Tuesday, 16 November 2021

'මීගමු කලපු ලුණු' නිෂ්පාදන ක්‍රියාවලිය සහ 'රන්කාසි' සොයාගත් 'ප්‍රන්කාසි' ලා.

මීගමුව මුන්නක්කරය කලපුව අසල ඇති දුපතකින් රත්තරන් සොයාගත් පවුලක් ගැන මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කාලාන්තරයක් පුරා පවතින  ජනකතාවක් වේ. 

එම ජනප්‍රවාදය පදනම්වන කාලවකවානුව 1800 ගණන්වල අවසාන භාගයේ හෝ 1900 මුල් කාලය යැයි පිළිගැනේ. පුරුදු පරිදි මීගමුව කලපුවේ දුපත්වලට ගොස්, කලපු වතුරට සේදී එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් එකතුකරන මුන්නක්කර ග්‍රාමයේ සුළුපන්න ධීවරයෙක් උදෑසනම කලපුවේ දුපතකට ගිය ගොස්  දුපතේ වෙරලේ ඇති පස් තට්ටු සුරමින් සිටියදී කිසියම් ඝන ද්‍රව්‍යයක් එම දුපතේ වෙරලේ ඇති බව සොයාගෙන තිබේ. තවදුරටත් හාරා බැලීමේදී එහි ඇත්තේ රන්කාසි බව දුටු එම ධීවරයා පස් තට්ටුවලින් එය ආවරණය කර වහාම සිය නිවසට ගොස් කොට්ට උර කිහිපයක් ඇතිව සිය බිරිද සමග පැමිණ පස් තට්ටු හරා රත්තරන් කාසි ගොඩට ගෙන කොට්ට උරවල පුරවා සිය නිවසට ගෙනගිය බව එම ජනප්‍රවාදයෙන් කියවේ.  

මෙම ජනප්‍රවාදය මුන්නක්කර ග්‍රාමයේ ජනයාට අවසාන වශයෙන් වැඩි විස්තර  සහිතව කියමින් සිට ඇත්තේ මුන්නක්කරය කෙලවරේ පිහිටි 'තල්ගහවත්ත' ග්‍රාමයේ ජිවත්වූ, මිට කලකට ඉහත නැසී ගිය නිකදේමුස් සීයාය. නිකදේමුස් සියාට අනුව රත්තරන් සොයාගත් ධීවරයා උර 7ක් හෝ උර 70ක් පිරෙන්නට රන්කාසී සොයාගෙන තිබේ. මෙසේ රන්කාසි සොයාගත් පවුලේ අයව 'රන්කාසි' ලෙස හැදින්වූ බවත් පසුව එම නාමය ''ප්‍රන්කාසි'' ලෙස හැදින්වූ බවත් කියවේ.  අද ද  මුන්නක්කරය ග්‍රාමයේ මෙන්ම එකී ග්‍රාමයෙන් මීගමුව පිටිපන ග්‍රාමයට ආවාහ-විවාහවී ගිය පිරිස් අතරද, එමෙන්ම ඔවුන්ට කිසිදු සම්බන්දයක් නැති පිරිස් අතරද,  'ප්‍රැන්කාසි' නමින් හදුන්වන පුද්ගලයින් සිටි. මා ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සම්බදකරගෙන ඉහත ජනප්‍රවාදයේ සදහන් කාරණය සමබන්දයෙන් කිසියම් හෝඩුවාවක් සොයාගැනීමට කලකට ඉහත සිට උත්සහ කලෙමි.

 එහෙත් නිකදේමුස් සීයාය තැන තැන කියමින් සිටි 'රන්කාසි' සොයාගත් පවුල ගැන කිසිදු විස්තරයක් සොයාගැනීමට නොහැකි විය. අද ද එම පළාත්වලද, මිගමුවේ විවිධ ප්‍රදේශවලද, 'ප්‍රැන්කාසි' නමින් හදුන්වන පුද්ගලයින් සිටි. ඔවුන්ගේ නාමයක් බොහෝ දුරට ලැබී ඇත්තේ ක්‍රිස්තියානි ශාන්තුවරයෙකු වන ප්‍රැන්කාස්තුමාගේ (Saint Pancras) නාමය අනුවය නම් තැබීමෙනි. බෞතිස්මයේදී ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව යමින් නාම සාන්තුවරයෙකුගේ නමක් සිය දරුවන්ට ලබාදීම ලොවපුරාම කිතුවන්ගේ පොදු ක්‍රියාදාමයකි. ඒ අනුව මුන්නක්කරය, පිටිපන, මීගමුව හෝ වෙනත් තැනක සිටින ප්‍රැන්කාසි ලෙස හැදින්වෙන නාම ඉහත කථාවේ  පරිදි 'රන්කාසි' ඔස්සේ ඇතිවුවකට වඩා  උක්ත ක්‍රිස්තියානි සම්ප්‍රදාය ඔස්සේ ඇතිවුවක් බව පැහැදිලිය. 

මෙවැනි අහවල් දුපතෙන්, වැල්ලේ අහවල් තැනින්, මුහුදෙන්, කැඩුණු නැවෙන් රත්තන් හෝ වෙනත් වටිනා වස්තු හමුවූ හමුවූවා යැයි කියවෙන කතාන්දර රාශියකි. එහෙත් ඒවා බොහෝදුර ජනකතා, ජනප්‍රවාදවලට වඩා වැඩි පදනමක් නැති හරසුන් ගෙත්තම්ය. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ගොතන ලද කතාන්තරය. එහෙත් ඒවා තුලවුද කිසියම් ගත යුත්තක් ඇත. මුන්නක්කරයේ  නිකදේමුස් සීය්යා තැන  තැන  කිය කියා  ගිය 'රන්කාසි' හමුවූ පවුලක් ගැන කෙසේවුවද දිනපතාම උදෑසන මීගමුව කලපුවේ දුපත්වලට මෙන්ම කලපුව අවටටත් ගොස්, කලපු වතුරට සේදී එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් සුරා එකතුකරන පිරිස් මුන්නක්කර ග්‍රාමයේ මෙන්ම පිටිපනද කලපුව අවට සිටි බව පැහැදිලිය. එසේ කලපු වතුරට ගසාගෙන එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් එකතුකරන පිරිස් එසේ පස් එකතුකලේ එම පස් සෝදා පිරිසිදුකර, උණුකර, ලුණු සෑදීමටය. 

මිගමුවේ ලුණු සෑදීමේ ක්‍රියාවලියවූකලී මිගමුවටම සුවිශේෂීවූ ක්‍රියාවලියකි. එම ලුණුවල රසද ඉස්තරම් යැයි  කියවේ. මෙසේ නිවෙස්වල නිෂ්පාදනය කල ලුණු මිගමු ධිවරයන්ගේ භාර්යාවන් විසින් අසුරා පාර දෙපස තබා විකුණා මුදල් උපදවා ඇත. 'මිගමු කලපු ලුණු' ලෙස සාඩම්බරයෙන් හදුන්වා දී ඇති එම ලුණු මිලදී ගැනීමට සුද්දන් පවා පැමිණි බව කියවේ. ලුණු  පමණක්  නොව තුනපහ පදමට දමා හදන, කෙහෙල් කොළේ ඔතාදෙන, 'මිරිස් ගුලි' ද එකල මීගමුවේ පැවතියේය. වෙලදපොලේ විකිනීමට ඇති තුනපහ මිශ්‍රණ 'කඩ සරක්කු' ලෙස හැදුන්වූ මිගමු  කාන්තාවෝ තමන්ගේ  මස්-මාළු ව්‍යන්ජනවලට යෙදුවේ මීගමුවේ 'කලපු ලුණු'  සහ මිරිස් ගුලිය. මීගමුවට සුවිශේෂීවූ මස්, මාළු, කකුළු ව්‍යන්ජනවල රසකාරක රහසවුයේ ඉහත කී 'මීගමු කලපු ලුණු සහ මිරිස් ගුලිය'. 

දැන් එම කර්මාන්ත දෙකම නැවති ගොසිනි තමන්ගේ බොහොමයක් දේවල් තමන්ම නිපදවාගත්  ඒ සශ්‍රිකත්වය මීගමුවේ පමණක් නොව රටෙම නැතිව ගොස්ය. මීගමුවේ නම් තමන්  හරිහම්බකරගෙන රටේ ජනයාගේද බඩද පිරවූ කලපුව, මුහුද පමණක් නොව ධීවරයන් වාසයකරන භුමිය පවා අහිමිවෙමින් පවතී. මිගමු කලපුවේ ලුණු නිෂ්පාදන කිරීම 1980 ගණන්වලින් පසුව ඇණහිටි බව වාර්තා වේ. මෑතකදී මීගමු පිටිපන ප්‍රියන්ත සිල්වා ගජසිංහ කලාකරුවා තම Facebook පිටුවේ මීගමුවේ කලකට කලින් අතහැර දමන ලද ලුණු නිෂ්පාදන ක්‍රියාදාමයක් දැක්වෙන දුර්ලභ ජයාරුපයක් පලකල කළේය. මෙම ලිපියේ මුලින්ම පලවී ඇති ජයාරුපය ඉන් උපුටා ගත්තකි. ඔහුට එම ජායාරූපය ලබාදී ඇත්තේ පිටිපන ස්ටැන්ලි රෝසා මහතාය. එම ජයාරුපය  ඔහු විස්තර කර තිබුනේ  '1960 දශකයේ මීගමුව කලපුව අසල පස් ගෙන ආහාර සදහා ලුණු සිදින පිටිපන කාන්තාවන්' යනුවෙනි. මෙම ජයාරුපයේ විශේෂත්වය වනුවේ සැම්සන් ඥානසිරි මහතා 2018 March 10 මීගමුවේ ප්‍රාදේශීය පුවත්පතක් වන 'මීපුර පුවත්පත' ට (meepura.com) ලියු ගවේශනාත්මක වර්තාවක්වූ  'සුද්දන්ටත් ලුණු විකිණූ සිරිවර්ධන පෙදෙස් කාන්තාවෝ' නම් ලිපියේ සදහන් කරුණු  සමග මනාව ගැලපීමය. 

මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ ලුණු නිපදවූ ජනයා සමග සම්මුඛ සාකච්චාවල නිරතවෙමින් ඔවුන්ගේ පැරණි නිෂ්පාදන ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදාගත් ආම්පන්න ආදිය ගැන විමර්ශන කරමින් සැම්සන් ඥානසිරි මහතා ලියූ  ගවේශනාත්මක  ලිපිය සහ පිටිපන ප්‍රියන්ත සිල්වා ගජසිංහ කලාකරුවා සිය Facebook පිටුවේ පලකල පිටිපන ස්ටැන්ලි රෝසා මහතාගේ ජායාරූපය පහතින් දැක්වේ.

=================================================

මීගමුව මුන්නක්කරය පසුකර යනවිට සිරිකුරුස පාලම හමුවෙයි. සිරිකුරුස පාලම සීමාවෙන් පසු සිරිවර්ධන පෙදෙස හමුවෙයි. සිරිවර්ධන පෙදෙස අපේ කථාවට මූලික වන්නේ වෙනස් මිනිස් අත්දැකීම් රැසක් මෙම ගම්මානය තුළ අතීතයේදී ක්‍රියාත්මකයාත්මකවී ඇතිනිසයි.. අප මීටපෙර “ කෑම රසවත්කරන මුන්නක්කරයේ මිරිස් ගුලිය “ යන තේමාව පදනම් කරගනිමින් ලිපියක් පලකළෙමු.

මෙය ගෘහකර්මාන්තයක් ලෙස අද වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රමුඛතාවය ගත්තේ කාන්තාවන්ය. වසර 100කට පමණ පෙර මෙම ගම්මානයේ ගෘහකර්මාන්තයක් ලෙස ලුණු නිපදවීම සිදුවී ඇත. නමුත් මෙම කර්මාන්තය අදවනවිට අභාවයට ගොස් ඇත. මෙහි විශේෂත්වය වන්නේද මෙම කටයුත්තේ නියැළුනේ කාන්තාවන් වීමයි. ධීවර ගමක් වන හෙයින් ස්වාමිපුරුෂයා මසුන් ඇල්ලීම සඳහා කළපුවට යන අතර කාන්තාවන්ද තම පවුලේ ආර්ථිකය වෙනුවෙන් විවිධ කාර්යයන්හි නිරතවිය.

අප සඳහන් කරන ඉහතකී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියවලියද එවැන්නකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අදවනවිට ජීවත්ව සිටින්නේ කිහිප දෙනෙකු පමණි. අප ඔවුන් සොයා ගැනීමට උත්හාහ කළේ එම අතීත කථාව දැනගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම නිසාය. 

මෙසේ ලුණු නිපදවීමට අදාළව එහි තිබුණු පරිසරයද හේතුවක් වී ඇත. කලපුව ආසන්නයේ කැලෑව ල මඩ සහිත පස ල වඩදිය – බාදි ය ඇතිවීම තුළින් ලුණු සහිත වතුර කලපු බිමෙහි නිදහසේ පෙන නගමින් ගලායෑම ආදී වශයෙන් අදාළ කරුණු සැකසී තිබින. වැඩිහිටියන් මෙම කර්මාන්තයට අදාළව කරන කටයුතු දෙස බලාසිට ඒවා සඳහා උදව් කළ තම අතීතය ගැන මේරි මර්සි අම්මා (අවුරුදු 78 ) අප සමඟ අදහස් පළකලේ මෙසේය.

මේ හරියෙ වටේටම කලපුව. කලපු වතුර ඇවිල්ල පෙන පිපෙනව. අපේ අම්මල, ලොකු අම්මලා මේ වතුර පසුත් එක්ක තහඩු කෑල්ලකින් හූරනව. ඒව හූරල ගොඩ ගහල තියාගන්නව. පස්සෙ ලොකු කලගෙඩියකට යටින් හිලක් හදල මටුළු දාල වතුර පෙරෙන විදිහට හදනවා. ඊට පස්සෙ අර පසුත් දාලා කළපුවේ වතුර උඩින් දානවා. යටින් ඒ වතුර පෙරාගෙන ඒව වෙන භාජනයකට අරගෙන දර දාල රත්කරල තමයි මේ ලුණු හදාගන්නේ. මේ වඩියට පොල් චුට්ටකුත් දානව සුදුපාට වෙන්න. ඒවා විකුණුවේ කාට ද? මුහුදු රස්සාකාරයෝ ඇම ට සාලයින්ට දාන්න ගෙදරට ඇවිත් අරගෙන යනව. සුද්දන්ටත් දෙනවා. පාරට අරන් ගිහිල්ලා අපි විකුණනව. ඒව විකුණලා හවස 6.00ට විතර තමයි ගෙදර එන්නෙ. අලියපොලේ තමයි විකුණන්නේ. 

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැනගැනීමට සිරිවර්ධන පෙදෙසේ ජීවත්වන මර්සි සුසිලා අම්මා ( අවුරුදු77 ) හමුවිය. ඇය ලුණු සෑදීමේ ක්‍රායාවලිය ඇය විස්තර කළේ මෙසේය. අපේ නැන්දලා තමයි මේ වැඩේ කළේ. කලපුවේ ඉඳල එන වඩදිය වතුරට පස තෙත් වෙනව ඊට පස්සෙ හදාගත්ත යකඩ පටියකින් හූරල ගොඩවල් ගහනව. ඒකට කියන්නෙ ලුණුපස්ගානවා කියලයි. පස්සෙ මැස්සක් හදල ලොකු කලයකට අර හූරපු පස් පුරවනව. ඒ කලේට යටින් හිලක් හදල මටුළු කෑල්ලක් තියනව පෙරෙන්න. උඩින් තව කලපු වතුර දානව. යටින් ගස්මුට්ටියක් තියල මේ වතුර අරගන්නවග දෙතුන් පාරක් පෙරාගත්තට පස්සෙ ලොකු තාච්චියකට දාල දර දාල රත් කරල තමයි ලුණු හදාගන්නෙ.

අවසන් වරට අපට අදහස් පළකලේ සිරිවර්ධන පෙදෙසේ නිකුලස් මාමාය. (අවුරුදු 77) ඔහු අපට මේ රස්සාව කළ ආකාරය, කළ ස්ථාන, මේවා විකිණීමට වෙළඳපලට ගෙනයාම දක්වා ආදී දේවල් ඔහු පැහැදිළි කරන ලදී. අපි පොඩි කාලෙ අපේ අම්මල තමයි මේ රස්සාව කරේ. අපිට හුඟක් අමාරුනිසා අපිට කන්න දෙන්න විදිහක් නැතිනිසා මේව කරල තමයි ඒ කාලෙ අපි ජීවත් වුනේ. එතකොට මගෙ වයස අවුරුදු 13ක් විතර ඇති කොහොමද මේව කරේ ?

මේ වගේ දවස්වල කලපු වතුර ආවට පස්සෙ ඒපස් අම්මල හූරල ගන්නව. ඒකට යකඩ වලින් පටියක් හදාගන්නව. ඒකෙ දෙපැත්තෙන් අල්ලල තමයි පස් හූරන්නෙ. හූරපු පස් ගොඩවල් ගහල තියාගන්නව. මේව කට ලොකු ගස් මුට්ටියකට දාල යටින් හිල් කරල මටුළු කෑල්ලක් තියල වතුර පෙරෙන්න හදනව. ඒ මුට්ටිය පොල්පිති වලින් හදපු මැස්සක තියනව. පෙරෙන වතුර ගන්න යටින් භාජනයක් තියනව. ඒ භාජනයට වැටෙන වතුර ආයි සැරයක් ලොකු මුට්ටියට දානව. එහෙම තුන්පාරක් විතර දාල පෙරුවට පස්සෙ තමයි ඒ වතුර තාච්චියකට දාල රත්කරන්නෙ. අපේ අම්මල මඩකුණු කැපෙන්න කියල පොල් කෑලි ටිකකුත් කපල ඒකට දානව. වඩිය රත්වෙන්න ගොඩක් දර ඕන. ඒනිසා කැලේට ගිහිල්ල දර කපාගෙන එන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන.

ඔවුන් සෑදු ලුණු හැදින්වූයේ “ හිඳිලුණු , ලෙසිනි. මේවා සකස්කළ ආකාරය, ඒ සඳහා භාවිතාකළ උපකරණ ආදිය ගැන අපට අවබෝධයක් නොතිබුනු නමුත් ඒපිළිබඳව මේරි අම්මා , මර්සි අම්මා සහ නිකුලස් මාමා කියන ලද කරුණු චිත්‍රයකට නඟා ගැනීමෙන් ඒ පිළිබඳ යම් අදහසක් හැකිවිය. 

මේ වකවානුවේදීම එංගලන්තය, ජර්මනිය වැනි රටවල්වලද සරල තාක්ෂණික ක්‍රම මගින් ලුණු නිපදවා ඇත.ඔවුන් මේ සදහා ක්‍රම දෙකක් භාවිතා කරඇත. එකක් වූයේ සූර්්‍ය රස්මිය උපයෝගි කරගනිමින් වාෂ්පීකරණයට ලක්කර ලුණු හැදීමේ ක්‍රමයයි. දෙවැන්න රත්කිරීමේ ක්‍රමයයි. මේ සදහා මුලින් මැටිභාජන වලට , අදාල කරදිය වතුර දමා දරවලින් රත්කරඇත. පසුව එම භාජන තඹ වලින් සකස්කරගෙන ඇත.රෝමන්වරු ද තඹ භාජන භාවිතාකළ බව සදහන්වේ. ඉන්පසු තඹ වෙනුවට යකඩ යොදාගෙන මෙම භාජන නිර්මානය කරඇත. රත්කිරීම සදහා දර වෙනුවට ගල්අගුරුද පසුව වාෂ්ප ඇංජිම සොයාගැණීමත් සමගින් මෙම කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇතිවිය.

මුලින් ලී රේක්ක යොදාගනිමින් ලුණු එකතු කරඇත. මුලින් තිබු මැටි භාජන අඩි 3ක් පළල අඩි 3ක් දිග සමදතුරශ්‍රාකාර එකක් විය. පසුව අඩි 25 පළල අඩි 35 දිග අඩි 1 ½ ගැඹුරටද පසුව එයද වෙනස්වී , අඩි80 දිග අඩි 30ක් පළලින් යුතු භාජන දක්වා වර්ධනයක් ඇති කර ගන්නා ලදී. එසේම මෙම භාජන දැමීම සඳහා වෙනම කුටි නිර්මාණය කර ඇත. එංගලන්තය වැනි රටවල්වල මේ කර්මාන්තයට අදාලව වෙනම නගරද බිහිවී ඇත. මේ අනුව සරල තාක්ෂණයේ සිට දියුණු තාක්ෂනික සහ විද්‍යාත්මක ක්‍රම භාවිතා කර මෙම කර්මාන්තය වැඩි දියුණු කර ගැනීමට ඉහත කී රටවල් සමත් වී ඇත. මේ අදහස් වැදගත් වන්නේ අපගේ කථාවට මූලිකවූ මිනිසුන් හට මෙම සරල තාක්ෂණය දියුණු කරගතහැකි වුයේනම් මේ වනවිටත් සිරිවර්ධන පෙදෙසේ මෙම ලුණු කර්මාන්තය පැවතීමට ඉඩ තිබුනි. 

සැම්සන් ඥානසිරි 




=========================================================================

මීගමුව මුන්නක්කරය ග්‍රාමය  ගැන වැඩි විස්තර රජයේ වැඩවල මෝඩකමේ ප්‍රතිමුර්තිය - මීගමුව මුන්නක්කරයේ මෝඩ පාලම නම් වූ මර උගුල  යන ලිපිය ඔස්සේ කියවිය හැක. 

මීගමුවේ මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන දැනගැනීමට මෙම යොමුවෙන්ම පිවිසෙන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/11/2021

8 comments:

  1. මීගමුව ගැන ඔබ ලියන සෑම ලිපියක්ම කුඩා කල හැදුන වැඩුන, පාසල් ගිය බාල කාලය සිහි ගන්වයි. ආපසු එහි යාමට සිත පොළඹවයි. එනිසාම ආසාවෙන් කියවමි.

    ReplyDelete
    Replies
    1. දැන් තත්වය වෙනස්, ඒත් අපේ මතකයන් සුන්දරයි.කියවනවාට ස්තුතියි.

      Delete
  2. Thank you ever so much for these interesting articles of my home town ,brings back all the memories and nostalgia of the beautiful place I once called home ,still has a sense of belonging every time I ho there ❤ keep up your great work!!

    ReplyDelete
    Replies
    1. You're welcome, thanks for rreading and every encouragements.

      Delete
  3. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබගේ සින්ඩියට ජයෙන් ජයෙන් අත්වේවා!! මාගෙ පුර්ණ සහයෝගය.

      Delete
  4. It's time you published a book on Negombo.
    I can't think of anyone more suitable than you.

    ReplyDelete
    Replies
    1. Thank you that's very kind, I will aim to do it when the time comes

      Delete