This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 6 May 2024

නලින් සිල්වා ගේ ලෝකය දැක ගැනීම


මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලෝකය මට ප්‍රථමයෙන්ම 'දැකගත හැකිවන්නේ' ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය සංවිධානය කර තිබූ විවාදයකදීය. එම විවාදය පැවැතියේ අපි කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල්වූ 1995-96 කාලයට පෙර විය යුතුය. විවාදයේ මාතෘකාව වී තිබුනේ රටේ 'ජාතික ප්‍රශ්නය' ය. විවාදයේ ප්‍රධාන කතිකයන් දෙදෙනා වූයේ ආචාර්ය නලින් ද සිල්වා සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. අපි මේ විවාදය නැරබීමට ගියේ එවකට නව සමසමාජ පක්ෂයේ මිගමුවේ නායකයා වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සහ තවත් න.ස.ස. පක්ෂ ක්‍රියාකාරීන් රාශියක් සමගය. මෙම විවාදය පැවැති ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශාලාවට වෙනත් විශ්ව විද්‍යාලවලින් මෙන්ම, වෙනත් ප්‍රදේශවලින්ද පිරිස් පැමිණ සිටියහ. එම පිරිස් අතර නලින් ට මෙන්ම බාහු ට ද සහය දැක්වූවන් මෙන්ම ඒ කාටත් සහයදීමට වඩා විවාදය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද විය.

බ්‍රිටෝ අය්යා ගේ නිවසේදී හා වෙනත් ස්ථානවල පැවැති රැස්වීම්වලදී ආචාර්ය වික්‍රමබාහු ව කිහිප අවස්ථාවක් මුණගැසී තිබූනද ආචාර්ය නලින් ද සිල්වා ව ඒ වන විටවත් මම දැක නොතිබුණි. එහෙත් ආචාර්ය නලින් ද සිල්වා ගැන කියවා/අසා තිබුණි. විදුසර පත්තරේ ඔහු ලියූ ලිපි අඛණ්ඩව ද, දිවයින සහ The Island පත්තරවල ඔහු ලියූ ලිපි විටින් විටද කියවා තිබුණි. එසේ 'හදුනාගෙන සිටි' නලින් ද සිල්වා ව මට මුලින්ම 'දැකගත හැකිවන්නේ' ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති ඉහත විවාදයේදීය. එම විවාදය නැරඹීමේදී නලින් ද සිල්වා ගැන එතෙක් මා තුල පැවැති සියළු 'මවාගැනීම්', 'එළඹගැනීම්' සහ 'පිලිගැනීම්' මුලින්ම දෙදෙරා වැටෙන ලදි.

උගතෙක්, බුද්ධිමතෙක්, ප්‍රාඥායෙකු ලෙස එතෙක් මගේ සිත තුල මුල්බැසගෙන සිටි නලින් ද සිල්වා ජාතිවාදී, වර්ගවාදී, අන්තවාදී, උමුතු මිනිසෙකු යැයි මට එම අවස්ථාවේදී හැගී ගියේය. ඒ තරමට ඔහු එම විවාදයේදී කෝපයෙන්, අනෙකා පෙලමින්, දැඩි අධිපතිවාදී ස්වරූපයකින් හැසිරුනේය. ඒ කෝපාවිෂ්ඨ හැසීරීම තුල පවා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න උපහාසයෙන්, උසුළු විසුළු කරමින්, විදග්ධ ලෙස අදහස් ඉදිරිපත් කරන ලදි. බාහුගේ විශිෂ්ඨ අදහස් ඉදිරිපත් කිරීම, තර්කණය, නලින් ද සිල්වාගේ ශාස්ත්‍රීය පදනමින්ම, ඔහුට උත්තර දීම තුල බාහු වීරයෙක් ලෙස මට ඒ මොහොතේදී හැගීයන්නට විය. නව සම සමාජ නායකයින් අතරින් පොදු ජනයාගේ නායකයෙක් ලෙස ඉස්මතුව පෙනුනු, මීගමුව,පෙරියමුල්ල, ඇලපාරේ, සමන්තගේ කසිප්පු වීදුරුව හෝ ප්‍රතික්ෂේප නොකර පොදු ජනයා සමග බද්ද වූ වාසුදේව නානායක්කාරට වඩා, න. ස. ස. පාක්ෂිකයන් අතර පවා තරමක් දුරස්ථව සිටි, බාහු ක්‍රමයෙන් මගේ වීරයෙක් වීමේ පදනම වැටීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී බාහු සහ නලින් ද සිල්වා අතර පැවැති එම විවාදය හේතුවන්නට ඇත.

ලාංකික දෙමළ ජනයාගේ අනන්‍යතාවය ගොඩනැගුනේ ලන්දේසි යුගයේදී යැයි දීර්ඝව, ඉතිහාස කරණු ගෙනහැර දක්වමින් නලින් ද සිල්වා ගෙනා කරුණු 'අළුයම ලූ කෙළ පිඩක් සේ' බැහැර කරලමින් "ඔය කියන 'ඉතිහාස කතා' දැන් මේ 'ජාතික ප්‍රශ්නය' ට අදාල නෑ" කියමින් බාහු නලින් ව සමතලා කරන ආකාරයේ ප්‍රහාරයන් එල්ල කිරීම Cassius Clay හෙවත් මොහොමඩ් අලීගේ මුෂ්ටි පහරවලටත් වඩා තද බල විය. නලීන් ද සිල්වා ට 'කතාන්දර කියන්නෙකු' යැයි මුලින්ම කිව්වේ වික්‍රමබාහු කරුණාරත්න විය යුතුය.

බාහු නලින් ද සිල්වාට 'කතාන්දර කියන්නෙකු' යැයි කිව්වේ හුදෙක් නලින් ද සිල්වා ජාතික ප්‍රශ්නය, ඉතිහාසය, සිංහල ජනයා ගැන ඉදිරිපත් කල අදහස් පදනම් කරගෙනම නොවිනි. නලින් ද සිල්වා විද්‍යාව සහ මාක්ස්වාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල අදහස් ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සැලකුවේ කතාන්දර ලෙස මිස විෂයානුකූල ශාස්ත්‍රීය විවේචන, විශ්ලේෂණ හෝ විග්‍රහ ලෙස නොවේ. බාහු සහ නලින් ද සිල්වා අතර දිගහැරුණු විවාදයන්ගේ පරිසමාප්තිය 'හන්තානේ සංවාද' විය හැකිය. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ලියූ 'බුද්ධාගම විද්‍යාව සහ මාක්ස්වාදය' කෘතිය නිර්මාණය වන්නේ මම ඔය කියන 'හන්තානේ සංවාද' වලින් පසුවය. එම පොත එලිදැක්වීමට න. ස. ස. ප. තරුණ කණ්ඩායම් කොළඹ පෝස්ටර් ගසා, උත්සවයක් සුදානම් කර තිබුනි. එහි ආරාධනා පත්‍රයක් අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් රංජිත් දේවසිරිට මා දුන්විට ඔහු ඒ ගැන විවේචනයක් ඉදිරිපත් කළා මතකය. ඒ නිර්මාල් රංජිත් දේවසිරි නලින් ද සිල්වා සමග 'ඇමිණි', 'ඇමිණි' සිටි කාලයේය. එහෙත් නිර්මාල් කවදාවත් නලින් ද සිල්වාට හොදම ප්‍රතිවාදියෙක් වුයේ නැත... 'ඇකඩමියාව' විසින් හුදකලා කළ නලින් ද සිල්වාට අන්තිමට විහිළු සපයමින් හෝ ඔහු සමග විවාද කරන්න හිටියේ නිර්මාල් රංජිත් දේවසිරි විතරමය.

ඇත්තටම නලින් ගේ නියම ප්‍රතිවාදියා වුයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ය. බාහු සෑම අතින්ම නලින්ගේ සෑබෑම ප්‍රතිවාදියා විය..

එය ඒ අයගේ පේරාදෙණිය විශ්ව විද්‍යාල කාලයටත් පෙර පටන්, පාසැල් යන කාලේ සිට (බාහු ගියේ ආනන්දෙට, නලින් ගියේ තර්ස්ටන්/ අල්ලපු වැටේ තියෙන රෝයල් විදුහල), ඔවුන්ගේ ආදර කතාවල, ලංකා සම සමාජ පක්ෂයේ එකට වැඩ කරන කාලේ , පසුව ඉන් ඉවත්වී නව සම සමාජ පක්ෂය බිහිකරමින් එකට කටයුතු කරන කාලේ, ඊට පසුව ජාතික මතවාදී තලය දක්වා ද දිග හැරිණු ඓතිහාසික ද්වී ඝට්ටනයක් විය.

එම ද්වී ඝට්ටනය තුල නලින් ද සිල්වා ව රටේ මහා ප්‍රාඥායෙකු, දාර්ශනිකයෙකු ලෙස උඩ දැමීමටත්, වික්‍රමබාහු ව (තවම) එහෙම නොකිරීමටත්, බාහු අවසිහියෙන් පවා විප්ලවවාදියෙකු ලෙස සැලැකීමටත්, නලීන් ද සිල්වා තමන් විසින්ම තමා උගතෙකු හෝ බුද්ධිමතෙකු නොව 'කතාන්දර කියන්නෙකු' ලෙස නම්කර ගැනීමට තරම් බරපතල කැපුමක් ඔවුන් ඔවුන්ගේ පැවැත්මවල් තුල ඇතිකරගෙන තියෙන බව පැහැදිලිය.

එය නලින් ද සිල්වා ගේ 'මගේ ලෝකය' (1986) ඔස්සේ දිග හැරුණු "මගෙන් තොර ලෝකයක් පවතින බව මම දන්නේ කෙසේද?" යන ප්‍රස්තුතයේ ඔවුනොවුන් සිට ගත් අස්ථානයන් ඇසුරෙන් වුවද ගෙන හැර දැක්විය හැක. ඉහත ප්‍රස්තුතය සම්බන්ධයෙන් නලින් ද සිල්වා සිට ගත්තේ "මට මනසක් ඇති නිසා ය" යන තැන නම්, බාහු හිටියේ "මම සිටින නිසා ය" කියන තැනය. මේ දෙකම "ගොඩනගන ලද එළඹුම්" ලෙස ද විග්‍රහ කල හැක. එහෙත් එහිදී නලින් ද සිල්වා තව අඩියක් ඇතුලට ගොස් "මනස කියන්නෙත් දැනුම විසින් ගොඩනගන ලද දෙයක්. ඒ දැනුම එන්නේ පංච ඉන්ද්‍රියයන් ඔස්සේ සහ බාහිරෙන්, එසේ ලැබෙන දැනුම මනස විසින් සංස්ලේෂණය කරමින් නැවැත සංස්ලේෂණය කරනවා" යැයි දක්වයි. නලින් ද සිල්වා ඉදිරිපත් කළ 'නිර්මාණාත්මක සාපේකෂතාවාදය' කියවෙන්නේ එවැනි අදහසකි. බාහු තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සදහා මාක්ස් ගේ සිට හේගල් සහ කාන්ට් දක්වා ගොස් ඉන් නතරවේ... ඔහු ඊලගට මතුවෙන්නේ බෞද්ධාගමේ චතුස්කෝටික තර්කය පිලිගනිමින්, මාක්ස්වාදී අපෝහකය ද 'බහු ඇගයුම් තර්කණය' පිලිගන්නවා කියන අදහස ඉදිරිපත් කරයි.

මට නම් හිතෙන්නේ, පසු කාලේ විවිධ හෙලවීම් තිබුන ද, බාහු සිය මුළු ජීවිත කාලය පුරාම තමන්ව ගොඩනැගුණු බෞද්ධාගම, ඉගෙනගත් විද්‍යාව, හැදෑරූ බටහිර දර්ශනය, පිලිගත් මාක්ස්වාදය තුල සිය ලෝක දැක්ම සකස්කරගත්, ඒ මත ස්ථීරසාරව පදනම් වූ තැනැත්තෙක් බවයි.

නමුත් නලින් ද සිල්වා කියන්නේ තමන් ඉගෙනගත්, තමන්ව ගොඩ නැගූ, බෞද්ධාගම, විද්‍යාව, දර්ශනය, මාක්ස්වාදය, පක්ෂය, ජාතිය ආදී මේ සියල්ල ප්‍රශ්න කළ තැනැත්තෙකි. ඒ එකක්වත් ඔහුට ශක්තිමත් පදනම් නොවිනි... ඒ එකක්වත් ඔහුගේ ලෝක දැක්ම පරිපුර්ණ කළේ නැත. ඔහු එක්තරා ආකාරයට අර්බුදයට ගිය තැනැත්තෙක්. ඔහු පමණක් නොව රටේ සෙසු සිංහල-බෞද්ධ (සහ සිංහල-බෞද්ධ නොවන) ජනයා ද අර්බුදයට ගිහින් යැයි තේරුම් ගත් තැනැත්තෙක්. ඔහු සිංහල-බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන්න යෝජනා කරන්නේ ඒ නිසාය. එහෙත් එය කරන්න බැරි තරම් පරසතුරුතා, පසමිතුරුතා මෙන්ම පරස්පරතාත් රට තුලත් ඉන් පිටතිනුත් තියෙනවා ඔහු දනී. රාම-රාවණ කතා ගෙනෙන ඉ‍ංදියාවේ, ග්‍රීක-රෝම-යුදෙව්-ක්‍රිස්තියානි බටහිර චින්තයේ සිට, එහි දේශීය නියෝජනයන් දක්වාම විහිදුනු, (ඔහු මුහුණ දුන්නා මෙන්) දැවැන්ත අර්බුදයක හිරවෙන අභියෝග සිංහල-බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමෙහිලා මුහුණ දෙන්නට සිදු වෙන බව ඔහු බොහෝ සේ විග්‍රහ කර ඇත.

මේ අර්බුද, පරස්පරතා, පරසතුරුතා, පසමිතුරුකම් වලින් එලියට එන්න නම් 'අළුත් දැනුම් පද්ධතියක්' අවශ්‍යයි ඔහුට හිතේ.. 'බින්දුව හල් කීරිම' ගැන උනන්දුවෙන්න යැයි ඔහු යෝජනා කරන්නේ එහෙයිනි...

එත්, 'අළුත් දැනුම් පද්ධතියක්' අවශ්‍යයි යෝජනා කරන ඔහුගෙන් ආපහු අපි මෙසේ විමසුවහොත්: "දැනුම කියන්නෙත් මනස විසින් සංස්ලේෂණය කරන දෙයක් නේද?"

අන්න එතනදී මහාචාර්ය නලින් ද සිල්වාට මල පනී...ආවේශවේ, තරහා යයි, වියරුවෙන් මෙන් හැසිරේ...ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී දැක්ක නලින් ද සිල්වා ව නැවැත මතුවේ.

ඒත් අපිට ඔහුව තේරුම් ගන්න පුලුවන..

මාකස් ප්‍රියන්ත පෙරේරා

06/05/24

මීට කලින් ලියා මම ලියලා තිබෙන භක්තිය සහ අවබෝධය අතර ඇදහිල්ල: සමන්ත බද්‍ර, නලින් ද සිල්වා සහ කාදිනල් මැල්කම් ඇසුරින් ලිපියත් හැකි නම් කියවන්න...

1 comment: