. බී. සේනානායක වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් ද ඔවුන් ඔවුන්ගේ 'නිධානය' නිර්මාණයන් ඔස්සේ කියන්න හදන්නේ 'මිනිසෙකු අභ්‍යන්තර වශයෙන් කඩාවැටුනාම මොනතරම් පිරිහෙනවා ද' යන්න නම්:

අධිකරණය, පොලීසිය, හමුදාව, පතල් හා කැනීම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍යය මැදිහත්වීමෙන් සිදුකළ 'වේයන්ගොඩ නිධානය' කැනීමෙන් කියවෙන්නේ නිධන් විස්වාස කරන්න තරම් ශ්‍රී ලාංකා රාජ්‍යය මනෝ මූලික හා මතවාදීමය වශයෙන් පවා අභ්‍යන්තර වශයෙන් මොන තරම් පිරිහෙලා යන්න නෙමේ ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
24/11/24

Thursday, 7 November 2024

දෙවියෝ ට්‍රම්ප්ගේ ජීවිතය බේරුවේ ද?


"God spared my life for a reason" - 

දෙයියෝ එයාගේ ජීවිතය බේරුවේ හේතුවක් ඇතිවයි කියලා ජනාධිපතිවරණය දින්නයින් පස්සේ ට්‍රම්ප් කිව්වා.. දැන් ඒක හැම මධ්‍යයකම ලොකු අකුරින් පළවෙලා තියෙනවා. 

ඝාතන තැතකින් දෙය්යෝ ඔහුගේ ජිවිතය බේරුවේ මොන හේතුවක් ඇතිව ද? යන්න ගැන කියන්න අපි කවුරුත් දන්නේ නෑ.. ඒත් ඇමැරිකානු ක්‍රිස්තියානි කණ්ඩායම් ට්‍රම්ප්ගේ ජය වෙනුවෙන් දැඩි මැදිහත්වීමකින් කටයුතු කළා. විශේෂයෙන්ම Alabama, Arkansas, Georgia, Louisiana, Mississippi, Missouri, Nebraska, North Carolina, Oklahoma, South Carolina, Florida, South Dakota සහ Tennessee වගේ ඇමැරිකානු Bible Belt එකේ දැවැන්ත සහයෝගය හිමිවුනේ ට්‍රම්ප්ට. කමලා හැරිස්ට ඒ ප්‍රදේශය වල නිසි සහයක් නොලැඹීම ඇගේ පරාජයට එක් හේතුවක්. 

ට්‍රම්ප් ආගමික අනන්‍යතාවයක් නියෝජනය කරනවද? නැද්ද? කියන එක කොහොම වුනත් ගබ්සාවට විරුද්ධවීම, බයිඩන්ලගේ, කමලා හැරිස්ලගේ ඩිමොක්‍රටික් පක්ෂය සහයෝගය දෙන ලිබරල් වැඩපිලිවෙළ හැකිලීම, වැනි එරට ක්‍රිස්තියානි කණ්ඩායම්වල ඉල්ලිම් ඉටුකිරීමට නම් ට්‍රම්ප්ගේ සහයෝගය හිමිවේවි. 

ඒ වගේම යුක්‍රේන - රුසියානු යුද්ධය, මැදපෙරදිග අර්බුදය ආදියටත් මැදිහත්වේවි. ඒ සියල්ලටම වඩා ඇමැරිකාව තුල මතුවි ඇති අභ්‍යන්තර ආර්ථික අර්බුදය, විරැකියාව, සංක්‍රමණික අර්බුදය, නිවාස අහිමි ජනයාගේ ප්‍රශ්නය, සෞඛ්‍ය හා අධ්‍යාපන අර්බුදය ගැන අවදානය යොමු කරන්න ඔහුට තදින්ම සිදුවේවි. ඔහුගේ ඒ මැදිහත්වීම තුල දෙවියෝ ඔහුගේ ජීවිතය බේරුවේ කුමන හේතුවකට ද යන්න කාලයත් සමග විමසා බැලිය හැකිවේවි. අන්න ඒ තත්වයන් තුල අර ඇල්බට් අයින්ස්ටයින් වරක කිව්ව වගේ දෙවියෝ දාදු කෙළින්නේ ද? යන්න හෙළිවේවි

 - "God does not play dice" !!

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/11/24

Wednesday, 6 November 2024

Quincy Jones ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල අවධානයට ලක් නොවුයේ ඇයි?


දැන් ලංකාව තමන්ගේම වූ ලෝකයක හිරවෙමින් තියෙන්නේ...සෙසු ලෝකයේ වෙන්නේ මොකක්ද කියන්න දන්නේ නෑ... මෙච්චර උණුසුමක් තියෙන ඇමැරිකානු ජනාධිපතිවරණය ගැන පවා එහෙට එහෙම දැනෙන්නේ නෑ... එහෙව් එකේ Quincy Jones ගේ මරණය කොහොමත් අදාල වෙන්නේ නෑ... Quincy Jones කියන්නේ කවුද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නෑ... හැබැයි Quincy Jones ගේ නම නොදන්නවා වුනත් අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ඇතැම් සංගීත නිර්මාණ නම් රටේ මිනිස්සු අහලා තියෙනවා. විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ Billie Jean, We Are the World, Thriller, Bad, Don’t Stop වගේ සින්දු.

ඒවත් අහලා තියෙන්නේ මයිකල් ජැක්සන් කියන සින්දු විදිහට මිසක් ඒ සිංදු හැදුව කෙනා දන්නේ නැතිවයි. අපි "නිර්මාණකරුවා දන්නේ නැති, නිර්මාණ පමණක් රසවිඳින ජාතියක්" කියලා මම facebook ආපුම කාලේ නිමල් මෙන්ඩිස් ගැන ලියද්දි ලිව්වා (ඒ ලිපිය මෙතනින් පිවිස කියවන්න පුලුවන්). ඒ වගේම තමයි අපි මයිකල් ජැක්සන්ගේ සින්දු අහලා තිබුනට, ඒවා දන්නවා වුනාට, ඒවා බලලා තියෙනවා වුනාට, මයිකල් ජැක්සන්ගේ සිංදු විතරක් නෙමේ මයිකල් ජැක්සන්ගේ ස්වතන්ත්‍ර සංගීත ජීවිතයම ගොඩනැගුවේ Quincy Jones කියලා ලංකාවේ මයිකල් ජැක්සන්ගේ සිංදු අහන හුගාක් දෙනෙක් දන්නේ නෑ.

මයිකල් ජැක්සන්ගේ නිර්මාණ ඔස්සේවත් Quincy Jones ව හදුනා නොගත් කෙනෙකුට Frank Sinatra ගේ Fly Me to the Moon සින්දුව, Ray Charles ගේ One Mint Julep සින්දුව, Lesley Gore ගේ My Party වගේ සිංදු නිර්මාණය කළේ ඔහු, Elvis Presley ගේ සින්දුවල second trumpet part එක ගහන්නේ ඔහු...The Pawnbroker වගේ චිත්‍රපටිවල ඉදන් Prince of Bel-Air, The Color Purple වගේ චිත්‍රපටිවල සංගීතය නිර්මාණය කළේ ඔහු වගේ කාරණා කිසිසේත්ම හදුනාගනී කියලා හිතන්න බෑ...

Quincy Jones වගේ අය විතරක් නෙමේ, බටහිර ජනප්‍රිය, pop, මෙන්ම ශාස්ත්‍රීය සංගීතය ගැන වගේම පෙරදිග සංගීතය ගැන වුනත් ලංකාවේ ඒ හැටි මුල් බැසගත්ත කතිකාවක් නෑ... විවිධ සංගීත ශානර ගැන ගැඹුරු කතිකාවක් නෑ... instrument එකක්, සංගීත භාණ්ඩයක්, වාදනය කරන්න පුලුවන් ගොඩාක් අය හිටියට music notes කියවන්න, ලියන්න පුලුවන් අය ඉතා අඩුයි. ගීත රචනය, තනු නිර්මාණය හා නිෂ්පාදනය ආදිය ගැන අවධානය යොමු කළත් සංගීතය කියන්නේ ප්‍රසාංගික හා නිර්මාණාත්මක (performance and composition) මාදිලියකට (featured) පමණක් සීමා නොවූ මානව ශාස්ත්‍ර සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් (perspective) මානව චර්යාව විශ්ලේෂණය කළ හැකි විෂයක් ලෙස සංගීතය හැදෑරීම ලංකාවට තවමත් ආගන්තුකයි.

එතරම්ම දුරකට නොගියත් අඩුම තරමේ සමකාලීන සංගීත නිර්මාණ පිටුපස සිටින විශිෂ්ඨයන් පිලිබදවත් ලාංකිකයන්ට එතරම්ම අවබෝධයක් නෑ...ඒ නිසා තමයි මයිකල් ජැක්සන් ගේ සින්දු ඇහැව්වත් එම නිර්මාණ පිටුපස සිටි Quincy Jones වගේ කෙනෙකුව මගහැරෙන්නේ... එහෙත් ඇත්තම ප්‍රශ්නය අවුරුදු 91ක් ජීවත්වූ, ඒ වගේ දැවැන්තයෙක්ව ලාංකිකයන්ට මගහැරෙන්නේ කොහොමද? සංගීතය පිලිබද ලාංකික කතිකාව තුලට ඔහුව හසු නොවෙන්නේ කොහොමද? කියන එකයි...ඒ අපි සෙසු ලෝකයෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් යන නිසා ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/24