This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 21 December 2020

පාස්කු ප්‍රහාරයට මාස 20යි. විමර්ශන 3යි. ලිපිගොනු 8යි. 267 අත්අඩංගුවේ. 33කට මිනීමැරුම් චෝදනා. එත් නීතිපති දෙපාර්තුමේන්තුව නඩුදාන්නේ නැහැ

මේ නත්තල වූ කලී පාස්කු ප්‍රහාරයෙන් විපතට  පත් ජනයා ගෙවන  දෙවන නත්තලය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා තවමත් කදුළු  සලමින්  සිටිද්දී පාස්කු ප්‍රහාරය පිලිබදව සොයාබැලීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ ජනාධිපති කොමිසමද දැන් අවසන් වෙමින් තිබේ. කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට තවත් මාස කිහිපයක්වුද ගතවිය හැක. 

එහෙත් පසුගියදා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අනතුරුව මල්වතු අස්ගිරි උභය මහ විහාර වෙත ගොස් මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිවරයා සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් දක්වා තිබුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත්ය. මෙහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින් කීදෙනෙක් ඇපමත නිදහස්වී ඇද්ද? එසේ ඇප මත නිදහස්වී ඇති අයට එරෙහිවද නඩු පවරන්නේද යන්න ගැන ඔහු කිසිදු සදහනක් කලේ නැත. පාස්කු ප්‍රහාරය දියත්කල සහරාන්ව වරක් ඉන්දියාවට බෝට්ටුවෙන් යැව්වේ යැයි චෝදනා එල්ලවූ හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මෙන්ම ඔහුගේ සොහොයුරාවන හිස්බුල්ලා බදියුදීන්ද එලෙස ඇපමත නිදහස්වී සිටින්නන් අතරවේ. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ද සිදුවීම් 8කට අදාළව පොලීසිය විමර්ශන සිදුකර අවසන්කර එම ලිපිගොනු 8ට නීතිපතිවරයාට බාරදී තිබෙන බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිසක් රැඳවුම් නියෝගමතත්, තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතවත් සිටින බවත් මීට පෙරද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශකර තිබුණි. එහෙත් මෙසේ විමර්ශන අවසන්කර බාර දුන් ලිපිගොනු 8 සම්බන්දයෙන් පවා නඩු පැවරීමට නීතිපති දෙපාර්තුමේන්තුව මෙතෙක් පියවරගෙන නොමැත. එයට හේතුව ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව දක්වා තිබුනේ දැනටමත් ජනපති කොමිසමක් ක්‍රියාත්මකවන බැවින් එම කොමිසමේදී මතුවන අලුත් සාක්කි මත නඩු පැවරීම් කළ හැකි නිසාත්, මෙයට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙන නිසාත්, එහිදීද මතුවිය හැකි නව සාක්ෂි මත ඇතිවිය හැකි පරස්පරතා මඟ හරවා ගැනීම සදහා ජනාධිපති කොමිසමේ මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවත් නිකුත්වෙනතුරු සිට නඩු පැවරීම නුවනට හුරු බවයි. 

ඉන් කියවෙන්නේ එකී වාර්තා දෙකම නිකුත්වෙන තුරුම නඩු පවරන්නේ නැති බවකි. මෙම වාර්තා දෙක බලාපොරොත්තුවෙන් සිටින අපට මතක්කර සිටින තවත් යතාර්ථයක්වී ඇත්තේ හිටපු ජනාධිපති සිරිසේන මහතා විසින් පත්කල පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමේ පළමු ජනාධිපති කොමිසමේ වාර්තාවවත් තවමත් නිකුත්කර නැති බවයි. ඒඅනුව දැනට අවසන්වීමට නියමිත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිහිටුවූ දෙවෙනි ජනාධිපති කොමිසමේ වාර්තාවත්, දැනට ක්‍රියාත්මකවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවත්, හිටපු ජනාධිපති සිරිසේන මහතා පත්කල පළමුවන ජනාධිපති කොමිසමේ වාර්තාවත් නිකුත් වෙනතුරු නීතිපති දෙපාර්තුමේන්තුව බලාසිටින්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බද අයට එරෙහිව කවදා නඩු පැවරේද? අඩුම තරමින් පොලිස් විමර්ශන අවසන් කර ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ද ලිපිගොනු 8ට අදාලව පියවර ගැනීමටවත් නීතිපති දෙපාර්තුමේන්තුව තවත් කොච්චර නම් කල් ගත කරයිද? 

නඩු පැවරීම කළ යුත්තේ සියලු කාරනා අධ්‍යනය කිරීමෙන් පසුව බවට නීතිපතිවරයා දක්වන මතය ගැන කිසිදු ගැටළුවක් නැත. නීතිපතිවරයා දැනටමත් එකී ලිපිගොනු සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරය ගැන සිදුකරන අධ්‍යන ඔස්සේ හෙළිවෙන කරුණු සම්බදයෙන් නීතිමය කෝණයකින් අධ්‍යනය කිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා තිබෙන බවද අපි දනිමු. ඒමෙන්ම නීතිපති දෙපාර්තුමේන්තුව සහ පොලීසිය අතර කලක පටන් දිග්ගැස්සුණු කබ ඇදිල්ලක් තිබෙන බවට මාධ්‍ය මතුකරන කාරණා සම්බන්දයෙන්ද අපි දැනුවත්ව සිටිමු. 

පසුගියදා ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා දිවයින පුවත්පතට (20/12/2020) ලියු ලිපියට අනුව ඇත්තවශයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියා කලාපය පළමුවරට විමර්ශනයට ලක්වූයේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමසූ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේය. ඒ පසුගිය වසරේදීය. පාස්කු ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ නීතිපති වූයේ වර්තමාන අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය බව සදහන් කළ යුතුය. දප්පුල ද ලිවේරා වැඩබලන නීතිපති ලෙස පත්වීම ලබන්නේ 2019 අපේ‍්‍රල් 29 දිනය. පාස්කු ප‍්‍රහාරය එල්ල වන්නේ ඊට සතියකට පෙරය. එතුමා ස්ථිර පත්වීම මැයි මාසයේදී ලබාගන්නා අවස්ථාවේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාව ක‍්‍රියාත්මක නැත. අදාළ වාර්තාව 2019 ඔක්තෝබර් මස අවසානයේදී පාර්ලිමේන්තුවට භාර දුන්නේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ විමර්ෂණයකට ලක්විය යුතුමය. ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ දක්වන  ආකාරයටම  'සහරාන්ලාගේ අන්තවාදී තර්ජනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකලාපය අදහගත නොහැක. තව්හිත් නායක සහරන් හෂීම් සම්බන්ධයෙන් ක‍්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ත‍්‍රස්තවාදී විමර්ශන අංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් පළමු වරට විමසා සිටින්නේ 2017 ජුනි මාසයේ 7 වැනි දිනය. එහෙත් ඒ සම්බන්දයෙන් නිසි ක්‍රියාත්මකවීමක් නොවිණි.      

ජනාධිපති කොමිසම ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව එහි වරද පොලිසිය පිට පටවා ඇත. පොලිස් විමර්ශකයන් එල්ලවන ත‍්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් තමන්ව නිසියාකාරව දැනුවත් නොකළ බව චෝදනාවට ලක්වී ඇති නීතිපති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය සලක බැලිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් කර එම වගකීම් නිසියාකාරව ඉටු නොකල බවට චෝදනාවට ලක්වී සිටින නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කර ඇති නිසාය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා දක්වන ආකාරයටම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක සමස්ත පොලිස් විමර්ශන ක‍්‍රියාවලිය සහ අධිකරණ කාර්යය බරපතළ අභියෝගයකට මුහුණ දී ඇති බව පැහැදිලිය. ජනාධිපති කොමිසම ඉදිරියේදී චෝදනාවට ලක්වී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාඞ් නවාවීගේ ප‍්‍රධානියා සිට වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා දක්වාද හෙළිදරව් වී ඇත. අධිකරණ ඇමැති අලි සබ්රිද ජනාධිපති නීතිඥයකු බව අමතක කළ නොහැක. 

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා පමණක්ද?

කිසිසේත්ම නැත. ඉන්දියානු රහස් ඔත්තු සේවයෙන් 2019 අපේ‍්‍රල් 4 වැනි දින තව්හීත් ජමාත් ප‍්‍රහාරය සම්බන්ධයෙන් එවකට ජාතික බුද්ධි ප‍්‍රධානි විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ට ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් 2019 අපේ‍්‍රල් මස 21 දින ප‍්‍රහාර මාලාව එල්ලවන තුරුම නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සමාව දිය නොහැකි වරදකි. ඒ සම්බන්දයෙන්ද නීතිය  ක්‍රියාත්මකවිය යුතුය. මෙහිදී විශේෂයෙන්ම අවධානයට ලක්විය යුත්තේ එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එම බුද්ධි තොරතුර පිළිබඳව දැනුවත් වී සිටි /නොසිටි බවට වඩා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ සමස්ත ආරක්ෂක යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වූ ආකාරයයි. සති තුනකට ආසන්න කාලයක් තුළ ඉන්දියානු බුද්ධි සේවා කිහිපවරක් එල්ලවිය හැකි මෙම ප්‍රහාරය  පිලිබදව ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවිය. එහෙත් එම ඉන්දියානු අනතුරු ඇගවීම් නොසලකා හැරියේය. ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ දක්වන ලෙසම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් කාදිනල් මැල්කම් රංජිත්  සහ කතෝලික පල්ලියේ වෙනුවෙන් පාස්කු කොමිසමට කරුණු දැක්වීමට නීතිඥ කණ්ඩායමක් පත් කිරීමට මූලික හේතුව සමස්ත දේශපාලන - විමර්ශන - අධිකරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් තිබූ අවිනිශ්චිතභාවයයි. එම නීතිඥ කණ්ඩායමේ ප‍්‍රධානි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා එවකට ජනාධිපතිවරයා සහ ඔහු පත්කළ රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අතර තිබූ කිට්ටු සම්බන්ධතාවය මතුකර ගත්තේ එම දෙපළ අතර සිදුවූ දුරකථන සංවාද ප‍්‍රමාණය ජනාධිපති කොමිසමේ අවධානයට ලක්කරමිනි. නීතිඥ ෂමිල් පෙරේරා මතුකළ කරුණු අනුව ජනාධිපතිවරයා ඉන්දියාවෙන් ලැබුණ අනතුරු ඇගවීම් පිලිබදව දැනුවත්ව සිටියේ නැතැයි යන්න පිළිගත නොහැක. 

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති සිරිසේන මෙන්ම යහපාලන ආණ්ඩුවද පැහැදිලිවම වගකිවයුතුය. පාස්කු ප්‍රහාරයෙන් පසු එවකට යහපාලන ආණ්ඩුව එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගත්තේ තම තමන්ගේ වැරදි වහගන්නටය. ඒ අතර මුලින්ම සිටින්නේ හිටපු ජනාධිපති  සිරිසේන ය. ඔහු යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ය. ප්‍රබල ආරක්ෂක අමාත්‍යංශය පැවතියේ ඔහු යටතේය. රටේ නායකයා වුවත් තමා ඊට කිසිසේත්ම වග නොකියන බවට සපථ කරමින් තමා හැර අන් සියල්ලන් උල තැබිය යුතුයැයි ඔහු ගෝරනාඩු කළේය. ඔහු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් දිය යුතු බව කියමින් ඒ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළේය. එම කොමිසමේ අවසන් වාර්තාව අදටත් ජනතාව අතට පත් කොට නැත. එහි කුමක් තිබුණාද යන්න ජනතාවට අවබෝධයක් නැත. එහෙත් ඒ වෙනුවට වැරදිකරුවන් දෙදෙනෙක් සොයාගෙන තිබුණි.

ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුය. මෙහි ඇති වැදගත්ම කොටස නම් පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන කොමිසම පත් කරන්නටත් පෙරම හිටපු ජනපති සිරිසේන මේ දෙපළ පාස්කු ප්‍රහාරයට සම්පූර්ණ වගකිව යුතු බවත්, ඔවුන් දඬුවම් විඳිය යුතු බවත් ප්‍රසිද්ධියේ කීමය. ජනපති සිරිසේනගේ කැමැත්ත අනුව පත් කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසමේ තීන්දුව වී තිබුණේද හේමසිරි සහ පූජිත් වැරදිකරුවන් බවය. එවකට ජනපති මෙන්ම නීතිපතිද හේමසිරි සහ පූජිත් මෙයට වගකිව යුතුම යැයි කියමින් ජනපති සිරිසේනගේ අඩිපාරේම ගියෝය. නීතිපති, ජනපති සිරිසේනගේ සිතැඟි අකුරටම පිළිපැද්දෙකි. ඔහුට අනාගත අගවිනිසුරු වීමේ නොනිම් ආශාව ජනපති සිරිසේන ලවා ඉටුකර ගැනීමට මේ කැපකිරීම් කළා විය හැකිය. තවමත් එම කැපකිරීමේ අවසානයක් නැත. නොබෝදා ඔහු වත්මන් පොලිස්පතිගෙන් වර්තමාන කොමිසමේදී හේමසිරි සහ පූජිත්ගේ සාක්ෂි ඉල්ලා සිටිනුයේ තීන්දුවක්ද ලබාදෙමිනි. එනම් ‘පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බව කියමිනි.

නීතිපතිවරයාට හේමසිරි සහ පූජිත් සමග ඇත්තේ වෙනම ආරෝවක් බව පැහැදිලිය. මේ කඩිනම් ප්‍රකාශ හරහා නීතිපති ඉටු කරන්නේ නැවත සිරිසේනගේ කොන්ත්‍රාත්තුව බව පැහැදිලිය. ඔහුට වුවමනා මෙවරත් එම නිලධාරීන් දෙපළගේ කර මත තබා ප්‍රශ්නය අහවර කළ හැකි බවට ඉඟි සැපයීමටය. මේ ඉක්මන් ප්‍රකාශ ඒ අරමුණෙන්ම බව පැහැදිලිය. කොමිසමේ සාක්ෂි ගෙන තමා තීන්දු කරනවාට පෙර කොමිසමම නිගමනයකට ආ යුතුය.

මෙතෙක් කොමිසම ඉදිරියේ සාක්ෂි සැපයූ සියලුදෙනාගේම කරුණු නිසි අධ්‍යයනය කළ යුතුය. ප්‍රසිද්ධ වූ ඒ සියලු කරුණු දෙස ඉතා පරීක්ෂාකාරීව බලන කල ජනපති සිරිසේන රටේ ආරක්ෂාව ගැන සතේකට මායිම් කර නැති බව පැහැදිලිය. ඔහු බුද්ධි මණ්ඩල රැස්වීම් නොවැදගත් කොටම සලකා ඇති බව පැහැදිලිය. මේ සාක්ෂි පුරාම ඇත්තේ සැවොම එකිනෙකාට බෝලය පාස් කිරීමකි. මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනපතිගේ අරමුණ තවමත් තමා කිසිවක්ම නොදත් තොත්ත බබා සේ ජනතාව ඉදිරියේ රඟපෑමය. එලෙස ඔහුට තම වගකීම්වලින් පහසුවෙන්ම ගැලවිය හැකිද? තමා හිටපු ජනපති නිසාත් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන බැවිනුත් ඔහු සහසුද්දෙටම තමා ගැලවෙන බව සහ  තමාට චෝදනා එල්ල නොවන විශ්වාසයේ ගිලෙන බව පෙනේ. බුද්ධි ප්‍රධානීන්ද තමා තොරතුරු අහවලුන්ට දුන්නා යන තැන සිට අත පිහදා ගන්නා තත්ත්වයක් ඇත. ජනපති ආරක්ෂක ඇමති වූ අතර තමා රට සවාරි යන විට නිසි ලෙස ආරක්ෂාව තව කෙනෙකුට බාර දෙන්නටද ඔහු අකමැති විය. ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන නමට සිටියෙක් බව පැහැදිලිය. එසේ කියා ඔහුටද මෙයින් තමා නිදොස් කියා කරබාගෙන සිටිය හැකිද?

පාස්කු ප්‍රහාරය හුදකලා කොට ගෙන හිටපු ආරක්ෂක ලේකම් හෝ හිටපු පොලිස්පතිට දඬුවම් පැමිණුවැයි කියා සාධාරණයක්  ඉටු නොවූ බව පසුගිය කාලයේ සමාජයම දැන ගත්හ. එම දෙපළ බන්ධනාගාර ගත කිරීමත් සමග සමාජය තුළ යහපාලනය කෙරෙහි හාස්‍යයක් ඉපැදීය. යහපාලන ආණ්ඩුවේ විශ්වාසය බිඳ වැටීම ආරම්භ වන්නේ පාස්කු ප්‍රහාරයටත් වඩා එයට වැරදිකරුවන් සෙවීමේ විකාර ස්වරූපය නිසාය. එදා අඩුම තරමේ ආණ්ඩුවක් ලෙසත්, එහි නායකයා ලෙසත් පාස්කු ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ තමන් කනගාටු වන බවත්, ආරක්ෂාව පිළිබඳ අඩුපාඩුවලින්මේ තත්ත්වය උදාවූ බවත් එහි සියලු වරද ආණ්ඩුව පිළිගන්නා බවත් ඉදිරියේදී මෙවැනි දෑ නොවන්නට මෙයම පරමාදර්ශයක් කරගන්නා බවවත් ජනතාව ඉදිරියේ සිරිසේන-රනිල් ආණ්ඩුව පිළිගත්තේ නම් ඒ අය කෙරෙහි ජනතා අප්‍රසාදය එතරම් විශාල නොවන්නට ඉඩ තිබුණි. එහෙත් සිදුවූයේ හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති නිසා මේ දේ වූවා යැයි රටට කීමෙන් ඒ අයම පචමවීමය.

මේ සියල්ල දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ ඔවුන් කිසියම් ප්‍රහාරයක්  සිදුවීමට ඉඩ ඇතිබව දැන දැනත් එයට ඉඩ හැරි බවය. ඒ ජනාධිපති  සිරිසේන සහ අගමැති  රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ දේශපාලන ගැටුම නිසාද? කිසියම් ප්‍රහාරයක් ඔස්සේ වික්‍රමසිංහගේ රජය බිදදැමීමට හිටපු ජනාධිපති සිරිසේනට සුදුසු වටපිටාවක් සකසා ගැනීමට අවශ්‍යවීද? එහිලා බිලිවුයේ මෙරට අහිංසක ජනයා ය. ඔවුනොවුන්ගේ දේශපාලන  එදිරිවාදීකම් පරිමසා ගත්තේ  මෙරට  අහිංසක ජනයා බිලිදීමෙනි.  

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් මැල්කම්  රංජිත්  ඇතුළු ශ්‍රී ලංකා කතෝලික  පල්ලිය ගත් දැඩි ස්ථාවරය නොවන්නට එම සිදුවීම තවත් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස පමණක් සැලකීමට හෝ නැතහොත් තවත්  එක ප්‍රහාරයක්, ලේ වැගිරීමක් හෝ තවත්  එක අවාසනාවන්ත  සිද්දියක් පමනක්වීමට  ඉඩ තිබුණි. තවමත්  පාස්කු ප්‍රහාරය සමබන්දයෙන් සිදුවන විමර්ශනවලට එම ඉරණම අත්වීමට  ඇති ඉඩකඩ වැඩිය. ඒ සදහා  කාදිනල් මැල්කම්  රංජිත්  ඇතුළු ශ්‍රී ලංකා කතෝලික පල්ලිය තවදුරත් පෙරමුණගෙන ක්‍රියාකල යුතුය. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්  නිසි විමර්ෂණයක් කර එම අපරාදයට දායකවූ මෙන්ම  එය වලක්වා නොගත් සියලුදෙනා නීතිය ඉදිරියට පමුණුවා සාධාරණ නඩු විභාගයකට යොමුකිරීම සදහා හඩනැගීම ශිෂ්ට සම්පන්න සෑම මනුෂ්‍යයෙකුගේම යුතුකමකි. 

මාකස් ප්‍රියන්ත  පෙරේරා  
21/12/2020    

No comments:

Post a Comment