Sunday, 19 April 2026

ස්නෝඩ්‍රොප්ස් යනු මල් පමණක් නොවෙයි - ඒවා සංකේතය


ස්නෝඩ්‍රොප්ස් වසන්තයේ මල් නොවේ. ඒවා සීත කාලයේ අවසන් සුසුම මැදින්, හිම පතළ මත හිස ඔසවන නිහතමානී ජීවිත සලකුණු වැනිය. වෙනත් කිසිදු මලක් ලෝකය වෙත පැමිණීමට නොසූදානම් වූ කාලයක, ශීතයේ ගැඹුරු නිහඬතාවය බිඳ දමා, සීතලට අභියෝග කරන, පොලව වෙතටම හිස නමාගත් මේ කුඩා පුෂ්පයන් නොඇසෙන නිහඬ හඬකින් මෘදු ලෙස අපට කියා සිටියේ “වසන්තය තවදුර නොවේ” යැයි යන්නය

දැන් වසන්තය පැමිණ තිබේ. හාත්පස පරිසරයම නේක වර්ණ මල්වලින් පිරී යන කාලය උදාවෙමින් තිබේ. රතු, කහ, නිල්, දම් වර්ණ රැසක් අතරින් පෘථිවිය නැවතත් සිනාවකින් පිරි යන බව පෙනේ. සුවඳ පිරුණු මල්වලින් වාතයත්, හිරු එළියෙන් උණුසුම් වූ මැදිරිත්, සතුටින් සම්පූර්ණ වන මේ කාලය ජීවිතය නැවතත් පිබිදෙන මොහොතක් වැනිය.

එහෙත්, මේ අලංකාරයන් මධ්‍යයේ, සීතලේ කටුකත්වය මැද පවා ජීවිතය නතර නොවන බව සිහිපත් කරවමින්, හිමකැටි අතරින් ඉහළට එසවුනු, සුදු ලපටි පෙන කැටි වැනි ඒ සරල, සුන්දර, නිහතමානී ස්නෝඩ්‍රොප්ස් නම් මේ කුඩා මල් අමතක නොවිය යුතුය.

ඒවායේ වටිනාකම ඇත්තේ එහි සරල සුන්දරත්වය තුළ පමණක් නොව, ඒවා පිපෙන කාලය තුළය. සෑම දෙයක්ම නිදා සිටින සෘතුවක, ලෝකය සීතලෙන් ගුලිව මැලවී සිටින විට, අඳුරු කාලය දිගු වී ඇතැයි සිතෙන මොහොතක, මුලින්ම ඉදිරියට පැමිණෙන්නේ පෙනකැටි වන් මේ කුඩා මල්ය. ඒවා බලා සිටින්නේ නැත; බිය වන්නේ ද නැත; හැකිලෙන්නේ හෝ පැකිලෙන්නේ ද නැත. ඒවා නිහඬව, නමුත් අඩංගු ශක්තියකින්, අලුත් ආරම්භයක දොරටුව විවර කලේය.

ඒ නිසාම, ස්නෝඩ්‍රොප්ස් යනු මල් පමණක් නොවෙයි - ඒවා සංකේතය. අඳුරු සමයන්ට පසු ආලෝකය පැමිණෙන බවට, ශීතලේ කටුකත්වය මැදින් පවා ජීවිතය තම මාර්ගය සොයා ගන්නා බවට, බලාපොරොත්තුව කිසිදා මැකී නොයන බවට එය සනාථයක් වේ.

අපේ ජීවිතවල ද අඳුරු කාලයන් හමු වේ. සීතලක් වැනි නිහඬ, බරපතල අවස්ථා උදාවේ. කාලය තවදුරටත් ගමන් නොකරන සේ පෙනෙන මොහොතවල් උදාවේ. එවැනි සෑම විටම, ස්නෝඩ්‍රොප්ස් මගේ මතයට නැගේ. එය අපට මතක් කරවන්නේ එක දෙයක් පමණි: බලා සිටින විට පවා, ජීවිතය ඇතුළත නව ආරම්භයක් නිර්මාණය වෙමින් පවතින බව.

දැන් වසන්තය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේ. හාත්පස පරිසරයම වර්ණවත් මල්වලින් පිරී යන මේ සුන්දර කාලය තුළ, මේ මහා අලංකාරයන් අතර පවා වසන්තයට පාර කියා දුන් ඒ කුඩා, නිහතමානී මල් අමතක නොකරමු.

ඒවා සරලය. ඒවා නිහඬය. අඳුර අවසන්ව ආලෝකය පැමිණෙන බව පළමුවෙන්ම කියා සිටියේ මේ කුඩා ස්නෝඩ්‍රොප්ස් ය.


මාකස් ප්‍රියන්ත පෙරේරා
19/04/26

No comments:

Post a Comment