Wednesday, 5 November 2025

බ්‍රිතාන්‍යයේ Bonfire Night දිනය හා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම


 Remember, Remember the Fifth of November (05/11) - අද බ්‍රිතාන්‍යය වැසියන් මල්වෙඩි දාමා, ගිනිමැල දල්වා, රතිඤ්ඤා පත්තු කර සෑම වසරකම යෙදෙන නොවැම්බර් 05 දිනය සමරණු ලබනවා. මෙම ගිනි මැල සංදර්ශන නිසාම අද දිනය බ්‍රිතාන්‍යයේ හදුන්වනු ලබන්නේ Bonfire Night දිනය නමිනි. 


මේ සැමරුමේ පදනම වුයේ 1605 නොවැම්බර් 5 වෙනි දින බ්‍රිතාන්‍යය  පාර්ලිමේන්තුවට ගිනි තබා, 1 වෙනි ජේම්ස් රජ (James I) මරා දමා, ගයි ෆවුක්ස් (Guy Fawkes) ඇතුළු පිරිසක් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අඩපණ කිරීමට, බ්‍රිතාන්‍යය  පාර්ලිමේන්තුව විනාශ කිරීමට කළ කුමන්ත්‍රණය (Gunpowder Plot) සමච්චලයට ලක්කිරීමයි.


පාර්ලිමේන්තුවට බෝම්බ ගසා විනාශ කිරීමට උත්සහ කළ එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  එවකට චෝදනා එල්ලවුයේ Robert Catesby මෙහෙයවූ කුඩා කතෝලික කණ්ඩායමකටය. ගයි ෆවුක්ස් (Guy Fawkes) යනු ඔවුන් බදවා ගත් ස්පාඤ්ඤ කතෝලික හමුදා සමග කටයුතු කළ පුපුරන ද්‍රව්‍යය පිලිබදව පුහුණුවක් ලැබූවෙක්.


එම කාලයේදී  (1600) එංගලන්ත සභාව හෙවත් ඇන්ග්ලිකන් පල්ලිය නියෝජනය කළ 1 වෙනි ජේම්ස් රජ (James I) ඒවකට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව යොදවාගෙන කතෝලික සභාවට සහ කතෝලික ජනයාට එරෙහිව විවිධ අණ පනත් සම්මත කරමින් බ්‍රිතාන්‍යය හා එහි පාලනයට නතුකරගෙන සිටි ප්‍රදේශ තුල දැඩි කතෝලික මර්ධනයක් දියත් කරමින් සිටි යුගයකි.  ගයි ෆවුක්ස් (Guy Fawkes), Robert Catesby ඇතුළු  කුඩා කතෝලික කණ්ඩායමට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා, 1 වෙනි ජේම්ස් රජ මරා, විවිධ අණපනත් පනවමින් බ්‍රිතාන්‍යය දියත් කරමින් සිටි එම මර්ධනකාරි ක්‍රියවලිය පරාජය කිරීමට හෝ ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් පළකිරීමටය. 


එහෙත් එය සාර්ථක වූයේ නැත. පර්ලිමේන්තුවේ යටි මහලේ වෙඩි බෙහෙත් ගොඩගසමින් සිටියදී ගයි ෆවුක්ස්ව (Guy Fawkes) අත් අඩංගුවට පත්විය. ගයි ෆවුක්ස් (Guy Fawkes), ලාගේ Robert Catesby ලාගේ, කුමන්ත්‍රණය පරාජයට පත්විය. ඔවුන්ට මරණ දඩුවම පැනවීය. 


එම කුමන්ත්‍රණකරුවන්ගේ පරාජය සැමරීම මෙන්ම, බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා, බ්‍රිතාන්‍යයේ නීති සම්පාදන ක්‍රියාවලිය, බ්‍රිතාන්‍යය  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, පරාජය කිරීමට හැකිය යන්න සමච්චලයට ලක්කිරීම, විහිළුවක් බව පෙන්වාදිම  අද දිනයේ බ්‍රිතාන්‍යයන් සමරණ November 5 (05/11) සැමරුම හෙවත්  Bonfire Night දිනයේ පදනමය. අද බ්‍රිතාන්‍යයන්  මල්වෙඩිදාමා, රතිඤ්ඤා පත්තු කර, ගිනි මැල් දල්වා රාත්‍රිය ආලෝකමත් කරන දිනයකි.  


බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගසා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට හිතීම ම විහිළුවක් යැයි සමරන අද වැනි දිනක: ශ්‍රී ලංකාවේ අපිට වුව ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට  බෝම්බ ගැසූ බව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සහ කළ ඉතිහාසයක් ඇති බව, අමතක කළ නොහැක. 


එහෙත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ හා එය ගිනිතබා විනාශ කිරීමට ගත් උත්සහයන් ලාංකිකයා වැළද ගත්තේ පාලකයන්ට එරෙහි ක්‍රියාමාර්ගය ලෙස මිස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට  එරෙහිව එල්ලවූ ප්‍රහාර ලෙස නොවේ.


 ඒ නිසාම පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතවූ අමාත්‍යය ලලිත් ඇතුලත්මුදලි කේන්ද්‍රකරගෙන දියත්වූ "මැදපු කමිස තුන නැත" වැනි විහිළු ජනයා අතර බහුලව සංසරණය වීමටත්, ජනයා අමන්දානන්දයට පත් කිරීමටත් හේතුවිය. 


එහින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ විට  ලාංකිකයා අමන්දානන්දයට නැන්වූයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ක්‍රියාවලියය.  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ලවූ තර්ජනය පිලිබදව ඔවුන්ට කියවීමක් නොවිණි.


එයට හේතු වූයේ ලාංකිකයා සිටියේ J.R. ඇතුළු පාලනයට එරෙහිව වීමය. රට වැසියන් අතර ජනප්‍රිය වෙමින් තිබුණේ පාලකයාට, පාලනයට, එරෙහිව වර්ධනයවෙමින් තිබූ විරෝධාකල්ප මානසිකත්වය. රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම තුල රටේ එතෙක් ස්ථාපිත ආයතනගත ක්‍රියාවලියට එරෙහිව එල්ල වූ ප්‍රහාරයේ භයානක පූර්වාදර්ශය සම්බන්ධයෙන් රට වැසියාට අවබෝධයක් නොවුනි. ලංකිකයා සිටියේ ලලිත් ඇතුළත්මුදලිගේ "මැදපු කමිස තුන" රසවිදිමින් මිස උදාවෙමින් පැවැති අනතුරු පිලිබදව අවබෝධයකින් නොවේ.


එහෙත් 1605 නොවැම්බර් 05 දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා විනාශ කිරීමට ගත් උත්සහය බ්‍රිතාන්‍යයන් සිය පාලකයාට එරෙහිව නැගීමක් ලෙස සැලකුවාට වඩා බ්‍රිතාන්‍යයන් සැලැකිල්ලට ගත්තේ එය ඔවුන් රටක් ලෙස  එතෙක් පවත්වාගෙනා ක්‍රමය විනාශ කිරීමට ගත් උත්සහයක් ලෙසය.


කාලාන්තරයක් පුරා ගොඩනගාගත් සිය උත්තරීතර ආයතන ව්‍යූහයට බෝම්බ ගසා, ඔවුන්ගේ සම්ප්‍රදාය බිද දමා, ඔවුන්ගේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස සලකන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ගත් උත්සහය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් හා ලාංකිකයන්   දැක්වන ප්‍රතිචාරයන්ගේ වෙනස එයය...


"Remember, Remember the Fifth of November(05/11),

The Gunpowder Treason and Plot,

I know of no reason

Why Gunpowder Treason

Should ever be forgot..."


මාකස් ප්‍රියන්ත පෙරේරා 

05/11/25

No comments:

Post a Comment