Saturday, 20 February 2016

'ගී කියන කුරුල්ලා මරාදැමීම පාපයකි' - හාපර් ලී: ඔබ සමාදානයේ සැතපේවා !!!

පසුගිය වසරේ (2015) ජුලි මාසයේ දිනක ලන්ඩන් නගර මාධ්‍යයේ පිහිටි සියලුම ප්‍රධාන පොත් කඩවල් මාධ්‍යම රාත්‍රිය දක්වාම විවෘතව පැවතිනි. රාත්‍රී 07වන විටත් Trafalgar Square හී Waterstones පොත් සාප්පුව ඉදිරිපිට වූ පෝලිම අඩුම තරමින් නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දක්වාවත් දීර්ඝ විය. Charing Cross පාරේ පිහිටි ෆොයිල්ස් (Foyles) පොත් සාප්පුවේද තත්වය එයම බව මට මිතුරෙක්ගෙන් දැන ගැනීමට ලැබුණි. සාමාන්‍යයෙන් මෙවැනි පෝලිම්ගැසී කඩ ඉදිරිපිට ජනයා රැස්කකා සිටින්නේ නත්තල් දිනට පසුදා එලෙබෙන Boxing Day සේල්වලට හෝ Black Friday සේල්වලටය. ඒත් ඒ brand label ඇදුම්, ඉලෙක්ට්‍රොනික් බඩු හෝ ගේදොර බඩුමුට්ටු මිලට ගැනීමටය. එහෙත්, පොතක් මිලදී ගැනීමට පොත් සාප්පු ඉදිරිපිට මෙවැනි ආකාරයෙන් දිග්ගැස්සුනු පෝලිම් ගැන ඇසූවිට ලංකාවේ අපිට නම්  පුදුම හිතෙනු ඇත. 

නමුත් විස්තරය දන්නා අයට නම් එහි අරුමයක් නැත. මන්ද ජනයා එසේ පෙළගැසී සිටියේ  හාපර් ලී (Harper Lee) නම් ඇමෙරිකානු ජාතික නව කථාකාරියගේ දෙවන පොත වන 'Go Set a Watchman' නවකථාව මිලට ගැනීමටය. ඇරත්, ජනයා මෙසේ පෝලිම්ගැසී සිටිනුයේ ඇගේ මෙම නවකථාව මුද්‍රණය  වී ඇත්තේ සීමිත පිටපත් කිහිපයක් පමණක් බව කලින්ම නිවේදනය කර තිබු නිසාය. තවද,  ඒවන විටත් 88වන වියේ පසුවූ ඇය, බොහෝදුරට පලකරන අවසාන නවකථාව මෙය වියහැකි බව බොහෝදෙනා විශ්වාස කළ නිසාය. ඒ සියල්ලටත් වඩා, ඇය මෙලෙස නැවත නව කථාවක් පලකනුයේ ඇගේ මුල්ම සහ එකම නවකථාවවූ 'To kill a Mockingbird' (1960) පලකර වසර 55කට පසුවය. ඇය පලකල එම එකම නවකථාව ඇයව සාහිත්‍යය ලෝකයේ ඉහලින්ම ඔසවා තබා තිබුණි. ඇයගේ 'To kill a Mockingbird' නවකථාව ඇමෙරිකාවේ නම් සලකනුයේ 'සෑම ඇමරිකානුවෙක්ම කියවිය යුතු නවකථාවක්' ලෙසය. බ්‍රිතාන්‍යයේ නම් එය සලකනුයේ 'බයිබලයට පමණක් දෙවෙනි අධ්‍යාත්මක සහ සදාචාරාත්මක ඇගයුම් සහිත කෘතියක්' ලෙසය. එනයින්ම, ඇයගේ මුල්ම නවකථාව ලෝකයේ යම් කලාපයක වෙසෙන මිනිසුන් පිරිසකගේ ආකල්ප වෙනස්කල, ඔවුන් තුල පහන් ගැහීම් මතුකළ, ඔවුන් ජීවත්වූ සමාජය වඩා යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමට මගපෑදූ කෘතියක් බව පැහැදිලිය.

හාපර් ලී හෙවත් Nelle Harper Lee උපන්නේ 1928 දී ඇමරිකාවේ ඇලබාමා (Alabama) ප්‍රාන්තයේය. ඇය සිය ළමා කාලය ගෙවනුයේ උග්‍ර ආර්ථික අර්බුදයක් පැවති 1930 දශකයේය (the great depression). එමෙන්ම, ආර්ථික අර්බුදය සමාජ අර්බුධයක් බවට පත්ව අමෙරිකාවේ කළු-සුදු වර්ග භේදය උඩුදුවමින් පැවති යුගයකය. විශේෂයෙන්ම, ඇය ජීවත්වූ ඇලබාමා(Alabama) ඇතුළු දකුණු ඇමෙරිකානු ප්‍රාන්තවන දකුණු කැරලයිනා (South Carolina), ලුසියානා (Louisiana), මිසිසිපි (Mississippi) වැනි ප්‍රදේශ සුදු වර්ගවාදය මුල් බැසගත් ප්‍රාන්ත ලෙස සැලකන ලදී. එම පළාත්වල විසූ කළු ජාතිකයන්ට, සුදු ජාතිකයන්ගෙන්  විවිධ අමානුෂික වදහිංසාවලට මුහුණපෑමට සිදුවූ  බව  ප්‍රකටය. හාපර් ලී 'To kill a Mockingbird' (1960) නවකථාව පදනම් කරගන්නේ ඇය ජීවත්වූ මෙම නිර්ධය වටාපිටාවය.

නවකතාව කේන්ද්‍ර කරගන්නේ හය හැවිරිදි  ස්කවුට් හෙවත් Jean Louise Finch (Scout) නම් ගැහැණු දරුවාය. ඇය එක්තරා ආකාරයකට හාපර් ලීගේම ළමාවිය නියෝජනය කරන චරිතයකි. අනෙක් චරිතවනුයේ ඇගේ වැඩිමහල් සොහොයුරා වන ජේම් (Jem), පාසැල් නිවාඩු කාලයේදී පමණක් ඔවුන් ජීවත්වන ඇලබාමා හී මේයිකොම්බි (Maycomb) නම් කුඩා නගරයට පැමිණෙන ඩිල් (Dill) නම් මිතුරා සහ ඇටිකස් (Atticus Finch) නම්  ඔවුන්ගේ නීතීඥයෙකුවන පියාය. ඇය ජීවත්වන පවුලේ මව මියගොස් ඇති අතර ගෙදර වැඩට කළු ජාතික කාන්තාවක් වේ. ස්කවුට්, ගස් කෝලන්වල නගිමින් සිය සොහොයුරා සමග හරි හරියට කොලුවැඩ කරන තරමක කොලුකෙල්ලේකි. ඇයට ප්‍රථමයෙන්ම ඇතිවන කුතුහලය වනුයේ සිය පියාට විවිධ දෑ ගෙන එන 'කනින්හැම්' (Cunningham) නම් ගොවියාගේ දිලිදුකමය. අනතුරුව ඇය ඇතුළු ළමයින් තිදෙනාගේම කුතුහලය යොමුවන්නේ අවට නිවාසක සිටින ළමයෙකු කවදාවත් එලිය නොයන්නේ ඇයි යන්න ගැනය. 'බූ' යනුවෙන් හදුන්වන එම ළමයා, මන්ද මානසික හෝ කිසියම් අබාධයකින් පෙලෙන භයානක ළමයෙක් බව අහල පහල වැඩිහිටියන්ගෙන් ඔවුන්ට දැනගැනීමට ලැබේ. ඊලගට සිය පියාට අනෙක් ඇමෙරිකාවන් මෙන් තුවක්කුවක් නැත්තේ ඇයි?  ඔහු පාපන්දු ක්‍රීඩාවට යන්නේ නැත්තේ ඇයි ආදී ප්‍රශ්නය. 


එහෙත් ඔවුන්ගේ ළමා ලෝකයට නියම ප්‍රශ්නය පැමිනෙන්නේ සිය පියා සුදු ජාතික ස්ත්‍රීයක් දුෂණය කිරීම සම්බන්දයෙන් දෙවේෂ්සහගත ව්‍යාජ චෝදනාවක් ලබන කළු ජාතිකයෙක් වෙනුවෙන් නීතීඥයෙකු වශයෙන් පෙනීසිටීමත් සමගය. එය සිය පියාට සුදු ජාතිකයන් අතර දැඩි වර්ගවාදීගෙන් අවමානයත්, කළු ජාතිකයන් අතර ඉහල පිළිගැනීමත් ඇති කරවන්නක්වේ. එහෙත් නඩුවේදී ඉහත දරුවන්ගේ පියා (ඇටිකස්) සාක්ෂි සහිතව කළු ජාතිකයා  නිර්දෝශ බව ඔප්පු කලද ජුරිය කළු ජාතිකයාව වරදකරුවා කරයි. 

එය, සමාජය කෙතරම් වර්ගවාදීද, කෙතරම් වැරදීද යන්න නඩුව නැරබීමට යන මෙම ළමයින්ට පසක්කරදේ. එයටත් වඩා භයංකර වනුයේ, දුෂණයට කළවුවායැයි කියන සුදු ජාතික ස්ත්‍රීයගේ පියා මෙම දරුවන් ඝාතනය කිරීමට තැත් කිරීමය. එසේ වනුවේ එම නඩුවේදී   අදාල ස්ත්‍රීය  දුෂණයට කළවී නොමැති බවත්, ඇය කළු ජාතිකයා ගැන ඇතිවූ ආශාව නිසා ඔහුව පොළබවා ගැනීමට උත්සහ කරඇති බවත්, එම ස්ත්‍රීගේ පියා විසින් ඇයට එමනිසා දරුණු ලෙස පහර දී බොරු චෝදනා නගා ඇති බවත් උසාවියේදී මහජනයා ඉදිරියේ ඔප්පු කිරීම නිසා ඔහු උරණ වන නිසාය. එම දරුවන්ව ඒ මාරයාගෙන් ගැලවා ගන්නේ මන්ද මානසික හෝ කිසියම් අබාධයකින් පෙලෙන භයානක ළමයෙක් ලෙස සමාජයෙන් සගවා තබන 'බූ' නම් අසල්වැසි ළමයාය. 

මේ සියල්ල හමුවේ මෙම ළමයින්ගේ  සමාජ දෘෂ්ටිය සකසන්නේ සිය පියා විසිනි. කිසිවෙක් සමග සන්ඩුවට නොයන්න, සැමට සාධාරණව සලකන්න, පොදු එකගතාවන්ට පැමිනෙන්න, වෙඩි තියන්න ඉගෙන ගත්තද මිනිසාට කිසිම කරදරයක් නොකරන Mockingbird වැනි ගී කියන කුරුල්ලන් වැනි අහිංසකයන් මරාදැමීම පාපයකි, මුහුණට කෙළ ගැසුවත් ගැටුම් වලට නොගොස් නීතියානුකුලව කටයුතු කරන්න ආදී අදහස් මෙම දරුවන්ගේ පියා වන ඇටිකස් විසින් නිතර  කියාදෙයි.

එහෙත් මුළු නවකථාව පුරාම ඉහත සියළු සිදුවීම් සහ සංවාද දිගහැරනුයේ  මා ඉහත සදහන් කර ඇති වාර්තාකරණයට වඩා ඉතා සිහිල්, සිනිටු සහ ආකර්ශ්නීය කථා විලාසයකිනි. විශේෂයෙන්ම ළමයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කථාව දිග හැරෙන නිසා පාඨයන්ට මේ සියළු සිදුවීම් කෙරෙහි ඇති කරනුයේ කම්පාවක් මුසුවන පශ්චාත්තාපයකි.

විශේෂයෙන්ම, ඇය මෙම කෘතිය පලකල 1960 දශකයේදී පැනනැගී, මාටින් ලුතර් කින්(Martin Luther King, Jr.), මැල්කම් එක්ස්(Malcolm X) ආදීන් නායකත්වය දුන් ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (African-American Civil Rights Movement) මතුකළ කරුණු ගැන වඩා සානුකම්පිත ආකාරයකින් බැලීමට  ඇමරිකානු ජනයාව යොමුකිරීමට මෙම නවකථාව මහගු සේවයක් කලබව පෙනේ. එහෙත් එය කිසිම අයුරින් රුසියානු විප්ලවකාරී දේශපාලන ක්‍රියාකාරීත්වයන් (Russian Revolution 1905-1917) මතුවූ සමයේ මැක්සිම් ගෝර්කිගේ (Maxim Gorky) 'අම්මා' (The Mother-1907) නවකථාව සිදුකල කාර්යභාරයට කිසිම ලෙසකින් සමාන නොවේ. ඒ වෙනුවට 'To kill a Mockingbird' නවකථාවේ දායකත්වය වඩාත් සමපාතවනුයේ 1960 දශකයේදී  ඇමෙරිකානු ක්‍රිස්තියානි සභාවල් එකට එක්වී ගොඩනගාගත් 'කිතුනු වටිනාකම් මුල්කර ගත් වර්ගවාදයෙන් තොර, සාදාරණ සහ යුක්ති සහගත ඇමෙරිකානු සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කාර්යභාරයටය. එම ක්‍රිස්තියානි සභාවල් නිලවශයෙන්  කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට සහය පලකල, කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී. හාපර් ලීගේ 'To kill a Mockingbird' (1960) නවකථාව ඇමෙරිකාව තුල ජනප්‍රියවීමට ඉහත සමාජ-දේශපාලන පෙළගැසීම්ද හේතුවන්නට ඇත. කෙසේවෙතත් එය කිසිම ලෙසකින් දේශපාලන නවකථාවක් නොවේ. එය බොහෝ සෙයින් හැදින්විය හැක්කේ ළමා නවකතාවක් ලෙසය.

තවද, හාපර් ලීගේ 'To kill a Mockingbird' නවකථාවේ ඇය භාවිතාකල 'ගොතික්' ශානරයද මෙම නවකථාවේ සාර්ථකත්වයට සහ එය සමාජයමත විශාල බලපෑමක් ඇතිකිරීමට ඉවහල්වූ බව පෙනේ. සාමාන්‍යයෙන් අදුරු, බිහිසුණු මිනීමැරුම්, ගුප්ත අපරාධ ආදිය කැටිකොටගත් නවකථා සදහා නවකථාකරුවන් බහුලව භාවිතාකරන 'ගොතික්' ශානරය ඇය මෙම නවකතාවට භාවිතාකර තිබීම තුල පාඨයන්ට මෙම කතාවේ දරුවන් ජීවත්වන සමාජය කෙතරම්  අදුරු, බිහිසුණු සමාජයක්ද, අප ඔවුන් එයින් මුදාගත යුතු නොවේදැයි යන්න නිතැතින්ම ඒත්තු ගන්වයි.

ඇයගේ මෙම නවකථාව කළු-සුදු චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනයකර ඇති අතර එය නවකථාවක් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට සමත්වූ   චිත්‍රපට කිහිපයෙන් එකකි. හාපර් ලී ගේ නාමයත්, ඇයගේ 'To kill a Mockingbird' නවකථාවත් පාඨකයන් තුල තවදුරටත් ජීවත් කිරීමට එම චිත්‍රපටය සමත්වී ඇත. ඇය එක් නවකථාවක් පමණක් ලීයූවද, එමගින් ඇය සමාජය තුල ඇති කළ චින්තන විපර්යාසය කෙබදු ආකාරවුවක්දැයි යන්න  එම චිත්‍රපටය නැරබීමෙන් පමනක් පවා උකහාගත හැකිබව මාගේ විශ්වාසයයි. 1961 දී ඇමරිකාවේ නුතන ශාස්ත්‍රීය සාහිත්‍ය නිර්මාන සදහා පිරිනැමෙන ඉහලම සම්මානයවන 'Pulitzer Prize' සම්මානයෙන්ද, 2007 දී ඇමරිකානු සාහිත්‍ය සදහා හිමිවන ජනාධිපති සම්මානය ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා අතින් ඇය හිමිකර ගන්නේද ඉහත පසුබිම තුලය.

එහින් සමාජයක්, පරම්පරා ගණනක් නැවත සිතන්නට යොමුකර මනුෂ්‍යත්වය පසක්කර දුන්, හාපර් ලී ඔබ සමාදානයේ සැතපේවා !!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
20/02/2016.

2 comments:

  1. "People generally see what they look for, and hear what they listen for" - Mu favourite quote from To kill a mocking bird.
    Great review and good introduction to those who havent read this book. Thanks

    ReplyDelete