1940 වසරේදී මිගමුව කොච්චිකඩේ පෝරුතොට හෙවත් පාරුතොට ප්‍රදේශයෙදී ගන්නා ලදැයි කියන මෙම ඡයාරූපය මාහට ලබාදුන්නේ මීගමුවේ උතුරු කෙලවරේ පිහිටි පෝරුතොට, ආබ්දීන් පාරේ, වසර 40 පමණ පදිංචිව සිටි මොහොමඩ් යුසුෆ් මහතාය. ඒ 2014දීය. ඒ මහතා දැන් මියගොස් ඇති බව දැනගැනිමට ලැබුනි. මා ඔහුව මුණගැසෙන විටත් (2014) ඉතාමත් වයස්ගතව රෝගීව සිටියද ඒ මහතාට මෙම ඡයාරූපයේ ඉතිහාසය පිළිබදව පැහැදිලි මතකයක් තිබුණි. ඔහුට අනුව මේ ඡයාරූපයේ දැක්වෙන්නේ, 1970දී ඇළ සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතුවලට පෙරාතුව, මීගමුව පෝරුතොට පාලම අවට ප්‍රදේශයයි. පසුගිය සියවසේ කොප්පර ඇතුළු භාන්ඩ ප්‍රවාහනය සදහා යොදාගත් පාරු, මහඔය සහ ගින්ඔය ඔස්සේ හැමිල්ටන් ඇළට අතුල්වු විට පෝරුතොට ප්‍රදේශයේ නවතා තිබු බවත්, පෝරුතොටට ඒ නම ලැබෙනුයේ මෙම පාරු නවතා තැබූ පාරුතොට යන අර්ථයෙන් බවත් පසුව එය පෝරුතොටවූ බවත් ඒ මහතාගේ අදහසයි.
හැමිල්ටන් ඇලේ ඉතිහාසය පිලිබදව නිවැරදී පැහැදිලි විස්තරයක් 2019 සැප්තැම්බර් 14 'සිළුමිණ' පුවත්පතට 'කොළඹ සරු කළ අතීත ඇළ මාර්ග පද්ධති' නමින් ලිපියක් ලියු ජේතවන කෞතුකාගාරයේ හිටපු පාලක, මිහින්තලේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද බාහිර කථිකාචාර්යක් ලෙස සේවය කල ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතා දක්වා තිබුණි. ඒ මහතාගේ ගවේෂනාත්මක අදහස් පහතින් පළවේ;
==========================================
ඇළ හා ජල මාර්ග (Canals and Water ways) වියදම් අඩු ප්‍රවාහන ක්‍රමයක්ය, යන්න අනාදිමත් කාලයක සිටම ලොව බොහෝ රටවල ප්‍රචලිතව පැවති අදහසකි. විශේෂයෙන්ම, මේ සම්බන්ධයෙන් වඩාත් ප්රවීණත්වයක් දැරුවේ මුහුදු මට්ටමට වඩා පහත් හෝ නිතර ගං වතුරට ලක් වන රටවල වැසියෝය. ඒ අතරින් ඕලන්ද ජාතිකයන් හෙවත් ලන්දේසීන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඔවුහු සිය, ජල විද්‍යාත්මක ඉංජිනේරු ක්‍රම (hydraulic engineering techniques) සම්බන්ධ පරිචය ප්‍රයෝජනයට ගනිමින්, සිය යටත්විජිත රටවලද ඇළ මාර්ග බිහි කිරීමට පසුබට නොවූහ. දැනට ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයෙහි දැකිය හැකි ඇළ මාර්ගවලින් බොහොමයක්ම එලෙස ලන්දේසීන් අතින් බිහි වූ ඒවා වෙයි.
යටත්විජිත පාලන සමයේදී ඇළ මාර්ග බිහි කිරීමේ ගෞරවය ලන්දේසීන්ට හිමි වුවද ශ්‍රී ලංකාවේ ජල කර්මාන්තයේ ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නකි. අනුරාධපුර, පොලොන්නරු යුගවලදී පැවති විශිෂ්ට වාරි තාක්ෂණය ලන්දේසීන්ට කිසි විටෙකත් සම කළ නොහැක්කකි. එසේම ප්‍රවාහන කටයුතු සඳහා අභ්‍යන්තර ජල මාර්ග ප්‍රයෝජනයට ගෙන ඇති අවස්ථා පිළිබඳවද අපගේ සාහිත්‍යමය මූලාශ්රයන්ගෙන් තොරතුරු ලැබේ. ඇතැම් ඉතිහාසඥයන් සඳහන් කරන පරිදි කෝට්ටේ සහ රයිගම ප්‍රදේශවල මුලින්ම ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු ආරම්භ කර ඇත්තේ සිංහල රජවරුය.
කෙසේ වෙතත් රට තුළ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ හැකි පරිදි ජල මාර්ග දියණු කර ඇත්තේ ලන්දේසීන් විසිනි. වෑන් ඉම්හෝෆ් ආණ්ඩුකාරවරයා (1736-1740) නිල වශයෙන්ම මෙන්ම පෞද්ගලික වශයෙන්ද ඉමහත් පරිශ්‍රමයක් දරා ඇති බව පෙනේ. එසේ ලන්දේසීන් විසින් ඇළ මාර්ග දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වී ඇත්තේ වෙළඳ භාණ්ඩ නිෂ්පාදන ප්‍රදේශවල සිට ලාභදායි ලෙස කොළඹ වරායට ප්‍රවාහනය කරවීමයි. ලන්දේසීන් පැමිණීමට පෙරාතුව පෘතුගීසීන් විසින්ද කොළඹ හා ඒ අවට ඇළ මාර්ග කීපයක් ආරම්භ කොට තිබූ අතර ලන්දේසීන් අතින් ඒවාද වැඩි දියුණුවට පත් විය.
කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අතරින් පැරණිම ඇළ මාර්ගයක් ලෙස උතුරින් හැඳල දක්වාත්, දකුණින් බොල්ගොඩ ජලාශය හා කෝට්ටේ ජලාශය සම්බන්ධ වන අයුරින් බිහි කර ඇති ඇළ මාර්ගය හැඳින්විය හැකිය. ලන්දේසීන්ගේ වාර්තාවලට අනුව එය පෘතුගීසීන් විසින් ඉදි කරන ලද්දකි. එසේම කොළඹට උතුරින් කැලණි ගඟේ සිට පමුණුගම කලපුව දක්වා ඉදි කර ඇති ඇළ මාර්ගයද පෘතුගීසීන්ගේ නිර්මාණයක් බව එල්.ආර්. බ්‍රෝහියර් (L.R. Brohier - Links Between Sri Lanka and Netherlands) සඳහන් කරයි. පර්නාවෝ ඩී. ක්වේරෝස් පියතුමා ( Fr. Fern ao de Queyroz ) සිය, “Temporal and Spiritual Conquest of Ceylon” නම් ග්රන්ථයෙහි එම ඇළ මාර්ගය වීර පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇති අතර, ඒ නිසැකයෙන්ම Viii වන වීර පරාක්‍රමබාහු (1476-1489) රජු විය හැකි බව එච්.ඩබ්ලිව්. කෝඩ්රින්ටන් ( H.W. Codrington - Short History of Ceylon) සඳහන් කරයි. කෙසේ වෙතත් ලන්දේසී වාර්තා අනුව එම ඇළද පෘතුගීසීන් විසින් ආරම්භ කරන ලද්දකි.
කොළඹට උතුරින් සාරවත් වෙල් යායක්ව පැවති මුතුරාජවෙල පුරන් වී ගියේද එම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව සඳහන් වේ.
ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයා බැලීමේදී 1614.04.23 වැනි දින දොම් ජෙරොනිමෝ ද අසවේදු Dom Jeronimo de Azevedo විසින් මනුවෙල් මස්කරඤ්ඤස් හොමේම් MANOEL (Mascarenhas Homem) ජනරාල්වරයා වෙත යවන ලද ආඥා පත්‍රයකින් (regimento) වැදගත් කරුණු රැසක්ම අනාවරණය කර ගත හැකි වේ.
පෘතුගීසී බසින් රචිත එම ලේඛනයෙහි එම ඇළ මාර්ග පිළිබඳව සඳහන් වන ආකාරය මෙහි දක්වා ඇත.
එහි සිංහල පරිවර්තනය මෙසේය.
එහි (මීගමුවේ) සිට කොළඹට ඇති අභ්‍යන්තර ගංඟාවක් නිසා කොළඹට භාණ්ඩ ප්‍රවාහනය ඉතා පහසු බැවින් හා නැව් වලින් ගොඩබාන භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුවෙන් බෝට්ටු සපයාගත හැකි බැවින් මීගමු වරාය ඉතා යෝග්‍ය එකක් ලෙස සඳහන් කරයි.
තවද අයහපත් කාලගුණය හා කුණාටු සහිත බව නිසා ඔබට කොළඹට ගොඩ බැසීමට අපහසු වුවහොත් කල්පිටියට යා හැකිය. එය ආරක්ෂිත වරායක් වන අතර ඊට “ ගඟ” ඔස්සේම යා හැකිය. එය වඩාත් පහසු හා ආරක්ෂිත මාර්ගයක් වන අතර බෝට්ටුවලින් හා කම්කරුවන්ගෙන් හිඟ නොවේ.
කෙසේ වෙතත් එම ලේඛනයෙහි “ඇළ” යන්න වෙනුවට ‘ගංගාව’ යන්න අර්ථවත් වන rio යන වචනය යෙදා තිබීම මතභේදයට තුඩු දෙන්නකි. rio යන්න ඇතැම් විට කලපුව සඳහාද යොදා තිබේ. එහෙත් කොළඹ සිට මීගමුව දක්වා විහිදෙන කලපුවක් නැති බැවින්ද ශ්‍රී ලංකාවේ ගංඟා ව්‍යාප්ති රටාව අනුව කිසිදු ගංගාවක් වෙරළට සමාන්තරව නොවිහිදෙන බැවින් මෙහි “ගඟක්’ ලෙස සඳහන් කර ඇත්තේ ඇළ මාර්ගයක් බව නිසැකය.
මීගමුවේ සිට කල්පිටිය දක්වාද එම ඇළ මාර්ගය විහිදි බව සඳහන් කර තිබීම තවත් ගැටලු සහගත තැනකි. මන්ද යත්, පුත්තලමේ සිට කල්පිටිය දක්වා කලපු තීරයක් විහිදෙන බැවින් ඇළ මාර්ගයක් අවශ්‍ය නොවන බැවිනි. ඒ අනුව මෙම ඇළ මාර්ගය කොළඹ සිට පුත්තලම දක්වා නිර්මාණය කර තිබී ඇති අතර, එතැන් සිට කල්පිටිය දක්වා කලපුව ඇළ මාර්ගයටම සම්බන්ධ කොට එක් ජල මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකිය.
කොළඹ සිට පුත්තලම දක්වා සැතපුම් 78 ක් දිගැති ඉහත ඇළ මාර්ගය පිළිබඳ ඇතැම් ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මුලින් පෘතුගීසීන් විසින් කොළඹ සිට මීගමුව දක්වා කොටස නිර්මාණය කර තිබූ අතර ලන්දේසීන් විසින් පුත්තලම දක්වා වූ කොටස සම්පූර්ණ කර ඇති බවයි. එහෙත් ක්‍රි.ව. 1614 වන විටත් එම සම්පූර්ණ ඇළ මාර්ගයම නිර්මාණය වී තිබූ බව ඉහත ලේඛන අනුව ප්‍රත්‍යක්‍ෂ වේ. ඒ අනුව 18 වන සියවසේදී ලන්දේසීන් එම ඇළ මාර්ගය තවදුරටත් නවීකරණය කර ඇති පෙනේ.
ඒ සමඟම කොළඹ හා පුත්තලම අතර ප්‍රදේශයෙහි ගංඟා, කලපු සම්බන්ධ කරමින් සැතපුම් 120ක පමණ ඇළවල් සංඛ්‍යාවක් වෑන් ඉම්හෝෆ් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද බව සඳහන් වේ.
කෝට්ටේ සිට කිරුළපන හරහා නැදිමාලටත්, ඉන්පසුව බොල්ගොඩ ජලාශයටත් විහිදෙන ඇළද පෘතුගීසීන් විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර පසුව එය ලන්දේසීන් විසින් පිළිසකර කරනු ලැබ තිබේ. කෝට්ටේ සිට ගංගොඩවිල ඔස්සේ නැදිමාල දක්වා තවත් කෙටි ඇළ මාර්ගයක් ලන්දේසීන් විසින් සැලසුම් කළ ද එහි වැඩ කටයුතු අවසන් කළ නොහැකි වී තිබේ.
පෘතුගීන් හා ලන්දේසී යුගවලදී කොළඹ හා ඒ අවට ජල කර්මාන්තය ගැන කතා කිරීමේදී බේරේ වැව (Beira Lake) ද විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි. මුලින් කුඩා වැවක් ලෙස ඉදි කර ඇත්තේ 1521 දීය. ඒ, පෘතුගීසී බළකොටුව හා කොළඹ නගරය ගොඩබිම දෙසින් එන සතුරු ආක්රමණවලින් ආරක්ෂා කරගැනීම සඳහාය.
බේරේ වැවේ ආරම්භය පිළිබඳ පර්නාවෝ ඩී. ක්වේරෝස් පියතුමා (1680), 1521 දී විජයබාහු රජු කොළඹ වැටලූ කල්හි පෘතුගීසී කපිතාන් ලෝපොද බ්‍රිටෝ ආක්‍රමණිකයන් මරමින් එක්තරා දොළක් දක්වා ලුහුබැඳ ගිය බවත් පසු කලෙක එම දොළ හරස් කොට නගරයට වඩා හොඳින් රැකවරණය ලබාගැනීම සඳහා වැවක් බඳින ලද බවත් සඳහන් කරයි.
ඒ අනුව වැව ඉදිකිරීම නිසා උතුරින් හා බටහිරින් මුහුදින් ආරක්ෂා වූ කොළඹ නගරයෙහි දකුණු හා නැඟෙනහිර සීමාවල ආරක්ෂාවද තර කරගත හැකි විය.
කෙසේ වෙතත් එම වැව “බේරේ වැව” ලෙසින් වඩාත් විශාල කොට නිර්මාණය කර ඇත්තේ ලන්දේසීහුය. ඒ කාර්යෙහිලා ඩී. බියර් (De. Beer) නම් ලන්දේසී ජාතික ඉංජිනේරුවෙකු ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, ඒ අනුව ඔහුගේම නමින් වැව නම් කර තිබේ. ආරම්භයේදී එම වැවෙහි ප්‍රමාණය (Lake area) අක්කර 400 (හෙක්ටාර් 162) ක් වී තිබේ. එහෙත් පසුව නොයෙකුත් අවශ්‍යතා සඳහා ගොඩ කරන ලදුව දැනට මෙහි ප්‍රමාණය හෙක්ටාර් 65.4 දක්වා අඩු වී තිබේ. පෘතුගීසී හා ලන්දේසී යුගවලදී සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු වී ඇත්තේ ඒ වැව ඔස්සේය.
මුල් කාලීනව බේරේ වැව හා සම්බන්ධව ඇළ මාර්ග කීපයක් නිර්මාණය වී තිබී ඇති අතර, දැනට ඉන් ඉතිරිව ඇත්තේ එකක් පමණි. ඒ ‘සන්ත බස්තියම් ඇළයි. එම ඇළ පෘතුගීසී බළකොටුවට පහර දීම සඳහා වැව හිස් කිරීමට 1 වන රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. ඒ සඳහා හේවාගම් කෝරලයේ ජනතාව සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.
19 වන සියවස වන විට කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු හා ගං වතුරින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ඇළ මාර්ගවල වැදගත්කම වටහාගත් බ්‍රිතාන්‍ය පාලකයන් තවදුරටත් ඒවා නවීකරණය කොට පවත්වගෙන යෑමටත්, නව ඇළ මාර්ග ඉදි කිරීමටත් උත්සුක විය. එහි ප්රතිඵලයන් ලෙස කැලණි ගඟ පමුණුගම කලපුවට සම්බන්ධ කෙරෙන හැමිල්ටන් ඇළද බොල්ගොඩ ජලාශය කළු ගඟට සම්බන්ධ කෙරෙන අන්ස්ට්රෑදර් ඇළ (1829 දී කොළඹ අයකැමි ධුරය දැරූ පිලිප් අන්ස්ට්රෑදර්ගේ නමින්) ද බිහි විය.
ඊට අමතරව කෝට්ටේ කිරුළපන සහ නැදිමාල ඇළද වැල්ලවත්තෙන් මුහුදට සම්බන්ධ කරමින් තවත් ඇළක් ද ඉදි කර තිබේ. මෙම ඇළ එවකට බස්නාහිර පළාතේ දිසාපතිව සිටි සී.පී. ලෙයාඩ් විසින් සැලසුම් කරන ලද බැවින් ලෙයාඩ්ගේ ඇළ නම් විය. කැලණි ගඟේ පිටාර ජලය බැහැර කිරීම එම ඇළ ඉදි කිරීමේ අරමුණ වුවත් ඇළේ පතුල, ගං වතුර රඳන ප්‍රදේශයට වඩා උස් වූ බැවින් එය ‘ලෙයාඩ්ගේ මෝඩ ඇළ’ නමින් ප්‍රකට විය. පසුව එම ඇළ ගැඹුරු කොට ගංවතුර බැස්සවීමේ මාර්ගයක් ලෙස සකස් කෙරිණි.
එම ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ ඔරු හා පාරු ය. ඒ අතරින් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වඩාත් වැදගත් යාත්‍රාව වූයේ පාරුවයි.
බොහෝ ඉඩකඩ හා ආරක්ෂාව ඇතිව සකසා ඇති එම පාරුවලින් තේ, රබර්, පොල් වැනි කෘෂි නිෂ්පාදන කොළඹ වරාය කරාත් ලුණු, ගඩොල්, උළු, ලී වැනි දේ රට අභ්‍යන්තරයටත් ප්‍රවාහනය කෙරිණි. දින ගණනක් මුළුල්ලේ සිදු කෙරුණු පාරු ගමන්වලදී අව් වැසිවලින් ආරක්ෂා වීම සඳහා පොල් අතුවලින් සැකසූ පියස්සක් ද පාරුවට විය. පොල් අතු වහලක් සහිත එම පාරු විශේෂය ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද්දකැයි පැවසේ. එම පාරු හබල් ගෑමෙන් හෝ දිග රිටිවලින් පැදීමෙන් හෝ ඉවුරේ සිට කළ කණුවල බැඳි කම්බි මගින් යාත්‍රා කෙරිණි. ආහාරපාන පිළියෙල කරගැනීමද පාරුව මත දීම සිදු වූ අතර පාරු නතර කර තැබීම සඳහා නිශ්චිත නැවතුම් පොළද විය.
ඔරු, පාරු උපයෝගී කොටගෙන කොළඹ ආශ්‍රිතව සිදු කෙරුණු වෙළඳ කටයුතු සම්බන්ධ පැරණිම සාධකය හඳුනාගත හැක්කේ හංස සංදේශයෙනි. එහි එක් කවෙක කොළඹ, වත්තල, පුත්තූරුව වැනි තැන්වලින් පිටත්ව ඔරු, පාරුවලින් වෙළඳාමේ යන වෙළඳුන් ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.
‘කොළඹ විසල් වත්තල් පුත්තූරු වෙනි
නරඹ යනෙන වෙළඳුන් ඔරු පාරු වෙනි’
එහි සඳහන් ‘පුත්තූරුව’ මට්ටක්කුලිය යනුද මතයකි. සුනිල් සරත් පෙරේරා උපුටා දක්වන කොළඹ සිට මාදම්පේ දක්වා ගිය පාරු ගමනක් විස්තර කෙරෙන බ්‍රිතාන්‍ය යුගයට අයත් කවි කොළයක එම ගමන පිටත් වූ ස්ථානය ලෙස සඳහන් වන්නේ නාගලගම් පාලමයි. කොළඹින් පාරු ගමන පිටත් වීම විස්තර කෙරෙන එහි මුල් කවිය මෙසේය.
‘සකල සිරින් පිරි
පසල කොළොම්පුර
නාගලගම් පාලමේ සිටන්
යදල පඬුරු සන්තානම්
මව් හට වික්ටෝරියා පාලමේ යටින්
යැදල සිව්දෙන හබල් හතර ගෙන
කැලණි ගඟේ සැඩ පහර තදින්
යැදල නැමති ගමේ අලුත් ඇළට
වන් ලාදුරු වත්තට නුදුරු තැනින්'
1940 ගණන් වන විට දුම්රිය හා මහා මාර්ග ප්‍රවාහන කටයුතු වැඩි දියුණු වීම නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ඇළ මාර්ග සතු වූ වැදගත්කම ක්‍රමයෙන් අඩු වන්නට විය. ඒ අනුව ඊට තරගකාරී ලෙස ඇළ මාර්ග ප්‍රවාහනය පවත්වාගෙන යෑමට නම් ඇළ මාර්ගවල ඉවුරු පිළිසකර කොට යාන්ත්‍රිකව ධාවනය කෙරෙන යාත්‍රා උපයෝගී කොට ගත යුතු බවට අදහස් ඉදිරිපත් විය.
මේ අතර 1970 ගණන් වලදී ඇළ මාර්ග කීපයක් පුනරුත්ථාපනය කිරීම සඳහා අවධානය යොමු කෙරුණු අතර ඉන් ප්‍රමුඛත්වය හිමි වූයේ කොළඹ - පුත්තලම ඇළ මාර්ගයටය.
එහෙත් එ පිළිබඳ ප්‍රවාහන ආර්ථික ශක්‍යතාව තක්සේරු කරනු පිණිස 1981 දී මෙහි පැමිණි නෙදර්ලන්ත ප්‍රවාහන ආර්ථික විශේෂඥයන් දෙදෙනාගේ නිගමනය වූයේ දුම්රිය මහාමාර්ග වැනි දියුණු කළ යුතු වෙනත් ප්‍රවාහන ක්‍රම තිබියදී ඇළ මාර්ග ප්‍රවාහන කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අකාර්යක්ෂම බවත් ඒ අනුව කොළඹ - පුත්තලම ඇළ මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු සියල්ලද අත්හිටුවිය යුතු බවත් ය. (ආර්ථික විමසුම - 1981 අගෝස්තු)
ප්‍රවාහන ආර්ථික විද්‍යාත්මකව එසේ අවධානයෙන් ගිලිහී ගිය අංගයක් වුවද ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ප්‍රවාහනයට උර දුන් එම ඇළ මාර්ග ඓතිහාසික වශයෙන් අපට කිසිසේත් අමතක කළ නොහැකි මා හැඟි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හැඳින්විය හැකිය.
====================================
කුසුම්සිරි කොඩිතුවක්කු මහතාගේ ඉහත ගවේෂනාත්මක ලිපිය අනුව පෙනීයන්නේ කෝට්ටේ සිට මෝදර දක්වා හෝ වත්තල, හැදල දක්වා හෝ වර්තමානයේ හැමිල්ටන් ඇළ ලෙස හදුන්වන මෙම ඇළ මාර්ගයේ මුල් අදියර ඉදිකර ඇත්තේ Viii වන වීර පරාක්‍රමබාහු (1476-1489) රජ සමයේ විය යුතුය. බොහෝදුරට එම ඇළ මාර්ගය පුළුල්කර කලපුව හරහා මිගමුව දක්වා දීර්ඝ කර ඇත්තේ පෘතුගීසීන්ය. එම කොටස සැතපුම් 9යක් හෙවත් කිලෝමිටර් 14.5කි. එහෙත් මෙම ඇළ මාර්ගය මීගමුවේ සිට පුත්තලම දක්වා දිවයයි.
එම ලිපියේ සදහන් නොවුන තවත් කරුනක් වන්නේ ලන්දේසින් ඉදිකිරිමට ආරම්භකල නමුත් වැඩ අවසන් නොවූ මීගමුවේ සිට පුත්තම දක්වාවූ ඇලේ කටයුතු අවසන්කලේ ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාවූ ප්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාය. ඒ 1804දීය. එය බ්‍රිතාන්‍යයන් ලංකාව (මුහුදුබට පළාත්) අත්කර ගැනීමෙන් පසුව සිදුකල පළමු සංවර්ධන ව්‍යාපෘතියය. එම ව්‍යාපෘතිය භාරව කටයුතුකලේ හැමිල්ටන් නම් නිලධාරියෙකි. අද පවත්නා හැමිල්ටන් ඇළ නම් කර ඔහු (Hamilton) නමිනි.
අපි කුඩා කාලයේදී නෑමට පවා හැකිලෙස පිරිසිදුව පැවති හැමිල්ටන් ඇළ අද ජරාවාසව ගොසිනි. කුඩා බෝට්ටුවල ඇන්ජින්වලින් නිකුත්කරන තෙල්ද, අවට කාණුවලින් එකතුවන කුණු කන්දල්ද හැමිල්ට ඇළ සහමුලින්ම පාහේ අපවිත්‍රකර ඇත. ඇළ දෙපස භුමියද අනඅවසර ඉදිකිරීම් ඔස්සේ ජරාවාස කර ඇත. අතිතයේදී කොප්පරා ප්‍රවාහනයකල පාරුවලින් ළමාලපටීන් කොප්පර ඉල්ලා කෑ බවත්, නත්තල් කාලයේදී කැරොල් ගී ගයන කණ්ඩායම් පාරුවල නැගී හැමිල්ටන් ඇලේ කැරොල් ගී ගයමින් ගිය බවත්, මුන්නක්කරයේ කොතලාවල පාලම ඉදිකිරිමට මත්තෙන් පාස්කු කාලයෙදී දුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මීගමු දුවේ සිට මිගමුව සා. පීතර දේවස්ථානයට රැගෙනේම මෙන්ම රැගෙනයාම සිදුකලේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත්, මීගමුව වැල්ලවිදිය පල්ලියද, සා. පීතර පල්ලියද, තවත් පල්ලි රාශියක්ම ගොඩනගන කාලයේදී උළු, ගඩොල්, ලී දඩු ඇතුළු බොහෝ ගොඩනැඟිලි ද්‍රව්‍ය රැගෙන ආවේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත් මා මිට පෙර ලියා ඇත.
ඇත්තවශයෙන්ම හැමිල් ඇල දියුණුකර රටේ ප්‍රවාහන අවශ්‍යතා සදහා මෙන්ම සංචාරක කටයුතු සදහාද කෙතරම් යොදාගත හැකිනම් කෙතරම් යහපත්ද? එහෙත් ඒ සම්බන්දයෙන් කිසිවෙකුගේ අවධානය යොමුනොවීම කෙතරම් නම් අවාසනාවක්ද?
මාකස් ප්‍රියන්ත පෙරේරා.
24/09/2021