Friday, 8 February 2019

ආරාබියේ ආගමික නිදහස සහ ලෝකයේ ආගමික නිදහස

2018 වසරේ අගෝස්තුවේ අපි අබුඩාබි මෙන්ම ඩුබායි රටවලටද ගිය නමුත් පාප්තුමා එම කලාපයට එන වගක් ගැන කිසිම සදහනක් හෝ සටහනක් නොවිණි. අබුඩාබියේ පිහිටි දේවස්ථාන දෙකම නැරබීමට ගියද පාප්තුමාගේ ගමන ගැන කිසිම දැන්වීමක් එහි නොදක්නට නොතිබිණි. අරාබි කලාපයේ කතෝලික තරුණ හමුවක් එම වසරේ (2018) ඔක්තෝම්බරයේ පවත්න බව සදහන් පෝස්ටර් සහ බැනර් නම් දැකීමට හැකිවිය. කලාපීය තරුණ හමුවක් පැවැත්වීමට තරම් කතෝලිකයන් පිරිසක් අරාබියේ සිටීද යන්න මගේ විමතියට ලක්විය.
ඇත්තවශයෙන්, ඉන්දියාවේ ගෝවේ, කේරලය ආදී ප්‍රදේශවලින්ද, පිලිපීනය, ලංකාව ආදී රටවලින්ද, ලෝකයේ වෙනත් රටවලින්ද පැමිණි කිතුනුවන් එම කලාපයේ සේවය කලද අරාබි කලාපයේ කිතුනුවන් වෙසෙන්නේ අල්පයකි. එම අල්පයට පමණක් නොව එම රටවලට පැමිණ සේවය කරන්නන් හටද ඇතැම් අරාබි රටවල සිය ආගම් ඇදහීමට ඉඩ ප්‍රස්ථා හිමි නොවන බව කියවේ. එහෙත් ඊට වඩා වැඩි ඉඩක් අබුඩාබි රාජ්‍ය තුල විවෘතව ඇති බව පාප්තුමාගේ සංචාරයෙන් පැහැදලිවම තහවුරු කර ඇත. එහි ඇති පල්ලිවලට අමතරව පන්සල් සහ හින්දු කෝවිල්ද ඇති බව මට ඇසීමට ලැබුණි. ලාංකීකයන් බහුලව යන අබුඩාබි පන්සලේ පොසොන් පෙරහැරක් මෙන්ම වෙසක් උත්සවක්ද පැවැත්වූ බව ඇසීමට ලැබුණි. හින්දු සහ සීක් ආගමීක උත්සවද පවත්වන බවද ඇසුවෙමි. එමෙන්ම විදේශිකයන්ට අවශ්‍ය ආහාර - පාන ආදිය ලබාගතහැකි වෙළද සැල් තිබුණි.

අබුඩාබියේ පමණක් නොව අරාබි කලාපයේ අනෙක් රටවලද පල්ලි-පන්සල්-කෝවිල් තිබෙන බවද ඇසීමට ලැබිණි. අබුඩාබි දේශයට පාප්තුමාගේ පැමිණ ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වුවද, අරාබි කලාපයේ ස්ලාම් ආගම හැර සෙසු ආගම් ඇදහීමට ආගමික නිදහසක් හිමි නොවන බව පොදු පිළිගැනීමය. එහෙත් ආගමික නිදහසක් නැත්තටම නැති බවක් ඉන් නොකියවේ. අරාබියේ පමණක් නොව ලෝකයේ බොහොමයක් අනෙක් රටවලද ආගමීක නිදහස ඇත්තේ අඩු - වැඩි වශයෙනි. බහුආගමීක රටක් ලෙස ආගමීක නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරුකර ඇති ඉන්දියාවේ පවා ක්‍රිස්තියානි ජනයාට වදහිංසා අත්වන බව වාර්තා වේ. 

පැහැදිලිවම ලෝකයේ බොහෝ රටවල ආගමීක නිදහස ඇත්තේ අඩු-වැඩි වශයෙනි. මෙහිදී ආගමික නිදහස යනු ඕනෑම ආගමක් ඇදහීමට ඇති නිදහස පමණක් නොව ඕනෑම ආගමක් අදහා නොසිටීමටද ඇති නිදහසද ආගමීක නිදහස ලෙස අර්ථ ගැන්වෙන බව දැක්විය යුතුමය.

එවැනි ආකාරයේ ආගමික නිදහසක් ඇත්තේ යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල පමණක් යැයි බොහෝ අවස්ථාවල කියවේ. උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදිය යුරෝපීයන්ගේ සංක්‍රමණ පදනම මත ගොඩනගන ලද රටවල්ය. විශේෂයෙන්ම යුරෝපීන් උතුරු ඇමරිකාවට වැඩි වශයෙන් සංක්‍රමණයවුයේ යුරෝපයේ ආගමීක යුද්ධ උත්සන්නවූ සමයේය. අද යුරෝපයේ ආගමීක නිදහස ඇතිවීමට පෙර 1517 සිට දියත්වූ ප්‍රොතෙස්තන්ත්‍ර ආගමීක ප්‍රතිසංස්කරණ නිසා කතෝලිකයින් සහ ඔවුන් අතර වසර 300 පමණ දිව ගිය යුද්ධ මාලාවක් විය. යුරෝපයේ ආගමික නිදහස ගොඩනැගෙන්නේ එම ලේවැගිරීම්වලින් හෙම්බත්වූ යුරෝපීන් ආගමික නිදහස වෙනුවෙන් කල අරගලවල ප්‍රතිපල නිසාය. 

ඒ අනුව ආගමික නිදහස යනු දීනාගත යුත්තක් මිස ජන්මයෙන් උරුම නොවන්නකි. එය රාජ්‍ය සම්බන්දයෙන් මෙන්ම පුද්ගලයා සම්බන්දයෙන්ද එකසේම බලපාන්නකි. 


මාකස් ප්‍රියන්ත පෙරේරා. 
08/02/2019

No comments:

Post a Comment