Sunday, 29 May 2016

මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්

බොහෝදුරට සිංහල සිනමා වංශ කථාව තුල වැඩි ඇගයීමකට ලක් නොවුනද සිංහල සිනමාව බිහිවූවේ මීගමූවෙනි. ඒ මීගමුවේ මිනර්වා (Minerva) නාට්‍ය කණඩායමේ මුලික දායකත්වයෙනි. එඩී ජයමාන්න, B.A.W. ජයමාන්න, රුක්මනී දේවී, හියුගෝ ප්‍රනාන්දු, විජිත මල්ලිකා, ඇන්ටන් ග්‍රෙගරි, ඇන්ඩෘ ජයමාන්න, ලැටීෂියා පීරිස්, ආදීන් පමණක් නොව රන්ජන් රාමනායක, නයනි මහේෂිකා සහ කාංචනා මෙන්ඩිස් වැනි නව පරපුරේ නළු නිළියන්ද, මුල් යුගයේ අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකයින්, ගීත රචකයන්, කැමරා ශිල්පීන්, කලා අධ්‍යක්‍ෂවරුන්, වේශ නිරූපන ශිල්පීන් ආදී මෙකී නොකී බොහෝ සිනමා ශිල්පීන් බිහිවුයේ මීගමුව ඇසුරිනි. නාට්‍ය, නැටුම්, සංගීත, චිත්‍ර, සහ සිනමා යන ක්ෂේත්‍රවල  ජයකෙහෙලි නැන්වූ මීගමුවේ  ශිල්පීන් ගැන යම් යම් වාර්තා, ලිපි ලේඛන සහ පොතපත යම් ප්‍රමාණයක් පලව ඇත. ඒ අතර මීගමූවේ සිනමා ශිල්පීන් ගැන පමණක් දැනට පොත් 11ක් පමණ නිකුත්ව තිබේ. එමගින් සිංහල සිනමාව තුල මීගමූ ශිල්පීන්ගේ දායකත්වය කෙතෙක්ද යන්න පිලිබදව යම් තක්සේරුවක් සපයන බව නිසැකය. මීගමූවේ  සිනමා ශිල්පීන් සම්බන්ධයෙන් මෙන්ම මීගමුවේ විවිධ පළාත්, පල්ලි, පන්සල්, කෝවිල් සහ පාසැල් ගැන වෙනවෙනම ලිවීමට අදහස් කරන බැවින් එය පසුවට ලිවීමට කල්තබමි.

කෙසේවුවද, මීගමුවේ සිනමාශාලා මෙන්ම විශේෂයෙන්ම මීපුර සිනමාහල පිලිබදව වෙනම සලකා බැලීම වැදගත්ය. ඒ මන්දයත් එය එක් ආකාරයකින් මීගමුව නගර ඉතිහාසය ගැන  එක සිරස්කඩක් හෙළිකරන එක් සුවිශේෂ ස්තම්භිකයක් (Columnar) වන්නේ යැයි මට සිතෙන බැවිනි.    
විශේෂයෙන්ම,  එඩී ජයමාන්න, B.A.W. ජයමාන්න, රුක්මනී දේවී, හියුගෝ ප්‍රනාන්දු ආදීන් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ස්ථාපිත කිරීමත් සමග ඔවුන් අනුව යමින් එහි දෙවනපෙළ සිනමා ශිල්පීන් පිරිසක් මීගමුවෙන්ම බිහිවීමට අවශ්‍ය සිනමාව ගැන  උනන්දුව, ආශාව සහ උත්තේජනය ජනිත කිරීමෙහිලා මීගමුවේ එකවට පැවති සිනමාහල් සහ එහි තිරගතවූ චිත්‍රපට විශාල වශයෙන් ඉවහල්වු බව  2012 වසරේදී බන්දුල කේ. ආරියපාල විසින් ලියූ ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ නම් කෘතියේ සදහන්වේ. 

එහි විස්තරවලට අනුව ඇන්ටන් ග්‍රෙගරි පාසල් යන අවදියේදී සිය පියා දුන් මුදල්වලින්  මීගමුවේ පැවැති මීපුර සිනමා ශාලාවේන් 'ශ්‍රී 420' බලා රාජ් කපූර් සහ නර්ගිස්ට වසඟවූ බවත්, මීගමුවේ  ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාවේන් එම්. ජී. රාමචන්ද්‍රන් රඟපෑ ‘අලි බබා හා හොරු හතළිහ’ බැලූබවත්, 'රාජ්' සිනමාහලේදී ශිවාජි ගනේෂන් හා සරෝජා දේවි රඟපෑ ‘පාලුම් පළරුම්’ චිත්‍රපටය ද,  'රීගල්' සිනමාහලේදී ‘කැලෑ හඳ’ චිත්‍රපටද  බැලූ බවත් දක්වයි.  ඔහුට මෙන්ම ඔහුගේ මිතුරන්ටද සිනමා ශිල්පීන්වීමේ උවමනාවක් ජනතකලේ මේ ආකාරයෙන් මීගමුවේ චිත්‍රපටි ශාලාවල පෙන්වූ චිත්‍රපටි ඇසුරෙන් යැයි දක්වා තිබේ.

ඒ අනුව සිංහල චිත්‍රපටි කර්මාන්තයේ මුල් යුගයේදීම මීගමුව තුල  සිනමාශාලා 04 බිහිවී ඇත. 'සිලෝන් තියටර්ස්' ආයතනයට අයත් මීගමුව නගර මාධ්‍යයේ පිහිටි රීගල් සිනමාහල ඉන් එකකි. එහෙත් එය ආරම්භයේදී හදුන්වා ඇත්තේ අශෝකමලා සිනමාහල ලෙසය. ඒ ඒහි මුලින්ම තිරගත කල  චිත්‍රපටිය අශෝකමලාවීම නිසාය. මාස ගනනාවක් යනතුරු එම චිත්‍රපටිය එහි තිරගතව ඇත.  එවකට වැඩිපුරම ද්‍රවිඩ චිත්‍රපටි පෙන්වූ මීගමුවේ සිංහල චිත්‍රපටි රසිකයන් පිරිසකට තිබිරිගෙය වුයේ මෙම රීගල් සිනමාහලය. කලක් රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව යටතේ පාලනයවූ මීගමුව රීගල් සිනමාහල එතෙක් දෙමළ චිත්‍රපටි නැරබීමට වැඩි පෙළගැස්මක් තිබු මීගමූ නගර තුල සිංහල චිත්‍රපටි නරබන්නන්ගේ හදවත බවට 1970 දශකයේ අගභාගයවනවිට පැමිණි තිබුණි. මීගමුවේ  තිරගතකල සියළුම සිංහල කලාත්මක චිත්‍රපටිවල අලුත්ම නිකුතුවත්, ඉංග්‍රීසි චිත්‍රපටිත්  මෙම රීගල් සිනමා ශාලාවේ තිරගතවිය. 
මෙලෙස වර්ධනයවෙමින් පැවති මීගමුවේ සිංහල චිත්‍රපටි රසිකයන්ගේ ඉල්ලුම ඉටුකිරීමට ඊළගට ඉදිරිපත්වුයේ මීගමුව කම්ච්චෝඩයේ පිහිටි ‘නඩරාජා ටෝකීස්’ සිනමා ශාලාවය. දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය, තමිල්නාඩුවේ සිට පලකල, එවකට ප්‍රධානතම සිනමා සඟරාවක්වූ 'පේසුම් පඩම්' (Pesum Padam) සඟරාවේ මීගමූ වෙළද නියෝජිතයාවූ මහ වීදිය පල්ලිය අසල තිබූ ‘චන්ද්‍ර විලාස්’ හෝටලයද අයත්ව තිබී ඇත්තේද ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාව අයත්ව තිබූ පවුලේ අයටමය. ඇන්ටන් ග්‍රෙගරිලා පමණක් නොව ඔවුන්ගේ සමවයසේ සිටි බොහෝදෙනෙකුට එම්. ජී. රාමචන්ද්‍රන්ගේ චිත්‍රපට බොහොමයක් දැකගත හැකිවුයේ මෙම ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාවේය. පසුකලක මීගමුව සා. මරියා විදුහලේ සේවය කල, හිටපු මීගමු  මන්ත්‍රී ජෝන් රොද්‍රිගු මහතාගේ බෑනා කෙනෙකුවූ, කිංස්ලි කෲස් මහතා මෙම ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාව බැංකු ණයක් මගින් මිලට ගෙන එය 'මීගමුව කිංග්ස්' සිනමා ශාලාව ලෙස නම් කරනලදී. මෑතකදී එය වසාදමන තුරුම ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාව හැදින්වුයේ 'මීගමුව කිංග්ස්' සිනමා ශාලාව ලෙසය. මීගමුව රීගල් සිනමා ශාලාව සිංහල කලාත්මක චිත්‍රපටි වැඩිවශයෙන් ප්‍රදර්ශනය කරනවිට 'හදයා' වැනි වෙනත් ජනප්‍රිය සිංහල චිත්‍රපටිද, දෙමළ සහ හින්දි චිත්‍රපටි කොපිකර තැනූ ජනප්‍රිය සිංහල චිත්‍රපටද වැඩි වශයෙන් ප්‍රදර්ශනය කලේ මෙම ‘නඩරාජා ටෝකීස්’ හෙවත් 'මීගමුව කිංග්ස්' චිත්‍රපටි ශාලාවේය. එහෙත් විටින් විට, දෙමළ මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටිද එහි දිගින් දිගටම තිරගතව ඇත.

කෙසේවුවද, මීගමුවේ දෙමළ සහ ඉංග්‍රීසි චිත්‍රපටි සදහා වඩා ප්‍රසිද්ධියක් දරාඇත්තේ  මීගමූව 'රාජ්' සිනමාහලය. මෙම සිනමාහල අයත්ව තිබී ඇත්තේ සුප්‍රකට රජයේ කොන්ත්‍රාත්කරුවෙකුවූ, මීගමුව විජයරත්නම් විදුහල අසල පදිංචිව සිටි,  S.B. මුත්තයියා මහතාගේ පුත්‍රයෙක්වූ ඇන්ඩෘ මුත්තයියා මහතාටය. පසුකලක   S.B. මුත්තයියා මහතා කදානේ පිහිටි නායගම් චිත්‍රාගාරය මිලදීගත් අතර  නායගම් නමින් දිගටම  චිත්‍රපටි නිෂ්පාදනය කලේ ඔහුය. ජාතිවාදීන් සහ අවස්ථාවාදී මංපහරන්නන් විසින් 1983 කළු ජුලියේදී ගිනිතබා විනාශකරනතුරුම මීගමුවේ තිරගතකල බොහොමයක් දකුණු ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටි මුලින්ම දැකගත හැකිවුයේ  මීගමුවේ මෙම 'රාජ්' සිනමාහලේදීය.  

මීගමුවේ පිහිටි හතරවැනි සිනමාහලවුයේ මීපුර සිනමා ශාලාවය. එය සිනමාශාලාවක් නොව මීගමුවේ පැවති පැරණිතම නගරශාලාවය. 1878දී පිහිටවූ මීගමුව දිස්ත්‍රික් නාගරික කවුන්සිලය (Negombo District Urban Council) විසින් 1920දී   ඉදිකර ඇති එය 1901-10 අතර කාලයේ බ්‍රිතාන්‍ය රජකල හත්වන එඩ්වඩ් (Edward VII) රජගේ යුගයේදී ජනප්‍රියවූ එඩ්වටෝරියානු ගෘහනිර්මාණ ශිල්පය ( Edwardian Architectural Style) අනුව ඉදිවූවකි. මෙම සටහනේ එන මුල්ම ඡයාරූපය මීපුර ශාලාව ඇසුරින්වුවද එම ගෘහනිර්මාණ ක්‍රමයේ හැඩරුව මතුකරයි. 1922 ජනවාරි 04 දිනට යෙදී තිබු මීගමුව දිස්ත්‍රික් නාගරික කවුන්සිලයේ (Negombo District Urban Council) පනස්වන(50) සංවත්සරය පවත්වා ඇත්තේ  මෙම අභිනවයෙන් ඉදිකල 'මීපුර' නගරශාලාව තුලය.   තවද 1940 ජනවාරි 13 දිනදී රටේ ප්‍රධාන නාගරික කලාප 05න් එකක් ලෙසට මීගමුව  නාගරික කලාපය (Urban Council) නම් කිරීමේ නිල උත්සවයද, 1948න් පසුව මීගමුවේ පාසැල්වල දරුදැරියන්ගේ සහභාගීතත්වයෙන් මීගමුව කොටුව පිටියේ පවත්වා ඇති සෑම නිදහස් දින උත්සවයකටම පහසුකම් සපයන්නා ලෙස කටයුතු කර ඇත්තේද මෙම මීපුර පුරහලය. එහෙත්, 1962 ජුනි 02දින මීගමුව මහ නගරසභාව විසින් මීගමුව තෙල්වත්ත හන්දියේ නව පුරහලක් සහිත නව මහ නගරසභා ශාලා සංකීර්නයකට පිවිසීමත් සමග මීපුර පුරහලක් ලෙස භාවිතාවෙන් ඉවත්වයන ලදී.  

කෙටිකලක් වසා තිබු මීගමූ මහ නගර සභාවට අයත්ව තිබු මෙම 'මීපුර පුරහල' සිනමාශාලාවක් බවට පරිවර්තනය කලේ මීගමූ මහවීදිය පල්ලියට අයත්ව තිබු ස්ටැන්ලි ගොඩනැගිලි සංකීරණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය 'මොහොමඩ් රීෆා' මහතා විසිනි. ඔහු මියයනතුරුම මහත් පරිශ්‍රයකින් පවත්වාගෙන ගිය මීපුර සිනමාහල දකුණු ඉන්දියාවේ ජනප්‍රියතම නළුවන්වූ M.G. රාමචන්ද්‍රන්, සිවාජි ගනේෂන් මෙන්ම විකට ශිල්පියෙකුවූ J. P. Chandrababu යන නළුවන් රගපෑ බොහොමයක් දෙමළ චිත්‍රපටි  මීගමුවේ තිරගත කළේය.  

විකට නළුවෙකුවූ J. P. Chandrababuගේ  චිත්‍රපටි සදහා මීගමුවේ විශාල ඉල්ලූමක් තිබීමට විශේෂ හේතුවක්විය. ඒ ඔහු සිය දෙමාපියන් සමග කලක් මීගමූ වැල්ලවිදියේ පදිංචිව සිටීමය. එය ඔහු නළුවෙක් වශයෙන් තමිල්නාඩුවේත්, සමස්ථ දෙමළ ප්‍රජාවතුළත් ජනප්‍රියවීමට පෙරය. චන්ද්‍රිබාබු හෙවත් Joseph Panimayadas Chandrababu Rodriguez (1927–1974) තමිල්නාඩුවේ මෙන්ම මීගමූවේද මුල්බැසගෙන සිටි පරවර (Paravar) හෙවත් බරත (Bharathar) ප්‍රජාවට අයත්ය. ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ ඔහුගේ ජනමාධ්‍යවේදීයෙකුවූ පියා සමග ලංකාවට පලාආ චන්ද්‍රිබාබුගේ ළමා සහ ගැටවරවිය ගෙවා ඇත්තේ මරදාන සා. ජෝශප් විදුහලේ නේවාසිකාගාරයේ සහ මීගමූ වැල්ලවිදියේ සිය දෙමාපියන්ගේ නිවසේය. තරුණවියේදී නැවත මදුරාසියට ගොස් ප්‍රසිද්ධ නළුවෙකු වූ පසුවත් ඔහු නිතර මීගමුවට පැමිණ සිය නෑසිය මිතුරන් හමුව තිබේ. වරක් ඔහු එසේ පැමිණ ඇත්තේ සිවාජි 
ගනේෂන් සමග බවත් එවිට මීපුර සිනමාශාලාවේ ප්‍රදර්ශනය කරමින් සිට ඇත්තේ 'Veerapandiya Kattabomman' නම් සිවාජිගේ ඉතා ජනප්‍රිය චිත්‍රපටියක් යැයි මීගමුවේ දෙමළ ජනයා අතර ප්‍රසිද්ධ කථාවක්වේ. මේ සම්බන්ද වාර්තා කිසිවක් මට තවම ලැබී නැත. කෙසේවුවද මීගමුවේ ධීවර ප්‍රජාවගෙන් කොටසක් රාත්‍රී 9යට මීපුර ශාලාවේ ප්‍රදර්ශනය කල දෙමළ චිත්‍රපටි බලා මුහුදු රස්සාවේ යෑම පුරුද්දක් කරගෙන සිටිබව මට මතකය. මගේ පියාගේ විස්තරවලට අනුව නම් මීපුර සිනමාශාලාවේ සිට මීගමුව නව තානායම දක්වා වෙරළේ එවකට විදුලි පහන්කණු සිටවා විදුලි පහන් දල්වා තිබේ. එම පහන්කණු ඉතා අලංකාරව නිමවා තිබී ඇති අතර කණුවේ ඉහල මාළුවෙකුගේ හැඩයට නිමකර ඇත. මෙම මාළුවාගේ හැඩය ඇති නිර්මාණ එවකට මීගමුවේ බොහොමයක් පහන්කණුවලද, තවමත් මීගමූ දුම්රිය ස්ථානය ඉදිරිපිටද දැකිය හැක. අද  කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු නතුකරගෙන විනාශකර ඇති එම වෙරල තීරය එකල මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුම ළමාළපටින් පවා කෙලිසෙල්ලම්කල, විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරතිබු සුන්දර වෙරළ උද්‍යානයක්වී තිබුණි. මාගේ පියා සදහන්කල මුදුනත මාළුවෙකුගේ හැඩයෙන් නිමකර තිබු ගරාවැටුනු විදුලිපහන්    කණුවක කොටසක් සහිත ඡයාරූපයක්  මට මෑතකදී සොයාගත හැකිවිය එය  ඉහතින් දැක්වේ. මමද මෙම මීපුර සිනමාහලේ චිත්‍රපටි කිහිපයක් නැරබුවෙක්මි. වරක් සිංහල සිනමාවේ ආදීනතයෙක්වූ හියුගෝ ප්‍රනාන්දු මහතාගේ බාල පුත්‍රයාවූ ප්‍රබල වාමාංශිකයෙක් මෙන්ම මානව හිමිකම ක්‍රියාකාරිකයකුවන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බිරිද ඇතුළු කිහිපදෙනෙකු සමග ත්‍රිමාණ දෙමළ හොල්මන් ළමා චිත්‍රපටියක් නැරබුවෙමි. එය මා නැරබු ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටියය. පහතින් දැක්වෙන ගීතය ඇතුලත් චිත්‍රපටියද මම මීපුර සිනමාහලේදී නරබා ඇත.
එහෙත් ඒ 1990 දශකයේය. අනතුරුව මීගමුව මහ නගර සභාව මෙම ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීමට උනන්දු නොවූ නිසා එය සිනමාශාලාවක් ලෙස හෝ වෙනත් ශාලාවක් ලෙස හෝ කුලියට ගැනීමට කෙනෙක් නොවිනි. පසුව එහි ඉදිරි කොටස අකාලයේ කඩාවැටීමට ලක්විය. මේ සම්බන්දයෙන් මම 2002 වසරදී නිමල් ලන්සා මහතාද දැනුවත් කළේය. එහෙත් එහි ගරාවැටීම වැලක්වීමට කිසිවෙකුට නොහැකිවිය. ගරාවැටුන කොටස කඩා ඉවත්කර දැන් එය මාර්ග සංවර්ධන ඒකකයේ බඩුබාහිර ගබඩාකරන ගබඩාවක් බවට පත්කර තිබේ. සෙසු කොටස් ක්‍රමයෙන් වල් බිහිවෙමින් ඇති එය මීගමූ මහනගර සභාව විසින් නොසලකාහැර ඇති තවත් මීගමුවේ ඉහල සංස්කෘතික වටිනාකමක් ඇති භූමියක් බවට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම,  මීපුර සිනමාහලේ ගරාවැටීම කියාපානුවේ මීගමූ මහ නගර සභාවට සිය මුල්ම නගර ශාලාවවත් රැකගැනීමට නොහැකි බංකොලොත් මහ නගර සභාවක් බවය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/05/16

Sunday, 22 May 2016

ස්වභාවික ව්‍යාසන පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගණන්බැලීම

2014දී බෙල්ජියමේ පිහිටි එක්සත් ජාතීන්ගේ  විශ්ව විද්‍යාලය (United Nations University) විසින් නිකුත්කළ ලෝක අවදානම් දර්ශකයට (World Risk Index 2014) අනුව දියුණුවෙමින් පවතින රටවල්  ලෝකයේ ස්වභාවික ව්‍යාසන සහ අපදා සදහා ඉතා ඉහළ අවදානම් පවතින රටවල් ලෙස දක්වා තිබේ. 

මෙම  ගණන් බැලීමේදී ඔවුන් අවධානය යොමුකල කරුණු 04ක් විනි. ඒවා නම්: 

1.අදාල රට ස්වභාවික ව්‍යාසන සහ විවිධ අනතුරුවලට  කෙතරම් නිරාවරණව පවතීන්නේද යන්න (exposure) ,

2. එම රටේ ග්‍රාහ්‍යතාව  හෙවත් ස්වභාවික ව්‍යාසන හමුවේ  රටක යටිතල පහසුකම්, පෝෂණ තත්වය සහ දිළිදුකම ආදිය කෙතෙක් දුරට අනතුරට ලක්වෙන්නේද යන්න (susceptibility), 

3.ස්වභාවික ව්‍යාසන සහ අපදා තත්වයකට ලක්වූ විට අදාල රට කෙතරම් එම අනතුරට   මුහුණදීමට සහ එය අභිබවා කටයුතු කිරීමට  හැකිද, එය කෙතෙක් දුරට කළමනාකරණය කරගත හැකිද, ඒ සදහා කෙතරම් සුදානමක් තිබේද, අපදා සැලසුම් තිබේද, කෙතෙක් දුරට එම අපදා සැලසුම් ක්‍රියාත්මකව තිබේද යන්න (coping capacity),

4.එමෙන්ම එවැනි අපදා සහ ස්වභාවික ව්‍යාසන තත්වයකින් පසුව එම රට එයට අනුවර්තනයවීමට හෝ උපයෝජ්‍යවීමට ඇති හැකියාව හෙවත් එවැනි තත්වයක් නැවත ඇති නොවීමට හෝ අනාගතයේදී එය අඩුකර ගැනීමට එම රටවලට කෙතක්දුරට හැකියාවක් ඇතිද  (Adaptive capacity) යන්න යන කරුණුය.

මෙහිදී යම් රටක් ස්වභාවික ව්‍යාසන සහ විවිධ අපදාවලට කෙතරම් නිරාවරණව පැවතීන්නේද යන්න (exposure) අඩු කළහැකි කරුනක් ලෙස සලකු නමුත් එය සම්පුර්නයෙන්ම විතැන්කල හැකි කාරණයක් ලෙස සලකා නැත. 

එහෙත් සංවර්ධන ක්‍රියාදාමය ඔස්සේ ග්‍රාහ්‍යතාව (susceptibility), මුහුණදීමේ හැකියාව (coping capacity) සහ උපයෝජ්‍යවීමට ඇති හැකියාව හෙවත් අනාගතයේදී එය අඩුකර ගැනීමට එම රටවලට කෙතක්දුරට හැකියාව ඇත්ද (Adaptive capacity) යන්න ආදිය ඉහළ දැමිය හැකි තත්වයන් ලෙස දක්වන ලදී. තවද එය සංවර්ධනයේ එක මුහුණුවරක් ලෙසද ඉදිරිපත්කර  ඇත. 

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඉහල (High) ස්වභාවික ව්‍යාසන සහ විවිධ ආපදාවලට ලක්විය හැකි රටක් ලෙස සලකන අතර පසුගිය වසර 20ක කාලය පුරාම ශ්‍රී ලංකාව මෙම ඉහල (High) අනතුරුදායක කාණ්ඩයට අයත් රටවල් කොටසේම නතරව තිබෙන බව පෙනීයයි. කෙතරම් සංවර්ධන පුරාජේරු දෙඩුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම පැවැත ඇත්තේ මෙම ඉහල (High) ස්වභාවික ව්‍යාසන සහ විවිධ ආපදාවලට ලක්විය හැකි රටක් ලෙසය.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ නායයාමටත් ගංවතුරටත්, විශේෂයෙන් කොළඹ අවට බොහෝ ප්‍රදේශවිශාල ජලගැලීමකටත් ලක්වී ඇති මේ දිනවල ඉහත එක්සත් ජාතීන්ගේ  විශ්ව විද්‍යාලය නිකුත්කල ලෝක අවදානම් දර්ශකයේ (World Risk Index) කරුණු සලකා බැලීමකින් තොරවවුවද ඇසිය හැක්කේ කෝ මේ ඊනියා සංවර්ධනය යන්න නොවේද ?

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
22/05/16

Wednesday, 18 May 2016

සැමරීය හැකි යුද්ධ ජය යනු කුමක්ද?

මිනිස් ජීවිත  දසදහස් ගනනින් බිලිගත්, මරණ බයෙන් ජීවත්වූ යුගයක් අවසන්කල තිස්වසරක  යුද්ධයේ නිමාව ශ්‍රී ලංකීක අප සියල්ලන්ට වැදගත්ය. එය අප සියල්ලන්ටම මහත් සැනසිල්ලකි. නැවතත් එවැනි සමයක් අප කිසිවෙකුට අවශ්‍ය නැත. අපට අවශ්‍යවන්නේ මේ සැනසිල්ල දිගටම පවත්වාගෙන යෑමටය. 

එහෙත් වරින්වර කොටි පිළිබදව, බෝම්බ සොයාගැනීම් පිලිබදව, යුද්ධය මෙහෙයවූ නායකයන් සහ රණවිරුවන් සම්බන්ධ පුවත් ඇසෙනවිට, උතුරු පළාත් සභාවේත්, දෙමළ සංධානයේත්, තමිල්නාඩුවේන් විවිධ කථා ඇසෙන විට, පෙඩරල් ඉල්ලිම් නැවත නැවත මතුවනවිට, යුද්ධය නිමවා ලබාගත් සැනසීම පහව යන්නේ නිමේෂයකිනි. භීතියේ අනතුරුදායක සෙවනැල්ල  රටක් සහ ජනතාවක් ලෙස තවදුරටත් අප පසුපස හබා ඒම පහව ගොස් නැත. ඉන් අදහස්වුයේ යුද්ධය අප සිත්වලින් තවමත් සම්පුර්ණයෙන්ම පහව නොයෑම පමණක් නොව නැවත යුද්ධයක් ඇතිවේදෝයි යන සැකයද අපේ සිත්වලින් කිසිසේත්ම පහව නොයෑමය. 

මෙය දීර්ඝකාලීන සිවිල් යුද්ධයක් අවසානයේ සමාන්‍යයේන් දැනෙන තත්වයක්යැයි  කිසිවෙකුට තර්කකල හැක. එහෙත් කෙටි කාලයක් පැවැති ඇමරිකානු සිවිල් යුද්ධය (1861-64) සහ එංගලන්තයේ (1625-41) පැවති දීර්ඝ සිවිල් යුද්ධ ගැන  Charles Tilly (2003) ගේ 'The Politics of Collective Violence' හී සිද්ධාන්ත ඇසුරින් සලකා බැලුවිට පෙනී යනුවේ 'යුද්ධය වැනි සංවිධානාත්මක සාමුහික හිංසනයට පැවැත්ම ඇත්තේ එහි අවශ්‍යතාවය නොනැසී පවතින තාක්කල්' පමණි යන්නය.  

එය 'යුද්ධය යනු දේශපාලනයේම වෙනත් විධියක්' යැයි ('War is the continuation of politics by other means') සදහන්කල Carl von Clausewitz නිගමනය නැවතවතාවක් යථාවත් කිරීමකි.  

දේශපාලනය මෙන්ම යුද්දයද භාවිත අර්ථයෙන්ම හිංසාකාරීය, කෲරය, මොනයම්ම ආකාරයෙන් හෝ මෙලෙච්චය. LTTE මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුද යුද්දකලේ දේශපාලන අරමුණක් වෙනුවෙනි. ඒහින් යුද්දය යනු දෙපාර්ශවයේම දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරන මාදිලියක් විය.  ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දේශපාලන අරමුණ ගැන මීට පෙරද ලියා ඇත (එය මෙතැනින් කියවිය හැක). 

යුද්ධයේ අරමුණ 'සතුරාව විනාශ කිරීම' නම්වූ සරල අර්ථයකට වඩා දීර්ඝවුවක් බව Clausewitzගේ අදහසය.
  1. සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීම හෝ,
  2. වෙනත් කොන්දේසි පිළිගැනීම සදහා සතුරාට බලකිරීම හෝ,
  3. අත්කරගත් භූමිය දිගටම පවත්වාගෙන යෑම හෝ,
  4. ආක්‍රමණිකයා සමග කේවල් කිරීම, යුද්ධයේ අරමුණු ලෙස Clausewitz විස්තර කරයි. 
ඉහත කරුණු ඇසුරින්වුවද ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ විවිධ අවධීන් විග්‍රහකල හැක. උදාහරණක් ලෙස චන්ද්‍රිකාගේ ආණ්ඩුව සහ LTTEය අතර පැවති තුන්වන ඊළාම් යුද්ධයේ මුලික අරමුණ ලෙස බොහෝදුරට සලකනුයේ 'වෙනත් කොන්දේසි පිළිගැනීම සදහා සතුරාට බලකිරීමය'. ශ්‍රී ලංකාවේ ආණ්ඩු පැත්තෙන් දියත්වූ යුද්ධ බොහෝදුරට 'වෙනත් කොන්දේසි පිළිගැනීම සහ අත්කරගත් භූමිය දිගටම පවත්වාගෙන යෑම' යන්න පදනම් කරගෙන දියත්වූ බව පෙනෙන අතර LTTEය පැත්තෙන් දියත්වූ යුද්ධ බොහෝදුරට 'ආක්‍රමණනිකයා සමග කේවල්කිරීම සදහා හෝ එසේ කේවල්කිරීම සදහා පසුබිම සකසාගැනීමට සිදුකල බව දක්වයි. 

සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීම LTTEය පැත්තෙන් කිසිසේත්ම කල නොහැක්කක්වූ බව පැහැදිලිය. 

එහෙත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් එය කල හැකිවිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය 2009 මැයි 18 කර පෙන්වීය. එහිදී සිදුවුයේ LTTEය සතුරා  ලෙස  හදුනාගෙන සතුරාව ඓන්ද්‍රික  දේශපාලනික (political organism)  වස්තුවක් ලෙස සහමුලින්ම ඉවත්කර දැමීමය. එහෙත් යුද්ධය වැනි සංවිධානාත්මක සාමුහික හිංසනයට ඇති අවශ්‍යතාවය, ඒ සදහා ඇති අවකාශය එයින් පහවගොස් නැත. ඒ දෙමළ ජාතිකවාදීන්ට අනුව LTTEය යනු දෙමළ ජනයාගේ දේශපාන අභිලාෂයන් ප්‍රවාහනය කල එක් වාහනය පමණක්  නිසාය.   

එහින්, භීතියේ අනතුරුදායක සෙවෙනැල්ල අපගෙන් තවමත් සම්පුර්ණනයෙන්ම පහව ගොස් නැතිමුත්,   යුද්ධ ජයග්‍රහණය යනුවෙන් අප සමරන්නේ කුමක්දැයි සලකා බැලීමේදී පෙනීයනුවේ එය මිනිස් ජීවිත  දසදහස් ගනනින් බිලිගත්, මරණ බයෙන් ජීවත්වූ යුගයක ඒක අවසානයක් බවය. අනෙක් අතට දෙමළ ජාතිකවාදී (Tamil Nationalism) මෙන්ම ඊට ප්‍රතිපක්ෂ සිංහල-බෞද්ධ ජාතිකවාදී (Sinhala - Buddhist Nationalism) ව්‍යාපෘතියද සැබෑ සතුරන් ලෙස ක්‍රියාත්මකව යුද්ධ භීතියේ අනතුරුදායක සෙවෙනැල්ල අප වෙතින් ඉවත්ව යෑමට ඉඩනොදී එකසේ බැදතබා ගැනීමට වෙරදරමින් සිටී.

අද අපටද, අපේ රටටද  අවශ්‍යවන්නේ යුද්ධය යනු දේශපාලනයේම තවත් මෙලෙච්ච දිගුවක්යැයි අවබෝධකරගෙන තිස්වසරක් තිස්සේ බැටකෑවේද, මියගියේද, අබාධිතයන්වුයේද, අනාථයන්වූයේද මුළුරටේම මිනිසුන් බව සමරන දිනයක්, මාසයක්, කාලයක්, මනසක් මිස දකුණේ මිනිසුන් උත්සවශ්‍රියෙන් යුද්ධ ජය සමරනවිට උතුරේ දහස්ගනනක් මිනිසුන් විලාපදෙන දිනයක් නොවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/15/2016.

Sunday, 15 May 2016

තමිල්නාඩු මැතිවරණය සහ දෙමළ ජාතිකවාදය

තමිල්නාඩුවේ ප්‍රාන්ත සභා මැතිවරණය හෙට, එනම් මැයි 16වෙනිදාට යෙදේ. ඒ සමග දකුණු ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද දෙමළ ජනයා අතර දෙමළ ජාතිකත්වය පිළිබදව උනන්දුවක් ඇතිබව පෙන්වන ප්‍රකාශනවලට යම් මාධ්‍ය වටිනාකමක් ලැබී ඇති බවද පෙනේ. 

එහෙත් එලෙස ජාතිකත්වය පිළිබද කතිකාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය තුල  ඉස්මතුවූයේද? එය එසේ වූයේනම් ඒ කෙතෙක් දුරටදැයි යන්න විමසා බැලීමට මම වඩා උත්සුක විය.

එයට එක් හේතුවක්වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් නිතර ජයලලිතා, කරුණානිධි, වයිකෝ හෝ සීමන්ගේ ප්‍රකාශ මාරාන්තික ලෙස හුවා දැක්වීමය. අනෙක නම් ඉංග්‍රීසියෙන් Nationalism ලෙස හදුන්වන විෂය ක්ෂේත්‍ර පිලිබදව ඇති ශාස්ත්‍රීය සහ සමාජ ප්‍රවණතා ගැන ඇති මගේ උන්නදුවයි. Nationalism යන්න සිංහලෙන් ජාතිකත්වය ලෙස මෙන්ම ජාතිකවාදය, සහ ඇතැම්තැන්වල ජාතිවාදය ලෙසද හදුන්වන බව බොහොදුරට දැක ඇත්තෙමි.

කෙසේවුවද,  ඉංග්‍රීසියෙන් Nationalism ලෙස හදුන්වන විෂය ක්ෂේත්‍ර සිංහලට සම්බන්ධකර ගැනීමේදී භාවිතා කරනුයේ ජාතිකත්වයද, නැතිනම් ජාතිකවාදය එසේත් නැතිනම් ජාතිවාදය යන්න පිලිබදව සලකා බැලීමේදී මම සිතනුයේ කීර්ති ආරියදාස විසින් රචිත (2007) 'දේශපාලන විද්‍යාවේ ඉංග්‍රීසි-සිංහල වචන මාලාව' පොතේ දක්වන ලෙස Nationalism යන්න සදහා ජාතිකවාදය(පි.80) යන්න යොදාගැනීම උචිත බවයි. 

මෙවර තමිල්නාඩු මැතිවරණය තුල දෙමළ ජාතිකවාදයක් කෙතෙක් දුරට මතුවුයේද යන්න සාකච්ඡා කිරීමේ දී තමිල්නාඩුව තුල දෙමළ ජාතිකවාදය කෙතරම් මුල්බැසගෙන තිබේද යන්න පිලිබදවද සලකා බැලිය යුතුය. 

Jonathan Hearn (2006), Steve Grosby (2005), John Armstrong (1982), John Hutchinson (1987), Anthony D. Smith (1986), (1991), (1996), (2009), Ernest Renan (1996), මෙන්ම Walker Connor (1994) සහ Eric Hobsbawm (1992) ආදීන්ගේ ජාතිකත්වය පිළිබද ශාස්ත්‍රීය රචනාවල විශ්ලේෂණවන වාර්ගීක සහ ජාතික සුවිශේෂීතාවයන් සහිත වාර්ගික සහ ජාතික ලක්ෂණයන් පදනම්වන ජාතිකවාදී ව්‍යාපෘතින් තමිල්නාඩුවේ දියත්වනුයේ පෙරියර් හෙවත් Periyar E. V. Ramasamy (1879-1973)ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුලය. 

ඉන්දියාවේ  දෙවෙනි විශාලතම ආර්ථිකය මෙන්ම ජනග්‍රහනය අතින් 6වෙනි විශාලතම රාජ්‍යවන තමිල්නාඩුව තුල වෙසෙන අති විශාල බහුතරයක් වන දෙමළ ජනයා අතර තමන් එකම භාෂාවක් කථාකරන, එකම වාර්ගික සහ සංස්කෘතිකට, ඉතිහාසයකට සහ අනන්‍යතාවයකට අයත්,  එකම භූමියක විකාශනය වූ ඒක වාර්ගික පිරිසක්ය යන්න ගැන මුල් අදහස් ඉදිරිපත් කරන්නන් අතර (බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ අවසාන කාලයේදී) පෙරියර් හෙවත් Periyar E. V. Ramasamy (1879-1973)ට විශේෂ තැනක් හිමිවේ. ද්‍රවිඩ කසාගම් (Dravidar Kazhagam) පක්ෂය ආරම්භකල ඔහු හින්දි භාෂාවට එරෙහිව දෙමළ භාෂාව කතාකරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම තුල දෙමළ ජනයා තුල වාර්ගික (ethnic) මෙන්ම ජාතිය (nation) පිළිබද හැගීම්ද වර්ධනය කිරීමට ඔහු සමත්විය. ඒ තුල ඔහු තමිල්නාඩුව තුල හිස එසවූ  නුතන දෙමළ ජාතිකවාදයේ අධිකතෘවරයෙක් බවට පත්විය. 

එහෙත් ඔහුගේ පෞද්ගලික සහ දේශපාලන දර්ශනයේ සීමාන්තික භාවයන් තුල පෙරියර්ගේ ප්‍රධාන නායකයෙකුවූ අන්නාර් (C. N. Annadurai) විසින් ඔහුගෙන් වෙනව පිහිටවූ ද්‍රවිඩ මුනෙන්තරම් කසාගම් (Dravida Munnetra Kazhagam/DMK) පක්ෂය 1969 දී කරුණානිධිගේ නායකත්වයෙන් තමිල්නාඩුවේ බලයට පත්වීමත් සමග දෙමළ ජාතිකත්වය පිළිබඳ අවධානයේ බොහොදුරට ප්‍රමුඛතාවය දිනාගැනීමට MDKට හැකිවිය. එහෙත් ඒ 1972 දී M. G. Ramachandran (M. G. R) කරුණානිධිගේ පක්ෂයෙන් ඉවත්ව All India Anna Dravida Munnetra Kazhagam (AIADMK) පිහිටුවාගැනීම දක්වා පමණි. ඉන් අනතුරුව තමිල්නාඩුවේ දෙමළ ජාතිකත්වය පිළිබඳ ව්‍යාපෘතිය පිලිබදවූ අවධානය දෙකට බෙදීයන ලදී. අද AIADMKයේ නායකත්වය දරනුයේ ජයලලිතාය. 1969 සිට තමිල්නාඩුව පාලනය කරනුයේ මෙම DMK සහ AIADMK පක්ෂ දෙකවන අතර ඔවුන් පෙරියර්ගේ 'ද්‍රවිඩ නාඩු' සංකල්පයෙන් සම්පුර්ණයේන්ම වෙන්ව ගොස් තිබේ. ඒවෙනුවට ඉන්දියානු පෙඩරල් රාජ්‍යතුල යම් ස්වාධීනත්වයක් මෙන්ම විශාල දේශපාලන බලයක්ද, සිය භාෂා, වාර්ගික, භූගෝලීය, සංස්කෘතික සහ ඉතිහාස අනන්‍යතාවයට යම් තැනක්ද දිනාගෙන ඇත. අද ඔවුන් සිය දේශපාලන ජීවිතය තුල වරින්වර මතුකරමින්, ඔපදමින් සිටින දෙමළ ජාතිකත්වය ඒ ආකාරයට ඉන්දියානු සන්ධීය රාජ්‍ය තුල නිදන්ගතවූ ජාතිකත්වයකි. මේ තත්වය තුල වෙනම රාජ්‍යකින් තොරවවූවද, සන්ධීය ජාතික රාජ්‍යයක් තුල වාර්ගික මෙන්ම ජාතික අනන්‍යතාවයත්  සහිතව යම් ස්වාධීනත්වයත් පවත්වාගෙනයෑමට හැකියැයි ඔවුන් ප්‍රදර්ශනය කරමින් සිටී.

මෙයට සමකාලීනව චෙල්වනායගම්ගේ පෙඩරල් පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ භාෂා, ඉඩම් සහ ආරක්ෂාව යන ප්‍රශ්න මුල්කරගත් දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක් දියත් කළේය. පසුව එම ව්‍යාපෘතිය වඩා ශක්තිමත්ව, පෙරයර්ගේ ද්‍රවිඩ නාඩු සිහිනය මෙන් මිලියන ගණනක දෙමළ ජනයාට වෙනම ද්‍රවිඩ රාජ්‍යක් පිළිබද සිහිනය සැබෑ කිරීමට මෙන් ප්‍රභාකරන් ක්‍රියාත්මකවිය. එහෙත්, චෙල්වනායගම්ට හෝ ප්‍රභාකරන්ට,  කරුණානිධි හෝ ජයලලිතා හෝ MGR හෝ පෙරියර්ලා හෝ පරයමින් තමිල්නාඩුවේද, ලංකාවේද, සමස්ථ ලෝකවාසී දෙමළ ප්‍රජාවටමද නායකත්වය දියහැකි දෙමළ ජාතිකවාදී නායකයන්වීමට නොහැකිවිය. නැතහොත් ඔවුන්ගේ දෙමළ ජාතිකවාදයට ලැබුනේ අඩු පිළිගැනීමකි. චෙල්වනායගම් මෙන්ම ප්‍රභාකරන්ද  තමිල්නාඩු දෙමළ නායකත්වය යටතේ දියත්වීම ප්‍රතික්ෂේපකල අතර සමස්ථ ලෝකවාසී දෙමළ ප්‍රජාවටම ජාතිකවාදී නායකත්වයක්දීම වෙනුවට  සිය අරගලයට පමණක් සීමාවිය.  ලෝකවාසී දෙමළ ප්‍රජාව සිය අරගලය තුල ඔවුන්වටා කොන්දේසිවිරහිතව රොක්වීම ඔවුන් අපේක්ෂා  කළේය. මෙම තත්වය තුල A.Jeyartnam Wilson (2000) ආදීන් ලාංකීය දෙමළ ජාතිකවාදී ව්‍යාපෘතිය උප-ජාතිකවාදී ව්‍යාපෘතියක් ලෙස (Sri Lankan Tamil sub-nationalism) හදුන්වාදෙනු ලැබේ. 

මේ අනුව පෙනීයනුවේ වරින්වරට දෙමළ ජනයාගේ ප්‍රශ්න පිලිබදව මාරාන්තික ප්‍රකාශ දියත්කලද තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපෘතිය කරුණානිධිගේ සහ ජයලලිතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී  ව්‍යාපෘතියට පරිබාහිරින් පිහිටි ඉන්දියානු සන්ධීය ජාතික රාජ්‍යය තුල සිය ජාතික, වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතාවයත්  පවත්වාගෙන යාමට ඉතා කැමති යම්ආකාරයක සෞම්‍ය  ව්‍යාපෘතියක් වන බවය.

ඔවුන් තම තමන්ගේ සොරකම් ගැන මෙන්ම දේවත්වයන් ආරෝපණය කරගත් චාරිත ගැන මෙම මැතිවරණයේදී වඩා වැඩි අවධානයක් යොමුවන කරවන නමුදු දෙමළ ජනයාගේ දෙමළ ජාතිකත්වය ගැන, ද්‍රවිඩ නාඩු ගැන, මිලියන සීයකට වැඩි ලෝකවාසී දෙමළ ජනයාට වෙනම රටක් අවශ්‍යද? නැත්ද? යන්න ගැන ජයලලිතා, කරුණානිධි හෝ විජයකාන්තන් යන ප්‍රධාන තරගකරුවන්ගේ පාර්ශවවලින් එතරම් නොඇසේ. 

එහෙත් සටනට පිවිස සිටින තවත් නළුවෙක් වන (Benedict Anderson (1991) ඉදිරිපත්කරන 'print capitalism' නම් සංකල්පය තමිල්නාඩු දේශපාලනයට අදාලවනම්  විකාශනය වී ඇත්තේ 'cinema capitalism' ලෙසයැයි පෙනේ) සීමන් විසින් නායකත්වය දෙන 'Naam Tamilar Katchi /අපි දෙමළ පක්ෂය' තමිල්නාඩු දේශපාලනයේ ප්‍රධාන විභවය නොවී කලින්කලට පමණක් ඉස්මතුවෙන දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට පනපොවමින් සිටී. ඔහු දෙමළ ජනයා ඉන්දියානු ජාතික රාජ්‍යයෙන් මිදී වෙනමම ජාතික රාජ්‍යක් විය යුතුයැයි යෝජනාකරයි. එයට ලංකාවේ උතුරු නැගෙනහිරද අයත් බව දක්වයි. ලන්ඩනයේ පමණක් නොව වෙනත් රටවල ද්‍රවිඩ ප්‍රජාව අතරින්ද ආධාර එකතු කරමින් සිටී. මැතිවරණයෙන් අනතුරුවද ද්‍රවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියට නායකත්වය දෙනබව දක්වයි. ජාතිවාදී, වර්ගවාදී උදාන වාක්‍යයන් මගින් දෙමළ ජාතිකත්වය ආමන්ත්‍රණය කරන ඔහු ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද එකවිට අනතුරු ඇගවීම්න් කරමින් සිටී. 

සෙසු පක්ෂ මෙන් නොව තමිල්නාඩුවේ ආසන 234ටම තනිවම තරගකරන ඔහුගේ පක්ෂය තමිල්නාඩුවේ සෙසු සෑම දේශපාලන පක්ෂයකටම වඩා නුතනවාදීය. අනෙක් පක්ෂ මෙන් දේවවාදී, වැඩවසම්වාදී, කුලවාදී හෝ ගෝත්‍රික වැදුම්, පිදුම්වලින් මිදී සිටී.  ඔහුගේ පක්ෂයට කෙතරම් චන්ද ප්‍රමාණයක් හිමිවන්නේද ? ඔහු අඩුම වශයෙන් ආසන කිහිපයක් හෝ දිනාගන්නේද ?යන්න තමිල්නාඩු මැතිවරණය තුල දෙමළ ජාතිකවාදයට හිමි තැන නීර්ණය කරන යම්  ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයක් වනු ඇත. එමෙන්ම අනියමින් එය තමිල්නාඩු දේශපාලනය තුල ප්‍රභාකරන්ට හිමි සංකේතාත්මක වටිනාකමද ප්‍රකාශකරනු ඇත. මන්දයත්, සීමන්ගේ (Naam Tamilar Katchi) 'අපි දෙමළ පක්ෂය' පක්ෂයේ ප්‍රචාරක දැන්වීම් තුල ප්‍රභාකරන් නොමැති එකදු පෝස්ටරයක් හෝ නොමැති තරම් නිසාය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
15/05/2016

Friday, 6 May 2016

මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන

 ඉකුත් වසරේ (2015) සැප්තැම්බර් මස පලකල 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' (එය මෙතනින් කියවිය හැක) නම් ලිපියේ සදහන් කල පරිදි 
පෘතුගීසින් විසින් මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ ගොඩනගන ලද මීගමුව කොටුවත්, ඔවුන් පාලනයකල  මීගමුව ආශ්‍රිත ප්‍රදේශත් යටත් කරගැනීමට ප්‍රථමයෙන් කටයුතුකල  ලන්දේසි ජාතිකයාවුයේ එවකට ලන්දේසි පෙරදිග වෙළද සමාගමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවූ කොමදෝරු Philip Lucasz (Heer Philp Lucaszoon). ඒ 1638 දී ලන්දේසි පෙරදිග වෙළද සමාගම සමග දෙවන රාජසිංහ රජ ඇතිකරගත් ගිවිසුමකට අනුවය. ගිවිසුම් ප්‍රකාරව 1640 ජනවාරි 29වෙනි දින Philip Lucasz මීගමුවේ උතුරු කෙරවලේ පිහිටි, අරාබි නැව් ප්‍රතිසංස්කරණය කල කම්මහල් පැවති නිසා ඒ නම ලැබුණු, කම්මල්තුරේට (Kammala/Kaymel/Caymel) නැව් කිහිපයකින් ගොඩබැස ඇති අතර උඩරට රජගේ සහයෝගයද ඇතිව සෙබළුන් 3500ක සේනාවක් සමග මීගමුව කොටුව (Negombo Portuguese Garrison) අල්ලා ගැනීමට  මුහුදින් සහ ගොඩබිමින් ප්‍රහාරයක් දියත්කර ඇත. ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වුවා Philip Lucaszගේ නෞකා කලපුවට කොටුකරගැනීමට එවකට මීගමුව කොටුව භාරව සිටි පෘතුගීසි සෙනවියා වූ සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) සමත්වුවද ඔවුන් පුදුමයට පත් කරමින් ලන්දේසි කොමදෝරු Philip Lucasz මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් (එනම් වර්තමාන කැපුන්ගොඩ) ඇලක් කපා නැවත මුහුද දෙසින් පැමිණ මීගමුව කොටුව අල්ලාගෙන තිබේ.(Charles Ralph Boxer (1958) 'Christians and spices' / 'Portuguese missionary methods in Ceylon, 1515-1658').

එහෙත් දෙවන රාජසිංහ රජ සමග ඇතිකරගත් ගිවිසුම පරිදි පෘතුගීසින්ගේ මීගමුව කොටුව විනාශකර දැමීමටත්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ රජට පවරාදීමටත් ලන්දේසි කොමදෝරු Philip Lucasz ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවට පෘතුගීසින්ගේ මීගමුව කොටුව ඔවුන් නැවත ශක්තිමත්කර කුරුදූවලට ප්‍රසිද්ධ මීගමුව ඔවුන්ගේ භාරයේ තබාගැනීමට කටයුතු කරන ලදී. එහෙත් කොටුව අල්ලාගෙන දින 11ක් ගතවනවිට Philip Lucasz හදිස්සියේ රෝගාතුරව ඇත. 1640 මාර්තු මාසේදී ඔහුව නැවත  බතාවිය (Batavia, Indonesia)  බලා රැගෙන යන අතර Philip Lucasz මියගොස් තිබේ. ඒ සමග උත්සාහයන් කිහිපයකින් අනතුරුව 1640 දෙසැම්බරයේදී මීගමු ජනයාගේ සහයෝගය ඇතිව පෘතුගීසින් නැවතත් මීගමුව කොටුව අත්කරගෙන තිබේ. එහිලා ලන්දේසින් මීගමුවේ ඒවන විටත් 30,000 වඩා සිටි කතෝලිකයන්ට එල්ල කල ආගමික බලපෑම සෑහෙනදුරට හේතුවන්නට වූ බව Don Peter (1963) /V. Perniola (1983) / R.G.Anthonisz (1929) ශාස්ත්‍රීය අධ්‍යන අනුව පෙනේ. එය ලංකා ඉතිහාසයේ  පෘතුගීසින් විසින් ලන්දේසින්ගෙන් නැවත අත්කරගත් එකම කොටුව විය. එහෙත් ඉන් වසර 04කට පසු එනම් 1644 ජනවාරි 09වෙනි දින බතාවියේ සිට පැමිණි Francois Caron ගේ නායකත්වයෙන් යුතු  ලන්දේසි හමුදාව මීගමුව කොටුව සහ ඒ අවට ප්‍රදේශ නැවත අල්ලාගන්නා ලදී. 
මුහුදෙන් දියත්වූ ක්ෂණික ප්‍රහාරයකට පසු උදේ 10ට ගොඩබිම සටන් ඇරබී ඇති අතර දහවල් 01වනවිට මීගමු කොටුවේ සිටි පෘතුගීසි ජෙනරාල්වරු දෙදෙනාද ඇතුළුව සමස්ත පෘතුගීසි බලඇණියම මරාදමා මීගමුව කොටුව යටත්කර ගැනීමට ලන්දේසීන්ට හැකිව තිබේ. සටනේ අවසානයේදී  කොටුවේ ඉතිරිවූ කොටුව භාර පෘතුගීසි නිලධාරීයා ඇතුළු කිහිපදෙනෙකු ලන්දේසින්ගේ සිරකරුවන් ලෙස යටත්වීම ප්‍රතික්ෂේප කරඇති අතර ඒ වෙනුවට සියදිවි තොරකරගෙන මීගමු කොටුවේම මියයෑම තෝරාගෙන ඇත. මෙසේ මියගිය පෘතුගීසි ජෙනරාල්වරු දෙදෙනා සහ සෙසු පෘතුගීසි නිලධාරීන් මීගමුවේ පැවති පැරණි පෘතුගීසි සුසාන භූමියේද, සටනේදී මියගිය ලන්දේසි ලුතිනන්වරු 04 දෙනා ඇතුළු සෙබළුන් කිහිපදෙනෙකු පෘතුගීසි විසින් පෘතුගීසි කතෝලික සුසානභූමියට වම්පසින් ඒවනවිටත් පිහිටවා තිබු රෙපරමාදු සුසාන භූමියේද මිහිදන් කර ඇත (Richard Gerald Anthonisz (1929) 'The Dutch in Ceylon: An Account of Their Early Visits to the Island, Their..' page60-68 & Ceylon Literary Register Vol. II page 58-85).(දැන් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම නිසා දැනට දැකිය නොහැකිව ඇති මෙම සුසානභූමි දෙක ගැන පසු දවසක ලියමි) 

කෙසේවුවද, ලන්දේසීන් මෙලෙස  මීගමුව කොටුව අත්කර ගැනීමෙන් අනතුරුව, මීගමුවේ එතෙක් පැවති දුර්වල, කොටුවක් ලෙස නම් කිරීමට පවා නොවටිනා (The Portuguese Fort at  Negombo was  a weak irregular structure, and is said to have been unworthy of the name of a fort) පෘතුගීසි කොටුව ලන්දේසින් විසින් ඉතා ශක්තිමත්ව ගොඩනංවා ඇත (Ceylon Literary Register Vol. II page 53-54). ඉන් වසර 50කට පසුව එනම් 1690දී පමණ ලන්දේසීන් විසින් ඉදිකළ කොටුව සහ  කොටු බැම්මකින් වටවූ මීගමුව නගරය Johannes Vingboons ගේ (1665) අලංකාර 'The Dutch fort in Negombo' නම් සිතුවමේ දක්වා ඇති ආකාරය ඉහත(දෙවන) සිතුවමේ දැක්වේ.

ඉතාමත් ශක්තිමත් පවුරුවලින් වටවූ කොටුව සහ කොටු පවුරකින් වටවූ  සැලසුම්කල මීගමු නගරය සැලසුම්කල පරිදි කෙතෙක් දුරට ඉදිවුයේද යන්න ගැටළුවකි. හැමිල්ටන් ඇළඉවුරේද, එය කලපුවට වැටෙන ස්ථානයේ සිට මුන්නක්කරය පාලම ඔස්සේ කුට්ටිදූව දක්වාත්, නැවත වෙරළ අයිනෙත් තැනින් තැන ඉතා ශක්තිමත්ව බැදි පවුරක පදනම් තවමත් ඉතිරිවුවද Johannes Vingboons ගේ (1665) ඉහත  the Dutch fort in Negombo සිතුවමේ දක්වා ඇති ආකාරයටම මීගමුව කොටුවට එපිටින් වූ කොටුපවුරක් තිබුනේදැයි හෝ ලන්දේසීන්ට එසේ විශාල කොටුපවුරක් ඉදිකිරීමට හැකිවුයේදැයි යන්න ගැන මට තවම නිශ්චිතවම කිවහැකි වාර්තා හමුව නැත.

අඩුම තරමින් කොටුවේ අභ්‍යන්තර ස්වරූපය සහ එය පැවති ආකාරය ගැන මට තවම හමුව ඇත්තේ සීමිත වාර්තා කිහිපයක් පමනි. ඒ අතරින් Richard Leslie Brohier (R. L. Brohier/ R. L. බ්‍රෝහීයර්) (1978) ගේ 'Sri Lanka and the Netherlands' කෘතිය ප්‍රධාන තැනක් ගනී. එහි පිටු අංක 50-55 දක්වා ඇති කරුණු වලට අනුව නම් ලන්දේසීන් මීගමුවේ ඉදිකළ කොටුව කොළඹට  ආසන්නව පිහිටි  මධ්‍යකාලීන යුගයේ පැවති කොටුමෙන්  මනස්කාන්ත කොටුවක් යැයි දක්වයි ('The Dutch raised over the old the Portuguese defense at the Negombo might today have being a picturesque medieval fort within easy reach of Colombo and an inspiration to both cultural sources and tourism..'p.51).1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදින ලද පහත චිත්‍රය මෙම අදහස නැවත තහවුරුකරන බව පෙනේ. මෙම විස්තර කිරීම් වලට අනුව මීගමුව කොටුවට

මුහුද දෙසින් මෙන්ම ගොඩබිම දෙසින්ද ඇතුල්වීමට  තිබු පෙදෙසේ උස් පහත්වන, හැකිලිය හැකි පාලමක් (draw bridge) තිබී ඇත. අද එම පාලම හෝ දිය අගල නැති අතර කෙලින්ම ගොඩබිම මගින් සම්බන්දවීමට හැක. එහෙත් අතීතයේදී එය මධ්‍යතන යුගයේ පැරණි කොටුවක පැවති එක් ආරක්ෂක මෙන්ම අලංකාර අංගයක්වූ උස් පහත්වන, හැකිලිය හැකි පාලමකින් සම්බන්දව ඇත. එම දොරටුවෙන් ඇතුල්වුවිට නැවත  අභ්‍යන්තර කොටු පවුරක් පැවති අතර එය විශාල දොරටුවකින් වසා දමා තිබී ඇත. මෙම දෙක අතට මීටර් 25ක දුරක පරතරයක් පැවැත ඇත. අදද මීගමුවේ කොටුව ඇතුලත පිහිටි බන්ධනාගාරයට ඇතුල්වීමට මෙවැනි දුරක් ඇත. බන්ධනාගාරයට ඇතුල්වන තැන විශාල දොරටුවක් ඇති අතර එම දොරටුවෙන් ඇතුල්වූ පසු ලන්දේසි යුගයේ ඉදිකළ විශාල ශාලා දෙකක් දෙපස ඇති බව මට දැනගැනීමට ලැබී ඇත. තවද අද විනාශ වීමට ඉඩ ඇර ඇති මීගමුව කොටුවේ ඉදිරිපවුරේ කොටස සහ
බන්ධනාගාරය අතර කොටසේ තිබී අඩි 3 පළල අඩි 4ක් උස ලතින් භාෂාවෙන් ලියූ පලකයක් 1939දී සොයාගත් බව R. L. බ්‍රෝහීයර් (1978) ගේ 'Sri Lanka and the Netherlands' කෘතියේ 54 පිටුවේ දක්වයි. මෑතක් වනතුරුම එය මීගමු බන්ධනාගාර භූමිය තුල තිබී ඇත. පොතේ දක්වා ඇති එහි සදහන්දේහි පරිවර්තනයක් පසකින් වේ.  

කොටුවේ පිටත පවුරේ ස්ථාන 5ක් තරුවක කොනවල් මෙන් ඉදිරියට නෙරා තිබූ අතර මෙම පස් කොනවල් කේන්ද්‍රකරගෙන කාල තුවක්කු ඇති මුරකුටි පිහිටුවා තිබී ඇත. R. L. බ්‍රෝහීයර් (1978) ගේ විස්තරයට අනුව ගොඩබිම පැත්තට මුහුණලා පිහිටි  මුරකුටි දෙක ඩෙල්ෆ් සහ රොටඩැම් ලෙසද, මුහුදට සහ කලපුවට මුහුණලා තිබු කොනවල් පිළිවලින් ඈම්ස්ට්‍රැඩැම්, හූර්න් සහ මිඩ්ල්බර්ග් යන නෙදර්ලන්ත නගර සිහිවීමට නම්කර ඇත. අඩි 22ක් උස කොටු පවුරේ  කොන් කිහිපයක කවාකාර මුර කුටිද තිබී ඇත. එමෙන්ම කොටුව පුරාම අර්ධකවාකාර ආරුක්කුවලින්  කොටුපවුර ශක්තිමත්කර ඇත. එහි සලකුනු  තවමත් දැකිය හැක. 

කොටුව තුල හමුදා කණ්ඩ තුනකට පහසුවෙන් නවාතැන් ගත හැකිව තිබී ඇති අතර විශාල වෙළද බඩු, වයින් සහ ආහාර ඇතුළු  භාණ්ඩ ගබඩා කරතිබූ ගබඩා කිහිපයක්ම පැවත ඇත. තවද පොලව අභ්‍යන්තරයේ වෙඩි බෙහෙත්, අවි ආයුද ගබඩා මෙන්ම සිර කුටිද පැවැත ඇත. ඒ සියල්ල උමන් මාර්ග ඔස්සේ සම්බන්දව ඇත. 

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අංගයක්වන උස්‌ පිල වහල්වල්වලට ඉහලින් පිහිටි කවාකාර මුදුන් කොත (Cupola)  ලන්දේසි  කොටුවලද දැකිය හැකිවූ බව දක්වන R. L. බ්‍රෝහීයර් (1978) මීගමුවේ ලන්දේසි  කොටුවේ සීනු කනුව (klokkentoren/bell tower) පැවතියේ  ඒ ආකාරයට යැයි දක්වයි. 1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදිනලද (මෙහි ඇති තෙවන පින්තුරයේ දක්වන) චිත්‍රයේහිද එය ඉතා පැහැදිලිව දක්වයි. 

1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගැනීමෙන් අනතුරව ක්‍රමයෙන් ලන්දේසි කොටුවේ කොටස් කඩා කොටුව සිරගෙදරක් බවට පරිවර්තනය කල අතර සම්ප්‍රදායකව  ලන්දේසීන්ගේ සීනු කනුව (klokkentoren/bell tower) යටින් ඇතුල්වීමට තිබු ප්‍රධාන දොරටුව ගල් බිත්ති බැද අවහිර කර නව ඇතුල්වීමේ දොරටුවක් 1814දී ඉදිකර ඇත. අද කොටුවේ ඇත්තේ මෙම ඇතුල්වීම් දොරටුවය. එහෙත් ලන්දේසින් ඉදිකළ සීනු කනුව සහ සීනුව (klokkentoren) 1899 වන තුරුම කොටුවේ දැන් ඉතිරිවී ඇති නැගෙනහිර කොටසේ සුරක්ෂිතව තිබී ඇත. එහෙත් 1899දී  බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද නව ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) පිහිටවීමට පටන්ගත් අතර ඒ අනුව මීගමු කොටුවේ එතෙක් පැවති ලන්දේසින් ඉදිකළ මුදුනත කවාකාර සීනු කනුව (klokkentoren) කඩා ජුබිලි ඔරලෝසු කණුවක්  (jubilee clock towers) ලන්දේසි සීනුවද සහිතව ඉදිකර ඇත. ඒ අනුව අද මීගමුව කොටුවේ ඇති ඔරලෝසු කනුව වූකලී  1899 දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද ඉදිකළ ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) වලින් එකකි. එහෙත් එහි සීනුව සොරාගෙන ගොස් බොහෝ කාලයක් ගතව ඇත. 

R. L. බ්‍රෝහීයර් (1978) දක්වනුයේ මීගමුවේ කොටුවේ දැනට දැකීමට ඇති වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම අනුස්මරණ කිරීමට ඉදිකළ ජුබිලි ඔරලෝසු කණුව (jubilee clock towers) පිහිටා ඇත්තේ නිශ්චිතවම ලන්දේසි  කොටුවේ සීනු කනුව (klokkentoren/bell tower) පිහිටි ස්ථානයේ බවය (1978,  පි. 55). ඒ අනුව මීගමුව ලන්දේසි  කොටුවට ගොඩබිමින් ඇතුල්වීමට පිහිටි දොරටුව තිබී ඇත්තේ මෙම ඔරලෝසු කනුව යටිනි. එය ගොඩබිමින් වෙන්ව දිය අගලකින් වටවී තිබී ඇති අතර ගොඩබිමත් කොටුවත් සම්බන්දකර ඇත්තේ  උස් පහත්වන හැකිලිය හැකි පාලමකිනි (draw bridge). ඒ මීගමුව කොටුව ගැන මෙතෙක් අප ඇස ගැටුණු තොරතුරුවලින් බිදක් පමණි. එය සයුරේ පාවෙන අයිස්කුට්ටියක (iceberg) එක් තුඩක් පමණක් වැනිය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/05/16.