Friday, 22 March 2024

වික්ෂෝප දේවමාතා දිනය, සිවිල් නුවර පාස්කු සතිය සහ මීගමු දූවේ දානය

 


අද මහ සිකුරාදාට පෙර සිකුරාදා වික්ෂෝප දේවමතා දිනය ය. අද සිට පටන් ගන්නා ඉදිරි සතිය ස්පාඤ්ඤයේ සිවිල් නුවර (Seville) කිතුනු බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන සතියකි. මෙම කාලය තුල ඉතා ඉහල මිලකට මිස, සාමාන්‍ය මිල ගණන් ගෙවා එම පලාතෙන් හෝටල් කාමරයක් වෙන්කර ගත නොහැක. ස්පාඤ්ඤයේ සිවිල් නුවර (Seville) චතාරික සතිය Holy week brotherhoods (Semana Santa hermandades) ඇරඹෙන්නේ අද පවත්වන වැලපෙන දේවමාතාවන්ගේ (weeping Madonna/Virgen de la Macarena) පෙරහැරත් සමගය. ඒ අනුව වික්ෂෝප දේවමතාවන්ගේ දිනය ස්පාඤ්ඤයේ සිවිල් නුවර (Seville) චතාරික සැමරුමේ සුවිශේෂී දිනයකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ එල්ලා මරා දැමීම මහ සිකුරාදා දිනයේ සමරණ කිතුනුවෝ, මහ සිකුරාදාට පෙර සිකුරාදා දිනය වන අද දින, ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්ගේ වික්ෂෝපය සමරයි.

"වික්ෂෝප දේව මාතා" ( Mother of Sorrows) සැමරුම කතෝලිකයින්ට හදුන්වා දෙන්නේ 1232 දී ඉතාලියේ ටස්කනි (Tuscany) ප්‍රදේශයේ විසූ කාන්තාවන් දොළොස් දෙනෙකු එකතුවී 'මරියාවන්ගේ සේවකයෝ' (Order of the Servants of Mary) හෙවත් 'සර්වයිට් ඕඩර්' (Servite Order) නම් එකතුවක් පිහිටවාගෙන මරියතුමියගේ වේදනාත්මක සිද්ධීන් 7 හා බැඳුණු යැදුම් මෙනෙහි කිරීමක් ආරම්භ කිරීමෙන් බව කියවේ. සිය දරුවන්ගේ අකල් මරණයන් දේවමාතාවන් වන මරියතුමියගේ පුත් ජෙසුස් ක්‍රිස්තුස්ගේ මරණය හා කැටිකරගනිමින් යැදී එම ටස්කනි (Tuscany) ගිහි කාන්තාවෝ කතෝලික ආගමේ වික්ෂෝප දේවමතා බැතියේ ආරම්භකයන් බව ගරු ටෙරන්ස් බෝදියාබදූගේ පියතුමා 07/05/2020 දින ලියූ සටහනකින්ද දැක්වේ.

එතුමාගේ සටහනට අනුව ඉහතකී ඉතාලි ටස්කනි (Tuscany) කාන්තාවන් එසේ මෙනෙහි කල දේවමාතාවන් තම ජීවිතය තුළ විදි වේදනාවන් 07 නම්:

1. සමිඳුන් දේව මාලිගාවේ දී පුද දුන් විට සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ ඇගේ හදවත කඩුවකි සිදුරු කරනවා සේ වේදනාවක් දැනෙනු ඇතැයි යන ප්‍රකාශය (ශු. ලූක් 2: 33 - 35).

2. හෙරොද්ගේ කඩු පහරින් ජේසු බිළිඳුන් බේරා ගැනිම සඳහා වේදනාව පිරුණු හදවතකින් මිසරයට පලා යෑම (ශු. මතෙව් 2: 13 - 15).

3. දේව මාලිගාවේ දී ජේසු සමිඳුන් නැතිවීම (ශු. ලූක් 2: 41- 50)

4. කුරුස ගමනේදී මරියාවන්ට ජේසු සමිඳුන් මුණගැසීම (ශු. ලූක් 23: 27).

5. කල්වාරි කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පත්වීම (ශු. ජුවාම් 19: 25 - 27).

6 ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ශ්‍රී සිරුර කුරුසියෙන් බාන ලදුව තම උකුලේ හොවා ගැනීම (ශු. මාක් 15: 43 - 45).

7. උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය සොහොනක තැන්පත් කිරීම (ශු. ජුවාම් 19: 38 - 42).

කලකට පෙර කතෝලිකයින් අතර භාවිතයේ පැවැති කළු බෙන්තිඤ්ඤය (Black Scapular) ද වික්ෂෝප බැතිය කතොලිකයින්ට හදුන්වාදුන් ඉතාලියේ ඉහත කී ටස්කනි (Tuscany) කාන්තාවන්ගේ එකතුවේ නිර්මාණයක් යැයි දැක්වේ.

ඉතාලි ටස්කනි (Tuscany) ගිහි කතුන්ගේ යැදුම භක්ති අභ්‍යාස, පසුකලෙක ලතින් භාෂාවෙන් හඳුන්වන්න 'මාටෙර් ඩොලරොසා' (Mater Dolarosa) නම් භක්ති අභ්‍යාසයක් බවටත්, "වික්ෂෝප දේව මාතාව" Mother of Sorrows, Our lady of Dolours (අවර් ලෙඩි ඔෆ් ඩොලර්ස්), Our lady of the seven Sorrows (අවර් ලෙඩි ඔෆ් ද සෙවන් සරොස්), Our lady of seven Dolours (අවර් ලෙඩි ඔෆ් සෙවන් ඩොලර්ස්) යන නාමයන්ගෙන් හදුන්වන දේවමතා ඇදහිල්ලක් බවටත් පත්විය.

දේවමාතාවන් අත්දුටු වේදනාවන් ගැන බොහෝ ලිපි ලියැවෙන්නට, මෙනෙහි කිරීමට, පටන් ගත්තේ එකොළොස්වන ශත වර්ෂයේ සිට වුවත් එය කතෝලික සභාව නිළ වශයෙන් පිලිගත් භක්ති අභ්‍යාසයක් වි ඇත්තේ 1423 දී ජර්මනියේ කොලෝන් නගරයේ පැවති රදගුරු සම්මේලනයකදී ගත් තීරණයක් අනුව බව ටෙරන්ස් බෝදියාබදූගේ පියතුමාගේ 07/05/2020 දින ලියවිල්ලේ දැක්වේ.

තවද වික්ෂෝප දේවමතා සැමරුම මුලින්ම යෙදී ඇත්තේ චතාරික කාලයෙන් පසු එළබෙන, උත්ථාන සමයේ තුන්වන ඉරුදිනට පසුව එන සිකුරාදා බවත්, ක්‍රිස්තු වර්ෂ 1600 දී ප්‍රංශය පුරා ඉතා ප්‍රචලිත වූ මේ වික්ෂෝප බැතිය, 1727 අප්‍රියෙල් 22 දිනදී XIII වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් ගොබ් ඉරිදා ට පෙර පැමිණෙන සිකුරාදාව 'වික්ෂෝප සිකුරාදා' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් බෝදියාබදූගේ පියතුමාගේ ඉහත සටහනේ කියවේ.

1913 දී X වන පයස් පාප් වහන්සේ සැප්තැම්බර් 15 දිනය වික්ෂෝප දේව මාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබන දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළත්, 1712 සිට අද දක්වාම වික්ෂෝප දේවමතා දිනය යෙදී ඇත්තේ ගොබ් ඉරිදා (Palm Sunday) ට පෙර එන සිකුරාදා හෙවත් මහ සිකුරාදාට පෙර සිකුරාදා දිනය වන අද වන දිනයකයි.

දකුණු ස්පාඤ්ඤයේ Seville නුවර වැසියන් සිය පාස්කු සතිය හෙවත් ශුද්ධවූ සතිය (ස්පාඤ්ඤ භාෂාවෙන් Semana Santa) අරඹන්නේ අද දින වික්ෂෝප දේවමාතාවන්ගේ දිනයේ, වැලෙපෙන දේවමාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර නගරය පුරා වීදි සංචාරය කිරීමෙනි.

එම පෙරහරේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණගසා සිටින ප්‍රතිමා, දුක්ප්‍රාප්තියේ දර්ශන පමණක් නොව කළු සහ සුදුලොගු ඇදගත් මුහුන වසාගත්, තැතිගන්නා පෙනුමක් ඇති, පිරිස්ද ගමන්කරයි. එම පෙරහැර ඔස්සේ Seville නුවර ඇති වැලෙපෙන දේවමාතාවන්ගේ ප්‍රතිමාවේ වැගිරෙන කදුළුවල අර්ථය කුමක්දැයි දක්වයි. සියවස් ගණනාවක් යුද්ධවලින්, ජාතිවාදී, ආගම්වාදී සහ දේශපාලන ලේවැගිරීම්වලින්, මරාදැමීම්වලින්, වධහිංසාවලින් හෙම්බත්වූ Seville වැසියන්ට දේවමාතාවන්ට සිය පුත්‍රයාවන ජෙසු අහිමිවීම හුදෙක් චතාරික වතාවත් නොව සිය ජීවන අත්දැකීම් බව පසක් කර දෙන්නක්.. ඔවුන්ගේ ඉතිහාසය නැවත නැවත අනුස්මරණය කරන්නකි.. එම පෙරහැර ආරම්භ කරනුයේද එවැනි පසුබිමක් මතයි.

එහෙත් චතාරික සමයේදී මරියතුමීයගේ වේදනාව ගැන කථාකරන අපි, අපේ රටේ මව්වරුන්ගේ, සහ එහි වැසියන්ගේ වේදනාව ගැන මෙනෙහි නොකරන්නේ නම් එහි අර්ථයක් නැත.

මීට කලකට පෙර මීගමු දූවේ වික්ෂෝප සිකුරාදාට මහා දානයක් දීමේ සම්ප්‍රදායික් තිබුනි. ඒ පිලිබදව සොයාබැලීමේදී දූව පාස්කු සංදර්ශනයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නිරූපනය කළ දුලාජ් පිංතු මහතා දක්වා ලූයේ එම දානය දීමේ පිළිවෙත තවමත් සක්‍රීයව දූවේ පවතින බවයි. බොහෝ විට එය ආශ්චර්‍ය්‍යමත් ක්‍රිස්තු ප්‍රතිමාව දූවේ තැන්පත් කර ඇති අවුරුදු දෙකේදි සිදුවන්නකි. එය මීගමු කළපුවේ කට්ටුදැල් උරුමය හිමි දූවේ පාරම්පරික ධීවර මහතුන් තම්බාගත් ඉස්සන් සහ කිරිබත් සමඟ ලබාදෙන දානයකි. එය වික්ෂෝප සිකුරාදා හෝ ඊට පෙර සිකුරාදා බෙදා දෙනු ලබන්නකි. සාමාන්‍යයෙන් කෙළවල්ලන් සහ බල මාලු වලින් සකසන ලද මිරිස් මාළු සහ කිරිබත් බෙදා දීමේ දාන මීගමුවේ කතෝලික ධීවර ප්‍රජාව අතර අතීශයින් ප්‍රකටව තිබුනද, වික්ෂෝප දේවමතා දිනයේදී මීගමු දූවේ ධීවරයන් බෙදා දෙන ඉස්සන් දානය වෙනස්ම සහ අපූර්වත්වයක් එක් කරන විශේෂ අංගයක් බව දුලාජ් පින්තූ මහතා ගෞරවයෙන් මතක් කරන ලදි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

22/03/24

1 comment:

  1. ස්තූතියි සටහනට... නොදන්නා දේ නෙව.

    ReplyDelete