Monday, 26 July 2021

කාලක්‍රියාකලද ගැලවීමක් නැති කිලී මහරාජාගේ සිට රූපට් මෝර්ඩොක්ච් දක්වා මාධ්‍ය ජාවාරම්කරුවෝ

සිරසේ මහරාජා හෙවත් කිලී මහේන්ද්‍රන් ඊයේ (25/07/21) අභාවප්‍රාප්තවී ඇත. ඔහුගේ මරණය ගැන දුක්වන්නන් මෙන්ම සතුටින් පිනා යන්නන්ද සිටින බව පැහැදිලිය.

දුක්වන්නන් බොහෝදුරට දක්වන අදහසක් වන්නේ රටේ සියලු මාධ්‍යය රාජපක්ෂ පාලනයට නියමින් හෝ අනියමින් කඩේ යන අවස්ථාවක රාජපක්ෂලාගේ ඔඩොක්කුවට නොවැටුණ එකම මාධ්‍යය මෙහෙයවූයේ ඔහු යැයි කියන එකය. ඒ වගේම සතුටුවන අය දක්වන කාරනයක් වන්නේ ඔහු ඉන්දීය සහ බටහිර කුණු කන්දල් සිය මාධ්‍යය ඔස්සේ විකාශනයකර ල‍ංකීක සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නට කටයුතු කල කෙනෙකුය යන්නය. 

මම නම් හිතන්නේ ඔය සියලු හේතු ඔහුගේ මරණය ගැන දුක්වෙන්නටවත්, සතුටුවෙන්නටවත් හේතු නොවන බවය. 

ඇත්තටම, මහරාජා කියන්නේම සල්ලියි මාධ්‍යයයි දෙකම යොදාගෙන රාජ්‍යය බලය හසුරුවන්න උත්සහකල තවත් කෙනෙකි. ඔහුට රනිල් සමග මෙන්ම මහින්ද රාජපක්ෂ සමගද තිබුනේ ගනුදෙනු බේරාගැනීමේ ගැටලුවය. 2005 ජනාධිපතිවරණයේදී කිලී මහරාජා රනිල් වික්‍රමසිංහට මෙන්ම මහින්ද රාජපක්ෂ යන දෙන්නටම ලක්ෂ 50 බැගින් ලබාදුන් බව කියවේ. ඒ අනුව කවුරු දින්නත් මහරාජා පරාදින්නේ නැති තැනට ඔහු කටයුතුකර තිබුනි. ඉන් අනතුරුව මහරාජාට තිබුනේ ඔහු ඒ අය වෙනුවෙන් ආයෝජනය කල මුදල්වල ප්‍රතිලාභ හොයා යන්නටය. සිරසට ගිනිතැබීමේ සිට රනිල් වික්‍රමසිංහට නොනැවතී නැතිවෙන්න ගහන්නේද මෙසේ ගනුදෙනු බේරාගැනීමට නොහැකිවීමේ ආනිශංස නිසා විය හැක. ඔය ටික සදහන්කලේ ''රාජපක්ෂලාගේ ඔඩොක්කුවට නොවැටුණ එකම මාධ්‍යය මෙහෙයවූයේ ඔහුයි'' කියා දුක්වෙන අයටය.

අනෙක් පැත්තෙන් ඔහු "ඉන්දීය සහ බටහිර කුණු කන්දල් සිය මාධ්‍යය ඔස්සේ විකාශනය කර ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජනමනස් විනාශ කරන්නට කටයුතු කල කෙනෙක්" යැයි කියමින් කිලී මහරාජාගේ මරණය ගැන සතුටුවෙන අයගෙන් අහන්නට ඇත්තේ රෙනෝගේ හිරුද, දිලිත්ගේ දෙරනද කරන්නේ මහරාජා කලදේම නොවේද යන්නය. ඔවුන් ඇදෙන්නේද සිරසේ මහරාජාලා හදුන්වාදුන් මාධ්‍යය මාවතේ නෙවේද? රෙනෝගේ හිරුද, දිලිත්ගේ දෙරනද, කරන්නේ 'බුදු සරණයි කියා ලොරියේ ගසාගෙන මරන්න හරක් අදිනවා වගේ වැඩක් නෙමේද? ඒ අයටත් පාර කියා ඇත්තේ සිරස ය. වෙනසකට ඇත්තේ දෙරනේ දිලිත්ලාද, හිරු රෙනෝලාද බුද්ධාගම ඉදිරියට දමාගෙන සිටීමත්, සියලු දෙවිවරු අදහන සිරසේ මහරාජාලා බහු ආගමික මුහුණක් ඉස්සරහට දමාගෙන සිටීමත්‍ ය. ඇත්තටම ඔය කවුරුත් කරන්නේ එකම වැඩේය. එනම් සල්ලි සහ බලය නතුකරගෙන රටේ රාජ්‍යය බලය හසුරුවන්නට කටයුතු කරන අතරම, මහජනයාව ඊට අවනතකර ගැනීමට එක්කෝ 'ඇන්දීම' ය නැතිනම් 'අන්ධ කිරීම' ය. 

ඇත්තටම, අපි අවධානය යොමුකල යුත්තේ ඒ ගැනය: සල්ලි මෙන්ම මාධ්‍යය යන දෙකම යොදාගෙන රටේ රාජ්‍ය බලය පමණක් නොව මහජන මනසත් හැසිරවීමට මධ්‍ය හිමියන්ට ඉඩ ලබාදිය යුතුද? අපි අවධානය යොමුකල යුත්තේ ඒ කරුණ ගැනය . 

සල්ලිද, මාධ්‍යයද, දෙකම යොදාගෙන රාජ්‍යය බලය මෙන්ම මහජන මනසද හැසිරවීමට කටයුතු කරන මාධ්‍යය ජාවාරම්කරුවෝ ලෝකයේ ඕනෑ තරම් සිටිති. එහෙත් ඔවුන්ව කෙසේ හෝ නීතියේ පාලනයට නතුකරගන්නට ලෝකේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආන්ඩු සමත්වි තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටිය මෙන්ම දැනටත් සිටින, ලොකුම මාධ්‍යය කෙලිකාරයාවු රූපට් මෝර්ඩොක්ච් (Rupert Murdoch)ව ද නීතියේ පාලනයන්ට නතුකරගැනීමට 2011දී බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව කටයුතු කලේය. බ්‍රිතාන්‍යයේ පලවු වැඩිම අලෙවියක් තිබූ ඔහුගේ News of the World පත්තරය 2011දී වසා දමන්නටවුයේ ඔවුන්ගේ අනීතික මාධ්‍යය කෙරුවාව ගැන සිදුකල පාර්ලිමේන්තු විමර්ශන නිසාය. 

එහෙත් අනූ හැවිරිදි රූපට් මෝර්ඩොක්ච් (Rupert Murdoch) යනු එසේ ලේහෙසියෙන් වට්ටන්න පුලුවන් මාධ්‍යය හිමිකරුවෙක් නෙවේ. ඕස්ට්‍රේලියාවේ උපත් ලැබූ බිලියනපති මාධ්‍යය ව්‍යාපාරිකයෙක් (media tycoon) වන රූපට් මෝර්ඩොක්ච් (Rupert Murdoch) අදටත් ප්‍රාදේශීය, ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යයන් ගණනාවකම හිමිකරුවෙකි. බ්‍රිතාන්‍යයේ 'Sun' සහ 'Times' පත්තර දෙකද, Sky News රූපවාහිනී ජාලයද, ඕස්ට්‍රේලියාවේ 'Daily Telegraph', 'Herald Sun' සහ 'The Australian' පුවත්පත්ද, ඔස්ට්‍රේලියාවේ ABC රූපවාහිනී ජාලයද, ඇමෙරිකාවේ Wall Street Journal සහ New York Post පුවත්පත්ද, 'Fox' රුපවාහිනි ජාලයද, HarperCollins පොත් ප්‍රකාශකයන්ද, 21st Century Fox මාධ්‍යය සහ චිත්‍රපටි සමාගමේද අයිතිකරුවා හෝ අයිතිකරුවෙක්ව සිටි තැනැත්තා ඔහුය. 

එහෙත් ඒකී බිලියනපති මාධ්‍යය හිමිකරුවාද බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ මංත්‍රීවරුන්ගේ පරීක්ෂණ කමිටුවක් ඉදිරියේ ප්‍රශ්න කිරීමට සහ විමර්ශනයට භාජනය කරනු ලැබූවේය. නීතියේ පාලනයට අවනත කරගැනීමට පියවර ගත්තේය. ඒකී විමර්ශනය නැරඹීමට පැමිණි ප්‍රෙක්ෂකයෙක්ගෙන් ක්‍රීම් ප්‍රහාරයකටද (plate of white foam) රූපට් මෝර්ඩොක්ච්ට (Rupert Murdoch)ට ලක්වීමට සිදුවිය. මහජන මතය හැසිරවීමට සමත්‍ යැයි කියන මෝර්ඩොක්ච් (Rupert Murdoch) වැනි ජඩ මාධ්‍යය ව්‍යාපාරිකයන්ට ඒ ආකාරයේ මහජන විරෝධයන්ට මුහුණපෑමට සිදුවීමද හාස්‍යජනකය. 
එහෙත් මැරෙන්න පෙර ලංකාවේ මහරාජා හෝ, දැන් සිටින දිලිත් හෝ රෙනෝ හෝ එසේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට රැගෙන ඒමට නොහැකිවිය. ඒ සම්බන්ධයෙන් නම් පැහැදිලිවම දුක්විය යුතුය. ඒමෙන්ම එන්නත් දෙකකම විදිනු ලැබුවද කොරෝනා මාරයාගෙන් ගැලවීමට මහරාජාට නොහැකිවීම ගැනද දුක්විය යුතුය. මෑත යුගයේ නීතියේ පාලනය හමුවේ විමර්ශනයට ලක්වු මාධ්‍යය ව්‍යාපාරිකයාවූයේ ටිරාන් අලස් පමණි. දැන් ඔහුද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකි. එයද හාස්‍යජනකය. එයටත් වඩා හාස්‍යජනක වන්නේ මරණ දඩුවම ලැබූ හිරු මාධ්‍යය ජාලයේ හිමිකරුගේ සහෝදරයා ඉන් බේරාගැනීමට රටේ රාජ්‍ය නායකයා මෙහෙයවීමට තරම් මාධ්‍යය ජවාරම්කරුවන් ලංකාව තුල බලවත්ව සිටීමය. 

මේ ආකාරයට කෝටිපති මාධ්‍යය ව්‍යාපාරිකයන් සල්ලිත් බලයත් දෙකම යොදාගෙන සිය අභිලාෂයන් මුදුන් පත්කරගැනීම සදහා රාජ්‍යය පාලනය මෙන්ම මහජන මනස් හැසිරව්ම සමාජයකට සිදුකරන විශාල හානියකි. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය හෙවත් ලේබර් පක්ෂයේ (Labour Party) හිටපු නායක ජෙරමි කෝර්බින් (Jeremy Corbyn) ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවුනා මෙන් අපිටත් අවශ්‍යවන්නේ තනි පුද්ගලයන්ගේ මාධ්‍යය හිමිකාරීත්වයෙන් සහ මාධ්‍යය හැසිරවීමෙන් මිදී බුහුවිධ තොරතුරු මුලාශ්‍රවලට ඉඩලැබෙන ක්‍රමයකි: "We are developing a media policy which would be about breaking up single ownership of too many sources of information so that we have a multiplicity of sources" -Jeremy Corbyn. 

ඒහෙත් එසේ කිරීමට නම් එම මාධ්‍යය හිමිරුවන්ව මට්ටුකල යුතුය. එහිලා නීති පැනවිය යුතුය. එයද පහසු කටයුත්තක් නොවේ. මන්දයත් නීති පනවන ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ ඉන්න අය පත්වෙන්නේ හෝ පත්වී ඇත්තේ මාධ්‍යය හිමිකරුවන්ගේ මාධ්‍යය අනුග්‍රහයෙන්, සහ ඔවුන්ගේ මුදල්වලිනි. ඉන් කියවෙනුවේ මාධ්‍යය හිමිකරුවන් කාලක්‍රියා කලද බූවල්ලන්බදු ඔවුන්ගේ ජාලයෙන් නිදහස්විමට නම් එතරම් පහසු නැති බවය.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
26/07/2021

Monday, 12 July 2021

එංගලන්තය කොරෝනා තකන්නේ නැද්ද?

ඊයේ පැවැත්වූ යුරෝපා පාපන්දු කුසලානය සදහා මේ තරම් සෙනගක් රැස්වෙලා හිටියේ කොහොමද? එංගලන්තය කොරෝනා ගැන තකන්නේ නැද්ද? දැනටමත් ඔය රටේ මිනිස්සු ලක්ෂයකට වඩා කොරෝනාවලින් මැරිලා නේද? එහෙම තියෙද්දීත් ඔහොම මිනිස්සු එක පොදියට රැස්වෙලා ඉන්න දෙනවද? ඇරත් මේ මිනිස්සු 'මාස්ක්' එකක්වත් දාලා නෙමේ නේද ඉන්නේ? ආදී ප්‍රශ්න රාශියක් කිහිපදෙනෙක්ම මගෙන් අහලා තිබුනා. 

ඇත්ත, ඊයේ යුරෝපා කුසලාන අවසාන තරග නරබන්න 60,000ක් ලංඩනයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට (Wembley Stadium) රැස්වී සිටියා. එය වෙම්බ්ලි ක්‍රිඩාංගනයේ උපරිම ධාරිතාව නෙමේ. සමාන්‍යයෙන් වෙම්බ්ලි ක්‍රිඩාංගනයට 90,000කට වඩා දාන්න පුලුවන්. නමුත් ‍යුරෝපා තරගාවලිය ආරම්හයේදී මෙතරම් ප්‍රෙක්ෂකයන් ප්‍රමාණයකට ක්‍රිඩාගාරයක් තුල තරගය නරබන්න අවස්ථාව ලබාදුන්නේ නෑ. මුල්වටයේ තරග නැරබීමට අවස්ථාව ලැබුනේ ප්‍රෙක්ෂකයන් 22,000කට පමණයි. එහෙත් අර්ධ අවසාන, අවසන් පූර්ව තරග නැරබුම සදහා ක්‍රමයෙන් වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදුන්නා. ජර්මනිය සහ එංගලන්තය අතර අවසන් වටයේ තරගය නැරබීමට ප්‍රේක්ෂකයන් 45,000කට ඉඩ ප්‍රස්ථාව උදාවුනා. 

ඒ කෙසේවෙතත්, තරග නැරබීමට ප්‍රවේශ පත්‍රයට අමතරව කෝවිඩ් එන්නත් සහ PCR  නෙගටිව් වර්තාවකුත් ලබාගැනීමට ඉල්ලා තිබුනා. ඒ සදහා ඔවුන් පෞද්ගලිකව වියදම් දැරිය යුතුයි. ඒ අනුව බ්‍රිතාන්‍යය පවුම් 860 සිට 81 දක්වා විවිධ මිල ගණන්වලට විකිණීමට තිබූ ටිකට්පත් වලට අමතරව අවම වශයෙන් තවත් පවුම් 50ක්වත් PCR සදහා වියදම් කල යුතුයි. ඊට අමතරව මෙරට සෞඛ්‍යය සේවය හදුන්වාදී ඇති මෘදුකාංගයක (app එකක්) ලියාපදිංචි වීමටත් දන්වා තිබුනා. පසුගියදා ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලි සදහාත් භාවිතා කර තිබුනේ එම ක්‍රියා පිලිවෙතමයි. එවැනි වියදමක් සහ ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙතරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ සිටීමත් ඔවුන් ක්‍රිඩාවට දක්වන ඇල්ම කෙතරම්ද යන්න නිරූපනය කිරීමක්. ඒවගේම නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමක්.    

මේ වගේ ආරක්ෂිත වැඩපිලිවෙලක් යටතේ රැස්වෙන ප්‍රේක්ෂකයන් පිරිසකට 'මාස්ක්' පැලැදීම අනිවාර්ය නැහැ. කොහොමත් ජුලි 19 පසු එංගලන්තයේ කෝවිඩ් නියාමනයන් ඉවත් කිරීමට අපේක්ෂා කරන නිසා 'මාස්ක්' හෙවත් මුඛ ආවරණ පැලදීම තවදුරටත් අනිවාර්ය නොවන අතර එය පුද්ගලයන්ගේ කැමැත්ත අනුව කල හැක්කක්. 

තත්වය එසේවුවත්, බ්‍රිතාන්‍යය කෝවිඩ් වංසගතයෙන් සම්පූර්ණයෙන්ම ගැලවී නෑ. තවමත් දිනකට 30,000 ඉක්මවූ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් මෙරටින් වාර්තාවෙනවා. එහෙත් මරණ සංඛ්‍යාව අඩුයි, රෝහල් ගතවෙන සංඛ්‍යාවද අඩුයි. එයට හේතුව බ්‍රිතාන්‍යයේ දියත්වී ඇති එන්නත්කරණ වවැඩපිළිවෙලයි. දැනටමත් රටේ වැඩිහිටි ජනගහනයෙන් 85%කට ආසන්න ප්‍රමාණයකට අඩුම තරමින් කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන්. එය මිලියන 47කට ආසන්න මිනිස්සුන් ප්‍රමාණයක්, ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයක්. එන්නත් ලැබූ මෙම පිරිසට පවා කෝවිඩ් වැලදිය හැකිවූවත්, එය වඩා දරුනු ලෙස ඔවුන්ට බලපාන්නේ නැති බව තමයි මේ සම්බන්දයෙන් අදහස් දක්වනන්ගේ මතය. 

ඒ අනුව ලෝකයෙන්ම කෝවිඩ් වසංගතය තුරන්ව යනතුරු යම් යම් අවස්ථානුකූල සකස්කරගැනීම් අනුව රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීම තමයි බ්‍රිතාන්‍යය රජයේ අරමුණවී ඇත්තේ. ඔවුන් විශ්වාස කරන්නේ එන්නත්කරණ වැඩ පිලිවෙල ඔවුන්ට ඒ සදහා පදනමක් සකස්කරදී ඇති බවයි. එය කෙතරම් නිවැරැදිද යන්න ගැන තවම කිසිවක් කිව නොහැකියි.  

ඒ කොහොමවුනත්, ලෝකේ හැම රටක්ම උත්සාහ කරන්නේ නැවැත සිය රටවල් විවෘතකර ආර්ථිකයට පනපෙවීමටයි. බ්‍රිතාන්‍යයද මේම යුරෝපා පාපන්දු කුසලාන තරගාවලිය ඔස්සේත් බලාපොරොත්තුවූයේ ආර්ථිකය ප්‍රර්වර්ධනය කල හැකි එවැනි අවස්ථාවක් උදාකරගැනීමටයි. තරගාවලියේ ජය පරාජය කෙසේවෙතත්, එංගලන්ත කණ්ඩායම අවසානය තරගාවයට ප්‍රවිශ්ඨවීමත් සමග බ්‍රිතාන්‍ය ආර්ථිකයට පවුම් බිලියන 2.8 එකතුවූ බව සදහන් වෙනවා. ඒ වර්ධනය තරගාවලියේ අවසාන දිනය වූ ඊයේ (11/07/2021) වනවිට තවත් ප්‍රසාරණ වෙන්නට ඇති. එම මුදල ලංකාවේ මුදලින් කීයක්ද යන්න දැනගැනීමට අවශ්‍ය නම් පවුන් බිලියන 2.8 රුපියල් 286 වැඩිකර බලන්න.  

මාකස් ප්‍රියන්ත පෙරේරා 

12/07/21