This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 27 March 2020

වසංගතයකට වඩා වෙනත් භීතියක්ද, භීතියට වඩා වෙනත් වසංගතයක්ද නැත

කොරෝනා සුනාමියට අප දැන් මුහුණදීමට සුදානමින් සිටින්නෙමු. ක්‍රමයෙන් වැඩි වෙන කොරෝනා ආසාදිතයන් ගණන උදාවෙන මහා බියකරු නිමේෂයක් ගැන අනතුරු අගවයි. ජීවිතය කාලය තුල මරණය කෙතරම් අද්දරින් ගොස් ඇතිවුවද, මේ මාගේ වාරය නොවේයැයි ඒ සෑම අවස්ථාව සි කීරිගාමින් පුන පුනා කීවද, දන්න නාදුනන සියල්ලන් එයට ගොදුරුවෙන අයුරු දැන අසා හද කම්පා කරවයි. 

සුන්දර යුරෝපයේ රමණීය ඉතාලියේද, මල්බර නෙදර්ලන්තයේද, සද්දන්ත ජර්මනියේද, කකුල් කොටුවවන් බෙල්ජියමේද, සවුදිය පිරූ ස්පාඤ්ඤයේද, ආදරණීය ප්‍රංශයේද අප ඇවිදගිය අලංකාර මංමාවත්  දැන් මිනිස් පුළුටක් හෝ නොමැති විශාලාවන්ය. සිය ගණනින්, දහස් ගණනින් මරණ කියවෙන මළවුන්ගේ නගරය.

දෙදහස් විස්සට දෙදහස් ගණනින් ගන්න කියන්නට  මෙන්  ඊයේ දිනයේ පමණක් පමණක් දෙදහකට වැඩි වැඩිපිරිසක් එම නගරවල මියගොස් තිබුනී. හිරු බැස ගිය බි‍්‍රතාන්‍යයේද   හුන්මිටි තැබීමට මෙන් සීය ඉක්මවු පිරිසක් මියගියේය. ඉදිරිය මීට වඩා භයානක වීමට ඉඩ ඇතිබව පෙනීයන්නේ දැන් බි‍්‍රතාන්‍යයේ සෑම රෝහලක්ම කොරෝනා ආසදිතයන්ගෙන් පිරීයන බැවිනි.

ලන්ඩන් නගරයේ විශාලම සම්මන්ත්‍රණශාලාව පවා රෝගීන් 4000කට පිළිසරණ විහැකි තරම්  විශාල රෝහලක් බවට පරිවර්තනය කරමින් යයි. රජ පවුලේ සිට අගමැති ඇතුළු මැති ඇමැතිවරුද, හෙදියන් වෙදදුරන් සහ රෝහල් කාර්යමණ්ඩලයන්ද රෝගයට වේගයෙන් ගොදුරුවෙමින් සිටී. එහෙත් රෝහල් කාර්යමණ්ඩලවල කැපවීම නොවන්නට  මෙතාක් හෝ අස්වැසීමක් නැත. එහෙයින් ඊයේ රාත්‍රී 8ට රට වැසියන් සියල්ලෝම සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඔවුන් වෙනුවෙන්  අත්පොලොසන් දුන්නහ. ඔවුන්ගේ  ධෛර්යය සහ කැපවීම අගය කළහ. 

සිය  ඉතිහාසයන් තුල මෙවැනි රටවල් මේආකාර මහා විනාශයන්වලට අනත්ත අප්‍රමාණව මුහුණදී ඇතිමුත් ඒ සෑම අවස්ථාවකම සාර්ථකත්වයන් මෙන්ම අසාර්ථකත්වයන්ද ඔවුන් විදඇත. එහෙත් ව්‍යසනයකදී අප අනෙකාට වඩා හොදයි යනුවෙන් ඉස්මතුවීමක් හෝ ඉස්මතුකර පෙන්වීමක් නම් දැකිය නොහැක. ව්‍යසනයකදී ශිෂ්ටත්වය හෝ සාර්ථකත්වය උකහා බැලීම කුහකත්වය ප්‍රදර්ශනය කිරීමකි. මියයන ගන්න, මරණයට මුහුණදෙන ගන්න, රෝගයට ලක්වෙන ගන්න ඉලක්කන්  නොව  මිනිස් ජීවිතය. ඉස්මතුවීමේ  හෝ  ඉස්මතු කිරීමෙ උවමනා හමුවේ එකී මිනිස් ජීවිත බරක් නැති හුදු සංඛ්‍යාය. ඔවුන්ගේ භූමදානයන් පවා අන් ජාතියකගේ උත්තරීතරත්වය පිළිබද වරනගන අවස්ථාය. 

අහෝ ඊනියා දේශපාලනයකට යටවූ සමාජයක ගෝෂාව. මනුෂ්ත්වයේ ශිෂ්ටත්වය විදිමට ඔබට තව කොපමණ මලකදන් මත්තෙන් යායුතුද? මෙවන් විපතකට ඔබ නම් කිසිසේත්ම මුහුණ නොදිය යුතුය. එය ඔබට හොදටම බර වැඩිය. යුද්ධයට, මුහුද කඩාගෙනා සුනාමියට, පාස්කු ප්‍රහාරයට ලක්වූ ඔබට තවත් හැඩීමට කදුළු නැත. එහෙයින් බොහෝ ලොකු රටවලට කල නොහැකිවූ දේවල් පුංචි සිරි ලකට කලහැකිවු  බව කියමින් සතුටුවුව මැනව. ආඩම්බරවුව මැනව. 

එහෙත් අවදියෙන්  පසුවිය යුතුය. ඇසට නොපෙන්නේ  මේ මාරයා එන බව මීට වසර9යකටම පෙර, 2011දී, Contagion නමින් චිත්‍රපටියක් තනමින් හොලිවුඩය ලෝකයටම පෙන්නුවද එය කිසිවෙකුගේ අවදියෙන් බලාසිට නැත. Steven Soderbergh අධ්‍යක්ෂණය කල එම සිනමාපටය දැන් සිනමා ශාලාවෙන් පිටත සමස්ත ලෝකය පුරමා දිග හැරෙමින්  තිබේ. අප සියල්ලන්ම  එහි  දැන්  ජීවත්වෙමින්  සිටී. චීනයේ එක්කොනක වව්ලෙක් සහ ඌරෙකු ඇසුරින් පැතිරෙන වයිරසය අතින් අත, කැස්සෙන්, කිවිසුමෙන්, ස්පර්ෂයෙන් ගොස් මුළු ලෝකයේම මිලියන ගණනක ජනතාවක් මරණයට ලක්කරන එකී චිත්‍රපටිය දිවැසක් වැකියක් සේ දිගහැරෙමින තිබේ. මුහුණ ආවරණ, හුදෙකලා වී සිටීම, ස්පර්ශයෙන් වැළකී සිටීම, දුරස්ථව සිටීම ආදී එකී චිත්‍රපටියේ කියූ සියල්ලම අපි දැන් කරමින් සිටි. නගර වනසන මේ ඇසට නොපෙන්නේ මාරයා පරාජය  කිරීමට  සමත්  එන්නතක් සොයා ගන්නා තුරු අපි වසන්තයටද, ග්රිස්මයටද, හේමන්තයට ද  සමුදී සිටිමු.

 එහෙත්  ශක්තිය, ධෛර්යය ඇතිව විශ්වාසයෙන් එකම මිනිස් කැලක් ලෙස මුහුණ දෙමු!! මන්දයත් වසංගතයකට වඩා වෙනත් භීතියක් නැතිවා සේම භීතියට වඩා වෙනත් වසංගතයක්ද නැත !!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
27/03/2020

No comments:

Post a Comment