Wednesday, 6 October 2021

දැරණිගලලා ගොඩදාපු හෙලොසින පස් තට්ටු

ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මරණයත්  සමග ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂය සම්බන්දයෙන් එතුමා සිදුකල දායකත්වය ගැන පළවූ විවිධ ලිපි ලේඛන ගැන යම් අවධානයක් යොමුවී තිබේ. ශිරාන් දැරණියගල මහතාගේ පුරාවිද්‍යාත්මක කැණීම ඔස්සේ ලංකාවේ වංශකථා සාහිත්‍යයට එහායින් ගිය ප්‍රාග් ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව පුරාවිද්‍යාත්මකව ඔප්පු කිරීමට ඔහුට හැකිවී තිබුනි. ඒ අනුව වර්තමානයේ අප සලකන අනුරාධපුර රාජධානියට යටින් ඊටත් වඩා පැරණි නගරයක් පැවති බවත්, විජයාගමනයට පෙර පටන් මෙරට ශිෂ්ටාචාරයක් පැවති බවත්, එකී ශිෂ්ටාචාරය සතුව භාෂාවක් පමණක් නොව කලාශිල්ප ආදිය පැවති බවත් ඔහුගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඔස්සේ තහවුරුකරන ලදී.

ඔහුගේ සොයාගැනීම් ඔස්සේ ලංකාවේ මුල් බැසගත් විජයගෙන් පටන් ගන්නා ශිෂ්ටාචරය පිලිබදව ඉගැන්වීම් පමණක් නොව අප්‍රිකාවෙන්  පටන්ගෙන ලොව පුරාම ව්‍යාප්තවූවායැයි කියන නුතන මානවයාගේ ඉතිහාසයත් අභියෝගයට ලක්වූ බව කියවේ. ඇතැම්විට ඒ ඔහුගේ පියාගේ කාලයේදී පටන් සොයාගත්  බලන්ගොඩ මානවයාගේ සහ ලංකාවේ වේනත් ප්‍රදේශවලින් සොයාගත් පැරණි මානව හිස්කබල්, ඇටසැකිළි වසර 125,000ක කාලයක සිට වසර විසි, තිස් දාහක, දොළොස් දාහක කාල පරාසයකට දිවයන නිසාය. ඒ අනුව අප්‍රිකාවෙන් පටන්ගෙන ලොව පුරාම ව්‍යාප්තවූ නුතන මානවයා පිළිබදව මෙතෙක් ගොඩනගා ඇති 'මානවයාගේ ක්‍රමික විකාශනය' පිළිබද පිළිගත් නිර්මිතයන්හි කරුණු අභියෝගයට ලක්ව, එහෙන් මෙහෙන් කඩා වැටෙන්විය. එමෙන්ම  ශිරාන් දැරණියගල මහතාගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් නිසා ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයටත් වඩා වසර තුන්සියයකට එපිට පටන් ලංකාවේ ජිවත්වූ ජනයා අක්ෂර භාවිතාකර තිබෙන බව සොයාගෙන තිබේ. දකුණු ආසියාවේ පැරණිම අක්ෂර ඔහුගේ කැනීම් ඔස්සේ ලංකාවෙන් සොයාගැනිමත් සමග ඉන්දියාවේ අක්ෂර භාවිතයට පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේයැයි  කියන මතය බිදවැටුනි. එපමණක් නොව සාමාන්‍යයෙන් ලංකාවේ පිලිගත් ලංකාවට අක්ෂර මාලාවක් ලැබුනේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ලංකාවට පැමිණි බෞද්ධාගමත් සමගයි යන මතය බිදවැටුනි.  

එමෙන්ම ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ පරීක්ෂණ ඔස්සේ ඔප්පුවූ තවත් කරුනක්වුයේ ද්‍රවිඩ ජනයා සහ සිංහල ජනයා එකම ජානමය පදනමක් සහිත මිශ්‍ර ජනවර්ග බවයි. මේ මතය අනුව සිංහල මෙන්ම ද්‍රවිඩයනුත් මිශ්‍රයි. ලංකාවේ සිටින්නේ තනිකර සිංහලවත්, තනිකර දෙමළවත් නොව සිංහල-දෙමළ මිශ්‍ර ජනතාවක් බව ඔහුගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින්ද ඔප්පුවී ඇත. එය අද ඊයේ ඇතිවුණු මිශ්‍රණයක් නොව වසර මිලියන දෙකකට පෙර පැවතියේයැයි කියන 'මිනිසාගේ යුගය', 'මහා අයිස් යුගය' නැතිනම් 'චාතුර්ථික අවධිය' (Quaternary period) දක්වා දිවයන බව ඒ යුගයේ ප්ලයිස්ටෝසීන (Pleistocene) සහ හෙලොසින (Holocene) පස් තට්ටු ගැන කැනීම් සිදුකල ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මතයයි. එම යුගවලට අයත් මීගමුවේ සිට මන්නාරමේ විල්පත්තුව දක්වා දිවයන 'යමසු බොරළු' (Basal Ferruginous Gravels) පස් තට්ටුවත්, වයබ දිග සිට යාපනය දක්වා විහිදෙන රක්තවරණ තැම්පතුත් (red beds), රත්නපුරේ සිට සිට දකුණු වෙරල තීරය දක්වා දිවයන සිප්පු කලච (shell deposit) තැම්පත්වල ඇති පාෂාණ ස්ථරත් ශිරාන් දැරණියගල මහතාගේ මෙන්ම ඔහුගේ පියාවූ පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතාගේත් පරික්ෂනවලට ලක්වූ පස් ස්ථර

ශිරාන් දැරණියගල මහතා ඉරණමඩුවේ රක්තවරණ පස් ස්ථරවල (red beds) සිදුකල කැණීම්වලින් සොයාගත් ප්‍රාග් එතිහාසික මානවයාගේ ශිලා මෙවලම් සමග විජයාගමනයට පෙර පටන් මෙරට සිටි ප්‍රාග් එතිහාසික මානවයාගේ සභ්‍යත්වය සොයායෑමට කටයුතු කරනුයේ සිය පියාවූ පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතාගේ අඩිපාරේ යමිනි. එහෙත් ඔහුගේ පියා, පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා, සිය පරීක්ෂණ සිදුකරනුයේ ඊට වඩා පුළුල් අවකාශයක, වපසරියක සිටය. එනම් සිරාන් දැරණියගල මහතා  මෙරට සිටි ප්‍රාග් එතිහාසික මානවයාගේ සභ්‍යත්වය සොයායන අතර ඔහුගේ පියා සොයාගියේ මෙරට සත්ව සංහතියේ ඉතිහාසය පිලිබදවය. ශිරාන් දැරණියගල මහතාට අනුරාධපුර රාජධානියට යටින් පිහිටි ඊටත් වඩා පැරණි නගරයක් මෙන්ම අශෝක  අධිරාජ්‍යගේ යුගයටත් වඩා පැරණි අක්ෂර මාලාවක් හමුවෙද්දී, ඔහුගේ පියාවූ පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා සොයාගන්නේ ලංකාවේ බොහෝ කාලයකට පෙර ජීවත්වු පුරාණ රයිනෝසිරස්, හිපපොටේමස්, සිංහ, විශාල හස්ති, ගවාර ආදී සතුන්ගේ පොසිලය. බලන්ගොඩ මානවයා වැනි මධ්‍ය ශිලා (මෙසොලිතික) යුගයට අයත් මානවයින්ය. ඇත්තටම ශිරාන් දැරණියගල මහතාගේ පියා, පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා පොසිල ගැන, සත්ව සංහතිය ගැන පමණක් නොව ඉතිහාසය, මානව විද්‍යාව, සත්ව විද්‍යාව, බිතු සිතුවම් ආදී ක්ෂේත්‍ර රාශියක් ගැන අධ්‍යනය කල ඒ ගැන පොතපත පලකල දැවැන්ත යුග පුරුෂයෙකි. ඔහු පලකල ශාස්ත්‍රීය ලිපි ලේඛන  අතරින්  සිංහලට පලවී ඇත්තෙත් ඉතා ස්වල්පයක් පමණක් බව කියවේඑහෙත් ශිරාන්  දැරණියගල මහතා තරම්වත් රටේ ජනයා මහා යුග පුරුෂයෙක්වූ ඔහුගේ පියාවන පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා ගැන දන්නේ නැ

මා වුවද ඔහු, පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා, ගැන සොයන්න පෙලබුනේ ඔහුගේ බලන්ගොඩ මානවයා ගැන සොයාගැනීම් ආදියට වඩා 1947දී පලකල 'Administration Report of the Director of National Museums Ceylon' නම් වාර්තාවේ ඔහු මිගමුව ගැන සිදුකල අධ්‍යනයක්  නිසාය. එකී වාර්තාවේ සදහන් ආකාරයට ඔහු මිගමුවේ වෙරල, කලපුව, තෙත්බිම ආදිය ගැන කල අධ්‍යනවලදී මීගමු කලපුවෙන් 'Nereis (Neanthes) Negomboensis' නම් සත්ව විශේෂයක් සහ මිගමුවේ පිටිපන ප්‍රදේශයෙන් 'Glycera littorea' නම් සත්ව විශේෂයක පොසිල සොයාගැනීමත්, මිගමුවේ පස් ස්ථරයන් ගැනත් සදහන් කර තිබේබොහෝ දෙනෙක් දන්නා ලෙස මගේ අධ්‍යන ක්ෂේත්‍රය ජාතික-රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය, යටත්විජිතකරණය, ක්‍රිස්තියානිය වෙනත් සංස්කෘතියන්හා අභිමුඛවීම, සුළු ජනකොටස්වල අභිලාෂයන්, මීගමුව වැනි ක්ෂේත්‍රවලට ගොනුවුවක් මිස පුරාවිද්‍යාව හෝ ප්‍රාග් එතිහාසය පිළිබදව යොමුවුවක් නොවේඑහින් මම මෙම ශුර දැරණිගල පිය-පුතු දෙදෙන ගැන විමසා බලන්නේද ඒවැනි පදනමක සිටය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා  

06/10/2021

3 comments: