Monday, 25 May 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව- හතරවන කොටස

කතෝලිකයින් මැයි මාසය සමරනුයේ දේවමාතාවන්ට කැපකල මාසය ලෙසිනි. මේ මැයි මාසයේ පළමු දිනයේ සිටම ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ''දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත්'' සාකච්චා කරණ ලිපිපෙළක් දිනපතා ලිවීම ආරම්භ කළේය. මෙතෙක් අප බොහෝ දෙනෙකු නොදත් කරුණු රාශියක් අන්තර්ගතවු එකී ලිපිවල එකතුවක් මෙම බ්ලොග් අඩවිය කොටස් වශයෙන් පළකරන්නට විය. එහි හතරවන කොටස පහතින් පළවේ. මෙම ලිපි එකතුවේ මුල්ම කොටස ඉකුත් මැයි මස 05වෙනිදා පලවිය එය මෙම යොමුවෙන් කියවිය හැක. එහි අන්තර් ගතවුයේ එතුමා මැයි පළමුවෙනිදා සිට 7 දක්වා ලියූ ලිපිය. මැයි 8 සිට 13 දක්වා වූ ලිපිවල එකතුවවූ දෙවන කොටස 13/05/ 20 බදාදා පලවිය. එම කොටස මෙම යොමුවට පිවිසීම ඔස්සේ කියවිය හැක. තුන්වන කොටස වූ මැයි 14 දින සිට මැයි මස 19 දක්වා එතුමා ලියු ලිපිවල එකතුව පසුගිය මැයි 19වෙනි අගහරුවා පලවිය. එය මෙම යොමුව ඔස්සේ කියවිය හැක. මැයි මස 20දා සිට අද දක්වා ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියු ලිපිවල එකතුව හතරවන කොටස වන මෙම කොටස තුල අන්තර්ගතය. ''දේවමාතා බැතිය හා සම්බන්ධව පවතින විශේෂ භක්ති අභ්‍යාසයන් හා බැඳුණු දේව මෑණියන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' දැනුවත් කල එතුමා මෙම කොටස තුලදී ''ලෝකයේ විවිධ රටවල් වල ඇති විශේෂ ස්ථාන හා බැඳුණු දේවමාතාවන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' දැනුවත් කරනු ඇත.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි. විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි. 

*****************************************************

20. "සින්දාත්‍රි මෑණියෝ" - "සාමයේ සහ යහපත් ගමනාන්තයේ මාතාවෝ" - Our Lady of Peace and Good Voyage".
================================================

ධීවර ජනතාව විශේෂ ආදරයක් දක්වන මාතාවන් ලෙස 'සින්දාත්‍රි මෑණියන්' හැඳින්විය හැක. එබැවින් මෙම නාමය දේවමාතාවන්ට ලැබුණු ආකාරයද, ධීවර ජනතාව විශේෂ ආකාරයෙන් මෙම මාතාවන්ට දක්වන ආදරයෙහි ආරම්භය කුමක්දැයි ද සොයාගැනීමට අපි යොමු වෙමු. 16 වන ශත වර්ෂයේදී පමණ ලීයෙන් තනන ලද 'නිර්දෝෂ පිළිසිඳීමේ මාතාවන්ගේ' ප්‍රතිමාවක් මෙක්සිකෝවේ තිබුණි. මෙය ඔවුන් "කළු දේවමාතාවන්" ලෙස ද හඳුන්වන ලදී. පිලිපීනය ස්පාඤ්ඤයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී (1665 - 1898), 16 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී,පිලිපීනය පාලනය කිරීමට පැමිණියේ ස්පාඤ්ඤ ජාතික ජුවන් නිනෝ ඩි තබෝරා ( Juan Nino de Tabora) නැමැති ආණ්ඩුකාරවරයාය. 1626 මාර්තු 25 මෙක්සිකෝවේ අකපුල්කෝ ( Acapulco) වරායෙන් පිලිපීනයට ඒමට නැව් නැගී ඔහු තම නෞකාවේ ඉහත කී කළු දේවමාතාවන්ගේ ලී ප්‍රතිමාව ස්ථාපිත කරන ලදී. එලෙසම ගමනාන්තය පුරා අවැසි රැකවරණය හා ආරක්ෂාව පතා නිර්දෝෂ දේවමාතාවන්ගේ එම ප්‍රතිමාවට යාඥා කරන ලදී.

ක්‍රිස්තු වර්ෂ 1626 ජුලි 28 වැනිදා කිසිම උවදුරකට මුහුණ නොදී ජුවන් නිනෝ ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසට පිලිපීනයට ඒමට හැකි වූ අතර එය 'නිර්දෝෂ දේවමාතාවන්ගේ' මැදිහත් බව තුළ ලැබූ දේව වරප්‍රසාදයක් ලෙස ඔවුහු විශ්වාස කළහ. එබැවින් පැසිෆික් සාගරය හරහා යෙදුණු එම නාවික ගමන පුරාවටම ලැබූ ආරක්ෂාව වෙනුවෙන්, නිර්දෝෂ දේවමාතාවන් ගේ එම ප්‍රතිමාව ඉන්පසුව " සාමයේ සහ යහපත් ගමනාන්තයේ මාතාවෝ" (Our Lady of Peace and Good Voyage) ලෙස ජුවන් නිනෝ ආණ්ඩුකාරයා විසින් නම් කරන ලදී. එපමනක් නොව වර්ෂ 1648 සිට 1748 දක්වා පිලිපීනය හා මෙක්සිකෝව අතර ප්‍රධාන වශයෙන් නාවික ගමන් හයක් පමණ සිදුවී ඇති අතර, එම සෑම ගමනක දී ම මෙම ප්‍රතිමාව ඔවුන්ගේ නෞකාවන් තුළ ස්ථාපිත කරගෙන ගමනේ යෙදී ඇත. ඒ සෑම ගමනකදීම ලැබූ ආරක්ෂාව නිසා දේවමාතාවන්ට ඔවුන් ඉහත ලබාදුන් නාමය තව තවත් ස්ථිර විය.

මෙම ප්‍රතිමාව එදා පටන් පිලිපීනයේ ජනතාවගේ ඉතාමත් ගෞරවයට හා ආදරයට ලක්වී ඇති ප්‍රධානතම දේවමාතා ප්‍රතිමාව වේ. අද එය ස්ථාපිත කර ඇත්තේ ඇන්ටිපොලෝ (Antipolo) ආසන දෙව්මැදුරේය. එමනිසා "සාමයේ සහ යහපත් ගමනාන්තයේ මාතාවෝ" ( Our Lady of Peace and Good Voyage) යන නාමයට අමතරව "ඇන්ටිපොලෝ කන්‍යාව" (Antipolo Virgin) යන නාමය ද එම ප්‍රතිමාවට ලබාදී ඇත. "සාමයේ සහ යහපත් ගමනාන්තයේ මෑණියන්" අප බසින් හඳුන්වනු ලබන්නේ "සින්දාත්‍රි මෑණියෝ" ලෙසය. 'සින්දු' යන දමිළ පදයෙහි තේරුම 'යහපත්' හෙවත් බාධාවක් නොමැතිව අරමුණක් කරා' වන අතර 'යාත්තිරෙයි' යනු 'ගමන' යන්න අරුත් ගැන්වේ. එබැවින් 'සින්දාත්‍රි' යන නමෙහි අරුත නම් 'යහපත් ගමන' හෙවත් 'බාධාවකින් තොරව අරමුණ කරා යන ගමන' වේ.
මීගමුවේ ධීවරයින් තම තොටුපළවල් වලින් මුහුදට දියත් කරන තම බෝට්ටුව මුලින්ම රැගෙන එන්නේ දූව පල්ලියේ ඇති 'සින්දාත්‍රි මාතාවන්ගේ' ප්‍රතිමාව අසලටය. මුහුදු වතුර දෝතට ගෙන 'සින්දාත්‍රි මෑණියන්' දෙස බලා එම වතුරෙන් 'පිතා පුත්‍රයා' සලකුණු කරගෙන, තම බෝට්ටුවද එම වතුරෙන් දෝවනය කොට, ගැඹුරු මුහුදට තම බෝට්ටුව දියත් කරන්නේ සින්දාත්‍රි මෑණියන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව පතා ගෙනය.

එය එදා නීනෝ ආණ්ඩුකාරවරයා කළ ක්‍රියාව හා බැඳී ඇති බව අප ධීවර ජනතාවගෙන් කීදෙනෙක් දනිද්ද? ඔවුන් එය නොදැන සිටියද 'සින්දාත්‍රි මාතාවන්' හෙවත් 'සාමයේ සහ යහපත් ගමනාන්තයේ මාතාවන්ගේ' මැදිහත් බව නිරතුරුවම චණ්ඩ මාරුත සමඟ පොර බදද්දී ඔවුන් අත්දැක ඇති බව මම දනිමි. අද අප ද මෙම ජීවිත ගමන තුළ මහා චන්ඩ මාරුත සමඟ පොර බදිමින් සිටින්නෙමු. අප යන ජීවිත ගමන මග නැවතී ඇත. අපගේ හෙට දිනය අපහැදිලි වී ඇත. අඳුරු වී ඇත. ඉදින් එදා වගේම අදත්, ජීවිත ගමන තුළ නිවැරැදි මඟ පෙන්වන සින්දාත්‍රි මෑණියෝ, අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි මැදිහත් වී, ජීවිත චන්ඩ මාරුත ජය ගන්නට අවැසි ශක්තියද, යන මග පැහැදිලි වනු සඳහා අවැසි ආලෝකය ද, දෙවියන් වහන්සේගෙන් ඉල්ලා දීමට අප වෙනුවෙන් මැදිහත් වන ලෙස අයැදිමු. "සින්දාත්‍රි මෑනියනී - අප නිසා යාච්ඤා කළ මැනව"

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම. 
( 20/05/2020).


21. "නිර්මල හෘදයේ මාතාවෝ" - "Immaculate Heart of Mary".
=============================================
කතෝලික සභාව තුළ ඇති වූ ඉතා සුවිශේෂ දේවමාතා බැතියක් ලෙස 'නිර්මල හෘදයේ දේවමාතාවන්ට කරනු ලබන 'මරිය බැතිය' හැඳින්විය හැක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හෘදයේ බැතිය හා දේවමාතාවන්ගේ නිර්මල හෘදයේ බැතිය අතර කිට්ටු සම්බන්ධතාවක් ඇති බව අපි දකින්නෙමු.

හදවත යනු ආදරයේ, ප්‍රේමයේ, සංකේතයයි. ජේසුස් වහන්සේගේ හදවතිනුත්, දේවමාතාවන්ගේ හදවතිනුත්, ප්‍රකාශ වන්නේ අසීමිත වූ, නිමක් නොමැති වූ එම හදවත්වලින් ගලාගෙන ආ ආදරයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හදවත තුළින් සංකේතවත් වන්නේ උන්වහන්සේගේ් හදවතෙහි මුළු ලෝකවාසී සියලු ජනතාව කෙරෙහි ගලා එන අසීමිතවූ ආදරයයි. දේවමාතාවන්ගේ හදවතින් සංකේතවත් වන්නේ එතුමියගේ පුතුනුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හා පියාණන් වහන්සේ වෙතට ගලාගෙන යන ආදරයයි. දේවමාතාවන්ගේ හදවත පිළිබඳ සුවිශේෂ තුළ අවස්ථා දෙකකදී ප්‍රධාන වශයෙන්ම කතා කර ඇති බව පැහැදිලිය

1). එඬේරුන් ජේසු බිළිඳුන් බැහැ දැකීමට ගවලෙන ට පිවිසි කල ඔවුන් අත්දුටු එම අත්දැකීම ශුද්ධවූ ජුසේ මුනිඳුන් හා මරිය මාතාවන් සමග බෙදා ගත් විට, "එහෙත් මරියතුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය" (ශු. ලූක් 2:19) යනුවෙන් ලියැවී ඇත.

2). ජේසු බිළිඳුන් දේව මාලිගාවට දෙවියන් වහන්සේට කැප කරනු සඳහා රැගෙන ආ විට සිමියොන් දිවැසිවරයා ජේසු බිළිඳුන් දැක "එසේ ය ඔබේ හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත"(ශු. ලූක් 2: 35) යනුවෙන් ප්‍රකාශ කර ඇත. සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළා සේ මරියාවන්ගේ හදවතෙහි ඇතිවූ වේදනාවන් පිළිබඳව මීට ඉහත 'වික්ෂෝප දේව මාතාවන්' පිළිබඳ මෙනෙහි කිරීමේදී මා සඳහන් කර ඇත.

මරියාවන්ගේ හදවතේ තම පුතණුවන් වූ ජේසුස් කිස්තුස් වහන්සේ හා දෙවි පියාණන් වහන්සේ කෙරෙහි ඇති වූ ආදරය කුමන ආකාරයේ ආදරයක් ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව වීමට "මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි" (ශු. ලූක් 2:38) පැවසීම තුල, දෙවියන් වහන්සේ ඇයට දුන් ජීවිත කැදවීම පිළිගැනීම තුළ, ඇත්තේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇය තුළ තිබූ ආදරය ප්‍රකාශ වීමකි.

ඇයගේ කුසෙහි ජේසු බිලිඳුන්ගේ කලලය බිහිවන්නට පෙර ඇයගේ හදවතේ ජේසු සමිඳුන් බිහිවූ බව පැහැදිලිය. හෙරොද්ගේ කඩු පහරින් දරුවා බේරා ගැනීමට මිසරයට පලා යාම තුළ ප්‍රකාශ වන්නේ එම ආදරයයි. ජේසු සමිඳුන් ගෙත්සමනියේ අල්ලා ගත් මොහොතේ සිට මුළු කුරුස ගමන පුරාවටම උන්වහන්සේ සමග කුරැස ගමන ගමන් කිරීම තුළ ප්‍රකට වන්නේ එම ආදරයයි. සියලුම ශ්‍රාවකයින් පැන දුවද්දී කුරුස පාමුල ජේසු සමිඳුන් සමග ඇය සිටීම තුළ ප්‍රකාශ වන්නේ එම ආදරයයි. ජේසුගේ මරණයෙන් පසුව ද ශ්‍රාවක සංඝය ශක්තිමත් කිරීමට ඔවුන් සමග සිටීම තුළ ප්‍රකට වන්නේ ජේසු සමිඳුන් කෙරෙහි මරියාවන් තුළ තිබූ එම ආදරයයි.

මරියාවන් අපවද කැඳවන්නේ එතුමිය මෙන් දෙවියන් වහන්සේට, ජේසුස් වහන්සේට ගැඹුරු සම්බන්ධතාවයෙන් යුතුව එවැනි ආදරයක් දක්වන්නටයි. දේවමාතාවන්ගේ නිර්මල හෘදය පිළිබඳව, ඒ තුළින් ගලන ආදරය පිළිබදව, ප්‍රබල ව කතා කළ මුනිවරයා වන්නේ 16 වන ශත වර්ෂයේ දී බිහිවූ ශුද්ධ ජෝන් ඉයුඩේ (St. John Eudes) මුනිතුමායි. උන්වහන්සේ ප්‍රංශය පුරා එම බැතිය තම දේශනා තුළින් පතල කර ඇති බව පැහැදිලිය. නමුත් මෙම බැතිය වර්ෂ 1830 දී ශු. කැතරින් ලැබෝරේ (St. Catherine Labouré) මුනිවරියට දේවමාතාවන් දර්ශනය වී පුදුම පදක්කම ලබා දීමත් සමගම ලොව පුරා ඉතා ප්‍රචලිත විය. මේ සමග වර්ෂ 1836 දී පැරීසියේ ජයලත් අප ස්වාමිදුවගේ දේවස්ථානයේදී නිර්මල දිව්‍ය හෘදයට කැප වූ සංඝයක් ආරම්භ වූ අතර ඔවුන් විසින් මෙය තව තවත් ලොව පුරා පතල කරන්නට විය.

වර්ෂ 1648 පෙබරවාරි 8 වැනිදා දේව මාතාවන්ගේ නිර්මල හෘදයේ පළමු මංගල්‍යය ප්‍රංශයේ සමරා ඇත. නමුත් ලොව පුරා මෙය මංගල්‍යයක් ලෙස පැවැත්වීමට අවසරය ලබාදී ඇත්තේ හත්වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් වර්ෂ 1805 දී ය. දොළොස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙම මංගල්‍යය සමරන දිනය අගෝස්තු 22 බවට පත්කළ අතර 1944 දී හයවන පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය ශ්‍රී හෘදයේ මංගල්‍යයට පසුව එන සෙනසුරාදා දේවමාතාවන්ගේ නිර්මල හෘදයේ මංගල්‍යය සමරන දිනය බවට පත් කරන ලදී.

හැම ජීවයකම ආරම්භය හා පැවැත්ම රැඳී ඇත්තේ ආදරය මතය. ආදරය අහිමි වූ තැන සිදුවන්නේ විනාශයයි. මිනිසුන් මිනිසුන්ට ගරු නොකරන තැන, මිනිසුන් මිනිසුන්ට ආදරය නොකරන තැන අප අත් දකින්නේ මිනිසුන්ගේම විනාශයයි. අද එවැනි වර්තමානයකට අපි පිවිස සිටින්නෙමු. මරියාවන් අද අපව කැඳවන්නේ දෙවියන් වහන්සේගේ ආදරයෙන් පිරෙන හදවත් ඇති කරගන්නට හා එම ආදරය අප ජීවත් වන පරිසරයට මුදාහැරීම තුළ විනාශ වූ ලෝකය ගොඩ නගන්නට ය. "නිර්මල හෘදයේ මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 21/05/2020).

22. "ලොරෙටෝ හී මාතාවෝ" - Our lady of Loreto".
=====================================
දේවමාතා බැතිය හා සම්බන්ධව පවතින විශේෂ භක්ති අභ්‍යාසයන් හා බැඳුණු දේව මෑණියන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව දැනුවත් වූ අප, දැන් පිවිසෙන්නේ ලෝකයේ විවිධ රටවල් වල ඇති විශේෂ ස්ථාන හා බැඳුණු දේවමාතාවන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව දැනුවත් වන්නට ය. ජපමාලය උච්චාරණය කිරීමෙන් පසු අප හැම නිවසකම කටපාඩමින් උච්චාරණය කරනු ලබන ප්‍රාර්ථනාව, 'දේවමාතා ප්‍රාර්ථනාව' වේ. කට පාඩමෙන් එය උච්චාරණය කළ ද එහි ආරම්භය හා බැඳුණු වගතුග අප බොහෝ දෙනෙක් නොදනිති. 'දේව මාතා ප්‍රාර්ථනාව' හදුන්වන අනෙක් නාමය වන්නේ 'ලොරෙටෝ ප්‍රාර්ථනාව' ( Litany of Loreto) ලෙසය. එබැවින් මෙම 'දේවමාතා ප්‍රාර්ථනාව' ආරම්භ වූ 'ලොරෙටෝ මාතාවන්' ගැන අපි ඉගෙන ගනිමු.

ලොරෙටෝ යනු ඉතාලියේ ඇති නගරයකි. මෙහි ගොඩනැගී ඇති බැසිලිකාව තුළ නාසරතයේ ශුද්ධවු පවුල ජීවත් වූ 'නිවස' තැන්පත් කර ඇති බව සැලකෙන අතර, එම බැසිලිකාවේ ස්ථාපිත කර ඇති දේවමාතාවන්ගේ ප්‍රතිමාව 'ලොරෙටෝ දේවමාතාව' ලෙස සලකනු ලැබේ. ලූර්දු නගරය හා පාතිමාවට පසුව ලෝකයේ වැඩිම ජනතාවක් පැමිණෙන 'දේවමාතා සිද්ධස්ථානය' වන්නේ 'ලොරෙටෝ දේවමාතාවන්ගේ' මෙම සිද්ධස්ථානයයි.

නාසරතයේ ශුද්ධවු පවුල ජීවත් වූ නිවස කේන්ද්‍ර කොට ගෙන ගොඩනැගී ඇති බැසිලිකාව 'මංගලම් කීමේ බැසිලිකාව' (Basilica of Annunciation) වේ. නමුත් එම බැසිලිකාව ඇතුළත ඇති ශුද්ධවු පවුල ජීවත් වූ තැන අද නිවසක් නොමැති අතර, ඇත්තේ නිවසේ අත්තිවාරම පමණි. එම නිවසට කුමක් වුනිද? යන්න ඉතිහාසය පුරාම නැගූ ප්‍රශ්නයකි.

ක්‍රිස්තු වර්ෂ 313 දී කිතුනු දහමට නිදහස ලැබීමත් සමගම කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ මාතාව වූ ශුද්ධ වූ හෙලේනා මුනිවරිය ශුද්ධවූ දේශයට පැමිණීමත් සමග, ශුද්ධවූ පවුල ජීවත් වූ නිවස සොයා ගත් බවත්, එය මැදි කරගෙන දේවස්ථානයක් ගොඩ නැගූ බවත් ඉතිහාසය තුල සඳහන් වේ. නමුත් 1090 පළමු ඉස්ලාම් ආක්‍රමණය සිදු වූ අතර එහිදී ශුද්ධවූ දේශයේ සියලු දේවස්ථාන හා ශුද්ධ වූ දේ කඩා බිඳ දමා විනාශ කරන ලදී. එවිට නාසරතයේ තිබූ ශුද්ධවු පවුල ජීවත් වූ නිවස අතුරුදහන් වී ඇත.

ප්‍රංශයේ නමවන ලුවී රජු (1214 - 1270) ගේ මූලිකත්වයෙන් 'කුරුස යුද්ධය' සිදුවූ අතර ශුද්ධ වූ දේශය අත්පත් කර ගැනීමත් සමඟ නැවතත් මෙම ස්ථානයේ දේවස්ථානයක් ගොඩ නඟා ඇත. ඒ සමඟ ම අතුරුදහන් වූ එම නිවස නැවතත් මෙම ස්ථානයේ දර්ශනය වී ඇත.
වර්ෂ 1263 දී නැවතත් මුස්ලිම් ආක්‍රමණය සිදුවී, 1291 දී ක්‍රිස්තියානි හමුදා මුලින්ම පරාජය කර ඇති අතර නැවතත් ශුද්ධවූ දේශයේ දේවස්ථාන හා ශුද්ධ දෑ විනාශ කොට ඇත. එවිටද ශුද්ධවූ පවුල ජීවත් වූ එම නිවස නාසරතයෙන් අතුරුදහන් වී ඇත. නමුත් වර්ෂ 1291 මැයි 19 වැනිදා ක්‍රොඒෂියාවේ ටෙර්සට්ටෝ (Tersatto) නැමති නගරයේ බිමක මෙම නිවස දර්ශනය වී ඇත. මෙය කුමක්දැයි එම ප්‍රදේශයේ ජීවත් වූ ගරු ඇලෙක්සැන්ඩර් ජෝර්ජ්විච් පියතුමා කල්පනා කරමින් සිටියදී දේවමාතාවන් දර්ශනය වී එය ශුද්ධ වූ පවුල ජීවත් වූ නිවස බව ඔහුට පවසා ඇතැයි ප්‍රකාශ වේ

1294 දී ඇල්බේනියාවේ සිදු වූ මුස්ලිම් ආක්‍රමණය සමග නැවතත් අතුරුදහන් වූ වන මෙම නිවස ඉන් පසුව හමුවන්නේ 1294 දී දෙසැම්බර් 9 හෝ 10 දින ඉතාලියේ රෙකනාටි ( Recanati) වලදීය. දහස් ගණන් ජනතාව මෙය නැරඹීමට පැමිණි අතර බොහෝ ප්‍රාතිහාර්යයන් එම ස්ථානයේ සිදු වී ඇත. නැවතත් අවස්ථා දෙකකදීම මෙම නිවස අතුරුදන්වී ඇති අතර එය නැවත දර්ශනය වන්නේ වර්තමානයේ අපට එය හමුවන 'ලොරෙටෝ මාතාවන්ගේ' බැසිලිකාව ගොඩනඟා ඇති ඉතාලියේ ලොරෙටෝ නගරයේදීය. මෙම කතා පුවත දෙස බැලූ විට ජන ප්‍රවාදය තුළ ගොඩනැඟී ඇති මනංකල්පිත පුවතක් ලෙස අපට දැනෙනු ඇත. නමුත් මෙහි ඇති සත්‍යය අසත්‍යතාව සොයනු සඳහා වර්ෂ 1292, 1296 හා 1524 දී මෙම නිවසේ කොටස් නාසරතයට යවා පරික්ෂා කළ විටදී එම කොටස් හා නාසරෙත්හි ඇති අත්තිවාරමේ කොටස් සමඟ ගැළපෙන බව සොයාගෙන ඇත. එසේම 1871දී ලොරෙටෝ හී ඇති නිවාසයේ ගල් සහ පාෂාණ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු කළ විටද, ඒවා රෝම පරිසරයට ආවේණික නොවන බවත්, නාසරතයේ පරිසරයට ගැළපෙන බවත් සොයාගෙන ඇත. එසේම ලොරෙටෝ ඇති එම නිවසට අත්තිවාරමක් නැති අතර, ඇත්තේ බිත්ති තුනක් පමණි. එය පිහිටා ඇත්තේ ගෙයක් තැනීමට සුදුසු බිමක නොව පාරක් සහ බිම්කඩක් ආවරණය වන පරිද්දෙනි. එහි හැඩය ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව නොව පෙරදිග ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැගී ඇත. එහි දොර දේවස්ථානයක ඇති දොරක හැඩයකට නොව නිවසක දොරක හැඩයකට සෑදී ඇත. නාසරතයේ තිබූ මෙම නිවස දේවදූතයින් විසින් ඔසවාගෙන පැමිණි බව ජනප්‍රවාදයේ කියවේ. නමුත් ඉතාලියේ ජීවත් වූ 'ඇන්ජෙලෝ (Angelo) යන වාසගම ඇති පවුලේ පුද්ගලයකු විසින් නාසරතයේ තිබූ එම නිවස නෞකාවකින් ඉතාලියට රැගෙන එන්නට ඇතැයි ද ප්‍රකාශ වේ.
මෙම නිවස කේන්ද්‍රකොට ගෙන දෙව්මැදුර ගොඩනැඟුණු දා පටන් කෝටි සංඛ්‍යාත ජනතාවක් මෙම ස්ථානයට පැමිණ දේවමාතාවන්ට යාඥා කර ඇත. එහිදී ඔවුන් යොමු වූ ප්‍රධාන යැදුම වන්නේ අද ඔබ මා කට පාඩමෙන් දන්නා 'දේවමාතා ප්‍රාර්ථනාව' වේ. එම යැදුම පසු කලෙක 'ලොරෙටෝ ප්‍රාර්ථනාව' ලෙස 1587 දී පස්වන සික්ස්ටස් ශුද්ධෝත්තම පියාණන් විසින් අනුමත කර ඇත.

වර්ෂ 1300 සිට පත් වූ සියලුම ශුද්ධෝත්තම පියවරුන් මෙම ස්ථානය බැහැ දැක ඇති අතර වැඩිම සාන්තුවරයින් පිරිසක් බැහැ දැක ඇති ශුද්ධවු බිම මේ බිමය. ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් වැඩියෙන්ම බැහැදුටු ස්ථානයද මෙය වේ. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් විසින් ලෙරෙටෝ මාතාවන්ගේ මංගල්‍යය ලෙස දෙසැම්බර් 10 නම්කර ඇත. ලොරෙටෝ හී දේවමාතාවන් ගුවන් ගමනෙහි යෙදෙන්නන්ගේ ආරක්ෂක මාතාව ලෙස සලකනු ලැබේ. මෙම බැසිලිකාව ට ඇතුළු වන ස්ථානයේ "Hic Verbum Caro Factum EST", ශ්‍රී වචනයාණේ මිනිසත්බව ගත් තැන මෙතනයි" ලෙස සනිටුහන් කර ඇත. ලොරෙටෝ මාතාවන් අප සැම කැඳවන්නේ ශ්‍රී වචනයාණන් දිනපතා මාංශ ගතවන නිවහනක් බවට, ශ්‍රී වචනය අත්දකින හා ජීවත් කරවන නිවහනක් බවට අපි පුංචි නිවහන පත් කරගන්නට ය. "ලොරෙටෝ මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව"

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද, කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 22/05/2020). 

23."කාර්මෙල් මාතාවෝ" - "Our Lady of Mount Carmel".
==========================================
දේව මාතාවන්ට 'කාර්මෙල් මාතාවෝ' යන නාමය පටබැඳුණේ 'කාර්මෙල් කඳුවැටිය' අසල ගොඩ නැගුණු දේවමාතා බැතියක් හරහා ය. කාර්මෙල් කඳුවැටිය අපිට මුණ ගැසෙන්නේ ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නගරයට ආසන්නවය. 'කාර්මෙල්' යනු හිබෲ වදනක් වන අතර එහි තේරුම, ''කෙරෙම්' (Kerem) යන්නෙන් 'මිදි උයන' හෙවත් 'පිට්ටනිය' යන්න ද, 'එලි' (Eli) යන්නෙන් 'දෙවියන් වහන්සේ' යන්නද අරුත් ගැන්වේ. එබැවින් 'කාර්මෙල්' යන්නෙහි තේරුම 'දෙවියන් වහන්සේගේ මිදි උයන' හෙවත් 'දෙවියන් වහන්සේගේ වත්ත' යන්නයි.

කාර්මෙල් කඳුවැටිය අපට ශුද්ධවූ බයිබලය තුළ මුණ ගැසෙන්නේ එලියා දිවැසිවරයා සම්බන්ධ කතා පුවත් තුළ ය. එලියා දිවැසිවරයා යනු ඊශ්‍රායල් ජනතාවගේ 'දිවැසාවලිය' සංකේතවත් කරනු ලබන ශ්‍රේෂ්ඨතම දිවැසිවරයා ය. තාබෝර් කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීමෙහි සිදුවීමේදී පේදුරු, ජාකොබ් හා ජුවාම් හමුවේ දර්ශනය වූයේ මෝසෙස් සහ එලියා දිවැසිවරයා ය. ඊශ්‍රායල් ජනතාව වන්දනා කරන ලද්දේ එකම දෙවියන් වහන්සේ වූ යාවේ දෙවියන්වහන්සේට පමණි. නමුත් අහාබ් රජු (ක්‍රි. පූ.9 වන ශතවර්ෂය) හා ඔහුගේ දිවැසිවරුන් විසින් විවිධ දෙවිවරුන් වන්දනා කරනු ලබන 'බාල් වන්දනාව' ඊශ්‍රායල් දේශය පුරා පතල කරන ලදී. එයට විරුද්ධව නැගී සිටිමින්, නැවතත් ඊශ්‍රායලය ජනතාව ඒක දේව වන්දනාව සඳහා යොමු කරන ලද්දේ එලියා දිවැසිවරයා විසිනි

එසේම ඊශ්‍රායලය පුරා පැවැත්වුණු නියඟය හමාර වූයේද එලියා දිවැසිවරයා යාවේ දෙවියන් වහන්සේ ඉදිරියේ කරන ලද යැදුම් නිසා ය. (1 රාජාවලිය 18). මෙම එලියා දිවැසිවරයා පදිංචිව සිටියේ කාර්මෙල් කන්ද අසල ඇති ගල් ගුහාවක ය. අදටත් මෙම ගල් ගුහාව එම ස්ථානයේ අපට දැකගත හැක. දොළොස් වන ශත වර්ෂයේ දී තුන්වන කුරුස යුද්ධයෙන් (1189 - 1191) පසුව, යුරෝපයේ සිටි ආගම දහමට ලැදි පිරිසක් හයිෆා නගරයේ ආසන්න ඇති එලියා දිවැසිවරයා පදිංචිව සිටි එම ගල් ගුහාව අසළට ඇවිදින් ජීවත් වන්නට විය.

ඔවුන් සියලු දෙනා ගැඹුරු තාපස ජීවිතයක් ගත කළ අතර ඔවුන්ව "කාර්මෙල් කන්දේ මරියතුමියගේ සොහොයුරෝ" (Brothers of St. Mary Mount Carmel) ලෙස හඳුන්වනු ලැබීය. අප බොහෝ දෙනෙක් දන්නා වූ කාර්මෙල් පන්තියේ ගරු සොහොයුරන්, ගරු පියවරුන් හා ගරු කන්‍යා සොහොයුරියන්ගේ (Carmelites) ආරම්භය මෙය විය.ඔවුන් ගේ මූලික අභිලාෂය වූයේ එලියා දිවැසිවරයා මෙන්, දේවමාතාවන් මෙන්, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ගැඹුරු විශ්වාසයක් ජීවිතයක් ගත කිරීම යි.
මොවුන් ජීවත් වූ මෙම තාපසාරාමයේ ගොඩනගන ලද දෙව්මැදුර, එලියා දිවැසිවරයා ගේ ගල් ගුහාව කේන්ද්‍රකොට ගෙන තනන ලද අතර, මෙම දෙව් මැදුරේ දේවමාතාවන්ගේ ප්‍රතිමාවක් ස්ථාපිත කරන ලදී. එම දේවමාතාවන් 'කාර්මෙල් කන්දේ මාතාවෝ' හෙවත් 'කාර්මෙල් මාතාවන්' (Our Lady of Mount Carmel) ලෙස හඳුන්වන්නට විය.

අදටත් කාර්මෙල් පන්තියේ ගරු පියවරුන්ගේ, සොහොයුරන්ගේ, අධ්‍යාත්මික මූලස්ථානය ලෙස සලකනු ලබන්නේ ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ එලීයා දිවැසිවරයා ගේ ගල් ගුහාව අසල ගොඩනැගී ඇති මෙම මූලස්ථානයයි.  කාර්මෙල් පැවිදි පන්තිය 'දුබුරු බෙන්තිඤ්ඤය' ( Brown Scapular) හෙවත් 'කාර්මෙල් බෙන්තිඤ්ඤය' (Carmelite Scapular) ලොව පුරා පතළ කිරීමට මුල් වූ පැවිදි පන්තිය වේ. එම පැවිදි පන්තියේ ශුද්ධවූ සයිමන් ස්ටොක් (St. Simon Stock,1165 -1265) මුනිතුමා හට වර්ෂ 1251 ජූලි16 දේවමාතාවන් දර්ශනය වී කාර්මෙල් බෙන්තිඤ්ඤය ලබා දී ඇති බවත්, එම කාර්මෙල් බෙන්තිඤ්ඤය පළඳින සියලු දෙනා මරණයෙන් පසුව නිරාගින්නට අසු නොවන බවත්, ප්‍රකාශ කරන ලදී. "Whosoever dies clothed in this Scapular shall not suffer eternal fire" යනුවෙන් සෑම දුඹුරු බෙන්තිඤ්ඤයකම අදටත් සනිටුහන් වී ඇති අයුරු අපට දැක ගත හැක.

මෙම 'දුඹුරු බෙන්තිඤ්ඤය' හෙවත් ''කාර්මෙල් බෙන්තිඤ්ඤය' පැළදීම තුළ කරුණු තුනක් විශේෂ වශයෙන් ප්‍රකාශ වේ.
1). දේව මාතාවන්ට කැප වූ පැවිදි හවුලකට, විශේෂයෙන්ම කාර්මෙල් පැවිදි පවුලට අයත් බව.
2). දේවමාතාවන්ගේ නිර්මල හෘදය ට කැප වූ ජීවිතයක් ගත කරන බව.
3). දේවමාතාවන් තුළ තිබූ යහපත් ගුණාංග වන විශ්වාසය, බැහැපත්බව, පාරිශුද්ධ බව යාඥාවේ ජීවිතය ගතකරන බව, යනු එම කරුණු තුන වේ. (ශුද්ධවූ දේශයට මා සමග ගිය සියලු දෙනා හට මෙම ස්ථානයේ දී මෙම දුඹුරු බෙන්තිඤ්ඤය මා විසින් ලබා දී ඇත.)

එසේම මෙම කාර්මෙල් පැවිදි පන්තිය විසින් දේව මාතාවන්ට සෙනසුරාදා කරනු ලබන විශේෂ යැදුම් සඳහා ජනතාව යොමු කරන ලදී.
ලොව පුරා ගොඩනැගී ඇති කාර්මෙල් දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරු වල මංගල්‍යය අදටත් සමරනු ලබන්නේ කාර්මෙල් දේවමාතාවන් ශු. සයිමන් ස්ටොක් මුනිතුමාට දර්ශනය වූ දිනය ලෙස සැලකෙන ජූලි 16 වන දින දීය.

මරණින් පසුව අපට හිමිවන සදාතන ජීවනය පිළිබඳව සමිදාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. අවසාන විනිශ්චය දවසේ දී ධර්මිෂ්ඨයින්ට ලැබෙන සදාතන ජීවනය පිළිබඳවද, අධර්මිෂ්ඨයින්ට ලැබෙන දඬුවම පිළිබඳව ද, උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. (ශු. මතෙව් 25: 31 - 40).
ලෝකය පුරා පැතිර පවතින අන්ධකාරය පිළිබඳව, අධර්මිෂ්ඨ බව පිළිබඳව අපි කතා කරන්නෙමු. නමුත් අවැසි වන්නේ එම අන්ධකාරය දුරුකරන, ආලෝකය පතුරන එක පහනක් වන්නටය. අධර්මිෂ්ටකම් දුරු කරන එක ධර්මිෂ්ඨයෙකු බවට පත් වන්නට ය. ඒ සඳහා "එතුමාණන් කියන සියලු දේ කරන්නට"( ශු. ජුවාම් 2:5) කාර්මෙල් මාතාව අප සැම කැදවන්නීය. "ශුද්ධවූ කාර්මෙල් මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව".

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 23/05/2020). 

24. "ලූර්දු මාතාව" "Our Lady lady of Lourdes".
==================================
ප්‍රංශයේ ලූර්දු නගරයේ මසබියෙල් ( Massabielle) පර්වතයේ දර්ශනය වූ "නිර්මල පිළිසිඳීමේ මාතාවන්" හෙවත් 'ලූර්දු මාතාවන්ගේ' නාමය මුළු ලෝකය පුරාම ඉතාමත් ප්‍රචලිත වූ දේවමාතාවන් ලත් අති සුවිශේෂ වූ නාමයකි.

වර්ෂ 1844 ජනවාරි 7 දින බර්නදෙත් සුබිරු (Bernadette Soubirous) උපන්නේ ප්‍රංශයේ ලූර්දු නගරයේ ජීවත් වූ ඉතා දුප්පත් පවුලකය. එනමුදු දේව මාතාවන් 18 වරක් ම වර්ෂ 1858 දී තම දෑසින්ම දැක ගැනීමේ භාග්‍යය මෙම දියණිය ලැබුවාය.

වර්ෂ 1858 පෙබරවාරි 11 මසබියෙල් පර්වතය අසලට දර කඩන්නට ඇයත්, ඇගේ නැඟණිය වූ තුවානෙට් (Toinette) සහ අසල්වැසි යෙහෙලියක් වූ ජීන් අබාධි ( Jeanne Abadie) නික්ම ගියෝය. මසබියෙල් පර්වතය අසලින් ගලන දිය දහර බර්නදෙත් තරණය නොකළේ ඇය ඇදුම රෝගීන් පෙලුණු නිසාය. අනෙක් දෙදෙනා දර කඩන්නට ගිය අතර බර්නදෙත් මසබියෙල් පර්වතය අසල නැවතුණා ය. එවිට වයස අවුරුදු 14ක් වූ මෙම කුඩා දියණිය ඉතා සුවිශේෂ වූ ආලෝක ධාරාවකින් මසබියෙල් පර්වතය වැසී යන අයුරු හා සුළි සුළඟක් ඇති වන විට නැගෙන හඬකින් පරිසරය පිරී ගිය අයුරුත් දුටුවාය. ඒ සැනෙන් පර්වතයේ සුදෝ සුදු ඇඳුමින් හා හිස පලදනාවකින් ද, බඳවටා නිල් පටියකින් සැරසුණු අතෙහි ජපමාලය රැගත් ඉතා 'සුන්දර වූ කාන්තාවක්' ඇයට දර්ශනය වූවාය.

මෙම අත්දැකීම තම නැගණියට හා යෙහෙළියට කීව ද ඔවුන් එය පිළිගත්තේ නැත. එලෙසම බර්නදෙත් ගේ මව එය දැනගත් විට එය බර්නදෙත් ගේ මනංකල්පිත කතාවක් ලෙස ඇය දුටුවාය. දින දෙකකට පසුව එනම් පෙබරවාරි 14 වන දින නැවතත් බර්නදෙත් හා නැගණියත්, ඔවුන්ගේ යෙහෙලියත් මසබියෙල් පර්වතය අසලට පැමිණි අතර එදින බර්නදෙත් පැමිණියේ ආසිරි පැන් ද සමගය. මෙහි දර්ශනය වන්නේ භූතයෙක් නම් ආසිරි පැන් ඉසින විට එම භූතයා පලා යනු ඇති බව බර්නදෙත් ගේ විශ්වාසය විය. බර්නදෙත් විශ්වාස කළ ලෙසම දෙවන වරටත් එම 'සුන්දර කාන්තාව' දර්ශනය වූ විටදී ඇය ආසිරි පැන් ඉසින ලද නමුත් එම 'සුන්දර කාන්තාව' සුන්දර වූ සිනහවකින් පමණක් ඇයට සංග්‍රහ කළාය.

බර්නදෙත් ට නැවතත් එම සුන්දර කාන්තාව පෙබරවාරි 18 වන දින දී දර්ශනය වී දින පහළවක් එක දිගටම එම ස්ථානයට පැමිණ යාඥා කරන ලෙස ඇයගෙන් ඉල්ලුවාය. සිද්ධිය ගම තුළ ප්‍රචාරය වූ අතර ඒ නිසාම බර්නදෙත්ට මසබියෙල් පර්වතය අසලට යාමට තහංචි පැනවුණි. නමුත් එම තහංචි නොසලකා බර්නදෙත් දිගටම දර්ශනය වූ එම 'සුන්දර කාන්තාවගේ' ඉල්ලීම ඉටුකිරීමට මසබියෙල් පර්වතය අසලට පැමිණියාය. පෙබරවාරි 19 දින සිදුවූ හතරවන දර්ශනයේදී බර්නදෙත් ගේ පවුලම එම අත්දැකීම ලැබූ අතර එතෙක් එය බර්නදෙත් ගේ මනංකල්පිත යක් ලෙස සිතූ බර්නදෙත් ගේ පවුලේ අය ඇය කියූ දේ පිළිබඳ විශ්වාස කරන්නට පටන් ගත්හ.

පෙබරවාරි 20 වන දින සිදු වූ පස්වන දර්ශනයේදී ආශිර්වාද කරන ලද ඉටි පන්දමක් රැගෙන ඇවිත් යාඥා කරන ලෙස මෙම 'සුන්දර කාන්තාව' ඇයගෙන් ඉල්ලා සිටියාය. අදටත් ලූර්දු ගුහාව අසලට පැමිනෙන සියලු දෙනා ඉටිපහන් ඇතිව දෙවිඳුන් යදින අයුරු සැමදා අපට දැක ගත හැක.
පෙබරවාරි 21 සිදුවූ හයවන දර්ශනයේ දී බොහෝ පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර පව්කාරයින්ගේ ජීවිත වෙනස් වීම සඳහා යාඥා කරන ලෙස ඉල්ලා සිටින්නේ එම දර්ශනයේ දී ය. හත්වන දර්ශනය සිදු වූ පෙබරවාරි 23 බර්නදෙත් හට රහස් තුනක් ්‍ර දේවමාතාවන් ප්‍රකාශ කොට ඇති නමුත් කිසිදිනක බර්නදෙත් ඒ රහස් මොනවා දැයි හෙළි කළේ නැත.
අටවන දර්ශනය පෙබරවාරි 24 සිදුවූ අතර 'පශ්චත්තාපය' යන වදන තුන් වරක් ඇය ප්‍රකාශ කොට ඇත. දේවමාතාවන්ගේ දර්ශනය වීම තුළ ඇයගේ අභිලාෂය වූයේ ජීවිත වෙනස් කරගැනීම බව මින් ඉතාමත්ම පැහැදිලිය.

නමවන දර්ශනය සිදු වූ පෙබරවාරි 25 වන දින මසබියෙල් පර්වතය අසල ඇති දිය උල්පතින් වතුර පානය කරන්නටත් ස්නානය කරන ලෙසත්, ඇය ඉල්ලා සිටියා ය. එවිට ඒ අසල දිය පහරක් නොතිබුණු බැවින් බර්නදෙත් තම දෑතින් පොළව හාරන්නට පටන් ගත් විට දිය උල්පතක් මතු විය. අදටත් එම ස්ථානයේ දිය උල්පත දැක ගත හැකි අතර දිනකට ගැලුම් 27000 කි පමණ ඉන් ජලය සැපයෙන අතර ලූර්දු පැමිණෙන සියලු දෙනා පානය කරන්නේ සහ ස්නානය කරන්නේ මෙම ජලයෙනි. පෙබරවාරි 28 වන දින සිදුවූ එකොළොස් වන දර්ශනයේදී එම ස්ථානයේ දෙව්මැදුරක් ගොඩනගන ලෙසද, පෙරහැරින් එම දෙව්මැදුරට පැමිණෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය. මෙම 'සුන්දර කාන්තාවගේ' ඉල්ලීම එවකට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ගරු පියවරුන්ට දැන්වුව ද ඔවූහූ එය එකහෙළාම එදා ප්‍රතික්ෂේප කළහ. නමුත් අද එම ස්ථානයේ කොයි තරම් විශාල දේවස්ථාන ගොඩනැගී ඇත්දැයි ලූර්දු ගොස් ඇති අය දනිති. එලෙසම වූ ලූර්දු හි පැවැත්වෙන සත්ප්‍රසාදීය පෙරහැර ද, සෑම දිනකම රාත්‍රියේ පැවැත්වෙන ඉටිපන්දම් පෙරහැර ද අති විශේෂවූ අවස්ථාවන්ය.

මාර්තු 25 සිදු වූ දහසයවන දර්ශනයේ දී මෙම 'සුන්දර කාන්තාව' තමන් නිර්දෝෂ පිළිසිඳීමේ මාතාව ( Que soy era Immaculado Conception) ලෙස ප්‍රකාශ කළාය. මරියමාතාවන් තමන් කවුදැයි බර්නදෙත් සහ රැස්ව සිටි සියලු දෙනාට හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය විය. එබැවින් අදටත් ලුර්දු මාතාව ලෙස අපේ ආදරයට සහ ගරුත්වයට ලක්ව සිටින්නේ "නිර්දෝෂ පිලිසිදගත් මරිය මාතාවන් ය" ලූර්දුවේ සිදුවූ මෙම සිදුවීම් මාලාව කතෝලික සභාව විසින් පිළිගැනීමට මුලින්ම අකමැති වුනාය. නමුත් සිය දහස් ගණන් ජනයා මෙම ස්ථානයට ඇදී එන්නට පටන් ගත් අතර යාඥාව, ජීවිත වෙනස් වීම, රෝග සුව වීම සහ ප්‍රාතිහාර්යයන් බොහෝ සිදු වන්නට පටන් ගැනුණි. එම නිසා 1862 ජනවාරි 18 එම ප්‍රදේශය භාරව සිටි රදගුරු තුමා විසින් මෙම ස්ථානය විශේෂිත වන්දනා ස්ථානයක් ලෙස මුලින්ම පිළිගන්නා ලදී. වර්ෂ 1876 ජූනි 3 දින නමවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ලූර්දුව 'ඉතා විශේෂ වන්දනා ස්ථානයක්' ලෙස කතෝලික සභාව තුළ නිල වශයෙන් පිළිගන්නා ලදී.
මේ වනවිට ලූර්දු මාතාවන්ට කැප වූ දේවස්ථාන හැම රටකම බිහිවී ඇත. ලූර්දු මාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අත්දකින, අත්දුටු ජනතාවක් බිහි වී ඇත. එම නිසා ලූර්දු මාතාවන්ගේ මංගල්‍යය සෑම වසරකම ශු බර්නදෙත් තුමියට දේවමාතාවන් පළමුවරට දර්ශනය වූ පෙබරවාරි 11 වැනි දින සමරනු ලැබේ.

ලූර්දු මාතාවන් එදා මෙන් අදත් අප කැඳවන්නේ ජීවිත වෙනස් කර ගන්නටය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අප ජීවිත තුළ සිදුවන්නේ ඒ තුළින් අප ජීවිත පරිවර්ථනයක් ඇතිකර ගැනීම සඳහාය. ලූර්දු මාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අත් දකින අප, දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන එම ජීවිත වෙනස ඇති කරගත් ජනතාවක් ද? "ලූර්දුවේ අප මාතාවනි - අප නිසා යාච්ඤා කළ මැනව"

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 24/05/2020). 

25. "ගුවාඩලූපේ මාතාවෝ" - " Our Lady of Guadalupe".
=========================================
"ගුවාඩලූපේ මාතාවෝ" හෙවත් "දුඹුරු මාතාවෝ" යනු මේ ලෝකයේ සිටින බහුතරයක් වූ කතෝලිකයන්ගේ ආදරයට හා ගරුත්වයට ලක්වූ දේවමාතාවන් ලත් විශේෂ නාමයක් ලෙස හැඳින්විය හැක. මෙක්සිකෝව රටෙහි 'ආරක්ෂක මාතාවන්' ලෙසද, 'ලතින් ඇමෙරිකාවේ' ආරක්ෂක මාතාවන් ලෙසද "ගුවාඩලූපේ මාතාවන්" හඳුන්වනු ලබන්නීය. වර්ෂ 1531 දෙසැම්බර් 9 වැනිදා හිමිදිරි උදයේ ජුවන් දියෙගෝ (Juan Diego) නැමැති මෙක්සිකානුවා හට 'ටෙපෙයැක්' (Tepeyac) කඳු මුදුනේ දී පළමුවරට දේවමාතාවන් දර්ශනය වී ඇත. එකම දෙවියන් වූ ජේසුස් වහන්සේගේ මාතාව ඇය බවට එවිට ප්‍රකාශ කර ඇති අතර, එම ස්ථානයේ දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන ලෙස ඉල්ලා ඇය සිටියාය.

මෙම ආරංචිය රැගෙන එවිට මෙක්සිකෝව නගරයේ අගරදගුරු ව සිටිය ජුවන් දි සුමරාගා (Juan de Zumarraga) මුණගැසීමට ජුවන් දියෙගෝ ගොස් ඇති නමුත් අගරදගුරුවරයා විසින් ජුවාන් දියෙගෝ යනු මෝඩයෙකු යයි සිතා ඔහුව ප්‍රතික්ෂේප කොට ඇත. බලාපොරොත්තු සුන්වූ ජුවන් දියෙගෝ නිවසට නිවසට එන අතරතුර නැවතත් ඔහුට මරිය මාතාවන් දෙවන වරටත් දර්ශනය වී ඇත. එවිට ද ඇය ඉල්ලා සිටියේ අගරදගුරු තුමන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලද, නැවත නැවතත් ඔහු හමුවී ඒ පිළිබඳව ඔහුව දැනුවත් කොට උනන්දු කරවන ලෙස ය. දෙසැම්බර් 10 දින නැවතත් අගරදගුරුතුමන් මුණගැසීමට ජුවන් දියෙගෝ ගිය අතර එම කතා පුවත සත්‍යයක් නම් කඳු මුදුනට ගොස් දේවමාතාවන් මුණගැසී එම ඉල්ලීම සත්‍යක් බව ඔප්පු කරනු සඳහා ඇයගෙන් සලකුණක් ඉල්ලන ලෙස ජුවන් දියෙගෝ ගෙන් අගරදගුරුතුමා ඉල්ලා සිටින ලදි. එදිනම කඳු මුදුනට යන ජුවන් දියෙගෝට දේවමාතාවන් තුන්වන වරටත් දර්ශනය වූ අතර, අගරදගුරුතුමා පැවසූ දේ ඇයට පවසා ඇත. එවිට දෙසැම්බර් 11 දින සලකුණක් ලබාදෙන බවටත්, එදිනට නැවතත් ටෙපෙයැක් කඳු මුදුනට පැමිණ ලෙසටත්, ජුවන් දියෙගෝ ගෙන් දේවමාතාවන් ඉල්ලා ඇත.

නමුත් ජුවන් දියෙගෝ ගේ මාමා වන ජුවන් බර්නාදිනෝ (Juan Bernardino) ඉතා දරුණු ලෙස රෝගාතුර වී ඇති අතර ජුවන් දියෙගෝට තම මාමා අසල රැඳී සිටීමට සිදුවී ඇති බැවින් කඳු මුදුනට දෙසැම්බර් 11 වන දින යාමට නොහැකි වී ඇත. නමුත් දෙසැම්බර් 12 වන දින ඉතා දරුණු ලෙස රෝගාතුර වූ තම මාමා හට 'අන්තිම ආලේපය' ලබා දීමට ගරු පියතුමෙකු රැගෙන ඒමට ටෙපෙයැක් කන්දට යන පාර මගහැර වෙනත් මගකින් ජුවන් දියෙගෝ ගමන් කොට ඇත. එවිට සතර වන වරටත් දේවමාතාවන් ජුවන් දියෙගෝට දර්ශනය වූ විට ජුවන් දියෙගෝ තමන් මුහුණ දී ඇති වේදනාත්මක සිදුවීම ගැන දේව මාතාවන් සමඟ පවසා ඇත. එවිට දේවමාතාවන් 'මා මෙතන නොමැති ද? මා ඔබේ අම්මායි" ("Am I not hear? I am who am your mother") යනුවෙන් ජුවන් දියෙගෝට ප්‍රකාශ කොට ඇත. අදටත් මෙක්සිකෝවේ ගුවාඩලූපේ බැසිලිකාවට ඇතුළුවන දොරටුව අසල සනිටුහන් වී ඇත්තේ ඉහත කී දේවමාතාවන් විසින් ප්‍රකාශ කළ වදන්ය.

එසේම ඔහුගේ මාමා සුවපත් වී ඇති බවත්, කන්දෙන් මල් නෙළාගෙන පැමිණෙන ලෙසත් දේවමාතාවන් ජුවන් දියෙගෝ ගෙන් ඉල්ලා සිටියාය. එය ශීත සෘතුව වූ අතර මල් පිපෙන කාලයක් නොවීය. නමුත් මෙක්සිකෝවට ආවේණික නොවූ කැස්ටිලියන් රෝස මල් ( Castilian Roses) පිපී ඇති බව ජුවන් දියෙගෝ දුටු අතර එය නෙලාගෙන පැමිණි විට ඔහු පැලඳගෙන සිටි සළුවට ( Tima) මෙම මල් දේවමාතාවන් අතුරා ඇති අතර, එය අගරදගුරුතුමා ළඟට රැගෙන යන ලෙස ඇය ඉල්ලා සිටියා ය. දෙසැම්බර් 12 වැනිදා මෙම සළුව අගරදගුරුතුමා ළඟට රැගෙන ගොස් සළුව විවෘත කළ විට සළුවේ තිබූ රෝස මල් බිම වැටී ඇති අතර එම සළුව මත දේව මාතාවන්ගේ රුව සනිටුහන් වී ඇති අයුරු රැස්ව සිටි සියලු දෙනා දැක ඇත. එසේම ජුවන් දියාගෝ ගේ මාමා ද තම රෝගයෙන් මුළුමනින්ම සුවපත් වී ඇත. දේවමාතාවන් තමන්ට ද දර්ශනය වූ බවත්, එම ප්‍රාතිහාර්යය පිළිබඳව අගරදගුරුතුමාට පවසන ලෙසත්, ඇයව "ගුවාඩලූපේ මාතාව" ලෙස හඳුන්වන ලෙසත් දේවමාතාවන් තමන් ගෙන් ඉල්ලා සිටි බව ජුවන් දියාගෝ ගේ මාමා වන ජුවන් බර්නාදිනෝද ප්‍රකාශ කර සිටියේය.

දේවමාතාවන්ගේ රුව රැගත් මෙම සළුව පළමුව අගරදගුරු මැදුරේ කුඩා දේවස්ථානයේ ද, ඉන්පසු අසල ඇති දේවස්ථානයක ද, ස්ථාපිත කළ අතර වැල නොකැඩී ජනතාව එය බැහැදැකීමට පැමිණෙන්නට පටන් ගත්ත. බොහෝ ප්‍රාතිහාර්ය ද ඒ තුළින් සිදු වන්නට පටන් ගැනුණි. පසුව වර්ෂ 1531 දෙසැම්බර් 26 විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුත් පෙරහැරකින් මෙය ටෙපෙයැක් කඳු මුදුනට රැගෙන එන ලදී. අද ටෙපෙයැක් කන්ද මුදුනේ දේවමාතාවන් එදා ඉල්ලූ දෙව්මැදුර ගොඩනැගී ඇත. එය "ගුවාඩලූපේ මාතාවන්ගේ බැසිලිකාව" ( Basilica of Our Lady of Guadalupe) යනුවෙන් හඳුන්වනු ලබන්නේය.

මෙක්සිකෝ ජනතාවගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන, ප්‍රාතිහාර්යයන් බොහෝ සිදුවූ ශුද්ධවූ සළුවක් ලෙස අද එම සළුව සලකනු ලබන්නේ ය. මෙම සළුව වසර 20ක් ඇතුළත දිරාපත් වීමට නියමිතව තිබූ නමුත් දැනට අවුරුදු 490 ක් ගෙවී ගොස් ඇති නමුත් කිසිම උවදුරකට එය ලක්වී නොමැත. දේවමාතාවන්ගේ රුව රැගත් මෙම ශ්‍රී සළුව ගුවාඩලූපේ බැසිලිකාවේ අද ස්ථාපිත කර ඇති අයුරු අපට දැකගත හැක. මෙම ස්ථානය ලෝකයේ වැඩිම කතෝලිකයින් පිරිසක් ඇදෙන ස්ථානයක් බවට සැලකේ. ජීවිත වෙනස් වන, ප්‍රාතිහාර්යයන් සිදුවන, ශුද්ධ වූ බිමක් බවට එම බිම සැලකේ. ගුවාඩලූපේ මාතාවන් මෙක්සිකෝවේ 'ආරක්ෂක මාතාව' ලෙස 1754 මැයි 25 දින දහහතරවන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් ප්‍රකාශ කරන ලදී. එසේම 1910 දී දසවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ලතින් ඇමරිකාවේ 'ආරක්ෂක මාතාව' ලෙස ගුවාඩලූපේ මාතාව ප්‍රකාශයට පත් කරන ලදී. 1979 ජනවාරි 26 දින ශු. දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජුවාන් දියාගෝව සාන්තුවර භාවයට ඔසවන ලදී. අදටත් ගුවාඩලූපේ මාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබන්නේ දෙසැම්බර් 12 වන දා ය.

කුරුසියේදී දේවමාතාවන් අපට බාර දුන්නේ ජේසුස් වහන්සේ විසින් ම ය. ප්‍රේමවන්ත ශ්‍රාවකයා "ඒ මොහොතේම" ඇයව තම නිවසට පිළිගත් බව ශුද්ධ ලියවිල්ල තුළ අපි දකින්නෙමු.(ශු. ජුවාම් 19: 27). ප්‍රේමවන්ත ශ්‍රාවකයා නියෝජනය කරන්නේ අප සැම දෙනාවම ය. එබැවින් දේවමාතාවන් එදා මෙන් අදත් අපෙන් අසන ප්‍රශ්නය "මා ඔබ තුළ නොමැති ද" යන්නයි.දේවමාතාවන් ප්‍රතික්ෂේප කරන්නට නොව දේවමාතාවන් ජීවිතේට පිළිගන්නට. එතුමිය තුළින් ජෙසුස් ජෙසුස් වහන්සේට, දෙවියන් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට, ළං වන්නට අපි වෙර දරමු. " ගුවාඩලූපේ මාතාවනි අප නිසා යාච්ඤා කළ මැනව".

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 25/05/2020).

******************************************************
ඉහත ලිපියේ කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා සතුබව කරුණාවෙන් සලකන්න. 
මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/05/2020

No comments:

Post a Comment