Tuesday, 22 February 2022

පාස්කු ප්‍රහාරයට මාස 34යි. ගෝඨාභය පාලනයේ සමස්ථ පාස්කු ප්‍රවේශයම තාර්කික අවසානයකට ලගාවීම.


ඉකුත් 2019 අප්‍රියල් 21ක පාස්කු ඉරිදා දින දේවස්ථාන 3කට සහ කොළඹ හෝටල් 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවී 269 දෙනෙකු මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා රටම මහා ඛේදවාචකයකට ලක්ව අදවන විට මාස 34ක් ගෙවීගොසිනි. රටම දැඩි ව්‍යාසනායකට මුහුණදුන් ඒ මහා විනාශයෙන් මියගිය අයගේ තුන්මාසේ දානය දීමටත් මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කළේය. 

මුලින්ම අල්ජසීරා ප්‍රවෘත්ති සේවයට ලබාදුන් සාකච්ඡාවකදී එලෙස ප්‍රකාශකළ ඒ මහතා 2019 ජුලි 18 වන දින රොයිටර් ප්‍රවෘත්ති සේවයට ලබාදුන් සාකච්ඡාවකදී එලෙසම ප්‍රකාශ කරමින් 2019 වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන බව නැවත තහවුරු කළේය. විරුද්ධ පාක්ෂිකයින් එයට 'බොරදියේ මාළු බෑමක් ලෙස' අවලාදාත්මක විවේචනයක් එල්ලකලද ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල තර්කවල වලංගුභාවයක් පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව රට තුල මතුව තිබුණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල එක් ප්‍රධාන තර්කයක් වුයේ යහපාලන රජය සමයේ රටේ බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස ඔසවා ඇති බවය. 

ඒ අනුව ප්‍රහාරය එල්ලවන්නේ ජාතික ආරක්ෂාව බිදවැටි ඇති තත්වයක් තුල බවත්, රට තුල ජාතික ආරක්ෂාව තහවුරු කර පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියලු දෙනාටම දඩුවම් කරන බවත් දැක්වීය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම ප්‍රවේශය රටේ බහුතර ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලංකා කතෝලික පල්ලියේද පොදු කැමැත්ත දිනාගැනීමට හැකිවූ ප්‍රවේශයක් විය. ඒ වන විටත් රට තුල 'වද කොත්තු', 'වද සැත්කම්' ආදියේ සිට ඉස්ලාමීය භීතියක් රට පුරා වැපිරි තිබුන අතර මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවීම දක්වා එය ඉස්ලාමීය ත්‍රස්‌තවාදයක් දක්වා වර්ධනයවී ඇති බවටවූ ප්‍රචාරණ රට තුල මුල්බැසගේන තිබුණි. 

අනෙක් අතට පාස්කු ප්‍රහාරය එල්ල වී සති කිහිපයක් ඇතුලත හිටපු ජනාධිපති සිරිසේන පත්කළ විජිත මලල්ගොඩ කොමිසම හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ආදීන් වටේ කැරකෙමින් සිටින අතර  එය යහපාලන ආණ්ඩුවේ ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පසමිතුරුකම්වල ඕනෑ එපාකම් කැසකවන තැනක් මිස පාස්කු ප්‍රහාරය ගැන නිසි විමර්ෂණයක් සිදුකරන කොමිසමක් නොවන බවද කියවෙන්නට විය. 

ඒ අඩුව පිරිමැසීමට මෙන් යහපාලන රජයේ බහුතරය හිමිව තිබු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවූ පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රහාරයේ වගකීම ජාතික ආරක්ෂාව භාරව සිටි ජනාධිපති සිරිසේන සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යංශයේ නොහැකියාවක් බව පෙන්නුම් කිරීමට දරන උත්සහයක්ය යන අදහසද රට තුල වර්ධනය වී තිබුණි. එම වාතාවරණය තුල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත්කල එක් තිරාණාත්මක ප්‍රධාන නිගමයක් වූ 2019 වසර අග පැවැත්වෙන ''ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන...පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මග පාදන" ප්‍රහාරයක්ද ගැන පවා නිසි අවධානයක් යොමු නොවිණි. 

මෙම පසුබිම තුල ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල ප්‍රධාන තර්කයක් වු 'යහපාලන රජය යටතේ රටේ බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස ඔසවා ඇතයි' යන්නට පොදු පිළිගැනීමක් පමණක් නොව විශාල වැඩි ජන්දයකින් ඔහුව  ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට පවා හේතුවූ පදනමක් ගොඩනන්වන ලදී.  බුද්ධි අංශ බිදවැටිම තුල  ජාතික ආරක්ෂාව බිදවැටී, ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය ත්‍රස්තවාදය ලංකාව තුලද නව ත්‍රස්තවාදයක් ලෙස හිස ඉසවීමට හේතුවී ඇතයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාස්කු ප්‍රවේශයට බුද්ධිමය පරාසයක්ද  ආරෝපණය කරමින් ත්‍රස්තවාදී කටයුතු පිලිබදව ප්‍රකට අධ්‍යනාචාරවරයෙක් යැයි හදුන්වන රොහාන් ගුණරත්න ආදීන් පවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිලට ක්‍රීඩා කරන්නට පෙරට පැමිණ තිබිණි. 

එහෙත් ඔවුන්ගේ එම තර්කවල කිසියම් හෝ වලංගු භාවයක් පැවතියේ ගෝඨාභය රජය බලයට පත්වී ටික කලක් යන තුරු පමණි. විශේෂයෙන්ම ප්‍රහාරය එල්ලකල සහරාන් ඇතුළු කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේන් වැටුප් ගෙවූ බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවී සක්‍රියකල පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල  ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි ඔස්සේ පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් හෂින් ඇතුළු කණ්ඩායම සමග රජයේ බුද්ධි අංශවල ඇතැම් පිරිස් කටයුතුකර ඇති බවත් හෙළිවන්නටවීමත්  සමග පාස්කු ප්‍රහාරය පිටුපස සහරාන් හෂීම්ගේ ඉස්ලාමිය ත්‍රස්තවාදීන් පමණක් නොව තවත් පිරිස් එම ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මකවී ඇති බව හෙළිවන්නට විය.

ඒ සමග පාස්කු ප්‍රහාරය පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (සහ රොහාන් ගුණරතන ඇතුළු අයගේ) මුල් ප්‍රවේශයවූ පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක් යැයි යන මතය දෙදරීමට ලක්විය. ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය යනු රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත් ප්‍රහාරයක් බව මෙන්ම එකී විනාශය වලක්වා නොගත්තේ කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙනද? යන්නත් මතු වන්නට විය.  

එය එක්තරා අකාරයකට 'Deep state' න්‍යායක ප්‍රවේශය ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය අරභයාද අදාල කරගැනීමට ඉඩප්‍රස්ථා ජනනය කළේය. ඇමරිකානු නාට්‍ය අනුසාර භාෂිතයකින් පැනනැගුන 'Deep state' න්‍යායික ප්‍රවේශය ඔස්සේ විග්‍රහ කලේ ලෝකයේ විවිධ රාජ්‍යයවල දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සහ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරගැනීමට හෝ ලගාකර ගැනීමට ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත හෝ  අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන විවිධ මෙහෙයුම් හෝ ක්‍රියාවන් ඔස්සේ දේශපාලන බලය හැසිරවීම පිළිබද කතිකාවයි.

මෙම  'Deep state' න්‍යායක ප්‍රවේශයට අනුව යමින් ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර පිටුපසද කිසියම් දේශපාලන අභිලාශයක් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් තිබෙන බව විග්‍රහ කිරීම ක්‍රමිකව  පෙරට පැමිණීම සිදුවිය. 

ඇත්තවශයෙන්ම, අද වන විට සිදුවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ (සහ රොහාන් ගුණරතන ඇතුළු අයගේ) මුල් ප්‍රවේශයවූ පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටි, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක්ය යන්න සසහමුලින්ම බිදවැටී පාස්කු ප්‍රහාරය යනු රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත්, කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙන එල්ලවූ ප්‍රහාරයක්ය යන 'Deep state' න්‍යායික ප්‍රවේශය ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර අරභයා වඩ වඩාත් තහවුරුවීමය. 

විශේෂයෙන්ම පසුගිය මාස දෙකක කාලය තුල සිදුවූ විවිධ වර්ධනයන් දෙස ආපසු හැරී බලන ඕනෑම කෙනෙකුට පාස්කු ප්‍රහාරය යනු හුදෙක් බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා සිදුවූවකට වඩා බුද්ධි අංශවලට හොදින් තොරතුරු ලැබී තිබියදී, බුද්ධි අංශ ඉතා හොදින් ඒ පිලිබදව දැන සිටියදීත්, එය වැලැක්වීමට කිසිවක් නොකල ප්‍රහාරයක් පමණක් නොව 'මාතලේ පොඩි සහරාන්' නම් තැනැත්තෙක් හරහා එකී ප්‍රහාරයේ දිශානතිය ISIS සංවිධානය සමග බද්ධකිරීමට බුද්ධි අංශ නිලධාරියෙක් ක්‍රියාත්මකවූ බවට හෙළිවෙන, එකී බුද්ධි අංශ නිලධාරීන් පිලිබදව නීතිමය විමර්ශන ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් බුද්ධි අංශ ප්‍රධානින් විසින් වලක්වමින්, එකී නිලධාරීන්ව ආරක්ෂා කරන තත්වය සිටි බව  හෙළිවී අවසන්ය. 

මෙම කාරණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුවූ ශානි අබේසේකර මහතා පෙබරවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉදිරිපත්කර ඇති පෙත්සමකින් වඩ වඩාත් තහවුරු කර ඇත. එම කරුණු අතර 'සොනික් සොනික්' නමින් සහාරාන්ලා සමග සම්බන්ධවී ඇති පුද්ගලයා බුද්ධි අංශයට සම්බන්ද පුද්ගලක් බව, මාතලේ 'පොඩි සහරාන්' නැමැත්තා සහ බුද්ධි අංශ නිලධාරී උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සමග ඇති සම්බන්ධය ගැන ප්‍රශ්න නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහතා ශානි අබේසේකරට දැනුම්දුන් බව, සහරාන් හා ජාතික තව්හිද් ජමාත් (NTJ) පිළිබඳ පරීක්ෂණ පවත්වන CIDයට නොදන්වාම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙහිවල ට්‍රොපිකල් ඉන් තානායමේ බෝම්බය පිපිරීමට පෙරම එම බෝම්බකරු වන ජමීල්ව සොයා වැල්ලම්පිටියේ ජමීල්ගේ මවගේ නිවසට ගොස් ඇති බව, සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ ඔවුන්  යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද දක්වයි. එකී කරුණු අනුව බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සහ සහරාන්ගේ මරාගෙන මැරෙන්න  ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර යම් සම්බන්දයක් පැවති බව පැහැදිලිවම පෙනී යන්නකි. 

එම කාරණා සම්බන්දයෙන් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසමේදී හෙළිවූ බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙන්ම මනුෂ  නානායක්කාර මන්ත්‍රීවරයාද 2021 නොවැම්බර් 11 දා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. එම  පාර්ලිමේන්තු විවාදයේදී පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල  ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවක 362 පිටුව ගැන මෙන්ම දැනට නිකුත්වී ඇති විමර්ශන වාර්තාවේ පළමු වෙළුමේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජය අද (22/02) නිකුත්කළ අනෙකුත් වෙළුම් 22 කේද යම් යම් කරුණු  අඩංගු බවත්, එකී කරණු අතර ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන්  ගැනද කරුණු මතුවෙන බවත් හෙලිවුයේය.

කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාවත්, ශ්‍රී ලංකාවේ විපක්ෂත්, තවත් බොහෝ පාර්ශවත් එකී වෙළුම් නිකුත් කරන්න යැයි එල්ලා සිටියද ගෝඨාභය  රාජපක්ෂ රජය අද (22/02) වෙන තෙක් එකී වෙළුම්  නිකුත් නොකරන ලද්දේ 'ජාතික ආරක්ෂාව' සදහා වැදගත් තොරතුරු එහි  අඩංගුවී ඇත්තයි යන්න සදහන් කරමිනි. ඇත්ත වශයෙන්ම එය 'ජාතික ආරක්ෂාව' සදහා ගනු ලබන  පියවරක්ද නැතහොත් 'රණවිරැ ආරක්ෂාව' නම් රාජපක්ෂ රජයන් නිතර වර නගන වාග්ප්‍රලාපය යටතේ දැයි යන්නද පැහැදිලි නැත. එහෙත් 'රණවිරැ ආරක්ෂාව', 'ජාතික ආරක්ෂාව' ආදී ලේබල ඔස්සේ රාජපක්ෂ පාලන යටතේ ශ්‍රී ලංකා රජය අපරාධකරුවන් ආරක්ෂා කරන රාජ්‍යයක් යැයි යන චෝදනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පවා අවධානයට ලක්වූ රාජ්‍යයක් වී ඇති. කර්නල් මුවමර් ගඩාෆිගේ ලිබියාව, සදාම් හුසේන්ගේ ඉරාකයද එවැනි අපරාධකරුවන් ආරක්ෂා කරන රාජ්‍යයන් ලෙස ලේඛනගත කිරීමෙන්  අනතුරව භයානක ඉරණමකට මුහුණ පෑ රාජ්‍යයන් යැයි මෙහිලා මතක් කරණුයේ එවැනි ඉරණමක් අප මව්බිම වන සුන්දර ශ්‍රි ලංකා දීපයට අත්නොවිය යුතු නිසාය. 

තවද ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසන්  සභාවේ දෝෂ දර්ශනයට ලක්ව, අපරාධ චෝදනා ගොනු කරකරන්න යැයි නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී  නිලන්ත  ජයවර්ධන රජයේ සාක්ෂිකරුවා කරගැනීම මෙන්ම මීගමුව උසාවියේ විමර්ශනය වන පාස්කු වන්දි නඩුවේ ඔහු වෙනුවෙන් නීතිපතිවරයා පෙරකලාසි ඉදිරිපත් කිරීමද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට  බාධාවක් ලෙස මතුවෙන බවක්ද හැගී යයි. රජයේ නිලධාරියෙක් වෙනුවෙන් නීතිපතිවරයා පෙරකලාසි ඉදිරිපත් කිරීම රටේ මුල්බැසගත් නිතී සම්ප්‍රදායක්ය යන්න හෝ සිවිල් උසාවියේ නඩුවක් සදහා ඉදිරිපත්කල පෙරකලැසි ඔස්සේ අපරාධ නඩුවකට හවුහරණක් ලැබේද යන්න පිලිබදව අවධානය පසක තිබියදී අපරාධ චෝදනා  නැගිය යුතුයැයි කොමිසම නම් කර ඇති නිලධාරියෙකු රජයේ සාක්ෂිකරුවා කරගැනීම වැරදි පුර්වාදර්ශයක් මෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට ඇති බාධකයක් ලෙස ද පෙනී යයි. 

එයද අපරාධකරුවන්  ආරක්ෂා  කිරීමට ගෝඨාභය රාජපක්ෂ  රජය යෙදු තවත් උප්පරවැට්ටියක් ලෙසද සැලකීමට ලක්ව ඇත. එහෙත් රජය එවැනි වෑයමක  නිරතවුයේ නම් නීතිපතිට, හිටපු රාජ්‍යය බුද්ධි ප්‍රධානී නිලන්ත  ජයවර්ධනට ඇගිල්ල දිගුකරමින්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස්කල කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ 18/02/2022 තීන්දුව යම් අභියෝගයක් වනු නියතය. 

එනයින්ම රජයේ  උප්පරවැට්ටි ගැන කතා කරමින් පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරුණු ජනවාරි 15 දින රාගම තේවත්ත  බැසිකාවේ පැවති දෙවියන්ට මොරගැසිමේ දේව මෙහෙයේදී ''පාස්කු ප්‍රහාරය ජන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක්'' යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් කල කතාව ඉතා තීරණාත්මක ප්‍රකාශයක් මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහි කෙලින්ම ඇගිල්ල දිගුකරන තත්වයකට ගමන්  කිරීමක් විය. 

කාදිනල්වරයා ප්‍රමුඛ  ශ්‍රී ලංකා කතෝලික  සභාව එවැනි තීරණාත්මක ස්ථාවරයකට යොමුවීමට  පසුගිය කාලය පුරාම සිදුවූ බොහෝ කරුණු හේතුවිය. ඒ අතර බොරැල්ල සියළු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තිබීමත්, එම බෝම්බය සම්බන්දයෙන් පල්ලියේ සන්ක්‍රිස්තියන් ඇතුළු නිරපරාදේ අහිංසකයන් අත්අඩංගුවට ගැනීමත්, වත්මන් බුද්ධි  අංශ ප්‍රධානී සුරේෂ් සාලිගේ පැමිණිල්ලක් අනුව ගරු සිරිල් ගාමිණී පියතුමාව දින ගණනාවක් අපරාධ විමර්ශන  අංශයට කැදවීමත් ආසන්න හේතුවිය හැක. 

ඉන් සති කිහිපයකට පසුව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉල්ලා හඩ නැගු ෂෙහාන් මාලක ගමගේ තරුණ ක්‍රියාකාරිකයාව අයුතු ලෙස මහ මගදී සුදු වැන් රියකින් පැමිණ පැහැරගැනිමක ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමත් කාදිනල්තුමාගේ දැඩි විවේචනයට  ලක්විය. 

මෙලෙස වින්දිතයන්  වෙනුවෙන්  යුක්තිය  ඉටුකිරීම වෙනුවට දිගින් දිගටම  වින්දිතයන් සහ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන්නන් පීඩාවට  පත්කරන අතර සැබෑ අපරාධකරුවන් හෙලිවීම වැලැක්වීමට සහ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගැනීම ගෝඨාභය රාජපක්ෂ රජයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  දැන් භාවිතයයි. 

එසේවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත්කල පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටි, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක් යන ප්‍රවේශය තාර්කික අවසානයකට ලගාවී ඇති නිසාය. තව දුරටත් එකී මතයට ලබාගත හැකි සමාජ අවනත භාවයක් නැත. දෘෂ්ටිවාදී හෙජමනික අවනත භාවයක් අහිමිවන තත්වයක් තුල පාලකයා මුදාහරින්නේ මර්ධනකාරී ආධිපත්‍යයක් බව ග්‍රාම්ස්ච්යානු ඉගැන්වීම් ඇසුරින් අපි ඉගෙනගෙන ඇත්තෙමු.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලනය හිමිකරගෙන සිටි මතවාදි ප්‍රවේශයම බිදවැටී, ඔවුන්ගේ සමස්ථ අධිපතිවාදී කතිකාවම  බිදවැටී ඇත. එම තත්වයක් තුල  පාස්කු ප්‍රහාරය යනු  රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත්, කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙන එල්ලවූ ප්‍රහාරයක්ය යන 'Deep state' න්‍යායික ප්‍රවේශය ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන්  වඩ වඩාත් අදාලවීමක් සහ තහවුරුවීමක් සිදුව ඇත. 

එය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසමේ මෙතෙක් නිකුත්  නොකර රජය  රදවාගෙන සිටි ඉතුරු වෙළුම් කතානායකවරයාට බාරදීමෙන්  ආපසු හැරවිය හැකි දැයි කියන්නට  තවමත්  කල් වැඩිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

22/02/2022   

5 comments:

  1. "ඔය ඔක්කොම යාළුවො මල්ලි..... "

    ReplyDelete
    Replies
    1. එහෙම කියපු කෙනත් හිරේ, එයා වෙනුවෙනුත් යුක්තිය දිනාන්න වෙලා.

      Delete
  2. මේ ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ ගලේ පැහැරූ බළලාට වෙච්ච දේ....එහෙමත් නැත්නම්,ගෙදර ගියොත් අඹු නසී.. මග හිටියොත් තෝ නසි වගේ වැඩක්.

    ReplyDelete