This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 24 January 2019

විජය සහ චන්ද්‍රිකාගේ 'දරුවා'


වරක් මීගමුව, කොච්ච්කඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ විසු මගේ මවගේ මිතුරියකගේ දරුවෙකුගේ විවාහ උත්සවයක් සදහා විජය කුමාරතුංග පැමිණ සිටියහ. මම විජය කුමාරතුංගව පියවි ඇසින්දුටු ප්‍රථම අවස්ථාව එයය. ඉතාම ආකර්ශනීය පෙනුමක් තිබූ ඔහුගේ රූපකාය අදද මගේ සිතේ සටහන්ව තිබේ. ඔහුගේ මරණය ගැන කියවෙන සෑමවිටම මට එම රුව මතකයට නැගේ.  

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගව මම පියවි ඇසින් දුටුවේ ඉන් වසර 06කට පමණ පසුව 1992 දීය. සුදු සාරියකින් සැරසී අප අසලින් ගොස් වේදිකාවට ගොඩවූ ඇය ඉතා මනරම් පෙනුමැති කාන්තාවක්විය. අද මෙන් නොව ඇයට එකල හිමිව තිබුනේ දුටුවන් මන්මත් කරවූ පෙනුමකි. විජය, මාලනී පොන්සේකාව නොව චන්ද්‍රිකාවවුවද විවාහකරගැනීමට ඇගේ එම පෙනුමද හේතුවූ බව නොඅනුමානය. ඒහෙත් විජය ඇයව විවාහකරගන්නේ පැහැදිලිව දිගු දේශපාලන ගමනක් යෑමේ උවමනාව පෙරටුකරගෙනය. විජයගේ දේශපාලනය ධනය බලය ගොඩ නැගීම ඉලක්ක කරගත්තක් නොව සෑම ජන කොටසකටම සාමය, සහජීවනය සහ සතුට උදාකිරීම ඉලක්කකර ගත්තකි.

බණ්ඩාරනායකලාගේ සිට ජයවර්ධනලා දක්වාද, රාජපක්ෂලාගේ සිට විජේවීරලා දක්වාද වූ සියළු බල දේශපාලන ප්‍රවාහයන් විජයට ඒ ගමන යෑමට ඉඩ නොදී අතරමග මරාදැමීය. විජයට නොහැකිවූ ඒ ගමන චන්ද්‍රිකාට කිසිසේත්ම යා නොහැකිවිය. ඇය එහිලා දරූ යම් උත්සහයක් වෙතොත් අවසානවුයේ ඇයව දේශපාලන වශයෙන් පමනක් නොව පෞද්ගලිකවද ද්වේශයට සහ වෛරයට පාත්‍රකිරීමෙනි. ද්වේෂසහගතව ඇයව ගැරහුමට ලක්කරන අවස්ථාවල විජය කෙරෙහිවූ ඔවුන්ගේ ද්වේෂයද සියුම්ලෙස සහ ක්‍රමානුකූලව මුදාහැරීමටද ඔවුන් අමතක නොකරති.

උදාහරණයක්ලෙස, මීට වසර කිහිපයකට පෙර, වරක් ජනවාර්ගික අර්බුධයට දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකරමින් චනද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දක්වා තුබූ අදහස් විවේචනය කරමින් චම්පික රණවක මහතා කියා සිටියේ ඇය පල්ලියෙන් විවාහවූ කාන්තාවක් බවය. 88/89 සමයේ සිය ජීවිත ආරක්ෂාව සදහා ගරු ඔස්කා අබේරත්න පියතුමාගේ පල්ලියේ ආරක්ෂාව පතත්දී ගැටළුවක් නොවූ පල්ලිය, චන්ද්‍රිකාගේ දේශපාලන අදහස විවේචනය කිරීමට ඔහු යොදාගත්තේ එලෙසය. එලෙස ඔහු චන්ද්‍රිකාව පමණක් නොව විජයවද, විජය සහ චන්ද්‍රිකාගේ විවාහයද, විජයගේ සමාජ, දේශපාලන, ආගමීක පසුබිම පිලිබදව වූ  චම්පික රණවකගේ විරෝධය සියුම් ලෙස සමාජගත කිරීමට කටයුතු කළේය.

කෙසේවුද, ජනවාර්ගික අර්බුධය සදහා දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නැගී සිටින සෑම වරක මට නම් පෙනී යනුවේ ඇය විජයව නැවත නැවත් ජීවත් කරවීමට වෙරදරන බවය. නැතහොත් විජය සහ චන්ද්‍රිකාගේ දේශපාලන විවාහයෙන් ඈ තුල ගැබ්ගත්තාවූ දරුවෙකු තවදුරටත් හදාවඩා ගනිමින් ලොකු මහත් කිරීමට වෙහෙසක් දරණ බවය.

මාකස් ප්‍රියන්ත  පෙරේරා
24/01/2019

Sunday, 13 January 2019

තවත් 'කාන්තාරේ කුසුමක්' ද?

'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) යනු ප්‍රකට නිරූපිකාවක්, සමාජ-දේශපාලන ක්‍රියාකාරීනියක් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිනියක්වූ Waris Dirie ගේ ලොව පුරාම ජනප්‍රියවූ ස්වයං චරිතාපදානය ය. සිංහලටද පරිවර්තනය කල එම කෘතිය ඒ නමින්ම සුප්‍රකට ජර්මන් අධ්‍යක්ෂවරියක්වන Sherry Hormann විසින්  චිත්‍රපටියටද (2009) නගනු ලැබුවා. එම කතාවෙන් කියවෙන්නේ Waris Dirie ගේ ළමා කාලය ගැනය. සෝමාලියාවේ එඩේර පවුලක උපත ලබන වොරිස් (Waris Dirie) ඇයට වසර 12 වන විට නිවසින් පලාවිත් මොගඩිෂු නුවරටත්, එතනින් ලන්ඩනයටත් පැමිණෙන ලදී. වසර ගණනාවකට පසුව ඇය ලන්ඩනයේ සුප්‍රකට මෝස්තර නිරූපිකාවක් බවට පත්විය. එහෙත් ඈ වඩා ප්‍රසිද්ධියට පත්වුයේ ඇයගේ ලමා කාලයේ සිට ඇයට ශාරීරිකව වදවිදිමට සිදුවූ 'ස්ත්‍රී ච්ර්මචේදනය' ට (female genital mutilation)  විරුද්ධව නැගී සිටීම නිසාය. එම නිසාම ඇය 1997 දී 'ස්ත්‍රී ච්ර්මචේදනය'ට එරෙහි එක්සත් ජාතීන්ගේ ව්‍යාපාරයේ (Abortion of female genital mutilation) විශේෂ තානාපතිනියක් ලෙස පත්කරුනු ලැබීය. ඇය 'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) කෘතිය ලියන්නේ මෙම සියළු සිද්ධීන්වලින් අනතුරුවය.

වොරිස් (Waris Dirie) ගේ 'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) ගැන මතකය නැවත අලුත් කරනුයේ මීට දින කිහිපයකට පෙර සෞදි අරාබියේ සිට සිය පවුලේ අය සමග කුවේටයේ සංචාරය කරන අතර ඉන් පලාවිත් තායිලන්තයටද පසුව එතනින් ඕස්ට්‍රේලියාවටත් පලායාමට උත්සහ කල Rahaf Mohammed al-Qunun නම් 18 හැවරිදි  සෞදි තරුණියගේ ප්‍රවෘත්තිය නිසයි. 

මෙම ප්‍රවෘත්තිය සම්බන්දයෙන් සිංහලෙන් ලියවුනු ලිපිවල කිසිවෙක්  ''දුවේ නන්නාදුන රටක, කාත්කවුරුවත් නාදුනන බිමක, තනිපංගලමේ උබ ගියාට හැදුවැඩු බිමේ උබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දෙන ආරක්ෂාව උන්ට උබට දෙන්න බැහැ පුතේ'' යැයි ලියනු නොදුටුවෙමි. ඒ වෙනුවට වැඩිදෙනා කියවූ බව පෙනීගිය 'ගෙදරින් පැනවිත්, ලෝකවාසීන්ගේ පිහිට පතන 18 වියැති සවූදි අරාබියාණු තරුණියගේ ශෝකාලාපය' නම් ලිපියේ  දක්වා තිබුනේ ඇය නැවත ගියහොත් ඇයට, පියා හා සහෝදරයින්ගෙන්, ඉතා දැඩි දඬුවම් වලට පමණක් නොව මරණයටපවා මුහුණ පෑමට සිදුවන බවය. එහින් 'නිදහස් දිවියක්' ගතකිරීමට තමාට 'නිදහස් රටක දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස ඇය ඉල්ලූ බව ඔවුන් දක්වා තිබුණි. ඉහත ලිපියේ අවසානයේ ආසා තිබුනේ 'ඕස්ට්‍රේලියාවට යාමට, ඇය බැංකොක් නොව කොළඹ තෝරාගත්තා නම්, මේ කථාව කෙසේ ලියැවෙන්න ඉඩ තිබුණිද?'  යනුවෙනි. 

සිදුවිය හැකි දේවලින් එකක් වියහැක්කේ ''ළමයි තරහවෙලා ගෙදරින් පැනලා ගියාට දෙමවුපියන්ට වඩා ආරක්ෂාවක් දෙන්න පුළුවන් වෙන තැනක් නැහැ'' කියා ඇයව ආපසු ඇගේ දෙමාපියන්ටම බාරදීමය. ලංකාවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියද එසේය. රාජ්‍ය තාන්ත්‍රිකවත් ලංකාව මීට වඩා වෙනස් පියවරක් ගනීවිද යන්න ගැන කිව නොහැක. ඇරත් ලාංකික කාන්තාවන් සහ පිරිමින් විශාල ප්‍රමාණයක් සෞදියේ රැකියා කරන,  ආර්ථික ආධාර සහ මුස්ලිම් රටවල් සමග සබදතා යන පසුබිමක් තුල !!! 

දැන් ඇයට කැනඩාවේ පුරවැසිභාවය ලබාදී තිබේ. බුකියේ කට්ටිය ඇයට 'නිදහස' ලැබී තිබේ යැයි කියා ලියන්නට පටන් ගෙන තිබේ. කැනඩාව මානුෂිකත්වය අතින් ඉතා ඉහල රටක් ලෙස දක්වන්නද උත්සහ කරමින් සිටී. කැනඩාවේ අගමැතිගේ පින්තුරයක් දමා 'මිනිසා -මනසින් උසස්' කියා යටින් ලියා තිබූ බවද දුටිමි.  ඒහෙත් කවුරුත් ප්‍රශ්න නොකරනුයේ කැනඩාවේ වසර ගනනාවක් වීසා නැතිව දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඉල්ලුම්කර ඇති දහස්ගානක් දෙනා දිගින්දිගටම  රස්තියාදුකරමින් සිටියදී මේ සෞදි කාන්තාවට පමනක් එකවරම දේශපාලන රැකවරණ  දුන්නෙ ඇයි? යන්නය. එක් වාර්තාවකින් කියවුනේ ඇය ඉස්ලාම් ආගම අත්හැරිම නිසා ඇයට ගෙදරින් එල්ලවූ මරණ තර්ජනවලට බියේ පලා ඒම පදනම්කරගෙන ඇයට කැනඩාවේ පුරවැසිබව ප්‍රධානය කල බවයි. 

කෙසේ වෙතත් ඇයට ගෙදරින් පලාඒමට තරම් හේතුවූ  සහ නැවත ගෙදරට යෑමට නොහැකි තරම් මරණ තර්ජනවලට හේතුවෙන කරුණු, පාරිසරික, සමාජ සහ ආගමික වටාපිටාව ගැන ඇය තවම කරුණු දක්වා නැත. සමහරවිට ඒ සදහා යම් කාලයක් ගතවනු ඇත. සමහරවිට ඒ සම්බන්දයෙන් ඇය දක්වන අදහස් ඇගේ පවුලේ අයගේ පමණක් නොව, සෞදි සමාජයේ සහ මුස්ලිම් සංස්කෘතියටද දැඩි බලපෑමක් සහ  විවේචනයක් එල්ලකරනු ඇත.  එහෙයින් නිදහස සොයා පැමිණි ඇය සිටියාට වඩා අනතුරුදායක තත්වයකයට පත්වීමටද ඉඩ තිබිය හැක

මෙහිදී නැවත මට මතක්වෙන්නේ 'කාන්තාරයේ කුසුම' ලියු,  'ස්ත්‍රී ච්ර්මචේදනය'ට එරෙහි ව්‍යාපාරයේ (Abortion of female genital mutilation) එක්සත් ජාතීන්ගේ  විශේෂ තානාපතිනියක් බවට පත්වූ  වොරිස් (Waris Dirie) ගෙන් වරක් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකි; ''ඔබව සෝමාලියාවටත්, එම සංස්කෘතියටත් එරෙහිව භාවිතා කිරීමට ඔවුන් (බටහිර) පත්කර  තිබේද?" 

එයට ඇයගේ (Waris Dirieගේ) පිළිතුරවුයේ ''ඇත්තවශයෙන්ම සිදුවී ඇත්තේ කාන්තාවක් ලෙසත් තවත් මනුෂයෙක් ලෙසත් වද හිංසාවලින් තොරව, කෲරත්වයට ලක්වීමෙන් තොරව, ස්ව ශක්තියෙන් නැගි සිටිය හැකි, අනෙක් අයටද එසේ නැගී සිටිය හැකි යැයි පෙන්වාදිය හැකි පුද්ගලයෙක් බවට තමාව පත්කර ඇති බවයි. සෞදියෙන් පලාආ  Rahaf Mohammed ද ඒ අර්ථයෙන්ම තවත් 'කාන්තාරයේ කුසුමක්' බවට පත්විය හැකිද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
13/01/2019 



Wednesday, 9 January 2019

සිංහල ඉතිහාසයේ හුදු 'කෙවුල් ගමක්' වූ මීගමුව පෘතුගීසීන්ට කුමන තැනක්වුයේද?

රාජාවලිය හෝ වෙනත් සිංහල ඉතිහාස මුලාශ්‍ර ග්‍රන්ථයක මීගමුව ගැන යමක් සදහන්වන්නේ නම් එක්කෝ ඒ 'පටුනු ගමක්' (කුඩා ගම්මානයක්) ලෙසය. නැතිනම් 'කෙවුල් ගමක්' (මසුන් මරන්නන් වෙසෙන ධීවර ගම්මානයක්) ලෙසය. ඇතැම් තැන්හි මෙම 'කෙවුල්' යන යෙදුම මුහුදු වැද්දන් ලෙසද හදුන්වන බවක් පෙනේ. ඒ මස්-මාළු ආදී මරන්නන් පොදුවේ වැද්දන් ලෙස හැදින්වූ සංදර්භයක් තුලය. ධීවර කර්මාන්තයෙහිලා මීගමුව කවදත් ප්‍රසිද්ධය. විහාර මහාදේවියගේ දොලදුකට මීපැණි සොයාගත් තැන, දුටුගැමුණුගේ කඩොල් ඇතා සොයාගත් තැන ආදී ලෙස මීගමුව ද දුටුගැමුණු කථාවස්තුවට ගැට ගැසීමට ගත් ව්‍යාජ උත්සහය තවදුරත් වලංගු නොවන ප්‍රබන්දයක් ලෙස පිලිගන්නා බැවින්,  15 වෙනි සියවසේ සිට ප්‍රචලිතවූ කුරුදූ වෙළදාම, මුක්කර හටන, බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ ක්‍රිස්තියානි ආගම ආදී කාරණා හැරුණු කොට, සිංහල ඉතිහාස රචකයින්ට මීගමුව ගැන කියන්නට ඇත්තේ වෙන කිසිවක් නොව 'මීගමුව යනු මසුන් මරන්නන් වෙසෙන පෙදෙසක්' පමණක්ය  යන්නය. 

එහෙත්, මීට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ආකාරයකට  පෘතුගීසීන් ඇතුළු යුරෝපීන් මීගමුව හදුනාගත්බව පෙනේ. අඩුම වශයෙන් Tomé Pires (1512-1515), Armando Cortesão (1514) සහ Francisco Rodrigues (1515) වැනි 1500 ගණන්වල විසු ප්‍රාමාණික පෘතුගීසි ඉතිහාස රචකයන්ගේ කෘතිවල පවා මීගමුව ගැන සටහන් කරනුයේ මසුන් මරන්නන් වෙසෙන පෙදෙසකට එහා ගිය අර්ථයක් තුලය. උදාහරණයක් ලෙස 1944 දී ලන්ඩනයේ Hakluyt සංගමයගේ ප්‍රකාශයක් ලෙස පලකල 'The Suma oriental of Tomé Pires: an account of the East, from the Red Sea to Japan, written in Malacca and India in 1512-1515 Vol 1/2' යන කෘතියේ 85 වෙනි පිටුවේ දක්වන ආකාරයට පෘතුගීසීන් මීගමුව හදුනාගෙන ඇත්තේ ප්‍රධාන වෙළද වරායක් (trading port) ලෙසය. විශේෂයෙන්ම මුස්‌ලිම්වරුන්ගේ ප්‍රධාන වෙළද වරායක් ලෙසය. එම පදනමින්ම ඔවුන් මීගමුව මෙන්ම කොළඹ, බේරුවල, අලුත්ගම, හලාවත, කළුතර, වැලිගම සහ ගාල්ලද මෙසේ ප්‍රධාන වාරයන් ලෙස පෘතුගීසින් හදුනාගෙන තිබු බව ඉහත කෘතියේ උක්ත පිටුව අනුවම පෙනීයයි. එම වරායන් සමග පෘතුගීසි ඇතුළු බටහිර ජාතීන් මීගමුවද හුදෙක් ධීවර ගම්මානයකට වඩා වැඩි වැදගත්කමකින් යුක්තවූ  ස්ථානයක් ලෙස හදුනාගන්නා ලදී. ඔවුන් එම නිගමයට එලබෙනුයේ ඔවුන්ට පෙර දේශ ගවේෂණවල නිරතවූ ඉබන් බතුතා, මාර්කෝ පොලෝ ආදීන්ගේ වාර්තා සහ වෙනත් නෞකා චාරිකාවල තොරතුරුද හේතුකොට බව පෙනේ. 

විශේෂයෙන්ම, කුරුස යුද්ධ සමයේදී යුරෝපීන්ගේ මුලික අරමුණක්වූයේ මුස්ලිම්වරුන්ගේ බලය බිද දැමීම සදහා මුස්ලිම්වරුන් අධික ලාභයක් ලබන කුළුබඩු වෙළදාමේ ඒකාධිකාරය බිදදැමීමය. ඒ සම්බන්දයෙන් සිදුකල අධ්‍යනයන්හීදී පෘතුගීසි මෙහෙයුම් දියත්කල යුතු මුස්ලිම්වරුන්ගේ කුළුබඩු වෙළදාමේ  වෙළද වරායක් ලෙස ඔවුන් මීගමුව හදුනාගන්නා ලදී. ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයාවූ Dom Francisco de Almeida (1505-10) (ශ්‍රී ලංකාවට පැමිණි ලොරොන්සෝ ඩි අල්මේදාගේ පියා) 1508දී ද, ඉන්දියාවේ ඊට පසු පැමිණි ප්‍රතිරාජයාවූ Lopo Soares de Albergaria විසින් 1518 දී ද පැහැදිලිවම මීගමුව එසේ හදුනාගෙන තිබුණි. ඒ බව ජේසු නිකායික පියතුමෙකුවූ Fernão de Queyroz ගේ සටහන් අනුව තහවුරුවේ. බ්‍රසීලයේ Rio de Janeiro කෞතුකාගාරයේ තිබී සොයාගත් Fernão de Queyroz පියතුමාගේ වසර 300කට වඩා පැරණි සටහන් 1916 දී 'Conquista temporal e espiritual de Ceylaõ' නමින් පෘතුගීසි බසින් පලකර ඇත. ක්‍රි. ව. 1930දී  S. G. Perera පියතුමාද, 1940 දී  Paul E. Pieris ද එම කෘතිය සහ de Queyroz පියතුමාගේ තවත් සටහන්  ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.  

ඇත්තවශයෙන්ම, පෘතුගීසින් ලංකාවට පැමිණියේ 1505 දී වුවද, 1505-1518  තෙක් පෘතුගීසින්  ශ්‍රී ලංකාව සම්බන්දයෙන් සුවිශේෂි මැදිහත්වීමක් සිදු නොකළහ. ඒම කාලය තුල ඔවුන් සිදුකලේ කෝට්ටේ රජ සමග බැදුන ගිවිසුම අනුව කුරුදූ මිලදී ගැනීමත්, මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය කොල්ල කෑමත් ඔවුන්ට හැකි තරම් හානී පැමිණවීමත්ය.  එහෙත් ක්‍රි. ව. 1518න් පසුව 1524 දක්වා පෘතුගීසි Captain වරයෙකු ලංකාවේ පෘතුගීසි නායකයා ලෙස පත්කරන ලදී. එම වසර 06ක කාලය තුල (1518-1524) Silveira, Brito සහ Lemos යන පෘතුගීසි Captainවරු තිදෙනෙක් ලංකාවේ සිටින ලදී. එහෙත් 1524 සිට 1551 දක්වා ලංකාව පෘතුගීසි Captainවරුන්ගේ පාලනයෙන් ඉවත්කර ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජගේ ඍජු පාලනය යටතට ගන්නා ලදී. ඔවුන් සියල්ලන්ගේම එක් මුලික අරමුණක්වුයේ ලංකාවේ මුස්ලිම්වරුන්ගේ වෙලදාම සියතට ගැනීම හෝ සම්පුර්ණයෙන්ම එය වනසාලීමය. ඉන්දියන් සාගර කලාපයේ මුස්ලිම්වරුන්ගේ වෙළදාම සහමුලින්ම වනසාලීමට තරම් ශක්තියක් පෘතුගීසීන්ට එම කාලය තුල නොතිබුණද, ඔවුහු සෑම විටම මුස්ලිම්වරුන්ගේ වෙලද කටයුතු සහ එදිනෙදා ජනජීවිතය කඩාකප්පල් කළහ. ඒ අනුව ඔවුන් වෙළද වරායක් ලෙස කලින්ම හදුනාගෙන සිටි මීගමුව සම්බන්දයෙන්ද මැදිහත්වන ලදී. 

එහිලා එක්  උදාහරණයක් ලෙස K. V. Krishna Iyer (1938) ගේ 'Zamorins of Calicut: From the earliest times to AD 1806' කෘතියේ එන සටහනක් දැක්විය හැක. එම සටහනින් කියවෙනුවේ 'ක්‍රි.ව.1521වන විට ලංකාවේ මීගමුව වැනි කලාන්තරයක් පුරා මුස්ලිම් වෙළෙන්දන් වෙළද කටයුතු සිදුකල ප්‍රදේශවල ගොඩබිම් අභ්‍යන්තරයට පවා පෘතුගීසින් ඇතුල්වී  සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ වෙළද සමූහයන්ට පහරදී, ඔවුන් සතු වෙළද ද්‍රව්‍ය පැහැරගෙන වෙළදාම සිය භාරයට ගත්බවය'. මෙම විස්තරවලට අනුව පෘතුගීසින් පැමිණීමට පෙරපවා මුස්ලිම්වරුන් මීගමුවේ වෙළද කටයුතුවල නිරතවී ඇති බව පැහැදිලිය. බොහෝදුරට පෘතුගීසින් මුහුදේදී මුස්ලිම්වරුන්ගේ වෙළද නැව් වටලා වෙළද ද්‍රව්‍ය කොල්ල කෑම නිතර සිදුකලද 1521 වනවිට වරින්වර  රට අභ්‍යන්තරයටද පිවිස මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය පැහැරගනීම සහ විනාශ කිරීම දක්වා ඔවුන් ක්‍රමයෙන්  සිය කටයුතු ව්‍යාප්ත කරන ලදී.  

එකල සැමොරියාන් මුස්ලිම්වරුන් (Samorin/Zamorin)  මීගමුව ආශ්‍රිත  ප්‍රදේශවලින් කුරුදූ, පොල්, පුවක්, කරවල සහ පැණිද, දළුවකොටුව, ඇත්ගාල්ල ප්‍රදේශවල පැවති  අලිගාලවලින් අලිද වෙළදාම සදහා සපයාගෙන ඇත.  ඉන්දියාවේ මෙන්ම ලංකාවේද  මෙකී මුස්‌ලිම්වරුන් ප්‍රසිද්ධව සිටියේ අරාබි මුස්ලිම් වෙළෙන්දන් ලෙසය. පෙනීයන කරුණු අනුව සැමොරියාන් මුස්ලිම්වරුන් (Samorin/Zamorin)  වෙළද බලය මීගමුව තුල ස්තාපිතව තිබු බව පිළිගත හැක. විශේෂයෙන්ම මේ කාලය වෙන විට බේරුවල මුස්ලිම් පල්ලියට පෙනුමෙන් සමාන මුස්ලිම් පල්ලියක්  කම්මල්තුරේ වරායෙන් මෙපිට   පිහිටි මීගමුවේ පාරුතොට (පෝරුතොට) තිබී ඇත. එපමනක් නොව ගව පට්ටිමෙන්ම, එළුපට්ටි හිමි මුස්ලිම් ජනයාද මීගමුවේ ඒවන විට වාසය කරතිබේ.  මේ කාලය වනවිට මීගමුවේ වෙරළ බඩ කලාපයේ විසු බොහෝ දෙනා එක්කෝ හින්දුය නැතිනම් මුස්‌ලිම් බව පෙනේ. මෙතක් හමුව කිසිදු ඉතිහාස ග්‍රන්ථයක එම කාලය වනවිට මීගමුව වෙරළබඩ කලාපයේ කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් පැවති බව වාර්තා නොවේ. දමිළ භාෂාව ප්‍රදේශයේ සිටි හින්දු සහ මුස්ලිම් ජනයාගේ පොදු භාෂාව විය.  

ක්‍රි. ව. 1505 - 24 දක්වා කාලය තුල පෘතුගීසින් සිදුකලේ මෙකී ස්ථාපිත මුස්ලිම් වෙළද ආධිපත්‍යයක් පැවති මීගමුවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය කොල්ලකෑම, විනාශ කිරීම සහ හානී කිරීමය. එහෙත් ඔවුන්ට මීගමුවේ හෝ රටේ වෙනත් වරාය නගර ආශ්‍රිතව හොදින් ගොඩනගා ගෙන සිටි මුස්ලිම් වෙළද ආධිපත්‍ය බිද හෙළිය නොහැකිවිය. පෘතුගීසීන් සිදුකලේ එම වෙළද අධිපත්‍යට වරින්වර කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ලකර බරපතල හානි සිදුකිරීම පමණි. 

ක්‍රි.ව.1524 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජ (Viceroy of India) ලෙස නැවත පත්වී පැමිණීමත් සමග ඉන්දියන් සාගරයේ මුස්ලිම් වෙළද ආධිපත්‍ය බිදදැමීම සදහාද ඉන්දියාවේ පෘතුගීසි බලප්‍රදේශ ආරක්ෂාකර ගැනීම සදහාද වැඩ පිළිවෙලක් සකස්කළේය. ගාමා පෘතුගීසි ප්‍රතිරාජ ලෙස ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාවේ පෘතුගීසි පාලනයට එරෙහිව සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබුණි. එයට මුහුණදීම සදහා වස්කෝ ද ගාමා වහාම  ලංකාව ඇතුළු වෙනත් ඉන්දියන් සාගරය අවට සිටි බොහෝ පෘතුගීසි සේනාංක ඉන්දියාවේ කැලිකට්හී පිහිටි ඉන්දියන් සාගරයේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානය ඇතුළු ප්‍රදේශ රැකගැනීම සදහා ගෙන්වා ගත්හ. ඉන් අනතුරුව දියත්වූ ඉන්දියන් සාගරයේ සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යය සම්පුර්ණයෙන්ම බිදදැමී සදහාවූ පෘතුගීසීන් දියත්කල යුද්ධය වසර 50කට වඩා වැඩි කාලයක් පුරා දිවගිය සටන් මාලාවකින් යුතු යුද්ධයක් විය. 

පෘතුගීසින් විසින් විශාල ශක්තියක් යොදා සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් සමග ඉන්දියන් සාගරයේ දැවැන්ත යුද්ධයක පැටලී සිටින අතරම ලංකාව ආදී පෘතුගීසින් ගොඩබැසී ප්‍රදේශවල පෘතුගීසී ක්‍රියාකාරීත්වයන්වලද අඛණ්ඩව නිරතවීමට ඔවුන්ට සිදුවිය. කෝට්ටේ රාජ්‍යයෙන් කුරුදූ බහාර් 400ක් ලබාගැනීමටත් ඒ වෙනුවෙන් මුහුදින් සහ ගොඩබිමින් එල්ලවෙන තර්ජනවලින් ආරක්ෂාව සැපයීමටත් පෘතුගීසින් ගිවිසුම්ගතව සිටියහ.  විශේෂයෙන්ම ක්‍රි. ව. 1521 දී සිදුවූ විජයාබා කොල්ලයත්  (කෝට්ටේ 7වන විජයබාහු රජ මරා පුතුන් තිදෙනා රජකම පැහැර ගැනීම)  සමග කෝට්ටේ රාජ්‍යය කෝට්ටේ, සීතාවක සහ රයිගම ලෙස තුනට බෙදීගියේය. ඒ සමග පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂකයා බවටද, 7වෙන බුවනෙකුබාහු රජගේ ආරක්ෂාව සපයන්නා බවටද ක්‍රමයෙන් පත්වීම සිදුවිය.  වෙළද ද්‍රව්‍ය සොයා පැමිණි පෘතුගීසීන් ක්‍රමයෙන් ලංකාවේ දේශපාලනයට මැදිහත්වීම සිදුවන්නේ එසේය. ඇත්තවශයෙන්ම, විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජ්‍යයේ පාලකයාවූ 7වන බුවනෙකබාහු රජගේ ඉල්ලීම අනුව කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස පෘතුගීසින් ඉදිරිපත්ව ඇත්තේද සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් එතෙක් අත්කරගෙන තිබු වෙළද කටයුතු අත්කරගැනීමේ උවමනාව පෙරදැරි කරගෙනමය. වෙනත් වචනයකින් කියතොත් පෘතුගීසින් මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත්වනුයේද මුලික වශයෙන්ම සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය බිදදමා එය ඔවුන් වෙත අත්කරගැනීමේ කේන්ද්‍රිය අවශ්‍යතාවය පදනම් කරගෙනය. මුස්ලිම්වරුන්ද කෝට්ටේ සහ සීතාවක අතර ගැටුම උග්‍රකරමින් පෘතුගීසින් පලවාහැරීමට මායාදුන්නේ සමග කටයුතු කළේය. ඒ අනුව පෘතුගීසින්ට රට අභ්‍යන්තරයේදී සහ පිටතදී ද මුස්ලිම්වරුන් සමග සටන් කරන අතරම සීතාවක රාජ්‍ය සමගද (මායාදුන්නේ / රාජසිංහ) සමගද සටන් කිරීමට සිදුවිය. ක්‍රි.ව. 1544 දී කිතුදහම වැලදගත් 600දෙනා යාපනේ සංකිලි රජගේ නියෝගයෙන් ඝාතනය කිරීමත් සමග පෘතුගීසින් යාපනය රාජ්‍යය සමගද යුද්ධකට පැටලිණි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියන් සාගරයේද පෘතුගීසින්ට එරෙහිව ක්‍රියාත්මකවන සෑම බලවේගයක් පිටුපසම සිටියේ මුස්ලිම්වරුන් යැයි පෘතුගීසීන් සිතූහ. එහින් ඔවුහු අඛණ්ඩව මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර දියත්කළේය. එහිදී මුස්ලිම්වරුන් නොවන ස්වදේශිකයන්ද අඛණ්ඩව පිඩාවට පත්විය.
  
එහෙත් මීගමුව, කොළඹ, බේරුවල, අලුත්ගම, හලාවත, කළුතර, වැලිගම සහ ගාල්ල වරායන් ආශ්‍රිතව වරින්වර එහෙත් දිගින්දිගටම  සිදුවූ පෘතුගීසි ප්‍රහාරයන් හමුවේ පවා ලංකාවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය බිද වැටුන බවක් නොපෙනේ.  එම නිසාම ඉංදියාවේ කැලිකට්හී සිට ක්‍රි. ව. 1539 දී පෘතුගීසි සෙනෙවියෙක්වූ මිගෙල් පෙරේරාගේ නායකත්වයෙන් මීගමුවට ගොඩබැස පෘතුගීසි සේනා මුස්ලිම්වරුන්ගේ වෙළද නෞකා, ගබඩා විනාශ කරමින් දැවැන්ත හානියක් කර ඇත. එහෙත් මුස්ලිම් වෙළද කටයුතු දිගටම සිදුවිණි. නැවත ක්‍රි.ව. 1547, 1951, 1560, 1566 යන වර්ෂවලදී එම වරායන් ඉලක්ක කරගෙන විශේෂ පෘතුගීසි ප්‍රහාර දියත්වී තිබේ. දැනට ඒ සම්බන්දයෙන් සොයාගැනීමට ඇත්තේ කෙටි සටහන් කිහිපයක් පමණි. 

ඒහෙත් ක්‍රි.ව. 1570 වන විට තත්වය වඩාත් උග්‍රවූ බව de Queyroz පියතුමාගේ සටහන්  තවුරුකරයි. ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී මීගමුව ප්‍රදේශයට ගොඩබසින  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වෙරළ අද්දර නවතා තිබු යාත්‍රාවල් ඇතුළු මුස්ලිම් වෙළද ගබඩා, හින්දු කෝවිල් ආදිය කොල්ලකා 400යක් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.  de Queyroz පියතුමාගේ කෘතියේ 425 පිටුවේ දක්වනුයේ මීගමුව “rich in trade they took many articles of gold and silver, money and apparel, and other spices and goods”. මින් නතර නොවන පෘතුගීසි සෙනවි Diogo de Melo  නැවත වතාවක් එම වසරේදීම මීගමුව ආක්‍රමණයකරන ලදී. මෙවර එය රට අභ්‍යන්තරය දක්වා විහිදුන අතර අලි ඇතුන් ගාල් කල ගම් දක්වා එය ව්‍යාප්තවී තිබේ හරකබාන පවා අත්කරගෙන තිබේ “three leagues further to the interior, where he wrought great destruction, burning villages, capturing 400 persons, taking many cattle" (page 125-26).  

නැවත වතාවක් 1577දී පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව ආක්‍රමණය කර මුස්ලිම්වරුන්ගේ වෙළද ගබඩා කොල්ලකා 200ක් දෙනා අත්අඩංගුවට ගෙන “with the death of many, 200 captives...putting everything to the sword and fire including many storehouses and vessels'' (page 427-28).

නැවත de Queyroz පියතුමාගේ කෘතියේ 430 පිටුවේ දක්වනුවේ  1578 දී ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජාවූ Afonso de Albuquerque, (Duke of Goa) ඍජු අධීක්ෂණය යටතේ මීගමුව වරාය සහ අවට මුහුදු තීරයටත් රට අභ්‍යන්තරයටත් එල්ලවූ දැවැන්ත පෘතුගීසි ප්‍රහාරයකින් මුස්‌ලිම්වරුන් රතුමුහුද බලා යාත්‍රා කිරීමට සුදානම් කර තිබු යාත්‍රා සමුහයක් වනසා, වෙළද ද්‍රව්‍යයද, එළුවන්/හරකුන් සහ 300යක පිරිසක්ද අල්ලාගත් බවය. 

ක්‍රි. ව. 1586 දක්වා පෘතුගීසින් එල්ල කල මෙවැනි දරුණු ප්‍රහාර නිසාම මීගමුවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය පමණක් නොව හින්දු ජනයා සමග ඔවුන් මීගමුව තුල භක්තිවිදි ආගමික සහ සංස්කෘතික ආධිපත්‍යයද සම්පුර්ණයෙන්ම බිද දමන ලදී.  ක්‍රි. ව. 1590 වන විටද අඩුම වශයෙන් වසර 300ක කාලයක් පුරා මීගමුවේ හින්දු ආගම ඇදහු දෙමළ ජනගහණයක් සිටියද, ඒහා සමාන කාලයක් මුස්ලිම්වරුන් මීගමුවේ වෙළද ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියද මීගමුව නගරයක් ලෙස ගොඩනැගුන බවක් නොපෙනේ. 

මීගමුව යුරෝපියානු අර්ථයෙන් පල්ලියක්, බල කොටුවක් (garrison), වෙළද පොලක්, සහ ස්ථීර ජන පදිංචියක් ඇති නගරයක් (town) බවට පත්වනුවේ පෘතුගීසීන් පැමිණ මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ කොටුවක් ඉදිකිරීමෙන් පසුව බව පැහැදිලිය. මෙසේ ස්ථාපිත පෘතුගීසි හමුදා ඛණ්ඩයක් මීගමුව තුල රදවා සිටින  බලකොටුවක් ස්ථාපනය කරනු ලැබුවේ ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වරාය සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගෙන් අත්කර ගැනීමෙන් අනතුරව බව Paul E Pieris (1920) ගේ 'Ceylon and the Portuguese 1505-1658' නම් ප්‍රකට කෘතියේ  89 වන පිටුව අනුව තර්ක කරන්නන් සිටී. 

එහෙත් ඊට පෙරද මීගමුවේ කුඩා ප්‍රමාණයේ හෝ පෘතුගීසි කොටුවක් හෝ ගබඩාවක් පිහිටා තිබුණු බවටද පෙනීයන කරුණුද තිබේ. මුස්ලිම්වරුන් හොදින් කරගෙන ගිය වෙළදාම පෘතුගීසීන් බලෙන් අත්කරගැනීමට කටයුතුකිරීමත් සමග එසේ අත්කරගත් භාණ්ඩ රදවා තබාගත හැකි ආරක්ෂා සහිත ස්ථානයක් අවශ්‍යවූ නිසා මීගමුවේ කොටුවක් ඉදිකරනු ලැබූ බව එක් තර්කයකි. එවැනි ස්ථානයක් 1528-30 තරම් කාලයේ පවා මීගමුවේ පැවති බවට තර්ක ඉදිරිපත්වේ. අඩුම තරමින් 1539 මිගෙල් පෙරේරා මීගමුව අත්කර ගත් මෙහෙයුමෙදී මීගමුවේ පෘතුගීසි ගබඩාව-කොටුව යම් ප්‍රමාණයකට ගොඩනගූ බවට පෙනේ. මන්දයත් මිගෙල් පෙරේරා සහ ඔහුගේ සේනාව මීගමුවේ යම් කාලයක් රැදී සිට ඇති නිසාය.  කෙසේවුවද මෙතෙක් සොයාගෙන ඇති සෑම තොරතුරකින්ම කියවෙනුවේ මීගමුවේ ප්‍රථම පෘතුගීසි කොටුව හෝ ගබඩාව පැහැදිලිවම පිහිටා තිබුනේද වර්තමාන මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුව පැවති ස්ථානයේම බවය.  පෘතුගීසීන් මෙන්ම ලන්දේසින්ද ඉන් අනතුරුව සිදුකලේ කලින් පැවති කොටුව හෝ ගබඩාව තවදුරත් ශක්තිමත් කිරීම හෝ වඩා විශාලකර ශක්තිමත් කිරීමය. එහෙත් ඉංග්‍රිසීන් සිදුකලේ වෙනත් දෙයකි. 

පෘතුගීසින් මෙන්ම ලන්දේසීන්ද මීගමුව කොටුව පිහිටි කුට්ටිදූව ප්‍රදේශය සලකනු ලැබුවේ සංග්‍රාම උපක්‍රම අතින් වැදගත් ස්ථානයක පිහිටි කොටුවක් ලෙසය. එහි සිට කලපුවද මුහුදද එකලෙස නිරීක්ෂණය කලහැකි මෙන්ම ආරක්ෂාව සදහා  පසුබැසීමටද උපකාරීවිය හැකි සැලකියයුතු පසුබිමක් එය සහිතවීය. අනෙක් අතට එම ප්‍රදේශය පිහිටියේ  එකලවූ ජනාවාසවලින් තරමක් ඈතිනි. ආසන්න වශයෙන් පැවතියේ කාමච්චි දෙවියන්ට බිලිපුජාකරන කාමච්චෝඩේය. පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද මීගමුවේ සිය කොටුව සහ ගබඩා සංකීරණය පිහිටුවන්නේ එවැනි පරිසරයකය. එහෙත් ඉංග්‍රීසීන් කන්ද උඩරට රාජ්‍යය යටත්කරගැනීමෙන් අනතුරුව, තමන්ට අභ්‍යන්තරව මෙන්ම බාහිරවද අභියෝගයක් නැති බව පෙනීගිය හෙයින්,  සංග්‍රාම උපක්‍රම අතින් වැදගත් ස්ථානයක පිහිටි මීගමුව  කොටුවේ  විශාල ප්‍රදේශයක් කඩා ඉවත්කර  මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත්කර මීගමුව ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතා සදහා අවශ්‍යය ප්‍රදේශයක් බවට පත්කර ගන්නා ලදී. 
කෙසේවුවද, ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වරාය සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගෙන් අත්කරගැනීමට පෙර පවා මීගමුවේ කුඩා පෘතුගීසි ගබඩාවක් හෝ කුඩා ප්‍රමාණයේ කොටුවක් හෝ පෘතුගීසි හමුදා ඛණ්ඩයක් මීගමුවේ සිටි බවට දැක්විය හැකි තවත් කරුණක් මතුවෙනුවේ. ඒ පෘතුගීසින්  කෝට්ටේ රාජ්‍යයේ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමත් සමග දිගහැරෙන ක්‍රියාකාරකම් ඔස්සේ කියවන කරුණු අනුවය. ඇතැම් අතුරුකථාවල සදහන් වෙනුවේ 07 වෙනි බුවෙනකබාහු රජගේ දෙවන බිසවවූ කීරවැල්ලේ බිසව ආරක්ෂා සහිතව උඩුගම්පල සකල කලා වල්ලභ රාජධානියට සහ මීගමුවේ සිට හලාවත දෙසට යනවිට පිහිටි මාදම්පේ තනිය වල්ලභ රාජ්‍යන්ට රැගෙන යෑම සිදුකර ඇත්තේ පෘතුගීසීන් බවය. ඒම විස්තර අනුව මීගමුවේ  මෙන්ම මීගමුවේ උතුරු කෙරවලින් මහඔය මුහුදට වැටෙන කම්මල්තුරේද පෘතුගීසීන් රැදී සිට ඇත (ගුණරත්න කරුණාදාස (1945) 'මාදම්පේ විත්ති' / රෝහණ මද්දුමගේ (1961) 'උඩුගම්පොළ රජතුමා'). 

මේ සියල්ලටම වඩා 1570 දී ෆ්‍රැන්සිස්කන් පියතුමන්ලා විසින් පෘතුගාලයට යවන ලද වර්තාවක සදහන්වනුවේ මීගමුව බලකොටුව අසල ''දේවමාතා'' (Mother of God /Madre de Deus) පල්ලියක් පැවති බවය. ඒ අනුව 1570 වනවිට මීගමුවේ ශක්තිමත් පෘතුගීසි බලකොටුවක් මෙන්ම ක්‍රිස්තියානි ආගමද මතුව තිබුණි. හින්දු, මුස්ලිම් සංස්කෘතිය වෙනුවට ක්‍රිස්තියානි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාව හිස ඔසවමින් තිබුණි. 1650 වන විට පමණක් මීගමුවේ කිතුනුවෝ  50000ක් සිට ඇත. මීගමුව පෘතුගීසීන් හදුන්වාදුන් කතෝලික ආගම වැළදගත්, පල්ලි, මිෂනාරි පාසැල් සහ පෘතුගිසි පරිපාලන ගොඩනැගිලි කිහිපයක් තිබු, පෘතුගීසී ජනයා සමග ආවාහ, විවාහකරගත් ජනතාවක් ජීවත්වූ, පෘතුගීසි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාවෙන් බිදී ගිය පෘතුගීසි ක්‍රයෝල් (Portuguese creole) නම් භාෂාවක් භාවිතාකළ තැනක් බවට ක්‍රි.ව. 1600 ප්‍රථම කාර්තුව වනවිට පත්ව තිබුණි. 

ඉන් තවත් දශක කිහිපයකට පසුව මීගමුවේ පෘතුගීසි බලය ලන්දේසීන් විසින් යටත්කර ගන්නා ලදී. ඒ 1640හේ පෙබරවාරියේ දීය. මීගමුව නැවත අත්කරගැනීමට ලන්දේසීන්ට එරෙහිව පෘතුගීසීන් එම වසරේ දෙසැම්බරයේ යුද්ධ කළේය. ලංකාව තුල පෘතුගීසීන් විසින් ලන්දේසීන්ගෙන් නැවත අත්කරගත් එකම බලකොටුව වුයේ මීගමුවය. ක්‍රි.ව. 1644දී ලංකාවේ අනෙක් සියලුම බලකොටු ලන්දේසීන්ට අයත්වනවිට පවා මීගමුව බලකොටුව පෘතුගීසින් බාරයේ රදවාතබා ගැනීමට පෘතුගීසීන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද ක්‍රියාත්මකවන ලදී. එහෙත් ඒ සෑම උත්සහයක්ම ව්‍යාර්ථවූ තැන පෘතුගීසින් මීගමුව බලකොටුව රැකගැනීමට අවසාන සෙබල දක්වා සටන් කර මීගමුව කොටුව ඇතුලේම මැරී වැටුනේය. අති මහත් සටන් සම්බරයකින් අනතුරුව මීගමුවේ බලය තවුරුකරගත් පෘතුගීසින් මීගමුව සම්පුර්ණයෙන්ම වෙනස්ම තැනක් බවට පත්කළහ. අද එහි බලපෑම එයා කාරය.   

සිංහල ඉතිහාසයේ හුදු 'කෙවුල් ගමක්' වූ මීගමුව පෘතුගීසීන්ට කිසිසේත්ම අත්හැරිය නොහැකි තැනක්වුයේ එසේය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
09/01/2019.

* මුල්ම ජයාරූපයේ දැක්වෙනුවේ 1980 වන විට මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුව පැවති ආකාරය. ඉන් අනතුරව මීගමුව කොටුව නොසලකා හැරීම නිසා ගරාවැටුණි. නැවත ගියවසර දී එය පිළිසකර කර 1980 තත්වයට ආසන්න තත්වයකට පත්කළේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා පුරාවිද්‍යා කටයුතු භාර ඇමතිවරයාද ලෙස කටයුතු කරන සමයේම.  මීගමුව කොටුව මේ තරමින් හෝ රැකගැනීම සදහා  මැදිහත්වීමට හැකිවීම භාග්‍යයකි.

Monday, 24 December 2018

නත්තල යනු සතුටය. එය දුගියාට බත් දීමෙන් හෝ වැරහැලි නැති දාකින් පමණක් උදානොවේ

"මගෙ නත්තල දුගියා බත් කන දාය 
මගෙ නත්තල වැරහැලි නැතිවනදාය 
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය 
මගෙ නත්තල පව පල්ලිය යන දාය"
ඉහත වදන් පෙළ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේය. ලංකාව තුල කාලයක් තිස්සේ පට්ට ගසන මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහතකී වදන්පෙළ අප සැමට ඉතා හුරුපුරුදුය.  සිරිසේන ජනාධිපති වරයාගේ සිට විවිධ දේශපාලකයින්ද, කාදිනල්තුමාගේ සිට විවිධ තරාතිරමේ පුජකතුමන්ලාද, දිවයින පත්තරේ සිට ප්‍රදීපය පත්තරේ දක්වාද, බොහෝ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකාද, facebook වැනි සමාජ මාධ්‍යන්ද,  ඉහත ජයකොඩි පියතුමාගේ වාක්‍ය ඛණ්ඩයන් නිතර නිතර වරනගයි. 

එහෙත් එකී බොහෝ දෙනෙක් ඉහත දැක්වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ කුමක්ද? ඒ සම්බන්දයෙන් ඔබට අදහසක් තක්සේරුවක් තිබේද?

එක අතකට ඔවුන් කියන්න යන්නේ ඉතා සරල කථාවකි. එනම් නත්තල යනු දිළින්දන්ට කෑමදීම, වැරහැලි ආදිය ඇදන් සිටින්නන්ට ඇදුම්දීම ආදියද අප විතරක් කාබී, සැරසිලිකර, විවිධ ඇදුම් ආයිත්තම් ඇද උජාරුවට සමරණවාට වඩා එය දිලිදු ජනයා සමග බෙදාගැනීම වටිනා බවය. වඩාත් ආකර්ශනීය සහ යුක්ති සහගත ලෙස දැක්වුවහොත් 'නත්තල යනු බෙදාගැනීමය', 'ඇති අය නැති අයට දීම' ආදී කථාය. එවැනි කථා යහපත්ය. හද පිනව, පිං අනුමෝදන්වෙන සුන්දර කථාය. 

අනික් අතට, මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ නත්තල යනු එහෙම මහා උත්සවාකාරයෙන් සැමරිය යුතු දෙයක් නොවන බවය. 'ජේසු ඉපදුනේ ගව මඩුවේය', ඔහුගේ 'තොටිල්ල වුයේ පිදුරු පිරවූ ගව ඔරුවය' ආදී කතා මෙහිලා ආධාරක කරුණු ලෙස භාවිතා කරයි. (ඇත්ත වශයෙන්ම එවැනි කරුණුවලට පදනමක් නැත. ලූක් සුවිශේෂයේ කරුණු පවා දක්වන්නේ  තානායමේ ඉඩ නොමැති වුයෙන්, ඔවුන් (සතුන්ට කෑම දෙන) ගව මඩුව හෙවත් manger හී නැවතුන බවයි. මෙහිදී manger යන්න කුමනාකාරයේ තැනක්ද යන්න පිළිබද පැහැදිලි නැත. ජේසු ගව මඩුවක ඉපදුන නිසා අපි නත්තල උත්සවාකාරයෙන් සැමරිය යුතු නැත්ද?

ඒ හැර, 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' වදන් පෙළ ලංකාව තුලදී සුළුතරයක්වන කිතුනුවන් අතිමහත් උත්සවාකාරයෙන් සමරන නත්තල යම් ආකාරයකට නියාමනය (regulate) කිරීම සදහාද භාවිතාකරන බවක් පෙනේ. පොඩි පිරිසකගේ වැඩි සද්දය ලොකු පිරිසකට මහා කන්කරක්ච්චලයක් නොවීමට වගබලාගැනීම ඉතා වැදගත්ය. එහිලා  මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙල ලබාදෙන දායකත්වය ඉතා ඉහලය.

කෙසේවුවද, මා යෝජනා කරන්නේ අපි දැන් මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී රසාස්වාදනයෙන් එලියට යායුතු බවය. එනම් නත්තල යනු 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' යන කථාවලින් අපි දැන් එලියට යායුතුබවය. මන්දයත් මහත් සද්භාවයෙන් මර්සලින් ජයකොඩි පියතුමා ඉදිරිපත් කල එවැනි රචනා පවා දැන් භාවිතා කරන්නේ ප්‍රතිගාමීන්ය. ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙනි. 

ඇත්තවශයෙන්ම නත්තලේ සැබෑ අරුත විස්තර කල හැක්කේ 'නත්තල යනු සතුටය' යන්න පිළිගැනීම තුලය. එවිට නත්තලේ නියම අරුත රැගත්  නියම කතාව දිගහැරෙනු ඇත.  එනම් 'නත්තල යනු සතුට'  නම්  අපි සතුටු නැත්තේ ඇයි? අපේ සතුට අපිට අහිමිවී ඇත්තේ ඇයි? ඒය උදුරාගත්තේ කවුද? මේ ආදි ප්‍රශ්නවලට ඉඩ ප්‍රස්ථා විවරවේ. ඇත්තවශයෙන්ම, ජේසුගේ උපත තුල මතුකරන විමුක්තියේ පණිවිඩය මතුකරගත හැක්කේ එවිටය. 

ඉතින් අපි ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී වදන් යොදාගෙන දිගින් දිගටම පතුරුවන ප්‍රතිගාමීත්වය වෙනුවට 'නත්තල  යනු සතුට' යැයි යන්න පිලිගනිමු. එය දුගියාට බත් දීමේ හෝ වැරහැලි වෙනුවට හොද ඇදුම් දීමෙන් හෝ අත්කර නොගත හැක්කකි. සැබෑ සතුට අත්කර ගත හැක්කේ සැමට සතුටින් සිටිය හැකි සමාජ, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික වටපිටාවක් තුල පමණි. 

එවැනි අරුතක් පිරි නත්තලක් ඔබටත් උදාවේවා. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
24/12/2018. 

*ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති Peter Paul Rubens (1577-1640) ගේ The Adoration of the Magi (1628) චිත්‍ර ඉහතින් දැක්වේ. 

Friday, 14 December 2018

අධිකරණ තීන්දුවෙන් පසු ජාතිවාදය එලිබසීයි - ක්‍රිස්තියානීන්ට රතු එළියක්?

ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත්, ජනාධිපතිවරයාටවුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ වසර 4 1/2 කින් පසුව පමණක් බවත්, එයට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට උවමනා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සිදුකල හැකියැයි දක්වමින් ඊයේ (13/12/2018) ශේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවත් සමග ජාතිවාදය සහ ආගම්වාදය පෙරට පැමිණ තිබේ. මෙවර එය පැහැදිලිවම ක්‍රිස්තියානී ජනයා ඉලක්ක කරගෙන තිබේ. 

මෙහිලා ප්‍රමුඛයා වී ඇත්තේ  ශ්‍රී ලංකාවේ දශක 3ක කාලයක සිට ජාතික චින්තය ලෙස දක්වමින් පට්ට ජාතිවාදයක් ප්‍රවර්ධනය කර ප්‍රචලිත කල මහාචාර්ය  නලීන් ද සිල්වාය. ඔහු දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන  කාලය නම් වෙබ් පිටුවේ අද (14/12/2018) පළකර ඇති 'ජාතික-විජාතික ගැටුම' නම් ලිපියේ දක්වනුයේ මෙසේය: "බෝන් අගේන් ක්‍රිස්තියානි නිකාය රටේ ඉහළ යැයි කියන පුද්ගලයන් තම මතවාදයට බාගෙන. බෝන් අගේන් සාමාජිකයන් පරණකඩවලත් අලුත්කඩවලත් ඉන්නවා... බෞද්ධ සංස්කෘතිය ඇත්තේ නමට පමණයි. ආධිපත්‍යය ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි මතවාදවලට...රනිල්ගේ පියා ක්‍රිස්තියානි...සුමන්තිරන් ආගමෙන් ම මෙතෝදිස්ත... රනිල් සංස්කෘතියෙන් යුදෙව් ක්‍රිස්තියානි...යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට රෝම ලන්දේසි නීතියට අනුව ඉටු කෙරෙන යුක්තිය එකම යුක්තිය වන්නේ ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ටයි...'' ආදී ලෙස දක්වා තිබුණි.  

ඔහු  සිය වෙබ්අඩවිය ඔස්සේ මෙන්ම ඔහුගේ සමාජ-දේශපාලන මැදිහත්වීම් ඔස්සේ දිගින් දිගටම පේන්වාදීමට උත්සහ කරන්නේ ලංකාව තුල ක්‍රිස්තියානිය සහ බටහිර ආදිය ගෑවී ඇති සියල්ලෙන්ම නිදහස්වීමකින් තොරව නැවත ශ්‍රී ලංකාවට  සිය  අතීත  විභූතියට යා නොහැකි බවකි. එය එක හෙලාම ගැලපෙනුයේ මිලියන 6ක යුදෙව් ජනයා ඝහතනයකල ජර්මනියේ හිට්ලර්ගේ නාසි පක්ෂය දැක්වූ ''(ඊනියා) ආර්ය  ජර්මන් ජනතාවගේ විභූතිය නැවත ඇතිකරගත හැක්කේ ජර්මනිය යුදෙව් ජනයාගෙන් මෙන්ම යුදෙව් යැයි ගෑවී ඇති සියල්ලෙන්ම නිදහස් වීමෙන් පසුව පමණි'' වැනි අදහස් සමගය.  

නලින් ද සිල්වාගේ මතය අනුව යන ගෝලබාලයන් මෙන්ම ඔහුගේ මතවාදය පිළිගන්නා ප්‍රමාණයද දැන් දැන් ක්‍රමයෙන් ලංකාව තුල ඉහල යමින් සිටී. ඔවුන්ගේ මේ මොහොතේ දේශපාලන නායකයා ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂවය. නලින් ද සිල්වා ගේ වචනයෙන්ම දක්වතොත් 'රනිල් ඇතුළු බටහිර යුදෙව් ක්රිතියානි අධිපත්යෙන් රට ගලවා ගත හැක්කේ මහින්දට පමණි.' සිරිසේන - මහින්ද එකතුව ඔවුන් දකින්නේ ජාතික කදවුරේ එකතුවක් ලෙසය. ඉන් පිටතින් සිටින්නෙ විජාතික ගතිසිරි-සංස්කෘතීන් ඇති දේශද්‍රෝහීන්ය. ඔවුන් සිංහලද, මුස්ලිම්ද, දෙමළද, ක්රිස්තියානිද, කතෝලිකද, අනාගමිකද, වාමාංශිකද, ආදීය ඔවුන්ට ඇදලා නැත. ඔවුහු ද්‍රෝහීන්ය.
(ඊනියා) සිංහල-බෞද්ධ අතීත ශ්‍රී විභූතිය ගෙනෙන්නට එරෙහිවන ද්‍රෝහීන්ය. 

මෙම නඩු තීන්දුවට පෙර එනම් 04/12/2018 ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පලකල ''ඓතිහාසික නඩු විභාගය ඇරඹේ..! ගම්මන්පිල අගවිනිසුරු ටැකල් කරන්න ගිහින් ඇනගනී..!'' යන ලිපිය අනුව දැක්වුයේ මහින්ද පිලේ ප්‍රකට ජාතිවාදී කසකරුවෙකුවන  උදය ගමන්පිල  මන්ත්‍රීවරයා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා රහසිගතව හමුවීමට උත්සාහ කර ඇති බවය. එම පුවතට අනුව අගවිනිසුරුවරයා සිය ආගමික කටයුතු සඳහා පැමිණෙන දේවස්ථානයක් ලෙස කොළඹ ඩීන්ස් පාරේ Fatima දෙව් මැදුර හඳුනාගෙන උදය ගම්මන්පිල එහි ගොස් දේවස්ථානය බාර පියතුමා හමුවී තමන්ට රහසිගතව අගවිනිසුරුවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා තිබේ. හමුවේ රහසිගත භාවය තමා විසින් ආරක්ෂා කරන බවටද පියතුමාට ගම්මන්පිල පොරොන්දු වී තිබේ. එහෙත් පියතුමන් විසින් ගම්මන්පිලගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව තමාගේ ඉල්ලීම රහසක් ලෙස තබා ගන්නා ලෙස ගම්මන්පිල පියතුමන්ට කනපින්දම් කියා ඇතැයි දැක්වේ.


දැන් මෙම නඩු තීන්දුවෙන් අනතුරුව අගවිනිසුරුතුමා සහ සෙසු විනිසුරුවන්ගේ ආගම  ආදිය ඉලක්ක කරගනිමින් විවිධ අපවාද, හෙලාදැකීම් මඩ ප්‍රචාර අදිය facebook ආදී සමාජ ජාලවලට මුදා හැර තිබේ. මෙහිදී ඔවුන් ක්‍රිස්තියානීන් යැයි දැක්වීම ශ්‍රී ලංකාවේ ජාතිවාදී ව්‍යාපෘතීයේ ඊලග අංගය බවට පත්ව ඇත. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් පිටු පස ඇත්තේ ඔවුන් බහුතරයක් සිංහල-බෞද්ධ නොවන කතෝලිකයන් සහ ක්‍රිස්තියානීන් යැයි දැක්වීම ජයටම කෙරීගෙන ගිය,දැන්ද කෙරීගෙන යන්නකි. 

මේ තත්වය තුල ලංකාවේ ක්‍රිස්තු භක්තිකයන්ට යම් රතු එළියක් දැල්වෙමින් තිබේ යැයි යන්න පෙනීයන්නකි. කන-බොන ජෝලිකරන ක්‍රිස්තියානීන්ද මේ සම්බන්දයෙන් අවධානයෙන්  පසුවිය  යුතුය.  නැතහොත් මිසර දේශය ධන-ධාන්‍යයෙන් පෝෂණය කල ජෝසප් ගෙන් පසු ඔවුන්ගේ පරම්පරාවලට අත්වූ ඉරණමට වඩා වෙනස් ඉරණමක් අත්නොවෙනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/12/2018

Tuesday, 20 November 2018

මොකක්ද මේ චක්කරේ. අරුම පුදුම යන්තරේ

ආයෙ ආයෙ එලබෙනා
නොනැනවතීම පැමිණෙනා 
මොකක්ද මේ චක්කරේ 
අරුමපුදුම යන්තරේ 

ශීතකාලේ හිම වැටේ
ගහකොළ ඇලදොළ මිදේ 
කිටි කිටියට දුම් පිබිමින්
සුදු හිමමත පිය මැනේ

ළමා ලපටි ලිස්සතී
කෙළි සෙල්ලම් හඩ ඇසේ
ඇද වැටුනොත් බෙලි කැඩේ 
ඉතින් හිමින් අපි ඇදේ

වසන්තයට දළු දමතී
ගහකොළ මල් පුබුදුවතී
රන්පැහැ හිරු ඔකද වෙතී
කුරුළු හඩින් පුබුදුවතී

කොළපාටින් දිලෙන බිමේ
නේක වර්ණ මල් හිනැහේ
මලේ මහිම මෙනෙහි කරන් 
සැහැල්ලුවෙන් අපි ඇදෙතී

ග්‍රීස්මයට තද අව්වයි
වතුර වලට එක පිම්මයි
මස් පිච්චෙන පුළුටු ගදයි
සව්දිය පිරි සිනහ හඩයි

වෙරළ උයන් පිරී යතේ 
මිනිස් කැලේ සද්දේ වැවේ
රුවැති ලදුන්, සිනිදු ඇදුම්
මවයි දිව්‍ය ලොවක දසුන්  
මියුරු සරට ඉපිලෙන පා  
ගතට සිතට මිහිර ගෙනේ

සීත සුළග පැමිණෙනවා 
සරත් කාලේ ලග එනවා 
ගස් කොළ දළු හලා දමා 
ඇග ලොම් ඇගලුම් ඉල්ලනවා

දවාලටත් කළුවරයි 
හිරු නැගුනත් කළුවරයි  
වලාකුළුත් දුක් බරයි
හඩන හැගුම් තෙත්බරයි
කොල බොරවූ මඩිති බිමේ 
බර සාරේට පය එසවේ

පින්න මිදුන සුදු පැහැයයි 
හිම සිහිවන තද සීතයි 
දුම්පිටවන එක හුස්මයි 
අනන්තයක එක රවුමයි
මොකක්ද මේ චක්කරේ 
මහබබාගේ මන්තරේ 
සොබාදහමේ යන්තරේ
පිටුගාණක විස්තරේ 

කරුමයක්ද? අරුමයක්ද?
අනිත්‍යයේ නැවතුමක්ද?
මැවුම්කරුගේ විස්කමක්ද? 
ඉබේ වියනු ගෙත්තමක්ද?

මොකක්ද මේ චක්කරේ 
සොබාදහමේ මන්තරේ 
ආයෙ ආයෙ එලබෙනා
නොනැනවතීම පැමිණෙනා
මොකක්ද මේ චක්කරේ? 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
12/11/2018. 

Thursday, 27 September 2018

මැල්කම් රන්ජිත් කාදිනල්තුමා මතුකරන ශ්‍රී ලංකා කතෝලික සභාව මුහුණදී ඇති අවුල

//බටහිර අළුත් ආගම මානව හිමිකම්.. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කථා කරන්න ඕනෑ නැහැ...// බැලු බැල්මටම මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කරඇති කථාවේ වරදක් නැත යැයි පෙනීයනු ඇත. එම ප්‍රකාශයම වෙනත් ආකාරයකට දැක්වුහොත් ''මානව හිමිකම් මොකටද, අපි ආගම් අදහනවා නම්" යන්න කියවේ. ඒ අනුව මානව හිමිකම්වලට ඉහලින් ආගම් ඔසවා තැබීම සිදුවේ. ආගමික නායකයෙකු වශයෙන් සියල්ලන්ටම ඉහලින්, සියල්ලටම ඉහලින් ආගම ඔසවා තැබීම  ඔහුගේ රාජකාරිය බව අපි දන්නෙමු. එහෙත් 'මානව හිමිකම්' යන්න බටහිර මතුවුයේ ආගම්වලට තවදුරටත් මිනිස් ජීවිතවල වටිනාකම් ආරක්ෂා කරදීමට අසමත්වීම නිසා යැයි යන තර්කයද කිසිසේත්ම ඉවතහෙළිය නොහැක.



විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එළිදක්වන්නේ අතිවිශාල ව්‍යසනයකට මුළු මිනිස් සමාජයම ලක්වූ පසුවය. දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ අතිමහත් කෲරතර මිනිස් සංහාරයක් කල හිට්ලර්, මුසලෝනි වැනි වර්ගවාදී, ජාතිවාදී ජන ඝාතකයන්ව කිසිසේත්ම වලක්වාලීමට කිසිදු ආගමක් සමත්වූයේ නැත. ඔවුන් යටතේ යුදෙව්, ජිප්සී (Gypsy people/Roma) ආදී මිනිස් ප්‍රජාවන්  පමණක් නොව ශාරීරික දුර්වලා සහිත ජර්මානු ජනයා ඇතුළු නියත  මරණයේ අනතුරට ලක්කල මිනිසුන්ගේ ඉරණම වෙනස්කරලීමට ආගමික සංස්ථාපිතයන්ට කිසිදු තීරණාත්මක මැදිහත්වීමක් සිදුකල නොහැකිවීම ඉතිහාසයේ සිදුවූ ඉතා අවාසනාවන්ත තත්වයකි.


එම පසුබිම මත එළිදක්වන මානව හිමිකම් ප්‍රකාශනය කරලියට ඒමත්, එය බලාත්මකවීමත් සමග මහා මිනිස් ව්‍යයාසනයන්ට එරෙහිව අයෝමය හඩක් ගොඩනැගුනාසේම ඇතැම් ව්‍යාසනයක් වලක්වාලීමටද, ඒවා අවමකරගැනීමටද, එසේ නොහැකිවුයේ නම් අඩුම තරමින් වරදකරුවන් නීතිය හමුවට පැමණවීමට සහ නැවත එවැන්නක් ඇතිවීම වලක්වාලීමටද හැකි පදනමක් ගොඩ නැගුණි.

අනික් අතට, මානව හිමිකම්හී නැගීමත් සමග ආගමික සංස්ථාවන්ට සහ ස්ථාපිතයන්ටද අභියෝගයක් එල්ලවූ බවද පැහැදිලිය. විශේෂයෙන්ම, ආගමීක නායකයන් අතින් සිදුවූ ළමා අපයෝජනයන් සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමත්, එම ක්‍රියාවන් සම්බන්දයෙන් තරාතිරම නොබලා ආගමීක නායකයින්ට දඩුවම්දීමත්, ආගමික ඉගැන්වීම් නාමයෙන්  ස්ත්රීන්ගේ මෙන්ම සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමවලට එරෙහිවද ක්‍රියාත්මකවීම සිදුවිය. එමගින් පල්ලියේ මෙන්ම වෙනත් ආගම්වල පැවැත්මට බරපතල අභියෝගයක් එල්ලකල බව පැහැදිලිය. අගරදගුරුවරු, වතිකානුවේ ප්‍රධානින්, රදගුරුවරු සහ පුජා ප්‍රසාදීන්වහන්සේලා ආදීන් අත්අඩංගුවට පත්වීමත් සමග ඒ සම්බන්දයෙන් ක්‍රිස්තියානි ආගමික සංස්ථා ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවීම සිදුවීමත් තේරුම් ගත හැක්කකි.

එහෙත් මානව හිමිකම්හි පදනම ආගමීක ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් කිසිසේත්ම  උල්ලංඝනය කරන්නක් නොව ඔවුන්ගේ ඉගැන්වීම් වෙනත් ආකාරයකින් තහවුරු කරන්නකි. එහින් මානව හිමිකම් සම්බන්දයෙන් චෝදනා කිරීමට කිසිසේත්ම පදනමක් නැත. මානව හිමිකම්හී පදනම ආගමික ඉගැන්වීම්වල හරය නම් මානව හිමිකම් බටහිරට ආගමක්වීම වරදක් වෙන්නේ කෙසේද?

එහෙත් මට පෙනීයනුවේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ආරාවුල ඇත්තේ මානව හිමිකම් සම්බන්දයෙන් නොව වර්තමාන බටහිර ලෝකය සම්බන්දයෙන් බවය. පැහැදිලිවම බටහිර ලෝකය තුල ආගමට මෙන්ම ආගමික සංස්ථාපිතයන්ටද හිමිව තිබු අධිකාරීත්වය ක්‍රමයෙන් දියවේමින් ගොස් තිබේ.

එහෙත් ඔවුන් සම්පුර්ණයෙන්ම ආගම අත්හැර ඇතයි යන්න ඉන් නොකියවේ.

තමන් නිතර පල්ලි නොගියද, ආගම නොඇදහැව්වද, බටහිර ලෝකයේ බහුතරයක් තවමත් තමන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම යැයි කියන්නට නොපැකිළෙති. විවාහය වැනි උත්සවයක් පල්ලියේ ගැනීමට ප්‍රියකරති. ජේසු උපන් නත්තල වසරේ ප්‍රධානතම උත්සවය ලෙස සමරති.  සිය ශිෂ්ටත්වයේ පදනම් සකස්කරලීමෙහිලා ක්‍රිස්තියානි ආගමද ඉවහල්වී ඇතිබව පිළිගනිති.

එහෙත් බටහිර පුද්ගලයා මෙන්ම රාජ්‍යයද තීන්දු-තීරණගැනීමේදී කටයුතු කරනුයේ හුදෙක් බයිබලය, පල්ලිය, පාපය, අපාය, ස්වර්ගය, මරණයෙන් මතු ජීවිතය හෝ පුජා ප්‍රසාදීන්ලාගේ අභිලාෂයන්, ඉගැන්වීම් හෝ ආශිර්වාදය පදනම් කරගෙන නොවේ. සිය අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය පදනම් කරගෙනය. එහින් බටහිර මනුෂ්‍යයා සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist humanism) ලෙස හදුන්වති. 'මානව හිමිකම්' යන්න ගොඩනැගී ඇත්තේ මෙහිම තවත් එක් දිගුවක් ලෙසය.

බටහිර ජනයා ලංකාවේ මෙන් හදියක් හන්දියක් පාසා සුරුවම් තැබීමට හෝ මීසමට පැමිණෙන සෑම අලුත් පුජා ප්‍රසාදිවරයෙකු පසා අලුතින් සුරුවම් තැබීමට සතයක්වත් නොදේ. එහෙත් සිය ගමේ පල්ලියේ ගරාවැටෙන පල්ලිය ප්‍රතිසංස්කරණ කිරීමට මෙන්ම පල්ලියේ ලයිට් බිලගෙවීමටද යම් දායකත්වයක් දෙයි.  ''බයිබලයේ ඩයිනොසිරස්ලා ගැන සදහන්වී නැත්තේ ඇයි?" යැයි බටහිර දරුවන් සිය දෙමාපියන්ගෙන් විමසනවිට ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ ''බයිබලයේ හැම සතෙකු ගැනම සදහන් කර නැති'' බවය. ''අඩුම තරමින් අලි ගැනවත් එහි නැත'' යැයි කියයි. ''ඒ ඇයි?'' යැයි ඇසුවිට ''බයිබල් කතුවරු හැම සතෙකුම දැක නැත'' යැයි කියයි. බයිබලය සම්පුර්ණයෙන්ම බොරුය, එය නොකියවිය යුතු, විසිකර දැමිය යුතු පොතක් යැයි සිය දරුවන්ට කියන 'දෙමාපියන්' ඇත්තේ බටහිර ශිෂ්ට සමාජයෙන් එලියේය. බටහිර ලෝකයේ බොහෝ දෙමාපියන් සිය දරුවන්ට බයිබලය අඩුම තරමින් සාහිත්‍ය  කෘතියක් ලෙස හෝ කියවීමට නිර්දේශ කරති. විවාහයට පෙර ලිංගික සබදතා, සමලිංගික සබදතා, ගබ්සාව ආදී කරණා සම්බන්දයෙන් මෑතකදී සිදුවූ සාකච්ජාවකදී ප්‍රකට කතෝලික කාදිනල්වරයෙකු දැක්වුයේ "දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ තෝරා ගැනීමට ඇති නිදහසද සමග බවය" - එනම් 'තහනම් ගහක්ද' එහි ගෙඩි කෑමට හෝ නොකෑමට නිදහසද ඇතිව බවය. ඒඅනුව හොද නරක පෙන්වා දිය හැකිවුවද එය පුද්ගලයාගේ ස්වකීයමය කැමැත්ත මත ගන්නා තීරණයක් බව දක්වයි.  මේ අනුව පෙනීයන්නේ බටහිර ශිෂ්ටත්වය තුල ජීවත්වෙන වැසියන් පමණක් නොව එහි ආගමික නායකයන්ද සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist human) බවය.     

එහෙත් බටහිර ලෝකයේ සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වය ((Rationalist humanism) ඉස්මතු කිරීම වෙනුවට බටහිර මනුෂ්‍ය ජීවිතය හෙලාදැකීමට අති ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කටයුතු කරන්නේ ඇයි ?

එවැනි සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වයක් ((Rationalist humanism) ඉස්මතු කිරීම තුල කාදිනල්තුමා, රදගුරුවරු, පුජා ප්‍රසාදීන් පමණක් නොව බෞද්ධ භික්ෂුන්  ආදී  ආගමීක නායකයන් ලාංකීය සමාජය තුල උසුලන ප්‍රභූ තත්වයනට පහරවදින නිසා විය හැකි යැයි යන්නද එක් නිගමයකි. මා මිට කලින් දැක්වූ ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල ආගමීක නායකයන් සමාජය තුල එක්තරා ආකාරය ප්‍රභූන් පිරිසක්වනවා පමණක් නොව දේශපාලන බලය සම්බන්දයෙන් කේවල් කරන්නන්ද වේ. අනෙක් අතට දෙමාපියන්, ගුරුවරුන්, දේශපාලකයන්, නිලධාරින් ආදිය පවා සුවිශේෂී පිළිගැනීමක් බලාපොරොත්තුවන ධුරාවලියක් සේ ගොඩනගා ඇති සමාජය ක්‍රමයක් තුල ආගමික නායකයන්ද එවැනි අස්ථානයක් ඉසිලීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම, ආගමික ඉගැන්වීම කෙසේවුද, පුදුමයකට කරුණක් නොවේ.   

එහෙත් බටහිරින් පැමිණි, තවමත් බටහිරින් (රෝමයෙන්) මෙහෙයවන කතෝලික පල්ලියද ලංකාව තුල එම ගොඩටම වැටෙන්නේ ඇයි?

මට නම් පෙනී යනුවේ එය ක්‍රිස්තියානි ආගම දේශීය තත්වයන්ට ගලපාගැනීමට, නැතහොත් දේශීයකරණය කරගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව දරණ ලද සහ තවමත් දරමින් සිටින උත්සහයේ  ප්‍රතිපලයක් බවය. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීය කරණය කිරීමට ප්‍රථමයෙන්ම ක්‍රියාමාර්ග ගත්තේ ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාය. ඒ ඔහු පවා කමිටු සමාජිකත්වය දරූ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ (1962-65) තීන්දු තීරණ නිකුත්වීමටත් පෙර, එනම් 1944 දී, කොළඹ අගරදගුරු පදවියේ සිටි අවසාන විදේශීය අගරදගුරුවරයාවූ ප්‍රංශ ජාතික Jean-Marie Masson, O.M.I. (1944-1947) අගදරගුරුවරයා ඉවත්ව ගොස් මීගමුව පෙරියමුල්ලෙන් බිහිවූ  බෙන්ජමින් තෝමස් කුරේ රදගුරුවරයා කොළඹ   අගරදගුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුවය.

එහෙත් තෝමස් කුරේ අගරදගුරුවරයා ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය වියයුත්තේ කුමන ආකාරයකටද? එහි සීමා මායිම් මොනවාද? යන්න ගැන පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ඇතිව සිටියහ. එයට එක් උදාහරණයක් වනුවේ 1962 දී එවකට කොළඹ කතෝලික පාඨශාලා සාමාන්‍ය අධිකාරිවරයාවූ D. J. ඇන්තනී පියතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ රැස්වීමකදී 'තමන් අන් සියළුම සිංහලයන්ට නොදෙවෙනි සිංහලයෙකු බවත්, තමන්ගේ ලේවල දුවන්නේ ආර්ය සිංහල ලේ' යැයි දැක්වූ ප්‍රකාශනයක් සම්බන්දයෙන් අවවාද කල බවත්, එවැනි වාගලංකාරයන් (rhetoric) අනවශ්‍ය අවධානයන් සහ විකෘති අදහස් නිර්මාණය කරණබවත් දක්වා තිබුණි. එමෙන්ම කාදිනල් කුරේ හිමියන් දරුණු ලෙස රෝගාතුරුව ස්විස්ටර්ලන්තයේ සිරිකුරුස නිකායේ ශා. රැපියල් රෝහලේ රෝහල්ගතව සිටි සමයේ එතුමා ලගින්ම සිටි  යාපනයේ එවකට රදගුරුවරයාවූ  එම්ලියානුස් පිල්ලේ පියතුමන්ට වරක් පවසා ඇත්තේ "අප සිංහල හෝ දෙමළ වන්නේ භාෂාව නිසාද, නැතහොත් සංස්කෘතිය නිසාද යන්න දේවධර්මයට අදාල නැති බවත්, සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන්'' බව තරුණයන්ට පසක්කර දෙන ලෙසත්ය.

එවැනි ආකාරයේ විචක්ෂණ ලෙස මතවාදීමය  සහ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සිය සීමාවන් සටහන් කරගැනීමට සහ සිය මුලෝපායන් සකස්කරගැනීමට කෙතෙක් දුරට සමත්වී ඇත්ද යන්න  දේශීය සහ බටහිර යන්න නීර්ණය කරගැනීමේදී මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සිදුකරන ප්‍රකාශනයන් ඇසුරින් දැන් දැන් නිතර මතුවෙන ගැටළුවකි.

සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් යැයි යන්න වඩ වඩාත් තවුරුකිරීමට දැඩි වෙරක් දරණ ප්‍රවණතා මතුවී ඇති මේ යුගයේ  සිංහල-කතෝලිකයන්ද සිංහලයන්ය යන්න තවුරුකිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට උවමනාවක් පවතින්නේද? සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් පමණක්ය යන්න මතුකරන්නන් සිංහල-කතෝලිකයන් නියම සිංහලයන් ලෙස පිළිගනීද? යන්න ආදිය අපි නොදනිමු. එහෙත් කතෝලිකයන් විවිධ භාෂා කථා කලද විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුක්තවුවද ඔවුන්ගේ මූලික ආගමික-සංස්කෘතික අනන්‍යතාවය බටහිර ලෝකයෙන් උරුම කරගත්තක්ය යන්න කිසිසේත්ම මුලින් උපුටා දැමිය හැකි යැයි මම නම් නොසිතමි - විශේෂයෙන්ම  රෝමයෙන් මෙහෙයවන රෝමානු කතෝලික සභාවකට එය කිසිසේත්ම කල නොහැක්කකි. එහින් කාදිනල්තුමාගේ බටහිර සමාජ පිළිබද විවේචනයන් ''කිරි නිසා විසිකිරීම්ටත් බැරි උණු නිසා බීමටත් බැරි'' තත්වයක් නිරූපණය කරයි.

කෙසේවුද, කදිනල්තුමාව විවේචනය කිරීම සදහා මංගල සමරවීරගේ කරේ නැගීමට හෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලන වාසියක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂලාගේ සහ නිමල් ලාන්සලාගේ තක්කඩි වැඩ වලට හෝ සහය දීමට නොයා යුතුය. මන්ද ඔවුන් නිරූපණය කරන ලුම්පන්, අවස්ථාවාදී, තක්කඩි දේශපාලනයෙන් අප හෝ රටට වැඩක් නැත.

අප පෙනී සිටිය යුත්තේ හුදෙක් දේශපාලකයන්ගේ හෝ ආගමික නායකයන්ගේ  ප්‍රසාදයන්, අභිලාෂයන්, ආශිර්වාදයන් පදනම් කරගත් නියාලු සමාජයක් වෙනුවට බටහිර මනුෂ්‍යයා මෙන් අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය මුල්කරගත් සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් (Rationalist humanism) වෙනුවෙනි.  'මානව හිමිකම්' ආරක්ෂාකරගත යුත්තේ එවැනි මනුෂ්‍යයන්ට ජීවත්විය හැකි සමාජ අවකාශයක් වෙනුවෙනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/09/2018