This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 7 June 2017

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ගෙනෙන අත්භූත ප්‍රථිපලය කවරේද?


ඉකුත් වසරේ (23/06/2016) බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය සමග තවදුරටත් සිටින්නේද? නැතිද? යන්න සම්බන්දයෙන් පැවති ජනමත විචාරණයට (Brexit)  දිනකට පෙර, එනම් 22/06/2016 දින, බ්‍රිතාන්‍යයේ ප්‍රකට දේශපාලන සගරාවක්වන 'New Statesman' සගරාව දැක්වුයේ Brexit ජනමතවිචාරණය යනු පැන්ඩෝරාගේ අත්භූත පෙට්ටිය (pandora's box)  විවෘත කිරීමකට සමානවන්නක් බවයි. එහි අදුරු සහ දරුණු ප්‍රථිපල ඉදිරිකාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් අත්විදිය හැකි බව එම සගරාව දක්වා මෙසේ දක්වා තිබුණි: 'Pandora’s box has been opened. The referendum has unleashed dark forces and furies into the body politic and we shall be living with the consequences for years to come.'). 

ඉහත 'New Statesman' සගරාව දැක්වූ අදහස අනුව යමින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවයක් විසින් පවත්වන ලද බලය බෙදීම පිළිබද දේශපාලන සාකච්ඡාවකදී ශිරාල් ලක්තිලක මහතාද Brexit ජනමතවිචාරණය හැදින්වුයේ පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කිරීමක් ලෙසය. 

පැන්ඩෝරාගේ පෙට්ටිය (pandora's box) හෙවත්  'වරක් ක්‍රියාත්මක කළ විට උභතෝකෝටික ප්‍රශ්න රාශියක් ඇති කරන' තත්වයක් Brexit ජනමතවිචාරණයත් සමග බ්‍රිතාන්‍යයේ උද්ගතවූ බව පැහැදිලිය: 

ජනමතවිචාරණය අතරතුර කම්කරු (Labour) පක්ෂයේ මන්ත්‍රී Jo Coxව සහාසික වර්ගවාදියෙකු විසින් මරා දමන ලදී. (ඒ සම්බන්දයෙන් මා ලියූ සටහන මෙතනින් කියවිය හැක). 'ක්‍රම විරෝධී' දේශපාලන ප්‍රචන්ඩත්වය සංවිධානාත්මක තලයක සිට තනි තනි පුද්ගලයන් මගින් වුවද දියත්විය හැකි බවට ඉන් අනතුරු ඇගවිනි. 

ජනමත විචාරයේ ප්‍රථිපල නිකුත්වීමෙන් අනතුරව නැගෙනහිර යුරෝපියානූ ජාතිකයන්ට එරෙහි විරෝධය සහ ප්‍රචන්ඩත්වය ප්‍රධාන නගරවල මෙන්ම ඈත එපිට ගම්මානවලින්ද වාර්තා විය. බ්‍රිතාන්‍යය නිතර ආඩම්බරවන බ්‍රිතාන්‍ය වටිනාකම් 
(British values) වලට කණකොකා හැඩීම ඇරබුවේ දැයි සැකයක් ඉන් මතුවිණි. 

David Cameron අගමැතිවරයා (13/07/2016 දින) ඉල්ලා අස්වූ අතර කොන්සර්වේටිව් පක්ෂයේ ගතානුගතික-දක්ෂිණාංශිය නියෝජනය කල, ඇංග්ලිකන් පල්ලියේ පුජකවරයෙකුගේ දුවෙකු වූ, ස්වදේශීය කටයුතු පිළිබද ඇමති, Theresa May කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව බවටත්, බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයටත්  පත්වන ලදී. බ්‍රිතාන්‍යයේ නුතනත්වයේ සංකේතයක් බවට සැලකු Boris Johnson ලත් තැනම ලොප් වී ගතානුගතිකත්වයට ඉදිරියට ඒමට ඉඩදෙන ලදී.

කුමන  නීතිමය සහ දේශපාලන බාධක පැමිණියද යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දුන් ජනමතවිචාරණයේ ප්‍රථිපලය ක්‍රියාත්මක කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ සදහා නැවත මහ මැතිවරණයක් කැදවීමේ අවශ්‍යතාවයන් නොමැති බවත් මුලදී ප්‍රකාශකල Theresa May අගමැතිනිය, හෙට (08/06/16) පැවැත්වීමට නියමිත හදිස්සි මහා මැතිවරණයක් කැදවා තිබේ. 

ඒ Brexit ජනමතවිචාරණයත් සමග බ්‍රිතාන්‍යයේ උද්ගතවූ පැන්ඩෝරාගේ පෙට්ටිය (pandora's box)  හෙවත්  'වරක් ක්‍රියාත්මක කළ විට උභතෝකෝටික ප්‍රශ්න රාශියක් ඇති කරන' තත්වයන්ගෙන් කිහිපයක් පමණි.

අගමැති 
Theresa Mayගේ  මෙම හදිස්සි මහ මැතිවරණය කැදවීම ඔස්සේ බලාපොරොත්තු වන්නේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබද ක්‍රියාපටිපාටිය සදහා අවශ්‍ය දේශපාලන බලය ගොඩනගාගැනීම බව දක්වා තිබේ. එහෙත් අදාල ක්‍රියාපටිපාටිය සදහා  කටයුතු කිරීමට අවශ්‍ය දේශපලන සහය සහ දේශපාලන සහයෝගය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කම්කරු (Labour) පක්ෂය සපයමින් සිටියදීත් Theresa May අගමැතිනිය  මහ මැතිවරණයක් කැදවනුවේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇයට තිබෙන නිසා බව පැහැදිලිය. 

විශේෂයෙන්ම, බ්‍රිතාන්‍යය ලෝක ආර්ථිකයේ 05වෙනි විශාලතම ආර්ථිකය ඇති තනි රටක් බැවින් යුරෝපා සංගමයට තමන් සමග දෙපාර්ශවයටම වාසිදායක ආර්ථික සහ ආරක්ෂක එකගතාවයන්ට පැමිණීමට සිදුවෙන බවත්,  එහින් යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Brexit)  බ්‍රිතාන්‍යයට එතරම් අවුලක් ඇති කරන්නක්  නොවන බවටත් වූ මුල්  බලාපොරොත්තුව දැන් වියැකී ගොස් තිබේ.  යුරෝපා සංගමයේ නායකයන්  'බ්‍රිතාන්‍යයට පාඩමක් ඉගැන්වීමේ' ස්ථාවරයක සිටින බැවින් බ්‍රිතාන්‍යයට හිතුතරම් වාසි සහගත පිටවීමක් යුරෝපා සංගමයෙන් ලබාගත නොහැකි බව පෙනේ.

ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍යයට අනිවාර්යෙන්ම මුහුණදීමට සිදුවන ආර්ථික විචල්‍යතාවයන් සහ දුෂ්කරතාවයන් හමුවේ දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට Theresa Mayගේ  කොන්සේවෙටිව් පක්ෂයට සිදුවේ. ඒ අතර මහජන සුබසාධන වියදම් කප්පාදුව, සහනාධාර කප්පාදුව, බදු වැඩිකිරීම ආදී (austerity) ක්‍රියාමාර්ග ගැනීම් සදහා අවශ්‍ය දේශපාලන බලය අත්කර ගැනීම මෙම හදිස්සි මහ මැතිවරණයේ යටි අරමුණ බව පැහැදිලිය. 

මැතිවරණය කැදවන අවස්ථාවවූ පසුගිය අප්‍රියල් මාසේ දෙවන සතිය වනවිට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු (Labour) පක්ෂයේ ජනප්‍රියත්වය එහි ඉතිහාසයේ පහලම මට්ටමට වැටී තිබීමත්, කම්කරු (Labour) පක්ෂයේ නායකයා වන Jeremy Corbyn සම්බන්දයෙන් ප්‍රබල විරෝධයක් පක්ෂය තුලත් ඉන් පිටතත් වර්ධනයවී තිබීමත්, දක්ෂිණාංශික ජාතිකවාදී බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂය (UKIP) Nigel Farage නායකත්වයෙන් ඉවත්වීමත් සමග නායකත්ව ආර්බුධයකටත්, පක්ෂය දේශපාලන වශයෙන් 'ගමනක අවසානයට' ලගාවී තිබීමත්, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නව නායකයෙකු (Tim Farron) යටතේ නැවත ප්‍රතිසංවිධාන කටයුතුවල නිරතවෙමින් සිටීමත් තුල  Theresa Mayගේ කොන්සේවෙටිව් පක්ෂයට පැහැදිලි බහුතරයක්  අත්කර ගතහැකි වෙතැයි පෙනීගියාමද මෙම හදිස්සි මහා මැතිවරණය කැදවීමට අවස්ථාව උදාකරන ලදී.

ඒ අනුව Theresa May 1983 දී හිටපු අගමැතිනී Margaret Thatcher ලබා ගත්තා (43.9 %) කටත් වඩා වැඩි චන්ද ප්‍රතිශතයක් සහ Thatcher ලබාගත් ආසන 397ට වඩා ලබා ගනු ඇතැයි පුරෝකතනය කළේය. පුවත්පත් වාර්තා සදහන් කලේද එයමය. එනම් "Theresa May will win the biggest landslide since Thatcher" ලෙසය. එම තත්වය තුල  Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂය Margaret Thatcher සමග තරගවැදුණු Michael Foot ලබාගත් (28 %) වඩා අඩු චන්ද ප්‍රතිශතයක් සහ කම්කරු (Labour) පක්ෂය ලබාගත් අඩුම ආසන සංබ්‍යාවක් වන 209කට වඩා අඩු ආසන සංඛාවක් ලබාගනු ඇතැයි අපේක්ෂා කලේය.

හෙට (08/06/17) පැවැත්වෙන මැතිවරණය කැදවීමට පෙර  බ්‍රිතාන්‍යය පාර්ලි‌‌මේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) ආසන 650 සමන්විත වුයේ පහත ආකාරයටය, එනම්:

කොන්සර්වේටිව් පක්ෂයට  ආසන 330 ක් ද
ලේබර් පක්ෂයට ආසන 229 ක් ද 
ස්කෝට්ලන්ත ජාතික පක්ෂයට ආසන 54ක්ද 
ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 09ක් ද 
සෙසු පක්ෂවලට  ආසන 28 ක්, ලෙසය. 

ඒ අනුව කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ සෙසු සියළු පක්ෂවල එකතුවට වඩා ආසන 20ක පැහැදිලි බුහුතරයක් තිබිණි. (කථානායක, කාරක සභා ප්‍රධානීන් තිදෙනා හැරුණු විට ඇත්තේ 17 දෙනෙකුගේ-Working Government Majority යක් පමණි).

දැනට සිදුකර ඇති මැතිවරණ පුරෝකතනයන් වලට අනුව නම් කොන්සර්වේටිව් පක්ෂය (43-44 %) බුහුතරයක් ද, ලේබර් පක්ෂය (34-37%) අඩු චන්ද ප්‍රමාණයක්ද ලබාගනීයැයි විශ්වාස කෙරේ. මේ අනුව Theresa Mayගේ කොන්සර්වේටිව් පක්ෂයට (43-44%) බුහුතරයක් ලැබූනද  ඇයට දිනාගත හැක්කේ ආසන 360කට ආසන්න ප්‍රමාණයක් පමණි. එය Margaret Thatcher ගේ වාර්තාවවූ ආසන 397 අභිබවායාමට නොහැකිවනු ඇත. එහෙත් Theresa May පැහැදිලිවම තවත් ආසන 30කට වඩා වැඩි ප්‍රමානයක් රැස්කර ගැනීමේ ඉඩප්‍රස්ථාවක් පවතී. 

එහි අනෙක් පැත්ත වන Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂයට ඇත්තේ එතරම් විශිෂ්ඨ තත්වයක් නොවේ. මැතිවරණයට පෙර සහ මැතිවරණය අතරතුර  Jeremy Corbynන්ට  එරෙහිව නැගෙන විරෝධයේ සහ ප්‍රසාදයේ  අඩු-වැඩිය කෙසේවුවද බ්‍රිතාන්‍ය තුල කම්කරු පක්ෂයට හිමි අවම චන්ද ප්‍රතිශතය වන (30-37%)  සීමාව පසුකර යෑමට ඔවුන්ට හැකිවී ඇති බවක් නොපෙනේ. එහි ප්‍රථිපලය වනුයේ Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂය කෙතරම් සමාජ සුබසාධන සහ ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත්කර තිබුනද ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය තවත් ආසන 98ක් වැඩිපුර දිනාගැනීමේ අති විශාල අභියෝගය ජයගැනීම අභියෝගයක් වී තිබේ. අඩුම වශයෙන් ඔවුන්ට ආසන 250-260ක් කරා ලගාවීමට හැකිව ලැබුනහොත් පාර්ලිමේන්තුව තුල තනි පක්ෂයකට සන්ධානයකින් තොරව ආණ්ඩුවක් පිහිටවීමට නොහැකි වනු ඇත. ඔවුන්ගේ පැත්තෙන් එයද ජයග්‍රහණයකි. එහෙත් මැතිවරණ පුරෝකත්නයන් දක්වා ඇති ආකාරයට කම්කරු පක්ෂය 30-37% චන්ද ප්‍රතිශතය ගතහොත් ඔවුන්ගේ ආසන සංඛාව 210-215 දක්වා පහත වැටීමට ඇති හැකිව හෙවත් පවත්නා ආසන සංබ්‍යාවට වඩා ආසන 15-20ක් අතර සංබ්‍යාවක් අහිමිවීමට ඇති ඉඩකඩද බැහැර කල නොහැක. 

ලිබර් ඩිමොක්‍රටික් පක්ෂය පැහැදිලිව සිය ආසන සංබ්‍යාව 9යේ සිට 12-15 අතර සංඛාවක් කරා ගමන් කරනු ඇත. 

ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ඇති ආසන 56ය මීට වඩා වැඩිකරගත නොහැකි බව මගේ පෞද්ගලික අදහසයි. බොහෝදුරට ඔවුන්ගේ  ආසන සංඛාව 14-6 අතර ප්‍රමාණයකින් අඩුවෙනු ඇති බව මගේ අදහසයි. 

අයර්ලන්තයේ  Sinn Féin ආසන සංබ්‍යා 4-5 කට වඩා වැඩි නොවණු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදී Democratic Unionist Party පක්ෂය  Sinn Féin මෙන් දෙගුණයක් ගැනීමේ ප්‍රවණතාවය මෙවරද ලොකු වෙනසක් නොපෙන්වනු ඇති බව පෙනේ. 

එමෙන්ම, ගියවර (2015)  වාර්තාගත ලෙස ආසියානු-අප්‍රිකානු සම්භවයක් ඇති මංත්‍රීවරුන් 42ක් බ්‍රිතාන්‍යය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වූ අතර මෙවර එම වාර්තාව අභිබවා යාහැකි බවක් පෙනේ. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් 56 ක් මෙවර මැතිවරණයට ඉදිරිපත්වී සිටින අතර හිටපු මන්ත්‍රීවරුන්/වරියන් (10) සහ ඇමතිවරුන් (Priti Patel) මෙන්ම කුප්‍රකට කීත් වාස්ද නැවත මැතිවරණයට ඉදිරිපත්වේ. 

හිටපු පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරුන්/වරියන් 10 දෙනාම මෙවර මැතිවරණයට තරග කරන අතර ඊට අමතරව තවත් 8 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්වී සිටී. 

ගියවර බංග්ලාදේශ සම්භවයක් ඇති පුද්ගලයන් 8 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්වුවද ඉන් තේරී පත්වුයේ 3ක් පමණි. ඒ අතර බංග්ලාදේශයේ නිර්මාතෘ ෂේක් මුජුබල් රහමන්ගේ මිනිබිරිය වන ටියුලිප් රිස්වානා ඉදිරියෙන් සිටින අතර  ගාර්ඩියන් පුවත්පතට ලිපි ලියන රූපා හක්ද ප්‍රකට චරිතවේ. 

(පසුගිය මැතිවරණයෙන් ජයගත් ආසියානු-අප්‍රිකානු සම්භවයක් ඇති මංත්‍රීවරුන් පිළිබද තොරතුරු  මා මීට පෙර ලියූ 'වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට'  යන ලිපිය මෙතනින් කියවිය හැක .) 

මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂකයින් ගණන 01කි. ඒ පසුගිය මැතිවරණයේදී දැඩි වර්ගවාදී ප්‍රහාරයකට කලක්වූ (එය මෙතනින් කියවිය හැක) නමුත් දකුණු හැම්ශේයර් පළාතේ කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ජයගත් රනිල් මැල්කම් ජයවර්ධන පමණි. සිංහල ජනයා අතර වැඩි උනන්දුවක් පැවති චමාලි ප්‍රනාන්දුට මෙවර කොන්සර්වේටිව් පක්ෂයෙන් නාම යෝජනා හිමි නොවුන අතර දෙමළ ජාතිකයන් අතර වැඩි කථාබහට ලක්වූ උමා කුමාරන් මෙවර මැතිවරණයට තරග නොකරයි. එහෙත් ඇය ලේබර් පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව තුල ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින තැනැත්තියක්වේ. 

සියළු මැතිවරණ පුරෝකතනයන් අගමැති Theresa Mayගේ කොන්සර්වේටිව් පක්ෂයට ඇත්තේ පැහැදිලි ජයක් යැයි දක්වා තිබුනද බ්‍රිතාන්‍යයේ චන්ද දායකයාගේ තීරණය මැතිවරණ ප්‍රථිපල නිල වශයෙන් දක්වනතුරු  නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව පොදු පිළිගැනීමයි. විශේෂයෙන්ම, 1992 දී බලාපොරුත්තුවූ ලෙස අගමැති ජෝන් මේජර් (John Major) පරදා ලේබර් පක්ෂයේ නීල් කීනොක් (Neil Kinnock)   යටතේ කම්කරු පක්ෂ රජයක් පිහිටවුනු ලබන්නේ යැයි කී සියළු මැතිවරණ පුරෝකතනයන් කණපිට පෙරලමින් ජෝන් මේජර් (John Major) නැවත වරක් අගමැතිවන ලදී. 

පැහැදිලිවම, මෙවර මැතිවරණයේදී Theresa May ගේ කොන්සර්වේටිව් පක්ෂය Margaret Thatcherගේ වාර්තාව අභිබවමින් වාර්තාගත ජයග්‍රහණයක් ලැබීම  හෝ Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂයට ආසන සංබ්‍යාව වැඩි කරගැනීමට හැකියාවක් ලැබීම හෝ ස්කෝට්ලන්ත ජාතික පක්ෂයට සිය ආසන සංබ්‍යාව පවතින ලෙස රැකගැනීම හෝ වැඩිකර ගැනීම මෙම මැතිවරණය තුල තීරණාත්මක සාධකයක් වනු ඇත. 

කෙසේවුවද, Brexit ජනමතවිචාරණය නම් වූ පැන්ඩෝරාගේ පෙට්ටියේ (pandora's box) තවත් දිගහැරුමක් ලෙස පැමිණි මේම හදිස්සි මහ මැතිවරණය කුමන අත්භූත ප්‍රථිපලයක් උදාකරදේ දැයි තවම නොදන්නා  බ්‍රිතාන්‍යයන් තුරන්කල නොහැකි 'ත්‍රස්ත ප්‍රහාරයන්' ගේ අනතුර පිළිබද අවධානය විසින් දල්වන ලද ජාතික ආරක්ෂාව (national security) සහ බ්‍රිතාන්‍යය වටිනාකම්  (British values) අතර  ගොඩනැගෙන සම්මුතිය කුමනාකාර වේදැයි විමසීල්ලෙන් සිටී. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
07/06/17. 

Sunday, 4 June 2017

ඊලග මහා ගංවතුරෙනුත් මීගමුව බේරේයිද?

ගිය වසරේ මෙන්ම මේ වසරේද ශ්‍රී ලංකාවට දරුණු විනාශයක් ගෙනදුන් මහා ගංවතුර මීගමුව අවට ප්‍රදේශවලට බලපෑවේ නැත. එයට හේතුව ගංවතුර බලපෑ  රටේ සෙසු ප්‍රදේශවලට ලැබුන තරම් මහා වර්ෂපතනයක් මීගමුව අවට ප්‍රදේශවලට නොලැබීමය. කාලයක සිට මීගමුව අවට ප්‍රදේශවලට 'ඉස්සර තරම්' වැසි නොලැබෙන බව බොහෝ පැරුන්ණන් කියනු මා අසා ඇත. විශේෂයෙන්ම ගුවන් තොටුපල විශාලවීමත්, කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටවීමත් නිසා මෙම ප්‍රදේශවල උෂ්ණත්වය ඉහල ගිය බවත්, වැසි ලැබීම අක්‍රමවත්වූ බවත්, දැන් මේ ප්‍රදේශවල ඇත්තේ 'කෘතීම කාලගුණයක්' බවත් 1996-97 අතර කාලයේ පලවූ 'නිවෙකා' පුවත්පතට කටුනායක අමන්දොලුවේ පදිංචිකරුවෙක් විසින් සපයන ලද විස්තරයක පලව තිබුණ බව මට මතකය.  එවකට කටුනායක නිදහස් වෙළද කලාපය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවූ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ජයන්ති දන්දෙනිය විසින් පවත්වාගෙන ගිය 'කලාපේ අපි' සංවිධානය විසින් පලකල 'නිවෙකා' පුවත්පතට මා ද කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස සිටියදී ලිපි ලියූ අතර ඉහත විස්තරය හා සම්බන්ද තොරතුරුද,  එම සංවිධානයේ ක්‍රියාකාරීත්වයන් සම්බන්දයෙන්ද මට නොඅඩු මතකයක් තිබේ. මෑතකදී කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පථය අළුත්වැඩියා කිරීමේදී නැවතත් මීගමුව අවට ප්‍රදේශවලට වැසි නොලැබීම සහ ඊට කටුනායක ගුවන්තොටුපලත්, නිදහස් වෙළද කලාපයත් බලපා ඇතැයි සදහන් කරමින් පලව තිබු විවිධ පුවත් වාර්තා සමග ඉහත  සදහන්කල 'කෘතිම කාලගුණය' පිළිබද මගේ මතකය නැවත අවධිවිය. 

මීගමුව අවට ප්‍රදේශවලට 'ඉස්සර තරම්'  වැසි ලැබීම-නොලැබීම කෙසේවුවද පොඩි වැස්සකට පවා මීගමුව නගරය දනක් යටවෙන නගරක් විය. 2005 වසරේදී නෙදර්ලන්ත රජයේ සහ ලෝක බැංකුවේ ආධාර ඇතිව මීගමුව නගරයේ රැස්වෙන ජලය මීගමු කලපුවට පොම්පකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමට පෙර මීගමුව නගරයේ තත්වය එසේවිය. 

ස්වභාවයෙන්ම මීගමුව නගරයේ බොහෝ ප්‍රදේශ පිහිටා ඇත්තේ මුහුදුමට්ටමින් තරමක් පහලිනි. කලපුව මෙන්ම කුඩා පොකුණුද, දිය කඩිති රාශියකින්ද සමන්විතවුයෙන් මීගමුව එක්තරා ආකාරයක 'තෙත්බිමක්' විය. පෘතුගිසි සහ ලන්දේසි යුගවලදී ඉදිවූ කුඩා ඇළ මාර්ග මගින් එකී ඇතැම් පොකුණු සහ දියකඩිති එකිනෙකට සම්බන්ද කිරීම් හෝ කලපුවට සම්බන්ද කිරීම් රාශියක්  සිදුවී ඇති බවට තොරතුරු තිබේ. දෙපා ඇළ, දළුපොත ඇළ, ඩීන් ඇළ, දිය හොද ඇළ, දෙහිමල්වත්ත ඇළ ආදිය මීට උදාහරණ කිහිපයකි. එමගින් වර්ෂා සමයේදී මීගමුව අවට සිදුවන ගංවතුර ගැලීම් කළමනාකරණය කරගැනීමට හැකිවිය. ලන්දේසීන් මීගමුවේ හැමිල්ටන් ඇළ ඉදිකළ විට ඒ අවට පැවති කුඩා පොකුණු සහ දියකඩිතිවලින් වර්ෂා කාලයේදී උතුරා ගලන ජලය හැමිල්ටන් ඇළට ගලායන ලෙස කුඩා ජල මාර්ගද සකස්කර තිබේ. පෙරියමුල්ල 'බින්තුරා හේන' ප්‍රදේශයේ පැවති මෙවැනි කුඩා ඇළක් 1916 දී ඉදිකළ මීගමුව-හලාවත දුම්රිය මාර්ගය නිසා වැසී ගොස් තිබේ. එය ඉන් වසර ගණනාවකට පසුව, එනම් 1943දී, ඇද හැලුන මහා වර්ෂාපතනයක් නිසා ඇතිවූ ගංවතුර තත්වයකට හේතුවී තිබිණි. මීගමුව-පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයද අඩාලවූ මෙම ගංවතුර තත්වය පාලනය කිරීමටත්, ජලය හැමිල්ටන් ඇළ දෙසට හරවා යැවීමට වෙනත් ජල මාර්ගයක් ඉදිකිරීමටත් එවකට පැවති කටුනායක රාජකීය ගුවන් හමුදා කදවුරේ භටයන් (R.A.F. Negombo)  යෙදවූ බවට  ඔවුන්ගේ Flarepath සගරාවේ  පලවී තිබේ. 

මේ අනුව පෙනී යනුවේ වර්ෂාපතනය නිසා මීගමුවේ විවිධ තැන්හී රැස්වන ජලය  විවිධ ජලමාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළට හෝ දිය හොද ඇළට රැගෙනවිත් එය මීගමුව කලපුවට මුදා හැරීමේ ක්‍රමයක් යටත්විජිත පාලන සමයේ සිට මීගමුවේ ගොඩනංවා තිබෙන බවත්, එම නිසාම ගංවතුර තත්වයක් වැඩි  විනාශයකින් තොරව පාලනය කරගැනීමට මීගමුවට හැකියාවක් පවතින බවය. 

එහෙත් මීගමුවේ විශාල ගංවතුර තත්වයක් වාර්තාවූ අවස්ථාක් තිබේ. මීගමුවේ ඇතිවූ විශාලතම ගංවතුර ලෙස වාර්තාවනුවේ 1958 ජනවාරියේ දී මුළු රටටම ලැබුණු මහා වර්ෂාව සහ කුණාටුව නිසා මීගමුව නගරය සහමුලින්ම යටවීමය. ඒ සම්බන්ද තොරතුරු විමසා බැලීමේදී පෙනීයනුවේ මහ වැස්ස පමණක් නොව, රටේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ අධික වර්ෂාපතනය නිසා මහ ඔය, දිය හොද ඇළ, හැමිල්ටන් ඇළ, අත්තනගාලු ඔය, ජා-ඇළ ඇළ සහ කිදි ඔය ආදිය ඔස්සේ ඇදී ආ අතිවිශාල ජලකද  නිසා මීගමුව කලපුව උතුරා යෑමද මීගමුව නගරය සහමුලින්ම යටවීමට හේතුවූ බවය. එවකට මීගමුව නගරාධිපතිවරයාව සිටි, පසුව කටාන ආසනයෙන් පාර්ලි‌‌මේන්තුවට ගිය, විජයපාල මෙන්ඩිස් මහතාගේ පියාවූ මුදලිදු ඩේවිඩ් මෙන්ඩිස් මහතා මෙම ගංවතුර ගැන ඉංග්‍රීසි පුවත්පතකට "වතුර මගේ (ගෙයි) පඩියටම ආවා'' යන්න ඉංග්‍රීසියෙන් කිව්වේ 'water coming to my salary' ලෙස බව කියමින් සිනාසෙන්නන් අදද මීගමුවේ සිටී.  1958 ගංවතුරට මීගමුව කොටුව බන්ධනාගාරයේ සිටි රැදවියන් පවා ඉවත්කිරීමට කටයුතු කිරීමට හේතුවන තරම් නගරයේ ජල මට්ටම ඉහල යෑමේ අනතුරක් තිබී ඇත. 

කෙසේවුවද, සුළු වැස්සකින් වුවද යටවෙන මීගමුව මහා ගංවතුරකින් පවා ආරක්ෂාවනුවේ මීගමුව කලපුව නිසා බව පැහැදිලිය.  මහා ජලකදක් රදවා තබා ගැනීමට සමත් මීගමුව කලපුව සුනාමියෙන් පවා මීගමුව ගලවා ගත්තේ එය සතු මෙම අතිවිශාල ජල ධාරිතාවයක් රදවාගැනීමේ  හැකියාවය. 

එහෙත් දැන් මීගමුව කලපුව හතර වටින්ම ගොඩකරමින් තිබේ. එක් පැත්තකින් කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසාද, අනෙක් පැත්තෙන් විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් දේශපාලන බලයක් ඇතිව හෝ නැතිව කලපුව, ඇළ මාර්ග, කුඩා පොකුණු සහ දියකඩිති ගොඩකරමින් සිටී. මීගමුව ලෙල්ලම අවට ප්‍රදේශයද, දූව සහ පිටිපන වීදිය අතර ප්‍රදේශවල කුඩා කලපු තීරයන්ද මේ දිනවල ලහි ලහියේ ගොඩකරමින් සිටී. දේශපාලන බලය යොදා කොච්චිකඩේ ඇළ ඉවුර හරස්කර හෝටලයක් ඉදිකර තිබේ. පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීමක් පැවැත්වුයේද මෙම හෝටලයේමය. කලපුව අවට හෝටල් සහ නිවාස ඇතුළුව සිය ගණනක්වූ කලපුව ගොඩකර  ඉදිකල ඉදිකිරීම් රාශියක් දැකිය හැකි අතර ඒ සදහා දේශපාලන බල අධිකාරීත්වයන්ගෙන් නොඅඩු අනුග්‍රහයක් ලැබී තිබේ. මීගමු නගර මධ්‍යයේ ඇති 'සමනල' ගොඩනැගිල්ලේ වාහන නැවතුම (Car Park) ඉදිකර ඇත්තේද දෙහිමල්වත්ත ඇලේ ඉවුරු උඩින් කොන්ක්‍රිට් ලෑලි දමා වසා දැමීමෙනි. එයට මීගමු නගරසභාවේ අවසරයද හිමිව තිබේ. තවත් එවැනි ගොඩකිරීම රාශියකි.

මේ තත්වය තුල නැවත වැඩි කාලයක් යෑමට පෙර ඇතිවෙන ඊලග මහා ගංවතුරකින් මීගමුව යටවෙනු නියතය. එවිට "අපේ මීගමුව හරි වාසනාවන්තය" යැයි කියමින් සිටින සියල්ලෝම සිදුකර ඇත්තේ කකුළුවා වතුර උතුරමින් සිටින තාක්කල් සිදුකරන ක්‍රියාව බදු ක්‍රියාවක් නොවේදැයි සිතනු ඒකාන්තය. එහින් දේශපාලන බලයක් ඇතිව හෝ නැතිව කලපුව, ඇළ මාර්ග, දිය කඩිති සහ කුඩා පොකුණු ආදිය ගොඩකරමින් සිදුකරන මේ මහා විනාශය වහා නැවැත්විය යුතුය.  විධිමත් නගර සංවර්ධන සැලැස්මක් වහා ක්‍රියාත්මක කලයුතුය. එය නීති ක්‍රියාමාර්ග තුලින් පමණක් සිදුකල නොහැක්කකි. ඒ සදහා මහජන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යය. තවද අවසරයක් ඇතිව හෝ නැතිව සිදුකරන සියළු ගොඩකිරීම් නිසා ඇතිවන ගංවතුර තත්වයකදී අනතුරට ලක්වන්නන්ට, හානිවන්නන්ට සිය අලාභය සහ වන්දි එම ගොඩකිරීම්වලට අදාල පුද්ගලයන්ගෙන් කෙලින්ම අය කරගැනීමේ ක්‍රමයක් හදුන්වා දිය යුතුය. එබදු ක්‍රියා මාර්ග ඔස්සේ හෝ ගංවතුර වැනි මහා ව්‍යසනයන් වලට පාර කපන මේ මහා විනාශයන් නැවැත්වීමට කාලය එලබ තිබේ.



මාකස් ප්‍රියන්ත පෙරේරා 

04/06/17 

Wednesday, 31 May 2017

සුනිල් මිහිඳුකුල මීගමු පුත්‍රයාට මොක්සුව පතමු.

සුනිල් මිහිඳුකුල ඊයේ (30/5/17) නික්මගොස් ඇත.  ඔහුගේ මරණය ගැන සිය facebook පිටුවල සටහන් තබා ඇති සියළු දෙනාගේම සටහන් දෙස බැලීමේදී පෙනීයනුවේ ඔහු අදාල පුද්ගලයන්ට අදාල ගෞවරවය පුදකළ, කිසිවෙකුට කුහකකම් නොකළ  පුද්ගලයෙකු බවය.

මට මාගේ ජීවිතයේදී ඔහුව මුණගැසී ඇත්තේ කිහිපවරක් පැමිණි. ඒ 90 දශකයේදී සහ 2006 දීය. මට ඔහු ගැන  කීමට ඇත්තේ ඔහු කිසිවිටක මුදල්, තනතුරු සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු නොකළ  උදාර මිනිස් අරමුණු වෙනුවෙන් පමණක් පෙනීසිටි උදාර පුද්ගලයෙක් පමණක් වන බවය.  ඒ සදහා ඔහුට වමේ දේශපාලනයෙන් මෙන්ම තමන් හැදීවැඩුන වටපිටවාද බොහෝ සේ බලපා තිබුණි. 

ප්‍රවීන මාධ්‍යවේදියකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වූ සුනිල්  අභාවප්‍රාප්ත වනවිට වයස 58ක් විය. පසුගිය කාලය පුරාම ඔහුගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් පිරීහී ගියද ඔහුගේ උද්යෝගයේ අඩුවක් නොතිබිණි. 

මීගමුවේ ඉපදුනු, එහිම හැදී වැඩුණු සුනිල් පසුව සිය දෙමාපියන් සමග මෝදරට සංක්‍රමණයවිය.  සිය ජීවිතය රැකියාවක් කේන්ද්‍රකර ගෙන ගොඩ නොනැගු ඔහු සිය දිවිය  සිනමාවට ඇති ලැදියාව කේන්ද්‍රකරගෙන ගෙවුහ. ඔහුගේ  ජීවිතය ගොඩනගන්නේද  එම ලැදියාවමය. සිනමාවට  ඇති ලැදියාව නිසාම ඔහු සිනමාව ගැන  ලිපි ලිව්වේය. ලිවීම ඔහු ලේඛකයකු කිරීමටත්, සිනමාව සහ කලාව ගැන හදාරන්නෙක් කිරීමටත් සමත්විය. එහි ප්‍රථිපලය වුයේ සුනිල් මිහිදුකුල නම් දක්ෂ සිනමා විචාරකයෙක්, සිනමා ලේඛකයක්, සිනමා වේදියෙක් සහ ‘සරසවි', පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයෙක් සහ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයෙක් බිහිවීමය. 

වසර 39 ක් ලේඛකයකු ලෙස කටයුතු කල සුනිල් මිහිඳුකුල සිනමාව ඇතුළු කලා ක්‍ෂෙත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා ඇත. එම නිසාම ඔහු මියයාමට මසකට පෙර ඔහුගේ සේවය අගයමින් උපහාර උළෙලක් පැවති අතර  සිනමා සාහිත්‍යයට කළ සේවය ඇගයීම පිණිස පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී 'පුරෝගාමී' සිනමා සම්මානයෙන්ද පිදුම් ලද තවත් මීගමු පුත්‍රයෙක් විය.

මීගමුවේ විවිධ සංස්කෘතික අංගයන් ගැන නිතර පුවත්පත්වලට ලිපි ලියූ ඔහු මීගමුවෙන් පිටත ජීවත්වුවෙක්වුවද මීගමුව සමග බිදිය නොහැකි සම්බන්දයක් පවත්වාගෙන ගියහ. ඔහු ප්‍රකාශයට පත් කල ‘රුක්මනීදේවි, නිළිය, ගායිකාව හා ජනප්‍රිය සංස්කෘතිය' සහ ‘කඩවුණු පොරොන්දුව හා මිනර්වා චිත්‍රපට' වැනි කෘති ලංකාවට සිනමා කර්මාන්තයක් බිහිකර දීම සම්බන්දයෙන් මීගමුවේ දායකත්වය මනාව හෙළිකළේය. ඔහුගේ ජීවිතයේ පදනමවූ සිනමා විෂය පිලිබදව වූ උනන්දුව තමාට ලැබුනේ මීගමුවෙන් බව නිතර හෙලිකල ඔහුව හමුවූ වරක මා විමසා සිටියේ මීගමුවේ කලා කරුවන් ගැන දත්ත එකතුවක් ආරම්භ කිරීම වැදගත් නේද? යන්නය. 

එම කටයුත්ත ඔහු අතින් ඉටු නොවුනද බර්නාඩ් ශ්‍රී කාන්ත  මහතා අතින් අද බොහෝ දුරට ඉටුවී ඇත. 

සුනිල් ට ඒ සියල්ල ගැන සතුටුවිය හැක. 

ඔබ මීගමුවේ කලා ඉතිහාසය ලංකාවේ සිනමා කලා ඉතිහාසය තුල රැන්දීමට කල සේවයට සෑම සියලු මීගමු වැසියෙකුගේම භක්තිය, ආදරය සහ ගෞවරය ඔබට පුද කල යුතුය. 

සුනිල් මිහිදුකුල උදාර මිනිසාට මොක්සුව පතමු.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකරන්නට නියමිතය.


මාකස් ප්‍රියන්ත පෙරේරා.
31/05/17.

Monday, 22 May 2017

ඥානසාර සාධු අපිට මතක් කරන නිජබිමේ අයිතිය සහ සිංහල-බෞද්ධ වාර්ගිකත්වයේ බලහත්කාරය

''ලංකාව සිංහල-බෞද්ධ රටක් කියලා පිලිගන්නවාද?.... නෑ ඇමතිතුමා මේකට උත්තර දීලා ඉන්න...මේක සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද?... නෑ.. මන් අහන්නේ... මේක සිංහල-බෞද්ධ රටක් කියලා  පිළිගන්නවාද?... නැත්ද ?'' 

දබර ඇගිල්ල දිගු කරමින් බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ඒකාබද්ධතා ඇමති  මනෝ ගනේෂන් මහතාගෙන් එසේ අසන විට තුවක්කු කටක් ගනේෂන්ගේ මෙන්ම මගේද හිස මතට තබා ඇතැයි මට සිතේ. ඒ මනෝ ගනේෂන් මෙන්ම මම ද සිංහල-බෞද්ධයෙක් නොවන නිසාය. සිංහල-බෞද්ධ නොවන මගෙන් ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද? නැතිද? කියා අසන සෑම අවස්ථාවකම මට එය දැනෙනුයේ එහි කිසියම් ආකාරයක අනතුරු ඇගවීමක් සහ බලහත්කාරයක් ඇති බවය. මගේ මුල්ම විශ්ව විද්‍යාලයවූ කොළඹ විශ්ව විද්‍යාලයේදීද, සමාජ-දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත්වූ සංවිධානවල වාමාංශිකයින් සහ ප්‍රගතිශීලීන් මෙන් සිටි ඇතමුන්ද, එංගන්තයේදී මට හමුවූ බොහෝ සිංහල-බෞද්ධයන්ද මගෙන් එම ප්‍රශ්නය ඇසූ සෑමවිට මට කීමට තිබුනේද මනෝ ගනේෂන් කී දෙයම. එනම් ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී මෙරට වෙසෙන සියලු  ජන කොටස්වලට අයත් රටක් බවය.

සිංහල-බෞද්ධ නොවන කිසිවෙකුගෙන් තමන් ඉපදී-හැදී වැඩුණු රට, තමන් අයත් නොවන වෙනත් වාර්ගීක අනන්‍යතාවයට අයත් බව පිළිගන්නා ලෙස ඉල්ලීම, එම පුද්ගලයා අන්ත අසරණභාවයකට පත්කර ඔහු හෝ ඇය මත ආධිපත්‍යයක් පැතිරීමක් නොවන්නේද?  එය අදාල පුද්ගලයාගේ නිදහස් කැමැත්තට විරුද්ධව සිදුකරන බලහත්කාරයක් නොවන්නේද

එහෙත් ඒ පිලිබදව කිසිදු වග විභාගයක් හෝ අවධානයක් යොමුකිරීමකින් තොරව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගත යුත්තේ ඇයි දැයි යන්න තවදුරටත් තහවුරු කිරීමට ඔවුන් වෙර දරූ බව ඉහත අවස්ථාවන්ට මුහුණපා ඇති මගේ අත්දැකීමයි. 

පැහැදිලිව ඔවුන්ගේ එක් තර්කයක් වුයේ අද ලංකාව තුල විවිධ ජාතීන් සහ ආගම් අදහන විවිධ පිරිස් සිටියද ඔවුන් එක් එක් කාලවලදී මෙරටට පැමිණි සංක්‍රමණිකයන් බවත්, එම පිරිස් අද ක්‍රිස්තියානි /හින්දු/මුස්ලිම් ආදී ආගම් ඇදහීමට පෙර ඔවුන්ද සිංහල-බෞද්ධයෝ බවත් ඒහින් ලංකාවේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය ගොඩනැගුවේ මෙරට ප්‍රධාන ජාතියවන සිංහල-බෞද්ධ ජනයා විසින් බැවින් ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි? යන්නයි. මා හා වාද කල අය පමණක් නොව ඥානසාර හාමුදුරුවෝද, නලීන් ද සිල්වාද, චම්පික රණවක ආදී වෙනත් බොහෝ දෙනෙක්ද මේ තර්කයම ඉදිරිපත් කරන බව මම මෙන්ම මුළු රටම දනිති. 

ශ්‍රී ලංකාවේ සමස්ථ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය ගොඩනැගී ඇත්තේ 'සිංහල-බෞද්ධපදනමකින් යැයි කියන සෑමවිටම මට එය පිළිගැනීමට අපහසුවිනි. එයට හේතුව වුයේ මට එය පිළිගැනීමට කිසිදු පදනමක් නොතිබීමය.

මම හැදී වැඩුනේ මීගමුවේය. එහි ඇති 'සිංහල-බෞද්ධ' කමක් ගැන මම නොදනිමි. එහෙත් මීගමුව ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඒහින්  'සිංහල-බෞද්ධ' නම්වූ මහා ආඛ්‍යානයට අයත් නොවන පෙදෙස්ද ලංකාවේ තියෙන බව මගේ අත්දැකීමයි. මීගමුව පමණක් නොව වෙන්නප්පුව, හලාවත, තලවිල, උතුරු-නැගෙනහිර, වතුකරය ආදී තවත් බොහොමයක් 'සිංහල-බෞද්ධ’ නොවන පෙදෙස් ලංකාවේ තිබෙන බව මම දනිමි. එම ප්‍රදේශවල ජීවත්වෙන ජනයාගේ  සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය ගොඩනැගීමට මුලික වශයෙන් දායක වී ඇත්තේ 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය හෝ ශිෂ්ටාචාරය හෝ සභ්‍යත්වය නොවේ.

ඇරත් මේ කියන 'සිංහල-බෞද්ධ’සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය යනු කුමක්දැයි මගෙන් ශ්‍රී ලංකාව  සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද?... නැතිද? යනුවෙන් ඇසූවන්ගෙන් විමසුවිට ඔවුන් දක්වනුයේ වැව්-දාගැබ්-මහාවංශය ආදී කරණාය.

මම ඒවා  ඉදිකලේ මෙරට සිටි සහ සිටින සිංහල-බෞද්ධ ජනයා පමණක්ද? අවුකන සහ බුදුරුවාගල ආදී පිළිමවල සිංහල-බෞද්ධයන්ගේ බුද්ධාගමවන ථෙරවාදී නොවන  මහායාන / වජිරයාන ලක්ෂණ දරන්නේ ඇයි? සීගිරි චිත්‍ර ඉන්දියාවේ අජන්තා චිත්‍රවලට සමාන ඇයි? සෙනරත් පරණවිතාන මෙන්ම සුජිත් අක්කරවත්ත ආදීන් දක්වා ඇති පරිදි සීගිරියේ සාර්ථකත්වයට පෙරදිග ක්‍රිස්තියානින් සමග තිබු සබදතා කෙතෙක් අදාලවී ඇත්තද ? මෙරට විවිධ කාලවල පැමිණි ජනයා විවිධ ජනවර්ගයන් ඉහතකී සිංහල-බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව ගොඩනැන්වී මෙහිලා කෙතක් දායක වී ඇත්දැයි යනුවෙන් ප්‍රශ්න කල වාර අනන්තය.

තවද,‘සිංහල-බෞද්ධ’ යනු යුරෝපීයානු ජාතිකවාදය (Nationalism) නම් කතිකාවේ ආභාෂය ලබා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය අවසාන කාලයේදී ගොඩනගා ගත් ප්‍රබන්ධයක් නොවේදැයි R. A. L. H. ගුණවර්ධනගේ සිට නිර්මාල් රන්ජිත් දේවසිරි ආදී විද්‍යාර්ථයින් විසින් ඉදිරිපත්කර ඇති ලියවිලිවල ඇති කරුණු ඇසුරින් ඒ ගැන විවාදයන්ගේ පැටලුනු අවස්ථාද ඒමට විය.

එහෙත් එම කරුණු බිද දමමින් ශ්‍රී ලංකාව  සිංහල-බෞද්ධ රටක් ලෙස මට ඒත්තු ගැන්වීමට ඔවුනට නොහැකිවිය. ඔවුන්ද මම කියන පරිදි ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී මෙරට වෙසෙන සියලු  ජන කොටස්වලට අයත් රටක් බව ද පිළිනොගන්නා ලදී.
  
එහෙත්, මට ඒ ගැන කණගාටුවීමට කිසිසේත්ම උවමනාවක් නැත. මන්දයත් ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ' සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක්, සහ සභ්‍යත්වයක් ඇති 'සිංහල-බෞද්ධ' රටක් යැයි කියන රටේ සිංහල අවුරුද්දේ කෑම පිගානේ සිට ඇදුම්-පැළදුම්, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, භාෂාව සහ කලා ශිල්ප ආදී  ‘සිංහල-බෞද්ධ’ සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ඇති සියළු අංග-උපාංග ගොඩනගා ගෙන ඇත්තේ ‘සිංහල-බෞද්ධ’ නොවන වෙනත් සංස්කෘතින්ගෙන් සහ ශිෂ්ටාචාරයන්ගෙන් ණයට ගත් ‘පොළීයත්-ණයත්’ දෙකම නොගෙවා සින්නකරගත් දේවලින් බව  අප දන්නා නිසාය.

ඉතින් අප ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ' රටක් ලෙස පිලිගන්නේ කෙසේද?

 ශ්‍රී ලංකාව ‘සිංහල-බෞද්ධ’ රටක් යැයි යන්න පිලිගැනීම-නොපිළිගැනීම කෙසේවුවද, ශ්‍රී ලංකාව කිසිසේත්ම ‘සිංහල-බෞද්ධ’ රටක් නොවිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව එවිට ශ්‍රී ලංකාව වාර්ගික රාජ්‍යක් වන නිසාය. වාර්ගික රාජ්‍යයක් යනු යම් වාර්ගික අනන්‍යතාවයක අධිකාරීත්වය කේන්ද්‍ර කරගත් රාජ්‍යයකි. ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ රටක්' විය යුතුයැයි ඉල්ලීම තුල කියවෙනුවේ ලංකාව තුල ජීවත්වෙන බෞද්ධ-අබෞද්ධ, සිංහල-සිංහල නොවන සියල්ලෝම ශ්‍රී ලංකාවේ 'සිංහල-බෞද්ධ ආධිපත්‍ය' පිළිගෙන ජීවත්විය යුතු බවයි.  'සිංහල-බෞද්ධ' යන් යැයි තමන්ව හදුන්වා ගැනීමට  කැමති වාර්ගිකයන්ට හැර සෙසු සියල්ලන්ගෙන් ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගැනීමට ඉල්ලීම පැහැදිලිවම ඔවුන්ට එරෙහිව සිදුකරන බලහත්කාරයකි. 

ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ට අයත් පරම්පරා ගණනාවක් තිස්සේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ ජනයාට අයත් ඒ ඒ ජන කොටස්වල නිජ භූමියක් මිස එක් වාර්ගික  අනන්‍යතාවයකට පමණක් අයත් භූමියක් නොවේ. එහෙත් නිදහසින් පසු දිග හැරුණු දේශපාලන ව්‍යාපෘතින් ඔස්සේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැංවීමට බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කල බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් නම් උතුරු-නැගෙනහිර දෙමළ නිජභූමිය පදනම් කරගත් දෙමළ ඊලාම් රාජ්‍යයක් බවට පත්විය යුතුයැයි දක්වමින් යුද්ධය දියත්වූ බව අප අමතක නොකළ යුතුය. එහෙත් යුද්ධය අවසානයේ දෙමළ නිජභූමිය පදනම් කරගත් දෙමළ ඊලාම් රාජ්‍යයක් පිලිබදවූ ව්‍යාපෘතිය පරාජය කරමින් ඉදිරියට පැමිණ ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාව වහා වහා සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට පත් කලයුතු යැයි යන්න නම්,  එයද පැහැදිලිවම පරාජය කල යුත්තකි. මන්දයත් වාර්ගික රාජ්‍යයක් තුල ජීවත්වීම යනු එක් ජාතියකගේ වාර්ගික ආධිපත්‍යයට යටත්ව, ඔවුන්ගේ සහනශීලීත්වය මත යැපෙමින් බයාදු ලෙස ඔවුන්ගේ යටත්වැසියන් ලෙස ජීවත්වීමකි.

එහින් අපි ශ්‍රී  ලංකාව ‘සිංහල-බෞද්ධ’ රටක් යැයි යන්න පිලිගැනීමට පමණක් නොව ශ්‍රී ලංකාව කිසිසේත්ම ‘සිංහල-බෞද්ධ’ රටක් නොවිය යුතුය යන ස්ථාවරයක පිහිටා කටයුතු කරමු. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
22/05/17.

Wednesday, 17 May 2017

මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව

දින කිහිපයකට පෙර, එනම් 2017 මැයි 12 සහ 13, ප්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ පාතිමා (Fatima) නුවරට පැමිණ ලක්ෂ 05කට වඩා වැඩි ජනකායක් ඉදිරියේදී  කුඩා එඩේර ළමුන් දෙදෙනෙකු කතෝලික සභාවේ ඉහලම 'වරම' වන 'ශුද්ධවරයට' ඔසවා තබන ලදී. මෙලෙස  පාප්තුමා විසින් ශුද්ධවරයට ඔසවනූ ලැබුවේ 1917 මැයි 13වෙනි දින  පෘතුගාලයේ අගනුවර සිට වැඩි ඈතකින් නොපිහිටි කුඩා ගම්මානයක් වූ පාතිමා හීදී 'දේවමාතාවන් දර්ශනය' (Marian apparitions) වුයේ යැයි වාර්තාකල දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වූ ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ මර්ටෝය(Jacinta  and Francisco Marto). කෙටි කාලයක් පමණක් ජීවත්වූ එම දරුවන් දෙදෙනා පාතිමා දේවමාතා දර්ශනය සිදුවී වසර 2-3ක් ඇතුලත මිය ගියහ. 1919 දී ෆ්‍රැන්සිස්කෝ මියයන විට ඔහුට වයස  අවුරුදු 10යකි, 1920දී ජසින්තා මියයන විට ඇයට වයස අවුරුදු 09යකි. ‘පාතිමා දේවමාතා දර්ශනය’  සහ  එම දර්ශනය ඔස්සේ ලබාදුන් පණිවිඩය ප්‍රකාශ කල ඉහතකී ළමුන් තිදෙනාගෙන් වැඩි මහල්ලාවූ, ලුසියා සන්ටෝස් (Lúcia Santos) පසුව පැවිදි දිවියට ඇතුළත්වූ අතර ඇය අවුරුදු 98 ක් ජීවත්වී 2005 දී මිය ගියේය.

ප්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ පාතිමා නුවරදී ශුද්ධවරයට උසවා තැබුවේ කතෝලික පල්ලිය විසින් මෙතෙක් ශුද්ධවරයට ඔසවා   තැබූ බාලම තැනැත්තන් දෙදෙනාවීමට ඉඩ ඇත. එහෙත් සියවසක් (1917-2017) සැමරූ පාතිමා 'දේවමාතා දර්ශනය' කතෝලික සභාවට වඩා වැදගත් වනුයේ කුඩා දරුවන් දෙදෙනෙක් ශාන්තුවරයට එසවීමටත් වඩා එම දර්ශනය තුලින් ලබාදුන් පණිවිඩය ඔස්සේ කතෝලික සභාව කාලාන්තරයක් තිස්සේ දැඩි විශ්වාසයකින් සහ භක්තියකින් ගොඩනැගූ මරිය බැතිය (Mariology) සහ තවත් දේව ධර්මයේ (theological) ඉගැන්වීම් කිහිපයක් සාක්ෂාත්කල අවස්ථාවක්වීමත්, ඒ මගින් කතෝලික ඇදහිල්ල තව තවත් ශක්තිමත්වීමත් නිසාය. 

අනෙක් අතට, 'පාතිමා දේවමාතා දර්ශනය' පෘතුගාලයට වඩා වැදගත්වුයේ ප්‍රංශයේ 'ලුර්දු දේවමාතා දර්ශනයෙන්' (1858) පසු කුඩා ගමක්වූ ලූර්දු (Lourdes) නුවර ක්‍රිස්තියානි ජනයා දස ලක්ෂ ගණනින් (මිලියන ගණනින්) පැමිණෙන විශාල සිද්ධස්ථානයක් බවට පත්වූවාක් මෙන් පාතිමා නම් කුඩා ගම්මානයද ක්‍රිස්තියානි ජනයාගේ ප්‍රධාන වන්දනා ස්ථානයක් බවට පත්වීම නිසාම නොවේ. එය එරට පැවති සමාජ-දේශපාලන ව්‍යාකූලතාවයන් නිසා ජනයා අතරින් දියවෙමින් පැවති කතෝලික විශ්වාසය නැවත ශක්තිමත් කිරීමට හේතුවූ නිසාද බව පෙනේ. විශේෂයෙන්ම ආර්ථික අවරෝධනය ක්‍රමයෙන් උග්‍ර අතට පත්කරමින් පෘතුගාලයට උදාවූ 1900 වෙනි සියවස වසර දහයක් ගෙවීයෑමට මත්තෙන් දේශපාලන විප්ලවයක් බවට පත්කරමින් 1910 'ඔක්තෝබර් 05' විප්ලවය මගින් එරට රජ පවුල බලයෙන් පහකර පෘතුගාලය ජනරජක් බවට පත්කළේය. ඒ සමග උදාවු කාලය දේශපාලන මති මතාන්දර අනුව බෙදී එකිනෙකා මරාගන්නා භීෂණ සමයක් පෘතුගාලය තුල නිර්මාණය කළේය. මෙම කාලය තුල සමාජ සදාරණත්වය සහ සාමය වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත්වූ කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් 2000කට වඩා මරා දමන ලදී. ගිනිතබා විනාශකල සහ බලහත්කාරයෙන් වසාදමන ලද කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන සහ සිද්ධස්ථාන සංබ්‍යාව 67කි. පළමු ලෝක යුද්ධය (1914-18) ආරම්භවීමත් සමග මෙම දේශපාලන අර්බුධය තව තවත් දරුණු අතට පත්විය. එහිදී පෘතුගාලය මිත්‍රපාක්ෂිකයන්ගේ පැත්ත ගන්නා ලදී. එමගින්  අප්‍රිකානු මහාද්වීපයේ ඒවන විටත් ඉතිරිවී තිබු සිය යටත්විජිත කිහිපයත්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තිබු වෙළද සම්බන්දතාත් ආරක්ෂා කරගැනීම අරමුණු කරගත්තද එම තීරණය ක්‍රිස්තියානි විරෝධී, පැසිස්ට් සහ කොමියුනිස්ට්වාදීන් විසින් දියත්කර තිබූ භීෂණ රැල්ල තවදුරටත් තීවූර කරන ලදී. පළමු ලෝක යුද්ධය නිසා උද්ගතවූ සාගතයත්, ඒ සමයේම පැතිර ගිය 'ස්පාඤ්ඤ උණ' (Spanish flu) වසංගතයත්, අභ්‍යන්තර දේශපාලන ගැටුම් ආදියත් නිසා පෘතුගාලය තුල 1910 සිට 1919 දක්වා කාලයේදී පුද්ගලයන් 220,000 ක් මියගිය බව වාර්තාවේ. 
පාතිමා නුවර දී ලුසී, ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ යන කුඩා එඩේර දරුවන් තිදෙනාට 1917 මැයි 13 දින 'දේවමාතාවන්  දර්ශනය' වී පණිවිඩයක් දුන්නේ යැයි වාර්තාවන්නේ පෘතුගාලයේ පැවති ඉහත දැක්වූ වාතාවරණය තුලය. එහෙත් මුලින්ම මේ දරුවන්ගේ දෙමාපියන් හෝ වෙනත් කිසිවකු හෝ මෙම දර්ශනය පිළිබද පුවත පිළිගැනීමට අකමැතිවන ලදී. දරුවන් තිදෙනාද තමන්ට ලැබුණු පණිවිඩය කුමක්දැයි හෙළිකිරීමටද කැමැතිවී නැත. ඒ වෙනුවට සෑම මසකම 13 වෙනි දින අදාල දර්ශනය සිදුවූ ස්ථානයට නොකඩවා පැමිණ ඉදිරි මාස 06යේදීත් යාච්ඤා කරන ලෙස දේව මෑනියන් ඔවුන්ට දැන්වූ බවත් අවසානයේ ප්‍රාතිහාර්යක් පාන බවට පොරොන්දුවූ බව පමණක් ප්‍රකාශකරන ලදී. 

ඉන් අනතුරුව යෙදුන මාස 06 තුල දරුවන් තිදෙනා සෑම මසකම 13දා අදාල ස්ථානයට ගොස් 'දේව මෑණියන්ට' යාච්ඤා ගියහ. ඔවුන් පසු පස මෙම පුවත ගැන ඇසු ජනයාද ඇදුනි. මෙය තවත් මහජන පෙරලියක පෙළගැස්මක් විය හැකියැයි සැකකල පාලකයින් වරක් මෙම දරුවන් තිදෙනාව අත්අඩංගුවේද රදවා තබන ලදී. එහෙත් ඔවුහු  සෑම මසකම මෙම දර්ශනය සිදුවූ ස්ථානයට පැමිණ යාච්ඤා කලහ. හයමසක් පිරුණු 1917 ඔක්තෝම්බර් 13 දින මහා වර්ෂාව  පවා නොතකමින් 70,000 කට අධික පිරිසක් මෙම  ස්ථානයට පැමිණියේ පොරොන්දුවූ පරිදි ප්‍රාතිහාර්ය නැරබීමටය. සිරිත් පරිදි දරුවන් තිදෙනා පැමිණ මහා වැසි නොතකමින් යාච්ඤා  කරමින් සහ රැස්ව සිටි ජනයාට නොපෙනුන කෙනෙක් සමග කථා කරමින් සිට ඇත. මිනිස්සුන් තමන්ට පොරොන්දුවූ පරිදි තවත් තමන්ගේ කාලය නාස්ති නොකර  ප්‍රාතිහාර්ය පාන මෙන් ඉල්ලා කෑගසමින් සිටියහ. 

ඉන් අනතුරුව සිදුවූ දෙය පිලිබදව පෘතුගාලයේ ලිස්බන් නුවර  පලකරන ක්‍රිස්තියානි විරෝධී/ රැඩිකල් පුවත්පතක්වූ 'O Seculo' (29/10/1913) පවා වාර්තාකර තිබුනේ පාතිමා හීදී  ප්‍රාතිහාර්යක් සිදුවූ බවය. “Miracle of the Sun,” සහ “the day the sun danced” නමින් පළවූ ලිපිවලින් දක්වා තිබු එම විස්තරය රැස්ව සිටි ජනයාගේන් ලබාගත් තොරතුරු ඇසුරින් සකස්වී තිබුණි. එම ලිපිවල දක්වා තිබු ආකාරයට සිද්ධිය මෙසේය:

"දවස තිස්සෙම ඇද හැලුන ධාරණීපාත වර්ෂාව එක වරම නතර විය. තෙත බරිත  ඇදුම් පමණක් නොව වැස්ස නිසා එතෙක් මඩ ගොහුරක්ව තිබු භූමියද එකවරම වියලී ගියහ. අහස ඉතා පැහැලිවූ අතර සූර්යා යම් කිසි වලාවකින් වැසී යනවා සේ පෙනුනි. එක්වරම සුර්යාගේ ප්‍රභාව වැඩිවී උඩට, පහලට, පැත්තෙන්-පැත්තට පැද්දෙමින් නටන්නට පටන් ගත් අතර හාත්පස විවිධ පැහැයන් ප්‍රදර්ශනය වන්නට විය. විනාඩි කිහිපයක් පැවති මේ දසුන අවසානයේ  සූර්යා කැරකී කැරකී පොලොව මතට කඩාවැටීමට මෙන් ඇදී ආහ. ජනයා භීතියට පත්ව කෑමොර දුන්හ. එහෙත් මොහොතකින් සියල්ල අවසන්විය... ඒ සමග කිහිලිකරුවකින් පැමිණි තරුණයෙක් දෙපයින්  ඇවිදීමට පටන්ගත්හ. පෙනීම අහිමී සිටි ස්ත්‍රියක් පෙනීම හිමිවූ බව දක්වමින් කෑ ගසන්නට වුහ."  පාතිමා හී සිදුවූ මෙම සිදුවීම පෘතුගාලයේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල පුවත්පත්ද වාර්තාකර තිබේ.


මේ සිද්ධිය ගැන පසුව එකතුකිරීමක් කල ‘පාතිමා දේවමාතා දර්ශනය’ වාර්තාකල ළමුන් තිදෙනාගෙන් වැඩි මහල්ලාවූඅවුරුදු 98 ක් ජීවත්වී 2005 දී මිය ගිය,  ලුසියා සන්ටෝස් (Lúcia Santos) කන්‍යා සොයුරිය දැක්වුයේ 'දේව මාතාවන් දෙවියන් වහන්සේගේ ගේ ප්‍රභාව සූර්යා මත පතිත කල බවත් එවිට සූර්යා ඉහත ආකාරයට හැසුරුණු බවත්ය.' ඒ ඔස්සේ 'දෙවියන්ගේ ප්‍රභාව සුර්යාගේ ප්‍රභාවට වඩා අති ප්‍රභාවත්' බවක් සහ 'සූර්යා පවා ප්‍රභාවත් වන්නේ දෙවියන්ගෙන්' යැයි යන්න කියවෙන බවක් පෙනේ.  එය එක්තරා ආකාරයකට බයිබලයේ මැවිල්ලේ කථාවේ එන එක්  විස්තරයක් ඇසුරින් පැන නගින 'දෙවියන් වහන්සේ පළමු දිනයේදී නොව 04 වෙනි දිනයේදී සූර්යා මැව්වේ ඇයි?' යන්නට උත්තර සැපයීමකි. එනම් සූර්යාට වඩා ශක්තියක්/ප්‍රභවක්/බලයක් දෙවියන්ට ඇතැයි යන්න සහ 'දෙවියන්ගෙන් තොරව සූර්යා පවා නොමැත' යන්න හෙවත් 'සියල්ල දෙවියන්ය', ඉන් පිටත කිසිවක් නැත යන 'ක්‍රිස්තියානි-ඇරිස්ටෝටලියානු' තර්කය ඉස්මතු කිරීමකි.   


කරුණු කෙසේවුවද, අදාල ප්‍රාතිහාර්ය  (“Miracle of the Sun”/ “the day the sun danced”) සම්බන්දයෙන් ආගමික නොවන අර්ථ නිරූපනයන්ද තිබෙන බව දැක්විය යුතුය. විශේෂයෙන්ම එය ස්වභාවධර්මය තුල ක්ෂණිකව ඇතිවෙන වෙනස්වීම් මහජනයා වැරදි ලෙස භක්තිය තුල නිලංකාරවීමකින් අවබෝධකරගැනීම හෙවත් 'mass illusion' ලෙස දක්වන පිරිස්ද සිටින බව අමතක නොකළ යුතුය. එහෙත් මෙම පාතිමා ප්‍රාතිහාර්ය ගැන CNA (Catholic News Agency) ප්‍රවෘත්ති සේවයට අදහස් දැක්වූ 'දේවධර්මය පිලිබදව ආචාර්යවරයෙක් (theologian) මෙන්ම පාතිමා සිද්ධස්ථාන කෞතුකාගාරයේ (Fatima shrine museums) පාලකයාවන Dr. Marco Daniel Duarte දක්වා තිබුනේ මෙම පාතිමා ප්‍රාතිහාර්ය තුලින් පෘතුගාල ජනයාටත් සමස්ථ ලෝකයටත් පෙන්වා දුන්නේ එවකට ක්‍රිස්තියානි විරෝධී මතවාදීන් විසින් නිතර ජපකළ නීට්ෂේ ගේ (Friedrich Nietzsche) ගේ 'The Gay Science' (1882) කෘතියෙන් උපුටාගත් "දෙවියන් මියගොසින්"
 (God is dead) ය යන්න තවදුරටත් වලංගු නොවන බවත් ඒ වෙනුවට "දෙවියන් තවමත් ජීවමානය, මිනිසා එකිනෙකා සමග යුද්ධවදිමින් පසුවුවද දෙවියන් තවදුරටත් මිනිසා වෙනුවෙන් මැදිහත්වේ" (“God is alive and still attentive to humanity, even though humanity is waging war with one another”) වන බවට සාක්ෂියක් සපයන බවය.  
ඉන් පෙනීයනුවේ, කතෝලික ආගම කෙරෙහිවූ විශ්වාසය සහ භක්තිය පෘතුගාලය තුල පමණක් නොව සමස්ථ කතෝලික සභාව තුලද නැවත නැවත තහවුරු කිරීමේ අවස්ථාවක් ලෙසද පාතිමා 'දේවමාතා දර්ශනයකතෝලික සභාවට වැදගත්වන බවය. විශේෂයෙන්ම කතෝලික සභාව කාලාන්තරයක් තිස්සේ දැඩි විශ්වාසයකින් සහ භක්තියකින් ගොඩනැගූ 'මරිය බැතිය' (Mariology) සහ දේව ධර්මයේ (theological) ඉගැන්වීම් කිහිපයක් සාක්ෂාත් කිරීමේ අවස්ථාවක් ලෙසද පාතිමා 'දේවමාතා දර්ශනය'  සලකනු ලැබේ. 

මරිය බැතිය (Mariology) හෙවත් ක්‍රිස්තුස් වහන්සේගේ මව වන මරියතුමියට ඇති විශේෂ-භක්තිය (Veneration of Mary) කතෝලික සභාව තුල ක්‍රමයෙන් 'ස්ථාපිතවූ ආගමික ඉගැන්වීමකි' (methodically presents teachings). මරියතුමිය කෙරෙහිවූ විශේෂ-භක්තිය (Veneration of Mary) ගොඩනැගෙනනුයේ ජේසුස් වහන්සේ දේව පුත්‍රයාය (son of God /Christology) යන ඉගැන්වීම්වලට සමාන්තරවය. එනම් මරියතුමී දේව අම්මාය, දේව මෑණියන්ය (Mother of God) යන ආගමික ඉගැන්වීම බයිබලයේ ඉගැන්වීම් සහ සභා සම්ප්‍රදාය ඇසුරින් පැන නැගී විකාශනයවුවකි. ක්‍රිස්තු වර්ෂ 300-400 අතර කාලයේදී (එනම් ක්‍රිස්තුස් වහන්සේ මරාදමා වසර තුන්සිය ගණනකට පමණ පසු) කතෝලික සභාව තුල පෙරට පැමිණි මෙම මරියතුමී දේව අම්මාය/ දේව මෑණියන්ය යන (Mother of God) ආගමික ඉගැන්වීම ක්‍රි.ව. 431 'Council of Ephesus' රදගුරු සමුළුවේදී සභා සම්මත කරගත් නිල කතෝලික ඉගැන්වීමක් බවට පත්විය. 

මින් අදහස් වන්නේ  ක්‍රි.ව. 431 පෙර මරියතුමියට විශේෂ භක්තියක්, ආදරයක්  කිතුනුවන් අතර නොතිබි බව නොවේ. මුල්ම කිතුනු සභාවේ ක්‍රියාකාරකම් තුල පවා මරියතුමී විශේෂ කාර්යභාරයක් ඉටූකල බවත්, විශේෂ සැලකිල්ලකට ලක්වූ බවත් සදහන්වේ. එම නිසාම සභා මාතාව (mother of the church) ලෙසද, ඉන් පසුකාලයේදී (කානානි විවාහ මංගල උත්සවයේදී සිදුවූ ලෙස) 'දෙවියන් ඉදිරියේ මිනිසුන් වෙනුවෙන් මැදිහත්වෙන පිණිස   යාච්ඤාවට පාත්‍රවූ මාතාවකි ලෙසද මරියතුමිය සලකන ලදී. ඒ සම්බන්ද තොරතුරු  මුල් ක්‍රිස්තියානි සිතුවම්වලින් පවා හෙළිවේ (උදා. දෙවෙනි සියවසේ Catacomb of Priscilla (Rome) චිත්‍ර). 

කෙසේවුවද, Mother of God යන ඉගැන්වීම පැරණි ආගම්වල පැවති 'mother goddess' (උදා. රෝම - Diana / ග්‍රීක -Artemis /හින්දු - දූර්ගා) සංකල්ප අතර ඇති සමාන්තර පදනම පිළිබද විවාදයද අමතක කලයුතු නැත. එහෙත් ක්‍රි.ව. 431 Council of Ephesus රදගුරු සමුළුව මගින් කතෝලික සභාව තුල මරියතුමියට ඇති විශේෂ-භක්තිය (Veneration of Mary) වඩාත් වෙනස් පදනමකින් ගොඩනැංවූ අතර එහිදී මරියතුමිය දේව අම්මා/ දේව මෑණියන් ලෙස සලකණු ලැබුවේ ඇය දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් තෝරාගත් ශුද්ධවූ තැනැත්තියක්ය යන්න පදනම් කරගත් බව පෙනේ. මෙම අදහස (Mother of God / Mother of the church) කිතුනු ජනයා අතර විශේෂ භක්ති-ආදරයකට ලක්ව කිතුනු ඇදහිල්ලේ මූලික අංගයක් බවටත්, කිතුනු භක්තියේ සහ කතෝලික ඉගැන්වීමේ නිරවද්‍යතාවය පිළිබද සාක්ෂියක් බවටත් පත්වෙනුවේ 'දේවමාතාවන් දර්ශනය' (Marian apparitions) වීම සහ ඇය ලබාදුන් පණිවිඩ ගැන වාර්තා ලැබීමට පටන් ගැනීමත් සමගය.  

1854 දී නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) ඉරිදිපත්කල මරියතුමිය ජන්ම පාපයෙන් (Original Sin) නිර්දෝෂව පිලිසිදගත් තැනැත්තියක්ය යන ඉගැන්වීම (Immaculate Conception) 1858 දී සිදුවූ ලූර්දු (Lourdes) 'දේවමාතා දර්ශනය' තුලදී  Bernadette Soubirousට (St. Bernadette) "I am the Immaculate Conception" ලෙස ප්‍රකාශ කිරීමත් සමග  සාක්ෂි සහිතව තහවුරු වූ බව පිළිගනී.  මේ ආකාරයට කතෝලික සභාව තුල දිනෙන් දින වර්ධනයවූ  මරිය බැතිය පාතිමා දේව මාතා දර්ශනය තුලින්ද තව තවත් තහවුරුවූ අතර 1950 දී දොළොස්වන පියුස් පාප්තුමා (Pope Pius XII) ඉදිරිපත්කල 'The Assumption of Mary into Heaven' (මරියතුමීගේ ස්වර්ගාරෝහණය) නම් ඉගැන්වීමටද එය ඉවහල්වූ බව කියවේ. 

තවද ‘පාතිමා දේවමාතා දර්ශනය’ වාර්තාකල, එම දර්ශනය දුටු වැඩිමහල් දරුවා වූ ලුසියා සන්ටෝස් (Lúcia Santos කන්‍යා සොහොයුරිය)  1920 දී ඉදිරිපත්කල  පාතිමා  දර්ශනයේදී  ඇයට ලබාදුන් පණිවිඩ ලෙස  පසුව ලොවට හෙලිකල කරුණු අනුව 'නිරාගින්න' යන්න (Hellfire නම් වූ කතෝලික ඉගැන්වීම) සත්‍යක් බවත් (දේවමාතාවන් ඇයට පළමුවෙන් පෙන්වූ දර්ශනය නිරාගින්න සහ නිරාගින්නට හෙලා ඇති මිනිස් රූපවලට සමාන රූපය), තවද කතෝලික සභාවේ චිරස්ථිතිය තීරණය වනුයේ එය සිය අභ්‍යන්තර සහ බාහිර 'ශුද්ධවත් බව' වෙනුවෙන් කෙතෙක් මැදිහත්වන්නේ ද (එය දේවමාතාව විසින් ඇයට පෙන්වූ 3 වන දර්ශනයවේ) යන්න මත බවත් දැක්වීය. දේවමාතාවන් ඇයට පෙන්වූ දෙවෙනි දර්ශනයවුයේ පළමු ලෝක යුද්ධය නිමවන බවත්, ඊටත් වඩා දරුණු ලෝක යුද්ධයක් ඉන්පසුව ඇතිවෙන බවත්, අනතුරුව සාමයක් ඇතිවෙන බවය. එහෙත් එම සාමයද තාවකාලික බව තුන්වන දර්ශනයෙන් කියවේ. කෙසේවුවද, පළමු සහ දෙවන ලෝක යුද්ධ සම්බන්ද ඇය ඉදිරිපත් කල අනාවැකිය නිවැරදිවූ බව දනිමු. ඒ අනුව තුන් වන අනාවැකිය වන 'කතෝලික සභාවේ චිරස්ථිතිය' සම්බන්ද කාරණය පිලිබදව ඔවුන් කුමනාකාරයෙන් සුදානම්වන්නේදැයි අපි තවම නොදනිමු.  කෙසේවුවද පාතිමා දර්ශනය කතෝලික සභාවේ මරිය තුමිය කෙරෙහිවූ විශේෂ භක්තිය සම්බන්දයෙන් පමණක් නොව මුළුමහත් කතෝලික සභාවේ සම්බන්දයෙන්ම මුළුමනින්ම  වැදගත්වන බව නම් නම් ඉතා පැහැදිලිය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
17/05/17.

Monday, 8 May 2017

භක්තිය සහ අවබෝධය අතර ඇදහිල්ල: සමන්ත බද්‍ර, නලින් ද සිල්වා සහ කාදිනල් මැල්කම් ඇසුරින්

පසුගිය සතියේදී  සමන්ත බද්‍ර හිමියන් අදහස් දැක්වූ මාධ්‍ය සාකච්ඡාවක් ඇසීමටද, මැල්කම් රංජිත් කාදිනල්තුමා 'According to Mathew' චිත්‍රපටිය තහනම් කිරීමට ඉල්ලුවේ යැයි කියන මූලාශ්‍රයක් නොතිබි ව්‍යාජය පුවතක් පිළිබද ව අදහස් හුවමාරු කරගැනීමටද, නලින් ද සිල්වා ඇදුරුතුමා කලකට පෙර ලියූ 'නිවනේ අවබෝධය සහ දෙවියන්ගේ පැවැත්ම' නම් ලිපිය කියවීමට ද ලැබුණි. 

සමන්ත බද්‍ර හිමියන් සිය සාකච්ඡාවේදී මෙන්ම නලින් ද සිල්වා මහතාගේ ගේ උක්ත ලිපියේද දක්වා තිබුනේ 'නිවන' යන්න දැනුමක් නොවන බවය. දැනුම යනු තාර්කික අදහස් මත ගොඩනගන ප්‍රවාදයන්, සංකල්පයන්,  කරුණු සහ දත්ත  යනාදිය ඔස්සේ මිනිසා තමා වටා ඇති ලෝකය  පිලිබදව සිය මනසේ ඇති කරන්නා අවබෝධය ය. එහෙත් 'නිවන' යන්න ඉහත ආකාරයට දැනුමට ගොනුකරගත නොහැක්කක් බව සමන්ත බද්‍ර හිමියන්ගේ මෙන්ම නලීන් ද සිල්වා මහතාගේ ද අදහසයි. සමන්ත බද්‍ර හිමියන්ට අනුව නම් 'නිවන' යන්න සංස්කෘතිකමය සහ භාෂාත්මක පරිකල්පනයන්ගේ ගොඩනැංවීම් වලට පිටස්තරව/පරිබාහිරව පවතින්නකි. නලින්ද සිල්වා මහතාගේ ඉහතින් සදහන් කල ලිපියට අනුව නම් බුදුන් වහන්සේගේ 'නිවන' පමණක් නොව යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල එන 'දෙවියන් වහන්සේද' දැනුම නොවේ. එනම් 'දෙවියන් වහන්සේව'ද දැනුමට ගෝචර කරගත නොහැක්කකි. තාර්කික අදහස් මත ගොඩනගන ප්‍රවාදයන්, සංකල්පයන්, කරුණු සහ දත්ත ආදිය මගින් මිනිස්  මනසේ ගොඩනගා ගන්නා  දැනුම මගින් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේව'ද අවබෝධ කරගත නොහැකි බව ඉන් කියවේ

එහෙත් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේ' ද  දැනුමක් නොවන  බව අවබෝධ කරගැනීම ම දැනුමක් නොවේද? එනම් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේ' ද ප්‍රවාද/සංකල්ප/කරුණු සහ දත්ත ආදිය මගින් අවබෝධකර ගත නොහැකියි අර්ථ දැක්වීමද 'නිවන' සහ 'දෙවියන්ව වහන්සේ' යන්න තවත් ආකාරයක සංකල්ප ගත කිරීමක් නොවේද? නැතහොත් 'නිවන' සහ 'දෙවියන්ව වහන්සේ' ගැන ප්‍රවාදයක් ගොඩ නැගීමක් නොවේද? 

උදාහරණයක් ලෙස පහතින් දැක්වෙන නලීන් ද සිල්වාගේ ඉහත ලිපියේන් උපුටාගත් කොටස දෙස බලන්න:

"මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ ස්වරූපයෙන් යැයි පරණ තෙස්තමේන්තුවේ සඳහන් වුව ද දෙවියන් වහන්සේට මිනිසෙකුගේ භෞතික ස්වරූපය ඇතැයි ඉන් නොකියැවෙයි. මේ දෙවියන් වහන්සේ පිළිබඳ චිත්ත රූපයක් හෝ මවාගත නොහැකිය. යුදෙව් ආගමේ මෙන්ම ඉස්ලාම් ආගමේ ද විවිධ ක්‍රිස්තියානි ආගම් වලද දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම හෝ රූප චිත්‍රගත කිරීමක් හෝ නොකෙරෙයි. මෙයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මනසින් සිතා ගත නොහැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් වහන්සේ මනසට ගෝචර නොවෙයි. පරණ තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවෙහි සඳහන් අන්දමට ආදම් සහ ඒව මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ ඔවුන්ට තහනම් ගසක ගෙඩි කෑම තහනම් කළහ. පසුව සර්පයාගේ මෙහෙයවීමෙන් ඒව ද ඒව ගේ කැමැත්තට ඉඩදී ආදම් ද තහනම් ගසේ ගෙඩි කෑහ. මෙය පවෙහි ආරම්භය ලෙස පරණ තෙස්තමේන්තුවෙහි ඉගැන් වෙයි. මේ පව කුමක්ද? තහනම් ගහේ කතාවෙහි යම් යම් පරස්පර ඇතැයි කිසිවකු කිව ද මෙහි හරය වශයෙන් කියැවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව ආදම් සහ ඒවට මානසික ලෝකය විවෘත වූ බවය. ඔවුන් තමන් නග්න ව සිටි බව දැන ගත්තේ ඉන් පසුව ය. ඔවුන්ට ලැජ්ජාව නම් හැඟීම ඇතිවන්නේ ඉන් පසුව ය. මා තේරුම් ගන්නා ආකාරයට එතෙක් නිර්මානසික ලෝකය පමණක් දැන සිටි ආදම් හා ඒව තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව මානසික ලෝකය, එනම් දැනුම, නිර්මාණය කිරීමට පටන් ගත්හ. මානසික ලෝකය නිර්මාණය වන්නේ නිර්මානසික ලෝකයෙනි. ඒ නිර්මානසික ලෝකය දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ සමග පරාදීසයේ සිටි ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා පව්. එනම් දැනුම, රැස්කර ගත්හ."

'දෙවියන් වහන්සේ' සහ පාපය පිළිබදව ඔහු ඉදිරිපත්කරන ඉහත භාෂාත්මක ගොඩ නැන්වීම් 'ප්‍රවාදය' කින් වෙනස් නොවන්නේ නැත. සංකල්ප ගත කිරීමකින් වෙනස්වන්නේ නැත. 

එම උත්සහය ඇතැම්විට 'සීමිතකම් සහිත භාෂාව තුලින් 'අවබෝධය' අවබෝධකර දීමට යෑම තුල ඇතිවෙන අර්බුධයක් යැයි  කිසිවෙකුට නම් කල හැක. එවැනි අර්ථ දැක්වීම් Jacques Derrida ගේ "il n'y a pas de hors-texte" ("there is no outside-text"(Of Grammatology) (1967) අදහස තුල මෙන්ම ඔහුගේ විවේචයෙක් වන John Searle ගේ "Derrida, as far as I can tell, does not have an argument. He simply declares that there is nothing outside of texts" (The Construction of Social Reality) (1995) යන අදහස තුලින් ද එකම ආකාරයට හෝ දෙආකාරයකට අර්ථ දැක්විය හැක.

අනෙක් අතට නලින් ද සිල්වා මහතා 'නිවන' / 'දෙවියන් වහන්සේ' / පාපය සහ බ්‍රාහ්මණ ආගම්වල 'මායාව' ආදිය සංකල්ප ගතකිරීම සදහා භාවිතයට ගන්නේ 'සියළු ගංගා ඇදව ගලයි, කළු ද ගගකි, එහින් කළු ද ඇදව ගලයි' වැනි සරල ඇරිස්ටෝටලියානු තර්කයම (Aristotelian logic) නොවේදැයි ඔහුගෙන් බොහෝ රචනා ඔස්සේ ප්‍රශ්නකල හැක. පහත දැක්වෙන ඔහුගේ ඉහත සදහන් කල ලේඛනයේ ඇති ප්‍රකාශය පරික්ෂාකර බලන්න:

''බ්‍රාහ්මණ ආගම්වල මායාව නිසා බ්‍රාහ්මන්ගෙන් වෙන් වූ දැනුමක් ලබා සංසාරයේ සැරිසැරීම සහ ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා දැනුම ලබා ගැනීම හෙවත් පව් කිරීම අතර ඇත්තේ සමීප සම්බන්ධයකි."

මෙවැනි ආකාර ඇරිස්ටෝටලියානූ සරල තර්කනය මත පදනම්වූ රූපික ප්‍රකාශනයක් පසුගිය දිනවල සමන්ත බද්‍ර හිමියන්ද සිදුකර තිබුණි. එය මේ ආකාරය:

"ජේසුට ඇණ ගසා මරාදැමුවේ  උස තොප්පි පැළද සිටි පුජකයන්ය. මැල්කම් රංජිත් කාදිනල්වරයා ද එවැනි උස  තොප්පි පලදින්නෙකි. ඒ අනුව ඔහුද ජෙසුව මරා දැමුවෙකි."

කෙසේවුවද, පෙරදිග බුදුන්ගේ ඉගැන්වීම් බටහිර/ග්‍රීක ඇරිස්ටෝටලියානූ තර්කනය මෙන් ද්වී ඇගයුම් තර්කනයක් පදනම් කරනොගත්තක් බව සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද දනී.  කලින් සදහන් කල නලීන් ද සිල්වා මහතා ගේ ලිපියේ පහත උපුටාගැනීම බලන්න:

"ථෙරවාදී බෞද්ධයන් මේ සියල්ලෙන් වෙනස් වන්නේ නිර්මානසික ලෝකය ද යථාර්ථයක් ලෙස නොපිළිගැනීමෙන් හා ඒ තේරුම් ගත හැක්කේ මනස ඉක්ම වූ තත්වයකින් නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් හා මනස ද නිර්මාණයක් බව නැති මනසින් අවබෝධ කර ගැනීමෙන් ය යනුවෙන් පිළිගැනීමෙනි. ථෙරවාදී බෞද්ධයන්ට අනුව සංස්කාර ඇති වන්නේ එනම් මානසික ලෝකය නිර්මාණය වන්නේ අවිද්‍යාව, එනම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම පිළිබඳව අවිද්‍යාව හේතුකොට ගෙනය."

මෙහිදී මනසින් ගොඩනගා ගන්නා ලෝකය පමණක් නොව ඉන් පරිබාහිරව පිහිටි (නිර්මානසික) ලෝකයද මනසින් ගොඩනගාගන්නා යථාර්තයක් ලෙස නොපිළිගැනීම සහ එය අනිත්‍ය, දුක්ඛ අනාත්ම පිළිබඳව අවිද්‍යාව හේතුකොට ගෙන ඇතිවන සංස්කාර යැයි අවබෝධකර ගැනීමද ඇරිස්ටෝටලියානු ඇත/නැත යන ද්වී ඇගයුම් තර්කනය අභිබවා ගිය බහුවිධ ඇගයුම් තර්කනයකි.  

එහෙත් බෞද්ධාගමික ඉගැන්වීම් පැහැදිලි කරදීම සදහා සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද භාවිතා කරන 'බහුවිධ' තර්කනය, බෞද්ධාගමික ඉගැන්වීම්වලින් පරිබාහිරව පවත්නා අප එදිනෙදා ජීවත්වෙන ලෝකය පැහැදිලි කරගැනීම සදහා එම දෙපල විසින් කෙතෙක් අදාල කරගෙන තිබේද යන්න ඔවුන්ගේ බොහෝ ඉගැන්වීම් ඇසුරින් පැනනගින ගැටලුවකි. 

මගේ තේරුම්ගැනීම වන්නේ සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද අප එදිනෙදා ජීවිතයේ මුහුණපාන තත්වයන් තේරුම්කරදීම සදහා ඇරිස්ටෝටලියානු තර්කනයේ එලබ සිටින අතර ඒ වෙනුවට විකල්ප 'යාථාව' අවබෝධ කරදෙන්නක්  ලෙස බෞද්ධාගමික 'බහුවිධ තර්කනය'  හදුන්වාදීමට උත්සහ කරන බවය. 

එහෙත්, අභිප්‍රාය කෙසේවුවද අවසාන වශයෙන් සිදුව ඇත්තේ අප එදිනෙදා ජීවිතයේ මුහුණපාන ගැටළු පමණක් නොව 'යථාවද' ඇරිස්ටෝටලියානු තර්කනයේන්ම අවබෝධ කරදීමය. එනම් ඔවුන් දෙපලම උත්සහ සිදුකර ඇත්තේ  /සිදුකරමින් ඇත්තේ දැනුම මගින්  මනසින් අවබෝධකර ගත හැකි අප එදිනෙදා ජීවත්වන ලෝකයද, දැනුමට හසු නොවන නිර්මානසික යැයි හදුන්වා දෙන ලෝකයද යන දෙකම එකම  ඇරිස්ටෝටලියානු  තර්කනය ඔස්සේ ගොඩනැගුන ප්‍රවාද /සංකල්ප ආදී දැනුම ඔස්සේ අවබෝධකර දීමට වෙරදරා තිබීමය / වෙර දැරීමය. 

එහි ප්‍රතිපලය වී ඇත්තේ:

මහානායක හිමිවරුන්, ශාසනයක්, වෙහෙර විහාර චෛත්‍ය, පිළිම ආදී කිසිවකින් තොරව, නිවැරදි ලෙස  මග පෙන්විය  භික්ෂුවකගෙන් / ගුරුවරයෙකුන් පමණක්වුවද පැවතිය හැකි ධර්මයක් ලෙස  සමන්ත බද්‍ර හිමියන් අර්ථ දක්වන (සමන්ත බද්‍ර) බෞද්ධාගමේ පවා එම ලක්ෂණ (මහා - නායක හිමියන් ලෙස ඔහුද, ඔහු යට‍තේ අනුගාමිකයන්ද, විහාරයද, පිළිමද ආදී ලෙස) සියල්ලම තිබ්බාටත් වඩා අත්‍යඅලංකාරව පැවතීම,  

                                               සහ

මනස ඉක්මවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් යුතු තත්වයකින් මානසික සහ නිර්මානසික නිර්මිත ලෝකයන් යථාර්ථයක් ලෙස නොපිළිගැනීමට යෝජනා කරන නලින් ද සිල්වා ඇදුරුතුමා විසින් 'සිංහල-බෞද්ධ' නම් ජාතියක්, සංස්කෘතියක් සහ රාජ්‍යයක්  සංස්කාරණය කිරීම

ආදිය ය.

මගේ අවබෝධය අනුව එලෙස ප්‍රතිලෝම භාවිතයකට යෑමට හේතුව වී ඇත්තේ පවතින  සහ පැවති ලෝකය යනුවෙන් ආඛ්‍යාන දෙකක් සමන්ත බද්‍ර හිමියන්ට මෙන්ම  නලින් ද සිල්වා මහතාටද පැවැතීය.  සමන්ත බද්‍ර හිමියන්ට අනුව 'පවත්නා ලෝකයේ' බෞද්ධාගම වෙනත් බොහෝ දේ සමග මිශ්‍රව එහි සැබෑ හරය යටපත්වී ඇත්තේ නම්  'පැවති ලෝකයේ' එය ශුද්ධව/අමිශ්‍රව/සැබෑ හරය සුරැකිව පැවතිනි. නලින් ද සිල්වා මහතාට අනුව නම් යටත්විජිත පාලනයට පෙර පැවතියේ සිංහල බෞද්ධ සමාජයක්/ජාතියක්/සංස්කෘතියක්/ රාජ්‍යයක් නම් යටත්විජිත පාලනයෙන් පසුව ඇත්තේ එයට වඩා වෙනස් තත්වයකි. 

මේ ආකාර ආඛ්‍යාන දෙකක් හෝ කිහිපයක් ඔස්සේ තේරුම් ගැනීමට ක්‍රිස්තියානියට අවශ්‍ය නැත. ක්‍රිස්තියානියේ අරම්භයේ සිට අද දක්වාම ඔවුන්ට ඇත්තේ එක් තර්කනයකි, එක් ආඛ්‍යානයකිඒ ඇරිස්ටෝටලියානු තර්කනයමය, එය මතම පමණක් පදනම්වු එක් ආඛ්‍යානයකි. 

එනම්:
          ඇත්තේ එක දෙවිකෙනෙක් පමණි 
          ආදම්-ඒව ඇතුළු සියල්ලේම මැවුම්කරු ඔහුය
          එහෙත් ඔවුහු ඔහුට අකීකරු වී 'පව්' කලහ 
          පාපයෙන් ඔවුන් මුදාගැනීමට ඔහු සිය පුත්‍රයා එවුහ 
         ජේසුස් වහන්සේ නම් වූ ඔහුගේ පුත්‍රයා ඔහුගේම මිනිස්  ස්වභාවය ය
         පල්ලිය යනු මෙම දිවි-මිනිස් ස්වභාවයේ  ප්‍රකාශනයයි 
         දේව භය සහ භක්තිය එහි පදනමයි.

දෙවියන් වහන්සේගෙන් තොර කිසිවක් නැත යන්න මෙහි අර්ථයයි. 

'උස තොප්පි පැළදි නායක පුජකයින්ද', පල්ලියද, ඇරිස්ටෝටලියානු තර්කයද පදනම් කරගත් මෙම නිර්මිතය තුල දෙවියන්වහන්සේ මෙන්ම, ස්වර්ග රාජ්‍යද, සදාතනික ජීවිතයද, එදිනෙදා ජීවිතය ආදී සියල්ලද පවතින්නේ මෙම නිර්මිතය තුල  මිස ඉන් පිටතින් නොවේ. ඉන් පිටතින් පවතින කිසිවක් නැත. 

එනම් සියල්ල දෙවියන් වහන්සේය: අවබෝධයද, භාෂාවද, සංකල්පයද, ප්‍රවාදයද, සත්‍යයද, ලෝකයද, විශ්වයද, ජීවිතයද, විශ්වාසයද, සැකයද, ආත්මයද, මරණයද, නැවත නැගිටීමද, රාජ්‍යයද, විප්ලවයද, දුකද, සතුට, පාපයද, වේදනාවද ආදීවූ මෙකි නොකී සියල්ල දෙවියන් වහන්සේය, දෙවියන් වහන්සේ තුලය, දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුවය, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවය. දෙවියන් වහන්සේට  පිටතින් කිසිවක් නැත. සියල්ල දෙවියන් වහන්සේය. 

ක්‍රිස්තියානිය/පල්ලිය පිහිටුවා ඇත්තේද ඒ සදහාය: එනම් සියල්ල දෙවියන් වහන්සේ බවත් ඉන් පිටතින් කිසිවක් නොමැති බවත් තහවුරු කිරීමටය. ඒ සදහා වූ කැමැත්තෙන් බැදීම නොහොත් භක්තිය අභ්‍යාස කරවීමටය. දේව භක්තියට අභියෝග කරන සියල්ලම අභිබවායෑම පල්ලියේ කාර්යභාරයයි.   

මැල්කම් රංජිත්ගේ කාදිනල්තුමා 'According to Mathew' චිත්‍රපටිය තහනම් කිරීමට ඉල්ලනේද? නොයිල්ලන්නේද ? යන්න තීරණය වන්නේද එඅනුවය. එනම් එය භක්තියට කරන අභියෝගයේ තරම අනුවය. ඒ අනුව ඇදහිල්ල භක්තියට අනුලෝමව යෙදේ.

කාදිනල්  මැල්කම් රංජිත්ගේ ක්‍රියාකාරීත්වය එලෙස ද්වී-ඇගයුම් අර්ථයකින්  තේරුම් ගැනීමද ඇරිස්ටෝටලියානු තර්කනයම මිස වෙන කිසිවක් නොවේ.  එනම් ක්‍රිස්තියානි භක්තිය මෙන්ම අභ්‍යාසයද ඒකායන අර්ථයක් ගනී.

එහෙත් කාදිනල්  මැල්කම් රංජිත්ගේ පදනම වන 'භක්තිය' සහ සමන්ත බද්‍ර හිමියන්ට මෙන්ම  නලින් ද සිල්වා මහතාගේ පදනම වන 'අවබෝධය' යන දෙකොටසටම පොදුවන ඇදහිල්ල 'භක්තියට' අදාලව අනුලොවමවත්, 'අවබෝධය' ට අදාලව ප්‍රතිලෝමවත් යෙදීම 'විනෝදයක්' ද?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/05/17.