Monday, 2 December 2024

ජෝන් ඒ. ප්‍රනාන්දු නම් වූ මීගමුවේ ප්‍රකට අධ්‍යාපනඥයා

මීගමුවේ ප්‍රකට අධ්‍යාපනඥයකු වූ ගරු ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. 1932, දෙසැම්බර් 12 දින උපන් ඒ මහතා මියයන විට වයස අවුරුදු 92 ක් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ඇතුළු පාසැල් 05 ක ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර තිබූ ඒ මහතා මීගමුව සා. පීතර විදුහලට අප ඇතුල්වන විටත් එහි විදුහල්පතිවරයා විය. 1980 දශකයේ දී මීගමුව සා. පීතර විදුහල අත්කරගත් අතිමහත් ජනප්‍රියත්වය හා කීර්තිය පිටුපස සිටි නියමුවා වුයේ ඒ මහතාය.

ගුරුවරයෙකු හා විදුහල්පතිවරයෙකුව සිටියදීම මීගමුවේ ගම් නියන්ගම් පුරා ඒ මහතා දිනා සිටි පිලිගැනීම හා ගෞරවාදරය නිසාම එවකට මීගමුව නියෝජනය කළ එ. ජා. පක්ෂයේ ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ දේශපාලන අදිකාරියේ ද්වේශයට පාත්‍ර විය. ජේ.ආර් ජයවර්ධන රජයේ හිටපු කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයෙකු වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා දූෂිතයෙකු නොවූන නමුදු දේශපාලන වශයෙන් අදූරදර්ශිකයෙකු විය. ඔහු වටා සිටි අගක් මුලක් නොදන්නා කේවට්ටයින්ගේ බහට ඇහුම්කන් දෙමින් තමාගෙන් පසු මීගමුවේ දේශපාලකයෙකු ලෙස ඔසවා තැබිය හැකිව තිබූ මීගමු සා. පීතරයේ ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමා සමග ඔහු එදිරිවාදිකම් ඇතිකර ගත්හ.

ක්‍රමයෙන් මහත් ජනප්‍රියත්වයට පත්වෙමින් සිටි ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමාව එම තනතුරින් හෝ මීගමුවේ සා.පීතරයෙන් ඉවත් කිරීමට ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයා අදිටන් කරගෙන සිටියහ. එහෙත් ඔහුට එය කරගැනීමට නොහැකිවූයේ කතෝලික සභාව ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිවරයා සමග වූ බැවිනි.

විශේෂයෙන්ම එවකට කොළඹ අගරදගුරුවරයා වූ ගරු නිකලස් මාකස් අගරදගුරුවරයා ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිවරයා සමග සා. ඇලෝසියස් දෙව්සත් හළේ එකට ඉගෙනගත් සමකාලීනයන්වීම නිසාත්, මීගමුවේ අධ්‍යාපනය නන්වාලීමට ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා කතෝලික පල්ලිය සමග බොහෝ කටයුතුවල නිරතවීම නිසාත්, ප්‍රදේශයේ ජනයාගේ විශාල සහයක් හිමිව තිබූ නිසාත්, ඇමැති ඩෙන්සිල් ප්‍රනාන්දු ගේ දේශපාලනය අදිකාරිය තඹ සතයකටවත් මායිම් නොකරමින් කටයුතු කිරීමට ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමාට හැකි විය.

ගලන ගඟක් නැවැතිය නොහැක්කාක් සේ දක්ෂයෙකු ලෙස පිලිගැනීමට ලක්ව සිටි ජෝන් ඒ. ප්‍රනාන්දු විදුහල්පතිතුමා ගේ දේශපාලන සම්ප්‍රාප්තිය ඩෙන්සිල්ලාට නැවතිය නොහැකි විය. මීගමුවේ නියෝජ්‍යය නගරාධිපතිවරයා ලෙස පත්වූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාව ද නියෝජනය කළේය. ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ජෝන් ඒ. ප්‍රනාන්දු මහතාව රෝමයේ කොන්සාල්වරයෙකු ලෙස ද පත්කර යවන ලදි.

එතුමා ගේ සහෝදරියක් (ව්නී ටීචර්) හා සහෝදරයෙක් (මාරිස්ටෙලා විදුහලේ මරියනස් මාස්ටර්) ද ගුරුවරුන් ලෙස මීගමුවේ නමක් දිනාගෙන සිටියේය. මීගමුව පෙරියමුල්ල ඇලපාරේ පදිංචිව සිටි ඒ මහතා පසුව එම දේපළ විකුණා දමා කටාන දිසාගෙවත්තේ පදිංචියට ගියේය. එසේ පදිංචියට ගිය ද ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා නිතර සිය උපන් ගම් පලාතට පැමිණිමට අමතක නොකළේය. එසේ පැමිණිවිට අපගේ නිවසට ද නිතර පැමිණෙන ඒ මහතා අපේ දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සමග ද කාලාන්තරයක් පුරා පැවැති හිතවත්කම් සිහි කළේය. අපේ පියා (ෆීලික්ස් පෙරේරා) ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා විදුහල්පතිවරයෙකුව සිටියදී පාසැලේ කටයුතු සම්බන්ධයෙන් ද, එතුමා හා ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමැතිවරයා අතර ආරවුල් පැවති වකවානුවේදී මැදිහත්කරුවෙකු ලෙස ද කටයුතු කර තිබුණි. එම හැදුනුම්කම් නිසාම එතුමාගේ පුතෙක් කාලයක් කරගෙන ගිය මීගමුවේ ලියෝ සමාජ ශාලාවේ snooker, pool, සහ billiards ක්‍රිඩාවේ නිරතවිමට අපිට දිවා කාලයේදී දොරටු විවෘත විය. දැන් මීගමුවේ ගැටවරයන්ට එසේ snooker, pool, සහ billiards ක්‍රිඩාවේ නිරතවීමට අවස්ථාවක් හා ස්ථානයක් නැත්තටම නැති තරම්ය.

ජෝන්. ඒ ප්‍රනාන්දු මහතා කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ද විශාල උනන්දුවක් තිබූ උගතෙක් විය. මීගමුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මීගමුව සා. පීතර දේවස්ථානයේ තිබෙන කාලයේ දී මෙන්ම, එම සුරුවම මීගමුව නගර මධ්‍යයේ සිට දූවේ සින්දාත්‍රි දේවස්ථානයට රැගෙන ඒම හා රැගෙන යාමේදී ද, සා. පීතර පාස්කු දර්ශනය සම්බන්ධයෙන් ද මහත් කැපවීමෙන් දායකවිය. අධ්‍යාපන විෂය අලළා ග්‍රන්ථ කිහිපයක්ම කර ඇති ඒ මහතා මීගමුවේ සුප්‍රකට කලා ශිල්පියෙකු වූ N.S. ගොඩමාන්න කලාකරුවා ලවා මීගමුව සා. පීතර විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට උත්ථාන වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කළේය. බෞද්ධ කලා සම්ප්‍රදායේ පවතින ගෞතම බුදුන් වහන්සේගේ අංග ලක්ෂණ ඇසුරෙන් නිර්මාණය කළ අඩි 8 ක් පමණ උස වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ එම ප්‍රතිමාව බොහෝ විචාරකයින්ගේ උදහසට ලක්වූවක් විය. එහෙත් ක්‍රිස්තියානි කලාව ප්‍රකට කරණ විවිධ සමාජයන් හී සම්මිශ්‍ර ලක්ෂණ නිරූපනය කිරීම පිළිබඳව වූ විශ්වීය කතිකාවන් ඇසුරින් කරුණු ඉදිරිපත් කරමින් එම ක්‍රිස්තු ප්‍රතිමාවේ නිර්මාණාත්මක අගය ජනයාට අවබෝධකරලීමට ජෝන් ඒ. ප්‍රනාන්දු මහතා විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල එම ප්‍රතිමාව ගැන රූපවාහිනී වැඩසටහනකට එතුමා අදහස් දක්වා ලූ ආකාරය මට අදත් මතකය. එතුමාගේ විස්තර කිරීම් හුදෙක් එම නිර්මාණය හා අප විදුහල පමණක් නොව N.S. ගොඩමාන්න කලාකරුවා ද ලාංකිකයන් අතරට ගෙන ගියේය.

මීගමුව සා.පීතර විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට තිබූ එම ප්‍රතිමාව විදුහලේ පිහිණුම් තටාකය ඉදිකිරීමට විදුහල් පුස්තකාලය දෙසට රැගෙන යන ලදි. මහත් සංස්කෘතික වටිනාකමක් ඇති එම ප්‍රතිමාව පාසැල් භූමියේ කොනකට සීමා නොකර, මීගමුව සා. පීතර විදුහලේ තාප්පයක් කඩා හෝ ඉඩක් වෙන්කරගෙන, රටේ ජනයාට ද දැක බලා ගත හැකි සේ නැවැත ස්ථානගත කළ හැකි නම් එය මීගමුව සා. පීතරය විදුහලට ද, N.S. ගොඩමාන්න කලාකරුවා ඇතුළු මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවයට ද, ජෝන්. ඒ ප්‍රනාන්දු නම් මීගමුවේ කීර්තිමත් අධ්‍යාපනඥට ද සිදුකරන මහා උපහාරයකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
30/11/24

3 comments:

  1. එතුමා කාලයක් බෝලවලාන ගුරුවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළා. එවකට මටද එතුමන් සමග ආචාර්ය මණ්ඩලයේ වැඩ කිරීමට ලැබුනා. එතුමන්ට මොක්සුව පතමි.

    ReplyDelete
  2. මෙහි සඳහන් එන්. එස්. ගොඩමාන්න මහතා පිලිබඳ තොරතුර සාවද්‍ය බව සඳහන් කරමි. මා විසින් රචිත "මීපුර සාන්ත මරියා දෙව්මැදුර එහි බිතු සිතුවම් සහ කලාසූරී එන්. එස්. ගොඩමාන්න" නැමති ග්‍රන්ථයෙහි එතුමාගේ කලා දිවියේ විවිධ පැතිකඩ සඳහන් කළෙමි. ඔහු විසින් කරන ලද ප්‍රතිමා නිර්මාණ ගැනත් එහි සඳහන්ව ඇත. මාකස් ප්‍රියන්ත මහතා සාන්ත පීතර විදුහල පරිශ්‍රයේ තිබුණ ජේසුස් වහන්සේ ගේ ප්‍රතිමාව එන්. එස්. ගොඩමාන්න ගේ නිර්මාණයක් බව සඳහන් කර ඇතත්එය එතුමා ගේ නිර්මාණයක් නොවන බව අවධාරණය කරමි.
    මා මේ ප්‍රතිමාව නිර්මාණය කිරීම පිළිබඳ තොරතුරු ජෝන් ප්‍රනාන්දු මහතා ගෙන් 2022 වසරේදී විමසුවෙමි. එතුමා පැවසුවේ එය වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි බෙන්ජමින් මාස්ටර් (නම පිළිබඳ මගේ මතකය නිවැරදි නම්) නැමැත්තෙකු ට තම අදහස් ඉදිරිපත් කරන ලදුව බෙන්ජමින් මහතා විසින් එම පිළිරුව සැලසුම් කර නිර්මාණ ය කළ බවයි. මාකස් සඳහන් කරන රූපවාහිනී වැඩසටහන මාද නරඹන ලදී. එහි ප්‍රධාන වශයෙන්ම විකාශය වූයේ මහවීදිය දේවස්ථානයේ එන්. එස්. ගොඩමාන්න විසින් අඳින ලද චිත්‍ර පිළිබඳව ගොඩමාන්න සමග ඒ දේවස්ථානය තුල සිට කරන ලද සාකච්ඡා වකි.දෙවනුව ජෝන් ප්‍රනාන්දු මහතා සමග යටකී ප්‍රතිමාව සම්බන්ධයෙන් එම ප්‍රතිමාව අසල සිට එම වැඩසටහන විකාශය කරන ලදී. මාගේ ඉහත කී ග්‍රන්ථ ය ලියු අවස්ථාවේ ඊට උපයෝගී කර ගැනීමට එම වැඩසටහන සහිත වීඩියෝව සොයා ගැනීමට මා ජාතික රූපවාහිනිය විමසූ නමුත් දැනට සොයා ගැනීම අසීරු බව පසක් කර ගතිමි. 1988 01.15 දින සවස. 55 ට මෙම වැඩසටහන විකාශය වූ බව මගේ ග්‍රන්ථයෙහි සඳහන් කලෙමි. කවුරුන් හෝ දන්නේ නම් ඒ පිළිබඳ තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනෙමි. එය නිහඬ කලාකරු වන් අගය කිරීමට අරමුණු කරගත් එකකි.
    මාගේ ග්‍රන්ථ ය ලිවීම ට මා අරමුණු කළ එක් කරුණක් වූයේ ද එන් එස්. ගොඩමාන්න පිළිබඳ නිවැරදි තොරතුරු එක්තැන් කිරීම ය.

    ReplyDelete
  3. ඉහත සඳහන් රූපවාහිනී වැඩසටහන විකාශය වූ වේලාව ප. ව. 6.55 වශයෙන් නිවැරැදි විය යුතුය.

    ReplyDelete