Wednesday, 18 May 2016

සැමරීය හැකි යුද්ධ ජය යනු කුමක්ද?

මිනිස් ජීවිත  දසදහස් ගනනින් බිලිගත්, මරණ බයෙන් ජීවත්වූ යුගයක් අවසන්කල තිස්වසරක  යුද්ධයේ නිමාව ශ්‍රී ලංකීක අප සියල්ලන්ට වැදගත්ය. එය අප සියල්ලන්ටම මහත් සැනසිල්ලකි. නැවතත් එවැනි සමයක් අප කිසිවෙකුට අවශ්‍ය නැත. අපට අවශ්‍යවන්නේ මේ සැනසිල්ල දිගටම පවත්වාගෙන යෑමටය. 

එහෙත් වරින්වර කොටි පිළිබදව, බෝම්බ සොයාගැනීම් පිලිබදව, යුද්ධය මෙහෙයවූ නායකයන් සහ රණවිරුවන් සම්බන්ධ පුවත් ඇසෙනවිට, උතුරු පළාත් සභාවේත්, දෙමළ සංධානයේත්, තමිල්නාඩුවේන් විවිධ කථා ඇසෙන විට, පෙඩරල් ඉල්ලිම් නැවත නැවත මතුවනවිට, යුද්ධය නිමවා ලබාගත් සැනසීම පහව යන්නේ නිමේෂයකිනි. භීතියේ අනතුරුදායක සෙවනැල්ල  රටක් සහ ජනතාවක් ලෙස තවදුරටත් අප පසුපස හබා ඒම පහව ගොස් නැත. ඉන් අදහස්වුයේ යුද්ධය අප සිත්වලින් තවමත් සම්පුර්ණයෙන්ම පහව නොයෑම පමණක් නොව නැවත යුද්ධයක් ඇතිවේදෝයි යන සැකයද අපේ සිත්වලින් කිසිසේත්ම පහව නොයෑමය. 

මෙය දීර්ඝකාලීන සිවිල් යුද්ධයක් අවසානයේ සමාන්‍යයේන් දැනෙන තත්වයක්යැයි  කිසිවෙකුට තර්කකල හැක. එහෙත් කෙටි කාලයක් පැවැති ඇමරිකානු සිවිල් යුද්ධය (1861-64) සහ එංගලන්තයේ (1625-41) පැවති දීර්ඝ සිවිල් යුද්ධ ගැන  Charles Tilly (2003) ගේ 'The Politics of Collective Violence' හී සිද්ධාන්ත ඇසුරින් සලකා බැලුවිට පෙනී යනුවේ 'යුද්ධය වැනි සංවිධානාත්මක සාමුහික හිංසනයට පැවැත්ම ඇත්තේ එහි අවශ්‍යතාවය නොනැසී පවතින තාක්කල්' පමණි යන්නය.  

එය 'යුද්ධය යනු දේශපාලනයේම වෙනත් විධියක්' යැයි ('War is the continuation of politics by other means') සදහන්කල Carl von Clausewitz නිගමනය නැවතවතාවක් යථාවත් කිරීමකි.  

දේශපාලනය මෙන්ම යුද්දයද භාවිත අර්ථයෙන්ම හිංසාකාරීය, කෲරය, මොනයම්ම ආකාරයෙන් හෝ මෙලෙච්චය. LTTE මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුද යුද්දකලේ දේශපාලන අරමුණක් වෙනුවෙනි. ඒහින් යුද්දය යනු දෙපාර්ශවයේම දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරන මාදිලියක් විය.  ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දේශපාලන අරමුණ ගැන මීට පෙරද ලියා ඇත (එය මෙතැනින් කියවිය හැක). 

යුද්ධයේ අරමුණ 'සතුරාව විනාශ කිරීම' නම්වූ සරල අර්ථයකට වඩා දීර්ඝවුවක් බව Clausewitzගේ අදහසය.
  1. සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීම හෝ,
  2. වෙනත් කොන්දේසි පිළිගැනීම සදහා සතුරාට බලකිරීම හෝ,
  3. අත්කරගත් භූමිය දිගටම පවත්වාගෙන යෑම හෝ,
  4. ආක්‍රමණිකයා සමග කේවල් කිරීම, යුද්ධයේ අරමුණු ලෙස Clausewitz විස්තර කරයි. 
ඉහත කරුණු ඇසුරින්වුවද ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ විවිධ අවධීන් විග්‍රහකල හැක. උදාහරණක් ලෙස චන්ද්‍රිකාගේ ආණ්ඩුව සහ LTTEය අතර පැවති තුන්වන ඊළාම් යුද්ධයේ මුලික අරමුණ ලෙස බොහෝදුරට සලකනුයේ 'වෙනත් කොන්දේසි පිළිගැනීම සදහා සතුරාට බලකිරීමය'. ශ්‍රී ලංකාවේ ආණ්ඩු පැත්තෙන් දියත්වූ යුද්ධ බොහෝදුරට 'වෙනත් කොන්දේසි පිළිගැනීම සහ අත්කරගත් භූමිය දිගටම පවත්වාගෙන යෑම' යන්න පදනම් කරගෙන දියත්වූ බව පෙනෙන අතර LTTEය පැත්තෙන් දියත්වූ යුද්ධ බොහෝදුරට 'ආක්‍රමණනිකයා සමග කේවල්කිරීම සදහා හෝ එසේ කේවල්කිරීම සදහා පසුබිම සකසාගැනීමට සිදුකල බව දක්වයි. 

සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීම LTTEය පැත්තෙන් කිසිසේත්ම කල නොහැක්කක්වූ බව පැහැදිලිය. 

එහෙත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් එය කල හැකිවිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය 2009 මැයි 18 කර පෙන්වීය. එහිදී සිදුවුයේ LTTEය සතුරා  ලෙස  හදුනාගෙන සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීමය. එහෙත් යුද්ධය වැනි සංවිධානාත්මක සාමුහික හිංසනයට ඇති අවශ්‍යතාවය, ඒ සදහා ඇති අවකාශය එයින් පහවගොස් නැත. ඒ දෙමළ ජාතිකවාදීන්ට අනුව LTTEය යනු දෙමළ ජනයාගේ දේශපාන අභිලාෂයන් ප්‍රවාහනය කල එක් වාහනය පමණක්  නිසාය.   

එහින්, භීතියේ අනතුරුදායක සෙවෙනැල්ල අපගෙන් තවමත් සම්පුර්ණනයෙන්ම පහව ගොස් නැතිමුත්,   යුද්ධ ජයග්‍රහණය යනුවෙන් අප සමරන්නේ කුමක්දැයි සලකා බැලීමේදී පෙනීයනුවේ එය මිනිස් ජීවිත  දසදහස් ගනනින් බිලිගත්, මරණ බයෙන් ජීවත්වූ යුගයක ඒක අවසානයක් බවය. අනෙක් අතට දෙමළ ජාතිකවාදී (Tamil Nationalism) මෙන්ම ඊට ප්‍රතිපක්ෂ සිංහල-බෞද්ධ ජාතිකවාදී (Sinhala - Buddhist Nationalism) ව්‍යාපෘතියද සැබෑ සතුරන් ලෙස ක්‍රියාත්මකව යුද්ධ භීතියේ අනතුරුදායක සෙවෙනැල්ල අප වෙතින් ඉවත්ව යෑමට ඉඩනොදී එකසේ බැදතබා ගැනීමට වෙරදරමින් සිටී.

අද අපටද, අපේ රටටද  අවශ්‍යවන්නේ යුද්ධය යනු දේශපාලනයේම තවත් මෙලෙච්ච දිගුවක්යැයි අවබෝධකරගෙන තිස්වසරක් තිස්සේ බැටකෑවේද, මියගියේද, අබාධිතයන්වුයේද, අනාථයන්වූයේද මුළුරටේම මිනිසුන් බව සමරන දිනයක්, මාසයක්, කාලයක්, මනසක් මිස දකුණේ මිනිසුන් උත්සවශ්‍රියෙන් යුද්ධ ජය සමරනවිට උතුරේ දහස්ගනනක් මිනිසුන් විලාපදෙන දිනයක් නොවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/15/2016.

8 comments:

  1. අපේ සම හරක් මිනිස්සු තවමත් ඉන්නේ එක්දාස් අටසිය ගණන් වල මානසිකත්වයෙන්, ඒ මිනිස්සු දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් සම අයිතිවාසිකම් තියෙනව කියල පිළිගන්ඩ කැමති නෑ.මේකට නිසි පිළියමක් යෙදුවේ නැත්නම් නැවතත් උතුරේ යුද්දයක් ඇති වේවි, දකුණේ 71න් පසු 88වුණා උනා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව්,මේක කාලාන්තරයක් පුරා තියෙන ප්‍රශ්නයක්, ස්ථීර විසදුමක් දෙන්න ඕනෑ.

      Delete
  2. Atthatama api prabhakarange maranaya arthal ekak karaganne eyi. wijeweerata venama salakanne eyi, Prabhakaran demaleku nisa bhava mage hangeemai.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි කරන්න ඕනෑ ප්‍රශ්නය ඉවරකරන එකයි, ප්‍රශ්නය තියෙද්දි නායකයෝ ඉවරකරපුවහම ඒ අය වීරයෝ වෙනවා. ප්‍රශ්නය ඉවරකරපුවහම ඒවා මතුකරපු, ඒවාට නායකත්වය දුන් අයට පැවැත්මක් නැතිවෙනවා.

      Delete
  3. මේවා ගැන කියනකොට කුණුහරුප කියාගෙන, කඩු පොලු උස්සගෙන එන කස්ටියනේ ඉන්නේ අපේ රටේ. කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ලේ ම තමයි ඉල්ලන්නේ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙනස්වෙයි අනුර, ඒ අයත් වඩා යහපත් දේ තේරුම්ගනියි. හැබැයි කවදාද කියන්න දන්නේ නැහැ.

      Delete
  4. ලංකාවේ දෙමළ ජාතිවාදය තමිල්නාඩු ජාතිවාදය හා සම්බන්ධ නොවීම අහම්බයක් නෙවෙයි. මන්ද මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා බැඳුනු එකක්. මේ ගැන නලීන් ද සිල්වා මහතා කරුණු දක්වා ඇති නිසා නැවත කීමේ අවශ්‍යතාවක් නෑ.
    බ්‍රිතාන්‍ය බලපෑම නිසා සිංහලයන් අතර සිංහලයන්ට හානිකර මත 3ක් පැතිරුනා.
    1. සුද්දො එන්න කලින් අපි හිටියෙ කොළ අතු ඇඳගෙන.
    2. සුද්දො ආවෙ නැත්නම් අපි තාමත් කොළඅතු ඇඳගෙන.
    3. අපේ සිංහල මිනිස්සු වගේ නෙමෙයි දෙමළ අය හරිම (උසස්/ හොඳ/ දක්ෂ/ බුද්ධිමත්/ කඩිසර) මිනිස්සු වර්ගයක්. (සුද්දො ලඟට ඉන්න උසස්ම මිනිස්සු වර්ගය)

    මෙයින් මුල් අදහස් 2 ගැන ප්‍රමානවත් විවේචන තිබුනත් තුන්වෙනි කරුණ නිසි ලෙස සාකච්ඡා වී නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතනදී සම්පුරණයෙන්ම සිදුවී ඇත්තේ පෞද්ගලික ඇගයුම් මතසිට නිගමනයකට එලබීම නෙමේද ? කවුද දෙමළ මිනිස්සු ඒ අය සුද්දො වගේ කියලා කියන්නේ, සිංහලයන් ඔවුන් තරම් කඩිසර නැහැ කියන්නේ? ඒවා සියල්ල පෞද්ගලික ඇගයුම් මතසිට එළබි නිගමන මිසක්. සත්‍යකරුණු ලෙස සැලකිය යුතු නැහැ නේද ජගත්!!!

      Delete