Tuesday, 23 February 2016

අභාවයට ගිය කලාවක් ජීවත්කල ඇන්ටන් ජෝන්ස්

මම ඇන්ටන් ජෝන්ස්ගේ රසිකයෙකු නොවේමි. එමෙන්ම, මම ඇන්ටන් ජෝන්ස්ගේ රසිකයෙකු නොවන්නේකුද නොවෙමි. එය ද්ත්ව-නිශේධන තර්කයක් මෙන්ම විරුද්ධාභාෂ තර්කයක්වීමටද, එසේ නොවීමටද පුළුවන. එහෙත් මට කීමට  ඇත්තේ මම ඔහුගේ  රසිකයෙකුවුවද, නොවුවද මා හැදීවැඩුනේ ඔහුගේ ගීත නිතර ඇසෙන වටපිටාවකය. ඒ මීගමුවේය.  මීගමුවේ බොහෝ නිවෙස්වල පමණක් නොව, 'කොරොස්ම' (පාස්කුකාලය) කාලය හැර බොහෝදුරට අනෙක් සෑම   සති අන්තයකම පාහේ යෙදෙන පල්ලියේ මංගල්ලයක් වෙනුවෙන් පවත්වන සංගීත සංදර්ශන සදහා ඇන්ටන් ජෝන්ස් නොවරාදවාම සහභාගීවූ කාලයක් තිබුණි. නැත්නම් වෙනකවුරැන් හෝ ඔහුගේ සින්දු කියනු ඒකාන්තය. ඒහින් ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු මාගේ කනට ඉතා හුරුය. ඇතැම් පදවැල් පවා තවමත් මතකය.

ඒ අතර, 1971 අප්‍රියල් කැරැල්ල සමයේදී  ඉතා සහාසික ලෙස මරා දැමූ ප්‍රේමවතී මනන්පේරී තරුණියගේ ඝාතනය ගැන ඔහු ගැයූ "ප්‍රේමවතී මනන්පේරී තරුණිය......., කතරගමේ සිටිය රූප රැජිණිය......" ගීතයද, 
1974/12/04 දින ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටි සප්ත කන්‍යා කදුවැටියේ හැපී  191 දෙනෙකු මරු කැදවූ 'මාර්ටින් එයාර්' සමාගමට අයත් C. D. 08 ගුවන් යානා අනතුර ගැන ඔහු    ගැයූ  "කන්දේ    හැපුනා මහා වනාන්තරේ.. සී. ඩී. අට අහස් යන්තරේ, මාරුවා ආකල මිතුරේ බේරෙන්න බැහැ සසරේ....."යන ගීතයද

1982 දී සිය බිරිද, දරුවා සමග ඩොලර් 300,000ක් ඉතාලි රජයෙන් ඉල්ලා මගීන් 340ක් සිටි අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයින්ග් 747 ගුවන් යානය පැහැර ගත් සේපාල ඒකනායකගේ කථාව...  "ගුවන් ගමන් ඉතිහාසයේ පිටුවක් පෙරලා, සියුම් ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා .. අමුනුෂ්‍යය කමයි දක්ෂකමයි එකට එක්කලා, ලක්ෂ 60 යි අබු දරුවෝ ගත්තා බේරලා.........." යන  ගීතයද,  
"පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ.......', සමන් කුමාර දරුවා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා මරාදැමීම ගැන ලියවුනු "බුදුන් තුන්වරක් වැඩි ශ්‍රී ලංකා ද්වීපය..කුමක්ද මේ ලංකාවටවුනු විනාශය..'' ආදී ගීතයද, 'අසයි බයයි ඒ බෝට්ටුවේ නමයි....", "මඩකලපුව, අම්පාරේ, කල්මුනේ, සමන්තුරේ......", "අදින්න මිනි ගවුම අදීන්න...." ආදී  බොහෝ ගීතවල පද  මට තවම මතකය. 

මෙලෙස ඔහු ගැයූ ගීත අතර විනෝදාත්මක, වීරත්ය ගැන මෙන්ම  ශෝකානුකූල  ගීතද විය. මීගමුවේ පල්ලි වල මංගල්ලවලට ගී ගැයීමට ඔහු පැමිණිවිට අදාල පල්ලියේ ශාන්තතුවරයා හෝ ශාන්තතුවරිය වෙනුවෙන් ඒ මොහොතේම  තැනූ ගීතයක් ගැයීම  ඔහුගේ සිරිත වී තිබුණි.  සංගීත ප්‍රසංග සදහා ගී ගැයීමෙදී ඔහු බොහෝ දුරට ගැයූවේ "අදින්න මිනි ගවුම අදීන්න", "සිගීරි ගිරි ශිඛරය කසුපු රජගේ බල කොටුවයි", "ශාන්ත අන්තෝනි මුනිතුමා", "කොමල පපා, මුකුළු පපා අපේ ලගට එන්නකෝ ", "පොළොන්නරුවේ පොඩි විජේ" ආදී ගීතය. 

එහෙයින් අඩන්න ඕනෑ ගීතවලට  ඔහු නටන්න සින්දු කීවේ නැත. ඔහුගේ වඩා ජනප්‍රිය වූ ගීතයවූ 'ප්‍රේමවතී මනන්පේරී' වැනි ගීත ඔහු කිසිදුවිටක සංගීත සංදර්ශනයක කියනු මම අසා නැත. ඒහින්, ඔහුට තැන නොතැන ගැන පැහැදිලි අවබෝදයක් තිබුණි.  
1937 දී කොළඹ, හල්ස්ඩොරෝෆ් පාරේ, බර්ගර් පවුලක උපන්  ඇන්ටන් ජෝන්ස් වෘත්තීයෙන් බංකු සේවකයෙක් විය. 1970 දශකයේදී ගීත ගායනයට එළබෙන ඔහුගේ බොහෝ ගීත රචනා කර ඇත්තේ තොටළග ටේලර් කෙනෙක් වූ  ජේ.ඩී. සුමතිපාල සහ ඇන්ටන් අයිසෙක් විසින් බව මම අසා ඇත. ඔහු ඒ බව, ලංකාවේ දිළිදු ජනයාට සහ කලාකරුවට නිතර අත-හිත දෙන ස්විඩනයේ පදිංචි රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රියාත්මක කරන 'මීගමුවේ රොෂාන් පදනම' විසින් 2012 දී සංවිධානය කල ශ්‍රී ලංකාවේ බයිලා ගායකයන් වෙනුවෙන් මීගමුවේ පැවැත්වූ උපහාර උළෙලේදී ද සනාථ කරන ලදී. එම උපහාර උළෙලේල දිගුකලක් අසනීපවී සිටි ඔහුට  දැක්වූ මහත් ප්‍රනාමයක් වූ අතර  ඇන්ටන් ජෝන්ස් මහතා ප්‍රසිද්දියේ ගී ගැයූ අවසාන අවස්ථාව එය වියයුතුය. 

ඇන්ටන් ජෝන්ස් මහතා ගායකයෙක් ලෙස සත්‍ය සිදුවීම පදනම් කරගත් ගී ගැයීම සම්බන්දයෙන්  විශාල නමක් දිනාගෙන සිටි ගායකයෙකි. වරක් ලංකාවේ ළමා රක්ෂණ අධිකාරියේ සේවය කල මාගේ මිතුරෙක් පැවසූ ලෙස, ලංකාවේ ළමයෙක් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ ප්‍රථම සිද්ධිය ලෙස සලකන සමන් කුමාර දරුවාගේ මරණය ගැන සැකවින් දැනගැනීම සදහා ඔහු සිදුකර ඇත්තේ ඇන්ටන් ජෝන්ස් මහතා ඒ සම්බන්දයෙන් ගයා ඇති ගීතය ශ්‍රවණය කිරීමය. ඒ අනුව ඔහු සිය ගායක දිවිය තුල අපරාධ වාර්තා සැකවින් සකසා තැබීමද සිදුකර ඇත. එපමණක් නොව ප්‍රේමවතී මනන්පේරී  ඝාතනය, සප්ත කන්‍යා ගුවන් අනතුර, පොඩි විජේ සහ සේපාල ඒකනායක ගැන, නිල්වලා ගගේ අනතුර, නැගෙනහිර සුළි සුළග ආදිය ගැන වර්තමාන පරපුරට දැනගැනීමට ක්‍රමයක්ද ඉතිරිකර ගොස් ඇත. මන්ද අද එවැනි දෑ පිලිබදව කිසිදු අවබෝධයක් නුතන පරපුරට නැති අතර මාධ්‍ය මගින්ද එවැනිදෑ ගැන දැන ගැනීමට ඇති ඉඩ අඩුය. අනෙක් අතට, ඒවෙනි මාතෘකාවන් ගැන ගී ගැයූ එකම ගායකයා ඔහු පමණක්ම විය. 

ඒ සියල්ලටම වඩා ඇන්ටන් ජෝන්ස් අපේ රටේ නැතිවී ගිය කලා සම්ප්‍රදායක් නවීකරණය කර ඉදිරියට ගෙන යෑමට කටයුතුකල  අද්විතීය කලා කරුවෙක් බව මම දක්වමි. නැතිවී ගිය කලා සම්ප්‍රදාය ලෙස මා මෙහිදී දක්වනුයේ 'බයිලා' ගායනා නොවේ. කවි කොළය. දැනට දශක ගනනාවකට පෙර ලංකාවේ සිදූවන බොහෝ සත්‍ය සිදුවීම් සම්බන්දයෙන් කවි කොළයක් නිකුත්වූ අතර කවියන් බස් රථවල, දුම්රියවල හෝ වෙනත් මහජනයා රැස්වෙන ඕනෑම තැනක එම  කවි කොළය කියවමින්, කවි කොළ විකුණමින්, මහ ජනයාට හෘදයාන්ගම පුවත් බෙදාහරිමින් ජීවිකාව ගෙවුහ. එසේ කවි කොළ කියූ, කවි කොළ ව්‍යාපාරයක්සේ කරගෙන ගිය T.B. තෙන්නකෝන් (වර්තමාන ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ පියා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පළාත් සභා මංත්‍රීවරයාගේ සීයා) 1956 දී දබුල්ලෙන් පාර්ලිමෙන්තුවට පවා තේරීපත් විය. එහෙත් ගුවන් විදුලිය හෙවත් රේඩියෝවේ නැගීමත් සමග 'කවි කොළ කලාව' අතුරුදහන්විය. මෙසේ අභාවයට ගිය 'කවි කොළ කලාව' ඇන්ටන් ජෝන්ස් විසින් නැවත ජීවත් කල බවට මම තර්ක කරමි. ඔහුගේ සියළුම ගීත පැහැදිලිවම කලකට පෙර කවි කොළවල පලවන ආකාරයේ පුවත් රැගත් ගීතය. ඇන්ටන් ජෝන්ස් එම සම්ප්‍රදාය නුතන විකාශන මාධ්‍යන්ට ගැලපෙන ලෙස, වේග රිද්මය සමග මුසුකර  බයිලා ගායනයක් දෙස සමාජයට රැගෙන යනලදී. එය කවි කොළයටත් වඩා ප්‍රබලය. එහෙත් මුල් පදනම එකමය. ඇන්ටන් ජෝන්ස් කර ඇත්තේ හුදු බයිලා ගායකකුට වඩා 'කවි කොළ කලා සම්ප්‍රදාය' නවීකරණයකර නුතන ශ්‍රාවකයාට රැගෙනයාම බව මගේ තර්කයය. එනයින්, ඇන්ටන් ජෝන්ස්ට ලංකාවේ අද බොහෝ ගායකයන්ට වඩා සුවිශේෂ අනන්‍යතාවයක් තිබේ. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
23/02/16

4 comments:

  1. "සිතුනාද සිතුවාද වීරයා හසලක" මේක කියන්නේ ඇන්ටන් ජෝන්ස් නෙමේ. දනපාල උඩවත්ත මහතා නේද

    ReplyDelete
  2. ඇන්ටන් ජෝන්ස් ගැන කියනවනම් ඔහුගෙ මරනය ගැන මාධ්‍ය අවධානය හොදටම මදි. ජනතාවත් ඒ ගැන මීට වඩා කතා කල යුතුව තිබුන. එච් ආර් ජෝතිපාල ගෙ අවමගුල වගෙ නොවුනෙ ඇනටන් අතීතයට අයත් ගායකයෙක් වීම වෙන්න ඇති. අසූ ගනන් වල ඔහු පතාක යෝධයෙක්.අසූව දශකයෙ අවසානයත් එක්ක හොද ගායකයො නැතිවුනා. මට හිතෙන්නෙ අනූ ගනන්වල හින්දි රැල්ලක් ආව. ඒකත් නැත්තටම නැතිවුනේ ඊටම සමාන බොළද ගී රැල්ලකින්. එයත් වියැකී ගියා. දැන් නම් සංගීතයට මොනව වෙලාද මන්ද

    ඇනටන් ගායනා කල හැම ගීයක්ම අරුත්බර ,මතක හිටින ගීත. ඔහුගෙ වර්ගයෙ ගායකයො ඉතුරුවෙල්ලා ඉන්නෙ කීප දෙනයි. ඇන්ටන්ට වගේම කපිරිඤ්ඤා සංගීතයටට්න් ලැබිය යුතු නියම තැන ලැබිල නෑ. විරිදු වගේම කපිරිඤ්ඤා වලිනුත් සමාජයට පනිවිඩ ඉක්මනින් දෙන්න පුලුවන්. ඇන්ටන් ජෝන්ස් සහ නිහාල් නෙල්සන් මේ අතින් ඉදිරියෙන්ම සිටියා. නිහාල් නෙල්සන් මත්ද්‍රව්‍ය ගැන ගායනා කල ගීයක් අහල මට සිතුනෙ මේ රිද්මයෙ ගී වලින් සමාජයට යමක් ඉක්මනින් සන්නිවේදනය කරන්න පුලුවන්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. අපේ රට හැඩි ගැහිලා තියෙන්නේ හරිම පටු විදිහට.ඒනිසා දක්ෂ මිනිස්සුන්ගෙන් නිසි ප්‍රයෝජන අරගෙන රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න විදිහක් නැහැ. පුළුවන් මිනිසුත් තමන්ගේ වැඩක් බලන් ඉන්න කැමතියි.

      Delete