Monday, 31 July 2023

Barbie සහ Oppenheimer පරම්පරා දෙකක යුග වෙනස නිරූපණය කරන සිනමා සමාර්ථයන්ද?


ගිය සතියේ Barbie සහ Oppenheimer චිත්‍රපට දෙකම නැරඹුවේමි. එම චිත්‍රපට දෙක මෑත යුගයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට දෙක දැයි මම නොදන්නෙමි. එහෙත් මෑත කාලයකදී මම බැලූ විශිෂ්ටතම චිත්‍රපටි කිහිපයෙන් දෙකක් යැයි පැහැදිලිවම කිව හැක.

Barbie බොළද ළමා චිත්‍රපටයක් යැයි කිසිවෙකු ඒ නම ඇසූ පමණින්ම සිතනු ඇත. එහෙත් එය වැරදිය. එහි හරය, සන්දර්භය, පමණක් නොව නිර්මාණයක් ලෙසද Barbie සිත් ඇදගන්නා සුළු, එක් වයස් කාණ්ඩයකට පමණක් සීමා නොවූ විශිෂ්ට නවීන සිනමා නිර්මාණයකි. ජනප්‍රිය Barbie බෝනික්කෙකුට ජීවය ලබාදෙමින් දිගහැරෙන එම චිත්‍රපටය ක්‍රමයෙන් ජීවිතයේ ගැඹුරු සහ සංකීර්ණත්වය කරා ගමන් කරයි. මල් මල් Barbie බෝනික්කෙකුගේ සරල චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයාව එවැනි මානයක් දෙස චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වන Greta Gerwig ගෙන යනුයේ කෘතිමව නොවේ. එය දිගහැරෙනුයේ සරල සුන්දර බාර්බිගේ අලංකාරයට සහ චමත්කාරයට කිසිදු හානියකින් සිදුනොවන ආකාරයටය. චමත්කාරත්වයත්, බුද්ධියේ සාරයත්, දෝෂ රහිතව ග්‍රහණය කරමින් දිගහැරෙන Barbie චරිතයට පණ පොවමින් Margot Robbie මෙන්ම කෙවින්ගේ චරිතයට පණ පොවන Ryan Gosling ගේ රංගනයන් Barbie චිත්‍රපටයට ජීවය ගෙන එන්නේ සම්පූර්ණයෙන්ම අව්‍යාජවය. කිසිදු අයාසයකින්ද තොරවය. සින්තටික් චරිතවල සිට එදිනෙදා ජීවිතයේ යථාර්තයන් යථාවත්කරන වපසරියකින්, ෆැන්ටසිමය සිහින ලෝකවල් හා එදිනෙදා ජීවිතයේ දුක්දොම්නස් සියුම්ව හුවාලන ඔවුන්ගේ චරිත නිරූපණයන් චිත්‍රපටයේ පරිනිර්මාණයට උපරිම සාධාරත්වයක් එක් කරන අතර චිත්‍රපටියේ ආශ්වාදය සහ එහි සරල සින්තටික් ස්වරූප උපරිම ඉහලකින් ඔසවා තබයි චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් ලෙස Greta Gerwig මෙතෙක් පිරිමින් රජකල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගේ ලෝකයට හසුනොවූ වෙනම ම ස්ත්‍රීමය/කාන්තාමය (feminine) පැතිකඩක් සිනමා ලෝකයට ඇතුල් කරමින් සිටින්නේදැයි සිතෙන තරමට Barbie චිත්‍රපටය විශිෂ්ට ලෙස නිර්මාණය වී ඇති බව මගේ හැගීමයි.

අනෙක් අතට Christopher Nolan අධ්‍යක්ෂණය කල Oppenheimer චිත්‍රපටය අප ජීවත්වන අවධානම් සහගත නිරව් යුද්ධයේ නිර්මාපකයා වූ පරමාණු බොම්බයේ පියා (father of the atomic bomb) ලෙස සැලකෙන ජර්මානු - යුදෙව් ඇමරිකානු - භෞතික විද්‍යාඥයෙකු වූ J. Robert Oppenheimer ගේ ජීවින චරිතයකරා රැගෙන යැයි. වමාංශිකයෙකු, කොමියුනිස්ට් පක්ෂ හිතවතෙකු, ස්ත්‍රී ලෝලියෙකු, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය මෙන්ම යුරෝපයේ යුදෙව් ජනයාගේ සමුල ඝාතනයන් ගැනද මැදිහත්ව කටයුතු කරන, විශිෂ්ටතම ශිෂ්‍යයෙකු නොවුනද එම යුගයේ ප්‍රකට භෞතික විද්‍යාඥයන්ගේ අවධානයට ප්‍රාප්තවූ කැපී පෙනෙන භෞතික විද්‍යාඥයෙකුවූ J. Robert Oppenheimer ඇමැරිකාවේ න්‍යෂ්ටික බෝම්බ වැඩසටහනේ (Manhattan Project) ප්‍රධානියා ලෙස කටයුතු කිරීමත්, ඒ හා මෙන්ම ඉන් අභ්‍යන්තරයේ සහ ඊට පරිබාහිරවත් දිග හැරෙන ක්‍රියා දාමයන් එකට කැටි කොට ගැනීම අතින් Christopher Nolan ගේ Oppenheimer චිත්‍රපටය දක්වන සාමාර්ථද සුළු පටු නොවේ.

Oppenheimer යනු එකී සියළු සිදුවීම් චිත්‍රපටි‍යක් තුල ඒකාබද්ධ කරමින් දිගහැරෙන අපූර්ව සිනමා චිත්‍රනයකි. එක් එක් ක්‍රියාදාම‍යන් රූපරාමු වශයෙන් ගලපමින් ද, සංගීත සහ ශ්‍රව්‍ය සූක්ෂම ලෙස මිශ්‍රණය කරමින් ද, අභ්‍යන්තර කතාව සහ එලිපිට කතාව ලෙස කළු-සුදු සහ වර්ණ රෑප රාමු වෙනසක් නොපෙන්වන ආකාරයට දර්ශන තලයන් වශයෙන් මුසු කරමින් ද Christopher Nolan අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ අද්විතීය සිනමා අත්දැකීමකි. පරමාණු අණුවක, ඉලෙක්ට්‍රෝන ධාරාවක, විද්‍යුත් පරිපථයක ගමන් කරන කුමක් දෝ විදුලි ආලෝකයක චිත්තවේගයන් සහ ඇඩ්‍රිනලින් ක්‍රියාකාරිත්වයන් උද්දීපනය කරමින් Robert Oppenheimer ගේ ජීවන චරිතයට පණගන්වමින් Cillian Murphy දක්වන චරිත නිරූපනය අති විශිෂ්ටය. හුස්ම ඉහල පහල යන හෘද ස්පන්දන ක්‍රියාවලියක අනුපිළිවෙලවල් වල සිට දුම්වැටියක, නුරාවක, මධුවිතක මැදි වෙන Robert Oppenheimer ගේ බුද්ධිමය සහ මානුෂික හැගීම් මනාව සංකලනය වන අයුරු දක්වන Cillian Murphy රංග නිරූපණය ඔහු මෙතෙක් රගපෑ Peaky Blinders ටෙලි නාට්‍යය මාලාවේ Tommy Shelby ගේ චරිතයෙන් පසු ඔහු නිරූපණය කල විශිෂ්ටතම රංගනය බවට කිසිදු සැකයක් නැත. Cillian Murphy ව සෑම අතින්ම Robert Oppenheimer ට සමාන කරලීමට වේෂ නිරූපණ ශිල්පීන් ප්‍රදර්ශනය කර ඇති නිර්මාණාත්මක කාර්භාරයද ඇගයීමට ලක්විය යුතුමය. ඒ සෑම අතකින්ම ගත්කළ Oppenheimer චිත්‍රපටය යනු සැබවින් අද්විතීය සිනමා නිර්මාණයකි.

Oppenheimer චිත්‍රපටයට වඩා සම්පූර්ණයෙන් වෙනස් මගක ගමන් කල සිනමා නිර්මාණයක් වුවද Barbie ද එවැනිම විශිෂ්ඨ සිනමා නිර්මාණකි. මෙම චිත්‍රපට දෙකේම විශිෂ්ත්ව‍ය කෙතක්දයත් චිත්‍රපටි දෙකම එකිනෙකට නොදැවෙනි තරගයකින් සියළු ආදයම් වාර්තා බිද දමමින් සිටී. සිනමා ශාලා අතුරු සිදුරු නැතිව පුරවාලමින් සිටී. සියළු Box office වාර්තා අළුත් කරමින් සිටී. මේ ගෙවීයන්නේ කෝව්ඩ් වසංගතයෙන් පසුව පමණක් නොව දශක කිහිපයකට පසුව වුවද සිනමාවට උදාවූ හොදම කාලයකි.

මගේ අදහසේ හැටියට නම් මෙම චිත්‍රපටි දෙක පරම්පරා දෙකක අභිලාෂයන්, චෛතසිකයන් වෙන්වෙන්ව නිරූපණය කරන සංක්‍රාන්තියම වශයෙන් පරම්පරා දෙකක යුග වෙනස නිරූපණනය කරන සංකේතාත්මකව වැදගත් කලා නිර්මාණන්ය. Oppenheimer අපේ පරම්පාවේ හැගීම් දැනිම්, බල - කාමයන්, අභිප්‍රේරණයන්, නිරූපණය කරන්නේ නම් Barbie යනු Generation Z සහ Generation Alpha ලෙස හදුන්වන 1980 පසු උපන් පරම්පරාවල ශාරිරික, මානසික, සමාජ, සංස්කෘතික සහ සංවේදී සීමා මායිම් ආමන්ත්‍රණය කරන නිර්මාණය යන්ය. අපි ඒ ගැන තව තවත් කතා කල යුතුය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/07/23

Wednesday, 26 July 2023

බ්‍රිතාන්‍යයන්ගේ ගෞරවාදරයට ප්‍රාප්තවූ ජෝර්ජ් අලගායා නම් නිහතමානී මිනිසා

BBC ප්‍රවෘත්ති සේවයේ සවස හයට ප්‍රවෘත්ති කියූ ජෝර්ජ් අලගායා (George Alagiah) නික්ම ගොසිනි. වසර 10කට ආසන්න කාලයක් පිලිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මට අවස්ථා කිහිපයකදීම මුණ ගැසී ඇත. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අයවද මම කාලයක් තිස්සේ දන්නා හදුනමි. 

ජෝර්ජ්ට පෙර මට මුණ ගැසුනේ ඔහුගේ පියා සහ සහොදරියන් ය. ඒ 2001 තරම් ඈත කාලයේදීය. ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) වු ජෝර්ජ් ගේ පියාට මාව හදුන්වා දුන්නේ  Samuel Durham නම් මාගේ මිතුරෙකි. ඔහු මාව ඩොනල්ඩ් අලගායා ට හදුන්වා දුන්නේ මෑතකදී  ලංකාවේන් පැමිණි ශිෂ්‍යයෙකු ලෙසිනි. ඔවුන් ජීවත්වුයේ අප ජීවත්වන ප්‍රදේශයට තදාසන්න ප්‍රදේශයකය. අපි දේශපාලන විද්‍යා ධාරාවෙන් අධ්‍යයනය හැදෑරුවන් නිසා ජොර්ජ් ගේ පියාවූ ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) කෙලින්ම කතාවට බැස්සේ රටේ දේශපාලන තත්වය ගැන විමසමිනි. ඒ අපි ලංකාවේ සිට ආ අළුතමය. අපේ දේශපාලන විග්‍රහයන් සහ භාවිතය ගැන මා හදුනාගත් මුල් දිනයේ සිටම ඔහුට කිසියම් පැහැදීමක් තිබුනි. 

ඔහු සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරීමත් සමගම ලංකාව පිලිබදවු බලාපොරොත්තු අත්හැර වෙනත් රටවල රැකියා සොයා ගිය, බටහිර අප්‍රිකාවේ (ඝානාවේ) කාලයක් ජිවත්වී, සිය දරු පවුල සමග බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණියෙකි. ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙනවිට සිය ජීවිතයේ තරුණ කාලයත් පසුකර අවසන්ය. අප ඔහු හදුනාගන්නා විටත් ඔහු වයවෘද්ධය. ඒ වනවිට ඔහුගේ බිරිද මිය ගොස් තිබිනි. එහෙත් සිය දියණියන් 4 දෙනාගේ සහ පුතාගේ ආදරය සහ අනුහස හොදින් ලබමින් ඔහු සතුටින් ජීවත්විය. ජොර්ජ්ගේ පියා, ඩොනල්ඩ්, මා හමුවූ හැමවිටම, දිගින් දිගටම, ලංකාවේ යුද්ධය, නිමක් නැති මනුෂ්‍යය ඝාතන, අතුරුදහන්වීම් සහ වදහිංසා ගැනත්, වර්ගවාදී දේශපාලනය ගැනත්  දීර්ඝ වශයෙන් අදහස් බෙදාගත් තැනැත්තෙකි. ඒ සෑම විටම ඔහු කැටව ආ දියණියන් ඔහුගේ අදහස් දැක්වීම ඉවර කරන්නට ඉඩදී බලාසිටියහ. එලෙස හමුවූ බොහෝ අවස්ථාවල ඔවුන් දැක්වුයේ "let me introduce you to my son/our brother" යනුවෙනි. 

කලකට පසු ඒ අවස්ථාව උදාවුනි. ඩොනල්ඩ් සහ ඔහුගේ දියණියන් වරක් මට ඔහුව, ජෝර්ජ් අලගායා (George Alagiah) ව, හදුන්වා දුනි. ඉන් අනතුරුවත් මට ඔහු කිහිප අවස්ථාවකම හමුවිනි. ඩොනල්ඩ් (පියා) ට මෙන් නොව ජෝර්ජ් (පුතා) ට ලංකාව ගැන තද බැදීමක් නොවිනි. අලගායා පවුල ලංකාවෙන් පිටත්ව යන විට ජොර්ජ් අවුරුදු 06ක ළමයෙකු විය. ඔහුට ලංකාව ගැන එතරම් ගැබුරු මතකයක් නොවුනි. එහෙත් සුනාමි ව්‍යාසනය සිදුවූ සමයේ BBC වාර්තකරුවෙකු ලෙස ඔහුගේ පියාගේ පියාගේ (සීයාගේ) නිවස පිහිටි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට ගොස් තිබුනි. සුනාමියට ඔවුන්ගේ නෑ පරම්පරාවේ කිහිපදෙනෙකුම බිලිවී සියාගේ නිවසේ ලිඳ පමණක් ඉතුරුවී සෙසු සියල්ල විනාශවී ගොස් තිබුනි. සුනාමිය, යුද්ධය ගැන ඔහු තරමක් කතා කලද. ඔහුට ලංකාව සම්බන්ධයෙන් තිබූ බැදීම සීමා සහිතය යන්න මගේ හැගීමයි. 

ඔහුට ලංකාවට වඩා අප්‍රිකාව ගැන විශේෂ උනන්දුවක් , අවධානයක් සහ ලැදියාවක් තිබුනි. ඒ ඔහු සිය පාසැල් දිවියේ මුල්ම කොටස එහි ගතකර තිබීම නිසාත්, සිය මාධ්‍යවේදී  දිවිය ආරම්භ කරන්නේ BBC යේ අප්‍රිකානු වර්තාකරුවෙකු ලෙස වීමත් එයට හේතුවන්නට ඇත. ඔහු සෑම අතින්ම වෘත්තියවේදියෙකු (professional) ලෙස කටයුතු කරන බවක් පෙනුනි. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේන් OBE (Order of the British Empire) සම්මානය ලැබීමට තරම් ඔහුගේ එකී වෘත්තිය භාවය හේතුවිය. ඔහුගේ සමාජ සම්බන්ධතාවල ස්වරූපයත් ඒ ආකාර විය. භාෂාව භාවිතයේදි මෙන්ම හැසිරීමේද ඔහු දැක්වූයේ එවැනි ස්වරූපයකි.  ඔහු මුලින්ම ලියූ 'A Passage To Africa' පොත මට ඔහුගේ සොහොයුරියකගෙන් ලැබුනි. එම කෘතියේ භාෂාව මෙන්ම ස්වභාවයද ඇමැරිකාවේ හිටපු ජනාධිපති Barack Obama ලියූ 'Dreams from My Father' කෘතියට සමාන යැයි මට හිතේ. ජෝර්ජ් අලගායා (George Alagiah) ද බැරැක් ඔබාමා  (Barack Obama) මෙන් ලෝකයක් දිනාගත්තෙක් යැයි මට සිතේ. 

ඔවුන් දෙදෙනාම එම සමාජයන්වලට ඉතා හොදින් අනුගතවූ, එම සමාජවල කොටසකරුවන් වූවන් විය. ඒ දෙදෙනාටම එකී සාමාජයන් තුල හොදින් අනුගත්වීමට ඔවුන්ගේ අධ්‍යයනය මෙන්ම ඔවුන්ගේ ක්‍රිස්තියානි  සංස්කෘතියද එක සේ හේතුවිය. එය කෙතෙක් දුරට ඔවුන්ගේ අනන්‍යතාවය සමග බැදී තිබුනේදැයි කිවහොත් BBC ය ජෝර්ජ් අලගායා (George Alagiah) ගේ මරණය ගැන දන්වමින් පලකල නිල නිවේදනයේ දැක්වූයේ ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ක්‍රිස්තියානුවකු (a Tamil Christian) ලෙසය.

 Your soul lives on in the people you touched - RIP George!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

 25/07/23

 

Monday, 24 July 2023

ව්‍යාපාරිකයෙකු සාර්ථකත්වය ඩෙල්මා තේ මෙරිල් ගෙන් මනිමුද?

ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු (Merrill Joseph Fernando) මහතා අවුරුදු 93 ක් දිවිගෙවා මියගිය පුවත දුටුවෙමි. ඔහු සාර්ථක තේ සන්නාහ නාමයක නිර්මාතෘවරයෙකු වගේම සාර්ථක ව්‍යාපාරකයෙක් ලෙසද ලංකාවේ මෙන්ම පිටරටත් නමක් දිනා සිටි අයෙක්. ඔහු අපේ ගමේ, මීගමුවේ (පල්ලන්සේනේ), උපන්, මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් සහ කොළඹ,මරදාන, සා. ජෝශප් විදුහලෙන් සිප්සතර හැදෑරූවෙක්. ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ප්‍රකට, කලාකරුවන් බුරුතු පිටින් බිහිවෙන මීගමුවෙන් වතු වගාකරුවන්, තේ වතු පාලකයින් බිහිවෙන්නේ ඉතා කලාතුරකින්. එහෙත් එහෙම බිහිවුණු කාලයකුත් තිබුනා. ඒ ලංදේසී සහ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලන යුගයේදී. පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේ ප්‍රබලයෙක්වූ, මීගමුවට දුම්රිය ගෙන ඒමට දැඩිව මැදිහත් වූ, ඩී කෲස් (de Croos) ලා, පල්ලන්චේන වතු සමාගම අයත්ව තිබු ලියෝ පෝල් (Leo Paul) ලා, දකුණු පලාතෙන් මීගමුවට සංක්‍රමණය වී විශාල ඉඩම් හිමි ව්‍යාපාරිකයන් වූ A. E. රාජපක්ෂලා ඩේවිඩ් මෙන්ඩිස්ලා, මිරැන්ඩෝ ලා, බන්දුල මුදලාලිලා ආදීන් එහෙම බිහිවූ වැවිලිකරුවන් කිහිපදෙනෙක්.

මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා එහෙම පසුබිමකින් නිර්මාණය වන්නෙක් නෙමේ. ඔහුගේ පියා බ්‍රිතාන්‍යය යුගයේදී කොම්පැනියක පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කල, ඉහල මධ්‍යම පාන්තික, බ්‍රිතාන්‍යය සම්ප්‍රදායට ගොඩනැගූනු භක්තිමත් කතෝලිකයෙක්. මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබූ , දැඩි විනයකින් සහ කතෝලික පසු බිමකින් ගොඩනැගූනු බව නිතර දැක්වුවෙක්. එහෙත් ඔහු වතු කර්මාන්තයට පිවිසෙන්නේ ඔහුගේ පියාගේ අභාෂයකින් නොවේ. ඔහුගේ පාසැල් මිතුරෙකුවු, ආර් තොණ්ඩමන් ගේ ඥාති සහෝදරයකුවූ මාධවන් නැමැති යාළුවෙකුගේ ගේ ඇසුරෙන්. මාධවන් සමග නිවාඩුවට පූඩළුඔය තොන්ඩමන්ලාගේ තේ වතුවල කාලය ගත කිරීමට යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු තේ කර්මාන්තය පැත්තට යොමුවන්නේ.

මුලින්ම ඔහු ඩාලි බට්ලර් සමාගමේ Tea Taster කෙනෙක් ලෙස පුහුණුව ලබා පසුව ලංකාවේ එවකට ක්‍රියාත්මක වු A.F ජොන්ස් ලාගේ තේ වතුවල කලමනාකාරුවෙක් ලෙස තේ කර්මාන්තයට යොමුවන්නෙක්. ඒ අයගේ (A.F ජොන්ස් ලාගේ) මැදිහත්වීමෙන්, ඔහුගේ පෞද්ගලික මුදලින් බ්‍රිතාන්‍යයට ගොස් තේ කර්මාන්තය ගැන වැඩි විස්තර හදාරන්නට මෙරිල් ජේ ප්‍රනාන්දු මහත්තයා යොමුවී තියෙනවා. විශේෂයෙන්ම ලංඩන් තේ වෙළද පොලේ ක්‍රියාකාරීත්වයත් එහි කාලෙන් කාලේට විවිධ තේ වර්ග වෙනුවෙන් ඇතිවෙන ඉල්ලුමේ උච්චාවචනයන් ගැනත් හොද අවබෝධයක් ලැබූ බව ඔහු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දක්වා තිබුනා.

තමන්ගේම, ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු කම්පනි ලිමිටඩ්’ නමින් කොම්පැනියක් පටන් අරන් ඔහු මුලින්ම තේ පිටරට යවන්නේ 1962 දී පමණ කාලයක සිටයි. ඔහුගේ 'පියෝ සිලෝන් ටී.' ගෙනියන්න "රුසියාවෙන් අහස් යාත්‍රා අරන් දෙපාරක් ම ආවා" යැයි ඔහු තවත් පුවත්පතකට ලබා දුන් interview එකක දක්වා තිබුනා. තේ වතු ජනසතු කිරීම යටතේ ඔහුගේ තේ ඉඩම් අක්කර 320 ක් එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය විසින් පවරා ගැනීම ගැන ඔහු දැඩි කනගාටුවකින් අවස්ථා කිහිපයකදීම කතා කර තිබුනා. ඔහු උපයාගත් මුදලින් මිලදී ගත් එකී තේ වතු රජයට පවරාගෙන ක්‍රමයෙන් විනාශවී යෑම ගැන ඔහුගේ කනගාටුව තේරුම් ගත හැක්කක්. ඉතිරිවූ තේ වතුවලින් ඔහු මහා පරිමාණයෙන් තේ නිෂ්පාදනය කරනු වෙනුවට ‘value added’ තේ කර්මාන්තය රටට හදුන්වා දෙමින් ඉදිරියට පැමිණෙනවා. 1988 දී ඔහුගේ ඩිල්මා තේ සන්නාහ නාමය බිහිකරන්නේ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතැන් සිට ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු' යනු රටක් ලෝකයක් දන්නා ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ නමින් චිර ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට ඔහු පත්වෙනවා.

මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාගේ මරණයත් සමග ඔහු වතුකම්කරුවන් ගේ ජීවන තත්වය දියුණු කිරීමට මොනවද කලේ, ඔහු රටේ තේ කර්මාන්තය වෙනුවෙන් මොනවාද කලේ.., ඔහු Ethical Trader කෙනෙක්ද? මීගමුව දියුණු කිරීමට යමක් කල කෙනෙක්ද? ආදී ප්‍රශ්න මතු කරනවා දැක්කා. ඔහු 'Tea School' යනුවෙන් තේ කර්මාන්තය ගැන පාසැල් කල බවත්, ලංකාවේ තේ වල ගුණත්වය රැකගැනීමට දැඩිව හඩ නැගුවෙක් බවත්, ඔහුට අයත් වෙලෝනා වතු යායේ කොටසක තේ වතුකම්කරුවන්ට නිවාස සංකීර්ණයක් තනා දුන් බවත්, වතු කම්කරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් අරමුදල් ලබා දුන් බවත්, අංගවිකල සහ ඩවුන් සින්ඩ්‍ර්ම් රෝගයෙන් පීඩාවට පත්, විශේෂ අවශ්‍යතා සහිත වතු කම්කරුවන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ පාසැලක් වතුකරයේ ආරම්භ කලබවත් කියවෙනවා. ඒවා කෙතරම් ප්‍රමාණවත් ද යන්න වෙනම ගැටලුවක්..

ඒත් මම අර අදහසට කැමැතියි; ඒ කියන්නේ අපි ව්‍යාපාරයෙකුගේ සාර්ථකත්වය මනින්න ඕනේ ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය තුලින්ම විතරක් නෙමේ, ඔහු සමාජයට ලබාදුන් දායකත්වය කුමක්ද? උපයාගත් ධනය,බලය, සමාජය ගොඩනැගීමට කෙතෙක් භාවිතා කලාද කියන කාරණය මතයි. එය ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාට විතරක් නෙමේ සියලුම ව්‍යාපාරිකයින්ව, ධනවතුන් ව මැනීමට භාවිතා කල යුතු මිනුම්දණ්ඩක්...

මාකස් ප්‍රියන්ත පෙරේරා
22/07/23

Friday, 14 July 2023

මිලාන් කුන්දෙරාගේ සාහිත්‍යය ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ප්‍රකෘතිමත් වීමට ගත් උත්සාහයක් ද?


මිලාන් කුන්දෙරා (Milan kundera) ගැන බොහෝ දෙනෙක් ලියා තියෙනවා දැක්කා. ඔහුගේ මරණය ගැන ශෝකය පලකර තිබෙනවා දැක්කා. කොලරා කාලේ ආලේ (Love in the time of Cholera) ලියු ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) වගේ මිලාන් කුන්දෙරා ( Milan kundera) වත් ලංකාවේ සාහිත්‍යයකාමීන් හදුනාගෙන තිබුනේ පරිවර්තන සාහිත්‍යය තුලිනුයි. ඔවුන් විශිෂ්ඨ නවකතා කරුවෙක් බව ඇත්ත. ඔවුන් රචිත වාක්‍යය තුල ඇති රිද්මයානුකූල බව පාඨකයාව බදා වැලද ගන්නා සුළු, තියුනු, ආකර්ශණීය රචනා ශෛලයකින් යුක්ත බව ඇත්ත.

එහෙත් ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) සත්‍යය ලෝකය තුල හිමිකරගෙන තිබු ප්‍රබවය මිලාන් කුන්දෙරා ( Milan kundera)ටත් හිමිවෙනවද යන්න සැක සහිතයි. මිලාන් කුන්දෙරා ( Milan kundera) ට එරෙහිව ගොනුවෙන සාහිත්‍යය මෙන්ම දේශපාලන විවේචන ඒතරමට තියුණුයි. ගැබුරුයි. බැහැර කළ නොහැකියි.

මුලික වශයෙන් එම විවේචන එල්ල වෙන්නේ මිලාන් කුන්දෙරා ( Milan kundera) යනු කිසියම් ආකාරයක දෘෂ්ටිවාදයක් නැති ලේඛකයෙක් යන පදනම්න්. සාහිත්‍යයකරුවෙකු යනු දෘෂ්ටිවාදයක්, අදහසක්, මතයක් ඉදිරිපත් කරන්නෙක්ම වෙන්න ඕනෑ නෑ කියන, සාහිත්‍යය සාහිත්‍යය සදහාම ය, කලාව කලාව සදහාම විය යුතුයි විශ්වාස කරණ ගුරුකුල තුලත් මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය රචනා ඒ කාරණයමද? කියා ප්‍රශ්ණ කරන්නන් විශාල වශයෙන් සිටින බව මේ දවස්වල ඔහු සම්බන්ධයෙන් පලවී ඇති විවිධ මරණානුස්මරණ ලේඛන (obituary) කියවද්දි පෙනීයන්නක්. විශේෂයෙන්ම ඔහුගේ The Joke (1967), Life Is Elsewhere (1969), The Book of Laughter and Forgetting (1979), The Unbearable Lightness of Being (1984), Immortality (1988), Slowness (1995), Identity (1998), Ignorance (2000), The Festival of Insignificance (2014) ආදි කෘති දක්වමින් අදහස් ඉදිරිපත් කරන්නන් දක්වන්නේ ඔහුගේ නිර්මාණ සමහරක් දේශපාලන අභිලාෂයන් සහිත සහ සමහරක් දේශපාලන අභිලාෂයන්වලින් තොර, කිසියම් ආකාරයක රික්තකයක වරින් වර දෝලන වී අවසාන වශයෙන් අදේශපාලනික අස්ථානයකට සේන්දුවූ බවයි.

ඇත්තවශයෙන්ම, ඔහුගේ ජීවිතයත් ඒ වගේමය. මුලින්ම චෙක්/චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවු ඔහු පසුව පක්ෂයේ සාධනීය විවේචකයෙකු ලෙසත්, පසුව චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දැඩි අභ්‍යන්තර සහයකයෙකු ලෙසත්, පසුව පක්ෂයෙන් මෙන්ම රටිනුත් පන්නා දමන්නෙකු බවටත් පත්වුවෙක්. එම කාලය තුල ඔහු නාසි විරෝධියෙකු ලෙසත්, හිට්ලර් විරෝධී එහෙත් රැසියාවේ ස්ටැන්ලිට පක්ෂ, ස්ටැලින්වාදී චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් රජයක් හදන්න ස්ටැන්ලින්ගේ රුසියාව සමග එක කදවුරේ එකට සටන් කරන්නෙකු බවටත්, චෙකොස්ලොවැකියානු කුමන්ත්‍රණ කාලයේ චෙකොස්ලොවැකියාව රැසියාව අක්‍රමණය කිරීමට විරුද්ධ ක්‍රියාකාරිකයෙකු බවටත්, පසුව ප්‍රංශයේ සරණාගතයෙකු බවටත්, අනතුරුව දේශපාලනයෙන් වියුක්ත වූවෙක්, ස්වයං ආන්තික හුදකලාවූවෙක් බවටත් පත් වෙනවා..

ඔහු සිය ජීවිතයේ ලගාවූ අන්තය ඔහුගේ නවකතා ඇසුරෙනුත් සාකච්ඡා කල හැකි බව ඔහු සම්බන්ධව ලියවී ඇති මරණානුස්මරණ ලේඛන (obituary) විමසද්දී පෙනී යන්නක්. ඔහු නවකතාකරුවෙක් ලෙස ඕනෑම දැක්මක්, ප්‍රඥාවක්, තනතුරක්, දේශපාලනයක්, ඕනෑම ආගමක්, දෘෂ්ටිවාදයක්,සදාචාරාත්මක මූලධර්මයක්, කණ්ඩායමක්, අනන්‍යතාවයක් සමග එක පෙලට එකට හිට ගන්නෙක් නොවේ.. සාහිත්‍යය කරුවෙකු ලෙස නවකතාව තුල සෞන්දර්යාත්මක උටෝපියාවන් සොයා යන්නෙකුත් නොවෙයි. අඩුම තරමින් පුද්ගල සංවේදීතාවයන් නියෝජනය කරන්නෙකු වත් නොවන බව කියවෙනවා. එසේ නම් ඔහු කවරෙක්ද? ඔහුගේ සාහිත්‍යය නිර්මාණ කවරාකාරද? ඔහු සාහිත්‍යය ලිවීමට වෙහෙසෙන්නේ ඇයි? මේ රටවල කෙසේවෙතත් ඔය කාරණා ගැන ලංකාවේ නම් විශාල වශයෙන් අවධානය යොමුනොවනු ඇති. එහෙත් ඔහුගේ පොත් තව තවත් පරිවර්තනය වනු ඇත. පාඨකයන් ඔහුව තව තවත් වැලදගනු ඇත.

එහෙත් ඔවුන් වැලද ගන්නේ කුමක්ද? මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය නිර්මාණ යනු මොනවාද? ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරුණු ඇද්ද? රුසියානු ව්ප්ලවීය සාහිත්‍යයේ මහා ගත්කතුවරයකු වු මැක්සිම් ගොර්කි (Maxim Gorky) ලෙනින්ගේ සෝවියට් රුසියාව තුල ද්‍රෝහියෙකු ලෙස සැලකූ ලෙසම චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් ආණ්ඩුව මිලාන් කුන්දෙරා (Milan kundera) කොමියුනිස්ට්
චෙකොස්ලොවැකියාවේ ද්‍රෝහියෙකු ලෙස සැලකුවේ ඇයි යන්න සලකා ගැන බලයිද? වාමවාදී දෘෂ්ටිවාදීයෙකුවු කුන්දේරාව ප්‍රංශයේ ධනේශ්වර - ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුල දරාගත නොහැකි සැහැල්ලුවක පත් කලේ කෙසේද? කුන්දිරා යනු වම - දකුණ, බටහිර - නැගෙනහිර, ධනවාදය - සමාජවාදය ලෙස බෙදී ගිය සීත යුද්ධ සමයේ ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකාශණයක්ද? කුන්දිරාගේ සාහිත්‍යය යනු එකී ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයක් ද? මිලාන් කුන්දෙරා (Milan kundera) ව අපි එලෙස කියවන්නේ කවදා ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
14/07/23