Wednesday, 15 March 2023

පොදු +රාජ්‍ය+මණ්ඩලයට = පොදු මොනවද ?

 

දාහත්වන සියවසේ එංගලන්තයේ විසු, පුරාවස්තු සහ ඉතිහාසය පිලිබදව උනන්දුවුවෙකු  වූ, ජෝන් ඔබ්රේ (John Aubrey) ගේ 1659 සටහනකට අනුව එකල එරට සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් එදිනෙදා පොදු කටයුතු, භව-බෝග, දේශපාලනය, ආදී ආගිය විස්තර කථාකරමින් සිදුකරන හමුවන් හැදින්වීම සදහා ‘ක්ලබ්’ යන නව වචනයක් භාවිතයට ගෙන ඇති බව දක්වා තිබේ. (“We now use the word clubbe for a sodality [a society, association, or fraternity of any kind] in a tavern.”) මෙම  සුරා-සැල් (tavern) ඇසුරින් ගොඩනැගුන පොදු ජනයාගේ හමුවන්, දැඩි ගෝෂාකාරී විවාදයන් (Contention) බවටත්, නව දේශපාලනය මතයන් පෙරදැරිකරගත් දේශපාලනය ව්‍යාපාරයන් (Social Movements) බවට‍ත් පත්ව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු බටහිර ලෝකය නව ගමන්මගක් කරා යොමුකර වූ බව චාල්ස් ටිලිගේ (Charles Tilly (1998), Social movements and (all sorts of ) other political interactions) නම් රචනය දක්වයි. 

මෙලෙස බ්‍රිතාන්‍ය සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් සිදුකරන පොදු හමුවන් දේශපාලන පෙරලි බවට වර්ධනය වනවිට,  එරට ප්‍රභූ මට්ටමේ පිරිස් ද එවැනිම හමුවන් සිදුකරමින්, තමන්ට අවශේෂ පොදු විෂයන් සාකච්ඡාවට ලක්කරමින්, සිය අතිරේක කාලය තම තමන්ගේ රසවින්දනය සදහා යොදවාගන්නා ලදී. මෙම ප්‍රභූන්ගේ පොදු හමුවන් හැදින්වීම සදහා යොදාගනු ලැබුවේ Club යන වචනයයි. එය මීට පෙර සාමාන්‍ය ජනයාගේ සුරා-සැල් වල හමුවන් විස්තර කිරීමට යොදාගත් clubbe යන වචනයේ වඩාත් ඔපදැමු භාවිතය විය. ප්‍රථමයෙන් කෝපි ක්ලබ් (Coffee Club) වලින් ඇරබුනු ප්‍රභූන්ගේ මෙම පොදු සමාජ හමුවන් පසුව, ටෙනිස් ක්ලබ්, ඔරු පදින සමාජ, සහ දේශපාලන මත දරන ‘ලිබරල් සමාජ’ (Liberal Club) වැනි ප්‍රතිපත්ති තීරණයකරන Club දක්වා වර්ධනය වන ලදී. 

සාමාන්‍ය ජනයාගේ පොදු හමුවන් මගින් පණපොවන ලද දේශපාලන සටන්පාඨයන් සම්බන්දයෙන් ප්‍රභූන්ගේ සමාජයන්ද නිතර සාකඡචාවට ලක්කල බවට විවිධ සාක්ෂි තිබේ. එහිලා හොදම උදාහරණය වන්නේ ප්‍රංශයේ 16වන සියවසේ ඇතිවූ කතෝලික සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගමික ගැටුම් නිසා එංගලන්තයට පලාආ කෙල්වින්වාදීන් (Calvinist/Huguenot) දේශනා කල, එංගලන්තයේ කේම්බ්‍රිජ් පළාතේ කතෝලික බිෂොප්වරයා ප්‍රසිද්ධියේම පිළිගත්, ‘සෑම මිනිසෙකුම සමානව මවා ඇතිබව’ (All men being created equal) සදහන් ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීමයි. මෙම ආගමික මතයන් එංගලන්තයේ සහ ප්‍රංශයේ සාමාන්‍ය ජනයාගේ ඕපාදූප කථාබහේ සිට, වහල් සේවයට එරෙහි එංගලන්තයේ සමාජ-දේශපාලන පෙළගැසීම් වලත්,  ප්‍රංශ විප්ලවයේත්, ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙත් (1776/07/04) ඉහලින්ම පිළිගැනීමට ලක්විය. එහෙත් බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගෙන් නම් එම මතයට එල්ල වුයේ දැඩි විවේචනකි. 1902 බ්‍රිතාන්‍ය  අගමැතිවරයාවූ ආතර් බැල්ෆෙර් (Arthur Balfour) වරක් ප්‍රකාශ කලේ ‘යම් ජාතියක මිනිසුන් සමානව මවා ඇතිමුත්, මාධ්‍යම අප්‍රිකානු මිනිසාත් යුරෝපියානු මිනිසාත් සමානව මවා නැති බවයි’ (‘All men of a particular nation were created equal, but not that a man in Central Africa was created equal to a European’).  පන්ති, වාර්ගික සහ වෙනත් සමාජ වෙනස්කම් සොභාවික ස්වරූපයන් යැයි විශ්වාස කල ආතර් බැල්ෆෙර් වැනි ප්‍රභූන්ගෙන් සැකසෙන බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය පිළිගත් තවත් මතයක් වුයේ මිනිසුන් සමානව මවා නොතිබුණද, ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශවල වෙසෙන්නේ එක ජාතීයකට අයත් ජනයා බවයි. එනම් කැනඩාවේ ඉංග්‍රීසි, ප්‍රංශ, රතු ඉන්දියානුවන් ආදී විවිධ ජන වර්ගවලට අයත් ජනයා ජීවත්වුවද ඔවුන් අයත් වන්නේ කැනේඩියානුවන් නම්  එක් ජාතියකට බව පිළිගැනීමයි. මෙම මතය පැටලිලි සහගත කෘතිමව නිර්මර්ණය කල මතයක් උවද එහි දේශපාලන අදහසක් තිබුණි.

එනම් එක් රාජ්‍යක් තුල සිටිනුයේ එක ජාතියක්ය යන්නය, නොහොත් එක ජාතියක් වෙසෙන ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ ජාතික රාජ්‍ය (Nation-State) වශයෙන් සලකන ලබන බවයි. මෙම මතයට අනුව අප්‍රිකානුවන් හෝ ආසියානුවන් හෝ යුරෝපීන් සමානවුවද-නැතද, ඒ ඒ ප්‍රදේශවල ජාතික-රාජ්‍ය වෙනත් ජාතික-රාජ්‍ය හා සමාන බව පිළිගනී. එවැනි ජාතික-රාජ්‍යනට එකට කටයුතු කල හැකිබව ද පිළිගනී. ජාත්‍යන්තර දේශපාලනයෙදී මෙම සෑම ජාතියකටම සමාන අයිතීන් හිමිවන බවද පිළිගනී. මේ දේශපාලන මතය බ්‍රිතාන්‍ය සිය රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයෙදී නිල ප්‍රතිපතියක් වශයෙන් 1926 දී  පිළිගන්නා ලද අතර එය ආතර් බැල්ෆෙර් ගේ  ප්‍රකාශනය නැතහොත් බැල්ෆෙර් ප්‍රකාශනය (Balfour Declaration) නමින් නම් කර ඇත. 

පොදුරාජ්‍ය මණ්ඩලය මුලින්ම ගොඩනැගෙන්නේ (Commonwealth of Nations) මේ බැල්ෆෙර් ප්‍රකාශනය මුල්කරගෙනය. 1926 බැල්ෆෙර් ප්‍රකාශනය එලිදක්වන විටත් බ්‍රිතාන්‍ය යටත් විජිතය තුල ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ කිහිපයක් තිබුණි, එනම් කැනඩාව, නිව් ෆවුන්ලන්තය, (1922 උතුරැ සහ දකුණ ලෙස අයර්ලන්තය බෙදීමෙන් පසුව බිහිකල) නිදහස් අයර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයය. එහි වෙසෙන ජන වර්ගයන්ගේ වෙනස් කම් පසෙක තබා ඔවුන් එක ජාතියක් ලෙස සලකන ලදී. එවැනි ඒකක වල පාලන තන්ත්‍රයනට එකට එක්ව සමානයන් මෙන් කටයුතු කළහැකි බව පිළිගන්නා ලදී. ඒ සෑම පාලන තන්ත්‍රයකටම සමාන අයිතිවාසිකම් හිමි බව දක්වන ලදී. ඔවුන් සියල්ලෝම පාහේ ජනපදවාසි-විජිතයන් (settlers colonies) ගෙන් ආ සූදු සම ඇති යුරෝපීන්ම වු නිසා ඉහත බැල්ෆෙර් ප්‍රකාශනය ගැන එතරම්ම ගැටළුවක් නොවිණි. එනෙක එම විජිත වලින් පැමිණියේද ප්‍රභූ පාලකයන්ම නිසා එතරම්, වෙනසක් හෝ විවාදයක්ද නොතිබිණි. එහෙයින් මුල්ම පොදුරාජ්‍ය මණ්ඩලය තවත් ප්‍රභූන්ගේ ‘ක්ලබ්’එකකට වඩා යමක් ද නොවිණි. 

එහෙත් නිදහස් අයර්ලන්තය නොබෝ කලකින් අයර්ලන්ත ජනරජය බවට පත්ව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය අතර, නිව් ෆවුන්ලන්තය (1949) කැනඩාවේ ප්‍රාන්තයක් බවට එක්වීමත් සමග පොදුරාජ්‍ය මණ්ඩලය බ්‍රිතාන්‍යටත්, දකුණු අප්‍රිකාවත්, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයටත් පමණක් සීමාවිය. එයටත් වඩා  දෙවන ලෝක යුද්දයෙන් පසුව ලෝක බල තුලනය වෙනස් වීය. එතෙක් බ්‍රිතාන්‍යට පැවති ස්ථානය අභිබවා ඇමෙරිකානු සහ සෝවියට් රුසියාව නව බලවතුන් බවට පත්වීය.  ඒ සමග ඉන්දීයාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට නිදහස් ලබාදීමටද සිදුවීය.  එහෙයින් මෙතෙක් බ්‍රිතාන්‍ය ලෝක දේශපාලනය තුල පවත්වාගෙන ආ සිය අස්ථානය තවදුරත් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න බ්‍රිතාන්‍යයේ විවිධ සමාජයන් තුල දීර්ඝ සාකච්ඡාවනට ලක්විය. 

එහිදී ඔවුන් පැමිණි නිගමනය වුයේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග විශේෂ සම්බන්දයක්  (Special Relationship) පවත්වාගෙන යන අතරම එවකට 04 දෙනෙකුට සිමාවී ඇති පොදුරාජ්‍ය මණ්ඩලය නව සාමාජිකයන් සමග නැවත පණගැන්විය යුතු බවයි. එහෙත් ඉන්දියාව වැනි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ රටවලට එයට එක්වීමට බාධකයක්ව පැවතියේ එහි  සාමාජිකත්වය ‘බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත් ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ වලට’ සීමාවී තිබීමයි. නිදහස දිනූ ඉන්දියාව තව දුරටත් බ්‍රිතාන්‍ය විජිතයට අයත්  ප්‍රදේශයක් නොවන බැවින් එම රෙගුලාසි වෙනස් කරතොත් තමන්ටද සහභාගී වීය හැකියැයි දැන්වුයෙන් 1948 ලන්ඩන් ප්‍රකාශනය (The London Declaration ) මගින් බ්‍රිතාන්‍ය යටත් විජිත පමණක් නොව ජනරජයන්ටද  එහි සාමාජිකත්වය හිමිවන බව පිළිගන්නා ලදී.  වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවෙන්නේ එලෙසිනි. ශ්‍රී ලංකාවද 1948 දීම එම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවන විටවත් එහි මුල් පදනම් සකස්කල බැල්ෆෙර් ප්‍රකාශනය ගැන හෝ එහි කාර්යභාරය ගැන හෝ  එහි එහි ප්‍රතිපත්ත ගැන හෝ පුළුල් සංවාදයක් නොතිබිණි. එහින් එය තවත් සමාජයකට (Club) සාමාජිකයන් බැදෙනවාට වඩා වෙනසක් නොපෙන්වන ලදී.

අද එහි සාමාජිකයන් 53 සිටී. මුළුමනින්ම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත්  සාමාජිකයන්ගෙන් සැදුම් ලද්දද සෑම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ම මෙහි සාමාජිකයන් නොවේ. ඉරාකය, (ඊශ්‍රරායලය සහ පලස්තීනය අයත්) පැරණි බ්‍රිතාන්‍ය පලස්තීන ප්‍රදේශ, ඊජිප්තුව, ජෝර්දානය, යේමනය ආදී රටවල් මෙහි සමාජිකත්ව ලබා නොගන්නා ලද අතර අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නැමීබියාව (පසුගිය ඔක්තෝබර් මාසේ) වැනි රටවල් සිය සාමාජිකත්වයෙන් ඉවත්වන ලදී. එසේවුවද පොදුරාජ්‍ය මණ්ඩලය ලෝක ජනග්‍රහනයෙන් සීයට 30ක ප්‍රතිශතයක් (30%) නියෝජනය කරන, ලෝකයේ පිළිගත් රටවලින් හතරෙන් එකක් (1/4) නියෝජනය කරන ලෝක දේශපාලන ක්‍රමය තුල යම් බලයක් ගොනුවී ඇති සංවිධානයකි. 

එහෙත් ඔවුන් එම බලය යොදාකල දෙයක් නැත. ලෝකයේ දේශපාලන, සමාජ, ආර්ථික වෙනසක් කම් වෙනුවෙන් හෝ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හෝ කිසිසේත්ම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුනොකරන ලදී. බ්‍රිතාන්‍ය රජය මගින් උසස් අධ්‍යාපනය සදහා වසරකට ලබාදෙන ශිෂ්‍යත්ව ටික ( එයත් දැන් වසරකට 70 දක්වා අඩුකර තිබේ) හැරුනු විට අඩුම තරමින් සාමාජික රටක සමාජ-ආර්ථික දියුණුව වෙනුවන් පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකරන කිසිදු වැදගත් මෙහෙයක් නැති තරම්ය. එය ඒසේ වෙතත් සෑම වසර 02කටම වරක් සියලු සාමාජික රටවල රාජ්‍ය නායකයෝ කොහේ හෝ  සාමාජික රටක රැස්ව රාජ්‍ය තාන්ති‍්‍රක සාකච්ඡා වල නිරතව බරපැන එම රටවල ජනයා මත පටවා ආපසු පිටත්ව යති. 

පසුගිය දශක  හයටම පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකල එකම ප්‍රගතිශීලී වෙනස්කම වුයේ 1971 සාමාජික රටවල් විසින් අත්සන් කල සිංගප්පූරු ප්‍රකාශන යයි (Singapore Declaration). එමගින් සාමාජික රටවල් ලෝක සාමය, නිදහස් වෙළදාම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ සමානාත්මත්වය ආරක්ෂා කිරීමට  ගිවිසුම් ගතවිය. එහෙත් ඒවා සාමාජික රටවල් විසින් කඩකිරීමේදී කලයුත්තේ කුමක්ද යන්න පිලිබදව කිසිදු එකගතාවයක් නොවිණි. සිදුකළ එකම කාර්යය වුයේ එලෙස කඩකල රටවල සාමාජිකත්වය තවකාලිකව අත්හිටවීම පමණි. එය එම රටවල සාමයවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත්, මානව අයිතිවාසිකම්වත් සහ සමානාත්මත්වයවත් තහවුරු කල දෙයක් නොවිනි. ඒහිලා හොදම උදාහරණ වුයේ සමේ වර්ණය මත කළුසුදු ලෙස බෙදා එරට වැසියන්ට සැලකු දකුණු අප්‍රිකානු සුදුජාතික රජය පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්කල පමණින් එහි කළු මිනිසුන්ට වූ සුගතියක් නැත. අනෙක් අතට පොදුරාජ්‍ය මණ්ඩලයේ මුදුන් මුල වන බ්‍රිතාන්‍යයේ එවකට අගමැතිවරිය වූ මාග්‍රට් තැචර්ගේ වඩාත් දෝෂදර්ශනයට ලක්වුයේ දකුණු අප්‍රිකානු සුදුජාතික රජය නොව කළු මිනිසුන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් සටන් කල නෙල්සන් මැන්ඩලාය. වරක් මාග්‍රට් තැචර් නෙල්සන් මැන්ඩලාව හැදින්වුයේ ත්‍රස්තවදියෙකු ලෙසය. 

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෑම සාමාජික රටකටම එක සමාන අයිතිවාසිකම් හිමි බව එහි ආරම්භ බැල්ෆෙර් ප්‍රකාශනය මගින් දක්වා තිබුනද කිසිදු රටක් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනයට නොගියේ ඇයිදැයි ප්‍රශ්නයකි. බ්‍රිතාන්‍ය ෆොක්ලන්තය සමග යුද්දයට ගියවිටවත්, ඉරාක ආක්‍රමණය කලවිටවත් පොදුරාජ්‍ය මණ්ඩලය දැක්වූ විරෝදයක් හෝ විවේචනයක් නැත. ඒ බ්‍රිතාන්‍ය තමන්ගේ හිටපු හාම්පුතා වීම නිසාද, නැතහොත් බ්‍රිතාන්‍යන්ට සෙසු සාමාජිකයන්ට වඩා විශේෂ ස්ථානයක් හිමිවන නිසාදැයි නොදනී. අනෙක් අතට එවැනි ප්‍රශ්නකිරීම් ප්‍රභූ සමාජවල ලක්ෂණයක් නොවන බව සාමාජිකයන් අවබෝධකරගෙන එලෙස ප්‍රභූන් ලෙස හැසිරීමට උත්සහ කිරීම් නිසා ඔවුන් බ්‍රිතාන්‍ය ගැන ප්‍රශ්න නොකරන්වාදැයි නොදනී.

මෙම ප්‍රශ්නය අපේ රටේ මහින්ද රාජපක්ෂ පාලනයටද වදදෙන ප්‍රශ්නයකි. එනම් ලොකුරටවල් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල කටයුතු පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න ඔහුද, ඔහුගේ මාධ්‍ය සගයන්ද නිතර මතුකරන ප්‍රශ්නය වී තිබේ. එහෙත් ඔවුන් අමතක කරන ප්‍රධාන කරුණනම්  යුද්ද පැවති සමයේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල සැසි වාර කිසිවකදී ශ්‍රී ලංකාවේ  යුද්ද ගැන විරෝධයක් මතුනොවීමයි.

එයට හේතුව ශ්‍රී ලංකාවේ යුද්දය එරට අභ්‍යන්තර කටයුත්තක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් සැලකු නිසාම නොවේ. ශ්‍රී ලංකාව ඒ වෙනවිටත් කරමින් සිටියේ බ්‍රිතාන්‍යන් විසින් පිහිටවන ලද ඒකීය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ දෙමළ සුළුතරය විසින් අභියෝගයට ලක්කර තිබු භුමිය නැවත ඒකරාශි කරන (territorial integration) ව්‍යායාමයකය. එවැනි භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීම යුරෝපයේ උපන් නූතන ජාතික රාජ්‍යයේ මුලික ලක්ෂණයක් වී තිබුණි. බ්‍රිතාන්‍ය පමණක් 1489 ටියුඩර්  යුගයේ යෝක්ෂේයා (Yorkshire) පළාතේ සිට 1553 ව්‍යට් (Wyatt’s) කැරලිකරුවන්ට එරෙහිව පමණක් යුද්ද 17 කරතිබුණි. ඒ සියල්ල භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීමේ ක්‍රියාවලියන් වූ අතර එය ජනසංහාර ක්‍රියාවලියක් බව අමුතුවෙන්ම කිවයුතු නොවේ. 2006 ජුලි 28 සිට 2009 මැයි 18 වනතුරු ශ්‍රී ලංකාව කරමින් සිටියේද එයයි.  

බ්‍රිතාන්‍යයන් විසින් මෙම රට තුල රෝපණය කරන ලද ඒකීය රාජ්‍ය විසින් යුද්දය නිර්මාණය කර තිබු අතර යුද්දය විසින් නැවත ඒකීය රාජ්‍ය පිහිටවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. ඒහින් එය බ්‍රිතාන්‍යන්ට හෝ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට  හෝ ප්‍රශ්න කිරීමට තරම් අරුමයකුත් නොවීය. බ්‍රිතාන්‍යන් විසින් නිර්මාණය කල රාජ්‍ය පද්ධතියක, බ්‍රිතාන්‍යයන් විසින් පුරුදුපුහුණු කල ආකාරටය හැසිරීම ඔවූන් විසින් අපේක්ෂා කල අතර එය එසේ නොවන විට පමණක් ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සිදු කරන ලදී. ඔවුන් එදා ශ්‍රී ලංකාවේ යුද්දය පැවති සමයේ සිදුවූ යුද්ද අපරාදයන් විමර්ශනය කරන්නට කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොරගසන්නෙත් ඔවූන් අපේක්ෂා කල ආකාරයට අප හැසිරීරෙන්නේ නැති බැවිනි. දයාන් ජයතිලක වැනි මහත්වරුන් අද ආණ්ඩුවට කියන්නේත්, අපේ රාජ්‍ය පාලකයා සරම ඇන්දත්, ඉහත කී බ්‍රිතාන්‍යන් බලාපොරොත්තු වන ආකාරයට හැසිරෙන්නේනම් කිසිම ගැටළුවක් ඇති නොවන බවයි. 

එහෙත් අපේ රාජ්‍ය පාලකයා යහපත් මහත්තයෙකු ලෙස බ්‍රිතාන්‍යන්ගේ ප්‍රභූ සමාජවල කෙතරම් හොදට හැසිරුනත්, සාමාන්‍ය ජනයාටනම් ඇතිවන සුගතියක් නැත. මන්දයත් බ්‍රිතාන්‍යන් ඇතුළු යුරෝපීන් විසින්, එක ජාතියකට අයත් යැයි කෘතීමව එකම භූගෝලීය කලාපයක් තුලට මිනිසුන් ගාල් කරමින්, ගොඩනගන ලද නුතන ජාතික රාජ්‍යය වෙසෙන වැසියන්ට, සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින විට,  රැගෙන එන්නේ ජනඝහතක යුද්දයත්, එදිනෙදා දිවිය යන්තම් ගෙවා ගැනීමට ආදායමකුත්, අපව පාලනය කිරීමට අප අතරින්ම ඉදිරියට ගනුලැබු, අපටම විනකටින පාලන තන්ත්‍රයකුත් පමණි. ඒ වෙනුවට ප්‍රභූන්ට ධනලාභද, විවේකයද, සියලු පහසුකම් සහිත ජීවන රටාවකුත් ලැබේ. 

යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍යයන්ගේ වතුවල, කර්මාන්තශාලාවල සේවය කල ජනයාට උරුමවූ ඉරණම අදද අප විදිමින් සිටී, බ්‍රිතාන්‍යයේ නම් සුදු ජාතික  වතුපාලකයා, කර්මාන්තශාලා හිමිකරුවා  සිය සේවකන්ගේ ගේ වැඩකටයුතු ගැන හිවලෙකු ලෙස ඉව අල්ලමින් ගැවසෙන අයුරු පෙනේ. එහෙත් ඔවුන්ගේ යටත් විජිත වලනම් ඔහුව නිතර දැකිය නොහැක, නමුත් ඔවුන්ගේ කන්කානිලානම් උදේ හවස වලසුන්මෙන් එහි වැසියන්ගේ ශරීර මතට පහත්වෙමින් සිය හාම්පුතුන්ගේ ආදායම් තරකරමින්, ඔවුන් ද තර වෙමින් සිටී. මේ නොවැම්බර් මස 10-17 දක්වා නම් ශ්‍රී ලාංකිකයන්ටක් නම් සිය ජිවිත කාලය පුරාම ණය ගෙවා ඉතා විරල දර්ශනයක් දැක ගත හැකිය, එනම්  හිවලුන් මෙන් තමන්ගේ යටත්වැසියන් දෙස ඉව අල්ලන සුදු ජාතික වතුපාලක, කර්මාන්තශාලා හිමියන් සහ  ඔවුන්ගේ කන්කානම් ලාවූ අප වැනි  රටවල රාජ්‍ය නායකයන් නම් වූ වලසුන්ගේ සුහද හමුවක් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නමින් කොලඹ බණ්ඩාරනායක සමරු ශාලාවේ පැවැත්වෙන බැවිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

(2013 නොවැම්බර් මාසේ සමබිම පුවත්පතට ලියූවකි) 


2 comments:

  1. Just one addition; some countries who were not previous British colonies have also joined the Commonwealth such as Rwanda, Mozambique and Gabon

    ReplyDelete
  2. Also Namibia is still in the Commonwealth according to the Commonwealth Secretariat. See here https://thecommonwealth.org/our-member-countries

    ReplyDelete