Monday, 25 February 2019

මීගමුවේ දුම්රියපල ඉදිරිපිට ඇති වතුර මලවත් ක්‍රියාත්මක කල නොහැකි පාලනයක්

1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථමවරට විවෘත කිරීමෙන් අනතුරුව මීගමුව දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසිනි. 1978 ජනවාරි 23 දා එවකට ප්‍රවාහන ඇමතිවරයාවූ M. H. මොහොමඩ් විසින් මුල්ගල තබා මීගමුව දුම්රිය ස්ථානය සම්පුරණයෙන් නවීකරණය කර 1980 අප්‍රියල් 29 දා විවෘත කරනු ලැබුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට මාළුවෙකු අතදරා සිටින කාන්තාවක් සහිත අපූරු වතුර මලක් සහිත මූර්තියක් ද සමගිනි. මාළුවාගේ කටින් වතුර ගලා එනලෙස සකස් කර තිබු එම මූර්තිය නිසා මීගමුවට අපූර්ව සුන්දරත්වයක් එක් කළේය. 77 ආණ්ඩුව විසින් මීගමුවට ගෙන ඒමට අපේක්ෂා කල මීගමු නවෝදයේ මුල් පියවර මෙය යැයි ඔවුහු උදම් ඇනුහ.
මාලුවෙක් අතැති මෙම මුර්තිය මීගමුවේ ප්‍රකට කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය නිරූපණය කිරීමත් නිසා මෙම මූර්තිය මීගමුවේ අනන්‍යතාවයේද කොටසක් බවට පත්වීමට ගතවුයේ ඉතාමත් කෙටිකලකි. අපි කුඩා කාලයේද ක්‍රියාත්මකවූ මේ වතුර මල දෙස් විදෙස් සංචාරකයින්ගේ ජයාරූපයට නැගුණු, පුවත්පත්වල පවා පින්තූර පළවූ, වෙසක් දිනයට පාට පාට ප්ලෑෂ් ලයිට් එළිවලින් පවා එලියවත් කල මනරම් පොකුණක් සහිත ස්ථානයක් විය. පොකුණේ බැම්මේ මෙන්ම අවට වූ බංකුවලද ජනයා වාඩිවී දුම්රිය පැමිණෙන්න තුරු නිස්කලංකව බලා උන්නේ එහි කිසියම්ම හෝ සුන්දරත්වයක් වූ නිසාමය. යුද්ධය පැවතී සමයේ තඩි යකඩ වැඩක් ගසා කොටුකල මෙම දුම්රිය ස්ථානයේ වතුර මලද ක්‍රියා විරහිත කර දමන ලදී. මාළුවෙකු අතින් ගත් ස්ත්රියගෙන් ගලාහැලෙන වතුර මල පණක් නොව එම මූර්තිය පවා වල්වැදී ගියහ. නැවත ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය හොබවයි. ප්‍රවාහන අමාතංශයදා ඇත්තේ ඔවුන්ටමය. ඒ ආණ්ඩුව සෑදීමට මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ අති විශාල වැඩි ජන්ද ප්‍රමාණය ලබා දී තිබේ. එහෙත් ඔවුන් මීගමුවට කරන යමක් නැත. 

සංවිධායක කම බෙදාගැනීමට බැරිව මරාගැනීමට නම් මීගමුවේ එ. ජා. පක්ෂ නායකයෝ ඕනෑ තරම් සිටිති. එහෙත් ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ දැනෙන වෙනසක් කිරීමට කිසිවෙක් නැත. වෙන මොකවත් නොව අඩුම තරමින් මීගමුව දුම්රියපොල ඉදිරිපිට ඇති මේ මුර්තිය එලි පෙහෙලිකර වතුර මල වත් නැවත ක්‍රියාත්මක කර මීගමුවට කුඩා හෝ එළියක් ගෙන දීමට ඔවුන්ට හැකියාවක් නැද්ද?

Except for Colombo and Kandy, Negombo is the only city which had those elegant water fountains in those days. It was constructed in 1980 as a part of the renovations process of the Negombo old railway station which opened in Dec.01 of 1909. The Negombo water fountain is a particularly unique one of the country because it matches with Negombo's identity as it is associated with the fishing Industry. Soon it became an iconic symbol of Negombo city, a spectacular photo opportunity for tourists. The edges of the pond and the benches of the railway station has become a cool, calm and relaxing place for local commuters who were waiting for the trains, and for the UNP politicians, it was an awesome propaganda material which showcased the future modernisation of Negombo as they vowed to bring. However, due to the neglection and lack of concentration, many icons of Negombo city has vanished in a glimpse of history such as lamp posts, which has the symbols of fish, crabs, prawns, and boats. And now this elegant water fountain is in the same process of history. During the period of the war, Negombo Railway station was barricaded with heavy metal frames and this elegant water fountain was left unseen and to dry out. I think it is time to raise this issue, at least to draw the attention of others. Especially, from the government, the ruling party, who are busy fighting for their organising posts and not showing any interest to the upkeep of their constituency. This is a good opportunity for them to show their commitment and bring glory back to our city. I wish those iconic things were functioning again and make the beauty of our city visualized again. The Grand Street St. Mary's church's new water fountain is one of the rays of hope. (Marcus Priyantha Perera 25/02/2013)
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
25/02/2019

Tuesday, 12 February 2019

මීගමුවේ කොටුව මීගමුවේ දේශපාලනය තීරණය කරණු ඇත

මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුවේ තවත් පින්තුරයක් සයිබර් අවකාශයෙන් දැන් මතුව ඇත. 1956 දී ගන්නා ලද මෙම ඡයාරූපය බ්‍රිතාන්‍යන් මීගමුව කොටුවේ විශාල කොටසක් කඩා ඉදිකළ මීගමුව බන්ධනාගාරයට ඇතුල්වීම සදහා මීගමුව කොටුවේ පිවිසුම් දොරටු වඩා භාවිතයට ගැනීමට පෙර තත්වය කියාපායි. එකල මීගමුව කොටුව අවට පෙදෙස කෙතරම් නිස්කලංක පෙදෙසක් දැයි යන්න මෙම ජායාරූපයෙන් මනාව පැහැදිලිවේ. තඹ පාට වැල්ල සිපගන්නා නිල්වන් මුහුදට මුහුණලා පිහිටි තද කොලපාට ගස් සමුහයත්, දුබුරුවන් තණබිස්සත් මවන ලද විචිත්‍රත්වය අද අපේ දෑසට දැකිය හැක්කේ මෙවැනි ජයාරූප තුලින් පමණි. 

රටේ මෙන්ම මීගමුවේද සුන්දරත්වය විනාශ කලේ වැඩිවශයෙන්ම දේශපාලුවන්ය. නිමල් ලාංසාගේ අනුග්‍රහය යටතේ මීගමුව කොටුව වෙරළ කරෝල මුදලාලිලාට කාබාසිනියා කිරීමට ඉඩදුනි. මීගමුවේ කොටුව ගරාවටීමට ඉඩහැර එය ඉතිහාසයෙන් අතුගා දැමීමට ඉඩදී බලාසිටියහ. කොටුවේ කොටසක් උසාවියේ රථගාල විය. නගරයේ එක් පිවිසුමකට මුහුණලා පිහිටි ග්‍රීන් පාර්ක් පිටිය තමිල්නාඩුවේ පෙට්ටි කඩ පිටියක් කළේය (වාසනාවකට ඔහුගේම සොහොයුරා, දයාන් ලන්සා, නගරාධිපතිවූ විට එම කඩ කඩා ඉවත්කළේය). අපගේ අඛණ්ඩ මැදිහත්වීම නිසාම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා යටතේ සංස්කෘතික විෂය පැවති සමයේදී මීගමුව කොටුව ප්‍රතිසංස්කරණය කරගැනීමට හැකිවිය. මීගමුව ඒ. ජා. පක්ෂයේ සංවිධායකයාවූ රොයිස් විජිතට මේ ගැන මැදිහත්වෙන ලෙස අවස්ථා ගණනාවකදී අපි දැනුම් දුන්නෙමු. ඔහු කිසිවක් නොකළේය. තම පක්ෂයේ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් තම නගරයේ ඇති ප්‍රධාතම පුරාවස්තුව සංරක්ෂණයටවත් ඔහු උනන්දු නොවීය. මීගමුවේ කොටුව මීගමුවේ අනාගත දේශපාලනය තීන්දුකරන බව අපි ලිව්වෙමු. 

අද ඔහුගේ සංවිධායක ධූරය පිටස්තරයෙකුට දී ඇත. මම දැන්වුවද දක්වනුවේ, ''මීගමුවේ කොටුව මීගමුවේ අනාගත දේශපාලනය තීරණ කරන බවය''. එහි අර්ථය මීගමුවේ වහලක් නැති මිනිස්සුන්ට තහඩු ටිකක්, පිට්ටනියක් නැති කොල්ලන්ට/කෙල්ලන්ට බෝල ටිකක්, ඔරුවක් නැති ධීවරයන්ට හබලක්, වෙරළක් නැති සංචාරකයින්ට හෝටල් දී මීගමුව ගොඩනැගිය නොහැකි බවය. මීගමුවට ඇත්තටම වැඩක් කිරීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් ඔහු මීගමුව කොටුව, මීගමුව වෙරළ, මීගමුව කලපුව, මීගමුව ග්‍රීන් පාර්ක්‌ පිටිය ආදී පොදු ස්ථාන පොදු ජනයාගේ පොදු අවකාශයට විවර කල යුතුය. තනි තනි පුද්ගලයාගේ නොව පොදු ජනයාගේ පොදු අවකාශය පුළුල් කිරීමෙන් තොර දේශපාලනයක් මීගමුවේ සාර්ථක නොවනු ඇත. පැහැදිලිවම එය මීගමුවේ නව UNP සංවිධායක කාවින්ද ජයවර්ධනට නම් කිවයුතුමය. මීගමුවට වැඩක් නොකර නම් මීගමුවේ ජන්ද ගැනීමට සිතීම විහිළුවකි. මොන චෝදනා පැවතියද ලන්සලා මීගමුවේ කප් ගසන්නේ ඔවුන් වැඩකරන බව මීගමුවේ ජනයා සිතන නිසාය. ඔවුන්ට වඩා වැඩ කිරීමෙන් තොරව ඔවුන් ආභිභවා යානොහැක. මීගමුව කොටුව සහ ඒ අවට වෙනුවෙන් කරන ඕනෑම මැදිහත්වීමක් වැදගත්වන්නේ එවැනි වපසරියක් තුලය.
Marcus Priyantha Perera. 
(12/02/2019)

Friday, 8 February 2019

ආරාබියේ ආගමික නිදහස සහ ලෝකයේ ආගමික නිදහස

2018 වසරේ අගෝස්තුවේ අපි අබුඩාබි මෙන්ම ඩුබායි රටවලටද ගිය නමුත් පාප්තුමා එම කලාපයට එන වගක් ගැන කිසිම සදහනක් හෝ සටහනක් නොවිණි. අබුඩාබියේ පිහිටි දේවස්ථාන දෙකම නැරබීමට ගියද පාප්තුමාගේ ගමන ගැන කිසිම දැන්වීමක් එහි නොදක්නට නොතිබිණි. අරාබි කලාපයේ කතෝලික තරුණ හමුවක් එම වසරේ (2018) ඔක්තෝම්බරයේ පවත්න බව සදහන් පෝස්ටර් සහ බැනර් නම් දැකීමට හැකිවිය. කලාපීය තරුණ හමුවක් පැවැත්වීමට තරම් කතෝලිකයන් පිරිසක් අරාබියේ සිටීද යන්න මගේ විමතියට ලක්විය.
ඇත්තවශයෙන්, ඉන්දියාවේ ගෝවේ, කේරලය ආදී ප්‍රදේශවලින්ද, පිලිපීනය, ලංකාව ආදී රටවලින්ද, ලෝකයේ වෙනත් රටවලින්ද පැමිණි කිතුනුවන් එම කලාපයේ සේවය කලද අරාබි කලාපයේ කිතුනුවන් වෙසෙන්නේ අල්පයකි. එම අල්පයට පමණක් නොව එම රටවලට පැමිණ සේවය කරන්නන් හටද ඇතැම් අරාබි රටවල සිය ආගම් ඇදහීමට ඉඩ ප්‍රස්ථා හිමි නොවන බව කියවේ. එහෙත් ඊට වඩා වැඩි ඉඩක් අබුඩාබි රාජ්‍ය තුල විවෘතව ඇති බව පාප්තුමාගේ සංචාරයෙන් පැහැදලිවම තහවුරු කර ඇත. එහි ඇති පල්ලිවලට අමතරව පන්සල් සහ හින්දු කෝවිල්ද ඇති බව මට ඇසීමට ලැබුණි. ලාංකීකයන් බහුලව යන අබුඩාබි පන්සලේ පොසොන් පෙරහැරක් මෙන්ම වෙසක් උත්සවක්ද පැවැත්වූ බව ඇසීමට ලැබුණි. හින්දු සහ සීක් ආගමීක උත්සවද පවත්වන බවද ඇසුවෙමි. එමෙන්ම විදේශිකයන්ට අවශ්‍ය ආහාර - පාන ආදිය ලබාගතහැකි වෙළද සැල් තිබුණි.

අබුඩාබියේ පමණක් නොව අරාබි කලාපයේ අනෙක් රටවලද පල්ලි-පන්සල්-කෝවිල් තිබෙන බවද ඇසීමට ලැබිණි. අබුඩාබි දේශයට පාප්තුමාගේ පැමිණ ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වුවද, අරාබි කලාපයේ ස්ලාම් ආගම හැර සෙසු ආගම් ඇදහීමට ආගමික නිදහසක් හිමි නොවන බව පොදු පිළිගැනීමය. එහෙත් ආගමික නිදහසක් නැත්තටම නැති බවක් ඉන් නොකියවේ. අරාබියේ පමණක් නොව ලෝකයේ බොහොමයක් අනෙක් රටවලද ආගමීක නිදහස ඇත්තේ අඩු - වැඩි වශයෙනි. බහුආගමීක රටක් ලෙස ආගමීක නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරුකර ඇති ඉන්දියාවේ පවා ක්‍රිස්තියානි ජනයාට වදහිංසා අත්වන බව වාර්තා වේ. 

පැහැදිලිවම ලෝකයේ බොහෝ රටවල ආගමීක නිදහස ඇත්තේ අඩු-වැඩි වශයෙනි. මෙහිදී ආගමික නිදහස යනු ඕනෑම ආගමක් ඇදහීමට ඇති නිදහස පමණක් නොව ඕනෑම ආගමක් අදහා නොසිටීමටද ඇති නිදහසද ආගමීක නිදහස ලෙස අර්ථ ගැන්වෙන බව දැක්විය යුතුමය.

එවැනි ආකාරයේ ආගමික නිදහසක් ඇත්තේ යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල පමණක් යැයි බොහෝ අවස්ථාවල කියවේ. උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදිය යුරෝපීයන්ගේ සංක්‍රමණ පදනම මත ගොඩනගන ලද රටවල්ය. විශේෂයෙන්ම යුරෝපීන් උතුරු ඇමරිකාවට වැඩි වශයෙන් සංක්‍රමණයවුයේ යුරෝපයේ ආගමීක යුද්ධ උත්සන්නවූ සමයේය. අද යුරෝපයේ ආගමීක නිදහස ඇතිවීමට පෙර 1517 සිට දියත්වූ ප්‍රොතෙස්තන්ත්‍ර ආගමීක ප්‍රතිසංස්කරණ නිසා කතෝලිකයින් සහ ඔවුන් අතර වසර 300 පමණ දිව ගිය යුද්ධ මාලාවක් විය. යුරෝපයේ ආගමික නිදහස ගොඩනැගෙන්නේ එම ලේවැගිරීම්වලින් හෙම්බත්වූ යුරෝපීන් ආගමික නිදහස වෙනුවෙන් කල අරගලවල ප්‍රතිපල නිසාය. 

ඒ අනුව ආගමික නිදහස යනු දීනාගත යුත්තක් මිස ජන්මයෙන් උරුම නොවන්නකි. එය රාජ්‍ය සම්බන්දයෙන් මෙන්ම පුද්ගලයා සම්බන්දයෙන්ද එකසේම බලපාන්නකි. 


මාකස් ප්‍රියන්ත පෙරේරා. 
08/02/2019

Tuesday, 5 February 2019

සිරිසේන ජනාධිපතිවරයාගේ අසංකූල නිදහස් දින කථාව: අනනුකූල දේශපාලනයක ව්‍යාකූල අවසානය.

සිරිසේන ජනාධිපතිවරයාගේ නිදහස් දින කථාව ඇතැම්විට ලංකාවේ රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා නිදහස් දිනයකදී සිදුකල දියාරුම මෙන්ම අසංකූලම නිදහස් දින කථාව විය හැකිය. කිසිවෙකු විසින් ඔහුට ලියාදුන් කථාවක් ඔහේ කියවීමක් මිස ඉන් එහාට විහිදුනු ගැබුරැ අර්ථයක් හෝ දේශපාලන දැක්මක් එම කථාව තුල නොවිණි. අඩුම තරමින් ගතවූ වසර 04ක කාලයක් තුල රටේ රාජ්‍ය නායකයා සහ විධායකයේ ප්‍රධානියා ලෙස සිය දේශපාලන ක්‍රියාකාරීත්වය සම්පිණ්ඩනය කිරීමක් හෝ එහි ඉදිරිගමන් මගක් ප්‍රක්ෂේපණය කිරීමක් ඔහුගේ 2019 නිදහස් දින කතාව තුල නොවිණි. ඔහුට පමණක් නොව ඔහුට එම කථාව ලියාදුන් ඔහුගේ උපදේශකයින්ටද එවැනි දැක්මක් හෝ අවබෝධයක් තිබුන බවක් එම කතාව තුල ප්‍රදර්ශනය නොවේ. හුදෙක් සිදුවුයේ වචන ප්‍රමාණයක් විසිකිරීම පමණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු සිය ධූරකාලය තුල ඔවුන් ක්‍රියාවේ යෙදවූ හෝ යෙදවීමට අපේක්ෂා කල විදේශ ප්‍රතිපත්ති ඇසුරින් නිර්මාණයවූ Presidential Doctrine නමින් හදුන්වන ආකෘතියක් ගොඩ නැගී තිබේ. එම ආකෘතිය මතම පදනම් වෙමින් එරට විවිධ ජනාධිපතිවරුන්ගේ ආර්ථික, සමාජ, දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය තක්සේරු කිරීමට එරට දේශපාලන විචාරකයින් කටයුතු කරයි. අද වනවිට එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරනන් පවා තමන්ගේමවූ එවැනි ආකෘතියක් (Doctrine) ගොඩ නගන්නේ කෙසේද යන්න ගැන පවා අදහස් දැක්වීමට උනන්දුවේ. 

එවැනි ආකෘතියක් මත පදනම්වෙමින් ලංකාවේ ජනාධිපතිවරුන් සිය ධූරකාලය තුල කටයුතු කල ආකාරය විමර්ශනයට ලක්කලොත් සිරිසේන ජනාධිපතිවරයාට හිමිවනුවේ නොවැදගත් තැනකි. ඒ ඔහු සිය ධූරකාලය තුල කිසියම්ම හෝ තීරණාත්මක ප්‍රතිපත්ති සමුදායක් තීරණාත්මකව ක්‍රියාත්මක කිරීමට සමත්වුවෙක් නොවෙන නිසාය. කිසියම් හෝ දේශපාලන ගොඩනැගීමක් හෝ ප්‍රවර්ධනයක් (ජනාධිපතිධුරයේ බලතල අඩුකිරීම /19වෙනි ව්‍යවස්ථා සංශෝධනය) ඔහු සිය ධූරකාලය තුල අත්කරගත්තේ නම් එයද පසුගිය වසරේ (2018) ඔක්තෝබර් 26දිනෙන් පසු නැතිකරගත්හ. ඒ අනුව සම්පුර්ණ ධුරකාලය දැරූවෙකුවුවද සිරිසේන ජනාධිපතිවරයා ඇතැම් විට පසුවනුවේ අනුප්‍රාප්ත ජනාධිපතිධූරයක් දැරූ විජේතුංග ජනාධිපතිවරයාටත් වඩා පසු ස්ථානයකය. 

අඩුම තරමින් සිරිසේන ජනාධිපතිවරයා හෝ ඔහුගේ උපදේශකයින් අවධානය යොමුකලේ මේම නිදහස් දින උළලේදී රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට සිය ධූරකාලය තුල කිරීමට අපේක්ෂා කල නමුත් එසේ කිරීමට නොහැකිවුවද, එහෙත් සිදුකල යුතුයැයි මතුකළ හැකි කරුණු සමුදායක් මෙම නිදහස් දින උළෙලේදී ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කරගැනීමට තිබුණි. නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී ජයගතහොත් මිස මේ වසරේ සිය ධූරකාලය අවසන්වෙන සිරිසේන ජනාධිපතිවරයාට නිදහස් දිනය මෙන් සුවිශේෂී අවස්ථාවක් රාජ්‍ය නායකයෙකු ලෙස ඔහුට නැවත හිමි නොවනු ඇත. එහෙත් ඉන් උපරිම ප්‍රයෝජනයක් ගනුවෙනුවට ඔහු සිදුකල අසංකූල නිදහස් දින කථාවෙන් ඔහුගේ මෙන්ම රජයේ ව්‍යාකූලභාවයද, සිය දේශපාලන ගමනේ අනනුකූලභාවයේද ප්‍රදර්ශනය කළේය. 

නිදහස් දිනය සිය දේශපාලන ජීවිතයේ අභිලාෂයන් මෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අවශ්‍යතාවයන්ද එකට කැටිකර ගනිමින් යම් ආකාරයක ප්‍රතිපත්ති ආකෘතියක් (Doctrine) සමාජ ගතකිරීමට ගත් විශිෂ්ඨ උත්සහයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේදී දැකගත හැකිවිය. ඒ 1998 යෙදුන ශ්‍රී ලංකාවේ 50වෙනි නිදහස් දිනයේදී ඇය සිදුකල කථාවය. ඉන් උපුටාගත් කොටසක් පහතින් පලකරමි. 

‘When we commenced our tryst with destiny, half a century ago, the task ahead of us was daunting. I dare say, 50 years is but a brief moment in our history of over 2500 years. 

Yet it is well enough time, for a nation, to attain political maturity and to formulate and implement systems to strengthen its nationhood, uniting all the peoples living within it, whilst ensuring its territorial integrity and to have attained economic and social advancement, in order that the newly won political freedom transform itself into a full freedom for its peoples - freedom from fear, from poverty, from ignorance, from disease and most of all freedom to be equal and live with dignity and self-respect........... 

We can be justly proud of our successes in building strong and democratic forms of government, honest and transparent systems of governance, and our achievements in education and health, where Sri Lanka is placed high among the developing nations are well known.......... 

We have failed in the essential task of nation-building. We have meandered and faltered along the path, whilst our neighbors in Asia and many other countries have forged strong and United Nations in which peoples of various communities of race, religion, and language live in harmony. The search for the causes and the apportioning of blame for this situation may be assigned to the historians.'' 

Former President Chandrika Bandaranaike Kumaratunga’s speech at 50TH anniversary of Sri Lanka’s independency 04/02/1998 

මෙම කථාව මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනාධිපතිවරුන්ද නිදහස් දින උළෙලවලදී සිදුකර ඇති කථා පිලිබදව සැලකිල්ලට ගතහොත් සිරිසේන ජනාධිපතිවරයා මේ වසරේ නිදහස් දින උළෙලලේදී සිදුකල අසංකූල කථාව තුල ඔහු ප්‍රදර්ශනය කලේ ඔහුගේ මෙන්ම රජයේ ව්‍යාකූලභාවය මෙන්ම සිය දේශපාලන ගමනේ අනනුකූලභාවය පමණක් බව පැහැදිලි වනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
05/02/2019