Thursday, 21 May 2020

පාස්කු ප්‍රහාරය ගැන මා ලියු ලිපිවල එකතුව

පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් ජනයා සිහිකිරීමපාස්කු ප්‍රහාරයට වසරක් පිරුනුදා (21/04/2020) බොහෝ ශ්‍රී ලාංකිකයන් උනන්දුවූ බව දුටිමි. කාදිනල්තුමාගේ ඉල්ලීම පරිදි බොහෝ පන්සල්, පල්ලි, කෝවිල් සහ මුස්ලිම් පල්ලිවලද ඝන්ඨාර හඩවමින්, පහන් දල්වමින්, ආගමීක වතාවත්වල නිරතවී තිබුණි. මහජනයාද පහනක් දල්වමින් ඊට විශාල සහයෝගයක්දුනි. පාප්තුමා ඇතුළු වතිකානුවද විශේෂ නිවේදනයක් නිකුක්කරමින් ආගමික වතාවත්වල නිරතවී තිබුණි. ලෝක ජනමාධ්‍යයද උත්ගතවී ඇති වසංගත තත්වය තුලවුවද පාස්කු ප්‍රහාරයට වසරක් ගතවුවද තවමත් යුක්තිය ඉටුවී නැතිබව සිය හඩවල් අවදිකරමින් දක්වන ලදී.

ඒ සියල්ලම අතර මට පෙනීගියේ පාස්කු ප්‍රහාරයට වසරක් ගතවූ 21/04/20 දින කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් නිකුත්කළ නිවේදනය ඉතා බලගතු නිවේදනයක් බවය. එතුමන් කෙලින්ම දක්වා තිබුනේ හිටපු සේනාධිනායකවරයා මෙන්ම හිටපු ආරක්ෂක ඇමතිවරයාදවූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ හිටපු ආරක්ෂක ප්‍රධානීන්වද වහා නීතිය ඉදිරියට පැමිණවිය  යුතු බවය.

පැහැදිලිවම සිදුවිය යුත්තේද එයයි. සියළු තොරතුරු දැන දැනත් මේ මහා විනාශය වැලැක්වීමට කිසිවක් නොකළ ඔවුන්ට විරුද්ධ්ව නීතිය ක්‍රියාත්මක නොකර, විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් කිසිම පලක් නැත. රජය තවදුරත් හොරගල් අල්ලමින්, මැතිවරණය ආසන්න වනවිට ජාතිවාදය පෝෂණය කිරීමට කොහෙන් හෝ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමය දැන් වහා නතර කලයුතුය!!! පැහැදිලිවම නියම ත්‍රස්තවාදීන් ඇතුළුව මෙම ප්‍රහාරයට සම්බන්ද සියල්ලන්ද, සිය වගකීම් හරි හැටි ඉටු නොකරමින් අහිංසක රටවැසියන් මෙන්ම රට ද අනතුරේ හෙළු හිටපු සේනාධිනායකවරයා මෙන්ම ආරක්ෂක ඇමතිවරයාවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ හිටපු ආරක්ෂක ප්‍රධානීන්වද වහා නීතිය ඉදිරියට පැමිණ විය යුතුය. 

එකී අරමුණ ඉටුකර ගැනීමටත්, විපතට පත්වූ ජනයාට යුක්තිය සහ සාධාරණය ඉටුකරදීම සදහා නොකඩවා පෙරමුණගෙන ක්‍රියා කිරීමටත් කාදිනල්තුමා ඇතුළු ලාංකික කතෝලික සභාවට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමය. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ට පමණක් සීමාවෙන කටයුත්තක් නොව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට යුක්තිය සහ සාධාරණ ඉටුවෙනු දැකීම යහපත් මනුෂ්‍ය සමාජයක් ප්‍රාර්ථනාකරන සෑම සියළු දෙනාගේම වගකීමකි. 

පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් මුළු පවුල් සංඛ්‍යාව 482කි. කටුවපිටිය සහ කොච්චිකඩේ පමණක් පවුල් 381ක් විපතට පත්ව ඇත. ඉන් කටුවපිටියේ පමණක් පවුල් 260කි, කොළබ කොච්චිකඩේ පවුල් 121කි. මඩකලපුවේ විපතටපත් පවුල් සංඛ්‍යාව 101කි. කටුවපිටියේ, කොච්චිකඩේ සහ මඩකලපුවේ පල්ලිවල පමණක් මියගිය ගන්න 202කි. කටුවපිටියේ 115කි, කොලබ කොච්චිකඩේ 56කි. මඩකලපුවේ 31කකි. ළමුන් පමණක් කටුවපිටියේ 32ක්ද, කොච්චිකඩේ 10 දෙනක්ද, මඩකලපුවේ 15ක්ද මියගියහ. ප්‍රහාරයෙන් රෝගීන්වු ගණන පවුල් මට්ටමින් 380කි. කටුවපිටියේ 222කි. කොච්චිකඩේ 91කි. මඩකලපුවේ 67කි. රෝගීවූ පුද්ගලයින් ගන්න 508කි. කටුවපිටියේ 302, කොච්චිකඩේ 139කි. මඩකලපුවේ 67කි. අංශභාගීවූ ගන්න 12කි, ඔවුන් තවමත් රෝහල් ගතව සිටි. ඉන් 7 දෙනෙකු කටුවපිටියේය, කොච්චිකඩේ 3 දෙනෙකි. මඩකලපුවේ දෙදෙනෙකි. තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 67කි. ඉන් 23ක් කටුවපිටියේ අයය, 27ක් කොච්ච්කඩේ අයය. 17 දෙනෙකු මඩකලපුවේය. දෙමාපියන් අහිමිවූ දැරුවන් 21කි.

පසුගිය වසරක කාලය පුරාම අපි ඒ වෙනුවෙන් හඩ නැගුවෙමි. රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම් විරහිත, මහජනයාගේ ජීවිතවලට වඩා දේශපාලන වාසි සහ දේශපාලන අරමුණු මුදුන්පත්කර ගැනීමේ අරමුණු පෙරදැරිකරගත්, ක්‍රියාකරීත්වය විසින් ශ්‍රී ලංකාව වර්ගවාදී, ලේ පිපාසිත අන්තයන්කරා නිරන්තරයෙන් තල්ලුවෙන අන්දම ගැන නිතර ලිව්වෙමි. පාස්කු ප්‍රහාරයද තවත් එවැනිම අවස්ථාවක් නිරූපණය කරන බව පැහැලිය. මෙවර එහි ගොදුර බවට පත්වුයේ අප දන්නා කියන අපේ ගම්වාසීන්ය. එය තව තවත් අපේ හිත් පාරන්නක්ම විය. පාස්කු ප්‍රහාරය ගැන පසුගිය වසර පුරාම ලිව්වෙමි. එහි විවිධ පැතිකඩයන් ගැන සාකච්ඡා කලෙමි. එකී දෑ මෙම බ්ලොග් අඩවියේද, මගේ පෞද්ගලික Facebook පිටුවේද, පුවත්පත්, සගරා සහ වෙබ් පිටුවලද  පලවෙන ලදී. ඒ ඔස්සේ අපි නිරතරයෙන්ම පෙනී සිටියේ පාස්කු ප්‍රහාරය එල්ලකල ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ ගැන තොරතුරු තිබියදීත් මහජනයාගේ ආරක්ෂාව පැහැර හරින ලද සියල්ලන් නීතිය ඉදිරියට පැමිණවියයුතු බවය. අපරාදකාරයින් ආරක්ෂා කරමින් ඒ ඔස්සේ දේශපාලන වාසි හොයන්නන්ද සිදුකරමින් සිටින්නේද මෙම අපරාධයෙන් වක්‍රව ලාභ ප්‍රයෝජන ලැබීමය. එය අපරාදයෙන් වාසි සෙවීමකි. පසුගිය වසර පුරාම අප ගැන හඩ නැගුවමි. පහතින් දැක්වෙනුවේ එසේ පලකල ලිපිවල එකතුවය. කිසිවෙකුට අප පසුගිය වසර පුරාම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාට යුක්තිය සහ සදාරණත්වය ඉටුකරගැනීම වෙනුවෙන් කලකී දා මොනවාද යන්න ගැන යම් අදහසක් ඉන් උකහාගත හැක.  
  
ඉහතින් දැක්වෙනුවේ පාස්කු ප්‍රහාරය ගැන මම ප්‍රථමයෙන් ලියු ලිපිය. පාස්කු ප්‍රහාරය සිදුවන විට මම සිටියේ බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් පළාතේ මිතුරෙකුගේ නිවසක පාස්කු මංගල්ලය සැමරීමට ගොස්ය. අළුයම සිට ලංකාවේ මිතුරන්ගෙන්ගෙන් ලැබුණ දුරකථන ඇමතුන් ඔස්සේ ලැබුණු දුක්මුසු පුවත අපේ හදවතද සිදුරුකරන ලදී. ඒ තුවාලය තවම හොදවී නැත. පාස්කු ප්‍රහාරය ගැන ලිවීමට සිත හදා ගන්නට සති කිහිපයක් ගතවිය. මගේ හිත හදාගැනීම කෙසේවුවද අප දන්නා විපතට පත්වූවන්ගේ සිත හැදීමට සහ අවශ්‍ය අයට අවධානය යොමු කිරීමට මම වැඩි කාලයක් යෙදවූවෙමි. අවසානයේ පාස්කු ප්‍රහාරය ගැන ලිවීමට හැකිවිය. එය මෙම යොමුවට පිවිසීම ඔස්සේ කියවිය හැක.  

දෙවන ලිපිය ලියවුනේ පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවපිටිය දේවස්ථානය පිරිසිදුකිරීමට පැමිණි භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන ලිවීමටය. එම කාලය වනවිට කතෝලික කන්‍යාසොයුරියන් විශාල පිරිසක් ඉතා ඉහල කැපවීමකින් සහ හොද සංවිධාන ශක්තියකින් යුතුව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාගේ නිවසක් නිවසක් පාසා ගොස් ඒ අයගේ සිත් සැදීමේ සහ අවශ්‍ය මානසික සහනයන් සපයාදෙන ක්‍රියාකාරීත්වයක නිරතවී සිටිය. ඒගැන මම මගේ facebook පිටුවේ කිහිපවරක්ම සටහන් කලෙමි. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් විනාශවූ කටුවපිටිය පල්ලිය පැමිණි භික්ෂුන්වහන්සේලා ගැන ලිවීමට මුලිකවුයේ මේ සිදුවූ විනාශයේදී රටේ බහුතර සිංහල-බෞද්ධ ජනයාද, බොහෝ භික්ෂුන් වහන්සේලාද බොහෝසේ කම්පාවූ බව අප දන්නා නිසාය. කටුවපිටිය පල්ලියට මෙසේ පැමිණ කතෝලික ජනයා සමග දුකසැප බෙදාගත් බද්දේගම සමිත භික්ෂුන් වහන්සේ ඇතුළු ජාතිවාදයට, වර්ගවාදයට සහ අධිපතිවාදී දේශපාලන ප්‍රවාහයට විරුද්ධව හඩ නැගු, හඩ නගන භික්ෂුන් වහන්සේලා රාශියක් තවමත් රටේ සිටීන බව අප දන්නා නිසාය. එය පැහැදිලිවම අගය කල යුත්තකි. එම ලිපිය මෙම යොමුවට පිවිසීම ඔස්සේ  කියවිය හැක. 
විපතේදී එක්වූ සහෝදරත්වයේ හඩ ක්‍රමයෙන් යටපත්කරමින් නැවතත් අධිපතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ගෝෂාව ඉහලයන ලකුණු පෙනෙන සිද්ධීන් කිහිපයක්ම වෙසක් සමය වනවිට පහළවිය. එය උදාවුයේ කතෝලික තරුණයින් රටේ විවිධ ප්‍රදේශවල ධර්ම චක්‍රය සහ කුරුස සලකුණ ප්‍රදර්ශනය කරමින් සහයෝගීතාවය අගයකරමින් නිර්මාණය කල වෙසක් සැරසිලි කඩාදැමීමට, ගිනිතැබීමට හික්ෂුන් හන්සේලා කිහිප නමක්ම ක්‍රියාකළ බව වාර්තාවූ නිසාය. කතෝලික තරුණයින් එසේ ධර්ම චක්‍රය සහ කුරුස සලකුණ ප්‍රදර්ශනය කරමින් වෙසක් සැරසිලිවල නිරත්වුයේ එකම එක් අරමුණක් ඇතිවය. එනම් "අපිට පාස්කුව නැතිවුවද  ඔයාලට වෙසක් නැතිවීමට අපි ඉඩ තියන්නේ නැහැ'' යන උදාර අරමුණිනි. එහෙත් ඇතැම් භික්ෂුන් හන්සේලා දුටුවේ සහ ප්‍රශ්න කලේ ''මුන් දැන් වෙසක් කූඩුවේත් කුරුසේ ගහනවා ඊළගට මුන් කුරුසේ ගහන්නේ පන්සලේද?'' යනුවෙනි. එම ලිපිය මෙම යොමුව ඔස්සේ කියවිය හැක. 
මෑත කාලීනව ශ්‍රී ලංකික කිතුනුවන්  මුහුණ දුන් එකම හෝ  ප්‍රථම ව්‍යාසනය පාස්කු ප්‍රහාරය නොවේ. 1987 නොවැ. 10 දින, හීෂණ සමයේදී, බුත්තල විසු මයිකල් රොද්‍රිගු පියතුමා මරාදමන ලදී.  එම යුගයේම කටාන-හල්පේ පල්ලියේ විසු ගරු  ශ්‍රී ලාල් පියතුමාද අභිරහස් ලෙස මිය ගියේය. මීගමුව මල්වත්ත පාරේ සා. ජෝසජ් දේවස්ථානය තුලදී ආබා කොස්තා පියතුමා මරා දැමුහ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්දේ අවසාන දිනයේදී (2009/05/19) ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලීම පරිදි ඉතිරිවී සිටි LTTE සටන්කරුවන් සහ ඔවුන්ගේ දරුපවුල් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට බාරවීම සදහා සම්බන්දීකරණය කල ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාගේ අතුරුදහන්වීය. වා ගැන පරීක්ෂනයන් ඉල්ලීමට ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් ලෙස  මැදිහත් නොවන ලදී. 1995 ජුලි 09 වෙනිදා යාපනේ නවාලි සා. පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දැමීම නිසා පල්ලියේ සිටි 125 දෙනෙක් මිය ගියේය. ඒ මරණ ගැන පරීක්ෂණයක් ඉල්ලා හඩ නැගීමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය මෙන්ම  ජාත්‍යන්තර ප්‍රජාවගේද  මැදිහත්වීම සහ දැඩි ඉල්ලීම නිසා පරීක්ෂණයක් කළේය. එහෙත් යුක්තිය ඉටුනොවන ලදී. හලාවත ඇන්ටනීගේද, කටුනායකදී මරා දැමු රොෂේන් චානකගේ මරණ සම්බන්දවද, රතුපස්වලදී එල්ලවූ හමුදා ප්‍රහාරයෙන් බේරීම සදහා පල්ලිය ඇතුලට පැමිණි පිරිසට එලව එලවා පහරදීම  ගැනද කතෝලික සභාව  හඩ නගන ලදී. එහෙත් යුක්තිය  ඉටු නොවිනි. මේ ඉරණම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්ද සිදුනොවිය යුතු බව මෙම ලිපිය මතුකරණ කරුණය ය. එම ලිපිය මෙම යොමුව ඔස්සේ කියවිය හැක.
Can one do evil without being evil? කාට හරි පුලුවන්ද දුෂ්ට වැඩකරන්න එයා ඇත්තටම දුෂ්ටයෙක් නොවී? Hannah Arendt (1963) අහපු මේ ප්‍රශ්නය ඇගේ පොත (Banality of Evil) කියවපු දවසේ ඉදලා මගේ හිතේ පැලපදියම් වෙච්ච ප්‍රශ්නයක්. මනුස්සයෝ විදිහට ඉන්න අමුනුස්සයෝ කොහේ හරි සිදුකරපු මේලේච්ච ක්‍රියාවක් ගැන කියවන්න, දකින්න ලැබෙන හැම වාරයක් ගානේම මට ඔය ප්‍රශ්නය මතක්වෙනවා. අපේ රටේ, අපේ ගමේ, අපේ පළාතේ, අපි දන්න කියන අයට වෙච්ච් විනාසේත් එක්ක මට ඔය ප්‍රශ්නේ, ආපහු, ආපහු, ආපහු පාරක් මතක් වෙනවා. එත් එක්කම මතක්වෙන තව දෙයක් තියෙනවා, ඒ අනෙකාගේ දුෂ්ටකම් තුලත් දුෂ්ටයෙක් නොවී ඉන්න ඕනෑයි කියන එක. එහෙම නොවුනොත් අපිත් නතර වෙන්නේ එතනමයි. අන්තිම මෙලේච්ච අපරාදයක් සිදුවුනත් අපේ සිත් තුල දුෂ්ටකම් රජකරවන්න ඉඩනොදී සාමයෙන් පසුවෙන්න සැලැස්වීමට අපේ ධර්මයත්, අපේ කාදිනල්තුමා ඇතුළු අපේ ආගමීක නායකත්වයත් සමත්වුනා. අපිට වෙච්ච දේ ගැන අපි පළිගන්න ගිහින් අනේකාව විනාශ කරන්න අපේ මිනිස්සු කටයුතු කලේ නැහැ. අපව දුෂ්ටයන් කරන්න දුෂ්ටකම අපේ සිත් තුලට ඇතුල්වීමට ඉඩ නොදී ඉන්න අපේ ධර්මයටත්, අපේ ආගමීක නායකත්වයත් සමත්වුනා. අපි මෙතක් සිටියා වගේම දිගටම ඒ විදිහටම ඉම්මු. අපි අපිට කලදේට යුක්තිය සහ සාධාරණය ඉල්ලනේ දුෂ්ටකමින් නෙමයි, මෙවැනි දේවල් නැවත නැවත සිදු නොවිය යුතු නිසයි. ඒ හැම මනුෂ්‍යයක්ගේම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තියෙන නිසයි. (2019 මැයි 20 වන දින මම  මගේ Facebook පිටුවේ තැබූ සටහනක්)

කවුරුහරි හිතුවා නම් සුමාන දෙකෙන් සියල්ල අමතකවෙයි කියලා, ඒගොල්ලන්ට වැරදිලා. කිතුනුවෝ කියන්නේ අවුරුදු 2000කට කලින් මරාදාපු තමන්ගේ ශාස්තෘවරයාවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් තවමත් සමරණ පිරිසක්. එහෙව් අපි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරාදැමූ අපේ නම් නොකල ප්‍රාණ පරිත්‍යාගීන්ව කිසිදා අමතක කරයිද? එම ලිපිය මෙම යොමුව ඔස්සේ කියවිය හැක.
ඉන්දියානු මහ මැතිවරණයේ දී අගමැති මෝදී පාස්කු ප්‍රහාරය සිය මැතිවරණ ව්‍යාපාරය සදහා  ඉතාමත්  නහීන ලෙස භාවිතාකළේය. ඒය එක්තරා ආකාරයකට ඔහුගේ මුස්ලිම් විරෝධී ජාතිවාදී හින්දුත්ව දේශපාලන ව්‍යාපෘතිය සමග සමපාතවිය. එහෙත් මහජාතිය ජාතිවාදයෙන් මුසපත්වන සෑමවිටම එහි ගොදුර බවට පත්වන්නේ සුළු ජන කොටස් බව පරම සත්‍යකි. එය ඉන්දියාවේ මෝදීගේ පලනකලය තුල ඉන්දියානු කිතුනුවන්ට මුහුණදීමට සිදුව ඇති අහියෝග ඇසුරින් මෙම ලිපියේ සාකච්චා කරයි.
පාස්කු ප්‍රහාරයට මාස ගණනාවකට පෙර ඉන්දියාවට ගියවිට ජනාධිපති සිරිසේනව නොසලකාහැර තිබු අගමැති මෝදී පාස්කු ප්‍රහාරයෙන් පසුව යෙදුන ඔහුගේ පදවිපාත්‍රියට විශේෂ අමුත්තෙකු ලෙස එක්වූවා පමණක් නොව ඔහුව  ඉතා උත්සවාකායෙන් පිළිගෙනද තිබුණි. මේ වෙනස හේතුව පාස්කු ප්‍රහාරයද? තොරතුරු ලැබී තිබියදීත් කිසිවක් නොකිරීම නිසාද? මේ ලිපිය සාකච්චා කරන්නේ ඒ ගැනය.
ජාත්‍යන්තර තත්වය ගැන පමණක් නොව ගමේ ගොඩනැගෙන තත්වය ගැනද අපි එකවිට අවධානය යොමුකලෙමු. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දොස්තර සනත් ප්‍රනාන්දු මහතා (වෙද මහත්තයාගේ පුතා) වෙනුවෙන් කටුවපිටියේම කෙනෙක් පත්කර ගන්නා ලෙස මෙම ලිපිය ඉල්ලා සිටී.
පාස්කු ඉරිදා එල්ලකල ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විපතට පත් මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් පල්ලියේ සිටි ජනතාව වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ මූලිකත්වයෙන් ස්මාරකයක් ඉදිකිරීම අවශ්‍යය. එය මීගමුව මහනගර සභාවට අත්හැරිය නොහැකි වගකීමකි. ඒ සදහා හලාවත-කොලබ පාරෙන් කටුවපිටිය පල්ලියට හැරෙන මීගමුව රෝහල අසල 'බාල්දි හන්දියේ' අත්හැර දමා ඇති ඉඩම යොදාගත හැක. මෙය කවදා, කෙසේ හෝ ඉටුවිය යුත්තකි. අපි  ඒ සදහා හඩ නැගීය යුතුය. කියවන්න

පාස්කු බෝම්බ  ප්‍රහාරයෙන් සිය  දරුවන් දරුවන් 3දෙනෙකුම අහිමිවූ ඩෙන්මාර්ක් ජාතික බිලියනපතියෙකුවන Anders Holch Povlsen මහතා ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂකධුරවලින් ඉවත්වී යම් කාලයක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ  ගතකිරීම සම්බන්දයෙන්  අවධානය යොමුකළ මෙම ලිපිය පාස්කු ප්‍රහාරයෙන්  විපතට පත්වූ ජනයාට  යුක්තිය සහ සාධාරණය ඉටුකරගැනීමට එකී පුද්ගලයින්ගේ දායක කරගැනීමේ වැදගත්කම මතුකරයි.

කොච්චිකඩේ සහ කටුවපිටියේ බෝම්බ ප්‍රහාර නිසා මියගිය කිතුනුවන් ගැන නැගෙන හඩ තරම් හඩක් මඩකලපුවේ සියොන් දේවස්ථානයේ කිතුනුවන්ට සිදුවූ විනාශය ගැන නැගෙන්නේ නැත. මඩකලපුවේ කිතුනුවන්ගේ ඛේදවාචකයන් ගැන යොමුවන්නේ ඉතා අඩු අවධානයකි. 2019 අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරය මෙන්ම 2005 දෙසැම්බර් 24දා රාත්‍රී නත්තල් පුජාවට සහභාගීවෙමින් සිටියදී මඩකලපුවේ සා. මරියා පල්ලිය ඇතුලතදී දෙමළ සන්ධානයේ මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ව වෙඩිතබා මරාදැමීය. පල්ලියක්තුල, ආගමීක ස්ථානයක් තුල, සිදුවූ එවැනි ප්‍රහාරයන්ද පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය වැනිම කිතුනුවන්ට එරෙහිව සිදුවූ ප්‍රහාරය ය. ඒ කිසිවක් ගැන අපට හඩ නගා සිටිය නොහැක.

ඉකුත් ජනාධිපතිවරණ වේදිකාවල පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සදහන් කෙරුනේ විපතට පත් ජනයා ගැන සානුකම්පිත හැගීමකින්වත්, සිදුවූ අපරාදය සම්බදයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති නොසලකා හැරීමේ ස්වරූපය සහ ආරක්ෂාව නොසැලසීම ගැන හෙළිදරව් කිරීමේ අදිටනින්වත් නොව හුදෙක්  තුච්ඡ ලෙස දේශපාලන වාසි ලබාගෙන සිය අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරගැනීමේ කුහක අපේක්ෂාවෙන් පමණක් බව අපි මුල සිටම කිව්වෙමු. ඒ ගැන ආරම්භයේ  පටන්ම අප නැගු හඩ කවරාකාරද යන්න මින් කියවිය හැක.  
පාස්කු ප්‍රහාරයට මාස 6ක් ගිය විට ''තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු, දඩයම කරේ තියන් යන විදිහෙන්" යැයි යන පැරණි කියමන නැවත භාවිතයට පැමිණියේ සිය අපේක්ෂකයා දිනවීම සදහා දේශපාලන වේදිකා තුල පාස්කු ප්‍රහාරය නින්දිත ලෙස යොදා ගත් ආකාරය දැකීමෙනි. ඒ ගැන මෙතනින් කියවන්න.

රතු බදාදා (Red Wednesday); ලොව පුරාම මරාදැමු, වද හිංසාවට ලක්කළ, දුෂණයකල සහ තර්ජනයන්ට මුහුණපා සිටින කිතුනුවන් සමරමින් ලොව පුරාම කිතුනු දේවස්ථානවල රතු පැහැය ප්‍රදර්ශනය කරන දිනය. එදින ලංකාවේ පාස්කු ප්‍රහාරය සහ ලංකාවේ කිතුනුවනට මුහුණදීමට සිදුවී අභියෝග ගැන අවධානය යොමුකිරීම ගැන වාර්තාවක් මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

පාස්කු ප්‍රහාරයට මාස අටයි 21.4.19 - 21.12.19: 8 months to Easter Sunday Attacks in Sri Lankan. මෙවර නත්තලට ඔවුන් අප අතර නැති බව ඔවුන්ගේ පවුල් වලට පමණක් නොව අපටද එක සේ දැනේ. එහෙත් අපට නත්තලක් උදාකිරීමට පුරාණයේ සිට සිය දිවිපුදකල අනෙක් කිතුනු ප්‍රාණ පරිත්‍යාගීන් අතර ඔවුන්ද සිටින බව දැන අප සතුටු වෙමු. ( පාස්කු ප්‍රහාරයට  මාස අටක් ගෙවුණුදා  මගේ facebook පිටුවේ සටහන 21/12/19).
පසුගිය නත්තල් දිනය (25/12/2019) මීගමුවේ ජනයා සැමරූ අල්මරුනුම නත්තලය. සමස්තයක් ලෙස පොදුවේ ලංකාවේ බොහෝමයක් කතෝලිකයින්ගේ තත්වයද එසේම විය. ඒ පාස්කු ප්‍රහාරයෙන් වේදනාව ඔවුන්ගෙන් සිත් තුල තවමත් රැදී තිබීම නිසාය. එහෙත් අපි කිසිදුවිටක නත්තලේ ජීව ගුණය අඩුකරගත යුතු නැත.මන්දයත්    
රාජ්‍යක් ලෙස සුළු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම විවිධාකාර හිංසනයන්ට ලක්ව සිටින එකී ජනයා කෙරෙහි අවශ්‍ය අවධානය යොමුකොට, යුක්තිය ඉටුකර, ඔවුන්ට අවැසි ගරුත්වය ලබාදීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අසමත්ව ඇති බව පාස්කු ප්‍රහාරයෙන් මාසයකට පසුව ඔප්පුවී ඇත.කියවන්න
පාස්කු ප්‍රහාරයට මාස 9යක් පිරෙන දා හික්ෂුන්ට දානයක් දීමට කාදිනල්තුමා කටයුතු කළේය . මා දැක්කේ එය ඉතාම යහපත් කටයුත්තක් ලෙසය. මන්ද අපිට ඒ සියල්ලන්ගේම සහයෝගය අවශ්‍යය.

පාස්කු ප්‍රහාරයට මාස 10ක් ගතව ගියද, පාස්කු ප්‍රහාරය ගැන කියමින්, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ යැයි මොරගසමින් නව රජයක් බලයට පත්වුවද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට හෝ ප්‍රහාරයට සම්බන්ද සියළුදෙනා හෙළිදරව් කරගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාකිරීමට හෝ අසමත්ව ඇත. පාස්කු ප්‍රහාරයෙන් මාස 10කට පසුවද කතෝලිකයින්ට සිය පල්ලිවල මංගල්‍යය වලට විදීයෑමට හෝ සිය සුපුරුදු වත්පිලිවෙත්වල කලින් පැවති ආකාරයට යලි නිරතවීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක්, විශ්වාසයක් සහ වටාපිටාවක් නිර්මාණය කිරීමට මෙම රජයටද හැකිවී නැත.

(පාස්කු ප්‍රහාරයට මාස 11කට පසුව ලංකාවේ පමණක් නොව ලොවපුරාම කොරෝනා වසංගත තත්වය පැනනැගුණි...එහෙත්) කොරෝනා නෙමේ මොකවුනත් අපේ ජීවිත කාලය පුරාවටම අපිට පාස්කු ප්‍රහාරය අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නත් බැහැ. අදට (21/03/20) මාස 11 වෙනවා. ලබන මාසෙට අවුරුද්දයි. එත් මේ විනාශය කරපු, තොරතුරු දැන දැනත් එක වලක්වන්න කටයුතු නොකල එකෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කලේ නැහැ. කොහොම කොහොම හරි මොන මොන දෙවල් කරලා හරි ඒක යටගහන එක තමයි ඔය ඔක්කොමලා කලේ. එත් අපරාදකරුවන්ට විරුද්ධව නිතිය ක්‍රියත්මක නොකර ඔවුන්ව ආරක්ෂා කරනවා කියන එක තියෙනවා නේද, අන්න එක තමයි ඕනෑම සමාජයකට හැදෙන්න පුළුවන් මරණීයම රෝගය. ඒ තත්වය අනෙක් හැම වසංගත තත්වයට වඩා ලංකාවේ දරුණුයි.

Eleventh months after the Easter Sunday attack, Sri Lanka has still failed to bring the attackers, their associates, government officials, police, military and intelligence officers, who did not prevent it from happening, to the judicial process. Justice has not been done.
As a state, Sri Lanka has continued to fail to protect, prove their genuine concern and respect the minority communities who have been victims of various atrocities of the country. Neither past nor the current regime has shown no real interest on this regard. But we won't forget, we will continue to stand for justice. (පාස්කු ප්‍රහාරයට මාස 11ක් පිරුණු 21/03/2020 මා මගේ Facebook පිටුවේ තැබු සටහන).
පාස්කු ප්‍රහාරයට වසරක් ගතවුවද, අර ආණ්ඩුව වෙනුවට මේ ආණ්ඩුව පත්කර ගත්තද, පාස්කු ප්‍රහාරයෙන් විපත පත්වුවන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවිණි. අඩුම තරමින්  පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරන්ගේ ISIS කල්ලියට සහ තොරතුරු දැන දැනත් එය වැලක්වීමට කිසිවක් නොකළ, ආරක්ෂාව තහවුරු නොකළ, ශ්‍රී ලංකා රාජ්‍යයේ හිටපු ආණ්ඩු ප්‍රධානීන්ට සහ ආරක්ෂක ප්‍රධානීන්ට එරෙහිව නීතිය ඉදිරියේ නඩුවක් පැවරීමට පවා තවම සිදුකර නොමැත. වසරක් නොව වසර කීයක් ගත්වුද, ඒ සදහා අපේ මුළු ජීවිතකාලයම ගත්වුවද, අපි ඒ සදහා හඩ නැගිය යුතුමය. මන්දයත් 2019 පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකය වැනි ඛේදවාචකයන් නැවත කිසිවෙකුට කිසිදා සිදුනොවිය යුතු නිසාත්. එමෙන්ම ජන ජීවිත විනාශ කරමින් අපරාධයන් සිදුකරමින්, එසේ වීමට ඉඩහැර බලා සිටීමෙන්, අපරාධයන්ට වැලක්වීමට කිසිවක් නොකරමින් වගකීම පැහැර හරින බලධාරීන්ට සහ නිලධාරීන්ට නීතිය ඉදිරියේ දඩුවම් පමුණුවමින් අපරාධකර හෝ ඊට අනුබලදී ගැලවී සිටීමෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය අවසන් කල යුතු නිසාය. කියවන්න 
මේ වූකලී ඉතාමත් මීට දින 10 යකට පෙර ලියු ලිපියකි. ඉකුත් අප්‍රියල් 30දා, මීගමුව ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලා සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාගේ නියෝජිතයින්ගේ සභභාගීත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දක්වා තිබුනේ රජය පාස්කු ප්‍රහාරය පිලිබදව නිසි විමර්ශනයක් නොකරන්නේ නම් ඔවුන් මහජනයා සමග මහපාරට පැමිණිනේන බවයි. එය නොවැලැක්විය තතත්වයක් වෙනුවේ වත්මන් රජයද පාස්කු ප්‍රහාරය පිළිබද නිසි පරීක්ෂණයක් නොකරන නිසාය. වත්මන් රජය සහරාන්ගේ ISIS සබදතා සහ සහරාන් සමග ගෑවුණු නොගෑවුණු මුස්ලිම් තරුණයින් ගැන පරීක්ෂණ පැවැත්වීමට, අත් අඩංගුවට ගැනීමට වඩ වඩා උනන්දුවුවද ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකළ බලධාරීන් සහ නිලධාරීන් ගැන කිසිම පරීක්ෂණයක් නොකරයි මෙම ලිපිය ප්‍රශ්න කරනුයේ වත්මන් රජය පාස්කු ප්‍රහාරය ගැන කියමින් කොහෙන් හෝ මුස්ලිම් තරුණයින් අත් අඩංගුවට ගන්නේ මුස්ලිම් විරෝධය නඩත්තුකිරීමටද? එමගින් ජාතිවාදය නඩත්තු කරමින් සිය දේශපාලන අභිලාෂයන් මුදුන් පත්කර ගැනීමටද? බලධාරීන් සහ නිලධාරීන් ගැන පරීක්ෂණ නොකරන්නේ සහ ඔවුන් අත් අඩංගුවට නොගන්නේ ඔවුන්ට යම් ආකාරයක විශේෂ වරප්‍රසාද හිමිවී ඇති තත්වයක් තුලද ? 

පාස්කු ප්‍රහාරයට මාස 13ක් ගත්වී ඇති අද දිනයේද අපිට ඇසිය හැකි ප්‍රශ්නය වන්නේ එයයි. මාස 13ක් ගතව ඇත්ද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට යුක්තිය සහ සාධාරණත්වය හිමිව නැත. ඒ වෙනුවෙන්වූ අපේ හඩ  අපි දිගින් දිගටම නගමින් සිටින්නේමු!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/05/2020

No comments:

Post a Comment