This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label My Home town Negombo 22.. Show all posts
Showing posts with label My Home town Negombo 22.. Show all posts

Wednesday, 3 February 2016

ලංකාවේ පළමු නිදහස් දිනය මීගමුව සැමරූ අයුරු.

1948 පෙබරවාරි 04 දින කොළඹ පැවති ලංකාවට නිදහස ලබාදීමේ මුලික උත්සවයට සමගාමීව රටේ විවිධ පළාත්වලද ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා විවිධ උත්සව පවත්වා ඇති බව එවකට පළවූ පුවත්පත් වාර්තාවලින් හෙළිවේ.  

මේ අතරින් ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා මීගමුවේ පැවති විවිධ උත්සව සහ සමරු වැඩසටහන්වලට යම් විශේෂ අවදානයක් යොමුවූ බව කලක් කොළබ සරසවියේ සහ දැන් නෙදර්ලන්තයේ Leiden සරසවියේ සේවය කරන මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ Dressing the Colonised Body: Politics,Clothing and Identity in Colonial Sri Lanka (2003) කෘතියේ 26-27 පිටුවලත්, නැවතත් ඇයගේම Sri Lanka in the Modern Age. A history of contested identities (2006) කෘතියේ 150-152 පිටුවලත් එන විස්තරවලින් පෙනේ. 

එම විස්තර වලට අනුව මෙන්ම එවකට පළවූ පුවත්පත් වාර්තාවලට අනුවද ලංකාවේ පලමු නිදහස් දිනය සැමැරීම සදහා උත්සව 04ක් 1948 පෙබරවාරි 04 දින මීගමුවේ පවත්වා තිබේ. 

ඉන් මුල්ම උත්සවය ආරම්භ වී ඇත්තේ උදැසන 10.30ට, ලංකාවේ ප්‍රධාන දේවස්ථාන කිහිපයෙන් එකක්වන, මීගමුව මහවීදියේ ශාන්ත මරියා පල්ලියේ පැවති දේවමෙහෙයකිනි. කමිස, සාරි, කෝට්, කබා, කුර්ත මෙන්ම ජාතික ඇදුමින් සැරසුන පිරිස්ද, කළු සහ සුදු වේල් පොටින් හිස වසාගත් ස්ත්‍රීහුද මෙම දේව මෙහෙයට පැමිණ තිබේ. ඔවුන් පිලිගැනීමට මීගමු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ/ බාලදක්ෂකාවන් මහවීදිය දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිට ඇති අතර විශාල ජනතා සහභාගීත්වයක් පැවති බව වාර්තාවේ. සීනු ගසමින්, ගීතිකා කියමින් මහත් උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇති මෙම උත්සවයෙන් අනතුරුව කැවුම්, කිරිබත්, කේක්, බිබිකන්, බිස්කට්, අළුවා ඇතුලත් තේ, කෝපි සංග්‍රහයක්ද පවත්වා ඇත.
මෙම උත්සවය අවසානවනවාත් සමගම තවත් පිරිසක් මීගමුව මහවීදිය ශාන්ත මරියා පල්ලියට පිටුපසින් පිහිටි 'උස්පිල ගෙදර' නම් පැරණි නිවසක් අසල ශ්‍රී ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණ කර ඇත. ඒ   ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවටගෙන ඉංදියාවට පිටත්කර යැවීමට පෙර මෙම නිවසේ රැයක් ලැගුම් ගත්තේ යැයි විශ්වාස කරන බැවිනි. එම යුගයේදී දෙමළ ජාතික මහළු යුවලකට අයත්ව තිබු මෙම නිවාස පසුව 1960 දශකයේදී ගැලැස්ටන් ප්‍රනාන්දු මහතා මිලටගෙන තිබේ. 1980 දශකයේදී ඔහුගේ පුත් රාජ් ප්‍රනාන්දු විසින් මෙම නිවාස ‘ශ්‍රී වික් රාජ්’, ලෙස නම් කර තිබේ.  
                         කෙසේවුවද, 1948 පෙබරවාරි 04 දින මෙම නිවාස ඉදිරිපිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කල පිරිස්වල විශ්වාසයවී ඇත්තේ මෙම නිවස මීගමුවේ සිටි ප්‍රකට 'සූර්යකුල' තුනෙන් එකක්වූ  කුරුකුලසූර්යවරුන්ගේ 
නායකයෙක්වූ,  කුරුකුලසූර්ය මුදියන්සේට අයත්ව තිබූවක් බවයි. මීගමුවේ මෙම 'සූර්යකුල' සහ 'සූර්යවරුන්" ගැන මම මීට පෙර (06/11/2015 දින,පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය) යන ලිපියේ ලියා ඇත. එය මෙතනින් කියවිය හැක.

එහෙත් මීගමුවේ ප්‍රධාන නිල නිදහස් සමරු උත්සවය පවත්වා ඇත්තේ මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) මීගමුවේ (අද විනාසයට යාමට ඉඩ හැර ඇති) පැරණි ලන්දේසි කොටුව ඉදිරිපිට ඇති කොටුව පිටියේය (Negombo Fort Esplanade)එවකට මීගමුව නගරාධිපති වරයා වූ, මීගමුව, පෙරියමුල්ල, කැනල් පාරේ මඩු සුරැවම අසල නිවසේ පදිංචිව සිටි C.M. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. සැමදා යුරෝපියානු ක්‍රමයට කාලිසම්-ෂර්ට් සහ ටයි-කෝට් ඇදි එවකට මීගමුව නගරාධිපති C.M.ප්‍රනාන්දු මහතා මෙම නිදහස් දින උත්සවයට ජාතික ඇදුමින් සැරසී සිට ඇති බව වාර්තාවේ. දහස් ගණනින් ජනයා පැමිණ ඇති මෙම උත්සවය ජාතික කොඩිය ඔසවා ආරම්භකර ඇති  අතර දිළිදුන්ට ආහාරපාන ලබාදීමක් ද සිදුකර ඇත. 

උත්සවයේ වැදගත්ම අංගය වී ඇත්තේ 1927 නොවැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා  මීගමුවට පැමිණි ඉංදියානු නිදහස් සටනේ වීරයාවූ,  ඉංදියාවට නිදහස දිනාදුන් මහත්මා ගාන්ධි තුමාව සැමරීමය. මහත්මා ගාන්ධිතුමාගේ මීගමු ගමන ගැන (11/12/15 දින මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය )  මා ලියූ සටහන මෙතනින් කියවිය හැක.

ලංකාවේ පළමු නිදහස් දිනය සැමරීම රටේ විවිධ පළාත්වල  මේ ආකාර ලිහිල් සහ විවිධාකාර වීම ගැන කරුණු දක්වා ඇති ඉතිහාසය පිළිබද මහාචාර්යවරියෙකුවන නීරා වික්‍රමසිංහ, කතෝලිකයන් බහුතරක් වෙසෙන මීගමුවේ පැවති ලංකාවේ පළමු  නිදහස් උත්සවයේදී ලංකාවේ  නිදහස දිනාගැනීමට සම්බන්ද කිසිවකු සමරන්නේ නැතිව, ලංකාවේ නිදහසට කිසිසේත්ම සම්බන්දක් නැති, ඉංදියාවේ මහත්මා ගාන්ධිව සහ දෙමළ සම්භවයක් ඇති, ජාතික වීරයෙකු ලෙස පිළිනොගන්නා, දුෂ්ඨ පාලකයෙකු ලෙස සලකන, ලංකාවේ අවසාන රජ වන, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කිරීමේ අදාලත්වය ගැන ඇගේ ඉහත පොත්වල ඇය ප්‍රශ්නකර තිබේ. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මෙන්ම මහත්මා ගාන්ධිතුමාද මීගමුවට පැමිණි ඇති බව සහ ඒහින් මීගමුවේ ජනයාට ලංකාවේ පළමු නිදහස් දිනයේදී ඔවුන් දේපලවම අනුස්මරණය කිරීමට සාධාරණ හේතු තිබූ බව ඇයගේ අධ්‍යනවලට හසුනොවී තිබීම කණගාටුවට කරුණකි.  

කෙසේවුවද, ඉහත නිදහස් දින උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ කරමින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් මහාචාර්ය නීරා වික්‍රමසිංහ මහත් ඇගයීමකට ලක්කර තිබේ. මීගමු දිස්ත්‍රික් සභාපතිවරයාවූ C.M. ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර ඇත්තේ  මහත්මා ගාන්ධිමෙන් නිදහස දිනාගැනීමට සටන්කල හෝ ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටි බවත් එම අඩුව නිදහසින් පසුව එළබෙන යුගයේදී අපට විශාල අඩුවක් ලෙස මතුවෙන බවය. ඔහුගේ එම වචන ඇය ඇගේ පොතේ මෙලෙස උපුටා දක්වා  ඇත: "By honoring the Indian nationalist leader instead of any sons of the soil, any Ceylonese national hero, the chairman of the Negombo UC was making a clear and uncompromising political statement. Ceylon had no real nationalist fighter, no leader of the messes who united or attempted to unite classes, castes, and religions of the caliber of Mahatma Gandhi." (Dressing the Colonised Body: Politics, Clothing, and Identity in Colonial Sri Lanka, (2003), page 26)

මේ ආකාරයට උදෑසන 10.30ට ආරම්භවූ මීගමුවේ පැවති ලංකාවේ පළමු නිදහස් දින සමරු වැඩසටහන් අවසාන වනුයේ ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමේ ප්‍රධාන උත්සවයේ බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් රාජාසන කතාව පැවැත්වීම සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය මීගමුව නව තානායමේ පැවැත්වීමෙන් බව පෙනේ. 

එය 2012 මාර්තු මස 04 වන දින ලංකාදීප online හී පළවූ පුවතක් මගින් අදාල ඡයාරූප සහිතවම ස්ථීර කර ඇත. ඒ අනුව  1948 පෙබරවාරි 04 දින මෙරට ප්‍රථම නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය සහ ඔවුන් දෙපලගේ සමුගැනීමේ සාදය පවත්වා ඇත්තේ මීගමුව නව තානායමේ බව පෙනේ.
මෙහි දැක්වෙනුවේ මීගමුව නව තානායමේදී බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයාත්, එම මැතිනියත් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දින රාත්‍රී ආහාරය ගත් මොහොත යැයි සදහන් එම පුවතේ පලවූ ඡයාරූපයය. ඉහත රාජකීය භෝජන සංග්‍රහය පැවති මීගමුවේ නව තානායමයම වූ කලී මම ඉතා මෑතකදී සොයාගත් ලෙස බ්‍රිතාන්‍ය 6 වන ජෝර්ජ් රජතුමා රජවීමට පෙර ඔටුන්න හිමි කුමාරයෙක් දෙසද, මා මීට කලින් මගේ facebook පිටුවේ ඡයාරූප සහිතව පලකල ලෙස බ්‍රිතාන්‍යයේ 2වෙනි එලිසබෙත් රැජින 1954 දීද පැමිණි, 1940 දශකය උදාවෙන විටත් විවිධ රටවල සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පලකල, දැන් මීගමුවේ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විසින් අසල වෙරළ තීරය අත්කරගෙන පරිසරය වනසමින්, දුගන්දයෙන් මුළු පළාතම අපාගත කරමින් සිදුකරන මාළු කරෝල කිරීමේ ව්‍යාපාරය නිසා විනාශවී ගොස් ඇති අතීතයේදී මහත් කීර්තියක් ඉසිලූ තානායමකි. විශේෂයෙන්ම මුහුදු ආහාර පිළිගැන්වීම අතින් වඩා හොද නමක් දිනාගෙන තිබූ තානායමකි. ඒ සම්බන්දයෙන් මා ලියූ අනූවිය සපුරන එලිසබෙත් රැජිනගේ මීගමූ සංචාරය සහ මීගමු වෙරළ පිළිබද ගැටළුව  යන ලිපිය මෙම යොමුවෙන් කියවිය හැක. අද ද බ්‍රිතාන්‍ය ග්ලොස්ටර් ආදිපාදවරයා සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා රාජ්‍ය භෝජන සංග්‍රහය බුක්තිවිදී ශාලාවේ පසුබිමෙහි වූ ලී තිරය මීගමුව නව තානායමේ ඇති අතර 2013 අගෝස්තු මාසයේදී මට එය ඡයාරුප ගතකිරීමට හැකිවිය. එය ලංකාදීප පුවතේ පළවූ මුල් ඡයාරුපය හා මනාව සැසදේ. 

කොළඹ සිට සැතපුම් 23 ගෙවා, ගාලුමුවදොර හෝටලය වැනි හෝටල් කොළඹ ඕනෑ තරම් පැවතියේදී, ග්ලොස්ටර් ආදිපාදවරයා ඇතුළු පිරිස භෝජන සංග්‍රහයකට මීගමුවට පැමිණිම සහ මීගමුව නව තානායමේ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීම විය හැක්කක් වන්නේ මීගමුව නව තානායමට උරුමවූ ඉහත පසුබිම නිසා විය යුතුය. එහෙත් ග්ලොස්ටර් ආදිපාදවරයා නිදහස් උත්සවය සදහා ශ්‍රී ලංකාවට පැමිණියේ දින කිහිපයට පමණක් වීමත්, එවකට පැවති 'මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර සහ මීගමුව ගුවන් තොටුපල (වර්තමාන කටුනායක ගුවන් තොටුපල) පැවතියේ මීගමුව අසල වීමත්, එමෙන්ම 1940 හේ දශකය උදාවීමටත් පෙර සිටම මීගමුව නව තානායම යුරෝපයේ පවා සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පල කල ලෝ පසිදු ස්ථානයක්වීමත් නිසා ලංකාවේ පළමු නිදහස දිනයදා රාජ්‍ය භෝජන සංග්‍රහය මීගමුවේ නව තානායමේ පැවැත්වීමට තිබු ඉඩකඩ දෙගුණ තෙගුණ කරනු නියතය. 

මෙකී සියළු උත්සවවලට අමතරව මීගමුවේ ලංකා සමසමාජ පක්ෂ,  කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරීන් සහ වාමාංශිකයන් එක්වී  නිදහස් දින සැමරුමට එරෙහිව කළු කොඩි ඔසවමින් දැවැන්ත විරෝධතාවයක නිරතවූ බවටද වාර්තා වේ. එයට හේතුවවූයේ ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වාමාංශිකයන් ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ලැබුනේ ඩොමීනියන් තත්වයක් (Dominion status) පමණක් බවත්  බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ ලාංකික නියෝජිතයන්වූ D. S. සේනානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කොම්ප්‍රදෝරු (comprador /compradore) ධනපති නායකයින් ව්‍යාජ නිදහසක් පෙන්වමින් ජනයා මුලාකරන බවත් එයට විරෝධය දැක්වීමට ගත් තීරණයය.  සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් ව. ස. ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුතුවූ මීගමුවේ වාමාශික පෙරමුණ 1947දී ලංකාවේ පැවති ප්‍රථම පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී පවා මීගමුව ආසනයට තරගකර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සුළු ජන්ද පරතරයකින් පරාජය වූ අති ප්‍රබල විපක්ෂයක් විය. එහින් රටපුරාම වාමාංශිකයින් දැක්වූ (ඊනියා) නිදහස් සමරුවටවූ විරෝධ මීගමුව තුලද කළු කොඩි දමමින්, විරෝධතා රැස්වීම් පවත්වමින් ජයටම කෙරී ඇත. 

කෙසේවුවද, මහවීදිය ශාන්ත මරියා පල්ලියේ දේවමෙහෙයෙන් අරඹා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා මහත්මා ගාන්ධි සමරා, ග්ලෝස්ටර් ආදිපාදගේ සමුගැනීමේ සාදයෙන් අවසන්වූ දිනය පුරාම දිවගිය අපූරු නිදහස් දින සමරුවක් ලංකාවේ පළමු නිදහස් දිනය යෙදුන 04/02/1948 දිනයේ මීගමුවේ පැවති බවට ඉහත තොරතුරු සාක්ෂි සපයයි. එහෙත් කෙතරම් අදාල තොරතුරු, දත්ත, සහ කරුණු-කරනා ඉදිරිපත්කලද ලංකාවේ කිතුනුවන්ගේ අගනගරය හෙවත් 'පුංචි රෝමය' (Little Rome) ලෙස සලකන මීගමුවට නූතන ලාංකීය ඉතිහාසය තුල හිමිවිය යුතු වැදගත්කම ලබාදීමට මැලිවෙන බව පෙනේ. ඉහතින් සදහන් කල මීගමුව නව තානායම මෙන්ම මීගමුව ලන්දේසි කොටුව ආදී මීගමුවේ සියලු පැරණි ස්ථාන සියල්ල කිසිදු රැකවරණයකින් තොරව විනාශවීමට ඉඩහැර ඇත. ඒ පිලිබදව කිසිදු රජයකින් කිසිවක් කරන්නේ නැත. එහෙයින් අපට නැවත සිහියට නැගෙනුයේ මීගමුවේ පවතී ලංකාවේ පළමු නිදහස් දින සමරු උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M. ප්‍රනාන්දු මහතා දැක්වූ අදහසය. එනම් ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටිමේ අඩුව තවදුරටත් තදින් දැනෙන බවයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
04/02/16.

Friday, 22 January 2016

මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබීමෙන්  අනතුරුව රට තුල ප්‍රථමයෙන් බිහිකල කර්මාන්තශාලා වලින් එකක් වනුයේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටවූ ලංකාවේ ප්‍රථම පිගන් කම්හලවන මීගමුව රජයේ පිගන් කර්මාන්තශාලාවය. එය 1947 අගමැතිවරයා ලෙස පත්වන  D.S. සේනානායක මහතාගේ රජයේ ප්‍රථම කර්මාන්ත ඇමතිවරයාවූ  G.G. පොන්නම්බලම් මහතා විසින් 1950දී පමණ ආරම්භකරනු ලැබුවකි. 

නිදහස ලැබීමෙන් අනතුරුව, අනෙකුත් සෑම කර්මාන්ත අවශ්‍යතාවයකටම වඩා, පිගන් කම්හලක් පිහිටවීමට, පිගන් නිෂ්පාදනවලට මුල් තැනදීමට, ඒ සදහා ජාතික ධනය යටකිරීමට, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම රජයට අවශ්‍යවන්නේ ඇයිදැයි යන්න වෙනම විමසා බැලිය යුත්තකි. 

එහෙත්, ශ්‍රී ලාංකාවේ කෘෂි නිෂ්පාදනයන්ට නැවත පනපොවා, කෘෂිකර්මාන්තය දියුණුකර, කෘෂි ආර්ථිකයක් ඇතිකර, රටේ ජනයා සමෘද්ධිමත් කිරීමට ගොවිජනපද බිහිකරමින් උතුරු-මැද පළාත ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල  ඇවිදි   D.S. සේනානායක මහතාට එකල ආහාරපාන භුක්තිවිදිමෙහිලා ශ්‍රී ලාංකිකයන්  බහුලව භාවිතාකල මැටි කෝප්ප, නෑබිලි, නෙලුම් කොළ, කොළපත්, බෙලෙක් පිගන්කෝප්ප, පොල් කටු ආදිය වෙනුවට සෙරමික් පිගන් කෝප්ප හදුන්වාදීමටවූ  සංස්කෘතිකමය අවශ්‍යතාව එහිලා හේතුවන්නට ඇතැයි අපට තර්කකල හැක. 

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේදී ශ්‍රී ලාංකාවට Wedgwood, Royal Doulton, Royal Albert, Port Meirion සහ Spode වැනි සුප්‍රකට බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ නිෂ්පාදකයින් විසින් නිපදවූ  සේරමික්, පොසිලෙන් සහ බෝන් චයිනා (bone china) පිගන් නිෂ්පාදනයන් හදුන්වා දී තිබුණි. ශ්‍රී ලාංකාවේ එවකට නැගී එමින් තිබූ නව සමාජ පන්තීන් අතර එම නිෂ්පාදකයන්, නිෂ්පාදන සහ ඔවුන්ගේ නවතම මෝස්තර රටා පිළිබදව පවා හොද අවබෝදයක් තිබූ බව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය මහාචාර්ය ජැස්මින් ගුනරත්නගේ (Yasmine Gooneratne) පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ලියා ඇති විවිධ රචනයන්ගෙන් පෙනේ. 

බ්‍රිතාන්‍යයන්ගේ ආහාරපාන භුක්තිවිදින කලාව සහ ඔවුන්ගේ පිගන් කර්මාන්තය අතර දැඩි සම්බන්දයක් තිබේ. තේ පානය ලොවට හදුන්වාදුන් චීනුන් තේ බොන ආකාරයටද, තේ පානය වඩාත් ජනප්‍රියවූ ඉන්දියාව, තුර්කිය, මැද පෙරදිගයන ප්‍රදේශවල ජනයා තේ බොන ආකාරයටද වඩා වෙනස් ලෙස තේ පානය කිරීමේ කලාවක් බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුනි. එහිලා භාවිතා කිරීමට අවශ්‍ය තේ පෝච්චි (teapot), කිරි ජෝගු (creamer) සහ සීනි භාජනද (sugar bowl/sugar pot) ඔවුහු නිර්මාණය කළහ. ඒ විවිධ හැඩ සහ මෝස්තරවලින් පිරි තේ කෝප්ප, පීරිසි, තසිම්, තේ කොළ බහාලන බදුන් (tea caddy) ආදියට අමතරවය. මේ සියල්ල තේ කට්ටලයක් හෙවත් Tea set එකක් ලෙස හැදින්වේ. එමෙන්ම ආහාර පිලිගැන්වීමේ සහ අනුභවය සදහාද එවැනිම පිගන් කට්ටලයන්ද (Dinner set) ඔවුන් නිර්මාණය කළහ. එයට සෙන්ටිමීටර් 27/23/21 ප්‍රමාණයන්ගෙන් යුත් පිගන්, සුප් පිගාන්, සෙන්ටිමීටර් 35/34/30 ප්‍රමාණයන්ගෙන්යුත් කවාකාර හෝ ඕවලාකාර පිගන් (oval and round platters), එළවළු සහ වෙනත් කෑම පිලිගැන්වීම සදහා දීසි (open and covered veg), උදැසන කෑම සහ අතුරැපස සදහා භාජන (cereal bowl),  සුප් බහාලන භාජන (soup tureen), ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජන  ආදිය ඇතුලත්වේ. මීට අමතරව ළමුන් සදහා ද කුඩා කෑම භාජන (children set) ආදියද වේ.
මෙම පිගන් සංස්කෘතිය එම සියළු අංගයන් සහිතවම ලංකාව වැනි යටත්විජිතයන්ටද පැමිණ තිබුණි. ලංකාවේ පිගන් නිෂ්පාදන ඇරබීම සදහා ගොඩනැගූ, ලංකාවේ සියළු පිගන් කර්මාන්ත ශාලාවන්ගේ මව්‍ කර්මාන්තශාලාව වූ, මීගමුව පෙරියමුල්ලේ පිහිටවූ රජයේ පිගන් කර්මාන්තශාලාව තුලද ඉහත සදහනකල පිගන් සංස්කෘතියට අයත් සියළුම අංග උපාන්ගයන් එකක් නෑර ආරම්භයේ සිටම නිපදවූහ. 

එක් අතකින් ලාංකිකයන්ට නවතම සංස්කෘතික අංගක් වූ  පිගන් සංස්කෘතිය හදුන්වාදීම සදහා පිහිටවූ  ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල, කවදත් නවතම සංස්කෘතික ප්‍රවණතාවයන් සදහා මුලපුරන 'පුංචි රෝමය' නම් වූ මීගමුවේ පිහිටවීම මීගමුවේ ජනයාට සිදුකල මහත් උපහාරයකි. එහෙත් එය යාපනයට ගෙනයාමට හෝ ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල යාපනයේ පිහිටවීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම කර්මාන්ත ඇමතිවරයා වූ  G.G. පොන්නම්බලම් මහතා දැඩි උත්සහයක් ගත්බව මාගේ මේ සොයාබැලීමවලදී මට දැනගැනීමට ලැබුණි.  

ලාංකාවේ ප්‍රථම පිගන් කම්හලවන මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටවූ ලංකා පිගන් කම්හල ඉදිවනුයේ කලින් පැවති වැව්ශේයර් (Wavusher) නම් පොල් නිෂ්පාදන ආයතනය පිහිටි භූමියකය. එය අක්කර 16කට වඩා විශාල භූමි භාගයකි. පිගන් කර්මාන්තශාලාව සදහා තෝරාගත් භුමියේ කලින් පැවති වැව්ශේයර් (Wavusher) පොල් නිෂ්පාදන ආයතනය යටත් විජිත යුගයේදී සුදුජාතිකයන් පවත්වාගෙන ගොස් තිබු විශාල පොල් නිෂ්පාදන ආයතනයකි. පසුව දේශීය අයෝජකයෙකුට පැවරීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් පිරිහීමට පත්ව ඇත. ශ්‍රී ලංකා රජය අදාල භූමිය මිලටගෙන පිගන් කර්මාන්තශාලාවක් ඉදිකරනුයේ ඉන් අනතුරුවය. කෙසේවුවද, වැව්ශේයර් (Wavusher) පොල් නිෂ්පාදන ආයතනයේ ඉතිරිව සිටි සේවක සේවිකාවන් කිහිපදෙනාටද රජය අභිනවයෙන් පිහිටවූ  පිගන් කර්මාන්තාශාලාවේ රැකියා අවස්ථා සලසා දී ඇත. 

මුල්කාලයේදී මීගමුව පෙරියමුල්ලේ ඉදිකළ ලංකා පිගන් කර්මාන්ත ශාලාව සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, පෙල්ස්පා, ඩොලමයිට් සහ වෙනත් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය කාර්මික දැනුමද ලබාගෙන ඇත්තේ  බ්‍රිතාන්‍යයෙනි. එහෙත් නිෂ්පාදන ඇරබී ටික කලක් යනවිට ශ්‍රී ලංකාව සිය පිගන් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් බොහොමයක් දේශීයව නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ මැටි ශුද්ධාගාරයක්ද, දෙදියාවල, කයිකාවල සහ මීතියාගොඩ ආදී ප්‍රදේශවලින් පෙල්ස්පා (ceramic phosphors), ඩොලමයිට්(dolomite) සහ බෝල මැටි (ball clay) ආදියද නිෂ්පාදනය කර මීගමුව පිගන් කම්හලට ප්‍රවාහනයකර එහිදී  පිගන් නිපදවීමේ කාර්ය සිදුකර ඇත. 

මිනිස්ශ්‍රමය යොදාගනිමින් මෙන්ම යන්ත්‍ර සුත්‍ර ඇසුරින් තනාගන්නා පිගන් භාන්ඩ නිපදවීමට ගන්නා මැට්ට පසුව මෝල්ඩ් සහ අච්චූ ඇසුරින් නිෂ්පාදන ආකෘති සකසා විදුලි පෝරණුවේ පිලිස්සීමට ලක්කර තිබේ. එය බිස්කට්ස් (biscuits/ biscuit/bisque/bisc china/biscuits ceramic) ලෙස හැදින්වේ.  වර්ණගැන්වීම් සිදුකර පසුව නැවත එය පුළුස්සා ගැනේ. මෝස්‌තර දැමීම සිදුකරනුයේ ඉන් අනතුරුවය. මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් කම්හලේ නිපදවූ සියළු නිෂ්පාදන එලිදකිනුයේ ඉහත සෑම අවස්ථාවක්ම පසුකල පසුවය.

මෙම කර්මාන්තශාලාවේ පිගන් පිළිස්සීමට ගත් විදුලි පෝරණු මුලින්ම බ්‍රිතාන්‍යයෙන් ගේනවා තිබූනද පසුව ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් වඩා විශාල සහ බලශක්තිය සැකසුරුව්ම භාවිතා කළහැකි, වරකට පිගන් 700ක් පමණ පිළිස්සිය හැකි, බ්‍රිතාන්‍යය පෝරණුවලට වඩා හොද පෝරණු ගොඩනගා තිබේ. තවද ඔපදැමීම සහ වර්ණගැන්වීම සදහාද බ්‍රිතාන්‍ය වර්ණවලට නොදෙවෙනි වර්ණ සොයාගෙන භාවිතාවට ගෙන තිබේ. එමෙන්ම වරක් පුළුස්සාගත් පිගන් නිර්මාණයට ගන්නා 'සෙරමික්-බිස්කට්ස්' නිපදවීමේ තාක්ෂනය අතින් මීගමුව පෙරියමුල්ලේ පිගන් කම්හල ඉතා දියුණු මට්ටමක පැවත ඇත.  මෙලෙස ඔවුන් ප්‍රගුණකල ශිල්පීය දැනුම සහ ප්‍රාගුණ්‍යය පසුව පිළියන්දල බෝකුන්දර, මාතලේ රත්තොට, මීපේ සහ දංකොටුව ආදී ප්‍රදේශවල ඇරබී ශ්‍රී ලංකාවේ සෙසු පිගන් කර්මාන්ත ශාලාවලට ලබාදී ඇත. ඒ අනුව ලංකාවේ සෙසු සියළුම පිගන් කර්මාන්ත ශාලාවන්ගේ මව්‍ කර්මාන්ත ශාලාව ලෙස මීගමු පෙරියමුල්ලේ  පිහිටි පිගන් කර්මාන්තශාලාව උරදී ඇත්තේ රටක කර්මාන්තයක් ස්ථාපිත කිරීම නම්වූ මහගු කාර්යටය.

එහි නිෂ්පාදනයන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉස්තරම්, රටකට නව සංස්කෘතියක් හදුන්වාදුන් නිෂ්පාදනයන් විය. එක් අතකින් එය බ්‍රිතාන්‍ය මාදිලියේ සියළු  තේ පෝච්චි (teapot), කිරි ජෝගු (creamer), සීනි භාජන (sugar bowl/sugar pot), තේ කෝප්ප, පීරිසි, තසිම්, තේ කොළ බහාලන බදුන් (tea caddy) ආදිය ඇතුලත් තේ කට්ටල (Tea set) මෙන්ම ආහාර පිලිගනිවීමේ සහ අනුභවය සදහාද අවශ්‍ය සියළු පිගන් මාදිලිවලින් සමන්විත  පිගන් කට්ටලයන්ද (Dinner set) නිර්මාණය කර ඇත. එයට සෙන්ටිමීටර් 27/23/21 ප්‍රමාණයන්ගෙන් යුත් පිගන්ද, සුප් පිගාන්ද, කවාකාර හෝ ඕවලාකාර පිගන්ද (oval and round platters), එළවළු සහ වෙනත් කෑම පිලිගැන්වීම සදහා වූ දීසි (open and covered veg) හෙවත් කරී ප්ලේට්ස් (curry plates/dish), බ්‍රිතාන්‍ය උදැසන කෑම සහ අතුරැපස සදහා භාවිතාවන cereal bowl ආදිය අත සෝදන භාජන හෙවත් finger bowl ලෙසද,  සුප් බහාලන භාජන (soup tureen), ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජන  ආදියද, ළමුන් සදහා ද කුඩා කෑම භාජන (children set) ආදියද නිර්මාණයකර රටට නව සංස්කෘතික මෙවලම් සමුහයක් හදුන්වාදී ඇත. එමෙන්ම බ්‍රිතාන්‍යයන්ට පවා නව පිගන් නිර්මාණ ගැන උගතහැකි විශාල වතුර ජෝගු මෙන්ම දේශීය කලා ශිල්පයන්ගෙන් හැඩවූ බියර් ජෝගුද (ceramic beer mug) නිපදවා තිබුණි. ඒ සෑම නිර්මාණයක්ම දේශීය රටා, විවිධ හැඩතල, මල්, පලතුරු,  මෙන්ම අපට පමණක් අවේනික විසිතුරු මසුන් සහ නොයෙක් ආකාර මෝස්තරවලින් හැඩවී තිබුණි. 

තවද මීගමු පෙරියමුල්ලේ පිහිටි මෙම පිගන් කර්මාන්තශාලාව සිය නිෂ්පාදන සදහා මෝස්තර තෝරාගැනීමේදී එකල ජාත්‍යන්තර වශයෙන් සමකාලීනව වඩාත් ජනප්‍රියව භාවිතාවූ මෝස්තර කුමක්දැයි යන්න ගැන පවා හොද අවබෝධයක් ඇතිව කටයුතු කර ඇතිබව පෙනේ. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ  සුප්‍රකට පිගන් නිෂ්පාදකයින් වන Royal Doulton සමාගමේ 'Old Country Roses' මෝස්තරය ජනප්‍රියව පැවති 1960 දී පෙරියමුල්ල පිගන් කම්හල රතු පැහැති 'ලංකා රෝස් (Ceylon Rose)' මෝස්තරයද, 1970 ජනප්‍රියවූ Royal Albert සමාගමේ නිල්පාට මලක මෝස්තරය ගත් '1950 festival' නිර්මානයට නොදෙවෙනි දේශීය නිල් මලක මෝස්තරය
ද, Wedgwood සමාගමේ Sarah's garden මෝස්තරය ජනප්‍රියව පැවති 1980 දී දේශීය මල්, පලතුරු සහ ලංකාවට පමණක් අවේනික විසිතුරු මසුන් ඇතුලත් මෝස්තරයක්ද හදුන්වාදීමට මීගමුව පෙරියමුල්ලේ ලංකා පිගන් කර්මාන්තශාලාව සමත්ව තිබේ. 


එමෙන්ම දොඩම් ගෙඩියක හැඩයගත් මාමලෙඩ් ජෑම් භාජනය (marmalade jam pot), සුප්‍රකට ළමා කථා රචිකාවක් වන Beatrix Potter ගේ කථාවල එන සත්ව චරිත ඇතුලත් ළමා කෑම භාජන  (children ceramic set) නිපදවීම තුල මීගමුව පෙරියමුල්ලේ ලංකා පිගන් කර්මාන්තශාලාව  ශ්‍රී ලංකාව  කෙතරම් ජාත්‍යන්තර වශයෙන් බටහිර ජාතින්ගේ සංස්කෘතික නිර්මාන සමග එකට සිටගත හැකි ජාතියක්දැයි පෙන්වා දුන්හ. තවද එකල හදුන්වාදී තිබු තේ කෝප්පය, පීරිසිය සහ කේක් හෝ බිස්කට් සදහා වූ ඕවලාකාර හැඩය ඇති පිගානක් ඇතුලත් කෑලි තුනේ තේ පිරිසි කට්ටලය (3 piece tea cup & source set) අද ඒ ආකාරයටම ජර්මනියේ සුප්‍රකට Villeroy & Boch සමාගම නිපදවන අයුරු  දුටුවිට බුද්ධිමය දේපල පනතේ එන වගන්ති සිහියට නැගේ. 


එමෙන්ම, මීගමුව පෙරියමුල්ල පිගන් කම්හල පිගන් සංස්කෘතියට අදාලව ජාත්‍යන්තර වශයෙන් ඇගයුමට පාත්‍රවූ නව නිපයුම්ද හැදුන්වා දී තිබුණි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ වඩාත් ජනප්‍රිය කෑලි දෙකේ ලුණු සහ ගම්මිරිස් (salt and pepper) බහාලන භාජනය වෙනුවට කෑලි තුනේ පිගන් නිර්මාණයක් හදුන්වාදී තිබේ. එය ලුණු, ගම්මිරිස් සදහා වූ භාජන දෙකට අමතරව සෝස් හෝ කුළුබඩු හෝ oil සදහා භාවිතා කලහැකි අතිරේක එක් භාජනයක් ද එක්කර තිබේ. එය ශ්‍රී ලාංකිකයන්ට tomato ketchup ටිකක්ද, චීන, තායි, ජපන් ජාතිකයන්ට Chile paste/ Chile oil හෝ soy source ටිකක් ද, ඉතාලි ජාතිකයාට olive oil හෝ dry herbs ටිකක්ද, සුද්දන්ට අවශ්‍යනම් malt vinegar ටිකක් ද දමාගැනීමට සමත්  ලුණු ගම්මිරිස් මෙන්ම කෑම මේසයේ තිබිය යුතු තවත් අත්‍යවශ්‍ය  අංගවලටද ඉඩක් ලබාදුනි. 

ධීවර කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයටත් වඩාත් ප්‍රසිද්ධව  සිටි මීගමුව, පෙරියමුල්ලේ පිහිටි පිගන් කර්මාන්තශාලාව නිසා  දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද   කාර්මික නිෂ්පාදනවලටද ප්‍රසිද්ධව සිතියම් වල මෙන්ම, පාසැල් පෙලපොත්වල පවා නම සටහන් කිරීමට සමත්වන ලදී. 1950 දී පිගන් සංස්ථාවක් බවට පත්ව, පසුව පිගන් සංයුක්ත මණ්ඩලය බවට පත්වෙන ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තය එහි උච්චතම අවස්ථාවවූ 1970-83 අවධියවනවිට, සේවකයින් 2000කට ආසන්න පිරිසකට රැකියා සපයා දී තිබේ. එයිනුත් සීයට පනහක (50%)කට වැඩි පිරිසක්, එනම් 1000 කට ආසන්න පිරිසක්, සේවා නියුක්තව සිට ඇත්තේ මීගමුවේ  පෙරියමුල්ල පිගන් කම්හලේය. ඔවුන්ගේන් බොහෝ දෙනෙකු මීගමුවේ ස්ථිර පදිංචිකරවන් විය.  ඒහින්, පෙරියමුල්ල පිගන් කම්හල   මීගමුවේ  ධීවර හෝ සංචාරක කර්මාන්තයේ නිරත නොවූ  ප්‍රදේශවාසී ජනයාටරැකියා අවස්ථා උදාකරදුන්  මහත් ආයතනයක් විය. 

ඒ සියල්ලටම වඩා, එම කර්මාන්ත ශාලාවේ සේවයකල සියලු සේවක සේවිකාවන්ට වර්ෂයකට එක්වරක් හෝ දෙවරක් (නත්තලට / අළුත් අවුරුද්දට) ලබාදෙන අඩුමිලට පිගන් භාන්ඩ ගතහැකි අවස්ථාව මීගමුවේ බොහෝ නිවෙස්වලට නවතම තේ කට්ටල, කෑම කට්ටල (Tea set / Dinner set) ඇතුළු පිගන් සංස්කෘතියේ සියළු අංග-උපාන්ග-ආයිත්තම් අඩු මිලට ගතහැකි වාසනාවක් උදාකරදෙන ලදී.  එහින් මීගමුවේ  පෙරියමුල්ල පිගන් කම්හල මීගමුවේ ජනයාට නවතම සංස්කෘතික අංග බෙදාහරින, මීගමුවේ ජනයා  සංස්කෘතික වශයෙන් තව තවත් හැඩගන්වන අපුරු තෝතැන්නක් වනලදී. පෙරියමුල්ල පිගන් කම්හලේ තැනූ පිගන් නිෂ්පාදනයක් නොමැති නිවසක් මීගමුවේ නොමැති තරම් විය. 

තවද උදෑසන 07ට වැඩ ඇරබීමට, දහවල් 12ට කෑම පැයට, හවස 04ට වැඩ නිමවීමට නාද කරන කම්හලේ විද්‍යුත් නලාව  (Horn) අහල ගම් හතක ජනයාට වේලාව මතක්කල අපුර්ව ඔරලෝසුවක් බදුවිය. දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙරියමුල්ල පිගන් කම්හලේ විද්‍යුත් නලාව  (Horn) මීගමුවේ පරම්පරා දෙක තුනකගේ එදිනෙදා ජීවිත කටයුතු සහ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද හැඩ ගැස්සවීමට දායකවුවකි. 

 ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තය සිය ස්වර්ණමය යුගයේදී කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවති උළුමෝල් පවා පවරාගෙන සිය ශිල්පීන් ලවා ලාභ ලබන තත්වයට පත්කර තිබේ. කුරුණෑගල වෑකේ, මුලතිව්, මහියංගනය සහ අනුරාධපුර ප්‍රදේශයේ එසේ පවරාගත් උළුමෝල් පිහිටා තිබේ. තවද විදුලි බල මණ්ඩලයේ විදුලි රැහැන් රදවා තැබීමට ගන්නා උපකරණ, වැසිකිළි පෝච්චි මෙන්ම පිගන් ගඩොල් (floor tile/wall tile) පවා නිෂ්පාදනය කර තිබේ. ඒ  ශ්‍රී ලංකා පිගන්  කර්මාන්තයේ මව් කම්හල වූ   මීගමුව  පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන්  කර්මාන්තශාලාව හොදින් ක්‍රියාත්මකවන තාක්කල් පමණක් විය.   

මීගමුව පෙරියමුල්ල ලංකා පිගන්  කර්මාන්ත ශාලාවේ බිදවැටීම ඇරබෙනුවේ ලංකා පිගන්  කර්මාන්තයේ ස්වර්ණමය යුගයේදීමය. කම්හල හොදින් ක්‍රියාත්මකවෙමින් තිබූ 1970 දශකයේදී මීගමුවේ සහ ඒ අවට ප්‍රදේශයන්හී බොහෝ දේශපාලකයන් තොග ගනනින් මීගමුව  පිගන්  කම්හලට සේවක පත්වීම් ලබාදී ඇත. සිටියයුතු සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයක් සමහර අංශවලට දේශපාලකයන් විසින් පත්කර ඒවා ඇත. එයට අමතරව පැය අටේ වැඩමුරයට අතිරේකව තවත් වැඩමුරයක් ක්‍රියාත්මක කරමින් අත්තිකාල දීමනාද ගෙවා තිබේ. ඒ දේශපාලකයන් සමග රාත්‍රිය පුරාම බීමත්ව කාලය ගතකරන දේශපාලන පත්වීම ලැබූ සේවකයන් දිවාකාලයේ කම්හල තුල හොදහැටි නිදාගන්නා අතරය. 

දේශපාලන පත්වීම් මත පත්වූ කළමනාකාරීත්වයද ඒ කිසිවක් ගැන විනය ක්‍රියාමාර්ග නොගත් අතර ඒ වෙනුවට එම සියළු දෙනාම එකට එක්ව සොරකම් සහ දුෂණවල නිරතවී ඇත. මීගමුව පෙරියමුල්ල ලංකා පිගන්  කර්මාන්ත ශාලාවේ සොරකම් සහ දුෂණ නිෂ්පාදනය සොරාගැනීමේ සිට අමුද්‍රව්‍ය සහ යාන්ත්‍රසූත්‍ර ඇනවුම් කරන මුවාවෙන් සොරකම් කිරීම දක්වා පැතිර තිබේ. තවද අතිරේක වැඩමුරය කම්හලේ ලාභය පමණක් නොව නිෂ්පාදනයේ ප්‍රමිතියද, අමුද්‍රව්‍යවල නාස්තියටද හේතුවී ඇත. මන්දයත්, පිගන් නිෂ්පාදනයන් යනු නිසිලෙස වේලීම සහ සිසිල්වීම මත පදනම්වන, යම් ආකාරයකට කාලය ගතවන නිෂ්පාදනයක් බැවිනි.


මේ සියල්ල පෙරියමුල්ල ලංකා පිගන්  කම්හලට දරාසිටිය හැකිවුයේ සිය නිෂ්පාදන සදහා හොද ඉල්ලුමක් පවතිනතාක්කල් පමණි. 1977 විවෘත ආර්ථිකය හැදින්වා දීමත් සමග ඉතා ලබා පිගන් සහ ප්ලාස්ටික් බඩු රටට පැමිණි අතර 1980 දශකය අගභාගය වනවිට එහි ඉල්ලුම භයානක ලෙස පහත වැටී ඇත. ඒ සමග සොරකම් සහ දුෂණ ඉතා ඉහල ගොස් නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය අස්ථානගතවීම  ස්වභාවික තත්වයක් බවට පත්ව තිබේ. ඒ අතර පැරණි යාන්ත්‍රසූත්‍ර බිදවැටීම්, අමතර කොටස් අතුරුදන්වීම්, යාන්ත්‍රසූත්‍ර සහ අමතර කොටස් ඇනවුම් කරන මුවාවෙන් සොරකම් කිරීමද නිතර සිදුව තිබේ. 1990 
දශකයේ මුල් භාගය වනවිට පෙරියමුල්ල ලංකා පිගන් කම්හල වසා දමන ලද අතර 1996 දී පිගන් කර්මාන්තශාලාව පැවති ගොඩනැගිලි සහ භූමිය බුල්ඩෝසර් කර සුපිරි නිවාස සංකීරණයක් තැනීමට විකුණා දමනලදී. ලංකාවට පිගන් කර්මාන්තය හදුන්වාදුන් මීගමුව පෙරියමුල්ලේ  පිගන් කර්මාන්ත ශාලාවේ කථාව අවසන්වුයේ එලෙසිනි.

එක් අතකින්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාවක් පිහිටවීමෙන් ලංකාවේ ප්‍රථම අගමැති D.S. සේනානායක මහතාගේ  රජය බලාපොරොත්තුවුයේ  ආහාරපාන භුක්තිවිදිමෙහිලා එකලශ්‍රී ලාංකිකයන් බහුලව භාවිතාකල මැටි කෝප්ප, නෑබිලි, නෙලුම් කොළ, කොළපත්, බෙලෙක් පිගන්කෝප්ප, පොල් කටු ආදිය වෙනුවට පිගන් සංස්කෘතියක් හදුන්වාදීමට නම් අද එය ඉෂ්ට සිද්ධවී ඇත.

අනෙක් අතින්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාවක් පිහිටවීමෙන් බලාපොරොත්තුවුයේ ශ්‍රී ලාංකාව තුල එක් සමාජ පංතියකට පමණක් මිලදීගත හැකි මිල අධික පෝසිලෙන් වැනි පිගන් නිෂ්පාදන කිරීමට අවශ්‍ය මුල් අඩිතාලම දමාගැනීම නම් අද එයද ඉෂ්ටවී ඇත. 
මන්දයත්, මීගමුව පෙරියමුල්ලේ පිගන් කර්මාන්තශාලාව තුලින් ප්‍රගුණකල ශිල්පීය දැනුම සහ ප්‍රාගුණ්‍යය ඇසුරින් දංකොටුව පෝසිලෙන් සහ මාතලේ රත්තොට නෝරිටාකේ පිගන් නිෂ්පාදන ආයතන අදටද හොදින් ක්‍රියාත්මක වන බැවිනි. 

එහෙත් මීගමුවේ ජනයාට අහිමිවුයේ, මුළු රටටම උගතහැකි මහගු අත්දැකීම් සහ අවස්ථාවන් රාශියක් රටට ලබාදුන් ලාංකාවේ ප්‍රථම පිගන් කම්හල  නොවේ. බ්‍රිතාන්‍යයේ Stoke-on-Trent නගරයේ  1759 ජෝශේ වෙජ්වූඩ් සහ පුත්‍රයන් (Josiah Wedgwood and Sons) හදුන්වාදුන්, ජාතියකගේ සංස්කෘතික ඉදිරිපැම්මට දායකවූ, Wedgwood පිගන් නිෂ්පාදන ආයතනය මෙන් මහා සංස්කෘතික දායාදයක්ය. එහෙත් ඒ පිළිබද මතකය තබා එහි සිදුකල නිර්මාණයන්වත් සුරැකිව තැබීමට මීගමුවේ කෞතුකාගාරයක්වත් නැත. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
22/01/2016