Thursday, 19 August 2021

තැපැල්පත්, සමරු පලක, දේවාලවලට පවා මුල්වූ මීගමුවේ නුග ගස්

ඉහතින් දැක්වෙනුවේ 1910 දී නිකුත්කළ මිගමුවේ නුගගස (Banyan Tree Negombo) නම් තැපැල්පතකි (Post Card). මේම තැපැල්පතේ දැක්වෙන තරම් අති විශාල නුග ගහක් මීගමුවේ පැවතියේද යන්න අද බොහෝ දෙනෙකුට කුතුහලය  දනවන්නකි. ඇත්තවශයෙන්ම, මේසා විශාල නුග ගස් දැන් මීගමුවේ නොමතිවුවද මීගමුව කොටුව අසල පැරණි මහාධිකරණ ශාලාව ඉදිරිපිටද, පැරණි මීපුර පුරහල පැවති මාළු වෙළදපොල අසලද, නව තානායම අසලද, මීගමුව ග්‍රීන් පාර්ක් පිටිය අසලද, වයි (Y) හංදිය අසලද, කාමච්චෝඩයේ පොලේද, මීගමුවේ තවත් තැන් රාශියකද විශාල නුග ගස් තිබේ. එහෙත් මෙම තැපැල්පතේ දැක්වෙන ආකාරයේ සුවිශාල නුගගසක් දැන් මීගමුවේ නොමැති තරම්ය. ඊටත් වඩා නුග ගස වටේ හිදගෙන  ගිමන් හැරිය හැකිසේ ගල්බැම්මක් බැදී නුග ගහක් දැන් මීගමුවේ නැති තරම්ය. රටේ මිනිස්සු කාන්සියට ගිය නගරයවූ  මිගමුවේ කාන්සිය නිවාගෙන ගිමන් හැරිය හැකි පොදු ස්ථානයක්වත් දැන් මීගමුවේ නැත. ගස් කෝලන් මෙන්ම වෙරල තිරයද දේශපාලකයින්ට වියදම් කරන මුදලාලිලා අල්ලාගෙනය.         

අද මීගමුවේ ඇති නුගගස් අතරින් වඩාත් අවධානයට ලක්වී ඇත්තේ මීගමුව කාමච්චෝඩයේ ඇති නුගගහය. මීගමුව කාමච්චෝඩයේ පැවැත්වෙන මීගමු ඉරිදා පොළට යන කාටත් දැකගතහැකි දැක ගත හැකිව තිබු එම නුගගස වටකොට දැන්  දේවාලයක් ඉදිකර තිබේ. එයද දේශපාලන අනුග්‍රහය මත සිදුවුවකි. එම දේවාලය අටවා ගත් පිරිස දැන් එයට ව්‍යාජ ඉතිහාස කතාවකුත් එක්කර තිබේ. ඊටත් වඩා 2013 වසරේ අප්‍රියල් 14 ඉරිදා 'ලක්බිම පත්තරයේ' පිටු අංක 15, 'රාවණාගේ සහෝදරියකට අදත් පුජා පවත්වන මීගමුවේ කාමච්චෝඩය: ලංකාවේ දිගම ඉරිදාපොළ පැවැත්වෙන්නේ මෙතැනයි' යනුවෙන් ලිපියක් පලකරන ප්‍රකට ලේඛක පීටර් කැන්යුට් පෙරේරා මහතා සදහන් කර ඇති ආකාරටය නම් එම කාමච්චෝඩයේ නුගගස ඉතාමත් ඈත අතීතයකට හිමිකම් කියන ගසකි. 

එම ලිපියට අනුව එක් එක් මිනිසුන් කාමච්චි දේවතාව වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පුදපුජා පවත්වා ඇති බවත් පසුකලෙක මෙම නුග ගස ආශ්‍රීතව දේවාලයක් ඉදිවු බවත් සදහන්වේ. එම ලිපියේම තම අදහස් දක්වන දැන් ඉදිකර ඇති එම දේවාලයේ කුරුක්කාල්වරයා යැයි කියන 'මුරලිදරන්' ප්‍රකාශකර ඇත්තේ 'වසර 300කටත් වඩා ඈත කාලයක සිට මෙම නුගගහට ආධිගෘහිත කාමච්චි දේවතාවා වෙනුවෙන් පුදපුජා පැවත්වෙන දේවාලයක් මෙහි තිබු බවයි.'

එහෙත් එම මතය පටපල් බොරුවකි. අප  පාසැල් යන සමයේ පවා එම කාමච්චෝඩයේ නුගගස වටා තිබුනේ දේවාලයක්  නොව මිනිසුන්ට නිස්කලංකව වීඩා නිවා සිටීය හැකි ලෙස සැකසු ගල් බන්කු කිහිපහයක් පමණි. එමෙන්ම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත පළාත්වල අදායම් වාර්තාවලට අනුව නම් මේ නුගගස අසල තිබී ඇත්තේ ඉතා විශාල තැබරුමක්, දුන්කොල කඩ කිහිපයක්, මස්කඩ 04ක් සහ කරවල කඩ 03කි. එහි කිසිම දේවාලයක් තිබී ඇති බව එම වාර්තාවල සදහන් නොවේ. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මීගමුවේ ජනයාට අවශ්‍ය සහල්, ධාන්‍ය ආදීය රැස්කර තිබු 'කිත්තම් ගෙය' නම්  කාමර 16කින් සමන්විත ගබඩා සංකීරණය පැවත්වුයේ කාමච්චෝඩයේ මෙම නුගගස අසලය. පොලව අභ්‍යන්තරයට හෑරු වලකින් යුතුවූ මෙම ගබඩා සංකීරණයට ලොරිවලින් සහල් සහ ධාන්‍යය ආදිය ගෙනවිත් කෙලින්ම බාගැනීමට හැකි ලෙස සකස්කර තිබී ඇත. පසුව කඩා ඉවත්කළ එම ගබඩා සංකීරණයේ අත්තිවාරම මෑතක්වනතුරුම කාමච්චෝඩේ කරවල කඩ පිහිටි භූමියෙන් දැකගත හැකිවිය. මෙවැනි තොරතුරු මිස මෙම ප්‍රදේශය ගැන දන්නා ඕනෑම කෙනෙකුට 2010 වනතුරු කාමච්චෝඩයේ නුග ගස අසල කිසිම දේවාලයක් නොතිබුබව නොරහසකි. 

මුදල් ඉපයීම පිණිස ආගම සහ දෙවියන් පවා විකුණන මෙම යුගයේදී, මෙවැනි විවිධ පල්ලි, පන්සල්  දේවාල, කෝවිල් ආදිය ඉදිකිරිමේ  අරුමයක් නැතත්, අපේ නගරයේ ඇති සුන්දර තැන් මෙලෙස එකිනෙකා කොටුකරගෙන එක එක විකාර සිදුකිරීම නම් කිසිසේත්ම අනුමත කල නොහැක. 

එහෙත් කාමච්චෝඩය ආශ්‍රීතව පැරණි දේවාලයක් තිබු බවත්, එය 'රාම-රාවණා කථා' දක්වා ඈතට දිවයන බවත්, එය පෘතුගීසින් පැමිණීමටත් බොහෝ කලකට පෙර මුහුදුබත්ව ගොස් ඇතිබවත්, එහෙත් පෘතුගීසි යුගයේදී පවා සැම වසරකට වරක්ම ලංකාවේ වෙරළබඩ සහ දකුණු ඉන්දියාවේ සිට මුහුදු යාත්‍රා වලින් පැමිණි හින්දු ආගමික ජනයා රතුමල් මුහුදට දමා එකී  මුහුදුබත්ව ගොස් ඇති දේවාලයේ දේවතාවන්ට ගරුබුහුමන් දැක්වු බවත් ජනප්‍රවාදයේ සදහන්වේ. 

එහෙත් නුගගහට ආධිගෘහිතව කාමච්චි දේවාලයක් අතීතයේ සිට පැවති බවනම් පටපල් බොරුවක්. අද මීගමුවේ  කාමච්චෝඩයේ පොළ මැද නුග ගස වටකොට ඉදිකර ඇති දේවාලය අනවසරයෙන් ඉදිකර ඇති හොර දේවාලයකි. විවිධ ආගමික සහ දේශපාලන උවමනා වෙනුවෙන් ජයටම කෙරීගෙන යන මෑතකදී  ඉදිකළ  දේවාලයක්  මිස අතීතයේ පැවති  දේවාලයක් නැවත ඉදිකිරීමක්  නොවේ. කිසිවෙක්  එසේ කියන්නේ නම් එය මීගමුවේ ඉතිහාසය ගැන මෙලෝ අධ්‍යානයකින් තොරව ඉදිරිපත් කර ඇති ප්‍රබන්ද මගින් මීගමුවේ පමණක් නොව මුළු රටේම ජනයා නොමග යැවීමකි. කරුණු හරි හැටි නොදැන හෝ විවිධ අරමුණු පෙරදැරි කරගෙන කටයුතු කරන පුද්ගලයන් 2011 මැයි මසදී 'මීගමුව' නමින් පලවෙන ප්‍රකාශනයක සහ 2013 අප්‍රියල් 14 ඉරිදා ලක්බිම පත්තරයේ පිටු අංක15 වේ පීටර් කැන්යුට් පෙරේරා විසින් ලියු ලිපියක සදහන් කර ඇති ආකාරයට 'එක් එක් මිනිසුන් කාමච්චි දේවතාව වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පුදපුජා පවත්වා ඇතිබවත් පසුකලෙක මෙම නුග ගස ආශ්‍රීතව දේවාලයක් ඉදිවු බවත්,වසර 300කටත් වඩා ඈත කාලයක සිට මෙම නුගගහට ආධිගෘහිත කාමච්චි දේවතාවා වෙනුවෙන් පුදපුජා පැවත්වෙන දේවාලයක් මෙහි තිබු බවත් සදහන් කරයි. එහෙත් ක්‍රි.ව.1500 සිට මෑත භාගය වනතුරුම මීගමුව ගැන සදහන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙන්ම දේශීය වාර්තා රාශියක් අධ්‍යානය කර ඇති මම මීගමුව කාමච්චෝඩයේ කාමච්චි දේවාලයක් මීට වසර 300යක පෙර එම ප්‍රදේශයේ නොතිබුණු බව එකානත්යෙන්ම දක්වා සිටීමට කැමැත්තෙමි.         

අඩුම වශයෙන් අපි පාසැල් ගිය 1980 හෝ 90 කාලවලවත්  කාමච්චෝඩයේ එම නුගගහ ආශ්‍රිතව දේවාලයක් නොපැවතිනි.අද එහි පවතින්නේ පසුගිය වසර කිහිපයක් තුල අනවසරයෙන් ඉදිකල හොර දේවාලයකි. 1878 බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව පිහිටවූ 'Negombo Local Board' (මීගමුව ප්‍රාදේශීය මණ්ඩලයට) අයත් බල ප්‍රදේශයේ කිසිම් තැනක නුගගහටක් යට දේවාලයක් තිබී නොමැත බව ස්ථීරවම ප්‍රකාශකල හැක. පසුව 1922 දී තවත් විශාල කර පිටවූ 'Negombo Urban District Council' බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ වලද එවැනි නුගගහටක් යට දේවාලයක් ගැන හෝ සදහන් නොවේ. මේ සමග පල කර ඇති මීගමුවේ එකල පැවති නුගගස් දැකීමෙන් එය අවබෝධ කරගත හැක. එකී එක් ජයාරුපයක දැක්වෙන්නේ 1944 දී මාර්තුවේ මීගමුවේ සිටි 'සවුත්තුවා' යැයි නම් ලද දාමරිකයාව මාරදැමීමෙන් පසුව නඩු විභගය අවසාන වනතුරු පොලිස් ආරක්ෂාව යොදා වසාදැමූ නුගගසකි. පුවත්පත් වාර්තාවලට අනුව 'සවුත්තුවා' නම් දාමරිකයා මරාදමා ඇත්තේ  කාමච්චෝඩයේ රා තැබැරුමේ ගැටුමකි. කිනිස්සකින් බඩවැල් එලියට එනලෙස  බඩකපා දැමු සවුත්තුවාගේ රුදීරය වැහුණු සිරුර රෝහලට ගෙන ගොස් ඇත්තේ  කරත්තයකිනි. කාමච්චෝඩයේ රා තැබැරුමේ ඇතිවූ ගැටුම දුරදිග ගියවිට සවුත්තුවා නම් දාමරිකයා පලාගොස් ඇති අතර ඔහුව ලුහුබැද ඇති 'මාකර්' නම් මීගමුව එළවලු වෙළදපොළේ තැනැත්තෙක් එකී මිනීමැරුම සිදුකර තිබේ. ඉහත මිනීමැරුම  ගැන සදහන් පුවත්පත් වාර්තාවේ දැක්වෙන නුග ගස සහ ඉහත දැක්වෙන 1910 නිකුත්කර ඇති තැපැල්පතේ දක්වා ඇති  මීගමුවේ නුගගහ අතර පැහැදිලි සමානකමක් දැකිය හැක. එහෙත් ඒම තැපැල්පතේ දැක්වෙන නුග ගහ කාමච්චෝඩයේ නුග  ගහම දැයි නිෂ්චිතව කිව නොහැක්කේ කාමච්චෝඩයේ රා තැබැරුමේ ඇතිවූ ගැටුමෙන් අනතුරුව පලාගිය සවුත්තුවා ලුහුබැද ගොස් මරාදමා ඇති  බව සදහන්වීම තුලය. (කාමච්චෝඩයේ රා තැබැරුම ගැන තව විස්තර මෙම යොමුවෙන් කියවිය හැකhttps://marcuspriyanthaperera.blogspot.com/2016/05/blog-post_29.html?m=1) කෙසේවුවත් එකී මිනීමැරුම ගැන සදහන් පුවත්පත් වාර්තාවට අනුව පවා විශාල නුග ගස් කිහිපයක්ම යටත් විජිත යුගයේදී මීගමුවේ පැවති බව සහ ඒවා ඡයාරූප කිහිපයටම හසුකරගෙන ඇති බව පැහැදිලිය. 

මෑතක සිට මීගමුවේ නුග ගස් සහ 'රාම-රාවණා' කතා අතර සම්බන්දයක් තනන්නටද පිරිසක් උත්සහකරන බව පෙනේ. 'රාම-රාවණා' යුගයේදී මීගමුව හැදින්වුයේ 'නිගුම්භීලා' ලෙස යැයි දක්වයි. එසේ  දක්වා ඇත්තේ වාල්මිකිගේ 'රාමායනයේ එන කුමන පද්‍ය පන්තියේදැයි මම දැන ගැනීමට කැමැත්තෙමි. එයද මීගමූවට ටොලමිගේ සිතියමේ 'පරඩොක්ස්' බොක්ක යැයි  කියා ඇතැයි කිව්වා සේම අසංයුක්ත ප්‍රකාශනයකි. ඇත්තවශයෙන්ම මීගමුවේ එවකට සිටි හින්දු භක්තික ජනයා රාම-රාවණාගේ කථා ගැන  සදහන්කල බව පැරණි පෘතුගීසි සහ ලන්දේසි යුගවල ලේඛකයන්ගේ වාර්තාවලද සදහන්ය. මීගමුවේ  ද්‍රවිඩ නම වන 'නීර්කොලොම්බු' යන්න ගොඩ නැගීම සිදුව ඇත්තේ රාම-රාවණ කතාවල එන චරිතයක් පදනම් කරගෙන බව  සදහන්ය. එහෙත්  කාමච්චි දෙවිකෙනෙක් ගැන  කිසිදු  සදහනක්‍  නොමැත.(මීගමුවේ නම ගොඩනැගුන අයුරු මතු දිනයක මම වෙනම කථා කරන්නට තබමි). පැහැදිලිවම එකී වාර්තාවල සදහන්වන්නේ ජනවහරේ එන සහ  සිදුකෙරෙන දෑ ගැන මිස නුගගහටක් යට  කාමච්චි දේවාලයක් තිබු බව නොවේ. ඒ සමග මීගමුවේ තෙල්වත්ත, උදම්මිට, තම්මිට, කුණ්ඩන්විල, මල්වත්ත, දෙහිමල්වත්ත යන ප්‍රදේශ වල පැවතියා යැයි විශ්වාස කරන පැරණි ඇදහීම් ගැන සලකා බලනවිට බිලිපුජා පැවැත්වූ ප්‍රදේශයක් පැවතියේ කාමච්චෝඩයේදැයි සැක සහිත බව පෙනේ. මෙහිදී මා ඉදිරිපත් කරනුයේ නිවැරදි අධ්‍යනයක් තොරව හුදු ප්‍රබන්ද ඉදිරිපත්  කිරීමෙන්, මීගමුව ගැන කලයුතු නිවැරදි අධ්‍යනයක් වල් මත් නොකළ යුතුය. වඩාත් අදාලව කථා කළහොත් මනරම්ව පැවති කාමච්චෝඩ්යේ නුගගස වටකොට අනවසරයෙන් ඉදිකල හොර දේවාලවල් වැනි මිත්‍යා මත වපුරන දෑමගින්ද  සිදුකර ඇත්තේ  මීගමුවේ සුන්දර පරිසරය විනාශ කිරීමය. වෙරල කරෝල මුදලාල්ලාට පවරා දුන්නාසේ නුගගහ යට  දේවාලයක්  ඉදිකිරීමට ඉඩදීමෙන් සිදුකර ඇත්තේ මුදලාලිලා කිහිපදෙනෙකුට මඩි තද කරගැනීමට ඉඩදීමය. මීගමුවේ තිබෙන ඉතිහාසය සහ සංස්කෘතික වටිනාකමක් සියල්ල විනාශ කරමින් කටයුතු කරන දේශපාලුවන් කිහිපදෙනෙකුගේ  අනුග්‍රහයෙන් සිදුකරන මේ විනාශයට විරුද්ධව පෙළගැසීය යුතුය. 

ගහක කොලක වටිනාකමක් නොදන්නා මීගමුවේ දේශපාලුවන් දැවැන්ත ගස් කපාබිම දමමින් ඇති මෙවන් යුගයක අතීතයේදී  තමන්ට සෙවන් දුන් ගස් මීගමුවේ නුගගසක් යට  සමරු පලකයක් ඉදිකළ පාලකයන්  ගැනද සදහන්ය. ඒ 1913 පලකල John Penry Lewis ගේ ලංකාවේ සොහොන්පලක සහ  සමරුපලක ගැන  සදහන්  'List of inscriptions on tombstones and monuments in Ceylon' කෘතියට  අනුවය. එකී කෘතියේ 154 වෙනි පිටුවේ සදහන් ලෙස එවකට මීගමුවද අයත්වූ කොලබ දිස්ත්‍රිකයේ  ඒජන්තවරයාවූ C. P. LAYARD මහතා 1863 මීගමුවේ නුග ගසක් යට නැවතී සිය වෙහෙස මහන්සිය නිවාගැනීමේ සතුට  සිහිකරිම සදහා එකී නුග ගස යට සමරු පාලකයක් ඉදිකර ඇති බවත් එය 'Esplanade, under the Banyan Tree, Negombo' හෙවත් කොටුව පිටිය අසල නුග ගස ලෙස නම් කර ඇති බවත් සදහන්වේ. තවද  එකී සමරු පලකයේ ලතින් භාෂාවෙන් 'DEUS NOBIS HAEC OTIA FECIT. Arbori per annos XIV. Summa cura servat hunc lapidem supposuit' සදහන්ව ඇත. එහි අර්ථය 'God has given us these days of leisure. Trees are 14 years old. Keep this a stone, put the utmost care - දෙවියන් අපිට විවේකී දිනයක් දුන්සේක. ගස් වසර 14ක් පැරණිය. මෙම පුවරුව තබනුයේ, හැකි ඉහලින්ම එය රැකබලා ගැනීමටය'. ඇත්තවශයෙන්ම තවදුරටත්  කරුණු  සොයාබැලීමේදී පෙනී ගිය කරුනක්වුයේ මීගමුවේ ඇති දැවැන්ත නුගගස් රාශියක් මෙන්ම මාරගස් බොහොමයක්ද ඉබේ ඇතිවූ ගස් නොව සිටවා ඇති ගස්ය. එකී ගස් දැන් ඇති තැන්වල සිටවා ඇත්තේ  බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසිනි. හැමිල්ටන් ඇල අසබඩ මාරගස්ද, නගරයේ බොහොමයක් ගස් සිටවීමට බ්‍රිතාන්‍ය රජය  වියදම් කර ආකාරය ගැන වාර්තා පවතී. කොලබ දිස්ත්‍රිකයේ  ඒජන්තවරයාවූ C. P. LAYARD මහතා 1863 මීගමුවේ නුග ගසක් යට ඉහත සමරුපලකය පිහිටුවන විට  එම ගස  වසර  14ක්  පැරණි යැයි  සදහන්  කරන්නේ එම තොරතුරු අනුව විය හැක. තවද එකී පලකයේ ලතින් භාෂාවෙන්  සදහන්  සදහන් 'Deus Nobis Haec Otia Fecit' (God has given us these days of leisure) යන්න බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේද  තේමාවය (Liverpool's motto). C. P. LAYARD මහතා 1806 දෙසැම්බර් 6වෙනි දින කොලබ උපත ලැබුවද ඔහුගේ දෙමාපියන්ගේ සිට බිරිදගේ පාර්ශවයේ බොහොමයක් දෙනා සිය උපන් නගරය  ලෙසද සලකා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලිවර්පුල් නගරයයි. 

කෙසේවුවද,  ඉහත  පලකයවත්, ඉහත ආකාරයේ  නුගගසක්වත්  දැන්  මීගමුවේ  නැත. එහෙත්  1950 ගගන්වල සුළිසුලගේදී කඩාවැටුන දැවැන්ත නුගගසක් ගැන සදහන් වේ. එය පිහිටා තිබී ඇත්තේ  මීගමුව කොටුව අසල වර්තමාන මීගමුව අධ්‍යපන කන්තෝරුව අසලය. එකී කඩාවැටුන නුගගස ගැන ඒ අවට ඇති ඉඩම් ඔප්පුවලද සදහන්වෙන බව නීතිවේදීන් පිලීෂියන් ප්‍රනාන්දුපුල්ලේ මහතා පවා වරක් මා සමග  පැවසීය.    

මේ තොරතුරු විමසා බැලීමේදී පවා මීගමුවේ නුග ගස්  පවා අනුස්මරණිය ඉතිහාසයක් දරා සිටින බව පැහැදිලිය. එකී දැවැන්ත ගස් කපා මීගමුවේ ඉතිරිවී ඇති  ඉතිහාසයත් නොවනසමු !!!
   




මාකස් ප්‍රියන්ත පෙරේරා.
19/08/2021  

4 comments:

  1. වැදගත් ලිපියක් ස්තූතී !!!!

    ReplyDelete
  2. අපූරු ලිපියක්.. මේතැන් හොය හොය ඇවිදින්න ඕනා

    ReplyDelete